Tuesday 14 June 2016

ඕස්ට්‍රේලියාවේ දී බියර් බීපු හැටි - All about amber fluid


අරක්කු සමග එකට බිව් දවසේ මිස, වෙනත් කිසි දිනයක මා බියර් බී මත් වී නැත්තේ, නුවරඑළියේ සිටි ජර්මන් බොස් මෙන් බියර් කේස් පිටින් නිවසට ගෙනැවිත් නොබී, ජපන් තේ බීමක් මෙන් සැදී පැහැදී චාරිත්‍රානුකූලව පමණක් බිව් නිසා යැයි සිතමි.

පෙර සූදානම්, හිස් බෝතල්, ඩිපොසිට්, බයිට් ආදී කිසිවක් නොමැතිව, ඕස්ට්‍රේලියාවේ මිනිසුන් බියර් බොන ආකාරය නේබර්ස් නම් ටෙලි නාට්‍යයෙන් දැක මා සතුටු වුණේ කෙදිනක හෝ ඒ අත්දැකීම ද ලැබීමට හැකි නිසා ය.

බියර් යනු ඕස්ට්‍රේලියාවේ ප්‍රියතම පානය යැයි කිවහොත් වරදක් නැත. මෙරට ඒක පුද්ගල බියර් පරිභෝජනය වසරකට ලීටර් 75 පමණ වේ. ලංකාවේ එකී අගය ලීටර් දෙකක් පමණි.

මේ මගේ විසි වසරක ඕස්ට්‍රේලියානු බියර් අත්දැකීම්වලින් කිහිපයකි.

මා ඕස්ට්‍රේලියාවට පැමිණියේ අප්‍රියෙල් මස මැද හරියේ, මෙල්බර්න් නුවර සීතල හේමන්ත රාත්‍රියක් ගෙවමින් සිටියදී ය. පසුදින උදයේ මා නතර වී සිට ප්‍රේම් සහ නයනා ගේ නිවසෙන් උඩුකයට කමිසයක් පමණක් ඇඳ එළියට බට මම සීතලෙන් වේව්ලා ගියෙමි. ඒ උදේ වරුවේ ය. රාත්‍රිය ඊටත් වඩා සීතල විය.

එදින රාත්‍රියේ මා බිව් බියර්වලින් ලංකාවේ දී ලද ආකාරයේ වින්දනයක් නොලැබූ බව කිව යුතුය.

එයට ප්‍රධාන හේතුව වූයේ අප මේ සීතල බියර් බොන්නේ සීතල පරිසරයක දී වීම යැයි සිතමි. ඊට අමතරව, ලංකාවේදී මෙන් කල් යල් බලා, පෙර සැලසුම් කිරීමක් නොමැති වීම නිසා ද, බියර් බීම තේ කෝප්පයක් බීමට වඩා වෙනස් වුණේ සුළු වශයෙනි.

ලංකාවේ දී, උසැති, දුඹුරු පැහැති මිලිලීටර් 650 පමණ බියර් බෝතල් දැක පුරුදුව තිබුණු මට ඕස්ට්‍රේලියාවේ දී දක්නට ලැබුණේ, මිලි ලීටර් තුන්සිය හැත්තෑ පහේ බාග බෝතල් හෝ කෑන් ය. මේවා හය බැගින් අසුරා ඒ සික්ස්-පැක් හතරක් එකට කේස් එකක් ලෙස සාදා ඒවා හෝ විකිණීමට තබා තිබුණි. එවැනි (වික්ටෝරියන් බිටර්) බියර් බාගේ බෝතල් විසි හතරක පෙට්ටියක නියමිත විකුණුම් මිල ඩොලර් තිහක් පමණ විය. (කෑන්වල මිල තරමක් අඩු ය) මෙය, ලංකාවේ එකල බියර් මිල මෙන් දෙගුණයක් පමණ මුදලකි. මේ ඕස්ට්‍රේලියානු ඩොලරයක් රුපියල් 35 ක් වූ 1995 වසරයි.

අද වසර විසි එකකට පසුව ඕස්ට්‍රේලියානු ඩොලරයක් රුපියල් 105 (35*3) ක වන අතර පෙර කී වර්ගයේ බියර් බාග බෝතල් (මිලි ලීටර් 375) විසිහතරක පෙට්ටියක නියමිත මිල ඩොලර් 50 ක් බව ඊයේ ලිකර්ලෑන්ඩ් නම් කඩේ දී මම සටහන් කර ගත්තෙමි. කෑන් මිලදී ගන්නේ නම්, තිහකින් යුතු පෙට්ටියක් ඩොලර් 56 කි.

බියර් බාග බෝතල් (හෝ ඒ පරිමාවේ ම කෑන්) විසිහතරක පෙට්ටියක් මිලට ගැනීම, නිතර බියර් බොන්නෙකුට, සෑම විටම වාසිදායක වේ. මේ ලිපියට දත්ත සොයා ගැනීම සඳහා මා ඊයේ කළ නිරීක්‍ෂණ චාරිකාවේ දී දුටු මිල දර්ශනය අනුව, වික්ටෝරියානු බිටර් නම් බියර් වර්ගයේ බාග බෝතලයක මිල ඩොලර් 3.80 කි. හයේ පැක් එකක් ඩොලර් 17 කි. විසි හතරක පෙට්ටියක අද මිල ඩොලර් 50 ක් නමුත්, ඔබ කේස් දෙකක් ගන්නේ නම් ගෙවන්නට වෙන්නේ ඩොලර් 92 ක් පමණි. එනම්, බාගේ බෝතලයක් වෙන්නේ ඩොලර් 1.91 ක් පමණි.

බියර් බොන්නන් නිවෙස්වලට වඩාත් ම රැගෙන යන්නේ මේ මා සඳහන් කළ බාගේ බෝතල් පෙට්ටි වුව ද, පුර්ණ ප්‍රමාණයේ මිලිලීටර් 750 බියර් බෝතල් ද විකිණීමට ඇත. ඉන් එකක් ඩොලර් හයක් වන අතර බෝතල තුනක් සඳහා අද මිල ඩොලර් 16.50 කි.

පෙට්‍රල් ද ඇතුළුව, අන් සෑම පාරිභෝගික භාණ්ඩවලට මෙන්ම බියර්වලට ද නියමිත උපරිම මිලක් මිස අවම මිලක් නැත. විවිධ කඩකාරයෝ විවිධ කාලවලදී විවිධ බියර් වර්ගවලට විවිධාකාරයේ වට්ටම් ලබා දෙති. එනම්, ලබන සතියේ මේ කඩයට ගොස් මා සඳහන් කර ඇති මිලට වික්ටෝරියානු බිටර් බියර් වර්ගය ගැනීමට නොහැකි වෙනු ඇත.

බියර් වර්ග තුන හතරක් පමණක් විකිණීමට තිබුණු එකල ලංකාවේ සිට මෙරටට පැමිණි මා දුටු අනිත් වෙනස වූයේ ඕස්ට්‍රේලියාවේ විවිධ සමාගම්වලින් මෙන් ම, කුඩා කර්මාන්ත ලෙස ද නිපදවෙන බියර් වර්ග විශාල සංඛ්‍යාවක් තිබෙන බවයි. ඊට අමතරව, ලෝකයේ සෑම රටකින් ම පාහේ ආනයනය කෙරෙන බියර් වර්ග ද මෙහි මිලට ගැනීමට ඇත. අද මා ගොඩ වැදුණු කඩයේ ඉතාලියේ පෙරෝනි, මැක්සිකෝවේ කොරෝනා සහ තවත් වර්ග රාශියක් තිබුණි.

කොරෝනා ප්‍රිය කරන්නන් සඳහා සටහන් කරනවා නම්, බාගේ බෝතල් විසි හතරක පෙට්ටියක් ඩොලර් 57 කට ද, පෙට්ටි දෙකක් ඩොලර් 88 කට ද ඊයේ විකිණීමට තිබුණි.

දෙසතියකින් ආපසු ලංකාවට යන්නට සැලසුම් කර සිටි මුත්, මා කලින් කියා ඇති කරුණක් නිසා, මට මෙල්බර්න් නගරයේ සති හයක් පමණ නතරවන්නට සිදුවුණි. ඒ ඉතිරි කාලය මා ගත කළේ වෙනත් දෙදෙනෙකු සමග කාමර තුනක නිවසක් බෙදා හදා ගෙන, එකට උයාගෙන කමිනි.

ඒ කාලයේ එක් සිකුරාදා දවසක, මම නිවසට ගියේ බියර් භාගේ බෝතල් හයක මිටියක් (සික්ස්-පැක්) රැගෙනයි. මට මතක ආකාරයට එය ටූහීස් රෙඩ් නම් වූ වර්ගයක් විය.
සීතලේම සිටිමින් සීතලේ ම ඒ බියර් පානය කරද්දී මට දැනුණේ ඉතා කටුක තිත්තකි. කෙසේ නමුත්, මම ඒ සුලු කාරණාවලින් අධෛර්යමත් නොවී, බාගේ බෝතල් තුනකටම වග කිව්වෙමි. කටේ තිත්ත රස පමණක් නොව පසුවදා වන විට තරමක හිසරදයක් ද මට හිමි වී තිබුණි. ඒ රතු පැහැති ලේබල් දෙස මා ඉන් පසු දෙවරක් බලා නැත!

එකල අප වැන්නන් අතර ජනප්‍රියම බියර් වර්ගය වූයේ වික්ටෝරියා බිටර් ය. සෑහෙන්න පසු කාලයක ක්‍රව්න් ලාගර් නමැති ලංකාවේ ඒ දිනවල තිබුණු පිල්ස්නර් හැඩ රුවැති සහ රසැති වර්ගයට මාරු වීමි. හයිනකන් ද නරකම නැත.

ඕස්ට්‍රේලියාවේ ගත කළ මුල් කාලයේ දිනක් මා, වූල්වර්ත්/සේෆ්වේ කඩයක් අසලින් යන විට දුටුවේ බියර් බාගේ බෝතල් විසි හතරක පෙට්ටියක් ඩොලර් දාසයකට මිලට ගත හැකි බවයි. එහි වර්ගය ටූහීස් හෝ ෆොස්ටර්ස් විය. මම වහාම එයින් පෙට්ටියක් මිලට ගත්තෙමි.

සති අන්තයේ මිතුරෙකු ද සමග ඒ බියර් රස විඳින්නට ගිය විට දැනුණේ තරමක තනුක ගතියකි. මේ උඹ ගෙනැවිත් තියෙන්නේ ලයිට් බියර් ජාතියක් නේ යැයි, එදා ප්‍රේම් මට පහදා දුන්නේ ය. මද්‍යසාර ප්‍රමාණයෙන් අඩක් පමණ අඩු වූ ලයිට් බියර් වර්ග ද ඇති බව මා දැන ගත්තේ එදා ය. ගෙනා පෙට්ටිය අමාරුවෙන් ඉවර කරගත් පසු, ඒ ඇල්වතුර බියර් වර්ග දෙස නැවත ඇස් ඇර බැලුවේ මා නොවේ!

තවත් දිනයක, කඩයක් අසලින් යන මා දුටුවේ අප ප්‍ර්‍රිය කළ වික්ටෝරියන් බිටර් බියර් වර්ගයේ බාගේ බෝතල් විසි හතරක පෙට්ටියක් ඩොලර් විස්සකට විකිණීමට ඇති බවයි. මෙහි සාමාන්‍ය මිල ඩොලර් තිහක් වූ අතර, මසකට පමණ වරක් වට්ටම් සහිතව විකුණුනේ ද ඩොලර් විසි පහකට ය. මම වහාම පෙට්ටියක් මිලට ගත්තේ, ඒ සතියේ අප පවුල් කිහිපයක් එකතුව දින කිහිපයක චාරිකාවක් සැලසුම් කර තිබුණු බැවිනි.

මේසය වටේ හිඳගෙන බෝතල් අතට ගත් සැනින්ම මිතුරන් පැවසුවේ, මා මිලට ගෙන ඇත්තේ බියර් බාගේ බෝතල් නොව, ග්‍රෙනේඩ් නම් සුරතල් නමින් හැඳින්වෙන මිලි ලීටර් 250 ප්‍රමාණයේ කුඩා බෝතල් වර්ගයක් බවයි!

මගේ බියර් අත්දැකීම් තවත් බොහෝ තිබේ.

එසේ වුව ද, පිටකොටුව වෙළඳ පොළේ තොග මිල දර්ශකය වුවද, ටිකක් වේලා අසාගෙන සිටින විට එපා වෙන බව මම හොඳින් දන්නා නිසා මෙතැනින් නවතිමි.

අවසාන වශයෙන් කිව යුත්තේ, මා දැන් බියර් බොන්නේ ඉතාම කලාතුරකින් පමණක් බවයි. සමස්ත ඕස්ට්‍රේලියාවේ බියර් බීම ද ශීඝ්‍රයෙන් අඩුවෙමින් පවතින බව කියවේ!

එසේ වෙතත්, මේ ලිපිය සඳහා දත්ත සොයා ගැනීමට ලිකර්ලෑන්ඩ් කඩයේ රස්තියාදු වීමට අමතරව ඡායාරූපයක් ද අවශ්‍ය නිසා, සවස් වරුවේ යමක් කිරීමට සිදුවිය. සිංහල බ්ලොග් කලාව සඳහා මගේ කැපවීම කෙතරම් ද යන්න එයින් මොනවට ඔප්පු වේ.

-රසිකොලොජිස්ට්

34 comments:

  1. මිලදී ගැනීමකට පෙර ලේබලය හොඳින් කියවන්න කියන්නෙ ඕක තමයි. රසික එක්ස්පයර් වෙච්ච බඩුත් ගෙදර ගෙනියනවද දන්නෑ.

    ඔය ගානට බියර් ගන්න එයා ටිකට් හදාගෙන ඔහේ එන එක පාඩුයි. බෝට්ටුවෙන්වත් එන්න පුලුවන් උනොත් බලමු.

    ReplyDelete
    Replies
    1. // රසික එක්ස්පයර් වෙච්ච බඩුත් ගෙදර ගෙනියනවද දන්නෑ.//

      බඩු ගැන කථා බියර් වලට අදාල නෑනේ?

      Delete
    2. එක්ස්පයර් වුනු බඩු සාමාන්‍ය භාණ්ඩ අතර සඟවා හොරෙන් විකිණීම සපුරා තහනම් ය.

      කල් ඉකුත්වීමේ දිණය ලංවෙන විට බඩු කොහොමටතඒ ඉතා අඩු මුදලකට විකිණේ.

      සමහර පොඩි කඩවල නම්, ඒ බව සඳහන් කර විකිණීමට තබා තිබෙනු ඉතා කලාතුරකින් දැක ඇත. ඒ බොහෝ විට ඉතා වියලි ද්‍රව්‍යය.

      Delete
    3. ඉයන්,
      //කල් ඉකුත්වීමේ දිණය ලංවෙන විට බඩු කොහොමටතඒ ඉතා අඩු මුදලකට විකිණේ// පේන‍වනෙ. හැක්..

      Delete
    4. ඉයන්,
      සමහර බඩු ද බියර් බොති!

      Delete
    5. ඔය පැත්තේ නම් බියර් නොබොන බඩු නැති.

      Delete
  2. මටත් බියර් සම්බන්ධ කතා තොගයක් තියෙනවා...
    වෙනද ආසාවෙන් බොන බියර් වර්ගය එන්න එන්නම තිත්ත වෙන ගතියක් දැනුනා...
    ඊයේ රෑ තමයි ඒක වැඩිපුර දැනුනේ...

    ReplyDelete
    Replies
    1. උඹට උණ වෙන්න ඇති. හැක්..

      Delete
    2. ලයන් ලාගර් එකේ පොඩි වෙනසක් දැනෙනවා

      Delete
    3. ///උඹට උණ වෙන්න ඇති. හැක්..///
      ඒ වෙලාවේම බෙල්ලට අත තියල බැලුවා, ම්හු... කිසි වෙනසක් නැහැ...

      ///ලයන් ලාගර් එකේ පොඩි වෙනසක් දැනෙනවා ///
      ඒකත් එහෙමද, මම කිව්වේ අර ටින් දෙකහමාරේ වර්ගය...
      සැර වැඩි එක. ඒවා දැන් ගොඩක් තිත්තයි...

      Delete
  3. ෆෝන් ඉවරයි. දැන් බියර්!

    ReplyDelete
  4. ජපානේදී නම් මාගේ ප්‍රියතම බියර් අසාහී සුපර් ඩයි ය. අර සීගීරියේ බියර් ඇඩ් එකක් ගහපු කොම්පැනිය... කිරින්ලා ගේ ඉචිබන් ෂිබොරි බියරුත් නරක නැත.

    ReplyDelete
    Replies
    1. ජපන් බියර් මෙහේ තියෙනවා, මා නම් තවම බීලා නෑ!

      Delete
  5. -------- Original message --------

    From: chrishantha senanayake

    Date: 14/06/2016 7:07 pm (GMT+10:00)

    To: Len Kuruppu

    Subject: ///////


    අවුරුදු 25 කට අධික කාලයක් ඔස්ට්‍රේලියාවේ දිවි ගෙවන අපේ චූටි මාමාගෙන් (ඒ කිව්වෙ අම්මෙග බාලම මල්ලි ) අපිට ලැබුණු උපදෙස...සමහර සංක්‍රමිකයෝ බ්යර් බීලා පොරවල් වගේ  පට්ට බයිලා කියන නිසා ඕවට පුරුදුවෙන්න එපා කියලා  කියලා තිබුනා 

    ReplyDelete
    Replies
    1. මේ බ්‍රිස් ක්‍රිෂ් මේට් මගේ මිතුරෙක්.

      කවුරුත් මොකුත් කියන්නෙපා.

      Delete
    2. රසික දුන්න කොන්ත්‍රාත් ඉවරයි හරිනේ දැන් ,ඉමිග්රේෂන් බෝඩර් ප්‍රෝටෙක්ශන් එකෙන් පනින්න කලින් කඩේ වහලා අපි මාරු!

      Delete
  6. මම වැඩිය කැමති ජෝන් ස්මිත් බිටර් එකට. ඒ කියන්නේ ඒල් වලට. ගීනස් එක බිව කාලයක් තිබුන. නමුත් දැන් මෝල්ට් එක ටිකක් බර වැඩි වගේ. ලංකාවේ ලයන් ලාගර් එකයි ස්ටුවර්ට් එකටයි තවම කැමතියි. බැදපු හාල් මැස්සෝ එක්ක ලයන් ලාගර්. හප්පා.

    ReplyDelete
    Replies
    1. රා එක්ක හපන්නේ උම්බලකඩ නේද?

      Delete
  7. බියර් ජාති බෝන්නනම් ඇමරිකාව තමයි කියාපු රට

    ReplyDelete
    Replies
    1. මං හිතන්නේ යුරෝපය. මං ගිය රටවලින් ජර්මනිය!

      Delete
  8. බියර් එකක් බොන ගමන් කල්පනා කරන්න වෙන සීන් එක තමයි රසික අයියා කොම හරි මේකෙත් ලිපි 300ට 6 අඩුවෙන් කොටලා අහවරයිනේ කියන එක.

    ReplyDelete
    Replies
    1. ඔව්වත් වැඩ ද, මල්ලි, ඔව්වත් වැඩ ද?

      Delete
  9. මම ඕස්ට්‍රේලියාවේ දී xxxx (fourex) බියර් එක බිව්වා ; ඒක වෙන බියර් වලට වඩා හොඳයි කියලා හිතනවා

    ReplyDelete
    Replies
    1. ඒක ක්වීන්ස්ලන්තයේ ජනප්‍රිය සිඩථනිවල වැඩිය නැති බීමක්. මං බීලාම නෑ.

      Delete
  10. මගේ නම් ප්‍රියතම පානය බියර්. ලංකාවේ ගොඩක් දෙනෙකුට මතයක් තියෙනවා බියර් බීපුවාම සෙම හැදෙනවා කියලා. මට නම් කවදාවත් වෙලා නැහැ.

    සැර ජාති ගත්තත් මම ගන්නේ ටිකක් ඔකේෂනලි. මම කොහේ ගියත් කෑමට පෙර බියර් තමයි. ඒකෙනුත් මම කැමතිම ජාතිය හයිනකේන්. ඒත් අවාසනාවකට වගේ ලංකාවේ හොයාගන්න අමාරුයි. තිබුනත් ගණන් වැඩියි. ලංකාවේ ඉස්සර ජාතියක් තිබුනා "3 කොයින් රිවා" කියල. ඒකත් සුපිරිම එකක්. ඒත් දැන් ලංකාවේ තියෙන ගොඩක් බියර් නම් කසිප්පුම තමයි. ටිකක් හරි ස්මුද් යන්නේ ලයන් ලාගර් එකයි කාල්ස්බර්ග් එකයි විතරයි.

    මම සිංගප්පූරුවේ ටික කාලයක් හිටියා. ඒ කාලෙනම් ඉතින් වයිට් වයින් ම තමයි‍. ගෙදර ඉන්න දවසක් නම් උදේ ඉදලා හවස් වෙනකොට වයිට් වයින් බෝතල් 6-7 ක ට වග කියනවා. එහේදි බියර් බිම අඩුවෙන්න හේතුව මට මතක විදිහට බියර් ගනන් වැඩිවීම

    ReplyDelete
    Replies
    1. ඩොරලයට ලැබෙන මත්වීමේ ප්‍රමාණය වැඩිම දේ බීම තමයි ආරථිකයට හොඳම නුවණැති දේ!

      Delete
  11. බීර පානයට මනාපය.මුත්‍රාශය නියමෙට පිරිසිදු වීම අමතර වාසියකි.හෙහ් හෙහ්
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. ඒ කතාව වැරදියි මං හිතන්නේ.
      ඉන්පුට් වැඩි නිසා අවුට්පුට් වැඩි වුණාට වකුගඩු වෙහෙසෙනවා වැඩියි නේද?

      Delete
  12. ලංකාවේ බියර් වලින් කැමතිම ලයන් ස්ටවුට් - ලයන් ස්ට්‍රෝං දැන් ඉස්සර තරම් හොඳ තත්ත්වයක නැහැ

    ReplyDelete
    Replies
    1. ලංකාවට ආවාම බොන්න වෙන්නේ හරිම අඩුවෙන්. ඒ බොන දවස්වලත් බියර් සෙට් වෙන්නේම නැති තරම්!

      Delete
  13. රසික, Cider බොතලුත් ගත්ත නේද ලාබෙට දාල තියනකොට සික්ස්-පැක් එකක් අපේ ගෙදරත් තිබුන මේ මෑතක් වෙනකල් (යාලුවෙක් දීල)

    ReplyDelete
    Replies
    1. යාලුවෙක් නං ඒ මං වෙන්න බෑ නේද? හොඳ අහවලා විය යුතුයි!

      Delete

ඔබේ ප්‍රතිචාරය මට සතුටකි!. Your comments are most welcome!
සංයමයෙන් යුතුව ප්‍රතිචාර දක්වන්න.