Thursday 6 January 2022

රසික සූරියආරච්චි ගේ ඔමික්‍රොන් දිනපොත - My Omicron diary


හැඳින්වීම

තැස්මේනියාව යනු ඕස්ට්‍රේලියාවේ ම කොටසක් නමුත් එය ප්‍රධාන මහාද්වීපික දිවයිනෙන් දකුණු දිගින් පිහිටා ඇති කුඩා දිවයිනකි. එය වර්ග ප්‍රමාණයෙන් ශ්‍රී ලංකාවට සමාන වේ. තැස්මේනියාවේ දේශගුණය සහ පරිසරය ඕස්ට්‍රේලියාවේ අන් ප්‍රදේශවලට වඩා වෙනස් ය. සිසිල් ය. එසේම තැස්මේනියාව යනු, නවසීලන්තය මෙන් වරක් ගිය විට තුන් හතර වරක් වුවත් නැවත නැවත සංචාරය කිරීමට කැමැත්තක් ඇති වන දිවයිනකි.

බිරිද සහ පුත්‍රයා සමග මා මුලින් ම ටැස්මේනියාව සංචාරය කළේය 2017 වසරේ ජනවාරියේ දී ය. සතියක් පමණ ගත වූ ඒ සංචාරයේදී අප මූලිකවම ගත කළේ ලොන්සෙස්ටන් නගරයේ සහ අගනුවර වන් හෝබාර්ට් නගරයේ ය. ඒ කාලයේ දී දිවයිනේ දකුණු සහ නැගෙනහිර ප්‍රදේශවල් මනරම් ස්ථාන කිහිපයක්ම නැරඹුවෙමු.

තැස්මේනියාවේ වඩාත් ම සුන්දර ප්‍රදේශය නම්, උස් කඳුවලින් ගහන වූ තෙත් වනාන්තර ඇති බටහිර ප්‍රදේශයයි. මේ ප්‍රදේශයේ අප සංචාරය කළේ කෝවිඩ් වසංගතය පැතිරෙන්නට පෙර 2020 වසරේ ජනවාරි මාසයේ දී ය.

නැගෙනහිර ප්‍රදේශයේ තවත් නැරඹිය යුතු අලංකාර ස්ථාන රාශියක් ඇති නිසා නිවී සැනසිල්ලේ එහි ගත කිරීමට අපේ පවුලේ සිව්දෙනා 2021 දෙසැම්බර් මාසයේ සංචාරයක් සඳහා සැලසුම්කර ගුවන් ටිකට්පත්, නවාතැන් සහ අභ්‍යන්තර ගමනාගමන පහසුකම් මුදල් ගෙවා වෙන් කර ගත්තේ 2021 ජුනි මාසයේ දී ය. ඒ කුඩා කල අප රස විඳි ටොෆී වර්ගයක් සිහිකරන ඩෙල්ටා නම් කෝවිඩ් ප්‍රභේදය ලොව පැතිරෙන්නට පෙර ය. ඩෙල්ටාව අවසන් වෙන්නටත් පෙර ඔමික්‍රෝනයක් හිස එසවීමට නියමිත බවට ලොව කිසිවෙකු දැන නොසිටින්නට ඇත.

අපේ සංචාරය සැලසුම් කළේ දෙසැම්බර් 18 වැනි දින සිඩ්නි භ්‍යන්තර ගුවන් තොටුපොලෙන් පිටත් වී ලොන්සෙස්ටන් නගරයට පැමිණ, එහි දී කුලියට ගන්නා වාහනයකින් තැස්මේනියාවේ නැගෙනහිර වෙරළේ පිටිසර ප්‍රදේශයක කුඩා නගරයක් වන ස්වොන්සී හි දින අටක් නවාතැන් ගෙන අවට සිරි නරඹමින් සිට නත්තලට පසුදා, එනම් දෙසැම්බර් 26 වැනිදා, ආපසු නිවෙස් බලා යාමටයි.

ඩෙල්ටා කෝවිඩ් ප්‍රභේදය පැතිරෙද්දී ඕස්ට්‍රේලියාවේ සියලුම ප්‍රාන්ත රාජ්‍ය විසින් තම දේශ සීමා වසා දමා යන එන අය සීමා කරන ලදී. දෙසැම්බරය ළංවෙත්ම, මේ සීමා ලිහිල් විය. කෝවිඩ් රෝගීන් නැත්තටම නැතුව සිටි තැස්මේනියාව මේ තීරණය ගැනීමට නියමිතව තිබුණේ දෙසැම්බර් 15 දින සිට ය. නමුත් ඊට පෙර ඔමික්‍රෝනය හිස ඔසවන්නට පටන් ගත් ගත් නිසා සැලසුම් කළ පරිදි එම ගමන අපට කළ හැකිදැයි අවිනිශ්චිතතාවයක් ඇතිවිය. සංචාරය සඳහා ගෙවා තිබුණු අත්තිකාරම් යනාදිය නැවත ලබා ගත් හැක්කේ, ගුවන් ටිකට්පත් අවලංගු කළ හැක්කේ දේශසීමාව දිගටම වසා තිබුණ හොත් පමණි.

කෙසේ නමුත් එන්නත් දෙකක් ලබාගත් අයට, ඔවුන් ගමන ආරම්භ කිරීමට පැය 72 ට පෙර කළ යුතු පීසීආර් පරීක්ෂණයකින් සමත් වුවහොත් තම බලය පවතින ප්‍රදේශවලට ඇතුල්වීමට දෙසැම්බර් 15 දින සිට ඉඩ දෙන බව තැස්මේනියාවේ මහඇමති ඇතුළු ආණ්ඩුව විසින් අප බලාපොරොත්තු වූ පරිදිම ප්‍රකාශ කරන ලදී.

අප සියලු දෙනාම එන්නත් දෙකක් ලබාගෙන තිබුණි. ගමන යෙදී තිබුණේ 18 වැනි දා නිසා, සමහරවිට පීසීආර් පරීක්ෂණයේ ප්‍රතිඵල ඒමට දින දෙකක් පමණ ගතවීමටත් ඉඩ ඇති නිසා අපි පහළොස්වැනිදා සවස් වරුවේ අදාළ පරීක්ෂණය කර ගත්තෙමු. පසු දින ලැබුණු, එහි ප්‍රතිඵල සතුටුදායක වූ නිසා සැලසුම් කළ පරිදි චාරිකාව ඇරැඹීමට තිබුණු අවසාන කඩුල්ල ද සමතික්‍රමණය කෙරුණි.

අදාළ දිනයේ, එනම් දෙසැම්බර් 18 වැනිදා, අපේ ගුවන් යානය පිටත් වීමට නියමිතව තිබුණේ උදේ අට පසු වී විනාඩි දහයට නිසා නිවසෙන් පාන්දර පහමාරට පිටත් වී, ගුවන් තොටුපලට පැමිණ, අදාළ කටයුතු නිමවා, ගුවන් යානයට අප ගොඩ කරගන්නා තෙක් බලා සිටියෙමු.

නියමිත වේලාව ළඟාවිය. ගුවන් යානය පිටත්වීම තරමක් ප්‍රමාද වෙන බව නිවේදනය වීමට අමතරව වෙනත් ආරංචියක් නොලැබුණි. අපට පවසන ලද්දේ යානයේ යම් තාක්ෂණික ගැටලුවක් ඇති බවයි.

තවත් පැයකට පමණ පසු ගුවන්යානා සේවක මණ්ඩලයේ ප්‍රශ්නයක් නිසා යැයි පවසමින් අපේ ගුවන් යානය අවලංගු කරන ලදී.

අපේ චාරිකාව ඇරඹුණේ ම එලෙසින් මහා බාධාවක් සමගිනි.

ඉතුරු හරිය ගැන කුමන කතා ද?

-රසික සූරියආරච්චි

ප/ලි:
දෙවෙනි කොටස:
https://rasikalogy.blogspot.com/2022/01/theres-first-time-for-everything.html

ඡායාරූපය: මා මිල දී ගත් වයින් බෝතල් 15ක් සහිත පෙට්ටියක්

8 comments:

  1. කාලෙකට පස්සෙ

    ReplyDelete
    Replies
    1. ස්තුතියි, නමුත් මේ මා 2022 වසරේ පළ කළ තෙවෙනි ලිපියයි.

      1. කොළඹ කුලපති කේස් එක සහ විරෝධය පෑම ගැන මගේ ඩොලර් මිලියන් දෙක - Colombo University Protest December 2021
      https://rasikalogy.blogspot.com/2022/01/colombo-university-protest-december-2021.html

      2. රටින් රටට පැන ලැගුම් සොයා - Kangaroo Vannama: A novel by Lakshman Kodituwakku
      https://rasikalogy.blogspot.com/2022/01/kangaroo-vannama-novel-by-lakshman.html

      !!

      Delete
  2. ඉතිරි ටිකත් ලියන්න. කියවමි

    ReplyDelete
  3. ඉතිරි ටිකත් ලියන්න. කියවමි

    ReplyDelete
  4. බලමුකො කියවලා දෙකත්!

    ReplyDelete
  5. මේ වගේ ඒවා කියවන්න වැඩි ආසාවක් තියෙනව

    ReplyDelete

ඔබේ ප්‍රතිචාරය මට සතුටකි!. Your comments are most welcome!
සංයමයෙන් යුතුව ප්‍රතිචාර දක්වන්න.