Monday 10 January 2022

නිරෝධායන සමය ඇරඹෙයි - In isolation


අනපේක්ෂිත සිදුවීම් එකක් නොව දෙකකටම පසු දෙවන දිනයේ අලුත් පීසීආර් පරීක්ෂණයක ප්‍රතිඵල ද සමග ඇරඹුණු අපේ තැස්මේනියා සංචාරයේ මුල් දෙදින සැලසුම් පරිදි ගතවුණු නමුත් එක් අයෙකුට රෝග ලක්ෂණ පහළ වීමත් නවාතැනේ දී කළ ඇන්ටිජන් පරීක්ෂණයේ ප්‍රතිඵලය ද හොඳ නොවූ නිසාත් තුන්වෙනි දින අපට සිදුවූයේ සියලු සංචාර සැලසුම් අතහැර, පීසීආර් පරීක්ෂණ සඳහා සාම්පල ලබා දී නිවසට වී සිටීමයි. පසුදා උදෑසන වනවිට දියණියට රෝගය වැළඳී ඇති බව තහවුරු වූ නිසා එදින සවස් යාමයේ ඇයට “මෙඩි-හෝටෙල්” එකක නිරෝධායනය යාමට සිදු වූ අතර අපට නිවාඩු නිකේතනයේ ම රැඳී සිටීමට සිදුවිය.

අද එතැන් සිට.

දෙසැම්බර් 24 සිකුරාදා

දෙසැම්බර් 22 දින සිදුකළ පීසීආර් පරීක්ෂණය අනුව රෝගයක් නොතිබුණ ද, පසුදා හොඳ සනීපයෙන් යුතුව සිසිල සඟරාවේ සංස්කරණ වැඩ කිහිපයක ද නිරත වෙමින් සිට රාත්‍රී දහයට පමණ නින්දට ගිය ද, මෙදින මට උදෑසන ඇඳෙන් බැසීමට කිසිදු ශක්තියක් නොතිබුණි. ඇත්තට ම රාත්‍රී දෙක හමාරට පමණ අවදි වී වැසිකිළියට යාමට කාමරයෙන් පිටතට යද්දී ද ඇඟට තරමක අසීරුවක් දැනුණි.

මා වයිරසය වැළඳුණු රෝගියෙකුගේ සමීපතම ආශ්‍රිතයෙකු නිසාත්, මේ ඇඟට දැනෙන නිසැක අසනීප තත්වය නිසාත්, දැන් ඉතින් එන පොට හොඳ නැති බව වැටහුණු හෙයින් කෝකටත් කියා විනාඩි දහයකින් ප්‍රතිඵල ලැබෙන ඇන්ටිජන් පරීක්ෂණයක් කළෙමි. නමුත් එහි ප්‍රතිඵලය කියා පෑවේ මට රෝගය වැළඳී නැති බවයි. එසේ නොමැති නම්, එම පරීක්ෂණයෙන් සොයා ගැනීමට තරම් වයිරස් ප්‍රමාණයක් මගේ නහය තුළ නැති බවයි.

මගේ රෝග ලක්ෂණ මට සිහි කළේ පොඩ්ඩක් එහ මෙහා වී වැඩිපුර මත්පැන් වඩි දෙක තුනක් පානය කළ දිනයකට පසු දින උදයේ ඇඟට දැනෙන විජලනය නිසා ඇතිවන අපහසුතාවයි. ඇඟ පුරා හැම සෛලයක්ම වේලී ගොස් ඇති සේ දැනුණි. පොඩි පහේ හිසරදයක් ද තිබුණි.

පැරසිටමෝල් පෙති දෙකක් ද සමග වතුර වීදුරුවක් දෙකක් පානය කළ විට ඒ අපහසුකම බොහෝ දුරට නිමා විය. නමුත් මුව ආවරණය සහිතව දිගු වේලාවක් සිටීම අපහසු බව වැටහුණි.

මේ අතරතුර තැස්මේනියානු සෞඛ්‍ය බලධාරීන්ගෙන් අපට උපදෙස් ලැබුණේ වයිරසය ආසාදිත අයගේ සමීපතම ආශ්‍රිතයයින් ලෙස අපට සමාජයෙන් වෙන් වී සිටීම සඳහා රජයෙන් දිවයිනේ උතුරුකරයේ ඩෙවන්පෝට් නගරයේ නවාතැන්පොළක් වෙන්කර ඇති බවයි. ඒ උපදෙස පිළිගත් අපට කුලියට ලබාගෙන සිටි වාහනයෙන් ම එහි යාමට අවසර ලැබුණේ අතර මග කිසිදු තැනක නතර නොවන ලෙසට කළ ඉල්ලීමක් ද සමග ය. කුලියට ගත් වාහනය ගුවන් තොටුපොළේ කාර්යාලයට නොව, එම වාහන සමාගමේ ඩෙවන්පෝට් ශාඛාව විසින් භාර ගැනීමට නියමිත විය.

වාහනයේ ගමනට පැය එක දෙකක් පමණ ගත විය. සන්‍රයිස් මොටේල් නම් අප සඳහා කාමරයක් වෙන් කර තිබුණු ඒ නවාතැන, මේ දිනවල රජයේ කොන්ත්‍රාත්තුවක් මත මේ ආකාරයට කෝවිඩ් ආසාදිතයින් ගේ සමීපතම ආශ්‍රිතයින්ට නිරෝධායන පහසුකම ලබා දෙන හෝටලයකි. බිරිඳටත්, පුතාටත් මටත්, කාමර දෙකකින් යුතු නේවාසික ඒකකයක් ලැබුණි. දොරෙන් ඇතුල් වෙන විට ම දෙදෙනෙකුගේ ඇඳක්, මේසයක්, රූපවාහිනියක් සෝපාවක් සමග කාමරයකි, ඊළඟට වැසිකිළිය සහිත නාන කාමරයයි. දොරකින් ඇතුල් වී යා යුතු පිටුපස කාමරයේ තනි ඇඳන් දෙකක් මේසයක් සහ කුඩා රූපවාහිනියක් විය.

පුතා පසුපස කාමරයට ගිය අතර දෙමව්පියන් වන අපට ඉදිරිපස කාමරය ලැබුණි.

මෙහි නේවාසිකයින්ට කෑම බීම යනාදිය කාමරයේ දොරකඩට සපයනු ලැබේ. අපට තිබුණේ දෙන දෙයක් අනුභව කර කාමරයට ම වී සිටීමයි.

පසුදින කෙරෙන පීසීආර් පරීක්ෂණයේ ප්‍රතිඵල අනුව රෝගය නැතිනම්, කාමරයෙන් පිටතට විත් විශේෂ ස්ථානයක දිනපතා අඩ පැයක් ව්‍යායාම කළ හැකි බවත්, පස්වෙනි දිනයේ කරනු ලබන දෙවෙනි පීසීආර් පරීක්ෂණයක ප්‍රතිඵල අනුව අපට මේ නිරෝධායන හෝටලයෙන් පිටව යා හැකි බවත් රජයේ නිලධාරියා අපට දුරකථනයෙන් දැන්වීය.

කෙසේ වෙතත් කාමරයට පැමිණි විගස මා කළේ, ආහාරය සඳහා ලැබුණු මෂෲම් රිසෝටෝව එහෙන් මෙහෙන් ගිල දමා, නැවතත් පැරසිටමෝල් පෙති දෙකක් වතුර සමග පානය කර, ඇඳට වැටී නින්දට යෑමයි. මේ වන විට ඇස් යටින් තරමක හිසරදයක් ද නැවතත් ඇති වී තිබුණි. පැය තුනකට පමණ පසු අවදිවුණු පසු ද සුවයක් නොතිබුණි.

පුතා ද, තරමක අපහසුකමකින් සිටින බව වැටහුණු නිසා ඔහුට ඇන්ටිජන් පරීක්ෂණයක් කළ බිරිඳ නිරීක්ෂණය කර තිබුණේ පුතාට වයිරසය වැළඳී ඇති බවයි. ඉන් පැයකට පමණ අවදිවුණු මට ද ඒ සන්තෑසියම උදා වී ඇති බව ඇන්ටිජන් පරීක්ෂණය හෙළි කළේ ය.

එනිසා අප තීරණය කළේ, මා ද පුතා සිටින පසුපස කාමරයට මාරු විය යුතු බවයි. ඒ බිරිඳගේ ආරක්ෂාව පිණිස ය. එක් අයෙකු හෝ නිරෝගීව සිටීමට උත්සාහ කිරීමේ වරදක් නැත.

දැන් අප සිව්දෙනා, නගර දෙකක, හෝටල් දෙකක කාමර තුනක, ඇඳන් හතරක ය.

රාත්‍රී කෑම සඳහා අපට තිබුණු විකල්ප දෙකෙන් මා තෝරාගත් ඇංගස් බීෆ් සොසේජ් ආහාර වේලෙන් එක හමාරක් පමණ වදෙන් පොරෙන් අල චිප්ස් කිහිපයක් සමග ගිල දැම්මෙමි. එය නීරස වූයේ කෝවිඩ් රෝගය නිසා නොව ලුණු වැඩි නිසා ය. සැලඩ් ස්වලපයේ නම් වරදක් නොතිබුණි. චිකන් පාමජානා තෝරා ගත් පුතා ද කීවේ එය නීරස බවයි.

සිසිල සඟරාව නියමිත වේලාවට නිම කළ හැකි වේ දැයි සැකයක් මතු වේ. ඒ ඇඟපතේ වේදනාව නිසා ය. හෙට වෙන විට කුමකින් කුමක් වේදැයි නොදැන නින්දට ගියෙමි.

ඒ සිහිනයක් හෝ නොමැති වූ පාළු දුක්බර නින්දකි.

මේ ලිපි මාලාවේ හයවෙනි කොටසින් හමුවෙමු.
https://rasikalogy.blogspot.com/2022/01/living-in-five-metre-room.html

-රසික සූරියආරච්චි

මුල් කොටස් සඳහා සබැඳි:
1. රසික සූරියආරච්චි ගේ ඔමික්‍රොන් දිනපොත - My Omicron diary
https://rasikalogy.blogspot.com/2022/01/my-omicron-diary.html


2. මගේ ඔමික්‍රොන් සංචාරය තව දුරටත් - There's a first time for everything
https://rasikalogy.blogspot.com/2022/01/theres-first-time-for-everything.html


3. ඔමික්‍රොන් උදාවීම - Oh, yeah, at last!!!
https://rasikalogy.blogspot.com/2022/01/oh-yeah-at-last.html


4. ඔමික්‍රොන් සමයේ මුල් දවස - It is already here among us
https://rasikalogy.blogspot.com/2022/01/it-is-already-here-among-us.html


(ඡායාරූපය: තැස්මේනියාවේ ලෙඩුන් ප්‍රවාහනය කරන රථයක්)

14 comments:

  1. සනීප වුනානේ . ලොකු දෙයක්.

    ReplyDelete
    Replies
    1. තද අසනීපයක් ආවේ නෑ, බොහෝවිට ඉන්ජෙක්ෂන් නිසා. හැබැයි මං බූස්ටරය ගැහැව්වේ නෑ.

      Delete
  2. Replies
    1. පංච තන්තරේ වගේ කතාව ඇදී ගියා අනේ
      😄

      Delete
  3. සිදුවීම හොද නැති වුණත් ඔබේ සටහන් පෙල බය නැතුව වසංගතයට මුහුණ දෙන්නට කා හට වුවත් හොද අත්වැලක් වේවි.

    ReplyDelete
  4. ඒක එහෙම උනා එහෙනං.

    ReplyDelete
  5. Replies
    1. දුක නැති කිරීම, දුක නැති කිරීමේ මාර්ගය!

      Delete
  6. Nice writing Raska, although your experience is not nice to you and your family. Hope everyone is recovered and well now.

    ReplyDelete
  7. සනීප වු බව අසන්නට ලැබීම සතුටුයි...

    ReplyDelete
  8. මට තුන්වෙනි මාතාව ට Pfizer එන්නත ගත්තා ඊයේ . දැන් මටත් උන , ඔලුව කැක්කුම,කැරැකැවිල්ල තියෙනවා . කොරෝනා හැදුනා නම් කොහොම ඇතිද කියලා හිතෙනවා 😪

    ReplyDelete

ඔබේ ප්‍රතිචාරය මට සතුටකි!. Your comments are most welcome!
සංයමයෙන් යුතුව ප්‍රතිචාර දක්වන්න.