Wednesday 12 January 2022

නුඹ නාඩං, නුඹ නාඩං හෙවත් පීසීආර් පරීක්ෂණයේ ප්‍රතිඵල ආ දා - Oh, what a feeling

Smoked Salmon
මුල් දිනයේ බාධා වී, එනිසා දිනකින් ප්‍රමාද වී, ඇරඹුණු අපේ තැස්මේනියානු සංචාරයේ මුල් දින දෙක හොඳින් ගත වුණත්, තුන්වෙනි දිනයේ අපට සිදුවුණේ කෝවිඩ් වයිරසය සඳහා පීසීආර් පරීක්ෂණ කරගෙන නවාතැනට වී සිටීමටයි. ඊළග දිනයේ වයිරසය වැළඳුණු අප දියණිය හෝබාර්ට් නගරයේ "මෙඩි-හොටේල්" මධ්‍යස්ථානයකට ගෙනයන ලද අතර තවත් දිනකට පසු අප ද, නිවාඩු නිකේතනය හැර දා ආසාදිතයින්ගේ සමීපතම ආශ්‍රිතයින් සඳහා වෙන්වුණු හෝටලයකට ආවෙමු.

ඒ ආ මුල් දිනයේ ම ඇන්ටිජන් පරීක්ෂණයකින් කෝවිඩ් වැළඳී ඇති බව දැනගත් මම, දෙවෙනි දිනයේ කළ පීසීආර් පරීක්ෂණයේ ප්‍රතිඵල එනතුරු දැන් බලා සිටිමි.

අද එතැන් සිට:

දෙසැම්බර් 26

උදෑසන අවදි වූයේ කැස්ස, සෙම්ප්‍රතිශ්‍යාව හෙවත් නහයෙන් හොටු ගැලීම සහ ඇඟපතේ වේදනාව සමඟිනි. නැවතත් ඇඳට වැටී තව පැය තුනක් පමණ නිදා ගත්තෙමි. උදෑසන ආහාරය සඳහා පාන් පෙති දෙකක් මාමලේඩ් සමග ගිල දැමූ පසු ෆේස්බුක් එකේ සැරිසරන්නට ද, සඟරාවේ සංස්කරණ කටයුතුවල නිරත වන්නට ද, සිතේ තරමක් දිරිය ඇතිවිය.

උදෑසන 12 වෙන්නටත් පෙර දිවා ආහාරය ලැබුණු නමුත් කෑමට සිතක් ඇති වූයේ ඉන් පැය එකහමාරකට පමන පසුව ය. දුම් ගසන ලද සැමන්, කඩල සහ සලාද සහිත එම ආහාර වේල සාපේක්ෂව ඉතා රසවත් එකක් විය. ප්‍රථම වතාවට කෑම පැකට්ටුව ම කෑවෙමි.

සවස තුන පමණ වනවිට බිරිඳගේ පීසීආර් පරීක්ෂණයේ ප්‍රතිඵල ලැබුණි. ඇයට වයිරසය නැත. නමුත්, පුතාට සහ මට කිසි දැනුම් දීමක් නොලැබුණි. එසේ සාමාන්‍යයෙන් ප්‍රතිඵල ප්‍රමාද වෙන්නේ වයිරසය ඇති අයට බව අපි පෙර අත්දැකීමෙන් දැන සිටියෙමු. කොහොමටත් අපේ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණයේ ප්‍රතිඵල බොරු වෙන්න බැහැ නොවැ? එනිසා සිදුවන්නට යන්නේ කුමක්ද යන්න පිළිබඳ අපට පුදුමයක් තිබුණේ නැත.

හවස පහමාරට පමණ පුතාට ලැබුණු එස්.එම්.එස්. පණිවිඩයෙන් ඔහුගේ වයිරසය ආසාදනය තහවුරු කරන ලදී. ඒ පණිවිඩයේ ම සෞඛ්‍ය අංශය විසින් ඔහුට යම්කිසි ෆෝර්මයක් පිරවීමට සබැඳියක් ද ලබා දී තිබුණි. මට රෝගය වැළඳී ඇති බව දක්වන පණිවිඩය ලැබුණේ පුතා එම ෆෝර්මය ද පුරවා, තවත් පැයකට පමණ පසුවයි.

ඒ පණිවිඩය බලාපොරොත්තු වූ අන්තර්ගතය සහිත එක ම වූව ද පෙර කී ෆෝර්මය ඒ වෙනුවට මට එවා තිබූ එස්.එම්.එස්. පනිවිඩයේ සබැඳිය මා රැගෙන ගියේ මා ආසාදිතයෙකුගේ සමීපතම සබැඳියෙකු නිසා එන් වී සිටිය යුතු ය යන දැන් මට අදාළ නැති පණිවිඩයකටයි. ඒ පිළිබදව පැමිණිල්ලක් කළෙමි. නමුත් සිදුවුණු දෙයක් නම් නැත.

මෙතෙක් කල් කෝවිඩ් රෝගීන් එතරම් නොසිටි රාජ්‍යයක් නිසා, තැස්මේනියාවේ මේ කටයුතු තවමත් නිසි පරිදි සැකසී නැති බව දෙවෙනි වතාවටත් පෙනී ගියේ ය. මුල් අවස්ථාව, ඊයේ රාත්‍රියේ බිරිඳට ආ දුරකථන පණිවිඩයයි.

කෝවිඩ් ආසාදිතයින් පිළිබඳ කටයුතු කරන්නේ තැස්මේනියානු සෞඛ්‍ය සේවාවයි. එහි ද විවිධ කණ්ඩායම් සිටී.

නමුත් ආසාදිතයින් ගේ සමීපතම ආශ්‍රිතයින්, එනම්, සමාජයෙන් දුරස්ථ වී මේ හෝටලයේ සිටින අප වැනි පිරිස් ගැන සොයා බලන්නේ තැස්මේනියානු ප්‍රජා සේවාවයි. අපේ කටයුතු සොයා බැලීමට සම්බන්ධීකාරකයෙකු ද පත්කර තිබේ.

නමුත්, විවිධ කණ්ඩායම් අතර ගණුදෙණු කෙරෙන්නේ ඊ-මේල් එහා මෙහා යැවීමෙන්, පැරණි අකාර්යක්ෂම ක්‍රමයට ම, බව පෙනේ.

කෙසේ වෙතත්, තවත් ටික වේලාවකට පසු “කන්ටෑක්ට් ට්‍රේසර්” හෙවත් ආසාදිතයින්ගේ ළඟම සබඳතා සොයන කණ්ඩායමේ අයකු පුතාට ද, මට ද, දෙදෙනාට ම එකම දුරකථන ඇමතුම ඔස්සේ කථා කරමින් අපේ සියලු විස්තර ලබා ගන්නා ලදී. මෙ කාර්යය සඳහා පැයකටත් වඩා කාලයක් ගත විය. අවසානයේ ඇය පවසා සිටියේ ආසාදිතයෙකු නොවන මගේ බිරිඳ මේ කාමරයෙන් පිට වී, අප දෙදෙනාගෙන් වෙන් වී තනිවම සිටීමට වෙනත් කාමරයකට යා යුතු බවත්, සම්බන්ධීකාරකට කතා කර මේ විස්තරය අප විසින් දැනුම් දිය යුතු බවත් ය. ඒ සමගම එක්කෝ අද රාත්‍රියේ ම, එසේ නොමැති නම් හෙට උදේ, අප දෙදෙනාව මෙම මධ්‍යස්ථානයෙන් ඉවත් කර වෛද්‍ය පහසුකම් ඇති “මෙඩි-හොටේල්” මධ්‍යස්ථානයකට ගෙන එන බව ද දැනුම් දෙන ලදී.

ඒ අනුව මොටේලයේ කළමනාකරුට කතාකර වෙනත් කාමරයක් පිළියෙල කර ගැනීමෙන් පසු බිරිඳ, පුතා සහ මා දෙදෙනා අපේ පවුල් කාමරයේ දමා, පිටත්ව ගියා ය. ඇගේ අලුත් කාමරය ඇස එක ගැටෙන මානයේ තිබූ, දුරින් වුවත් එකිනෙකා හඳුනා ගත ඇති ආකාරයට ජනේලයෙන් බැලූ විට එකිනෙකා පෙනෙන එකක් වූ නිසා මේ වෙන්වීම ලොකු දුකක් ගෙන දුන්නේ නැත.

මෙදින රාත්‍රියේ කෑමට ලැබී තිබුණේ නැවත්ත් බැදපු මාළු සහ බැදපු අල පෙති ය. ලුණු වැඩි මාළු කෑලි දෙකෙන් එකක් සෝස් සමග අමාරුවෙන් ගිල දැමූ නමුත්, අල පෙති නම්, වෙනදා මෙන් ම, කන්නට ප්‍රියජනක ආකාරයට සැකසු ඒවා නොවී ය.

කැස්ස, කිවිසුම් යාම, උගුරේ මද අසහනය, ඇඟපත රුදාව දිගටම තිබෙද්දී නිදාගන්නට ගියෙමි.

එතැන් සිට විස්තරය මේ ලිපි මාලාවේ අටවෙනි කොටසින් කියවන්න:
https://rasikalogy.blogspot.com/2022/01/medi-hotel-at-last.html

-රසික සූරියආරච්චි

මුල් කොටස් සඳහා සබැඳි:
1. රසික සූරියආරච්චි ගේ ඔමික්‍රොන් දිනපොත - My Omicron diary
https://rasikalogy.blogspot.com/2022/01/my-omicron-diary.html


2. මගේ ඔමික්‍රොන් සංචාරය තව දුරටත් - There's a first time for everything
https://rasikalogy.blogspot.com/2022/01/theres-first-time-for-everything.html


3. ඔමික්‍රොන් උදාවීම - Oh, yeah, at last!!!
https://rasikalogy.blogspot.com/2022/01/oh-yeah-at-last.html


4. ඔමික්‍රොන් සමයේ මුල් දවස - It is already here among us
https://rasikalogy.blogspot.com/2022/01/it-is-already-here-among-us.html


5. නිරෝධායන සමය ඇරඹෙයි - In isolation
https://rasikalogy.blogspot.com/2022/01/in-isolation.html


6. ඇන්ටිජන් පරීක්ෂණයෙන් පසු - Living in a five metre room
https://rasikalogy.blogspot.com/2022/01/living-in-five-metre-room.html


(පින්තූරය: දිවා ආහාරය)

2 comments:

ඔබේ ප්‍රතිචාරය මට සතුටකි!. Your comments are most welcome!
සංයමයෙන් යුතුව ප්‍රතිචාර දක්වන්න.