Wednesday 19 January 2022

මගේ ඔමික්‍රොන් දිනපොතේ පිටු නිමවේ! - Last scroll of my Omicron diary


මගේ ඔමික්‍රොන් කතාව මෙතෙක් ගලා ගියේ මෙසේ ය.
අද එතැන් සිට.

ජනවාරි පළමුවෙනි දා

සති දෙකක කාලයක් තිස්සේ ගලා ගිය මගේ ඔමික්‍රොන් දිනපොතේ අද පළ වෙන්නේ අවසාන කොටසයි.

ඇත්තටම මේ අවසාන කොටස බව අප කිසිවෙකු ඊයේ දිනයේ දී දැන සිටියේ නැත. පෙර කතාංගයේ මේ ගැන කිසිදු සඳහනක් නොවුනේ ඒ නිසා ය.

පෙර දා රාත්‍රියේ සිසිල සඟරාවේ සියලු වැඩ නිමවා උදෑසන හයට ඊ-මේල් මගින් සඟරාව සිය ගණනකට බෙදා හරින්නට සකසා මා නින්දට යනවිට රාත්‍රී දෙකේ කණිසම ද ළඟා වී තිබුණු නිසා උදෑසන ඇඳෙන් බැස්සේම දහයට පමණ ය.

නව දවසක් උදා වී ඇත. නව මාසයක් ලබා ඇත. මේ නව වසරකි. ඒත්, නව වසරේ නව හිරුගේ, නව සඳුගේ කැළුම් වෙනදා මෙන් බලන්නට මට හෝ පවුලේ කිසිවෙකුට හෝ නොහැක. අප සිව් දෙනාම තවමත්, එක්තරා ආකාරයක සිරකරුවෝ ය.

මෙහෙම නව වසරක් ජීවිතේටම උදා වී නැත!

එක් සැනසිල්ලක් වනුයේ දියණිය සහ පුතා අද මේ සිරගත් ජීවිතයෙන් මිදීමට නියමිත වීමයි.

පාතරාසයෙන් පසු, නැවතත් වරකට 100 ක් දෙනාට එක් ඊ-මේලයක බීසීසී කරමින් “සිසිල” සඟරාව යවන්නට පටන් ගත්තෙමි. මොහොතකින් ගූගල් ජීමේල්කාරයා මට දැනුම් දුන්නේ අද දිනය සඳහා වූ මගේ ඊ-මේල් කෝටාව අවසාන බවයි. ඇත්තටම ඒ පණිවිඩය නොදැක ඒ වන විට මම තවත් ලිපින සීයක් සහිත ඊ-මේල් තුන් හතර වටයක් යවා තිබුණි.

ඒ ගැන විමසා බලා, නැවත යැවිය යුතු වේ. ඒ අද නොව හෙට ය. පැය විසි හතරකට පසු ය.

උදේ මා ඇඳේ සිටිද්දීම හෙදිය කතා කර රෝගී තත්වය ගැන විමසා, උෂ්ණත්වමානයේ ශ ඔක්සිජන්මානයේ පාඨාංක ද ලබා ගත්තාය. දැන් කැස්සද අඩු බව මම ඇයට පැවසීමි.

උදෑසන එකොළහට පමණ දියණිය අප අමතා ඇය මෙඩි-හෝටලයෙන් පිට වූ බවත්, සිඩ්නි බලා යන ගුවන්යානයට තව කල් වේලා තිබෙන නිසා හෝබාර්ට් නගරයේ දී දිවා ආහාරය ගෙන තරමක් වේලා රැඳී සිට පසුව ගුවන් තොටුපොළට යන බවත් දන්වා සිටියා ය.

පුතා ද, ගමන් මලු සකසා ගෙන දිවා ආහාරය ද ගෙන පිටව යාමට සැරසී හෙදියගෙන් පණිවිඩයක් එන තුරු අල්ලපු කාමරයේ බලා සිටී.

තවත් සුලු මොහොතකින් දියණිය කීවේ, ඇය ඊයේ ප්‍රවේශපතක් ලබාගත් ගුවන්යානය් අවලංගු කර ඇති බවත්, ඇය වහාම සොයා බලා, ඊට අඩ පැයකට පමණ පසු හෝබාර්ට් සිට සිඩ්නි බලා යන වෙනත් ගුවන් සේවයකට අයත් යානයක අසුනක් වෙන් කර ගත් බවත් ය. ගුවන්ගමන් අවලංගු වීම මේ කෝවිඩ් සමයේ ඉතා සාමාන්‍ය දෙයක් බවට පත් වී ඇති බව පෙනේ.

දහවල් දොළහහමාරට පමණ හෙදිය කතා කළා ය. ඇය පවසා සිටියේ අප කිසිසේත්ම බලාපොරොත්තු නොවූ කතාවකි. එනම්, අප දෙදෙනාටද අද දිනයේ ම, මෙඩි-හෝටලයෙන් පිට වී යාමට අවසර දීමට වෛද්‍යවරුන් තීරණය කළ බවත්, අපේ නිදහස් කිරීමේ ලිපිය සවස දෙකට පමණ ලබා ගත හැකි බවත් ය.

පුදුමයට කරුණ නම්, මට ඇතිවූයේ අපේක්ෂා භංග වූ විට ඇතිවෙන හැඟීමකි!

අනෙක් කාරණය නම්, මේ වන විට ලොන්සෙස්ටන් නගරයේ සිට සවස් වරුවේ සිඩ්නි බලා යන සියලුම ගුවන් යානා (සියලුම කීවාට දෙකකි!) පිරී ඉතිරී ගොස් තිබීමයි.

“අපි හෙට උදේ යන්න ටිකට් අරගෙන අද රැයත් මෙතැනම ඉඳිමු” යැයි මා බිරිඳට පැවසූ විට ඇය තරමක් කෝපයට ද පත් වුණා ය.

“කොහොම හරි යන්න බලමු, අද ටිකට් නැති වුණත්, මෙතැනින් ගිහින් වෙන හෝටලයක ඉම්මු!” ඇය කීවාය.

වාසනාවක මෙන්, අල්ලපු කාමරයේ සිට තම ජංගම දුරකථනයෙන් පිරික්සා, අප වෙනුවෙන් ද, ඔහු යාමට නියමිත මෙල්බර්න් හරහා යන දීර්ඝ ද්විත්ව ගුවන් ගමනට ප්‍රවේශ පත් දෙකක් ලබා ගැනීමට පුතා සමත් විය.

ඉතිං, සවස දෙකට පමණ, අප තිදෙනා කෝච්-හවුස් හොටේල් පරිශ්‍රයට සමු දුන්නෙමු.

අපට නිකුත් කර තිබුණු කොරන්ටීන් රැඳවීමෙන් නිදහස් කෙරෙන ලිපියේ වෛද්‍ය නිලධාරියා පවසා තිබුණේ, අප සිව් දෙනාම ආසාදිත වූයේ එක දිනයක නිසා, සිව් දෙනාම දැන් අවශ්‍ය දින ප්‍රමාණය කොරන්ටීන් වී ඇති බවයි.

ටැක්සියකින් ගුවන් තොටුපොළට ගිය අපි තිදෙනා පැය තුනකටත් වඩා එහි රැඳී සිට මුලින්ම ඉතා කුඩා ගුවන් යානයකින්, මට මතක් ආකාරය එහි ආසන තිබුණේ විසි හතරක් පමණි, මෙල්බර්න් ගුවන් තොටුපොළටත්, එතැනින් විශාල ප්‍රමාණයේ යානයකින් සිඩ්නි අභ්‍යන්තර ගුවන් තොටුපොළටත් ආවෙමු.

හෝබාර්ට් නගරයේ සිට පැමිණි දියණිය අපට මුණ ගැසුණේ රාත්‍රී අටහමාරට පමණ ය. අප සිව්දෙනා මෙලෙස මුණ ගැසුණේ දෙසැම්බර් 23 දිනට පසුව ය.

එය ඉතා සන්තෝෂජනක, එමෙන්ම සංවේදී, අවස්ථාවක් වූ බව, අමුතුවෙන් කිවයුතු නැතත්, මෙලෙස ලියා තබමි.

අනපේක්ෂිත සිදුවීම්, අපේක්ෂා භංගවීම් මෙන්ම ඉතා විශාල මුදල් නාස්තියක අත්දැකීමද අපට ලබා දුන් සූරියආරච්චි පවුලේ තැස්මේනියා සංචාරය එලෙස නිමා විය.

කොටස් දහහතරකින් යුතු මේ දීර්ඝ දින සටහන් මාලාව කියවූ ඔබට මගේ ස්තුතිය පිරි නමමි.

ජයවේවා.

-රසික සූරියආරච්චි

මුල් කොටස් සඳහා සබැඳි:
1. රසික සූරියආරච්චි ගේ ඔමික්‍රොන් දිනපොත - My Omicron diary
https://rasikalogy.blogspot.com/2022/01/my-omicron-diary.html


2. මගේ ඔමික්‍රොන් සංචාරය තව දුරටත් - There's a first time for everything
https://rasikalogy.blogspot.com/2022/01/theres-first-time-for-everything.html


3. ඔමික්‍රොන් උදාවීම - Oh, yeah, at last!!!
https://rasikalogy.blogspot.com/2022/01/oh-yeah-at-last.html


4. ඔමික්‍රොන් සමයේ මුල් දවස - It is already here among us
https://rasikalogy.blogspot.com/2022/01/it-is-already-here-among-us.html


5. නිරෝධායන සමය ඇරඹෙයි - In isolation
https://rasikalogy.blogspot.com/2022/01/in-isolation.html


6. ඇන්ටිජන් පරීක්ෂණයෙන් පසු - Living in a five metre room
https://rasikalogy.blogspot.com/2022/01/living-in-five-metre-room.html


7. නුඹ නාඩං, නුඹ නාඩං හෙවත් පීසීආර් පරීක්ෂණයේ ප්‍රතිඵල ආ දා - Oh, what a feeling
https://rasikalogy.blogspot.com/2022/01/oh-what-feeling.html


8. අවසානයේ මෙඩි-හෝටලයට ආවෙමු - Medi-Hotel, at last!
https://rasikalogy.blogspot.com/2022/01/medi-hotel-at-last.html


9. මෙඩි-හෝටලයේ විස්තර - First night at our Medi-Hotel
https://rasikalogy.blogspot.com/2022/01/first-night-at-our-medi-hotel.html


10. ඔමික්‍රොන් දින පොතේ දහවෙනි කොටස - Life continues in Medi-Hotel
https://rasikalogy.blogspot.com/2022/01/life-continues-in-medi-hotel.html


11. ඔමික්‍රොන් මැද්දේ, ජීවිතේ පැද්දේ - When is this going to end?
https://rasikalogy.blogspot.com/2022/01/when-is-this-going-to-end.html


12. ඔමික්‍රොන් කළුවලාවේ රිදී රේඛාවක් - What was that silver line in the dark Omicron cloud?
https://rasikalogy.blogspot.com/2022/01/what-was-that-silver-line-in-dark.html


13. අවුරුද්දේ අවසන් දා ඔමික්‍රොන් මැද ගෙවුණු හැටි - Good bye Omicronian 2021
https://rasikalogy.blogspot.com/2022/01/good-bye-omicronian-2021.html


(ඡායාරූපය: ලොන්සෙස්ටන් ගුවන් තොටුපොලේ දර්ශනයක්)

23 comments:

  1. Thanks for sharing your expereince Rasika. Not a good expereince for you and your family but you have written it very nicely to the reader. I personally waited for your writings to be published. Wish and hope everyone is receovered well. Keep on writing.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ප්‍රසාදිකා!

      අප සැම සුවෙනි.

      Delete
  2. සියලුම කොටස් කියෙව්වා. කැන්ගරු රටේ කොරෝනා පාලනය ගැනත් ගොඩක් විස්තර දැන ගත්තා. ඔබ සියලු දෙනාටම නිදුක් නිරෝගී සුව පතනවා. දන්නැති නිසා පොඩි ප්‍රශ්නයක් අහන්නම්. මේ වගේ අවස්ථාවක ඔබලා රාජකාරි කරන ආයතන වලින් මොන වගේද ක්‍රියා කරන්නේ. මම අහන්නේ වෙඩිපුර නිවාඩු ගත්ත දවස් වලට ක්‍රියාමාර්ගයක් ගන්නවද?

    ReplyDelete
    Replies
    1. මේවා ලෙඩ නිවාඩු නේ. මේ කාලේ මීට වඩා ලොකු අසනීපයක් නැති තරම් නේ.

      තමන්ගේ වාර්ෂික නිවාඩු මත ඉන්නා විට අසනීප වුණොත්, ඒ නිවාඩු ලෙඩ නිවාඩු බවට වෙනස් කළ හැකියි.

      තමන්ගේ ව්‍යාපාරක් හෝ ව්‍යාපාරයක් ලෙස වෘත්තියේ යෙදෙන (උදාහරණයක් ලෙස ලංකාවේ ඩිස්පැන්සරියක ලෙඩුන් බලන දොස්තරෙකු සළකන්න) අයෙකුට ආදායම් නැතිවෙනවා.

      Delete
  3. ඔක්කොම කියෙව්ව

    ReplyDelete
  4. මදෑ ඔහොම හරි විස්තරේ අවසාන උනා.

    ReplyDelete
  5. VIJITHA THALPAVILA19 January 2022 at 20:03

    රසික , මදෑ ඔයින් ගියා !
    වෙච්ච අකරතැබ්බයක් ගැන උණත් බොහෝම ලස්සනට
    ලියා තිබුණා, හරියට නව කතාවක් වාගේ .
    මා දැක තියෙන විදියට , ඔබට ප්‍රබන්ධ කතාවලට
    වඩා සැබෑ සිදුවීම් සිත් ගන්නා ලෙස පාටකයන්ගේ
    කුතුහලය රඳවා ගනිමින් ඉදිරිපත් කිරීමේ
    සුවිශේෂී හැකියාවක් තිබෙනවා ! ජයවේවා !

    ReplyDelete
    Replies
    1. ස්තුතියි විජිත.

      ඇත්තටම මං ප්‍රභන්ධ කතා ලියා ඇත්තේම නැති තරම්.

      Delete
  6. what a waste of time.. there anything new in here other than the writers dull and drab experience ?

    ReplyDelete
    Replies
    1. හරියටම හරි. කියවූ දේ හොඳින් තේරුම් ගොස් තිබෙන බව පේනවා.

      මගේ අත්දැකීම් නොමැති දෙයක් කියවීමට නම්, මා ලියන රසිකොලොජි බ්ලොගයේ ලිපි නොව වෙනත් තැන්වල පළවෙන දේ කියවිය යුතු බව ඔයාගේ අබ ඇටේට තේරුණේ නැතිද?

      Delete
  7. අය්යෝ, දඩස් ගාලා ඉවර වුනානේ, මටත් ඇතිවූයේ අපේක්ෂා භංග වූ විට ඇතිවෙන හැඟීමක්ම තමයි. හතර දෙනාම එකම දවසේ ගොඩයාම ගැන සන්තෝෂයි.

    ReplyDelete
    Replies
    1. මුලින් හිතාගෙන හිටි විදියට ජනවාරි පස්වෙනිදා වෙන්තුරු ඉන්න වුණා නම් තව සතියක් ම දිනපොත ලියන්න වෙනවා.

      Delete
  8. රසික මේ බ්ලොග් එක ලියන එක තවදුරත් තේරුමක් තියෙනවද ?
    බලන්න ඔයේගේ FB එකේ උනත් පම්පොරියක් ඇරෙන්න වෙන දෙයක් නෑ.
    වෙන කෙනෙක් මොකක් හරි වැදගත් දෙයක් දම්මමත් ඔයා කරන්නේ ඔයාගේ මේ බ්ලොග් එකේ ලින්ක් එකෙක් එකේ දාන එක . ඔයාට attention එක ඕනේ නේද

    ReplyDelete
    Replies
    1. මිත්‍රයා, බ්ලොග් (Blog) කියන වචනයේ තේරුම දන්නවා ද? නැති බවයි පෙනෙන්නේ!

      Blog = Web Log

      ලොග් එකක් කියන්නේ දිනපොතක් මෙන් එදිනෙදා සිදුවෙන දේ ගැන ලියවෙන සටහන් මාලාවක් තිබුණා. වෙබ් ලොග් කියන්නේ එය ඉන්ටර්නෙට් හරහා කියවිය හැකි පරිදි සයිබර් අවකාශයේ ලියවෙන් විටයි. weB + LOG = BLOG.

      මා මේ රසිකොලොගි නම් බ්ලොග් එක ඇරඹුවේ මට ඕනෑ දේ ලියන්නයි.

      මා ගැන මා ලියන දේ කියවන කොට ඔබට ඉත්තෑවෝ දුවනවා නම්, අනේ කරුණාකර වෙන දෙයක් කියවන්න.

      මා සැමදා ලියන්නේ මා ගැන, මා සම්බන්ධ දේවල් ය. ඔබ ලියන්නේ කා ගැන ද?

      එසේම, මා කඩේ යන්නේ මගේ ඉවසට බඩු ගෙන ඒමටයි. මා හෝදන්නේ මගේ රෙදිය. මා පොලිෂ් කරන්නේ මගේ සපත්තු ය.

      ඔබට ඉක්මන් සුවය පතමි.

      Delete
  9. කමක් නැහැ ... හතර දෙනා ම රෝහල් ගත නොවී වැඩි අමාරුවක් නැතුව සුව උනානෙ. දිගු කාලින effects නැතුව දැන් යථා තත්වයට පත් වෙලා ඇති කියල ප්‍රර්ථනා කරනවා

    ReplyDelete
    Replies
    1. ස්තුතියි. මට හැර අනිත් තුන් දෙනාට වැඩි අමාරුවක් වුණේ නෑ.

      Delete
  10. සියලුම ලිපි කියෙව්වා... බොහොම ස්තුතියේ.. ඔබගේ සිසිල සඟරාව ලබාගතහැක්කේ කෙසේද.. akabeykoon3@gmail.com

    ReplyDelete
    Replies
    1. හිතවත් අරුණ,

      ඔබේ ඊ-මේල් ලිපිනය ලබා දීම පිළිබඳව ස්තුතියි. "සිසිල" මාසික ඊ-සඟරාවේ හයවෙනි කලාපය (පෙබරවාරි 2022) එව්වා.

      පෙර කලාප පහක් ඇත. ඔබට අවශ්‍ය නම් එවන්න පුලුවනි.

      කියවන්න, කරුණාකර ඔබේ අවංක ප්‍රතිචාරය ලබා දෙන්න. සිංහල කියවීමට කැමති ඔබේ මිතුරන් අතරේ බෙදා හරින්න.

      ඉදිරි කලාප පිටපත් අවැසි අයට පහත ලිපිනයට ඊ-මේලයක් එවන්නැයි කියන්න.

      sisila.sangarawa@gmail.com

      ස්තුතියි,

      -රසික සූරියආරච්චි,
      සංස්කාරක, සිසිල මාසික ඊ-සඟරාව
      සිංහල සංස්කෘතික හමුවේ ලේඛක සංසදය

      Delete

ඔබේ ප්‍රතිචාරය මට සතුටකි!. Your comments are most welcome!
සංයමයෙන් යුතුව ප්‍රතිචාර දක්වන්න.