Sunday 9 January 2022

ඔමික්‍රොන් සමයේ මුල් දවස - It is already here among us


අප තැස්මේනියාගේ ගියේ ඔමික්‍රොන් නිසා ගුවන් ගමන අවලංගු වූ මුල් දිනයේ නොව නැවතත් පීසීආර් පරීක්ෂණයකින් ද සමත්ව ඊට පසු දිනයේ ය. එහි ගත කළ මුල් දින දෙක සැලසුම් කළ පරිදි සංචාරයේ යෙදුණු නමුත් ඒ දෙවෙනි දිනය අවසානයේ එක් අයෙකුට රෝග ලක්ෂණ පහළ වී නවාතැනේ දී කළ ඇන්ටිජන් පරීක්ෂණයේ ප්‍රතිඵලය ද නරක වූ නිසා පසු දින අප කළේ සියලු සැලසුම් අතැර, පීසීආර් පරීක්ෂණ සඳහා සාම්පල ලබා දී නිවසට වී සිටීමයි.

එදින රාත්‍රියේ පීසීආර් ප්‍රතිඵල එස් එම් එස් මගින් ලැබෙන්නට පටන් ගත්තේ ය.

අද එතැන් සිට.

දෙසැම්බර් 23 බ්‍රහස්පතින්දා

ප්‍රතිඵල එන්නට පටන් ගත්තේ මැදියම් රැය පසු වූ පසුවයි, මගේ නම් රාත්‍රී 12:16ට ය. මට වයිරසය නැත. බිරිඳට ද නැත. පුත්‍රයාට ද නැත.

උදේ පාන්දර වන විට අපට දැනගන්නට ලැබුණේ දියණිය ගේ ප්‍රතිඵලය පොසිටිව් බවයි. එනම්, ඇයට රෝගය වැළඳී ඇති බවයි.

දැන් ඇය කෝවිඩ් ආසාදිත රෝගියෙකි. අප තිදෙනා, ක්ලෝස් කන්ටෑක්ට්ස් හෙවත් සමීපතම ආශ්‍රිතයින් ය. සෞඛ්‍ය උපදෙස් පරිදි අප කළ යුතුව තිබුණේ, ආසාදිතයා වෙනම නිරෝධායන වීමත්, අන් අය වෙනමත් වෙන් වී සිටීමත් ය. ඉතින් අප මෙදින කළේ මුඛ ආවරණ පැළඳගෙන දියණිය නිවඩු නිකේතනයේ එක් නිවෙසකත්, අප වෙනමත්, එකිනෙකාගෙන් දුරස්ථව කල් ගෙවීමයි. අපේ නේවාසික ස්ථානයෙන් පිටතට නොගියෙමු.

පසුගිය සැප්තැම්බරයේ සිට මම “සිසිල” නම් සිංහල සාහිත්‍යමය සඟරාවක් සංස්කරණය කරමි. ඕස්ට්‍රේලියාවේත්, වෙනත් රටවලත් වෙසෙන සිංහල ලේඛකයින්ගේ ලිපි ඇතුළත්, ලොව පුරා ඊ-මේල මගින් බෙදා හැරෙන මේ සඟරාව සංස්කරණය කිරීම සෑහෙන කාලයක් මිඩංගු කළ යුතු කාර්යයකි. සඟරාව මාසයේ පළමුවෙනිදා බෙදා හැරීම මගේ අරමුණයි. එනිසා ඊට පෙර සතියක පමණ දින කිහිපය මට ඉතා කාර්ය බහුල වේ.

දෙසැම්බර් 18 වෙනිදා සිට 26 වෙනිදා දක්වා අපේ තැස්මේනියා ගමන යෙදී තිබුණු නිසා, මා මෙවර කළේ සඟරාවට ඇතුළත් කරන ලිපි සහ විශේෂාංගව්ලින් හැකි පමණ කොටස් කලින් ම පිළියෙල කර පිටු සැකසීමයි. විශේෂයෙන් ම අන්තිම මොහොතේ සකසන මා ලියන ලිපි මෙවර එසේ කලින් ම සකස් කළෙමි. මගේ සැලසුම වූයේ දෙසැම්බර් 26 වෙනිදා දිවා කාලයේ නිවසට පැමිණි පසු, වෙහෙස් නොබලා සඟරාවේ ඉතිරි වැඩකටයුතු අවසාන කොට 2022 ජනවාරි පළමුවෙනිදා හිමිදිරියේ අවුරුදු සුබ පැතුම් ද සමග සඟරාව බෙදා හැරීමටයි.

එසේ වෙතත්, මෙවර කලාපය් සඳහා පොතක් පිළිබඳව විචාරයක් ලිවීමට අදහස් කළ නිසා අදාළ ග්‍රන්ථය ද, මගේ ලැප්ටොප් මොඩලයේ පරිගණකය ද, සංචාරය සඳහා සූදානම් වෙද්දී, අවසාන මොහොතේ, ගමන් මල්ලට ඔබා ගත්තෙමි. ඊට අමතරව ඉංග්ලිෂ් ලිපියක යාන්තමින් අරඹා තිබුණු සිංහල පරිවර්තනයක් ද හමාර කිරීමට තිබුණි.

එය කෙතරම් දූරදර්ශී ක්‍රියාවක් ද කියා වැටහෙන්නේ දැන් ය. සාමාන්‍ය සෞඛ්‍ය රෙගුලාසි අනුව අප දින හතක් සමාජයෙන් වෙන්ව ගත කළ යුතු ය.

පරිගණකය දිගහැර ගත් මම පරිවර්තන කාර්යය ඇරඹුවෙමි. මා සාමන්‍යයෙන් භාවිතා කරන සුචරිත ගම්ලත් ශබ්දකෝෂය මෙන්ම, සරසවි සිංහල ශබ්දකෝෂය ද ළඟ නැතිවීමේ අඩුව හොඳින් දැනුණි. පරිවර්තනය සඳහා පමණක් නොව නිවැරදි අක්ෂර වින්‍යාසය සොයා ගැනීමට ද ඒ ග්‍රන්ථ ඉතා ප්‍රයෝජනවත් වේ.

රෝගය වැළඳුණු තැස්මේනියානු වැසියන් කළ යුත්තේ නිවසේ දීම නිරෝධායනය වීමයි. අප සංචාරකයින් නිසා එය තරමක් වෙනස් වේ. ඒ අනුව දියණියව මෙඩි-හොටේල් නමින් හැදින්වෙන යම් ආකාරයක සෞඛය පහසුකම් ඇති ස්ථානයකට ගෙන යන බව දැනුම් දෙන ලදී. එය පිහිටියේ අප සිටි නිවාඩු නිකේතනයට පැය එකහමාරක් පමණ දකුණෙන් පිහිටි තැස්මේනියාවේ අගනුවර වන හෝබාර්ට් නගරයේ ය.

මෙදින සවස් යාමයේ හතහමාරට පමණ සෞඛ්‍ය බලධාරීන් විසින් ගිලන් රථ සේවාවක් එහි ගෙන යන ලදී. ඒ අවස්ථාව ඉතා දුක්බර මොහොතක් විය.

පසුදින වන විට අපට ද, වෙන්ව විසීම පිණිස රජයෙන් පවත්වාගෙන යන මධ්‍යස්ථානයක යා හැකි බව දැනුම් දෙනු ලැබී ය. එය අපට වැදගත් වූයේ අප නිවාඩු නිකේතනය වෙන් කරවාගෙන තිබුණේ දෙසැම්බර් 26 වෙනි දින දක්වා පමණක් වීම නිසා ය.

අපට තිබුණු එක් ප්‍රශ්නයක් වූයේ කුලියට ලබා ගෙන තිබුණු මෝටර් රථය ගුවන් තොටුපොළේ පිහිටි වාහන සමාගමට ආපසු භාර දෙන්නේ කෙසේ ද යන්නයි. නමුත්, අපට සිදු වී ඇති, වෙමින් පවතින දේ හා සසඳන විට එය සුලු කරුණක් විය.

අද උදේ හයට පමණ අවදිව, සඟරාවේ කටයුතු ද තරමක් හෝ සිදුකර රාත්‍රී දහයට පමණ මා නින්දට ගිය ද, පසුදා උදාවූයේ කිසිසේත් ම සුබ දවසක් නොවේ.

ඒ පිළිබද තොරතුරු මීළඟ කොටසින්, මේ ලිපි මාලාවේ පස්වෙනි කොටසින්, කියවන්න:
https://rasikalogy.blogspot.com/2022/01/in-isolation.html

-රසික සූරියආරච්චි

මුල් කොටස් සඳහා සබැඳි:
1. රසික සූරියආරච්චි ගේ ඔමික්‍රොන් දිනපොත - My Omicron diary
https://rasikalogy.blogspot.com/2022/01/my-omicron-diary.html


2. මගේ ඔමික්‍රොන් සංචාරය තව දුරටත් - There's a first time for everything
https://rasikalogy.blogspot.com/2022/01/theres-first-time-for-everything.html


3. ඔමික්‍රොන් උදාවීම - Oh, yeah, at last!!!
https://rasikalogy.blogspot.com/2022/01/oh-yeah-at-last.html


(ඡායරූපය: ගන්නා ලද්දේ දෙසැම්බර් 24 දිනයේ ය.)

5 comments:

  1. අසුභ දවස බලන්න එන්නම වෙනවා

    ReplyDelete
  2. පහ කියවන්න එන්නං.

    ReplyDelete
  3. අපි නිතරම දෙයක් බලාපොරොත්තු වෙන කොට ඒකම නැතුවීම/ඒක නොවැලැක්විය හැකි ලෙස කඩාකප්පල්වීම ගැණත් බලාපොරොත්තුවල් තියාගෙන ඉන්න ඕනෙ කියන සිතුවිල්ල පොඩ්ඩක් ඔලුවට ආව. කලින් නම් එහෙම හිතෙන්නේ දෙයක් බලාපොරොත්තු බිදනම.ඒත් බලපොරොත්තු ඇතිවෙන්න කලින් ම බිදගෙන ඉන්න එකත් හොඳ නෑ . ඒ පාර වෙන්නේ නෙගටිව් හිතන්න ගිහින් තියෙන depression එකත් වැඩි කර ගැනීම . අනේ මන්දා . ඕනව ට වඩා හිතන්නේ නැතුව මේ මොහොතේ ඊලග මොහොත ප්ලෑන් කරගෙන ජීවත් වෙන එක තමා හොඳම විකල්පය . ඒත් ඒකම තමයි ගොඩක් වෙලාවට කරන්න අමාරු ම දේ

    ReplyDelete

ඔබේ ප්‍රතිචාරය මට සතුටකි!. Your comments are most welcome!
සංයමයෙන් යුතුව ප්‍රතිචාර දක්වන්න.