Monday, 18 May 2026

සූරියආරච්චිලාට "සූරිය" බලය - Solar power rules



නම සූරියආරච්චි වුණාට ඒ "සූරිය" බලයෙන් මුලින්ම ප්‍රයෝජනයක් ගන්න මට ලැබෙන්නේ හෙටයි.

අපි මේ නිවසට ගෙවැදුනේ 2012 අවුරුද්දේ පෙබරවාරි මාසයේ දී. ඒ දවස්වල ඉඳලම වාගේ විටින් විට නිවසට සූර්ය විදුලි බල පද්ධතියක් සවිකර ගන්න සොයා බැලුවාට ඒක දිනෙන් දිනම කල් ගියා.

ඒකට මූලික හේතුව වුණේ සූර්ය බලය නිපදවන දිවා කාලයේ අපේ ගෙදර විදුලි භාවිතය අවම නිසා අපිට ඒ කරන ආයෝජනයෙන් ලොකු වාසියක් නැතිවීම. අපි විදුලි බලය වැඩියෙන් ම භාවිතා කරන්නේ ශීත කාලයේ රාත්‍රියට ගෙය උණුසුම් කරන්න සහ, ග්‍රීෂ්ම කාලයේ රාත්‍රියට ගේ සීතල කරන්නයි. එනිසා අපි සොයා බැලුවේ විදුලිය ගබඩා කර ගත හැකි බැටරියක් ද ඇතුළත් සූර්ය විදුලි පද්ධතියක්.

මගේ මතකයට අනුව අවුරුදු දොළහකට විතර කලින්, සාමාන්‍ය 6 kW සූර්යය පැනල පද්ධතියක් සවි කරගන්න ඩොලර් හයදාහකින් විතර පුළුවන් වුණාට, ඒකට සරිලන බැටරියක් එකතු කළාම වියදම ඩොලර් විසිදාහක් දක්වා වැඩිවුණා. ඒ කාලේ ඩොලට් 20,000 කියන්නේ ලොකු ගාණක්.

නමුත් පහුගිය අවුරුදු කිහිපය තුළ ඒ වාතාවරණය වෙනස්වුණා.

එක වෙනසක් තමයි දිවා කාලයේ අපේ නිවසේ විදුලි පරිභෝජනය වැඩිවීම. ඊළඟට, අනිත් බඩු භාණ්ඩ හැම එකකම මිල ඉහළ යද්දී, රජයෙන් ලැබෙන දිරි දීමනා යනාදිය නිසා සූර්ය පැනල සහ විදුලි කෝෂවල මිල කාලයට සාපේක්ෂව අඩුවීම.

ඉතින් මාර්තු මාසයේ දී විවිධ විකල්ප සූර්ය විදුලි බල පද්ධති සැලසුම් සංසන්දනය කර බලා, අපි මේ පළාතේ තිබෙන පාරිභෝගික ප්‍රසාදය දිනාගත් සමාගමක් සමග කොන්ත්‍රාත්තුවක් අත්සන් කළා.

මේ කාලයේ ඕස්ට්‍රේලියාවේ කොතරම් නිවාස සංඛ්‍යාවකට සූර්ය විදුලි බල පද්ධති සවිකරනවා ද කියනවා නම් අපිට දිනය ලැබුණේ මැයි මාසයේ 19 වැනිදාට එනම් හෙට දවසටයි.

මෙන්න හෙට සවිකරන අපේ සූර්ය බල පද්ධතිය පිළිබඳ කෙටි විස්තරයක්.

AIKO Solar Neostar 2S (510W) පැනල් 23 = 11.73 kW

Sigenergy SigenStor-10T-32 ඉන්වර්ටරය 9.99 kW

Sigenergy SigenStor බැටරි පද්ධතිය = 32.24 kWh

ජූනි-ජූලි-අගෝස්තු මාස තුන තමයි අවුරුද්දේ හිරු රශ්මිය අඩු ශීත සමය. ඒ කාලයේ සාමාන්‍යයෙන් දිනකට ඒකක (kWh) 20 - 25 වගේ නිපදවේවි ය කියායි බලාපොරොත්තුව. නමුත් ඒ කාලයේ අපේ දිනක පරිභෝජනය ගිය වසරේ දත්ත අනුව ඒකක 40 ක් පමණ වෙනවා.

එනිසා ඉතුරු මාස නමයේ නම් අපිට තනිකරම මේ සූර්ය විදුලි බල පද්ධතිය මත යැපෙන්න හැකිවේවි කියායි මම හිතන්නේ. වැඩිපුර නිපදවෙන විදුලිය විදුලිබල ජාලයට විකුණලා තුට්ටු දෙකක වාසියක් ගන්නත් හැකිවේවි.

තුට්ටු දෙකක් කිව්වේ වැරදිලා නොවෙයි. දැන් විදුලි ඒකකයක මිල ශත 32 ක් වුණාට, නිවසේ නිපදවෙන සූර්ය විදුලිය ජාලයට දුන්නාම පාරිභෝගිකයින්ට ලැබෙන්නේ ශත හතරක් පමණයි. ඒ කියන්නේ තුට්ටු දෙකකට වඩා ශතයයි වැඩි.

- රසික සූරියආරච්චි

13 comments:

  1. කොන්ත්‍රාත් එකේ breakdown එකකුත් දාන්න.

    ReplyDelete
    Replies
    1. ලොකු විස්තරාත්මක බ්‍රේක් ඩවුන් එකක් නැහැ
      මෙන්න contract එකේ තියෙන මුදල් විස්තර

      මේ සෝලා පද්ධතිය සපයා සවිකිරීමට 38,148
      සෝලා පැනල සඳහා ආණ්ඩුවේ සහනාධාරය 3,078
      බැටරි සඳහා සහනාධාරය 5,735
      මා ගෙවූ මුදල 29,335
      (මෙහි අඩංගු GST/VAT බදු මුදල 3,201.32)

      Delete
    2. ස්තුතියි. 29335 එකවැර ගෙවන්න ඔිනේද? නැත්නම් වාරික කීයක් වෙනකම් ඉස්සරහට අරගෙන යන්න පුළුවන් වුණා ද?

      Delete
    3. එහෙම ප්‍රශ්නයක් නම් මම ඔවුන්ගෙන් ඇහුවේ නැහැ. කොටස් වශයෙන් ගෙවන්න පුළුවන් වෙන්න පුළුවන්. හැබැයි ඉතින් එවිට යම්කිසි මුදලක් වැඩිවීම අපේක්ෂා කරන්න ඕනෑ.

      Delete
    4. කලින් පිළිතුර පළ කළාට පස්සේ තමයි ඇත්තටම මතක් උනේ මම ගෙව්වෙත් කොටස් තුනකට නොවේද කියා.

      ඇග්‍රිමන්ට් එක අත්සන් කරන දවසේ සියේට දහයක් ගෙව්වා. සූර්ය විදුලි බල පද්ධතිය සවිකරලා කොමිෂන් කරලා ඉවර වුන දවසේ ඉතුරු මුදල් ගෙවන්න ගියාට internet banking හරහා මගේ බැංකුවේ දිනකට ගෙවිය හැකි උපරිම මුදල විසිදාහක් පමණයි. එදා සිකුරාදා ඒක ගෙවලා ඊළඟ සඳුදා ඉතුරු හයදාහක් වගේ ගාන ගෙවලා දැම්මා.

      Delete
    5. 😜😜😜🤣🤣🤣 ඔය යන්නෙ නයා කුමතේරිස් මුදලාලි කිව්ව විදියටම. 😜😜😜🤣🤣🤣

      Delete
  2. දොන්ත බබක්කකට දෙන්න දෙයක් නැත
    පෙට්ටගමක් උඩ - තුට්ටු දෙකක් ඇත
    අපෙ විස්තර නං කියා පලක් නැත
    සූරිය බලයට කිසිම තැනක් නැත!

    ReplyDelete
    Replies
    1. දිසානායකලට පායන්නේ නැතිද සූරියා

      Delete
  3. ගේමක් ගහමු. වැඩි පුර හැදෙන යුනිට් ගාන වයර් එකක් ඇදලා අල්ලපු ගෙදරට දීලා යුනිට් එකකට සත විසිපහ ගානේ ඉල්ලගමු.

    ReplyDelete
    Replies
    1. රෑට ග්‍රිඩ් එකට විකුණලා රුපියලක් ගන්න පුළුවන්
      හැබැයි ඩිමාන්ඩ් එක වැඩි වෙලාවට. දවල්ට නම් සත හතරක් විතරයි ලැබෙන්නේ මං හිතන්නේ

      Delete
  4. ගෙදරට නයා ආපු හැටි කියපු කුමතේරිස් මුදලාලි මතක් වුනා 🤣🤣🤣

    ReplyDelete
    Replies
    1. නයා හැරීමේ කතාව මම මුල් වරට කියෙව්වේ චන්ද්‍රා අනගිරත්න ගේ සුරලොව ඇල්මන්ගේ නරලොව හොල්මන් පොතෙන්.
      https://rasikalogy.blogspot.com/2022/03/some-do-some-dont.html

      Delete
    2. රසික මහත්තයා කුමතේරිස් මුදලාලිගෙ නෑයෙක් නේද? 😜😜😜🤣🤣🤣

      Delete

ඔබේ ප්‍රතිචාරය මට සතුටකි!. Your comments are most welcome!
සංයමයෙන් යුතුව ප්‍රතිචාර දක්වන්න.