Showing posts with label මරණ දඬුවම. Show all posts
Showing posts with label මරණ දඬුවම. Show all posts

Friday, 8 November 2024

පව්කාරයාට ගල්ගැසීමේ බයිබල් කතාවේ අවුලක්? - Throwing the first stone


ඔක්තෝබර් දෙවෙනි දින මහනුවර දී පැවැත්වුණු ජාතික ජන බලවේගයේ ඡන්ද රැස්වීමක් ඇමතූ එම දේශපාලන ව්‍යාපාරයේ නායකයෙකු මෙන්ම මෙවර මහඡන්දයේ අපේක්ෂකයෙකු ද වන කුරගමගේ දොන් ලාල්කාන්ත සහෝදරයා බයිබලයේ සඳහන් ජේසුස් ගණිකාවකට ගල් ගසා මැරීමට තැත්කිරීමේ අවස්ථාවක් විසඳූ ආකාරය ගැන කතාව සිහිපත් කරනු ඒ කතාව යූටියුබයේ තිබේ ඊයේ නැරඹූ මට පෙනුණි.

දේශපාලනිකව ඔහු පැවසුවේ, මීට කලින් අවස්ථාවල දී වෙනත් දේශපාලන පක්ෂවලට සහය දුන්, ඒ අනුසාරයෙන් දූෂණයට වංචාවට සහය දැක්වූ අයට පහරදීමට නම්, අප ද කිසිදු වරදක් නොකළ පාරිශුද්ධ අය විය යුතු බවයි.

ඒ කතන්දරය හැඳින්වෙන්නේ “පව්කාරයාට ගල්ගැසීම” යනුවෙනි.

“පව්කාරයාට ගල්ගැසීම” නමින් මාටින් වික්‍රමසිංහ මීට අවුරුදු අනූවකට පමණ පෙර ලියූ “කෙටිකතාවක්” ඇත. කතාවකි. අද අප දන්නා මිණුම් දඬු අනුව නම් එය කෙටිකතාවක් ලෙසින් නම් කර නොහැකිය. මා සිතන පරිදි ඒ “කතාව” ඔහු විසින් සිළුමිණ පුවත්පත සඳහා ලියන ලද කොළමක එක් එපිසෝඩයක් විය හැක.

ඒ කෙසේ වෙතත් මේ “පව්කාරයාට ගල්ගැසීම” නම් රචනයේ එක් තැනක බයිබලයේ එන පෙර සඳහන් කතාවක් ගැන කියවේ.

බයිබලයේ නව තෙස්තමේන්තුවේ යොයාන් (ජෝන්) ගේ ශුභාරංචියේ එන එම කතාවේ සරල සිංහල පරිවර්තනය ලුතරන් මිෂනාරි සංගමයේ වෙබ් අඩවියෙන් උපුටා මෙසේ දක්වමි.
....ලියන්නන් සහ පරිසිවරුන් කාමමිත්‍යාචාරයේ හැසිරෙද්දී හසුවුන ස්ත්‍රියක් අරන් එනවා, සහ ඔවුන් ඇයව මැද සිටෙව්වාට පසු ඔහුට කියනවා, “ගුරුතුමනි, මේ ස්ත්‍රිය කාමමිත්‍යාචාරයේ යෙදී සිටිනවිට අල්ලා ගත්තා. එහෙත් මෝසස් නීතියේ අපට අණ කරා, මෙවැනි අය ගල් ගසා මැරීමට. එම නිසා ඔබ කුමක්ද කියන්නේ?”

නමුත් ඔවුන් මෙසේ කිව්වේ ඔහු පරීක්ෂා කිරීමටයි. එවිට ඔහුට චෝදනා කිරීමට ඔවුන්ට යම් දෙයක් තිබෙයි. නමුත් යේසුස් වහන්සේ බිමට නැමී ඔහුගේ ඇඟිල්ලෙන් පොළවේ ලියමින් සිටියා.

එවිට ඔවුන් ඔහුගෙන් දිගින් දිගටම ඇහුවාට පසු, ඔහු හිස ඔසවා ඔවුන්ට කිව්වා, “ඔබ අතරේ පවක් නැති කෙනා පළමුව ඇයට ගලක් ගසන්න.”

...නැවතත් ඔහු හිස නමා පොළොවේ ලියන්න පටන් ගත්තා.

එවිට ඔහුට ඇහුම්කන් දුන් අය, වැඩිහිටියන්ගේ සිට බාලයනුත් එකිනෙකා එතැනින් ඉවත් වුනා,....
මේ කතාව සාමාන්‍යයෙන් භාවිතා කරන්නේ:

1. සමාජයේ සියළුදෙනා ම පාහේ විවිධාකාරයේ වැරදි කර ඇති අය, එනම් පව්කාරයින් බව පවසන්නටයි.

එසේම, මට සිතෙන ආකාරයට මේ කතාව ලියූ පුදගලයා එයින් කියන්නට අදහස් කළත් නැතත් පහත සඳහන් කරුණු ද කියවේ.

2. ගල්ගසා මැරීම වැනි දඬුවම් ම්ලේච්ඡය යන්න

3. ගණිකාවක වීම යනු දඬුවම් ලැබිය යුතු වරදක් නොවන බව

පෙර කී ඡන්ද රැස්වීමේ දී මේ කතාව සඳහන් කළ ලාල්කාන්ත එහි රැස්ව සිටි ප්‍රේක්ෂකයින් අමතා, මෙතැන කවුරුහරි ඉන්නවා නම් අත උස්සන්න දේශපාලනයේ දී හෝ පෞද්ගලිකව හෝ වෙනත් ආකාරයකට් හෝ වරදක් නොකළ යැයි කීවේය.

ජාතික ජන බලවේගයේ රැස්වීම් භූමියේ සිටි කිසිවෙකු අත එසෙව්වේ නැත. වේදිකාවේ සිටි අයෙකු අත එසෙව්වාදැයි පෙනෙන්නට කැමරාව ඒ පැත්තට යොමු නොවුණි.

ඒ මොහොතේ මගේ සිතට ආ කුකුස මෙයයි.

ලාල්කාන්ත අත ඔසවන්න යැයි කීවිට කිසිවෙකු අත නොඉස්සීමේ පුදුමයක් නැත.

නමුත් එදා ජේසුස් කීවාය කියා ඒ කතන්දරයේ ලියවී ඇත්තේ අත ඔසවන්න යැයි කියා නොවේ. අර අසරණ කාන්තාව ගල් ගසා මැරීම ආරම්භ කිරීමට පළමු ගල ගහන්නට කියායි.

එනිසා, මට සිතුණේ එතැන කිසිදු වරදක් නොකළ එක් අයෙකු හෝ සිටින්නට ඇත කියාය.

එසේ සිටියා නම් ඒ කිසිදු වරදක් නොකළ තැනැත්තා ඒ අසරණ කාන්තාව ගල් ගසා මැරීම ආරම්භ කිරීමට පළමු ගල නොහැසුවේ ඇයි?

මක්නිසාද යත් තම ජීවිත කාලයටම කිසිදු වරදක් නොකළ තැනැත්තෙකු, තම ජීවිතයේ පළමු වරද කරමින් අසරණ කාන්තාවක් ගල් ගසා මැරීම ආරම්භ කිරීමට පළමු ගල තියා එකදු ගලක් නොගසන නිසා ය.

එනිසා බයිබලයේ කතාව සමග මූලිකවම කියවෙන පැහැදිලිකිරීමේ අවුලක් ඇතැයි මට සිතේ.

- රසික සූරියආරච්චි

(image: Generated using Microsoft designer)

Friday, 10 December 2021

මරණ දඬුවම හෙවත් නීතියේ නාමයෙන් මිනීමැරීම ගැන නැවතත් - Stop killing in the name of law


මරණ දඬුවම ද මිනීමැරුමකි!

ඔව්, සත්‍යය එයයි. මරණ දඬුවම මිනීමැරුමකි. සාමාන්‍ය මිනීමැරුමක් නොව නීතියේ නාමයෙන්, හිතා මතා කෙරෙන පාපකාරී මිනීමැරුමකි.

වෙනත් අවස්ථාද තිබුණේ වුවද, සාමාන්‍යයෙන් මරණ දඬුවම නියම වෙන්නේ අඩු වශයෙන් එක් මිනිසෙකු හෝ මරා දැමීමේ සාපරාධී ක්‍රියාවට ය. මිනිසෙකු තවත් මිනිසෙකු මරා දැමීම වරදක් නම්, ඒ වරදට දඬුවම ලෙස වරද කළ අය මරා දැමීම ද නිවැරදි නොවේ. කවර නෛතික පදනමක් තිබුණ ද, එයද මිනීමැරුමක් ම වේ!

එක පසකින් මිනිස් අයිතිවාසිකම් ගැන කතා කරමින් අනිත් පසින් මරණ දඬුවම ක්‍රියාත්මක කිරීම සාධාරණීකරණය කරන්නේ කෙසේදැයි මට නම් සිතාගත නොහැක.

මිනිස් ශිෂ්ටාරයේ මුල සිට පැවත ගෙන ආ එන නොදියුණු සමාජයක නීතියක් වන මරණ දඬුවම මේ විසි එක්වන සියවස වන විට බොහෝ ශිෂ්ට සමාජවලින් ඇත් වී ඇත.

විකිපීඩියාවට අනුව, අද වන විට ලෝකයේ රටවල් 107 ක් ම මරණ දඬුවම ලබාදීම සහමුලින් ම නතර කර දමා ඇත. (ලංකාව වැනි) තවත් රටවල් 27 ක එය තවදුරටත් නීතිගතව තිබුණ ද ක්‍රියාත්මක වීම එක්කෝ අත් හිටුවා ඇත, නැතිනම් වසර දහයකින් මෙපිට ක්‍රියාත්මක කර නැත. තවත් රටවල් හයක් මරණ දඬුවම යුද අපරාධ වැනි අපරාධවලට හැර අන් සාපරාධී ක්‍රියාවලට දඬුවමක් ලෙස භාවිතා නොකරති.

ඒ අනුව මරණ දඬුවම ක්‍රියාත්මක වන්නේ රටවල් 54 ක පමණකි. මේ රටවල් අතරට චීනය, ඉන්දියාව, ඇමරිකා එක්සත් ජනපදය (ජනපද 50 න් 27 ක්) හා ඉන්දුනීසියාව යන ලෝකයේ වැඩිම ජනගහනයෙන් යුතු රටවල් හතර අයිතිවීම නිසා ලෝක මිනිස් ප්‍රජාවෙන් 60%ක් තවමත් මේ තිරිසන් නීතිය යටතේ ජීවත්වෙන බව කිව හැක. පසුගිය වසරේ (2020) වැඩිම පිරිසක් මරණ දවුවම ලබා ඇත්තේ චීනයේ යි. එය දහසකට වැඩි සංඛ්‍යාවකි.

මිනිසුන් නම් සත්ව කොට්ඨාසය සහමුලින්ම ශිෂ්ටාචාර වූ බව සැලකිය හැකිවෙන්නේ මරණ දඬුවම සහමුලින්ම ලෝකයෙන් තුරන් වූ දිනයට බව මගේ අදහසයි. නමුත් පසුගිය දිනවල මැද පෙරදිග සිදුවුණු "අයිසිස්" මිනීමැරුම් ගැන සිතන විට ඒ දිනය තව බොහෝ දුර බව කණගාටුවෙන් වුව ද කිව යුතු ය.

ලංකාවේ මරණ දඬුවම ක්‍රියාත්මක කිරීම 1976 සිට අත්හිටුවා ඇති බව සත්‍යයක් වුව ද, විටින් විට අපේ උන්නැහේලා ගේ, උන්නාන්සේලා ගේ බෞද්ධකම යට කරගෙන අශික්ෂිතත්වය උඩට මතුවේ. මේ සඳහා ඉතා මෑත ඉතිහාසයෙන් දිය හැකි ජුගුප්සාජනක උදාහරණ බොහොමයකි.

රටේ කිසියම් මිනීමැරුමක් වූ විට වහා මරණ දඬුවම ක්‍රියාත්මක කළ යුතු යැයි හඬනගන්නේ අප අතර සිටින ම්ලේච්ඡයින් පමණක් නොවේ. හතර පෝයට සිල් ගන්නා අය ද, රජයේ වගකිවයුතු ඇමතිලා ද ඒ අතරට එක්වෙති.

ටික කලකට පෙර සාමාන්‍ය හුදී ජනතාව සඳහා පැවැත්වුණු ප්‍රදර්ශන භූමියක මරණ දඬුවම නැවත ක්‍රියාත්මක කිරීම ගැන එක්තරා ආකාරයක ජනමතවිචාරණයක් ඉලෙක්ට්‍රොණිකව පැවැත්වුණු බවත් එහිදී තම මතය ප්‍රකාශ කළ අයගෙන් තුනෙන් දෙකක බහුතරයක් මරණ දඬුවමට පක්ෂව ඡන්දය දී තිබුණු බවත් කියවේ. ඒ සිද්ධියේ ඇති උත්ප්‍රාසය නම් එකී ප්‍රදර්ශනය පැවැත්වුණේ ලංකාවේ පුණ්‍යභූමිය ලෙස සැලකෙන අනුරාධපුරයේ දී වීමයි.

මගේ මතකයට අනුව 1989 දී පමණ අරඹා, මෑත ඉතිහාසයේ සිට ලංකාවේ බලධාරීන්ගේ සහ දේශපාලන නායකත්වයේ අනුදැනුම ඇතුව නිරතුරුව සිදුකෙරෙන අතිශය නින්දිත සහ අපරාධයක් වන, අපරාධවලට සැකකරන පුද්ගලයින් "ආයුධ පෙන්වන්නට රැගෙන යෑම" නම් තිරිසන් ක්‍රියාව වාර්තා වෙන හැම අවස්ථාවක දී ම, ඒ ගැන තම සතුට ප්‍රකාශ කරන පිරිස කොපමණක් ද?

මෙයින් සමහරු “පළමුව හදවත, දෙවනුව මොළය” ආකාරයේ මෝඩයින් ය.

අනෙක් පිරිස තවමත් ශිෂ්ටාචාරයේ සීමාව පැන ගන්නට බැරිවුණු ම්ලේච්ඡයෝ ය.

ඒ දෙආකාරයේ ම පිරිස අතර, උගතුන්, විද්වතුන්, මොලකාරයින් යැයි සැලකෙන සෑහෙන පිරිසක් ද සිටීමේ කිසිදු පුදුමයක් මට නම් නැත. එයට හේතුව, "පළමුව මව්බිම" කියා ජාතිවාදය වැපිරූ, වපුරන අයගේ හරස් කඩ ද එසේ ම වීම නිසා ය.

මේ ගැන වැඩි දුරටත් සිතන විට අපට වැටහිය යුත්තේ ඇත්තටම, අධිකරණයකින් මරණ දවුවම පනවා එය ක්‍රියාත්මක කිරීම යනු සාමාන්‍ය මිනීමැරුමකටත් වඩා දරුණු වරදක් බවයි.

ඒ මක් නිසාද යත්, හදිසි කෝපය නිසා හෝ මානසික ආබාධයක් නිසා හෝ යමෙකු කරන මිනීමැරුමක් මෙන් නොව, මේ ආකාරයෙන් මිනිසෙකු මරණයට පත් කිරීමේ දී මරා දැමීමට චේතනාව, මරණය සිදු කීරිමට මනාව පෙර සැලසුම් කිරීම, සහ ඒ සැලසුම ක්‍රියාත්මක කිරීම යනාදී වශයෙන් බොහෝ මිනීමැරුම්වල දක්නට නොලැබෙන දේ සිදුවීමයි.

මරණ දඬුවම පක්ෂව යමෙකු අදහස් දක්වා තිබෙනු මා දුටු විට එයට විරුද්ධව මගේ අදහස දැක්වීම මම කාලාන්තරයක් තිස්සේ කරගෙන යමි.

මා සැකෙවින් පවසන්නේ පහත දැක්වෙන සරල කරුණු ය.
  • මරණ දඬුවම ද මිනීමැරුමකි.
  • එක් මිනිසෙකු තවත් මිනිසෙකු මැරීම වරදක් නම්, මිනිසුන් පිරිසක් එකතු වී නීතිමය රාමුවක් මවා එය උපයෝගීකර ගෙන තවත් මිනිසෙකු මැරීම වරදක් නොවන්නේ කෙසේද?
  • මරණ දඬුවම ඉල්ලන්නෝ ම්ලේච්ඡයෝ ය.
  • ලෙයට ලෙයින්, ඇසට ඇසෙන්, ජීවිතයට ජීවිතයෙන් පළිගැනීම යනු මධ්‍යතන යුගයේ පැවති ම්ලේච්ඡ ක්‍රියාවකි.
  • හොරකම් කළ විට අත් කැපීම, දෙදෙනෙකු කැමැත්තෙන් ලිංගික ක්‍රියාවලියේ යෙදුණු විට ගල් ගසා මරා දැමීම සහ මරණ දඬුවම අතර වෙනසක් නැත.
මරණ දඬුවමට විරුද්ධව අදහස් මා පළ කළ හැම විටම, එයට ලැබෙන එක් ප්‍රතිචාරයක් නම්, මරණ දඬුවම නොදී සිටීමට කරුණු මොනවා ද, ඒ වෙනුවට කළ යුත්තේ කුමක්ද යන්නයි.

මට වැටහෙන විදියට කරුණු සොයා සාධාරණය කළ යුත්තේ මරණ දඬුවම දිය යුත්තේ ඇයි ද යන්න මිස නොදිය යුත්තේ ඇයි ද යන්න නොවේ. අස්වාභාවික, අසාධාරණ, අමානුෂික දේ මරණයයි, මරණ දඬුවමයි.

ඒ වෙනුවෙන් අප කළ යුත්තේ, ලෝකයේ වෙනත් ශිෂ්ට ජනසමාජ විසින් දැන් කාලයක් තිස්සේ සතුටුදායක ලෙස අත්හදා බලමින් සිටින බන්ධනාගාරගත කිරීම් සහ පුනරුත්ථාපන ක්‍රම ක්‍රියාත්මක කිරීමයි. ඒ ගැන ක්‍රමවේද සැකසිය යුත්තේ ආවේශීලී පුරවැසියන් නොව මනෝ වෛද්‍ය, සමාජ විද්‍යාඥ වෘත්තිකයින් විසිනි.

තවත් එක් කනගාටුදායක නමුත් එක්තරා ආකාරයකට හාස්‍යජනක කරුණක් පවසා මේ සටහන අවසන් කරමි.

මරණ දඬුවමට විරුද්ධව මා අදහස් ප්‍රකාශ කළ සෑම තැනක දී ම අසන්නට ලැබුණු “මූත් මිනියක් මරලා මරණ දඬුවමෙන් බේරෙන්න හදන එකෙක් වගේ වැනි මුග්ධ කතාවලට අමතරව දකින්නට ලැබුණු ප්‍රකාශවල මූලික තේමාව වූයේ, “ප්‍රශ්නය තමන්ගේ නොවන තාක් පිළිතුර දාර්ශනික වේ!” නැතහොත් “තමන්ගේ දරුවෙකුව වෙන අයෙකු මැරුවොත් ඒ මිනීමරුවා ගැන නම් ඔහොම කියන එකක් නෑ” වැනි අදහස් ය.

ඒ ප්‍රකාශවලින් ම, එසේ පවසන අයගේ සදාචාරය කවර මට්ටමේදැයි පිළිබිඹු වේ. මොවුන් තීරණ ගන්නේ හරි වැරැද්ද අනුව නොව තම වාසිය පතා වෙන අතර, අනුන් ද එසේ තමන් මෙන් පහත් තත්වයක සිටී යැයි සිතීමට තරම් අමනයන් ද වෙති.

-රසික සූරියආරච්චි

ප/ලි: මෙම සටහන මා මීට පෙර ලියා මේ බ්ලොගයේ පළ කළ සටහන් දෙකක නැවත ලිවීමකි. එලෙස සංස්කරණය කළ මේ සටහන පළකරන්නට සිතුණේ, නැවතත් මේ සාකච්ඡාව අපට අදාළ වෙමින් පවතින නිසා ය. (image: By Jacques-Louis David - https://www.metmuseum.org/collection/the-collection-online/search/436105, Public Domain, https://commons.wikimedia.org/w/index.php?curid=28552)

Wednesday, 16 September 2015

මරණ දඬුවම් වීරයින් ගේ නිරුවත - Capital punishment and barbarians


තිරිසන් ආකාරයට මරා දමා තිබුණු සේයා දැරිවිය ගේ ඛේදවාචකය නිසා හටගත් මරණ දඩුවම් විවාදය ෆේස්බුක් ජාලයේ දරුණු ලෙස කෙරෙන බව පෙනේ.

බ්ලොග් අවකාශයේ ද, ලිපි කිහිපයක් ලියවී තිබුණි.

1. මරණ දඬුවම හා ලක්ශාන්ත නම් කවියා
2. තවත් කොටදෙනියාවක් ඇති නො වීමට
3. රසිකලොජිස්ට එරෙහිව මරණ දඬුවම - rasikologist vs hanging
4. මරණය + මරණය = මරණ දඬුවම
5. පට්ට රටක් ඕයි.... - What a Country...!!!
6. මරණීය දණ්ඩනය පිළිබඳ මඩිහේ පඤ්ඤාසීහ හිමි මතය

මරණ දඩුවම පිළිබඳව මගේ අදහස මා ලියූවේ, පසුගිය පෙබරවාරි මාසයේ එවකට අධිකරණ ඇමති විජේදාස රාජපක්‍ෂ විසින් අත් හිටුවා තිබෙන ඒ දඩුවම යළි පැනවිය යුතුය යන අදහස පුවත්පත් සාකච්ඡාවක දී පවසා තිබෙනු දුටු කාලයේ ය.

7. මරණ දඬුවම ද මිනීමැරුමකි - Stop killing humans in the name of law

අද විජේදාස රාජපක්‍ෂ බුද්ධ ශාසන ඇමති වී තිබීම දෛවයේ සරදමකි.

එක අතකට ඒකේ අවුලක් ද නැත. මන්ද යත්, බුද්ධ ශාසනය සහ බුද්ධ ධර්මය යනු සෑහෙන්න වෙනස් විෂයන් බැවිනි!

දැන් දින කිහිපයක සිට ෆේස්බුක් අවකාශයේ මරණ දඩුවම යළි ක්‍රියාත්මක කරන්නැයි ඉල්ලන අය වැඩි වී ඇත. මෙයින් සමහරු පළමුව හදවත, දෙවනුව මොළය ආකාරයේ මෝඩයින් ය. අනෙක් පිරිස තවමත් ශිෂ්ටාචාරයේ සීමාව පැන ගන්නට බැරිවුණු ම්ලේච්ඡයෝ ය.

මේ දෙ ආකාරයේ ම පිරිස අතර, උගතුන්, විද්වතුන්, මොළකාරයින් යැයි සැලකෙන සෑහෙන පිරිසක් ද සිටීමේ කිසිදු පුදුමයක් මට නම් නැත.

එයට හේතුව, "පළමුව මව්බිම" කියා ජාතිවාදය වැපිරූ, වපුරන අය ගේ හරස් කඩ ද එසේ ම වීම නිසා ය.

මරණ දඩුවම සාධාරණීකරණය කරමින් අදහස් දක්වා තිබුණු මා දුටු බොහෝ තැන්වල මම මගේ අදහස් කියවෙන ඉහත සඳහන් ලිපියට සබැඳියක් දැමීමට අමතරව කෙටියෙන් අදහස් ද පළ කළෙමි.

මා සරලව ලියුවේ පහත කරුණු ය.
  • මරණ දඩුවම ද මිනීමැරුමකි.
  • එක් මිනිසෙකු තවත් මිනිසෙකු මැරීම වරදක් නම්, මිනිසුන් පිරිසක් තවත් මිනිසෙකු මැරීම වරදක් නොවන්නේ කෙසේද?
  • මරණ දඩුවම ඉල්ලන්නෝ ම්ලේච්ඡයෝ ය.
  • ලෙයට ලෙයින්, ඇසට ඇසෙන්, ජීවිතයට ජීවිතයෙන් පළිගැනීම යනු මධ්‍යතන යුගයේ පැවති ම්ලේච්ඡ ක්‍ර්‍රියාවකි.
  • හොරකම් කළ විට අත් කැපීම, දෙදෙනෙකු කැමැත්තෙන් ලිංගික ක්‍රියාවලියේ යෙදුණු විට ගල් ගසා මරා දැමීම සහ මරණ දඩුවම අතර වෙනසක් නැත.
මේ ගැන වැඩි දුරටත් සිතන විට දී මට වැටහී ගියේ ඇත්තටම, අධිකරණයකින් මරණ දවුවම පනවා එය ක්‍රියාත්මක කිරීම යනු වඩාත් දරුණු වරදක් බවයි.

ඒ මක් නිසාද යත්, හදිසි කෝපය නිසා හෝ මානසික ආබාධයක් නිසා හෝ යමෙකු කරන මිනී මැරුමක් මෙන් නොව, මේ ආකාරයෙන් මිනිසෙකු මරණයට පත් කිරීමේ දී මරා දැමීමට චේතනාව, මරණය සිදු කීරිමට මනාව පෙර සැලසුම් කිරීම, සහ ඒ සැලසුම ක්‍රියාත්මක කිරීම යනාදී වශයෙන් බොහෝ මිනී මැරුම්වල දක්නට නොලැබෙන දේ මෙහි දී සිදුවීමයි.

මරණ දඩුවමට විරුද්ධව අදහස් මා පළ කළ හැම විටම, එයට ලැබෙන ප්‍රතිචාරයක් නම්, මරණ දඬුවම නොදී සිටීමට කරුණු මොනවා ද, ඒ වෙනුවට කළ යුත්තේ කුමක්ද යන්නයි.

මට වැටහෙන විදියට කරුණු සොයා සාධාරණය කළ යුත්තේ මරණ දඩුවම දිය යුත්තේ ඇයිද යන්න මිස නොදිය යුත්තේ ඇයි ද යන්න නොවේ. අස්වාභාවික, අසාධාරණ, අමානුෂික දේ මරණයයි, මරණ දඩුවමයි.

ඒ වෙනුවෙන් අප කළ යුත්තේ, ලෝකයේ වෙනත් ශිෂ්ට ජන සාමජ විසින් දැන් කාලයක් තිස්සේ සතුටුදායක ලෙස අත්හදා බලමින් සිටින බන්ධනාගාරගත කිරීම් සහ පුනරුත්ථාපන ක්‍රම ක්‍ර්‍රියාත්මක කිරීමයි.

ඒ ගැන ක්‍රමවේද සැකසිය යුත්තේ ආවේශීලී පුරවැසියන් නොව මනෝ වෛද්‍ය, සමාජ විද්‍යාඥ වෘත්තිකයින් විසිනි.

ඊයේ පෙරේදා, මට ලැබුණු ප්‍රතිචාර අතර අමුතුම ආකාරයේ එක අතකින් සිනා ගන්වන, අනෙක් අතින් ප්‍රතිචාර දැක්වූවන් ගේ නිරුවත හෙළිකරන එක් සුවිශේෂී ප්‍රතිචාර කිහිපයක් විය.

එන් පළමුවැන්න වූයේ - "ආ මෙයත් ළමයෙකු දුෂණය කර මරා දැමූ අයෙකු වගේ!" යන්නයි.

දෙවෙනි ප්‍රතිචාරය සිනාවටත් වඩා ප්‍රතිචාරය දැක්වූ අයගේ නිරුවත හෙළිදරව් කරන්නකි.

"ඔහේ ගේ දරුවෙකුට මේ වගේ ඉරණමක් අත්වුණාම තේරෙයි!"

මේ මෝඩ මිනිසුන් සිතන්නේ අප අපේ අදහස් අපට ලැබෙන වාසි හෝ අවාසි අනුව වෙනස් කරනවා කියාය. එයට හේතුව, ඔවුන් තමන්ට ලැබෙන වාසි අවාසි අනුව අදහස් වෙනස් කරන්නන් නිසා බව සැක නැතුව කිව හැකි යැයි සිතමි.

-රසිකොලොජිස්ට්

ප/ලි:
මේ 2015 සැප්තැම්බරයේ සාහිත්‍ය මාසය වෙනුවෙන් පළ වෙන ලිපියක් නොවේ.

සාහිත්‍ය මාසය වෙනුවෙන් මේ දක්වා ලියවුණු ලිපි මේවා ය.
1. කුරුලු හදවතේ හිලක් - Hole in the heart
2. කතෘ අත්සන් කළ පොත් ඔබ ළඟ තිබේද? - Autographed books
3. අහවල් පොත ලිවීම සහ පොත පෙරළීම පිළිිබඳ මගේ කතාව - Such is Life
4. අටේ පන්තියේ ළමයා ලියූ පොත් පිංච - Write a book, make a child and plant a tree!
5. වෙන්ඩ බ්ලොග්කරුවෙකු විසින් හස්තද්වාරයෙන් පළ කළ පොත් - Sweet eighteen....!!!

(image: http://www.brh.org.uk/site/articles/guillotine-knitting-terror/)

Wednesday, 29 April 2015

මරණ දඬුවම ද මිනීමැරුමකි - Stop killing humans in the name of law


ඉන්දුනීසියාව තුළ දී මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කිරීමේ වරදට අත් අඩංගුවට ගත් ඕස්ටේ‍ර්ලියානු ජාතිකයින් නම දෙනා ගේ නායකින් යැයි සැලකෙන මයුරන් සුකුමාරන් සහ ඇන්ඩෲ චැන්ග් යන දෙදෙනා, ඒ සිදුවීමෙන් වසර දහයකට පසුව, නඩු තීන්දුවේ ප්‍රකාර අද උදෑසන වෙඩි තබා මරා දමන ලදී.

ඒ සමගම මේ වරදට ම අසුවී නඩු අසා මරණ දණ්ඩනයට නියම කරන ලද තවත් විජාතිකයින් හය දෙනෙකුට ද ඒ ඉරණම අත්විය.

මත්ද්‍රව්‍ය යනු මිනිස් ජීවිත විනාශ කරන දෙයකි. එ නිසා, ඒවා නිෂ්පාදනය, බෙදා හැරීම සහ විකිණීම සාපරාධී ක්‍රියා බව අමුතුවෙන් කිව යුතු නැත. නමුත් මේ දඩුවම, ඒ වරදට සුදුසු ද?

මයුරන් සුකුමාරන් සහ ඇන්ඩෲ චෑන්ග් අසුවූයේ ඉන්දුනීසියාවේ සිට ඕස්ටේ‍ර්ලියාවට මත් ද්‍රව්‍ය ගෙන ඒමේදී බවද මෙහිදී සඳහන් කළ යුතුයි. ඔවුන් ලුහුබැඳ ආ, ඕස්ටේ‍ර්ලියානු පොලිස් කණ්ඩායම, ඒ ඔත්තුව එදා ඉන්දුනීසියානු පොලිසියට ලබා නොදී, ඔවුන් ගේ ගුවන් ගමන අවසානයේ දී ඕස්ටේ‍ර්ලියාව තුළ දී අත්අඩංගුවට ගත්තේ නම් මේ සිද්ධිය කෙළවර වෙන්නේ මේ ආකාරයට නොවේ.

සාමාන්‍යයෙන් මරණ දඩුවම නියම වෙන්නේ අඩු වශයෙන් එක් මිනිසෙකු හෝ මරා දැමීමේ සාපරාධී ක්‍රියාවට ය. මිනිසෙකු තවත් මිනිසෙකු මරා දැමීම වරදක් නම්, ඒ වරදට දඬුවම ලෙස වරද කළ අය මරා දැමීම ද නිවැරදි නොවේ. කවර නෛතික පදනමක් තිබුණ ද, එයද මිනීමැරුමක් ම වේ!

මිනිස් ශිෂ්ටාරයේ මුල සිට පැවත ගෙන එන නො දියුණු සමාජයක නීතියක් වන මරණ දඩුවම මේ විසි එක්වන සියවස වන විට බොහෝ ශිෂ්ට සමාජවලින් එක්කෝ නීතියෙන් ම ඉවත් වී තිබේ, නැතිනම්, ක්‍රියායත්මක කිරීම අත් හිටුවා ඇත.

එක පසකින් මිනිස් අයිතිවාසිකම් ගැන කතා කරමින් අනිත් පසින් මරණ දඩුවම ක්‍රියාත්මක කිරීම සාධාරණීකරණය කරන්නේ කෙසේදැයි මට නම් සිතාගත නොහැක.

විකිපීඩියාවට අනුව, අද වන විට ලෝකයේ රටවල් 103 ක් මරණ දඩුවම ලබාදීම සහමුලින් ම නතර කර දමා ඇත. (ලංකාව වැනි) තවත් රටවල් 50 ක එය තවදුරටත් නීතිගතව තිබුණ ද ක්‍රියාත්මක වීම එක්කෝ අත් හිටුවා ඇත, නැතිනම් වසර දහයකින් මෙ පිට ක්‍රියාත්මක කර නැත. තවත් රටවල් හයක් මරණ දඩුවම යුද අපරාධ වැනි අපරාධවලට හැර අන් සාපරාධී ක්‍රියාවලට දඩුවමක් ලෙස භාවිතා නොකරති.

ඒ අනුව මරණ දඩුවම ක්‍රියාත්මක වන්නේ රටවල් 36 ක පමණකි. මේ රටවල් අතරට චීනය, ඉන්දියාව, ඇමරිකා එක්සත් ජනපදය (ජනපද 50 න් 32 ක්) හා ඉන්දුනීසියාව යන ලෝකයේ වැඩිම ජනගහනයෙන් යුතු රටවල් හතර අයිතිවීම නිසා ලෝක මිනිස් ප්‍රජාවෙන් 60%ක් තවමත් මේ තිරිසන් නීතිය යටතේ ජීවත්වෙන බව කිව හැක. පසුගිය වසරේ වැඩිම පිරිසක් මරණ දවුවම ලබා ඇත්තේ චීනයේ යි. එය දහසකට වැඩි සංඛ්‍යාවකි.

මරණ දඩුවම ක්‍රියාත්මක වෙන ඒ රටවල් 50 අතරිනුත්, අවුරුදු දහ අටට අඩු අය සඳහා මරණ දඩුවම තවමත් නීතිගතව ඇති රටවල් ඇත්තේ තුනක් පමණි. ඒ ඉරානය, සවුදි අරාබිය සහ සුඩානයයි.

මිනිසුන් නම් සත්ව කොට්ඨාසය සහමුලින්ම ශිෂ්ටාචාර වූ බව සැලකිය හැකිවෙන්නේ මරණ දඩුවම සහමුලින්ම ලෝකයෙන් තුරන් වූ දිනයට බව මගේ අදහසයි. මේ දිනවල මැද පෙරදිග සිදුවෙන "අයිසිස්" මිනීමැරුම් ගැන සිතන විට ඒ දිනය කල්ප ගණනක් දුර බව කණගාටුවෙන් වුවද කිව යුතුය.

ලංකාවේ මරණ දඩුවම ක්‍රියාත්මක කිරීම 1976 සිට අත්හිටුවා ඇති බව සත්‍යයක් වුවද, විටින් විට අපේ උන්නැහේලා ගේ, උන්නාන්සේලා ගේ බෞද්ධකම යට කරගෙන අශික්ෂිතත්වය උඩට මතුවේ. මේ සඳහා ඉතා මෑත ඉතිහාසයෙන් දිය හැකි ජුගුප්සාජනකම උදාහරණය නම් යහපාලන අධිකරණ ඇමති විජේදාස රාජපක්‍ෂ ගේ 2015 ප්‍රකාශයයි.

-රසිකොලොජිස්ට්

(image: http://archives.dailynews.lk/2007/06/27/fea03.asp)