Thursday, 5 March 2015

ඒම දුකකි, යාම දුකකි, ඒම යාම අතර දුකකි - Eternal truth


ආරෝග්‍ය ශාලා පිරෙන්නට රෝගීහූ සිටිති. ඒත් අපට එය ඇඟට දැනෙන්නේ තරමක් හෝ දන්නා අඳුනන අයෙක් රෝගාතුරව රෝහලකට ඇතුළත් කර ඇතිය යන ආරංචිය ලැබුණු විට පමණි.

එවැනි පුවතක් නොබෝදා මට ලැබී මම ඒ හිතවතා ගේ සුවදුක් විමසීම සඳහා රෝහලට ගියෙමි. දැඩි සත්කාර ඒකකයේ ඇඳක වැතිර, නොකඩවා දුවන යන්ත්‍රයකට සම්බන්ධව, ඇඟ පුරා බැඳුණු විවිධ නාල සහ තන්තු සහිතව, හර්ද ස්පන්දනය, රුධිර පීඩනය දැක්වෙන තිරයක් ඉදිරිපිට වුවද ඔහු සිටියේ සෑහෙන්න සතුටිනි.

ඔහු ගේ බිරිඳ පැවසූ දේ අනුව මට හැඟුණේ ඒ සතුටට හේතුව වෙන්නට ඇත්තේ දින කිහිපයකට ඉහත ඔහු සිටි තත්වයට සාපේක්‍ෂව දැන් කොතරම් ප්‍රගතියක් ලබා ඇතිද යන ධනාත්මක සිතුවිල්ල විය යුතු බවයි.

ඒ කෙසේ වෙතත්, "යන්න නියමිත දිනය" පැමිණි විට අප හැමට මේ "නැටුම් කෙළි කවට සිනා" අතහැර යන්නට සිදු වේ.

හිතවතා ගේ ඇඳ අසලට වී ඔහු සමග පැයක් පමණ කතාබහ කරමින් සිට ආපසු එන අතරතුරේ දී මට සිහිවුනේ මා දින කිහිපයකට පෙර ලියූ කවකි. මේ කවිය ඔහු ගැන නොව මා ගැනය.

පිරිනිවන

ඇදෙත දුම්රිය ගොරතර
අවට දර්ශන බොඳකර
දිවෙන තුරු හිස මුදුනත
රැඳුණු සියොතුන් කොයි අද?

සතුට සැනසුම සිසිලස
මුවට නැගි ඒ මදහස
පැහැර ගත්තේ කවුරුද?
සසර හැටි මේ අයුරුද?

දුරු නුදුරු මතු දවසක
ලොවම නිදියන මොහොතක
කෙඩෙත්තුව ගත කකියන
සදහටම නිම වේවිද?

රැගෙන අවසර ක්‍ෂණයක
බලන කල තරණිත මග
රැගෙන යන්නට කිසිවක්
නොමැති බව වැටහෙනු ඇත

-රසික සූරියආරච්චි (මාර්තු 2015)

ඔබ සැමට භාග්‍යවන්ත අනාගතයක් පතමි!

-රසිකොලොජිස්ට්

(image: http://www.writerscafe.org/writing/Scribbles/738518/)

35 comments:

  1. ලෝකෙ ලොකුම සැප තමයි බොහ්.. ගාල කාටවත් කරදරයක් නැතුව හුස්ම ටික යන එක.. ඒකටත් පිං කරල තියෙන්න ඕනෙ.

    ReplyDelete
    Replies
    1. මගේ පරම පැතුම එයයි, එමගට මා විසි කරන්න!

      Delete
  2. සාධූ..... සාධූ.... සධූ......

    යන වෙලාවක යයි මෙයා.. අන්තිම මොහොතෙත් ආතල එකේ ඉන්න තමයි මගේ නම් කැමත්ත..

    ReplyDelete
    Replies
    1. අනිවා!
      දුක් විඳ විඳ අල්ලාගෙන ඉන්න නම් මගේ අදහසක් නෑ. මිගේ හිතවතා මැෂිමකට සවිවී සිටිනවා දැක මට සසර දුක තේරුනා!

      Delete
  3. මඳ සිනහවක් මුව පැලඳගෙන
    නිරාමිස සතුටින් සැහැල්ලුව
    හිතයි සිහියෙන් හොඳ හිතින් මට
    හෙලන්නට අවසන් සුසුම් පොද

    ReplyDelete
    Replies
    1. "පතුළ සිඹින වසින වරළ
      ගන මේ කුළු හිසිනී
      දෙතන දෙකඳු මැද ඇලි ඇලි
      ගලන දුහුල රමණී
      නිලන නිලඹ සිහිලඹ පිරි
      නයන පොකුණු සොබනී
      සසර කතර ගිම් සනහන
      කෙම් බිම ඔබ මරණී"

      (මහගම සේකර -නොමියමි)

      Delete
    2. අවසන් හුස්ම පොද නොබියව හෙලන්නට
      පුළුවනි මරණ මංචකයේ වුවද මට
      (RP?)

      Delete
    3. RP කිව්වෙ රණසිංහ ප්‍රේමදාස ද? එයාද නැත්තං ඒකත් ඩෝල්ටන් ද හෙහ් හෙ..? නොදනී...

      Delete
  4. ලියපු දේවලින් ලැබුන සතුට ඇරෙන්න ගෙනයන්න වෙන දෙයක් නෑ තමා.

    ReplyDelete
    Replies
    1. මේ ලොව යම් කිසිවෙකු
      මා හට පෙම් කළ බව
      එතකොට ඒ ගී රාවය
      හීන් හඬින් මට කියාවි

      මා මළපසු සොහොන් කොතේ
      දුක් ගීයක් ලියනු මැනවි
      නන්නාදුන නා ඔබ ගේ
      අත් අකුරින් ලියනු මැනවි

      අඩ සඳ බැසගෙන යන සඳ
      සීතල අඳුරු රැයක
      අඬ සඳ බැසගෙන යන සඳ
      රෑහි නඟන රැව් අතරින්
      එතකොට ඒ ගී රාවයයාන්තමින් මට ඇසේවී"

      පද රචනය – මහගම සේකර
      සංගීතය හා ගායනය – ඩබ්.ඩී. අමරදේව

      Delete
    2. ඇයි ගත්තු වෙනත් ආතල්

      Delete
  5. මැරෙන බව මතක තියාගෙන ජීවත් උණාම අහවරයි .. ඒ ඇර මැරි මැරි ජීවත් වෙන්න ඕන් නෑ නෙවැ .. ඕ යේස් !!

    ReplyDelete
    Replies
    1. එපා කිසිවිට උඩඟු වන්නනට - ඒයින් යහපත නැසෙනවා....
      එපා කිසිවිට කෝප වන්නට - ඔබේ හොඳ ගති මැකෙනවා....
      එපා කිසිවිට දුකක් දෙන්නට - එයින් හදවත රිදෙනවා....
      එපා ආශා පොදි බදින්නට - මැරෙනවා අපි මැරෙනවා....

      Delete
    2. සමහර විට මරණය ලංවුණු විට, මරණ බ්‍රි ඇතිවී දිගටම ජීවත්වී ඉන්නට ආසාව ඇතිවේවි. හරියට ඡන්දෙන් පැරදුණු ජනාධිපතියෙකුට වගේ!

      Delete
  6. මෙහෙ ඉන්න මගේ කියුබානු ජාතික යාළුවෙක් කැඩිච්ච ඉංග්‍රීසියෙන් මට කිවුවා දවසක් " we cant trust anyone ,anything 100% ,but we can Believe only one thing its Death . maybe it can be late but surly it will come.

    කවිය ගොඩක් අර්ථවත්.. මාත් මැරෙන බව දන්න නිසාත්.. කවදා හෝ මැරෙන නිසාත් හැමදාම කාලා, බීලා, අම්මට කෝල් කරලා නිදාගන්නවා ..

    ReplyDelete
    Replies
    1. ඉඳලා හිටලාවත් තාත්තාට කෝල් කරන්න!

      Delete
    2. විශ්වාස කරන්න මං ලග තාත්තගේ ෆෝන් නම්බර් එකක් නැ,, අම්මා, මල්ලි මට දෙන්නේ නෑ. :(

      Delete
  7. ගඟට කපන ඉණි ගඟදිය රැගෙන යති
    සැපට වැඩුණු කය පොළොවට දිරා යති
    අපට නොවේ බඹුටත් මරු ළඟාවෙති
    පිනට දුන්නු දේ පමණක් ඉතුරු වෙති

    මලේ සුවඳ නැතිවෙයි පෙති හැලුණාම
    ගතේ රුසිරු නැතිවෙයි රැලි වැටුණාම
    ගඟේ මහිම නැතිවෙයි දිය සිඳුණාම
    දුන්දේ සුවඳ පවතී ලොව හැමදාම

    කෑමෙන් හොඳ කෑම සපයාගෙන කෑම
    බීමෙන් හොඳ බීම මවුගේ කිරි බීම
    දීමෙන් හොඳ දීම දුගියට දන් දීම
    යෑමෙන් හොඳ යෑම නිර්වාණෙට යෑම

    කන බොන කෑම තනියම වළඳන්න එපා
    අසරණ කෙනෙකු ආ විට එළවන්න එපා
    අනුවණ කමින් පව් සිදුකරගන්න එපා
    නොමැරෙන කෙනෙකු ලෙස ජීවත් වෙන්න එපා

    ගී තනු - රෝහණ වීරසිංහ
    ගායනය - සුනිල් එදිරිසිංහ

    ReplyDelete
    Replies
    1. නිමාව

      කෙදිනක හෝ මේ කුරිරු ලෝකයෙන්
      සමුගෙන මා සදහට නිදනා කල
      කොතැනක හෝ ඔබ සිටිනා තැනකින්
      මා වෙත එනු මැන ප්‍රිය ලඳුනේ
      මා සිප ගනු මැන ප්‍රිය ලඳුනේ

      සුසිනිදු මුදු ඔබගේ තොල්පෙති සුව
      සීතල මා දෙතොලට නොදැනේවී
      මිය ගිය මා හද ඔබ වෙනුවෙන් පිපි
      සෙනෙහස් මල ඔබ හට නොපෙනේවී

      ඔබ හමුවෙන්නට ආ පෙර සවසක
      ඔබට තිළිණ කල මල් පෙති සිහිකර
      මිය ගිය මා දෑතේ මතුපිට
      මලක් තබනු මැන ප්‍රිය ලඳුනේ
      මිය ගිය අතීතය සිහිපත්වන්නට
      මලක් තබනු මැන ප්‍රිය ලඳුනේ

      (RS-1983)

      Delete
    2. ඉපිද මැරේ යළි ඉපදේ
      නොතිර සසර සාගරේ
      අතරතුරේ නොමැරී මැරේ දහස්‌ වරේ
      නිසල නැතේ සසල වෙතේ
      නොතිර සසර සාගරේ //

      කුමට නැටුම් කෙළි කවට සිනා දා
      මරුට නොමැත කිසිවිටකදි බාධා
      ඔබට නොදන් වා මරු මෙහි ආදා
      යන්නට සිඳුවන්නේ ඉන්නට බැරි වන්නේ

      කුණු කය නිසරුයි නැත පවතින්නේ
      කළහොඳ පමණයි මෙලොව රැදෙන්නේ
      නැති බැරි කම ලෙඩ දුක ඇතිවන්නේ
      අපටයි මිනිසුනේ ඇයි එය නොසිතන්නේ

      ගායනය: පණ්ඩිත් අමරදේව සූරීන්

      Delete
    3. සින්දු ඇනෝ6 March 2015 at 02:25
      මේක ලිව්වෙ ඇරැව්වල නන්දිමිත්‍ර මහතා. ඔබ සින්දු දාන කොට කරුණාකරලා එහි පදරචකයා සඳහන් කරන්න. ගීතයක් ගායකයා සංගීතසංරචකයා වෙතින් නැවත ඉපදීමට පෙර පදරචකයා අතින් උපදින නිසා. ස්තුතියි.

      Delete
    4. ස්තුතියි ඇනෝ මිත්‍රයා .සිදුවූ අතපසුවට සමාවෙන්න .මමත් හැම වෙලේම උත්සහ කරන්නේ පද රචකයා ,තනු නිර්මාණය ,ගායනය කල තුන් කට්ටුවම සඳහන් කරන්න .

      Delete
  8. යන වෙලාව ඉතින් අපිට තීරණය කරන්න බැහැනේ.. කිසිම අවුලක් නැතුව ටක් ගාලා යන්න ලැබෙනවනම් ඒක තමයි සතුට..

    ReplyDelete
    Replies
    1. යන වෙලාව තීරණයක කරන්න හදන අයත් ඉන්නවා. ඒත් ඒ අයටත් සමහර ඬිට වැරදිලා මාස, අවුරුදු දුක් විඳිනවා මං දැකලා තියෙනවා.

      Delete
  9. රසිකත් එලොව ගිහින් බලල ආපහු ආව නේද ? කෝ මෙතන ඇනෝල ටික උන් තරහ වෙලා ගිහිල්ලද ?

    ReplyDelete
  10. මැරෙන බව දැනගෙන ජිවත් වුණාම අවුලක් නැහැ.කොයි කෙළිය නැටුවත් ඔය ගමන දවසක යන්න වෙනවානේ.

    ReplyDelete
  11. වෙලාම ආවම කවුරුත් යන්න ඕනේ...

    ප්‍රශ්නේ තියෙන්නේ වෙලාව එන්නේ එක එක ස්වරුපයෙන්...
    එතැනදී කෙනෙකුට අල්ලගෙන ඉන්න වෙන විදිහට, කෙනෙකුට හාස් ගාල හුස්ම ටික යන විදිහට එන්න පුළුවන්.

    අපිට ක්ෂණික මරණයක් පතන්න පුළුවන් උනාට ලැබෙයිද කියන එක පවා අපි දන්නේ නැහැ.
    ඒ සියල්ල සිදුවන්නේ කර්මය(අපගේ ක්‍රියාවන්) අනුව විය හැකියි.

    ReplyDelete
  12. සොඳුර මා වෙත එන්න
    ජීවිතය සුන්දරය
    නිබඳ මා ළඟ සරන
    මරණයද සුන්දරය
    (මඩවල එස් රත්නායක )

    ReplyDelete
  13. කවිය හොඳයි මචන්. අන්තිමට තනියම තමා යන්න වෙන්නේ.

    ReplyDelete
  14. ඒම සහ යාම අතරේ තියෙන්නේ දුක විතරමද? :O

    ReplyDelete
  15. යන එක නම් ගැටළුවක් නෑ ජීවත් වෙන කාලේ හොඳින් හිටිය නං.

    ReplyDelete
  16. ඔය කියවිල්ල තමා එපා වෙන්නේ. යනකල් සිංදුවක් (කවියක්) කියාගෙන හිටුකෝ රසිකෝ..

    ReplyDelete
  17. අපේ ප්‍රොක්‍යුමන්ට් ඩිවිෂන් එකේ විතරක් නෙමේ ආයතනෙම උන්නු හොඳම "මනුස්සයෙක්" ඊයෙ රෑ හාට් ඇටෑක් එකක් ඇවිත් ඇම්බ්‍යුලන්ස් එකේම අවසන් ගමන් ගිහින්. හොඳ මිනිස්සුන්ට ආයුෂ අඩුයි, ඒ නිසා මම නරක මිනිසෙක් වෙමි ( විදිහටම ඉමි ) කියල හිතාගත්ත.

    ReplyDelete

ඔබේ ප්‍රතිචාරය මට සතුටකි!. Your comments are most welcome!
සංයමයෙන් යුතුව ප්‍රතිචාර දක්වන්න.