Monday, 25 May 2015

බේකරි නිදිමත - Sleeping around ;-)


මා සේවය කරන්නේ නිවසේ සිට කිලෝමීටර් හැට හයක් පමණ දුරින් පිහිටා ඇති කාර්යාලයක බව මීට පෙර ලිපියක සඳහන් කළෙමි. මේ ගමන සඳහා මට නිවසේ සිට මෝටර් රථයෙන් කිලෝමීටර් අටක් පමණ දුර ගෙවා දුම්රිය ස්ථානයට ගොස් එතැනින් දුම්රියේ නැගී උතුරු සිඩ්නි නම් ප්‍රදේශය බලා යාමට සිදුවේ.

මේ දුම්රිය ගමනට විනාඩි හැත්තෑ පහක් පමණ ගතවෙතත්, එය කිසිසේත් ම කාලය නාස්තියක් නම් නොවේ. මා දුම්රියට ගොඩවන්නේ එය ඇරඹෙන දුම්රිය පොළ ආසන්නයේ ම ඇති නැවතුමකින් නිසා මට අනිවාර්යෙන් ම හොඳ අසුනක් තෝරා බේරා වාඩිවීමට හැකිවේ. දුම්රිය අසුන් ද, ඉතා සුවපහසුව වාඩී වී සිටීමට හැකි ආකාරයට මනාව සකසා ඇති බැවින්, පැයකටත් වඩා දිගු කාලයක් ඒ මත අසුන්ගෙන සිටීම ද කිසිසේත් වදයක් නොවේ.

සතියේ දිනවල රාජකාරි ස්ථානයට යෑමේ දී දුම්රියේ දිගු දුරක් ගමන් කිරීම, ඒ දුර වාහනයක් පදවාගෙන යාමට හෝ බස් රථයකින් ගමන් කිරීමට හෝ වඩා හැම අතින් ම වාසිදායක කටයුත්තකි. වාහනයක් පැදවීමේ දී මෙන් නිරතුරුවම මානසික අවධානය එක සේ තබා ගැනීම හෝ අතෙන් පයෙන් විවිධ කර්තව්‍යයන් කිරීම හෝ මෙහි දී අවශ්‍ය නොවේ. එසේම, බස් රථයක ගමන් කරද්දී මෙන්, නිරතුරු නැවැත්වීම් සහ මාර්ගයේ ඒ අතට මේ අතට වංගු ගැනීම් වල දී ඇතිවෙන, අහපසුතා දුම්රිය ගමනේ දී නැති තරම් ය.

මේ කරුණු නිසා, දුම්රිය ගමනට ගතවෙන කාලය ඉතා ඵලදායී ආකාරයට යොදා ගැනීමට මට හැකිවේ.

මේ දිගු ගමන ඇරඹූ මුල් කාලයේ, එනම් 2004 වසර මැද සිට 2007 වසරේ මුල දක්වා, මා දුම්රියේ දී බොහෝ විට කළේ, රාජකාරියට අදාළ වැඩ ය. ඒ දිනවල විශ්ව විද්‍යාල කථිකාචාර්යවරයෙකු වූ මට, දේශන සටහන් විමර්ශනය කිරීම, විෂය අත්පොත් කියවීම, නිබන්ධන ලකුණු කිරීම වැනි දුම්රියේ දී වැඩි අපහසුවකින් තොරව කළ හැකි කර්තව්‍යයන් අවශ්‍ය තරම් තිබුණි.

අධ්‍යාපනයට වෙන් කෙරෙනුයේ සියයට හයට අඩුවෙන් ද වැඩියෙන් ද යන්න කෙසේ වෙතත්, විශ්ව විද්‍යාලයක සේවය කරනවාට වඩා රජයේ සේවකයෙකු වීම පොකැට්ටුවට ගුණදායක බව වසර 2007 පෙබරවාරියේ දී ප්‍රායෝගිකව වටහා ගැනීමෙන් පසු මා මුලින්ම පෙළඹුණේ දුම්රියේ දී පොත් කියවීමටයි. සටහන් පොතක කවි යැයි මට හිතෙන දේ කුරුටු ගෑමටයි. මේ ඇරඹුම, පසුව උකුල උඩ තබාගත හැකි පරිගණකයන් ආධාරයෙන් විවිධ ලිපි සහ කතන්දර ලිවීමට දක්වා වැඩි දියුණු විය.

ඒ පරිගණකය කැඩුණු මුල් දිනවල විටින් විට දුම්රියේ දී නිදා ගැනීමට පෙළඹුණෙමි. කියවීමට ගන්නා පොත් නිසා එලෙස නින්දට වැටීම ඉතා පහසු විය. කොටින්ම යළි දුම්රියේ දී පරිගණකයක් භාවිත කිරීමට අකමැත්තක් සිත තුළ ඇතිකරවන තරමටම මේ නින්දට ඇති කැමැත්ත වැඩි දියුණු විය. දුම්රියේ දී කිසිවක් නොලියන නිසා, ඒ සඳහා කාලය නිවසේ දී හොයා ගැනීමට සිදුවූයේ රාත්‍රීයේ නින්ද අඩු කිරීමෙනි. එය විෂම චක්‍රයක්ම විය. පෙරදා රාත්‍රියේ නොලද නින්ද ලබා ගත්තේ උදෑසන දුම්රියේ දී ය.

මේ අතර පොත් කියවීම ද නතර වී ඒ වෙනුවට ජංගම දුරකථනය හරහා ෆේස්බුක් අවකාශයේ සැරිසැරීම සහ බ්ලොග් කියවීම පුරුද්දක් බවට පත්විණි.

මේ සටහන ලියන්නට සිත්වූයේ, ගිය සිකුරාදා අලුතින් පරිගණකයක් මිලට ගත් මා අද සිට නැවතත් දුම්රියේ ජංගම ලේඛන කුටියක් ඇරඹූ බව කියන්නටම නොවේ. මේ දුම්රියේ කුකුළු නින්දට ආයුබෝවන් කීමේ සිද්ධිය හා අදාළව මට සිහිවූ අතීත කතාවක් ද ඔබ සමග බෙදා ගැනීමටයි.

එය මෙසේය.

ශ්‍රී ලංකාවේ සිටි සමයේ මා කලක් සේවයට ආ ගිය කොම්පැනියේ මාණ්ඩලික නිලධාරීන් ගේ බස් රථයට මා උදැසන මහරගමින් ගොඩ වෙන විට එහි පසුපස අසුනක සුව නින්දේ පසුවන අයෙකු දක්නට ලැබේ. ඉඳහිට හෝ නෙත් අඩක් විවර කර අවට බැලූවද යළි නින්දට වැටෙන ඔහු සම්පූර්ණයෙන් අවදි වෙන්නේ බසය සේවා ස්ථානයට ළඟාවූ පසුවයි.

සවස සේවය අවසානයේ දී බසයට ගොඩ වීමෙන් පසු තද නින්දට වැටීමට ඔහුට ගත වෙන්නේ විනාඩි පහකටත් වඩා අඩු කාලයකි. මා මහරගමින් බසින විට ඔහු සැමදා නින්දේය. ඒ බස් රථයේ මා ගමන් කළ වසර දෙකක පමණ කාලය තුළ මේ පුද්ගලයා ගේ ඒ නිදිමත චර්යාව වෙනස් වූයේ ම නැත. මා ඔහු සමග කතා කර ඇත්තේ ද වචන දෙක තුනක් පමණි.

වෙනකෙකුගෙන් මා අසා දැනගත් පරිදි අපේ සගයා ගේ නින්දට හේතුව මෙයයි.

ඔහු අපේ සමාගමේ කළ රැකියවාට අමතරව, බේකරියක හිමිකරුවෙකු ද වේ. බේකරියේ පරිපාලන කටයුතු තමන්ම කළ නිසා අපේ සගයා උදෑසන අවදි වෙන්නේ දෙකේ කණිසමටය. ස්වල්ප වේලාවකින් බේකරියට යන ඔහු පාන් පිච්චීමේ, බෑමේ, බෙදා බැරීමේ ක්‍රියාවලිය අධීක්‍ෂණය කර නිවසට එන්නේ යාන්තම් ඇඟපත සෝදා ගෙන සේවයට යාමට සඳහා සැරසීමට විනාඩි කිහිපයක් තිබියදීය.

නොලබන නින්දේ හිඟය ඔහු පියවා ගන්නේ උදෑසන සහ සවස බස් රථ ගමනේ දී ය. නැවත රාත්‍රී නමයේ කනිසමේ සිට පසුදා උදෑසන දෙකේ කණිසම දක්වා නිදා ගන්නා බව ද සැලවිය.

ඔහු උදෑසන අටේ සිට සවස හතරහමාර දක්වා කාර්යාලයේ ගත කරන කාලයේ නම් නිදා වැටුණේ යැයි නොසිතමි. ඒ මන්ද යත් ඔහු සේවය කළේ ගනුදෙනුකරුවන් නිරතුරු ගැවසෙන අලෙවි දෙපාර්තමේන්තුවේ නිසාය.

-රසිකොලොජිස්ට්

ප/ලි:
ඉහත ඡායාරූපයේ නිදා සිටින්නේ ලාංකීය බ්ලොග්කලාවේ පෙර ගමන්කරුවෙකි. ඔහු කවුදැයි දන්නවාද?

(image: http://indi.ca/2012/04/my-uncanny-sleeping-skills/)

36 comments:

  1. මුලින් ම සුභ පැතුම් රසික අයියාගේ අලුත් ලැපයට......

    කොහොමත් අපේ ගොඩක් දෙනෙක් කරන්නේ උදේ පාන්දර ඉදලා නැගිටලා බස් ගානේ දුක් විදලා කාර්යාලයට ගිහින් නිදාගෙන අාපහු වැඩ අැරිලා දුක් විදින ඒකනේ... මට මතකයි ඉස්සර මම කාර්යාලයක වැඩ කරන කාලේ යාලුවෝ අහනවා අා මචං වැඩ අැරිලා අාවද කියලා අහනවා මං උදේ කාර්යාලයට යනකොට.... මොකද ඔෆිස් යන්න උදේට ර පැය දෙක හමාරක් ගියා..

    ReplyDelete
    Replies
    1. අයියා-බයියා ගාන්නේ නැතුව නම කියල කතා කරපන්.

      Delete
  2. කතාවේ
    එය මෙසේය
    යට භාගේ අපට වටි --------- උඩ භාගේ බොට වටි

    ReplyDelete
  3. කවුද බොලේ ඒ බ්ලොග්කාරය?

    ReplyDelete
  4. නිදාගෙන ඉන්න කට්ටිය බස් එක වංගු ගනිද්දි ඇඟට පෙරලෙන එක තමයි ඉවසන්නම බැරි

    ReplyDelete
  5. පෙර ගමන් කරුවො ඔහොම නිදාගන්නවනං.... අනේ මන්ද.
    තොහොම වෙතත් අර එහා පැත්තෙ ඉන්න ගෑණු ළමයටනං මළ පැනල වගේ. :D

    ReplyDelete
  6. පෙනුමනං ටිකක් indi වගේ ... හැබෑටම මේ indi ද ?

    ReplyDelete
  7. http://blogs.geegain.com/post/33281/my-uncanny-sleeping-skills

    ReplyDelete
  8. කෝච්චි වල යද්දි ලියන්න මමත් උත්සාහ කරල තියනව. ලියවෙනවට වඩා කුරු‍ටු ගෑවෙනව. මම කිවුවෙ මීට අවුරුදු 8කට විතර කලින්. දැන් කෝච්චි වල ලියන්න පුලුවන්ද දන්නෙ නෑ.

    ReplyDelete
  9. කව්ද මේ පොටෝ එකේ ඉන්න බොග් අංකල්

    ReplyDelete
  10. රුහුනු කුමාරී සමුද්‍රදේවී මුතු කුමාරී වගේ දුම්රිය වල යන එන්නන්ද මේ නින්දට බොහෝම ප්‍රසිද්දයි.. ඔය රටේ තරම් ඊට පහසුකමක් නම් නෑ.. ඇත්තටම කාර්යාල දුම්රිය ගමන් ඉතා රසවත් උප සංස්කෘතියක් වගේ. අලුත් ලැප් එකත් සමඟ ලියන්නට පෙළඹීම නම් වටිනවා. @ ටිකක් වැඩිපුර කියවන්න සුදානම් වෙමින්:)

    ReplyDelete
  11. අපේ රටේ කාර්යාල දුම්රිය වල නම් ඔය වැඩේ කරන්න අමාරුයි. සීට් එකක ඉඳන් හිටියත් ටිකක් දුර යද්දී ඉන්න ගෑනු මිනිස්සු ටික සීට් එක මැද්දේත් එක්ක හිට ගන්නවා(සීට් දෙකක් මූණට මූණ නෙ තියෙන්නෙ ගොඩක් වෙලාවට). ඊට පස්සෙ කකුලක් වත් දිගඇරගන්න බෑ. නිදා ගත්තොත් ෂටර් එකක් තියෙන තැනක ඒ පැත්තටම වෙලා හිටියොත් ඇරෙන්න වෙන තැනක නිදියන්නත් බෑ. නිකං රොබෝලා වගේ පැක් වෙලා තමා යන්න වෙන්නෙ ගොඩක් වෙලාවට. තව ගොඩක් කල් යයි රසික අයියලා වගේ පහසුවෙන් ලංකාවෙ කාර්යාලිය දුම්රිය වල යන්න :D.

    ReplyDelete
  12. මෙහෙදී කෝච්චියේ යනගමන් ඔය වැඩේ කරන්න නම් පලවෙනි පන්තියේ යන්න වෙනවා. අනික් පන්තිවල අපේ කරෙත් මිනිස්සු යන නිසා.

    දිනපතා කිලෝමීටර් 16 ක් යාම සඳහා කාර් එකට යන ඉන්ධන වියදම, (කාර් එක පාක් කරලා තියන්න කීයක් ගෙවනවද?) වාර ප්‍රවේශපත්‍රයක් නැත්නම් මාසයකට යන දුම්රිය ගාස්තුව, මේ ඔක්කොම බැලුවම ඔබේ වැටුපෙන් සීයට කීයක් විතර යනවද? කැමතිනම් විතරක් කියන්න.

    මෙහෙ ඔය වියදම දරන්න පුළුවන් ඉහල විධායක ශේණියේ නිලධාරියකුට පමනයි.

    ReplyDelete
    Replies
    1. මම ඉන්නේ රසික ඉන්න පැත්තේ නෙමෙයි. හැබැයි මමත් වැඩට යන්නේ ඔය ක්‍රමයට තමයි. සතියක වියදම
      කෝච්චියට $36 (දවසකට 18km )
      කාර් එකට පෙට්‍රල් $20 (දවසකට 8 km )
      පාර්ක් කරන්නේ ස්ටේෂම ලග පාරක එනිසා වියදමක් නැහැ

      Delete
    2. විචාරක මහතා,

      රාගම දුම්රිය ස්ථානය අසල මෙවැනි ක්‍රමයක් ක්‍රියාත්මක වෙනවා කදිමට. කාර්,මෝටර් සයිකල් වගේ තමුන්ගේම වාහන වලින් කඩවත, රාගම අවට ඉදලා කොටුව,මරදාන අවට රාජකාරි වලට යන උදවිය මේ ක්‍රමය අනුගමනය කරනවා.

      රාගම දුම්රිය පල අසල විශාල වාහන නැවතුම්පලක් තිබෙනවා. එහි මෝටර් බයිසිකල් නැවැත්වීමට ආවරණය කර ලද අංගනයක්, අනෙකුත් වාහන නැවැත්වීමට තවත් ස්ථානයක් තියෙනවා. ඉතිං ඒ නිසා ඒ රාගම,කඩවත වගේ නගර අවට ඉදලා කොටුව,මරදාන වගේ තැන් වලට රාජකාරියට යන පිරිස් රාගම නගරයේ දුම්රියපල අසල ඇති අංගනයේ වාහනය නවත්වා, දුම්රියේ යනවා කාර්යාලයට. ආයේ හවස එනකං වාහනය ආරක්‍ෂිතව තියෙනවා. මේක වටේට ආවරණය කරලා තියෙන අංගනයක් නිසා ආරක්ෂාව හොදයි.

      දිනපතා මෙතන වාහනය නවත්වා,රාජකාරියට යන අගගෙන් එතරම් මුදලක් අය කරන්නේ නෑ, මේක පවත්වාගෙන යන අය.

      මමත් රාගම රෝහලට ගිය විටයි මේ ක්‍රමය දැක්කේ.

      රාගම,කඩවත වගේ පැතිවල ඉදලා උදේට කොටුව,බොරැල්ල,මරදාන,කොල්ලුපිටිය වගේ පැති වලට යනවා කියන්නේ එපා කරපු දෙයක් නේ. පැයකට වඩා යනවා බස් එකේ යන්න ගියාම. හැබැයි දුම්රියේ විනාඩි 15 න් යන්න පුළුවන්.

      මම හිතන්නේ මෙවැනි ක්‍රමයක් කලින් ගාලු පාරේ ක්‍රියාත්මක උනා. එතැනදී අපේ වාහනයෙන් කොළඹ පැත්තට එනවා නං අතර මග මොරටුව හරියේ වෙන්න ඕනි මට මතක විදියට, තියෙන වාහන අංගනයක වාහනය නවත්වා,එතන සිට ක්‍රියාත්මක වන බස් සේවයක් භාවිතා කරලා කොටුව පැත්තට එන්න පුළුවන්. කොහොම උනත් ඒ ක්‍රමය එච්චර සාර්ථක උනේ නෑ. දැන් නං ඒක ක්‍රියාත්මක නෑ වෙන්න ඕනි.

      Delete
    3. විචාරක ගේ පැණයට සරල පිළිතුරක් දෙන්න අමාරුයි. විස්තරාත්මකව ඉදිරියට ලියන්නම්.

      වාහනයේ දුම්රියට යන දුර ලොකු දුරක් යැයි සිතෙන්නේ නෑ. මගේ නිවසට ලඟම දුම්රිය ස්ථානය මෙයයි. ඒ ගමන බස් එකේ යෑමටත් හැකියි, ප්‍රශ්ණය නම් වැඩිපුර විනාඩි දහයක් වැයවෙනවාට අමතරව පැට්‍රල් මිළට වඩා මුදලක් බස් ගාස්තුවට වැය වීමයි.

      Delete
  13. විනාඩි හැත්තෑවක කෝච්චි ගමනක්නම් ඉතින් රසික අයියට පෝස්ට් කීයක් ලේසියෙන්ම ලියන්න පුළුවන්ද කියලා මම මේ කල්පනා කලේ..

    හැබෑට කවුද අර බ්ලොග් කරු..

    ReplyDelete
  14. ඉස්සර නම් මාත් ඉස්කෝලේ, කැම්පස් යද්දී වෑන්/බස් එකේ හොඳට නිදා ගත්තා. කැම්පස් යද්දී වැල්ලවත්ත කිට්ටු වෙද්දී ඇහැරෙනවා. ඔය ඉන්දි වගේ තමයි . බස් එකේ ඉන්න මිනිස්සු කියනවා ඇහෙනවා 'පව් පාඩම් කරලා වෙන්නැති' කියල. මමනේ දන්නේ! මාත් හොඳ ළමයා වගේ හරිබරි ගැහිලා හන්දියෙන් බහිනවා. :D :D

    ඕනෙම වෙලාවක ඕනෙම තැනක 'power naps' ගන්න පුළුවන් අපේ මාමාට. අපි එක්ක ෂොපින් ගියාම එයා මුල්ලක් අල්ලං නිදා ගත් හැටි මතකයි!

    ReplyDelete
  15. රසික මම දුර ගමන් යනකොට audio books අහනවා

    ReplyDelete
    Replies
    1. මටත් තියෙන ප්‍රශ්නේ කව්ද මේ බ්ලොග්කරු කියන එක? මමත් ඔය කෝච්චි වල යත්දී බස් වල යත්දී හිතට එන කවි නම් පොතක් නැත්නම් අහුවෙන කොලකෑල්ලක කුරුටු ගාල තියෙනව. :)

      Delete
    2. //මටත් තියෙන ප්‍රශ්නේ කව්ද මේ බ්ලොග්කරු කියන එක//

      බ්ලොග් කරුවෙක් වෙන්න සුදුසු නෑ වගේද? ඒ තමයි ලංකාවේ පළවෙනි බ්ලොග් කරු

      Delete
  16. මාත් කැමතියි අරෙහෙම කෝච්චියෙන් යන්න පුළුවන් නම් වැඩට.. මට තියෙන්නෙ කිලෝ මීටර් විස්සක්. ඔය ටික යන්න පැයේ ඉඳල පැය එකහමාර දක්වා කාලයක් යනවා තදබදය නිසා. කුවාලාලම්පුර් නගරයට යාම ඒම ලොකු පීඩාවක්. වාහනය එලවීමට ලොකු අවධානයක් දුන්නෙ නැත්නම් ඇණගන්නවා. රාමදාන් කාලෙට හවසට ආපහු එන්න පැය දකක් ගතවෙන්න පුළුවන්.. සසර කළකිරෙනවා. ඉතින් සින්දුවල සීඩී වල පිහිට තමා. ඉන්දියාවෙ හිටි අවුරුදු දෙක නියමයි අපි හිටි බන්ද්‍රාවල ඉඳලා මුම්බායි නගරෙ කාර්යාලෙට යන්න වාහනයට පැය දෙකක් විතර ගත වෙනවා. ආපහු එන්නත් එහෙමයි රියදුරු මහත්තයාට එලවන්න කියලා මං පොතක් දිගෑරගන්නවා. මුම්බායි පොත් කියවන්නන්ට පාරාදීසයක් නගරෙ එක වීදියක පාර අයිනේ දිගටම දුවන පුස්තකාල කියවන්න ආසා කෙනෙකුට පිස්සු හැදෙන තැනක්.

    ReplyDelete
  17. ඒ බෙිකරි හිමිකරැ පව්. රස්සාවල් දෙකක් කරමින් දුක් විදින ඡිවිතේ ඇතුලේ මොනතරම් කැපකිරම් තියනවද?

    ReplyDelete
  18. මම කෝච්චියේ පොත් කියවන්න ගන්නවා! නැත්නම් හොඳට නිදා ගන්නවා..

    ReplyDelete
  19. Indi Samarajiva... (Prof. Rohan Samarajiva's son) Founder of kottu.org..

    ReplyDelete
  20. කෝච්චියේ යන්නේ බොහොම සීමිත විදියට.දුර ගමනක් යනවා නම් පොතක් බලනවා,නැතිනම් නින්ද යනවා.

    නින්දට ණය වෙන්න හොඳ නැහැ කියලා අහලා තියෙනවා.ඒ බේකරි හිමිකරුත් එක පිළිපදිනවා ඇති.

    ReplyDelete
  21. මම දැන් බස්වල යනවා අඩුයි. ඒ වුණාට බස්වල යන්න ආසයි. හොඳ සීට් තියෙන ඒසී බස් එකක මතුගමින් නැග්ගා ම කොන්දොස්තරට සල්ලි දෙන්න වෙන්නේත් එක නින්දකින් ඇහැරිලා. අනෙක් එකෙන් ඇහැරෙනකොට වැල්ලවත්තේ.

    ReplyDelete

ඔබේ ප්‍රතිචාරය මට සතුටකි!. Your comments are most welcome!
සංයමයෙන් යුතුව ප්‍රතිචාර දක්වන්න.