මගේ සිතට එන, මට වැදගත් යැයි සිතෙන, ඕනෑම දෙයක් රසිකොලොජියේ පළවෙනු ඇත.
Whatever I see fit.
eMail: rasikologist@gmail.com
Saturday, 12 September 2015
මෙහෙමත් මෝඩකමක් - What a fool...?
ඇත්තටම මෙය මෝඩකමක් යැයි සිතෙන්නේ අර හයින්සයිට් (අපරදෘෂ්ටිය) ද මොකක්ද එක නිසාය. ඒ සමගම ඒ මෝඩකම නො කළා නම්, කළාට පසු සිදුවුණු බලපෑ එකී නොකී කරුණු කාරණා සාධක සියල්ල එලෙසින් ම පැවතේයැයි ද මෙහි දී උපකල්පනය කෙරේ.
එය එසේ නොවේ නම් මෙය මෝඩකමක් කියා වර්ගීකරණය කිරීම ඇත්තටම අසාධාරණ ක්‍රියාවකි!
කතාව කෙටියෙන් මෙසේ ය.
මට අපේ නැන්දා කෙනෙකුගෙන් තෑගි ඔප්පුවකින් කුඩා ඉඩම් කැබැල්ලක් හිමිවිය.
නැන්දාගෙන් කීවාට නැන්දාගෙන් ම නොවේ. නමුත්, ඒ විස්තරය මෙතැනට කෙළින්ම අදාළ නොවන නිසා, නො ලියමි.
කුඩා කීවාට කුඩාමත් ම නොවේ. අක්කර තුන්කාලක් පමණය. හරියටම කියනවා නම් පර්චස් එකසිය තිහකි.
එය පැරණි රබර් යායකින් පරම්පරාවෙන් පරම්පරාවට බෙදී ගොස්, ඒ එක එක කොටස් අයිතිකරුවන් විසින් විකිණූ විට අපේ පවුලේ අය විසින් මිලට ගන්නා ලද කොටසකි.
කුඩා කාලයේ අප නැන්දලා ගේ නිවසට නිවාඩුව සඳහා ගිය විට ඔය රබර් යාය හරහා නාන්න ගිය අයුරුත්, රබර් ගස් උඩ දු පනින වඳුරන් නැරඹූ අයුරුත්, ශබ්ද නගමින් පුපුරා යන රබර් ඇටවලින් හුළං පෙති සෑදූ අයුරුත් මගේ මතකයේ තවමත් හොඳින් රැඳී ඇත.
කලින් අයිතිකරුවන්ගෙන් මිලට ගත් පසු මේ ඉඩමේ තිබූ රබර් ගස් ගලවා සිටුවන ලද පොල් පැළ, තෑගි ඔප්පුව අත්සන් කරන කාලයවන විට, කනාටු පොල් ගස් බවට පත්වෙමින් තිබුණි.
මේ ඉඩම් කෑල්ල ගැන මා අතින් යම් සඳහනක් කෙරුණු මොහොතක අපේ කාර්යාලයේ සේවය කළ ජ්‍යේෂ්ඨ මිතුරෙකු මා සමග මෙසේ කීවේ ය.
"රසික, ඔහේට තියෙන්නේ ඔය කියන කනාටු පොල් ගස් ටික ගලෝලා දාලා ඕකේ තේක්ක පැල ටිකක් හිටවන්නයි. ඒකට වැඩි මුදලක් යට කරන්න ඕනෑ නෑ. නමුත්, අවුරුදු විස්සකින් විතර තේක්ක ගස් කපන්න පුළුවනි".
අර අඹ ඇටයක් පැල කළ මුත්තා ගේ කතාව, කවි පෙළ සහ ගීතය කුඩා කාලයේ සිට කොයි තරම් වාරයක් අසා තිබුණ ද, අවශ්‍ය වේලාවට අපට ඕවා සිහිපත් නොවේ!
"බුදු අම්මෝ, අවුරුදු විස්සක් කියන්නේ කොච්චර දිග කාලයක් ද?" මම සිතුවෙමි. "තව අවුරුදු විස්සකින් මොනවායින් මොනවා වෙලා තියේද කියලා කාටද කියන්න පුළුවන්?"
එනිසාම, මිතුරා කළ ඒ යෝජනාව, ඒ කණෙන් ඇසී, මේ කණෙන් පිටව ගියේ ය.
මිනිසුන් වශයෙන් අප කළ යුතු හොඳම කර්තව්‍යයන් ත්‍රිත්වය වන්නේ පොතක් ලිවීම, පුතෙක් හැදීම සහ ගසක් වැවීම ය යනුවෙන් කියවෙන පඬිවදන මා එදා අසා නොතිබුණි. එය අසා තිබුණත්, අන් කර්තව්‍යයන් හා සසඳන විට මට ගස් වැවීම යනු අඩුම ප්‍රමුඛතවයක් ඇති ක්‍රියාවකි.
දැන් අර පෙර කී හයින්සයිට් එක සහිතව සලකන විට එදා මිතුරා ගේ යෝජනාව ඉවත දැමීමෙන් මා කර ඇත්තේ මෝඩකමකි.
මා එසේ කියන්නේ ඒ අවවාදය මට ලැබුණේ 1991 දී නිසා ය.
එදා තේක්ක වැවුවා නම්, අද ඒ ගස් සුවිසි වසරක් වයසැති ලී බඩු බාස් උන්නැහේලා ගේ ඇස කන නළවන ඒවා ය.
මගේ ඉඩමේ තිබූ අර කනාටු පොල් ගස් , තවමත් කනාටු පොල් ගස් මය.
-රසිකොලොජිස්ට්
ප/ලි:
මට තෑගි ඔප්පුව ලැබුණු කාලයේ ඒ හරියේ ඉඩම් මිල පර්චසයක් රුපියල් පන්දාහක් පමණ විය.
අහම්, අහම්!
ප/ප/ලි:
මේ 2015 සැප්තැම්බර් සාහිත්‍ය මාසය වෙනුවෙන් ලියවුණු සටහනක් නොවේ!.
සාහිත්‍ය මාසය වෙනුවෙන් ලියවුණු සටහන් කිහිපයක් මෙන්න.
1. කුරුලු හදවතේ හිලක් - Hole in the heart
2. කතෘ අත්සන් කළ පොත් ඔබ ළඟ තිබේද? - Autographed books
3. අහවල් පොත ලිවීම සහ පොත පෙරළීම පිළිිබඳ මගේ කතාව - Such is Life
4. අටේ පන්තියේ ළමයා ලියූ පොත් පිංච - Write a book, make a child and plant a tree!
(image: https://www.keralatourism.org/destination/nilambur-teak-plantations-malappuram/37)
Labels:
අතීතකාමය,
අපේ මෝඩකම්
Subscribe to:
Post Comments (Atom)
අන්න එකනේ පුත ලග නොබලන්න දුර බලන්න කියලා කීවෙ.ඕවා නිකමට කියපුවා නෙවෙයි
ReplyDeleteඅපේ වාස භූමිය පැත්තේත් ඇවිල්ලා යන්න එන්න පහත ලින් එකෙන්
අමනුෂ්‍ය ආවෙෂ,හොර දේවාල සහ හොර දේවගැතිවරැ
How old are you?
ReplyDeleteතේක්ක නම් වවන්නෙ නැති තරමට හොඳයි.සල්ලිකාර තාත්තෙකුගෙ නාස්තිකාර පුතෙක් වගේ.ඉඩමේ වතුර,සාරය එහෙම්පිටින්ම ගිල ගන්නවා.ඒ මදිවට ගස් ලොකු උනාම මිලක් නෑ.මෝල් කාරයෝ සෙට් වෙලා ඉන්නෙ.ලක්සෙක විතර ලී තියෙන ගහ ඉල්ලන්නෙ පන්දාහකට හය දාහකට විතර.ගස්ලබ්බගෙ ගස් ටික දරට වත් ගන්න කියලා හිත හිත ඉන්නෙ..
ReplyDeleteජයවේවා..!!
මටත් වුණේ ඕක ම යි..... අවුරුදු 60 ක් පරණ කොස් ගහකට මට ලී මෝල් කාරයෝ රුපියල් 7500 ක් දෙන්න කතා කළා. බම්බු ගහ ගනිල්ලා කියලා උන්ව එළවලා දැම්මා. ගහ තවමත් තියනවා. දැන් ඒක කපන්න මගේ අදහසක් නැහැ. වත්තේ අලංකාරයට තියාගෙන ඉන්නවා.
Deleteලී බඩු බාසුන්නහේලාගෙ ඇස කන පිනවන එක කෙසේ වෙතත් ගස් කිව්වා වගේ මෝල් කාරයෝ රසිකව සුද්ද කරනවා මේ වෙනකොට තේක්ක හිටෙව්වානම්....
ReplyDeleteරසික ඔය කනාටු ගස් ටික අවුරුදු 60ට වඩා අඩු වයසෙ නම් පලදරන පොල් පෝට මිශ්‍රනය කිලෝ 5 ගානෙ ගහකට දාලා බලන්න...පලදාව එනවා..පෝර දාල සුමාන දෙකකට පස්සෙ ඩොලමයිට් ග්‍රෑම් 500 ගානෙ ගහකට දාන්න....ඔය කවුරු හරි නැන්ද කෙනෙක් මාම කෙනෙක් ඉතිරිවෙලා ඇතිනේ ලංකාවේ රසිකගේ..ඔක්කෝම ඕස්ටේලියාවෙ එක්ක ගියා නම් ඉතින් ගස් ටිකටත් ඉඩමටත් අබ සරණයි...
හයියෝ ඇන්ඩ්‍රොයිඩ් කමෙන්ට්ස් වල අකුරු හැලෙනවා...පොල් පෝට නෙමෙයි ..පොල් පෝර වෙන්න ඕන...
Deleteරසික බැලුවද දැං ඒ ඉඩමවත් ඉතුරු වෙලා තියෙනද කියල.
ReplyDelete1980 දී ගම්පහ දිස්ත්‍රික්කයෙන් රු 10000 කට පර්චස් 20 ක් ගත්තෙමි. ඒ කාලේ ඉඩමට යන්න තිබුනේ පටු ගුරු පාරකි. පුහ්..මං වගේ ලොක්කෙකුට ඉඩම නොගැලපේ කියා රු 15000 කට විකිනුවෙමි. අද ඒ ඉඩම අසලින් කාපට් පාරක් තිබේ. ඒ පැත්තේ අද ඉඩම් මිල පර්චස් එකක් රු 100000 කි. මගේ ඔලුවේ ඒ කාලේ තිබුණු අං දැන්නම් හැලිලාය.
ReplyDeleteඑහෙත් දැන් වැඩක් නැත. විචා තුමාගේ අං හැලිය යුතු කාලේ අං තිබී ඇති බව පෙනේ. විශාල අපරාදයකි.
Deleteහෙහ් හෙහ්.....ඒ අං තිබුනේ හතුරන්ට අනින්නනේ.
Deleteහෙහ් හෙහ් ඔක්කොම අං තිබුණේ හතුරන්ට අනින්නමද ඈං?
Deleteඒකනං ඇත්තටම අපරාදෙ තමයි..................
ReplyDeleteනිදහස් වෙලාවක ඇවිත් යන්න...............
http://hudekalasithuwili.blogspot.com/
රසිකයියේ, ඔබේ මනාපය පරිදී චෙෆ්ගේ උපදෙස හෝ තේ වගාවක් අරඹන ලෙස දැනුම් දෙමි. දැන් තේ කිලෝවට රු.80ක් ලැබේ.
ReplyDeleteඔතන නිවාඩු නිකේතනයක් හදන්න රසික. පිටරට ඉඳන් එන අයට කුලියට දෙන්න
ReplyDeleteතෑගී ඔප්පු ලැබෙන්නේ සාමාන්‍යයෙන් ...... කාටවත් වැඩක් නැති දේපොලටනේ.......
ReplyDeleteතේක්ක යනු වියළි කලාපයේ සිටුවන ගසකි.
ReplyDeleteතෙත් කලාපයේ සිටුවන තෙක්ක ගස් ලී බඩු බාස් උන්නැහේලා ගේ ඇස කන නළවන ඒවා බවට පත් නොවේ.
හොඳ වැඩේ......................
ReplyDeleteWHERE IS THIS LAND, IS I AT PARAKANDENIYA, KOSSINNA, OR GANEMULLA OR WHERE ELSE
ReplyDeleteරබර් වතු මතක් කරද්දී නරන්තරයෙන්ම මම ද කුඩාඅවදියට පිය මැන්නෙමි. රබර් ගෙඩියේ පිට පොතු දෙකක් දෙපසට වෙන්නට රඳවා දෑගිලි අතර රඳවා කටින් පිඹිමෙන් මෙන්ම රබර් ඇටයේ මදය ඉවත් කොට මැද කූරක් හා රූං පෙත්තක් සවිකොට නූලකින් අදිමින් කරකවන බඹරයද මගේ කුඩා අවදියේ හොදම හිත මිතුරන් විය.
ReplyDeleteඑදා මිතුරා කී ලෙසට තේක්ක වැව්වානං අද හොද ආදායමක් නැසැකය. එසේම එය නොකරන්නේ නම් කුණාටු ගස් ටික ට හොදට පෝර පාරක් දමා එදවස ම සාත්තුවක් දුන්නා නං එදා මෙදා තුර හොද ආදායමක් පොල්වලින් ලබන්නට ද ඉඩ තිබිණි. පොල් ගෙඩිය රුපියල් 60ට අලවි වන කාලයකි මේ.
කාලයක් මේ තේක්ක වගාව ඇසුරින් අපේ රටේ ලොකු ජාවාරමකුත් ක්‍රියාත්මක වුණා. තේක්ක වගේම මහෝගනි වගාවක්ද ප්‍රචලිත වුණා. එක් අද මහෝ ලීයට ඇති වටිනකම හුගක්ම අඩු වෙලා. එදා මහෝවලට කළ ආයෝජනයන් අද ඵල රහිත වෙලා.
අපරාදේ...... වල්ල පට්ට ගස් ගැන දැණුමක් තිබ්බේ නැතෙයි ඒ කාළේ...
ReplyDeleteඒත් නැතිනම් අර කලින් පෝස්ට් එකේ ඔහේ කියපු ගස් ජාතිය උනත් අවුලක් නෑ...
හැබැයි ඔය "තේක්ක"වලට මුළු පොලවේම සාරය උරා ගන්න නිසා "තේක්ක"දාපු බිමක වෙනත් වගා හරි යන්නේ නැති බවක් කියනවා දැන්.
ReplyDeleteරසික , ඔබ ඇතැම් විට තේක්ක වැවුවා නම් , අවුරුදු විස්සකට පසු , 2013 විතර කාලයේ , කට්ටියක් ඇවිත් නිදන් හාරන්නට බැකෝ කර ගස් ටිකත් කපා ගෙන යන්නට තිබුණි . එතකොට ඔබේ මහන්සිය , වියදම අපරාදේය .
ReplyDeleteඔබ කර ඇත්තේ ඥානාන්විත ක්‍රියාවකි :)
මම දන්නා අන්කල් කෙනෙකුත් පහුගිය චන්දෙටත් ඔය වගේ වැඩක් කලා ලු . අනිත් එවුන් ඇවිත් මේ වගේ ම අපිව රවට්ටා වී , එතකොට අපේ තමයි හිත රිදෙන්නේ කියා සිතා ඔහු චන්ද කොලේ " අනේ හු*" කියා ලියා ආවා යයි ඉතා ආඩම්බරයෙන් කියයි
ලභ අලාභ කෙසේ වෙතත් වැව්වානම් කාට හරි ප්‍රයෝජනයක් තියෙයි. අර අඹ ගහේ කථාව වගේ. අනික කියනවනේ better late than never කියලත්. දැන් වවල දැම්මොත් නහින දෙහින කාළෙට හරි එහෙම නැත්නම් ළමයෙකුට වත් ප්‍රයෝජනවෙයි.
ReplyDeleteහිත හැදෙන්න බොරු කියන්න ඕනැ නෑ. ඒක මෝඩ කමක් තමයි. තේක්ක කෙසේ වෙතත් මොනව හරි පලකට ඇති ගස් ටිකක් වැව්වනම්, නැත්නම් පොල් ගස් ටිකට සාත්තු කරන්න වැඩපිළිවෙලක් යොදල ගියා නම්, තමන්ට වගේම රටට ලෝකෙටත් හොඳක් වෙයි.
ReplyDeleteඅපේ තාත්තා 1989 දී සීයගෙ ගමේ තිබුන පර්චස් සීයක් විකුණුවා ලයිට් වතුර නෑ කියලා. මුළු ඉඩමම දුන්නේ ලක්ෂ දෙක හමාරකට. දැන් එතන ලේන් දෙකේ පාරක්. පර්චස් එක ලක්ෂයයි. ඇඩෙනවා නේද?
ReplyDelete