Tuesday, 29 September 2015

ඔහේ වෙලාව කීය ද අනේ? රෑ ද, දවල් ද? - What time is it please?


පසුගිය දිනක රාත්‍රියේ ලංකාවෙන් ලැබුණු පණිවිඩයක් නිසා, අතීත කතාවක් සිහියට ආවේය. වහාම මේ සටහන ලියන්නට සිතුණේ එය රසිකොලොජිය හරහා බෙදා හදා ගන්නටයි.

උතුරු අර්ධගෝලයේ වූව ද ඇත්තටම සමකයට යාන්තම් ඉහළින් පිහිටි ලංකාවට මෙන් නොව, පෘථිවියේ දකුණු අර්ධගෝලයේ උඩින් පටන් ගෙන යටට විහිදී යන මහාද්වීපයක් වූ ඕස්ටේ‍ර්ලියාවේ මා වෙසෙන නිව් සවුත් වේල්ස ප්‍රාන්තයට සෘතු වෙනස තරමක් දුරට බලපායි. හිම ඇද වැටෙන, උෂ්ණත්වය සෘණ අගයන් ගන්නා යුරෝපියානු දරුණු වින්ටරයක් නැතත්, අපට ද ශීත කාලයක් තිබේ.

ඒ ශීත කාලය පසු කර අප මේ එළැඹ ඇත්තේ මල් පිපෙන, ගෙඩි හැදෙන, වසන්ත සමයටයි. සූර්යයා අපට වඩාත් ළංවෙමින් පවතින අතර, හිරු පායා ඇති දිවා කාලය, හිරු නොමැති රාත්‍රී කාලයට වඩා ක්‍රමයෙන් වැඩි වෙමින් පවතී.

මේ කාලගුණ විපර්යාසයන් ඕස්ටේ‍ර්ලියාවේ විවිධ ප්‍රදේශවලට බලපාන්නේ එකම ආකාරයට නොවේ. උදාහරණයක් ලෙස මේ මහාද්වීපයේ උතුරු දෙසින් ඇති ඩාර්වින් නගරයට වින්ටරයක් කියා වෙනසක් ඇති නොවේ. රාත්‍රී කාලය මදක් සිසිල් වුවද, අවුරුද්දේ වැඩි දවසක උෂ්ණත්වය අංශක තිහට ඉහළින් පවතී.

දේශගුණික වෙනස්කම්වලට ඉඩ සලසමින් ඕස්ටේ‍ර්ලියානු මහාද්වීපය උතුරේ සිට දකුණට විහිදී ඇතුවා මෙන් ම, බටහිර සිට නැගෙනහිරට ද විශාල ප්‍රදේශයක පැතිර ඇති නිසා, ඉර උදාවෙන වේලාවන් හි වෙනස අනුව රටේ සම්මත වේලාවන් කිහිපයක් ද පවතී.

මේ දිනවල ලංකාව සහ මා වෙසෙන සිඩ්නි නගරය අගනුවර වූ නිව් සවුත් වේල්සය අතර හෝරා වෙනස පැය හතරහමාරක් වේ. එනම්, ලංකාවේ වේලාවෙන් උදෑසන හයට කියවන්නට හැකිවෙන පරිදි මගේ ලිපි මා රසිකොලොජියේ පළ කරන්නේ සිඩ්නි වේලාවෙන් උදේ දහය හමාරට ය.

තව සතියකින් පමණ අපේ වේලාව පැයකින් ඉදිරියට දැමීමට නියමිතයි. එවිට අප එළැඹෙන්නේ ගිම්හාන (සමර්) වේලාවටයි. එතැන් සිට මාස හයක් පමණ ගොස් නැවත වෙනස් කරනතුරු, ලංකාව හා සිඩ්නි අතර හෝරා වෙනස පැය පහමාරක් වෙනු ඇත. ඒ ගිම්හාන කාල සීමාවේ දී, මා රසිකොලොජියේ ලිපි උදෑසන හයට ස්වයංක්‍රී්‍රයව පළවීමට සැකසිය යුත්තේ සිඩ්නි නගරයේ වේලාවෙන් උදෑසන එකොළහමාරට ය.

මා මුලින් සඳහන් කළ පරිදි, මේ ලිපිය ලියන්නට තුඩු දුන්, මට පසුගිය දිනක ලංකාවෙන් ලැබුණු පණිවිඩය පිළිබඳ කතාව මෙසේය.

මට වත්පොත හරහා පණිවිඩයක් එවු තරමක් දන්නා හඳුනන අයෙකු මා හා කතා බස් කිරීමට අවශ්‍ය බව කීවේය. මට මෙවනි ඉල්ලීම් විටින් විට ලැබෙන නිසා, ඒ අනුව යමින් මම එය ඒ පුද්ගලයා ගේ සංක්‍රමණ, අධ්‍යාපන හෝ රැකියා කටයුත්තක් සම්බන්ධයෙන් විය යුතු යැයි සිතුවෙමි.

මම වහාම ඔහු ගේ දුරකථන අංකය ඉල්ලා පිළිතුරක් යවමින් පැවසුවේ, මා ඔහු අමතන්නම් කියායි.

එයට පිළිතුරු ලෙස මට ලැබුණු පණිවිඩයෙන් කියවුණේ රාත්‍රී නමයයි තිහෙන් පසු කතා කරන ලෙසයි.

එනම්, මා ඔහු ඇමතිය යුත්තේ මගේ වේලාවෙන් පාන්දර දෙකට ය!

මෙය සාමාන්‍යයෙන් සිදුවෙන වරදවා ගැනීමකි.

දිගු කාලයක් තිස්සේ මා දුරකථනයෙන් කතා බස් කරන ලංකාවේ ඥාතීන්, හිත මිතුරන් පවා, විටින් විට දැන් ඔහේ වෙලාව කීයදැයි මගෙන් අසති. දැන් එකොළහට ළඟයි වැනි පිළිතුරක් දුන හොත්, ඊළගට ඔවුන් අසන්නේ දවල් ද රෑ ද කියා ය. කාලය වෙනස් බව දැන සිටියද, ඒ ඉදිරියට ද, පසුපසට ද කියා හැඟීමක් වැඩි දෙනෙකුට නැත.

මා ලංකාවේ හිතවතාට දන්වා හැරියේ මගේ වේලාවෙන් අලුයම දෙකේ කනිසමට ඔහුට කතා කිරීමට මට නොහැකි බවයි. පසුව දෙදෙනාටම පහසු හෝරාවක අපි කතා බහ කළෙමු.

ලංකාවෙන් ලැබුණු ඒ පණිවිඩය නිසා, මගේ සිහියට ආ අතීත කතාව මෙසේය.

මා ලංකාවේ කලකට පෙර සේවය කළ ආයතනයේ ම සේවය කළ ජ්‍යෙෂ්ඨ සගයෙකු, ඔහු දන්නා හඳුනන පුද්ගලයෙකුට ඇමරිකා එක්සත් ජනපදයේ පශ්චාත් උපාධියක් හැදෑරීම සඳහා යාමට ආයතනයෙන් පඩි සහිත නිවාඩු අනුමත කර ගැනීම සඳහා අවශ්‍ය වූ බැඳුම්කරයකට අත්සන් කර ඇත.

දැන් පශ්චාත් උපාධිය අවසාන මුත්, මේ පුද්ගලයා ආපසු නො ඒමට තීරණය කර ඇති නිසා, ඒ ගැන ආයතනයෙන් ක්‍රියා කිරීමට පෙර බැඳුම්කරයෙන් නිදහස් වීමට ඔහුට අවශ්‍ය වී ඇත.

මේ ගැන කතාබස් කිරීමට ඇමරිකාවේ සිටින පුද්ගලයා මගේ ජ්‍යෙෂ්ඨ වෘත්තීය සගයා ගේ නිවසට දුරකථනයෙන් අමතා ඇත්තේ සැන්දෑ යාමයේය. ඒ ජංගම දුරකථන බහුලව නොතිබුණු දශක දෙකකට පමණ පෙර කාලයයි.
ඔහු නිවසට පැමිණෙන්නේ තව හෝරා කීපයකින් බවත්, ඉන් පසු නැවත අමතන ලෙසත් මගේ ජ්‍යෙෂ්ඨ සගයා ගේ බිරිඳ ඇමරිකාවේ සිටින පුද්ගලයාට පවසා ඇත.

එයට එකී පුද්ගලයා ගේ ක්‍ෂණික ප්‍රතිචාරය වී ඇත්තේ, අපොයි ඒ වෙලාවට නම් කෝල් කරන්න බෑ මං යුනිවසිටියේ කියායි. නැවතත්, මේ ජංගම දුරකථන බහුල නොවූ, රටකින් රටකට කතා කිරීම තරමක් අසීරු වූ කාලයයි. රාජකාරී දුරකථනයකින් පුද්ගලික කරුණක් සඳහා රටකින් රටකට කතා කරන පහසුකම අදත් ඇත්තේ කීයෙන් කී දෙනෙකුට ද?

මේ කතාව මට පැවසූ මගේ ජ්‍යෙෂ්ඨ සගයා කියා සිටියේ රටවල් දෙකක් අතර හෝරා වෙනස ගැන අවබෝධයක් ඇතිමුත්, දෙදෙනාටම පහසු වේලාවක් සඳහා කාලය, ක්‍රමය සහ අවශ්‍ය වියදම සොයාගත යුත්තේ සාකච්ඡාව සඳහා අවශ්‍යතාවය ඇති පුද්ගලයා බවයි!

-රසිකොලොජිස්ට්

ප/ලි:
මේ 2015 සැප්තැම්බරයේ සාහිත්‍ය මාසය වෙනුවෙන් පළවෙන ලිපියක් නොවේ.

සාහිත්‍ය මාසය වෙනුවෙන් මේ දක්වා ලියවුණු ලිපි මේවා ය.
1. කුරුලු හදවතේ හිලක් - Hole in the heart
2. කතෘ අත්සන් කළ පොත් ඔබ ළඟ තිබේද? - Autographed books
3. අහවල් පොත ලිවීම සහ පොත පෙරළීම පිළිිබඳ මගේ කතාව - Such is Life
4. අටේ පන්තියේ ළමයා ලියූ පොත් පිංච - Write a book, make a child and plant a tree!
5. වෙන්ඩ බ්ලොග්කරුවෙකු විසින් හස්තද්වාරයෙන් පළ කළ පොත් - Sweet eighteen....!!!
6. ස්වයං ඝාතක පොත් පිට කවර නිර්මාණය - You may judge these books by their covers...!!!
7. ඕස්ට්‍රේලියානු සිංහල බ්ලොග්කරුවෝ - Sinhala bloggers domiciled in Australia
8. ආගන්තුක චමත්කාරය යනු කුමක්ද නොහොත් හෙන්රි වර්ණකුලසූරිය ගේ විල්ලරවාඩිය - Henry Warnakulasuriya's Villarawadiya
9. W3Lanka අජිත් පැරකුම් ජයසිංහ ගේ "ශාස්තෲ" නවකතාව ගැන පසුවදනක් - HBD2U APJ

(image: http://geography.about.com/od/culturalgeography/a/offsettimezones.htm)

14 comments:

  1. අද කාලේ නම් මේක මෙච්චර අමාරු දෙයක් විදියට තේරෙන්නේ නෑ. කොහොම හරි වෙලාවක් හොයාගත්ත හැකි. හැබැයි ඉතින් එක්කෙනෙකුට හරි නිදි මරන්ට වෙනවමයි. අනෙක නොමිලේ කතා කරන්ට පුලුවන් ක්‍රමත් තියෙනවනේ...

    ReplyDelete
  2. එක්තරා කාළෙක ලංකාවේ සති අන්තය තිබුණේ හතර පෝයටයි. සතියේ දවස් පහ හැඳුන්වා ඇත්තේ පළමුවෙනි දවස ආදී වශයෙන්. ඒ කාළෙ කථා කරන්න දවසක් දාගන්න කොහොම අමාරුවක් තියෙන්න ඇත්ද?

    ReplyDelete
    Replies
    1. සති අන්තය හතර පෝයට තිබුණේ 1960 දශකයේ අග භාගයේ ඩඩ්ලි සේනානායක ආණ්ඩුව කාලයේ දී යි. පෝයට පෙර දිනය "පෙර පෝය" (හරියට සෙනසුරාදා වගේ). පෝය දිනය තමයි ඔය කාලයේ "ඉරිදා" දිනය වෙලා තිබුණේ. මේ ක්‍රමය 1971 සැප්තැම්බර් මාසයේ දී අහෝසි වුණා.

      Delete
  3. අ‍පොයි ‍ලෝ‍කේ සත්තුන්‍‍ගෙන් බාගයක්ම ඔ‍හේ.

    පැය 12 ක ‍වෙනසක් තියන් ලව් කරද්දි ‍ ‍කො‍හොමද? :D

    ReplyDelete
  4. ඔව්නේ සම්පූර්ණයෙන් ම අනික් පැත්තෙනේද??

    ReplyDelete
  5. අන්තිමට කියාපු එක හරි. (ඒ කියන්නේ අනිත්වා වැරදියි කියල නෙවෙයි :) ඕනි කම තියෙන එකා ඒ කැප කිරීම කරන්න වෙනවා..
    සිඩ්නි වල මැච් ගහන කොට අපි උදේ පහ හමාරේ ඉඳන් නැගිටලා බලන නිසා ඒ ගැන නම් දන්නවා :)

    ReplyDelete
  6. ලංකාවේ සම්මත වේලාව දිල්ලියේ වේලාවයි. එය IST හෙවත් ඉන්දියානු සම්මත වේලාව ලෙස හැඳින්වේ.
    මඩකලපුවේ ඇත්ත වේලාව සහ කොළඹ ඇත්ත වේලාව අතර පරතරය විනාඩි අටක්ද කොහෙද වගේ මතකය.
    එසේ වුවත්, නැකැත් බලන්නේ නම් සම්මත වේලාව අනුවයි. සාමාන්‍යෙයන් නැකැත් වේලාවන් ශුද්ධ කරනවා යනුවෙන් ක්‍රියාවක් කරන නමුත් අපි ඒවා ගණන් ගන්නේ නැත.

    ReplyDelete
    Replies
    1. හරි....., ඒ වෙනස විනාඩි 7 යි තත්පර 52 යි.

      Delete
  7. අපේ සැටලයිට් නෝනා සැරයක් වෙලාව එහෙ මෙහෙ කලා මතකද? ඒ කාලේ අපේ එක කැපුවත් කොළ මාමෙක් පරණ වෙලාවම තියාගන හිටියා අවුරුද්දක් විතර

    ReplyDelete
    Replies
    1. ඔව්, 1996 මාර්තු මාසයේ මහා නියඟයක් ඇවිත් ජල විදුලි ජනනය විශාල වශයෙන් අඩු වුණා. ඒ නිසා දිනකට පැය 8 ක් විදුලි බලය කප්පාදු කෙරුණා. විදුලි බලය ඉතිරි කර ගැනීමේ උපක්‍රමයක් හැටියට ශ්‍රී ලංකා සම්මත වේලාව පැයකින් ඉස්සරහට දැම්මා. එතකොට ග්‍රිනීච් සම්මත වේලාවත් ශ්‍රී ලංකා සම්මත වේලාවත් අතර වෙනස පැය 6 1/2 ක් බවට පත් වුණා. වේලාව ඉදිරියට දැමීම නිසා රාත්‍රී 7:00 ට වුණත් තරමක හිරු ආලෝකයක් තිබුණා. සම්පූර්ණ රාත්‍රිය එළැඹුණේ රාත්‍රී 7:30 ට පමණ.

      පසුව වැසි ලැබී විදුලි ජනන ජලාශ පිරුණු පසු 1996 ඔක්තෝබරයේ පමණ වේලාව පැය 1/2 කින් ආපස්සට ගත්තා. එසේ කළේ ශ්‍රී ලංකා සම්මත වේලාව, පූර්ණ පැය වේලා කලාපයක තිබෙන එක වාණිජමය වාසියක් කියා පිළිගැනුණු නිසා යි. එවිට ග්‍රිනීච් සම්මත වේලාව සහ ශ්‍රී ලංකා සම්මත වේලාව අතර වෙනස පැය 6 ක්. ලංකාව සමඟ ගනු දෙනු කරන පිටරට ආයතනවලට වේලාවේ වෙනස දැනගැනීමට මෙය වඩා පහසු වුණා.

      2006 දී නැවත ශ්‍රී ලංකා සම්මත වේලාව පැය 1/2 ආපස්සට ගැනුණු නිසා, 1996 මාර්තු මාසයට පෙර තිබුණු තත්ත්වයට ම පැමිණියා.

      (දෙවන ලෝක යුද්ධ කාලයේ ලංකා සම්මත වේලාව තිබුණේ ග්‍රිනිච් සම්මත වේලාවට වඩා පැය 6 ක් ඉදිරියෙන්.)

      Delete
  8. සමහර කට්ටියට උදව් කරන්න ගියාම ඔහොම තමයි.

    ඕස්ට්‍රේලියාවේ වෙලාව ඉස්සරහින් ඉන්න එක වාසි වෙලාවලුත් තියෙනවා - US වල එහෙම තියෙන deadlines වලට මොනවා හරි submit කරන කොට වගේ.

    ReplyDelete
  9. අපිට කාලයක් තිබ්බා රටේ රාජට හොඳ කාලය රටවැසියාටත් බලෙන් හරි දෙන්ට හදාපු.ඒ රජාගේ වේලාව හදපු උන්ගේ හොඳ කමට යන්තම් රට වැසියෝ ගැලවුනා.

    ReplyDelete
  10. නිරීක්ෂණ:

    1. "කාලය, ක්‍රමය සහ අවශ්‍ය වියදම සොයාගත යුත්තේ සාකච්ඡාව සඳහා අවශ්‍යතාවය ඇති පුද්ගලයා"ය.
    2. "ගිම්හාන කාල සීමාවේ දී, මා රසිකොලොජියේ ලිපි උදෑසන හයට ස්වයංක්‍රී්‍රයව පළවීමට සැකසිය යුත්තේ සිඩ්නි නගරයේ වේලාවෙන් උදෑසන එකොළහමාරට ය."

    නිගමන:
    1. අවශ්‍යතාවය ඇති පුද්ගලයා රසිකයි.
    2. රසිකට ප්‍රධාන වශයෙන්ම අවශ්‍ය වන්නේ ලංකාවේ සිටින අය කියවනු දැකීමටය.

    මගේ කියවන්නන් අතරින් මේ වන විට ලංකාව හැරුණු විට උඩින්ම ඉන්නේ ඔස්ට්‍රේලියාව සහ ඇමරිකාවයි. ඕස්ට්‍රේලියානු කියවන්නන් හැමෝම වාගේ සිටින්නේ සිඩ්නි, මෙල්බෝර්න්, කැන්බරා වැනි නැගෙනහිර වේලා කලාපයේ ඇති ප්‍රදේශ වලය. ඇමරිකානු කියවන්නෝ වේලා කලාප හතරක විසිරී සිටිති.

    මා සාමාන්‍යයෙන් මගේ වියුණු සටහන් යාවත්කාලීන කරන්නේ ලංකාවේ වේලාවෙන් පාන්දර 4.30 ටය. මෙය සිඩ්නි වේලාවෙන් උදේ 9 වන අතර ඇමරිකාවේ බටහිර (පැසිෆික්) කලාපයේ නගර වලට පෙර දින සවස 4 සහ නැගෙනහිර කලාපයේ සවස 7 වේ. උදේ 9 යනු දුම්රිය ගමන් නිමා කර වැඩ ආරම්භ කරන වෙලාවක් වුවද මගේ ලිපි සාමාන්‍යයෙන් මුලින්ම කියවන්නේ ඕස්ට්‍රේලියානු පාඨකයින්ය. දකුණු අර්ධ ගෝලයේ ගිම්හානය වෙනුවෙන් පැයක් ඉදිරියට යන විට උතුරු අර්ධ ගෝලයේ ගිම්හානය නිමා වී පැයක් පසුපසට යන නිසා පරතරය පැය දෙකක් වීමට නියමිතය. යාවත්කරන වේලාව වෙනස් කළ යුතුද එසේනම් කෙසේද කියා මා තවමත් තීරණය කර නැත.

    ReplyDelete

ඔබේ ප්‍රතිචාරය මට සතුටකි!. Your comments are most welcome!
සංයමයෙන් යුතුව ප්‍රතිචාර දක්වන්න.