Saturday 26 December 2015

දයා පතිරණට එරෙහි ජවිපෙ කුමන්ත්‍රණය - Beginning of JVP bloody politics : Stage 2


මගේ රාවය ලිපිය මෙලෙස කොටස් වශයෙන් පළ කරන්නේ කැමැත්තන් ගේ පමණක් පරිභෝජනය පිණිස ය.

මුල් කොටස:
රාවයේ පළවූ මගේ ලිපිය - Forcing the sun to rise at midnight
http://rasikalogy.blogspot.com/2015/12/forcing-sun-to-rise-at-mid-night.html


දෙවන කොටස:
කොළඹ විශ්වවිද්‍යාලයේ පැවති නයි-මුගටි සටනක්! - JVP vs Independent Students
http://rasikalogy.blogspot.com/2015/12/jvp-vs-independent-students.html


තුන්වෙනි කොටස:
ජවිපෙට අජීර්ණය හැදෙන කවියක් - What an irony!
http://rasikalogy.blogspot.com/2015/12/what-irony.html

අද සිව්වන කොටස.

පෙර සඳහන් කළ උසස් අධ්‍යාපන නව සංශෝධන පනත ට විරුද්ධව කෙරුණු සටන, මාර්තු මාසයේ පරාජිතව අවසාන වීමෙන් පසු මුළු 1985 වසර පුරාම පොදු ශිෂ්‍ය සටන් නොතිබුණි. ඒ අඩුව පිරිමහන්නට දෝ, විශ්වවිද්‍යාල මට්ටමෙන් ශිෂ්‍ය ප‍්‍රශ්න මතුවෙන්න ට විය.

මින් ප‍්‍රධාන තීරණාත්මක සටනක් වූයේ දයා පතිරණ ගේ නායකත්වයෙන් යුතු ස්වාධීන ශිෂ්‍ය කණ්ඩායම සහ ජ.වි.පෙ. අනුබද්ධ සමාජවාදී ශිෂ්‍ය කණ්ඩායම අතර කොළඹ විශ්වවිද්‍යාලය තුළ පැන නැගුණු අරගලයයි.

ඒ වන තෙක්ම කොළඹ විශ්වවිද්‍යාලය තුළ ජ.වි.පෙ. නියෝජනයක් නැති තරම්ම විය. අවිශිබමය තුළ කොළඹ විශ්වවිද්‍යාලය නියෝජනය වූයේ තඹරලූවේ ජිනානන්ද වැනි, කෙළින්ම ජ.වි.පෙ. නොවේ යැයි පෙන්වූ අයගෙනි. පේරාදෙණියේ තත්වය ද එ ලෙසම විය. මෙම 1985 වසරේ දී, පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කි‍්‍රයාකාරී කමිටුව තුළ ද ජ.වි.පෙ. කි‍්‍රයා කළේ පසු පෙළ සිට ය.

කෙසේ වෙතත් මේ දෙපිරිස අතර පැවති සටනින් පසු පැවති අවිශිබම රැස්වීම අති තීරණාත්මක එකක් විය. එදින කොළඹ සරසවිය නියෝජනය කිරීමට පොදු ශිෂ්‍ය කණ්ඩායමේ නියෝජිත තඹරලූවේ ජිනානන්දට අමතරව ජ.වි.පෙ. නියෝජනය කරමින් සරත් එදිරිසිංහ වැනි නමක් තිබූ ශිෂ්‍යයෙකු ද පැමිණ සිටියේ ය. ඔවුන් ගේ අති උද්වේගකාරී කථාවන් හි පොදු ඉලක්කය වූයේ දයා පතිරණ සහ ස්වාධීන ශිෂ්‍ය කණ්ඩායමයි.

මෙම රැුස්වීමේ කැඳවුම්කරු වූයේ පසු කලෙක ජ.වි.පෙ. මධ්‍යම කමිටු සාමාජිකයෙකුව සිට මරණයට ලක් වූ, රංජිතන් ගුණරත්නම් ය. දයා පතිරණ තව දුරටත් කොළඹ විශ්වවිද්‍යාලයේ ලියාපදිංචි ශිෂ්‍යයෙකු නොවේය යන තර්කය ඔස්සේ මෙදින ඔහු අවිශිබම නියෝජිතකමෙන් නෙරපුනි.

එම තීරණයට හිස නැමූ දයා පතිරණ, කොළඹ විශ්වවිද්‍යාලයේ රීඞ් මාවතේ ශිෂ්‍ය මධ්‍යස්ථානයේ පැවති එම රැස්වීමෙන් ඉවත්ව ගිය ආකාරය මට දැනුදු මැවී පෙනේ. එය එසේ සිදු වූවද, සභාවේ මුලාසනය දැරූ රංජිතන් ද එවකට ලියාපදිංචි ශිෂ්‍යයෙක් නොවී ය. එකම වෙනස වූයේ රංජිතන් තම ශිෂ්‍යභාවය තහනමකට ලක් වී සිටි අයෙකු වීමයි.

මේ සිදුවීම් මාලාවේ මීළඟ වැදගත් සිද්ධිය වන්නේ 1985 වසරේ සැප්තැම්බරයේ පමණ දේශපාලන කටයුත්තක් සඳහා මහනුවර පැමිණි දයා පතිරණ සහ තවත් ස්වාධීන ශිෂ්‍ය සංගමයේ නායකයෙකු වූ ධර්මසිරි පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ රැුයක් නවාතැන් ගැනීම ය. මෙම කාරණය නිසා සමාජවාදී ශිෂ්‍ය පෙරමුණ කෙතරම් සලිත වූවා ද යත්, ඉන් ටික දිනකට පසු පැවති කි‍්‍රයාකාරී කමිටු රැුස්වීමේ දී, මේ පිළිබඳව මහා කලබගෑනියක් කරන්නටත්, ඔවුන්ට තම කාමරයේ නවාතැන් දුන් ශිෂ්‍යයාට විරුද්ධව අභූත චෝදනා නගන්නටත් ඔව්හූ පෙළඹුණහ.

එහිදී, ජ.වි.පෙ. අනුබද්ධ ඒ ශිෂ්‍යයන් ගේ ප‍්‍රධාන තර්කයක් වූයේ, දයා පතිරණ ඇතුළු පිණිස අන්ත රැුඩිකල්වාදී පිරිසක් බවත්, ඔවුන් ගේ දේශපාලනය විශ්වවිද්‍යාලය සතු දේපල, සම්පත් විනාශ කරන ආකාරයේ එකක් නිසා ඔවුන් පේරාදෙණිය විශ්වවිද්‍යාලය තුළට වැද්දා ගත නොයුතු බවත් ය.

මෙම තර්කය මට එක් වරම සිහි කරවූයේ, ඉහත සඳහන් කළ මගේ කවියේ එන ”බලහත්කාරෙන් හෝ හිරු පුබුදා හෙට මුළු ලෝකය එළිය කළ යුතුය!” යන යෙදුම සහ එයට ජ.වි.පෙ. දැක්වූ ප‍්‍රතිචාරයයි.

ඊළඟ කොටස:
ජවිපෙ ජාතිවාදය සහ සටන් පාඨ - IUSF expels Daya Pathirana :: https://rasikalogy.blogspot.com/2015/12/iusf-expels-daya-pathirana.html

(image: http://www.lankaweb.com/news/items/2015/12/19/%E0%B6%9A%E0%B7%99%E0%B6%A7%E0%B7%9A%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A-%E0%B6%B6%E0%B7%99%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD-%E0%B6%9A%E0%B6%B4%E0%B7%8F-%E0%B7%80%E0%B7%83%E0%B6%BB-29/)

6 comments:

  1. රසික,

    මේකෙන් පෙන්නේ වාමාංශික තරුණයන් අතර මොනතරම් අන්තවාදී මිනිසුන් සිටියාද යන කාරණයයි.

    බලය සදහා මොනතරම් ලජ්ජ නැති තත්ත්වයකට මිනිසකුට පත්විය හැකිද !

    ReplyDelete
    Replies
    1. වාමාoශික තරුනයන් අන්තවාදී උනත් නෑතත් උන් තමුන්ගේ ස්තාවරය ඉදිරිපත්කරන්න තරම් විවෘත්තයි............නිර්භීතයි !.ඵය අගයකලයුතු තත්වයක් !

      ඔය ලිබරල්,ප්‍රජාතාන්ත්‍රික,ම‍ධයස්ත ඔය ඵක ඵක නම්වලින් ඵන අවස්තාවාදී කදපනුපොන්සියන්ට වෑඩිය උන් සෑහෙන ඉදිරිගාමීයි !

      තමුන්ගෙ මතයට අවoකවීම හොදම දෙය.............

      ඔය මද්‍යස්තයි කියන පිoපියො වෑඩියෙන්ම බරවෙන්නෙ තමුන්ගෙ සාක්කුව පිරෙන පෑත්තට ..................හෑබෑයි අන්තිමට ඵන්නෙ හිස් අතින්..............දේසපාලුවන්ට කියලා අහවල් වෑඩෙත් කරගෙන...................

      ( ලිබරල් කියලා හෑමදාම රෑවටෙන මෝඩයන්ට වෑඩිය වාoමාශය විකුනලා කීයක් හරි හම්බුකරගත්තු විමල් වීරවශලා බුද්දිමත් ඵ් අතින් ! )


      මෙකි වාමාoශිකයින් (කොයි පෑත්තේ උනත් ) බලය සදහා පෙරේතකමක් තිබූවන් බව මා විශ්වාසකරන්නේ නැත.

      සිය අරමුණ දේශපාලන දෑක්ම ක්‍රියාත්මක කිරීම සදහා බලය අවශ්‍ය බෑවින් බලය ලබාගෑනිමේ අවසාන අරමුන තිබුනද ඵම අරමුන, හුදෙක් බල ප්‍රේමීත්වය. වාසි ලබාගෑනීම නොව.......... වෑඩි දෙනාගේ යහපත සදහා හොද දෙයක් කිරීමේ අරමුණ ය.

      වර්තමානයේ බලය අරා සිටින වේසිගේපුතුන් හා මේ තරුණයන් කිසි දිනක සමාන නොවේ !

      Delete
    2. වාමාංශික තරුණයන් අවංකව තමයි මේ වියාපාර වල යෙදුනේ හැබැයි ඔවුන් හරි හරියට මෝඩයි. මෙතැනදී "මෝඩ" කියන වචනය පාවිච්චි කලේ මොවුන් ලෝක දේසපාලනය විතරක් නෙමෙයි මිනිස් මනස පිලිබදවත් අල්ප අවබෝදයක් තිබීමයි.
      ලෝකයේ වාමාංශික ක්‍රමය අසාර්ථක වීමට මුලික හේතුව රජය විසින් ආර්ථියකයේ සියලු තීරණ ගැනීමයි, මෙහිදී නිදහස් වෙළදාමේ ඇති පරිබෝගිගයට තේරීමේ හැකියාව වෙනුවට රජය තීරණය ගැනීමයි. මෙහි වැදගත්ම දෙයනම් මිලියන ගණනක් මිනිසුන් වෙනුවෙන් පුද්ගලයන් කීපදෙනෙක් තීරණ ගැනීමයි.

      මෙවැනි ක්‍රමයක නව කර්මාත බිහිකිරිම රජය විසින් සිදුකරන අතර ජනතා ඉල්ලුම තේරුම් නොගන්න නිසා අදාළ ආයතනය දිගින් දිගටම පාඩු ලැබුවත් දිගටම පවත්වාගැනී මක්නිසාද ? වියදම් කරන්නේ තමන්ගේ මුදල් නොව ජනතාවගේ මුදල් වීමයි.

      මෙහි පවසන වැදගත් කියමනක් තමයි රජය යනු ලාභ උපයන ආයතනයක් නොව සුබසාදනය සදහා පිහිටවාගත් ආයතනයක් වීමයි මෙනිසා සිදුවන්නේ අකාර්යක්ෂම සේවයක් ඇති වී අතිවිශාල මුදලක් නාස්ති වීමයි. මේ නාස්ති වෙන්නේ අනාගතයේ කර්මාන්ත ශාලා ඇතිකිරීමට උවමනා ධනය බව කිසිවෙක් නොසිතයි. සිදුවෙන්නේ ටිකකලකින් රැකියා හිග වීමයි. මෙහිදී තරුණයන් කැරලි ගසන අතර දුෂ්ට චක්‍රය කිරාත්මක වෙයි.

      අනෙක් අතට රජය මෙසේ වියදම් කරන්නේ දුප්පත් ජනයාගේ මුදලුයි (මෙය ශ්‍රී ලංකාවට අදාලයි මන්ද 80% ආදායම සොයන්නේ වක්‍ර බදුවලින් නිසා )

      නිදහස් වෙලදාම පවතින විට එහි ධනපති අංගයක් වන දිළින්දන්ට සහන නොලැබීම ගැන බැලුවම බටහිර විසදුම් ලෙස යොදන්නේ බ්‍රිතාන්‍ය ආර්ථික විද්වතකු වන John Maynard Keynes හදුන්වා දෙනවා පුද්ගලික අංශය සැමවිටම සාර්ථක නොවන අතර රජය අංශය යම්පමනකට ආර්ථිකය සාධාරණ ලෙස ආදායම බෙදීම පිලිබදව මැදිහත් වියයුතු බව.

      පසුගිය රජයේ සිටි වාසුදේව නානායක්කාර, D. E. W. Gunasekera, මහාචාර්ය තිස්ස විතාරණ වැනි වාමන්සිකයන්ගේ (1971 තරුණ වාමන්සිකයන් ගේ ) අවංක කම ගැන පැත්තක තබා ඔවුන්ගෙන් මේ රටට සිදුවූ සේවය කුමක්දැයි පැහැදිලි කරන්න

      Delete
  2. *
    - අටම්පහුර

    ReplyDelete
  3. මිනිහෙක්, යම් මතවාදයක් වෙනුවෙන් පෙනී සිටින මිනිහෙක් ඒ මතවාදය වෙනුවෙන් සටන් වැදිය යුතුමයි නේද? එහෙම නැති තුන් හතර දෙනෙක් මං දන්නවා. ඒ තුන් හතර දෙනා කියන්නෙ තමන්ගෙ මතවාදය නිවැරදියි කියල නෙවෙයි. මහින්ද දිනවන්න ඕනැ කියල. මට තේරෙන්නෙම නෑ ඒ තුන් හතර දෙනා පක්ෂ තුන හතරකත් මහින්ද තවත් එකකත් ඉන්නෙ ඇයි කියල.

    අහක යන කතාවක් මතක් වුනේ. මට ඕනැකම තිබුනෙ Anonymous27 December 2015 at 00:36ගෙ කතාවට අලගු තියන්න.

    තරුණයන් රැඩිකල් වීම ස්වභාවිකයි. ඔවුන් මතවාදයක එල්බ සිටිනවානම් එය වෙනුවෙන් පෙනී සිටිනවා, සටන් වදිනවා. ඔවුන්ගේ අරමුණ ඒ මතවාදයේ ජයග්‍රහණයයි. ඕනෑම කෙනෙක්, ඕනෑම අවංක පුද්ගලයෙක් යම් මතවාදයක් වෙනුවෙන් පෙනී සිටිනවා කියන්නේ ඒ මතවාදයේ ජගග්‍රහණය අපේක්‍ෂා කරනවා තියන එකමයි. ඒක එහෙම නොවිය යුතුයි කියල සිතන හෝ කියන අය එහෙම කියන්නෙ හිතන්නෙ මොන පදනමකින්ද? මොන තර්කයක් උඩද?

    මම මේ සමහර දේශපාලන තරුණයන්ගෙ දකින එකම අඩුපාඩුව ඔය සටන් වැදීම නෙවෙයි, තවත් කෙනෙකුටත් තමන්ට තියන අයිතියම තියනවයි කියල නොසිතීම, තමන් හිතන දේ වැරදෙන්නට ඉඩක් නැතුවාම නොවන බව හිතන්නෙ නැති එක.

    ඒකෙන් අදහස් කරන්නෙ අර ලිබරල් මතවාදය හරියි කියන එක නෙවෙයි. ලිබරල් මතවාදය කියන්නෙ හරි මතයක් නැති එකට බොහොම සමාන එකක්.

    දයා පතිරණ එක පැත්තකිනුත්, ජවිපෙ තවත් පැත්තකිනුත් සටන් වැදුනෙ, තර්ක කළේ සමාජවාදය නමැති සමාජ දේශපාලන භාවිතාව මේ පොලොව මත ක්‍රියාත්මක කරවන්නටයි. නයි මුගටි බවට පත් වුනේ ඔටුන්න හිමි කරගන්න නෙවෙයි. මට වැටහිලා තිබුනු විදිහට-
    ජවිපෙ වැරදි පාරක ගමන් කරන්නෙ ඔවුන්ගෙ මෝඩ කමක් හෝ නොවැටහීමක් නිසා කියල දයා පතිරණලා විශ්වාස කළා. ජවිපෙ පරාජය කරන්න දයා පතිරණල හැම විටකම තර්ක විතර්ක ගෙන හැර පාමින් දේශන පැවැත්තුවා, පොත් පත් පළ කළා.
    දයා පතිරණලා වැරදි පාරක ගමන් කරන්නෙ ඔවුන්ට අධිරාජ්‍යවාදීන් විසින් ඍජුව හෝ වක්‍රව දෙන මුදල් හෝ වස්තුව හෝ වෙනත් යමක් නිසා කියල ජවිපෙ සාමාජිකයො විශ්වාස කළා. දයා පතිරණල පරාජය කරන්න ජවිපෙ හැම විටම මතවාදීවත් භෞතික වශයෙනුත් කටයුතු කළා.

    මේවා ගැන කතා කරද්දි රසිකගේ අනුස්මරණ හැකියාව පුදුමාකාර වැදගත්කමක් දරනවා.

    ReplyDelete
  4. // ජ.වි.පෙ. අනුබද්ධ ඒ ශිෂ්‍යයන් ගේ ප‍්‍රධාන තර්කයක් වූයේ, දයා පතිරණ ඇතුළු පිණිස අන්ත රැඩිකල්වාදී පිරිසක් බවත්, ඔවුන් ගේ දේශපාලනය විශ්ව විද්‍යාලය සතු දේපල, සම්පත් විනාශ කරන ආකාරයේ එකක් නිසා ඔවුන් පේරාදෙණිය විශ්ව විද්‍යාලය තුළට වැද්දා ගත නොයුතු බවත් ය. //
    නැගල යන කතාවක්. එහෙමම කිව්ව නං.

    ReplyDelete

ඔබේ ප්‍රතිචාරය මට සතුටකි!. Your comments are most welcome!
සංයමයෙන් යුතුව ප්‍රතිචාර දක්වන්න.