
සිංහල කවියක් කියන්නැයි යමෙකු ඔබෙන් ඉල්ලා සිටියොත්, ඔබේ සිහියට එන්නේ කවරාකාරයේ කවියක් ද?
ඔබ කුඩා කාලයේ මා වැනි හොඳ ළමයෙකුව සිටියා නම් එය බෝහෝ විට මෙවැනි කවියකි.
සෙත් | සිරි දෙන මහ ගුණ | මුහුදාණන් |
සත් | හට වන බව දුකට | වෙදාණන් |
තිත් | ගණඳුුර දුරලන | දිනිදාණන් |
සිත් | සතොසින් නමදිම් | මුනිදාණන් |
ඒ ලෝවැඩ සඟරාවේ එන කවියකි.
කුඩා කාලයේ සිංහල සාහිත්‍යයට ආශාවක් තිබුණා නම්, මේ ආකාරයේ කවියක් සිහිවීමට ඉඩ ඇත.
සුර රද | සමන් සමගින් සුරඟන | එවර |
පැහැනද | මදාරා පරසතු මල් | පතර |
කර පුද | වඳින මුනි සිරි පා | තඹර |
සකි සඳ | පෙනේ සමනොළ ගිර | නැගෙනහිර |
ඒ සැළලිහිණි සංදේශයේ එන කවියකි.
අඩු වශයෙන් පහත ආකාරයේ ජනකවියක් හෝ සිහිවිය යුතු ය.
මාතර ගඟේ ඉන්නා කිඹුලිගෙ | පැටියා |
බෙල්ල දිගයි තල්ලේ ගෝමර | කැටියා |
යන එන ඔරු පාරු නවතාගෙන | හිටියා |
මිනී නොකයි මාතර කිඹුලිගෙ | පැටියා |
එකක් අනෙකට වඩා සාහිත්‍යමය ගුණයෙන් අඩු වැඩි වුණත්, මා ඉහත උදාහරණ ලෙස දැක්වූ ඒ කවි සැමෙකම ඇති පොදු ලක්‍ෂණයක් නම් ඒවා පද හතරකින් යුතු, එළිසමය සහිත, සඳැස් කවි වීමයි.
මෙහි දී එළිසමය යනුවෙන් අදහස් කෙරෙන්නේ කවියේ පද හතරම එකම ආකාරයෙන් අවසන් වීමයි.
එසේම එහිදී සඳැස් යනුවෙන් අදහස් කෙරුණේ ඡන්දසක් නොහොත් විරිතක් ඇති, එනම් තාලයකට ගායනා කළ හැකි යන්නයි.
ඉහත කවි සියල්ලේම විරිත නොහොත් තාලය මාත්‍රා දහසයකින් සමන්විත වූ සමුද්‍රඝෝෂ නම් වේ.
මීට අමතරව මුල් කවි ද්වයේම දැකිය හැකි පොදු ලක්‍ෂණයක් නම් එ කවියක සෑම පදයකම මුල් වචනය (සෙත්, සත්, තිත් සහ සිත් ලෙස) එකම ආකාරයේ නැතහොත් එකම තාලයේ වීමයි. මෙය එළිවැට ලෙස හැඳින්වේ.
වත්මන් ලංකාවේ ප්‍රබුද්ධම සිංහල කවියන් ලෙස සැලකෙන්නේ 1974 දී මියගිය මහගම සේකර, රත්න ශ්‍රී විජේසිංහ, ආරියවංශ රණවීර වැන්නන් ය. ඔවුන් ලියූ බොහෝ කවි පෙර කී සඳැස් කවි මෙන් එළිසම, එළිවැට, සිව්පද සහ විරිත්වලින් සීමා වූ ඒවා නොව නිදහස්ව ලියවුණු ඒවා ය.
නමුත්, මා පෙර කී පරිදි, සිංහල කවියක් කියන්නැයි යමෙකු ඔබෙන් ඉල්ලා සිටියොත්, මහගම සේකර ගේ හෝ රත්න ශ්‍රී විජේසිංහ ගේ හෝ කවියක් සිහියට එන්නේ කීයෙන් කී දෙනෙකු ගේ ද?
සමහර විට ඔවුන් ගේ කවි වෙනුවට, ඔවුන් විසින් ලියූ ගී පදමාලා නම් සිහියට එනු ඇත!
මා මේ කියන්නට අදහස් කරන්නේ ප්‍රබුද්ධ, සම්භාව්‍ය, ජනතා පාදක, පීචං කතා කෙසේ වෙතත්, කවි වශයෙන් නම් වී දනන් තුඩ තුඩ රැව් දෙන්නේ, මා උදාහරණ දැක් වූ ආකාරයේ සිව් පදයෙන් සමන්විත, සදැස්, එළිසමයෙන් යුතු කවි බවයි.
එළිසමයෙන් යුතු සඳැස් සිව්පද කවි ගැන ඇති ප්‍රධාන චෝදනාව නම්, ඒ ආකාරයේ කවි රචනා කිරීමේ දී, අන්තර්ගතයට වඩා ආකෘතියට මුල් තැන දීම නිසා, කවි රසය මැරෙන බවයි.
ඒ චෝදනාව පදනම් විරහිත නොවේ.
නමුත්, උසස් කවි රසයෙන් යුක්තව මෙන්ම විශේෂයෙන් ම හාස්‍ය රසය මවමින් ද, සිව්පද සඳැස් කවි අද ද ලියවෙනු මා නිරතුරු දැක තිබේ.
එසේම, මා හොඳින් දන්නා එක් කරුණක් නම්, සඳැස් කවියක් ලිවීම පහසු කාර්යයක් නොවන බවයි. පෙර කී එළිවැට රැකීම නොව එළිසමය සකසා ගැනීම ද අසීරු කාර්යයකි.
එයට හේතුව එකම ආකාරයට ශබ්ද කළ හැකි, එකම අකුරෙන් අවසාන වන ඇත, නැත, සිත, බත, හෝ සුසුම, කුසුම, පැතුම, සිතුම වැනි වචන සීමා සහිත වීමයි.
මේ නිසා බොහෝ අංකුර සිව්පද කවියන් කරන්නේ, වා-යන්නෙන් හෝ නේ-යන්නෙන් හෝ එවැනි අකුරකින් අවසාන වන වචන සහිතව කවි ලිවීමයි.
එසේම සිඩ්නි වැනි වචන කවියේ යොදා ගැනීම අසීරු නිසා, සිනුවර වැනි වචන නිර්මාණය කරන්නට ද, කවි පදයේ මාත්‍රා සම්පුර්ණ කිරීම සඳහා සක්ක පද යැයි හැඳින්වෙන, අරුතක් එක් නොකරන, වචන යොදා ගැනීමටත් සිදුවේ.
මේ සියල්ල මට සිහිවූයේ ළඟදී දිනයක විදේශ ඇමති මංගල සමරවීර කළ කථාවක කොටසක් අසන්නට ලැබුණු වෙලේ ය.
මෙන්න ඒ කථාව.
https://youtu.be/1CDUwo_aQTM?t=160
මට ක්‍ෂණයකින් සිහිවූයේ, මංගල සමරවීර එහි දී යොදාගත්, නන්දිකඩාල්, හන්දිකඩාල්, ගෙවල්කඩාල් සහ කකුල්කඩාල් යන වචන හතර යොදා එළිසමය සහිතව හොඳ සිව්පද කවියක් ලිවිය හැකි බවයි.
මෙන්න මා ලියූ ඒ කවිය.
යමු ඉදිරියට, මග දිගටම | හන්දිකඩාල් |
හන්දිය අවට ඇති සියලුම | ගෙවල්කඩාල් |
ගෙවල්වල ඉන්න උං ගේ | කකුල්කඩාල් |
අවසානයේ ජයගත්තෙමු | නන්දිකඩාල් |
කොහොමද හොඳඳ?
මගේ ඊළඟ ප්‍රයත්නය ඉහත වචන උපයෝගී කරගෙන එළිසමය පමණක් නොව එළිවැට ද යොදා සිව්පද කවියක් ලිවීමයි.
-රසිකොලොජිස්ට්
ප/ලි:
කලකට පෙර අප අතර පැවති කවි සංවාදයක දී, කවි ලියන විට එළිසමය රැකීම ගැන කතා බහක් ඇති විය.
මේ මා එතැන දී ලියූ කවියකි.
ඇත | පිහිනා | එතෙර පැදි නදි | සුකුමාලී |
නැත | දැනිලා | වෙහෙස, හති, | බැඳ පද පේලී |
සිත | පිරිලා | ඇතොත් කිති කැවෙනා | කෑලී |
අත | හැරලා | නොයන් එළිසම | හද ලෝලී |
ප/ප/ලි:
මංගල සමරවීර ගේ කතාවේ තවත් කොටස්-
(image: https://www.yamu.lk/blog/7-sinhala-books-we-read-as-kids)