Thursday, 1 June 2017

"සූදානම් ශරීරේ!" - ඩිසාස්ටර් ප්‍රිපෙයාඩ්නස් යනු කුමක් ද? What the hell is Disaster Preparedness?


"ඩිසාස්ටර් ප්‍රිපෙයාඩ්නස්" යන වචනය මා මුලින් ම ඇසුවේ තායිලන්තයේ බැංකොක් නගරාශ්‍රිතව පිහිටා ඇති ආසියානු තාක්‍ෂණික ආයතනයේ (AIT) ඉගෙනීම ඇරඹූ සමයේ දී ය. සිංහලෙන් ඒ සඳහා "ආපදා පෙර සූදානම" යන්න යෙදිය හැකි ය.

එකල පශ්චාත් උපාධි ආයතනයක් වූ ආසියානු තාක්‍ෂණික ආයතනයේ "ඩිසාස්ටර් ප්‍රිපෙයාඩ්නස්" නමින් සුවිශේෂී මධ්‍යස්ථානයක් විය. එක්සත් ජාතීන් ගේ සංගමයේ වාර්තාවක ප්‍රතිඵලයක් ලෙස පිහිටුවා තිබුණු මේ මධ්‍යස්ථානය මගින් සිදු කළ මූලික ම කර්තව්‍යයක් වූයේ ආසියාකරයේ රාජ්‍ය නිලධාරීන් සඳහා මේ විෂය සම්බන්ධයෙන් සති අටක කෙටි පාඨමාලා පැවැත්වීමයි. ඒ පාඨමාලා සඳහා ලංකාවෙන් ද, දිසාපතිලා, උප දිසාපතිලා, ලේකම්ලා සහ වෙනත් නිලධාරීන් සහභාගී වූ බව කියවිණි.

"ඩිසාස්ටර් ප්‍රිපෙයාඩ්නස්" හෙවත් "ආපදා පෙර සූදානම" යන්න එතෙක් මා අසා නොතිබුණු, එසේ ම, අමුතු ආකාරයක යෙදුමක් වූ බැවින් මම එයින් අදහස් කෙරෙන්නේ කුමක්දැයි මදක් සොයා බැලුවෙමි.

මට වැටහුණු ආකාරයට, "ඩිසාස්ටර් ප්‍රිපෙයාඩ්නස්" යන්නෙන් අදහස් කෙරෙනුයේ ආපදාවකට සාර්ථකව මුහුණ දීම සඳහා, කල් වේලා ඇතුව, මනා සේ සූදානම් වීමයි. එමගින් අපේක්‍ෂා කෙරෙන්නේ ආපදාවේ අනිසි ඵල ලෙස අනතුරු ඇතිවීම හැකි උපරිම දුරකට වලක්වා ගැනීම සහ එවැනි අනතුරු නිසා සිදුවන හානිය හැකි උපරිම දුරට අඩු කර ගැනීමයි.

ආපදාවකින් අනතුරු, ජීවිත හානි, දේපල හානි සිදු වූ පසු ඒ තත්වය කළමනාකරණය කිරීම "ඩිසාස්ටර් ප්‍රිපෙයාඩ්නස්" විෂයයට අදාළ, නමුත්, වෙනස් වැඩ කොටසකි. "ඩිසාස්ටර් මැනේජ්මන්ට්" හෙවත් ආපදා කළමනාකරණය ලෙස හැඳින්වෙන්නේ ඒ විෂයයයි.

ගංවතුර, සුනාමි, ගිනිකඳු, නායයාම්, භූමි කම්පා, ලැව් ගිනි යනාදී ආපදා තත්වයන් උදා කරන ස්වාභාවික ව්‍යවසන ඇති බව අපි දනිමු. එසේ ම, දුම්රිය, ගුවන්යානා අනතුරු, ගිනි තැබීම්, ගිනි ගැනීම් යනාදී අවාසනාවන්ත සිදුවීම් ද, ආපදා තත්වයන් උදා කරයි.

"ඩිසාස්ටර් ප්‍රිපෙයාඩ්නස්" ක්‍රමවේදයෙන් අදහස් කෙරෙන්නේ එසේ ස්වභාවික හෝ මිනිසුන් විසින් ඇති කරන ලද විපත් මගින් අනතුරුදායක තත්වයන් ඇති වීමේ හැකියාව අවම කර ගැනීමයි. එසේ ම, නොවැළැක්විය හැකි අනතුරු මගින් සිදුවන ජීවිත හානි, දේපල හානි සහ ජන ජීවිතය අවුල්වීම අඩු කර ගැනීමයි.

වැස්ස අපට නැවතිය නොහැක. අවම කළ නොහැක. කෙටි කාලයක් තුල විශාල වැස්සක් විශාල ප්‍රදේශයකට ඇද හැලුණු විට, ඒ වතුර සාමාන්‍ය ස්වභාවික සහ කෘතිම ජල ප්‍රවාහන පද්ධති පරයා පිටාර ගැලීම ද අපට වැලැක්විය නොහැක. මක් නිසා ද යත්, සෑම පද්ධතියක් ම, උපරිම ධාරිතාවය සහිතව සකසා තැබීම ආර්ථිකවශයෙන් ඵලදායී නොවන ඊටත් වඩා බොහෝ විට ප්‍රායෝගිකව කළ නොහැකි කටයුත්තක් වන නිසා ය.

එසේ නම්, අපට කළ හැක්කේ කුමක් ද?

වර්ෂාව වැටුණු පළියට ම, අප එයට තෙමිය යුතු නැත. එසේ ම, වැරදීමකින් හෝ වැස්සට තෙමුණු පළියට හෙම්බිරිස්සාව හදා ගත යුතු ද නැත. එසේ ම, හැදුණු හෙම්බිරිස්සාව, පසුව නිව්මෝනියාවට පෙරළා ගත යුතු ද නැත. නිව්මෝනියාව සැදුණ ද ඒ හේතුවෙන් මිය යා යුතු ද නැත.

ඒ සැම එකකින් ම වැලකී සිටීමට ක්‍රම තිබේ. එසේ ම, අනිසි ප්‍රතිඵල අවම කර ගැනීමට ද ක්‍රම තිබේ. අප කළ යුත්තේ ඒවා සොයා බලා, සැළසුම් කර, සූුදානම් ශරීරේ තත්වය උදා කර ගැනීමයි.

එසේම, අනෝරා වැසි වැටුණු පමණින්, ගංවතුර පිටාර ගැලූ පමණින්, කඳු නාය ගිය පමණින් මිනිස් ජීවිත නැති විය යුතු නැත. නිවාස විනාස විය යුතු නැත. ජන ජීවිතය මෙතරම් අඩාල විය යුතු නැත. ඒ සියලු දේ බොහෝ දුරට හෝ වලක්වා ගැනීමට මෙන් ම, සිදුවන ජීවිත හානි සහ දේපල හානි අවම කර ගැනීමට ද ක්‍රම ඇත.

මේ අනුව, ආපදාවක් ඇති වුණු පසු එයින් වැනසෙන අවුල්වෙන සියළු දේ යථාතත්වයට පත් කිරීම සඳහා මනා ආපදා කළමනාකරණය අවශ්‍ය වුව ද, ඊට වඩා වැදගත් වන්නේ, ආපදා පෙර සූදානම බව පැහැදිළි ය.

හරියටම කිවහොත්, ලෙඩ සෑඳී, වැඩ අවුල් වී, ප්‍රතිකාර ගැනීමට පෙර, ලෙඩ නොසෑදෙන පරිදි සෞඛ්‍ය සම්පන්නව සිටීම වැනි ය.

අවාසනාවන්ත තත්වය නම්, ආපදා පෙර සූදානම පිළිබඳව හොඳින් දන්නා අය කිහිප දෙනෙකු හෝ ලංකාවේ සිටිති. තම අමාත්‍යාංශය විසින් ස්වභාවික ආපදාවල දී සිදුවන ජීවිත හානි, යටිතල පහසුකම්වලට සිදුවන හානි සහ ආර්ථියට සිදුවන හානි අවම කර ගැනීමේ වැඩ පිළිවෙලක් පෙළ ගස්වා ඇති බව ආපදා කළමනාකරණ ඇමති, මේ ව්‍යවසනය සිදුවීමට පෙර, අන්තර්ජාතික සමුළුවක දී පුරසාරම් දොඩා ඇති බව ද කියවේ.

නමුත් ප්‍රායෝගිකව ඒ කිසිවක සාර්ථකත්වයක් අපට දක්නට ලැබුණේ නැත!

-රසිකොලොජිස්ට්

ප/ලි:
පිළිබඳව පුද්ගලික මට්ටමෙන් වැදගත් විය හැකි සටහන් කිහිපයක් පහත අඩවියේ ඇත.
http://fluxdesignlabs.com/infographics/disaster/

(image: http://www.uctv.tv/series/Disaster-Preparedness-The-Impact-of-Dealing-with-the-Unexpected-822)

27 comments:

  1. Just realized that I am not prepared to face a Zombie attack. Need to buy an aluminum bat. :)

    ReplyDelete
    Replies
    1. ඇලුමිනියම් බැට් එකක් තිඋනට බෑනෙ පිටිපස්සෙන් ඇවිත් ගැහුවොත්.
      ඒකට තමයි තියෙන්නෙ අපේ හෙළ ක්‍රමවේද.
      ආරක්ශාවට ජප කරපු සුරයක් ඉනේ බැඳගත්තනම් මැරෙනකල්ම මැරෙන්නෙ නෑ.

      Delete
    2. ඉකොනොමැට්ටා - ඔය පැත්තේ නැද්ද කිතුල් පොලු, මෝල් ගස් හෙම?

      Delete
    3. ඇනෝනිමස්-

      වශී බෝලයක් මගින් වශී කරගෙන හිසේ මතුරපු කට්ටක් ගැහැව්වොත්, ඕනෑ බර වැඩක් කර ගන්න හැකි වේවි!

      Delete
    4. @ Are you prepared to face an abduction by aliens? Or, recruitment by the awakened Ravana?

      Delete
  2. Whenever I hear disaster preparedness, it reminds me condoms :)

    ReplyDelete
    Replies
    1. /* වර්ෂාව වැටුණු පළියට ම, අප එයට තෙමිය යුතු නැත. */

      රේන්කෝට්?

      Delete
  3. ලංකාවෙ මිනිස්සුන්ට ප්‍රිපෙයාඩ්නස් මතක් වෙන්නෙ ලබන අවුරුද්දෙත් ගංවතුර ගලල නාය ගියාට පස්සෙ තමයි.

    ReplyDelete
    Replies
    1. පුද්ගලිකව කළ යුතු දේට වඩා රජය විසින් කළ යුතු බොහෝ දේ ඇත!

      Delete
  4. ආපදා කළමනාකරණ අමත්‍යංශය ආපදා පෙර සුදානම් අමාත්‍යංශය කියලා වෙනස් කරන්න ඕන.හැබැයි ඉතින් නම වෙනස් උනත් කරන වැඩ ? වෙනස් වේවිද කියන එක ප්‍රශ්නයක්.

    ReplyDelete
    Replies
    1. නෑ, නෑ, ආපදා පෙර සුදානම් අමාත්‍යංශය කියා අලුත් එකක් දාන්න ඕනෑ. ඒකට ඇමටියායි, උප ඇමටියායි, රාජ්ජ ඇමටියායි, නිරීක්‍ෂණ ඇමටියායි පත් කරනවා. මර්සිඩීස් එස්යූවී අටක් ඕඩර් කරනවා. ඇමති ආරක්‍ෂක අංශවලට පොලිසියෙන් පනහක් සහ වාහන දහයක්.

      අමාත්‍යාංශයට සබීතාගේ බිල්ඩිමෙන් තට්ටුවක් රෙන්ට් කරනවා!

      අන්න එහෙමි වැඩ කරන්න ඕනෑ.

      Delete
  5. 2017 මැයි 15 වැනිදා ලක්බිම ඔන්ලයින් හි ස්වභාවික ආපදා සමක් අත ලඟ යනුවෙන් ලිපියක් පළ විය. http://www.lakbima.lk/index.php/2016-04-26-11-35-55/4240-%E0%B7%83%E0%B7%8A%E0%B7%80%E0%B6%B7%E0%B7%8F%E0%B7%80%E0%B7%92%E0%B6%9A-%E0%B6%86%E0%B6%B4%E0%B6%AF%E0%B7%8F-%E0%B7%83%E0%B6%B8%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A-%E0%B6%85%E0%B6%AD-%E0%B7%85%E0%B6%9F

    නිරිත්දිග මෝසම සමග අනතුරට ලක් විය හැකි ප්‍රදේශ පවා එයිප් දැනුවත් කෙරිණි. නමුත් වගකිව යුතු කිසිවෙක් මේ පිළිබඳ සැලකිල්ලක් දක්වා නැති බව දැන් පැහැදිලිය.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි.
      රත්නපුරේ වාරිමාර්ග ඉංජිනේරුවාත් අනතුරු අඟවා තිබුණා!

      Delete
  6. ඩිසාස්ටර් ප්‍රිපෙයාඩ්නස් යනු අපගේ ආපදා කළමනාකරණ අමාත්‍යාංශය නොදන්නා දෙය වෙයි

    ReplyDelete
    Replies
    1. දේ විල් නෙවර් බී ප්‍රිපෙයාර්ඩ්!

      Delete
  7. ඩිසාස්ටර් ප්‍රිපෙයාඩ්නස් දන්න එකම තැන මැතිවරණ දෙපාර්තමේන්තුව. ඔලුවටම වෙඩි තියන්න කියලයි කිව්වෙ.අගවිනිසුරුයි, නීතිපතියි දෙන්නම රෙද්ද අස්සෙ තියාගනත් වැඩේ කරගන්න බැරිඋනා. අන්තිමට මැදමුලනටම ගිහින් ජනේලෙක එල්ලිලයි නතර උනේ!

    ReplyDelete
    Replies
    1. ඩිසාස්ටර් ප්‍රිපෙයාඩ්නස් දන්න එකම තැන මැතිවරණ දෙපාර්තමේන්තුව. ඔලුවටම වෙඩි තියන්න කියලයි කිව්වෙ.

      Masurang kathawa!

      Delete
    2. හොරකමක් කරන්න ආ පළියට එහෙම මිනිස්සුන්ට වෙඩි තියන්නේ මොන නීතිය යටතේ ද? ඒක මහා මුරුග ප්‍රකාශයක්.

      Delete
  8. හොඳ ලිපියක්. තව අවුරුද්දකින් මෝසම් වැහි කාලෙට මතක ඇතුව පලකරන්න තියාගන්න.

    ReplyDelete
    Replies
    1. තව මාස කිහිපයකින් ඊසාන දිග මෝසම් සුළං එනු ඇත.

      Delete
    2. ඒකනම් ඇත්ත

      Delete
  9. රසික,
    නන්දා මාලිනි-සුනිල් ආරියරත්න කියන්නේ අර ඒ දවසවල ගංඟා නිම්න සංවර්ධන මණ්ඩලයේ වැඩ කරපු දෙන්නාද?
    -CP

    ReplyDelete
    Replies
    1. නෑ,

      මේ නන්දා මාලනී කියන්නේ (දැන් නම් මන්දා නාලනී කියා ද කියති) ගායිකාවක්. ඇය රැකියාවට කළේ සින්දු කීම සහ සංගීත පන්තියක් කිරීම කියා සිතනවා.

      සුනිල් ආරියරත්න කියන්නේ ලංකාවේ විශ්වවිද්‍යාලයක හිටපු සිංහල මහාචාර්යයෙක්. දැන් පැන්ෂන් මං හිතන්නේ.

      මේ දෙන්නාගෙන් සුනිල් ලියූ ගී පද මාලා රාශියක් නන්දා ගී ලෙස ගායනා කර තියෙනවා.

      Delete
  10. අමාත්‍යංශය කුත් තියෙද්දී

    ReplyDelete
    Replies
    1. ඒ අමාත්‍යංශය ආපදා කළමනාකරණ නම් වේ. ඔවුන් ආපදා පෙර සූදානම ගැන දන්නේ යැයි නොසිතමි!

      Delete
  11. ඇයි රසික ඇහුවේ නැද්ද , යාපා මෙක්සිකෝ වල ඉඳන් ඇවිත් චන්ඩියා වගේ කිව්වේ මේ ව්‍යසනයේ සම්පුර්ණ වගකීම වැස්ස වලාහක සහ කරුමක්කාර ජනතාව බාරගත යුතුයි ... වැහි වැස්සොත් ගඟ පිරෙයි .. නැත්නම් ඇප් එකකින් බලන්න කියලා

    යාපා මොළකාරයා

    ReplyDelete
    Replies
    1. එහෙමත් කිව්වාද?

      යාපා මොළකාරයා හින්දා නේ එදා ඒ පැත්තේ, අද මේ පැත්තේ!

      Delete

ඔබේ ප්‍රතිචාරය මට සතුටකි!. Your comments are most welcome!
සංයමයෙන් යුතුව ප්‍රතිචාර දක්වන්න.