Sunday 11 June 2017

ජොබ් කරන අයට අවවාදයක් හෙවත් කුරුවල්වීම - Rolling stones and moss


රැකියාවක ඇති වැදගත්කම දන්නේ විරැකියාවෙන් පෙළෙන අයයි. සමහර විට සති කිහිපයක් නොව, මාස ගණනාවක් ම, වසර කිහිපයක් ම, විරැකියාවෙන් දුක් විඳින්නට අප සමහරුන්ට සිදුවේ.

මා ද, ජීවිතයේ දෙතුන් වරක් ඒ කට්ට කා ඇත්තෙමි. ඒ පිළිබඳ විස්තර, මගේ ස්වයං චරිතාපදානයේ කොටස් ලෙස, කෙමෙන් කෙමෙන් ලියවෙනු ඇත.

කෙසේ හෝ දුක් විඳ, රුකියාවක් සොයා ගත් පසු, අර මුලින් කෑ කට්ට පිළිබඳ මතකය කෙමෙන් කෙමෙන් තුනී වී යන්නට පටන් ගනී.

නමුත් චක්කරේ ආපසු කැරකෙන්නට පුළුවන.

චක්කංව වහතෝ පදං!

මේ සටහනේ මාතෘකාවේ දැක්වෙන පරිදි ජොබ් කරන අයට මා දෙන අවවාදය මෙයයි.
එකම රැකියාවේ, එකම කාර්යය කරමින්, අවුරුදු තුනකට වඩා ඉන්න එපා!

හැකි විගස වෙනත් රැකියාවකට යන්න.

ආණ්ඩුවේ රැකියා කරන අය සම්බන්ධයෙන් කියනවා නම්, අඩු වශයෙන් තමන් දැනට කරන රැකියාවට හිමි වාර්ෂික වැටුප් වර්ධක සියල්ල ලැබී අවසාන වූවාට පසු ඒ රැකියාවේ තව දුරටත් රැඳී නොසිට වෙනත් රැකියාවක් සොයා ගන්න.

පුද්ගලික අංශයේ සේවය කරන අයට නම්, මා දන්නා පරිදි, නිත්‍ය වාර්ෂික වැටුප් වර්ධක නැති නිසා, අවුරුදු තුනේ සීමාව උපයෝගී කර ගැනීම වඩා යෝග්‍ය වේ.

මේ අවවාදය මා ඔබට දෙන්නේ දශක කිහිපයක අත්දැකීම් ඇසුරෙන් හොඳින් වටහා ගෙන බව සැබෑවක් නමුත්, නීරෝගී බවේ වැදගත්කම ගැන අපට වැටහෙන්නේ රෝගී වූ විට පමණක් සේ ම, මගේ මේ අවවාදය මට ම වැටහුණේ තරමක් කල් ඉකුත් වූ පසුව ය. එනම්, මට මෙය වැටහුණේ මා දැනට කරන රැකියාවේ සිව් වසරකටත් වඩා ගෙවූ පසු ය.

මෙහි දී, වෙනත් රැකියාවක් සෙවීම යන්නෙන් මා අදහසක් කරන්නේ තමන් සේවය කරන ආයතනයෙන් අස්වී යාම ම නොවේ. ඒ ආයතනයේ ම වුව ද, වෙනත් කාර්යයන් කිරීමයි.

මේ ආකාරයේ වෙනස්කම් නිකම්ම ඇති නොවේ. ඒ සඳහා උත්සාහය, අධිෂ්ඨානය මෙන් ම, තමන් ගේ කුසළතා වර්ධනය කර ගැනීම ද, කුසලතා පරාසය පුළුල් කර ගැනීමට ද අපට අවශ්‍ය වෙනු ඇත.

එනිසා, එවැනි වෑයමක් දැරීම කිසිසේත් ම අපතේ යන්නක් නොව අපේ වෘත්තීමය දියුණුවක් ලෙස සැලකිය හැකිය.

එකම රැකියාවේ වසර දෙක තුනක් ගත කරන විට, අපට අනවශ්‍ය සුරක්‍ෂිතබවක් දැනෙන්නට පටන් ගනියි. ඒ සමගම, අප නොදැනුවත්ව ම අපේ කටයුතු අකාර්යක්‍ෂම වීම ඇරඹේ.

මම මෙය කුරුවල්වීම ලෙස හඳුන්වමි.

තවත් කලක් ගතවෙන විට සිදුවන්නේ අප වෙනස් කම් නුරුස්සන, කල් පැන ගිය, යාන්ත්‍රික රොබෝලා බවට පත් වීමයි.

පුද්ගලිකව මා ගැන පවසනවා නම්, මේ වසරේ ජූනි විසි අට වෙනිදාට මා මේ දැන් කරන රැකියාව අරඹා වසර හතක් සම්පූර්ණ වේ.

ඊට කලින් මම මේ ආයතනයේ ම වෙනත් රැකියාවක වසරක් පමණ සේවය කළෙමි. ඊටත් කලින් මම මේ ආයතනයේ සේවය සඳහා එකතු වූ තනතුරේ වසර දෙක හමාරක් පමණ සේවය කළෙමි.

කල්පනා කර බැලූ විට, මා මීට පෙර, ලංකාවේ හෝ ඕස්ට්‍රේලියාවේ හෝ එකම ස්ථානයක එකම රැකියාවක් වසර තුනකට වඩා එක දිගට කර නැත. අතර මගදී කුමක් හෝ සාර්ථක වෙනසක් සිදු වී රැකියාව ඒකාකාරීවීම හෙවත් කුරුවල්වීම නැවතී තිබේ.

මා පෙර සඳහන් කළ ආකාරයට, මේ රැකියාවේ අවශ්‍ය කාලයට වඩා දිගු කලක් මා රැඳී ඇති බව මට ම වැටහුණේ මින් දෙවසරකට පමණ ඉහත දී ය.

එතැන් සිට වුව ද මා සෙවූයේ සෑම අතින් ම දැන් මා කරන රැකියාවට වඩා හැම අතින් ම ඉහළ රැකියාවකි. එය ද දුරාවාරයේ ය. ඒ අතර, වසරකට පෙර ඇරඹුණු ආයතනයේ ප්‍රතිව්‍යුහකරණය වැඩ පිළිවෙළක් නිසා, එලෙස කළ වෙනත් රැකියා සෙවීම ද මම මදකට නතර කර දමා සිටියෙමි.

කෙසේ නමුත්, දැන් මේ තත්වය වෙනස් කිරීමට කාලය පැමිණ ඇතැයි සිතේ.

මට ජයවේවා!

-රසිකොලොජිස්ට්

ප/ලි:
මේ සටහන ලියා, සංස්කරණය කර පළ කිරීමට නියමිත ගොනුවේ බහා දින හිහිපයකට පසුව, පසුගිය ඉරිදා රාත්‍රියේ දී, වෙනත් රැකියාවකට අයැදුම් පතක් යොමු කළෙමි! මේ සති අන්තයේ ද තවත් අයැදුම් පතක් සැකසීමට සිතා සිටිමි.

රැකියා කරන ඔබ ද, කුරුවල්නොවී සිටීමට උත්සාහ ගන්නා මෙන් ආදරයෙන් ඉල්ලමි.

(image: http://lastrada.blogspot.com.au/2011/04/rolling-stone-gathers-no-moss-anzio.html)

28 comments:

  1. කාලෙන් කාලෙට ඕක හිතෙනවා. ආයෙත් යට යනවා.

    ReplyDelete
    Replies
    1. සැපයක් යැයි කකුළුව දිය කෙළියේ?

      Delete
  2. බටහිර ලෝකයේ ලංකවේ මෙන් ජොබ් ස්ථිර නැත , පෆෝර්මන්ස් අල වේ ගෙන එන විට ඩිනර් එකක් දී ගෙදර යවති. මේ නිසා මගේ මිතුරෙක් මෙසෙ කීවා : ජොබ ජොබට හේතුව ජොබ නැතිවීම ජොබ නැතිවීමේ මාර්ගය කියා

    ReplyDelete
    Replies
    1. කොහේ වුනත් රජයේ සේවයේ නම් එසේ කිරීමට නොහැක. නිසි ක්‍රමවේදයක් ඇත. ඒ සමගම වන්දි ද ලැබේ!

      Delete
  3. ශ්‍රී ලංකා රාජ්‍ය සේවය සඳහා අදාල නැත. පෞද්ගලික බස් කොන්දොස්තරවරුන් සඳහා අදාල වේ.

    ReplyDelete
    Replies
    1. ඒ කියන්නේ ලංකාවේ රජයේ සේවයේ අය බැඳුණු රැකියාවේ ම ඉඳලා පෙන්ෂන් යනවා කියන එක ද?

      වෙන්න බෑ නේද?

      මා නම් රජයේ සේවයේ නොව, සංස්ථාවක සහ විශ්වවිද්‍යාලයක සේවය කර ඇත. අදාල උසස් වීම් ලැබුණි!

      Delete
  4. අපිටත් එහෙම ම හිතෙනවා රසික.
    අලුත් එකක් හොයන එක තමයි වැඩේ...

    ReplyDelete
    Replies
    1. උත්සහ කළේ නැතිනම් කිසිම දෙයක් නෑනේ!

      උත්සාහ කරන්න තමන් ගේ ස්කිල්ස් වැඩි දියුණු කරගන්න වෙනවා. ඒකම දිණුමක්.

      Delete
  5. ඇත්තකුත් තියෙනවා..........ඒත් එහෙම අයට උඩට යන්ඩ පුලුවන්ද?

    ReplyDelete
    Replies
    1. කොහොම අයට ද?
      මා වැනි අයට ද?

      Delete
  6. එක් වසක් හෝ රැඳීමෙන් පසු තවත් ජොබකට සිත ඇදේවා
    මක් කරන්නද අලුත රැකියා නොලැබුනත් සැම දුක් නොවේවා
    දුක් කඳුලු පිස අලුත් රැකියා සොයා යන්නට දිරි ලැබේවා
    ලක් එකෙන් නුඹෙ පැතුම් ඉටුවී හෙටම රැකියාවක් ලැබේවා....

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. තවත් ජොබකට සිත ඇදුණොතින් එක් වසක් ගත වෙන්නටත් පෙර
      අලුත් තැන අය සිතන්නට හැක මූ සමග වැඩ කළොත් ජරමර
      පවත්වාගෙන වෘත්තියේ තත්වයත් රැකගෙන නමත් ගරුතර
      හෙටත් ආපසු එන්න පුළුවන් ලෙසයි ගිය යුතු ඔබත් සුමිතුර!

      Delete
  7. මමත් මේ සේවා ස්ථානයේ වසර නවය සම්පූර්ණ කලා. තනතුරු මාරුවක් වුණේ එක් වතාවයි. දැන් මේ තනතුරේ අවුරුදු හයක්. රසික කියන දේ මටත් අදාලයි. එකම වෙනස අපේ රැකියාව 'ප්‍රොජෙක්ට් බේස්ඩ්' වගේ නිසා, කලින් කලට කරන දේවල් වෙනස් වෙනවා, නිරතුරුවම දැනුම අලුත් කරගැනීම අවශ්‍ය වෙනවා. තනතුර එකම වුණාට, එහෙම එකම දේ කරපු බවක් දැනෙන්නේ නෑ.

    ReplyDelete
    Replies
    1. ඒක සුවිශේෂී තත්වයක් විය හැකියි.
      නමුත් හැම සරල රේඛාවම චක්‍රයක් නේද?

      Delete
  8. මේ වසරේ අගෝස්තුවලට වර්තමාන රැකියාවට වසර 10. ඇතැම් අවස්ථා වල පීඩනකාරී තත්වයන් ඇති වුවත් සමස්ථයක් වශයෙන් ලැබෙන නිදහසට සහ ප්‍රතිලාභ වලට කැමති නිසා කූඩැල්ලෙක් වගේ එල්ලිලා ඉන්නවා.

    වෙනත් රැකියාවක් සොයා යන උත්සාහයට ජය වේවා !

    ReplyDelete
    Replies
    1. මං හිතාගෙන හිටියේ කූඩැල්ලා කියන්නේ එකතැන (කොට්ටයක වගේ) තියන්න බැරි එකෙක් කියලයි.

      පසුව තේරුණා මේ කියන්නේ ලේ බොමින් සිටින කූඩැල්ලෙකු ගැන ය කියලා!

      ;-)

      Delete
  9. Agreed, but practically difficult.

    ReplyDelete
    Replies
    1. Willpower is the key to success. Successful people strive no matter what they feel by applying their will to overcome apathy, doubt or fear.

      - Dan Millman

      (ප්‍රා ජේ මේ වගේ කෑලිවලට කැමතියි නේ!)

      Delete
  10. ඒක ඇත්ත. පහුගිය අවුරුදු අටට මම මේ කරන හතරවෙනි ජොබ් එක.. ඊට කලින් අවුරුදු දොලහක් එකක් කරා.. ඒකම දිගට කරගෙන ගියානං ලබන මාසේ පෙන්ශන් :) ඒත් ඒ ගැන කිසිම කණගාටුවක් නෑ .. මේ ජොබ් එකට දැනට අවුරුදු තුනක් .. දැන්නම් නිකං ඇති ඇති වගෙයි :)

    ReplyDelete
    Replies
    1. මොනවා හතලිස් පහටත් ළඟයි ද?

      Delete
  11. ආයතන දහයක රැකියා පහළොවක් කර ඇති අතර එකම ආයතනයක වසර පහකට වඩා සේවය කර නැත. එකම තනතුර දෙවසරකට වඩා දරා නැත. කිහිප වරක්ම කළ දෙය අතහැර මුල සිටම පටන්ගෙන තිබේ. එළැඹෙන අගෝස්තුවේ භාර ගන්නා තනතුර වසර පහක් එක දිගට කරන්නට දැනට හිතාගෙන සිටිමි. සේවය කළ ආයතන අතර රාජ්‍ය, අර්ධ රාජ්‍ය, පෞද්ගලික හා අධ්‍යයන ආයතන මෙන්ම ව්‍යවසායක උත්සාහයන්ද තිබේ. හමුදා වලනම් සේවය කර නැත.

    ReplyDelete
    Replies
    1. මාත් දෙවරක් ම කළ දෙය අතහැර අලුතෙන් පටන් ගත්තා.

      දැන් නම් ඒකට කම්මැලියි වගේ! කුරුවල් වෙලා!

      Delete
  12. මට නම් දැන් මොන උක්තේ රස්සාවක් වුනත් එපා වෙලා තියෙන්නේ.සේවකයෝ කියන්නේ අයිතිකාරයා නිදාගෙන ඉන්නකොටත් ඌට සල්ලි හම්බ කරලා දෙන වැටුප් වහලුන් පිරිසක්.
    -CP

    ReplyDelete
    Replies
    1. එහෙනම් ඉතිං අයිතිකාරයෙකු වෙලා වහලුන් පිරිසකගෙන් වැඩ ගන්න!

      Delete
  13. හරියට හරි. එකම තැන එල්ලිගෙන සිටීම අතිශයින් අනතුරු දායකය. අපි වැනි නර්ස් ලාටත් ඕක අදාලයි.








    ReplyDelete
  14. රජයේ රැකියාවක කාලකන්නිම වෙලා දැන් පුද්ගලික ආයතනයකට ආව, තෙරෙනව අපරාදෙ කියලා පහුගිය අවුරුදු 5.

    ReplyDelete
  15. රජයේ රැකියාවක කාලකන්නිම වෙලා දැන් පුද්ගලික ආයතනයකට ආව, තෙරෙනව අපරාදෙ කියලා පහුගිය අවුරුදු 5.

    ReplyDelete
  16. ඔය වැඩේ හැමෝටම පුලුවන්ද කියලා හිතෙනවා? අලුත් පරම්පරාවට පුලුවන් ඒත්, යම් විධියකට ස්ථාවර වුනු අයට, එවැනිම තව එකක් සොයාගැනීම එතරම් ලේසි නෑ.....

    හැබැයි, කුරුවල්වීමේ කතාවට මමත් එකඟයි..........

    ReplyDelete

ඔබේ ප්‍රතිචාරය මට සතුටකි!. Your comments are most welcome!
සංයමයෙන් යුතුව ප්‍රතිචාර දක්වන්න.