Friday 15 January 2016

හොරෙන් මල් කැඩීම (පවුල් පන්සල් වුණු වැඩිහිටි අයට ගේ කියවීම සඳහා පමණි) - Flower robber


මල් කැඩීම යනු තව දුරටත් මල් කැඩීම නොවේ.

සාමා ලා, අමර ලා, සල් මල් කැඩුවේ ඉස්සර ය. දැන් කියවෙන මල් කැඩීමට සල් මලවල තියා බගන්දරා මල්වලවත් කෙළින් ම සම්බන්ධයක් නැත.

පසුගිය මාසයේ ලංකාවේ නිවාඩුව ගත කරන විට, අපේ වත්තේ පිපෙන මල් නිරතුරු අනවසරයෙන් කඩන අය සිටින බව මගේ මලයා නිකමට මෙන් කියනු ඇසුණේ වුව ද, මගේ දෙ ඇසින් ම එවැනි උවැසියක් සැබැවින් ම දකින තුරු මට ඒ හොරෙන් මල් කැඩීමේ ක්‍රියාවේ ඇති සරදම් ස්වභාවය වැටහුණේ නැත.

මේ පහත පලවෙන්නේ ඒ අත්දැකීම ගැන මා පොල් උයනක හිඳ ලියූ විප්‍රලාසී කවියයි!

මල් නෙළන උවැසිය

දහසක් බුදුවරු බුදුවෙති පැවසෙන
හිමිදිරි උදයේ
අපේ ගෙදර වත්තේ
වැටෙන් එහා පැත්තේ
පාර අයිනෙ ඉඳලා
හොරෙන් හොරෙන් වටපිට නෙත් යොමලා
පැල ඉනි අස්සෙන් අත දිගු කරලා

උදේ ම පිපිච්ච ලස්සන රතු මල්
පිපෙන්න තියෙනා පොහොට්ටු මල්
නිකං හෙම නොවෙයි කිනිති පිටින්
කිසිම දුකක් සිත නැති විලසින්
කඩා ගන්න හිතුණේ ඇයි කියපං?

උදේ පාන්දර පන්සල් යන්නද?
ගෙදර ම ඉඳගෙන බුදුන් වඳින්නද?
පූ-ජේ-මී බූද්ධං මතුරන්නද?
ලොව අනියතබව සිහියට ගන්නද?

ඒත් ඉතිං බං ඕක කොරන්නට
අපේ වත්තෙන් ම මල් ඕනැද බොට?

බොලෑ වත්තෙ මල් ගහක් හිටෝගෙන
මලක් දෙකක් පූදිනකං හිටියොත්
නිවන් යන්න බොට පරක්කු වේවිද?

ඊයේ හවසත් මල් ගස් වනසා
ගාථා කියමින් කළ මල් පිදුමෙන්
වටහා ගත් ඒ ලොව අනියතබව
මේ පැය දොළහට අමතක වුණා ද?

වරුවකට වරක් සෑම දිනයක ම
පූ-ජේ-මී බුද්ධං මතුරන්නට
ලොව අනියතබව සිහිපත් කරනට
මදි ද එක මලක්?
නැතිනම් තුන හතරක්?
ඔය පීරිසිය ම පුරෝල ඕනැද?
නැතිනම් ඒකේ අඩුවක් වේවිද?
ලොව අනියතබව නොම වැටහේවිද?

මේකත් කියපං!

ඔය පුජාවට
පිපිච්ච මල් ටික
කඩන්න ඕනැ ද?
ගහේ ම තිබුණොත් මල් පරවෙන්නට
වැඩිපුර දවසක් දෙකක් යන නිසා
ලොව අනියත්‍ය බව වටහා ගන්නට
පරක්කු වෙනවද?

අද හැන්දෑවට මටත් මලක් ගෙන
පූ-ජේ-මී බුද්ධං මතුරාලා
ලොව අනියතබව මෙනෙහි කරන්නට
බුදු පිළිමය ළඟ තියන්න හිතුණොත්
කෝ බං ඒකට මලක් දෙකක් හෙම
මල් පොහොට්ටු ටික උඹ කඩලා නොවැ?
මට පිං කරන්න අකැප ද එතකොට?

අපේ ගහේ මල් ටික සූරාගෙන
පූ-ජේ-මී බුද්ධං මතුරාගෙන
ලොව අනියතබව සිහිපත් කරගෙන
එහෙනං උඹවත් නිවනට පලයං

මං එන්නං තව ටිකක් පහුවෙලා!




-රසිකොලොජිස්ට්

ප/ලි:
මෙය විප්‍රලාසී විප්‍රලාපී කවියක් යැයි සිතමි!.

එසේ නොමැතිව, මෙය කිසිසේත් ම විප්‍රවාසී කවියක් නම් නොවේ. විප්‍රවාසී කවියක් කියවීමට අවශ්‍යනම් මෙන්න පාර.
http://rasikalogy.blogspot.com/2015/12/poem-dedicated-to-hashitha-abeywardana.html

විප්‍රලාසී විප්‍රලාපී කවි යනු කවරේදැයි දැන ගැනීමට යශෝධා සම්මානී ප්‍රේමරත්න ලියූ "ඉතා කෙටි කලබල සිහින" කාව්‍ය සංග්‍රහයට මංජුල වෙඩිවර්ධන ලියූ පෙරවදන කියවන්න. නැතිනම්, "ඉතා කෙටි කලබල සිහින" කාව්‍ය සංග්‍රහය දොරට වැඩුමේ උත්සවයේ දී, රසවතිය බ්ලොගය ලියන හෂිත අබේවර්ධන කළ දේශනයට සවන් දෙන්න.

(image: http://www.touchtalent.com/artist/445950/harinder-sethi)

29 comments:

  1. නිවනට යන්නට ඉස්සර ගෙදරට
    සුන්සාල් ඩිංගක් ඕනෑ හැලියට
    අඬනව බඩගිනි වගේ මල්ලිට
    විකුනා ගන්නයි කැඩුවේ මල් ටික

    ReplyDelete
  2. නිකන් ගහේ තිබෙනා මේ මල් ටික,
    කැඩුවම වැරදි ද කියපං හෙමිහිට,
    බුදුන් නොවේ මහ සඟ රුවනට වත්,
    නිවන්ට හැකි වෙද මගෙ දුක් ගිනි කඳ.

    වැටෙන් මෙහා ඉඳ අත දික් කරලා,
    වැටෙන් එහා මල් සේරොම කැඩුවා,
    නිවන් පුරේ යන්නට නොම සිතලා,
    ගෙන යමි මේ මල් ටික මිල කරලා.

    කීවොත් නොදෙන බව දැන,
    කව්රුත් නොමැති බව දැනගෙන,
    මල් කූඩෙ අරගෙන,
    ආවෙ පව්ලක ගිනි නිවන්න.

    මට නිවන් යන්නට,
    හැකි වේද මේ සසර ගමනෙ ම,
    මේ මල් ගසට ලොබ බැඳ,
    ඔබට හැකි වෙද නිවන් යන්නට.

    ReplyDelete
    Replies
    1. ඒකත් ඇත්ත, පූජා කරන්න මල් කැඩුවාම පව් අහෝසි කම්ම වෙනවානේ නේද?

      Delete
  3. වැඩිහිටි අයගේ කියවීම්ට පමනයි/
    මම මුලින්ම හිතුවේ වෙන මල් කැඩීමක් ගෙන, හැබයි වෙන උන් ලියන ඒවා හැටියට වැඩිහිටි අයට මෙන්ම බාල අයටත් මේක කියෙව්වයි කියලා කිසි ප්‍රශ්නයක් වෙයි කියලා.
    ලස්සන කවි පෙලක්..

    ReplyDelete
    Replies
    1. මෙය විප්‍රලාසී කවියක් යැයි සිතමි!

      Delete
  4. මල් තබා
    ජූජේමි බුද්ධං කිව්වට
    කියන්නට හැකිවේද
    අදින්නාදානා වේරමනී.

    ReplyDelete
    Replies
    1. මලක් නෙලා ගෙනැවිත් බුදු සාදුට පිදුවා.....
      https://youtu.be/ax1EIKW7sA8

      Delete
  5. රසිකට වගේ පාන්දර හොරෙන් හොරෙන් මල් නෙලනා උවැසියන් දකින්න වාසනාවක් මට නෑනේ, අපේ වත්තේ උදේට මල් කඩන්නේ හන්දියේ බාර් එකේ හැඩි දැඩි බාර්මන්.

    ReplyDelete
    Replies
    1. ඒ උවැසිය දෙස බලා පිළිකුල් භාවනාව කර පින් සිදුකර ගන්නට ඉඩ තිබුණි!

      Delete
    2. ඔය පින්තූරෙ වගේ ලලනාවක් අපේ වත්තෙ මල් කඩන්න එනවනම් මම නිවාඩු දාගෙන වැට දිගටම මල් වවනව ඕ යේස්.

      Delete
  6. දැන් තියෙන්නේ මහා මල් පූජා... පළතුරු පූජා... ඒවට් එකතු කරනවා ඇති..

    ReplyDelete
  7. බුදුන් වැඳීම සඳහා උපාසකම්මලා ඔය හොරකම බොහෝවිට කරනවා.

    අර වරුනි මෙන්ඩිස් මේ මුල් ගීතය ගායනා කල පේෂලා මෙන්ඩිස් ගේ දුවෙක්ද?

    ReplyDelete
  8. කොහොම හරි ඔබ තුමාටත් වැවුව පිං හරි ඉතිරි වෙන්නැතෑ

    ReplyDelete
  9. පහන ළඟයි - ආලෝකෙ දුරයි !!!

    ReplyDelete
  10. චන්ද්‍රසිරි කොඩිතුවක්කුට මිය යා හැකිය. එහෙත් අබිලිං මිය නොයයි. සුජීව කොකාවල ඉන්න තුරුම අබිලිං ජීවත් වන්නේය.

    ReplyDelete
  11. මම එක සැරයක් පත්තරේක දැක්කා මේ වගේ අතුරු හෙඩිමක් 'දානයක් සඳහා අනුන්ගේ වත්තකින් අන්නාසි සොරාගත් සාම විනිසුරු රිමාන්ඩ්' .

    ReplyDelete
  12. මලක් ගහලම කල්පනා කරන්න ඕන කාරණයක් ​මේක​. කල්පනා කරන්න යමක්, ඇස් ඇරවීමක්......

    ReplyDelete
  13. විප්‍රලාපී කියා මිසක් විප්‍රලාසී කියා වචනයක් නැත. අවුරුදු විසිගානක් භාෂා සාහිත්‍ය විෂයන් පශ්චාත් උපාධි සඳහා උගන්වන නිසාත් ප්‍රාචීන භාෂා හදාරා ඇති නිසාත් විප්‍රලාසී යනුවෙන් වදනක් නැති බව නිසැකයෙන් ම දන්නවා. කැමති නම් පිලිගන්න (සහ නිවැරදි කරන්න). නිකං කටකහනවට කිව්වෙ.

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තුතියි ඒ වරද පෙන්වා දුන්නාට.

      මේ වචනය මා මුලින්ම ඇසුවේ සහ කියවූයේ පසුගිය දෙසැම්බර් 12 දින පැවති යශෝධා සම්මානී ප්‍රේමරත්න ගේ කවි පොත දොරට වැඩි අවස්ථාවේ දී යි. ඊට කලින් Nonsence යන ඉංගිරිසි වචනය සඳහා මා සැමවිටම යොදා ගත්තේ අරුත්සුන් / තේරුමක් නැති වැනි සිංහල වචනයි.

      විප්‍රලාපී යන්න මා මෙහි ලියා ඇත්තේ විප්‍රලාසී ලෙසිනුයි. එයට හේතුව ඒ සමගම මා විප්‍රවාසී යන වචනය ද යොදා ගත් නිසයි. ඒ වැරදීම සිදු වී ඇති බව ඔබ පෙන්වා දෙන තුරු වැටහුනේ නෑ.

      නැවතත් ස්තුතියි.

      නමුත්, ඔබ දකින වරදක් හෝ ඔබේ අදහස හෝ දැක්වීමට ඔබට කවරාකාරයක හෝ ඇකඩමික් සුදුසුකමක් තියෙන්න ම ඕනෑ නෑ. අපට අපේ අදහස් නිදහසේ දැක්වීමට ඉඩ තියෙනවා!

      Delete
    2. ඔබේ නිහතමානී පිළිතුරට ස්තුතියි මහතාණෙනි. වැරදි යෙදුමක් පුනපුනා යොදන හෝ වියරණ අමුඅමුවේ මරන දකින සමහරකු දුටු විට මගේ කට නලියයි, යතුරුපුවරුව මගේ ඇඟිලි ඒ වෙත අදියි. එහෙත් බ්ලොග් ලෝකයෝ බොහෝ දෙනෙක් යමක් පෙන්වා දුන් විට වස්ත්‍ර කර තබා ගෙන, අවි අමෝරා ගෙන සටනට එති. තමන් නිවැරදි බව කියනු පමණක් නො ව අපට ද තවදුරටත් ඒ ගැන සොයා බලන ලෙසත් කියමින් පාරම් බාති. එවැන් අත්දැකීම් කිහිපයක් ලබා ඇති හෙයින් මගේ අදහස ප්‍රාමාණික බව දක්වනු වස් නිකමට මෙන් මා කරන වෘත්තිය ගැන යමක් කීවෙමි. එපමණයි. ඔබට ජය ! (කසුන් යනු ආරූඪ නාමයක් බව සලකන්න).

      Delete
  14. කොහෙහරි අසපුවක පූජා ෆෙස්ටිවල් එකක්ද දන්නේ නෑ...

    ReplyDelete
  15. අලුතෙන් විප්‍රලාසී කියල වචනයක් හදන්න බැරිද? කවි පන්තිය නියමයි. මම මේ වෙන මල් කඩඉමක් ගැන කියවන්න හිතන් ආවේ . හේ හේ

    ReplyDelete
    Replies
    1. අජිත්, එහෙම හිත්‍රමතේට අලුතෙන් හදන්න බැහැ. සිංහල වචනයක් සඳහා සංස්කෘත හෝ පාලි හෝ මූලයක් පාවිච්චි කරනවා නම් අපට උවමනා හැටියට වදන් හසුරුවන්න බැහැ. ඉංග්‍රීසිය ලතින්, ග්‍රීක, ප්‍රංශ, ජර්මානු මූල පාවිච්චි කරනවා වගේ අපටත් ඒ නීතිවලට යටත් වෙන්න වෙනවා. ස්තුතියි.

      Delete
    2. ස්තුතියි. මහාචාර්ය සුචරිත ගම්ලත් හෙම වචන හුඟක් නිර්මාණය කරලා තියනවා නේද. ඒවා එහෙමද හදල තියෙන්නේ.

      Delete
    3. නැවතත් ස්තුතියි අජිත් මහතාණෙනි, ඇත්තෙන් ම ඔව්. සුචරිත ගම්ලත් මහැදුරුතුමා ප්‍රාචීන ප්‍රතිචීන භාෂා සාහිත්‍ය විෂයෙහි කෙළ පැමිණියෙක්. ඔහු තැනූ සියලු වචන නිරුක්ති සහිත සතාර්කික ඒවා. ඔහුගේ නව ඉංග්‍රිීසි - සිංහල ශබ්දකෝෂයේ එවැනි වචන බොහොමයක් අඩංගු යි.

      Delete
  16. මේක නම් තරහෙන් ලියපු එකක් වගේ. මට කියන්න තියෙන්නෙ නහි වේරාන වේරානි කියලයි.

    ReplyDelete

ඔබේ ප්‍රතිචාරය මට සතුටකි!. Your comments are most welcome!
සංයමයෙන් යුතුව ප්‍රතිචාර දක්වන්න.