Thursday 2 June 2016

පිට රට සිට ලංකාවට කෝල් කිරීම - Mr. Watson, come here, I want to see you.


ලංකාවෙන් පිටවී තාවකාලිකව හෝ වෙනත් රටක ජීවත් වීම අරඹන අයෙකු ගේ, ආහාර, ඇඳුම් සහ ජීවත් වීමට ස්ථානයක් යන මූලික අවශ්‍යතා සපුරා ගත් පසු ඊළගට ඇත්තේ, උපන් රටේ ඉන්නා තමන් ගේ දයාබරයින් ගේ තොරතුරු දැන ගැනීමට ඇති අවශ්‍යතාවයි. මෙය මැස්ලෝ සුප්‍රකට අවශ්‍යතා පිරමීඩයේ මැද පෙළක තිබෙන්නක් විය යුතුය.

කලකට ඉහත දුරින් සිටිනා ඥාතීන් සහ හිතවතුන් සමග සන්නිවේදනය සඳහා තිබුණු එකම ක්‍රමය වූයේ ලිපි ගනුදෙනුව පමණි. මා පශ්චාත් උපාධියක් හැදෑරීම සඳහා තායිලන්තයේ ගත කළ කාලය තුළ දී, ඒ දිනවල මගේ දෙමව්පියන් ගේ නිවසේ දුරකථනයක් නොතිබුණු නිසා, කළේ ලිපි ලිවීමයි. දුරකථනයක් තිබුණේ වුව ද, රටකින් රටකට ඇමතීම, අපේ ආදායමේ හැටියට, අති විශාල වියදමක් ගෙන දෙන්නක් විය.

මා තායිලන්තයේ සිට ලංකාවට දුරකථනයෙන් කතා කර ඇත්තේ එකම එක වතාවකි. ඒ මගේ හොඳම මිතුරෙකු වූ ආනන්ද අල්විස්ට ව්‍යාපාර කළමනාකරණ පති උපාධිය හැදෑරීමට අවසර සහ ශිෂ්‍යත්වයක් දෙවන රවුමේ දී පිරිනමා එය දන්වන ලද නමුත්, ඔහුගෙන් පිළිතුරක් නොලැබුණු බවත්, දැනටමත් දේශන ඇරඹී ඇති නිසා දින දෙක තුනක් ඇතුළත ඔහු පැමිණ ලියාපදිංචි විය යුතු බවත් මා සමග පැවසූ කළමනාකරණ පාසලේ එවකට සහය මහැදුරු රාමනාදන්, හැකි නම් ඔහුට මේ බව දන්වන ලෙස මගෙන් ඉල්ලූ දිනයේ දී ය.

මා පශ්චාත් උපාධිය සඳහා අධ්‍යයන කටයුතු කළ, ඒ ආසියානු තාක්‍ෂණ ආයතනයේ ප්‍රධාන කාර්යාලය අසල පිහිටි දුරකථන හුවමාරුවට ගිය මම, එතැනින් ලැබුණු තොරතුරු අනුව, අදාළ ගාස්තුව අයකැමිට ගෙවා ලබා ගත් ලදුපත ඉදිරිපත් කර විනාඩි තුනක ඔරුඬල වානේ සංස්ථාවට ඇමතුමක් ලබා ගත්තෙමි.

මට කළ හැකි වූයේ මිතුරා සමග කතා කිරීම නොව පණිවිඩයක් තැබීම පමණකි. ඒ සඳහා ගතවුණේ ද වෙන් කළ කාලයෙන් අඩක් පමණි. සම්පූර්ණ ගාස්තුව ගෙවා තිබුණු නිසා මට සිදුවුණේ සුසුම් ලමින් ආපසු යාමටයි.

මගේ කනගාටුවට එක් කාරණයක් වූයේ, ඒ විනාඩි තුනක කාලය සඳහා මට මගේ මාසික ශිෂ්‍යත්ව මුදලින් 7% පමණ ගෙවීමට සිදුවීමයි. එනිසා, මගේ දෙමව්පියන් ගේ නිවසේ දුරකථනයක් තිබුණ ද, මට ඔවුන් සමග නිරතුරු කතා කිරීම සිහිනයක් පමණක් වෙන්නට ඉඩ තිබුණි.

ඒ සිදුවීමෙන් වසර හයකට පසුව, ඕස්ට්‍රේලියාවට පැමිණි අප මුලින් සති දෙකක් පමණ මා කලණ මිතුරු ප්‍රේම් (සහ නයනා) ගේ නිවසේ ගත කර ඉන් පසු කුලියට ලබා ගත් කාමර දෙකක තට්ටු නිවාසයක (හෙවත් ෆ්ලැට් එකක) පදිංචියට ගියේ වසන්තය ඇරඹුණු සැප්තැම්බර් මුල් සතියේ ය.

දෙමහල් ගොඩනැගිල්ලක සාදා තිබුණු සමාන නිවාස අටකින් එකක් වූ මෙහි දුරකථන රැහැන් තිබුණු අතර අප කළ යුතු වූයේ, ඒ දිනවලත් නිවාසවලට දුරකථන සේවා සැපයීම සඳහා විශාල ඒකාධිකාරයක් තිබූ ටෙල්ස්ට්‍රා සමාගමට කතා කර සම්බන්ධතාවක් ලබා ගිණුමක් ඇරඹීමයි.

අයිඩීඩී යන කෙටි මුලකුරුවලින් හැඳින්වෙන විදෙස් රථවලට කතා කිරීමේ පහසුකම එකල විශේෂව අයැදුම් කර ලබා ගත යුතු විය. මට ඒ පහසුකම අවැසි බව මා දැන් වූ විට ටෙල්ස්ට්‍රා සමාගම කියා සිටියේ ඩොලර් පන්සීයක තැන්පතුවක් කරන ලෙසයි.

ආරම්භයේ සිටම රජයේ ආයතනයක්ව තිබුණු ඕස්ට්‍රේලියා ටෙලිකොම් ආයතනයේ ඒකාධිකාරය අහොසි කර දුරකථන වෙළද පොළ තරගකාරී කිරීමේ රජයේ වැඩ පිළිවෙළ ඒ වන විටත් ඇරඹී තිබුණි. ඕස්ට්‍රේලියා ටෙලිකොම් ආයතනය ටෙල්ස්ට්‍රා සමාගම වී තිබුණේ එහි මුල් පියවරක් ලෙසිනි. මේ වන විට සිංගප්පුරු ටෙලිකොම් සමාගමට හිමි ඔප්ටස් නම් සමාගමක් ද, දුරකථන සේවා සැපයීම ආරම්භ කර තිබුණි.

ප්‍රේම්ගෙන් ලද උපදෙස් අනුව ටෙල්ස්ට්‍රාලාට සරුංගලයක් යවන්නට කියූ මා කළේ ඔවුන් ගේ ප්‍රතිවාදී ඔප්ටස් සමාගම ඇමතීමයි. මට ඇත්තේ ටෙල්ස්ට්‍රා සම්බන්ධතාවක් බවත්, අයිඩීඩී හෙවත් කෙළින් ම විදෙස් රටවල් ඇමතීම සඳහා පහසුකම ඔප්ටස් හරහා ලබා ගැනීමට අවශ්‍ය බවත් මම ඔවුන්ට කීවෙමි.

වෙළඳ පොළ තරගකාරී කිරීමේ වැඩ පිළිවෙළේ පියවරක් ලෙස, එලෙස, එක් සමාගමක යටිතල පහසුකම් හරහා, අනිත් සමාගමට සේවා සැපයීමට ඉඩ සලසා තිබුණි.

ඒ පින් බලෙන්, ඩොලර් පන්සීයක් නොව ශත පහක තැන්පතුවක් නොමැතිව මට අයිඩීඩී පහසුකම ලැබුණි.

මේ කාලයේ විනිමය අනුපාතය ඕස්ට්‍රේලියානු ඩොලරයකට රුපියල් තිස් පහකි. ලංකාවේ අංකයකට ගන්නා ඇමතුමකට ගාස්තුව විනාඩියක් සඳහා ඩොලරයයි ශත විස්සක් ($1.20) විය. ඔප්ටස් සමාගම හා සම්බන්ධ වීමෙන් පසු, ඒ සඳහා මට ගෙවීමට සිදුවුණේ, 10% ක වට්ටමක් සහිතව, ඩොලරයයි ශත අටක් ($1.08) පමණි!

අප ඕස්ට්‍රේලියාවට පැමිණ වසර දෙකක් සම්පුර්ණ විමට මාසයක් තිබියදී, ජූලි මාසයේ දී, අපි ලංකාවේ මාසයක නිවාඩුවක් ගත කිරීමට ගියෙමු. ඒ සඳහා අප මිලට ගත් ගුවන් ටිකට් පතක් සඳහා ඩොලර් 1,400 ක් වැය විය.

ඒ වන විට අප ලංකාවට දුරකථනයෙන් ඇමතීම සඳහා මාස විසි දෙකක් ඇතුළත, ඩොලර් 1,200 ක් වැය කර තිබුණි!

සංක්‍රමණිකයින් ගේ මැස්ලෝ පිරමීඩය වඩා පැතැලි එකක් බව මට අවබෝධ විය.

-රසිකොලොජිස්ට්

ප/ලි:
රටෙන් පිටත වාසය කරන ලාංකිකයින් ගේ විනිමය සම්ප්‍රේෂණ පිළිබඳව ඉකොනොමැට්ටා පළ කර තිබුණු විශ්ලේෂණාත්මක ලිපිය කියෙව්වා ද?
http://economatta.blogspot.com/2016/05/blog-post_26.html


(image: http://www.americaslibrary.gov/jb/recon/jb_recon_telephone_1.html)

36 comments:

  1. මේ ඇමතුම් ගාස්තු විනාඩියකට වෙන්න ඕනේ නේද?

    අපි ශිෂ‍යයින් ලෙස මෙහි පැමිණෛ අවධියේ පාරවල් වල තියන ෆෝන් බූත් වලින් මුදල් නොගෙවා විනාඩියක්, එකහමාරක් පමණ කතා කිරීමේ "පහසුකම්" තිබුණා... වැඩේ වැරදි වුවත් ඒ කාලයේ අපේ අර්ථිකයට සහ හැසිරීමට ඒ පහසුකම හොඳට ගැලපුණා..

    ReplyDelete
    Replies
    1. ඔව් විනාඩියකට තමයි. දැන් ජංගම දුරකතනවල නේ තත්පර තිහට ගාන කියන්නේ!

      ඔය ටැප් කරලා කෝල් ගන්න කතාව මං අහලා තියෙනවා. නමුත්, කවදාකවත් ට්‍රයි කරළා බලන්න බැරිවුණා!

      Delete
    2. /////පාරවල් වල තියන ෆෝන් බූත් වලින් මුදල් නොගෙවා විනාඩියක්, එකහමාරක් පමණ කතා කිරීමේ "පහසුකම්" තිබුණා... වැඩේ වැරදි වුවත් ඒ කාලයේ අපේ අර්ථිකයට //////

      විනාඩිය දෙක නෙමේ වරු ගනන් කතාකරන විදිහක් හදාගෙන තිබුනා අපේ එවුන්. ඒ හරියන කාසියේ හීනි හිලක් විදලා නූලක් ගැටගහලා, ඒක අල්ලගෙන කාසිය ඇතුලට දාලා බැලන්ස් කර කර කතාකරනවා. කවුරුත් එන්නැති පාලු පබ්ලික් බූත්වලට තමයි යන්නේ.

      Delete
    3. නැත්නම් බීටි ෆෝන් එකේ යටින් දාලා සල්ලි ටික ඇදල ගගන්නවා . මතකද?

      Delete
    4. එකම බර හා ප්‍රමාණය නිසා ගොඩක් තැන්වල පවුම වෙනුවට ලංකාවේ රුපියල් පහත් වැඩ කළා.

      Delete
  2. මා හිතන පරිදි මේ සිදුවීමට අදාල කාලය 1996-98 අතර විය යුතුය. මේ VOIP වලට පෙර යුගයයි. ඒ කාලය වන විටත් ලංකාවේ IDD සම්බන්ධව නිල වශයෙන්ම ටෙලිකොම් සතුවූ ඒකාධිකාරය ඉවත්කර තිබුණේ නැත. 2000 පමණ වන විටත් IDD වෙළඳපොළෙහි ප්‍රායෝගිකව තිබුණේ ටෙලිකොම් ඒකාධිකාරයකි. මේ ඉහළ මිලට හේතුව වූයේ එයයි. බටහිර රටවලට ඇමතුම් ගාස්තු මෙතරම් වැඩි නොවන්නට ඇත. IDD දුරකථන ගාස්තු අයකිරීම සංකීර්ණ කටයුත්තකි. ගාස්තුව එකතුකරගන්නේ ඇමතුම ගන්නා පුද්ගලයාගේ සේවා සපයන්නා වුවත් මේ මුදල යටිතල පහසුකම් සපයන සියළු සමාගම් අතර බෙදීයයි. මෙහිදී අඩුම වශයෙන් ඔප්ටස්, සින්ටෙල් හා ටෙලිකොම්ද, බොහෝවිට ටෙල්ස්ට්රාද සම්බන්ධ වන්නට ඇත. ඔබේ ඩොලර් 1,200න් වැඩි මුදලක් ලැබෙන්නට ඇත්තේ ටෙලිකොම් සමාගමටය. දැනටත් දුරකථන ඇමතුම් වලින් ලංකාවට සැලකිය යුතු විදෙස් විණිමයක් ලැබේ.

    ReplyDelete
    Replies
    1. ඔබ නිවැරදියි. මම සිටි රටේ විවිධ කාලවල ඉතා සුළු මුදලකට විදේශීය ඇමතුම් හෝ යම් ගනනකට අසීමිත කාලයක ඇමතුම් දීමට සලසන අවස්ථා තිබුණා. ඒ කිසිම අවස්ථාවක ලංකාවට අදාලව එය වුණේ නැහැ. ඒ පිලිබඳව දුරකථන සමාගමෙන් විමසීමේදී ඔවුන් කීවේ ශ්‍රී ලංකා ටෙලිකොම් මඟින් ඔවුනට එසේ කිරීමට අවශ්‍ය කාලය අඩු මුදලට ලබා නොදෙන බවයි. ඒ කාලයේ ලංකාවේ සිට වෙන රටකට ඇමතීමට විනාඩියකට රුපියල් 300 ක් පමණ අය කලා.

      Delete
    2. ඉකොනොමැට්ටා,
      ලංකාවට ලැබෙන ඇමතුම්වලින් එන ආදායඟෙන් කොටසකුත් අර ඩයස් පොර ගිනුමට යන්න ඕනෑ නේද?

      Delete
    3. වසර 2000 දී පමණ ලංකාවේ කුඩා සමාගමකින් විදෙස් රථවල සිට අඩු මිළට ඇමතුම් ගත හැඛි හරහා ක්‍රියාත්මක වෙන ක්‍රමයක් ඇරඹුවා. ටික කලකින්ම ටෙලිකොම් සමාගම විසින් තම ඒකාධිකාරය භාවිතා කර එය වැසෙන තැනට කටයුතු කළා!

      Delete
    4. හෙහ් හෙහ් රසික. පසුකාලයක බටහිර රටවල් වල සිට ඉන්ටනෙට් හරහා ඇමතුම් ලංකාවට එවන ක්‍රමය (VOIP , illegal call termination) ගොඩක් කලේ ඔය මිස්ටර් ඩයස් කියන පොරගේ කට්ටිය. ඒකට සමහර ශ්‍රී ලංකා ටෙලිකොම් සභාපතිවරු සහ සමහර ඉංජිනේරු වරු සම්බන්ධවෙලා කෝටිපතියෝ වුණා.

      Delete
    5. 1. මේ ආදායම් (හා වියදම්) ගිණිය හැක්කේ සේවා "ආනයන" හා "අපනයන" ලෙසයි. එම මුදල් ගෙවුම් ශේෂ ගිණුම්කරණයේදී ශුද්ධ සේවා ආදායම් යටතේ සටහන් වෙනවා.
      2. මෙය මුලින්ම මහා පරිමාණයෙන් කළේ එක් අයෙක්. එයට සම්බන්ධ වූ අය තාක්ෂණික දැනුම අතින් බොහෝ ඉදිරියෙනුයි හිටියේ. ඒ අය ගැන ඉයනුත් කියල තියෙන්නේ. ඒ නිසා නියාමනයේ සහ තාක්ෂණයේ පැවති අඩුපාඩු හඳුනාගෙන හොඳට හම්බ කළා. මෙහිදී සම්පූර්ණයෙන්ම ටෙලිකොම් යටිතල පහසුකම් උපයෝගී කරගෙන සාමාන්‍ය ගෘහස්ථ දුරකථනයක් හරහා තාක්ෂනික උපකරණයක් මඟින් ටෙලිකොම් ජාලයට සම්බන්ධ වෙමිනුයි බොහෝවිට මෙය කළේ. ටෙලිකොම් ගෘහස්ථ දුරකථනයක් ගිවිසුම අනුව ව්‍යාපාරික කටයුතු සඳහා භාවිතා කළ නොහැකිවීම වැනි සරල හේතු පමණයි ටෙලිකොම් එකේ වාසියට තිබුණේ. ඒ දින වල ටෙලිකොම් IDD දත්ත විශ්ලේෂණය කළේ මසකට වරක්. එසේ කරන විටත් 'අසාමාන්‍ය' තැන් හඳුනාගෙන බ්ලැක් ලිස්ට් කරන්න දවස් ගණනක් යනවා. මේ මසක පමණ කාලය තුළ සෑහෙන ගාණක් හම්බ කර ගත හැකියි. එවිට කරන්නේ වෙනත් කොහේ හෝ ඇති දුරකථන සම්බන්ධතාවයකට මාරු වී මෙය කිරීම. පසුව මෙය අඩු වුනේ ටෙලිකොම් IDD ඒකාධිකාරය නැතිවීමත් සමඟ ඉතා විශාල ලෙස මිල පහළ දැමීම හා ටෙලිකොම් එකෙනුත් VOIP පටන් ගැනීම සමඟයි.

      Delete
  3. දැන්නං හැම සම්බන්ධතාවයක්ම IDD සමගම තමයි ලබාදෙන්නෙ.

    ReplyDelete
    Replies
    1. ඒ දිනවල (1993) ලංකාවේ රුපියල් 15,000 පමණ තැන්පත් කළ යුතුයි.

      Delete
  4. ����������������������������������������������������

    ReplyDelete
  5. රසික, "Lycamobile" තමයි අපිට ඔස්ට්‍රේලියාවේ සිට ලංකාවට කතා කරන්න අඩුම වියදම් සහගත ක්‍රමය ලෙස අවුරුදු 25 කට අධික කාලයක් ඔස්ට්‍රේලියාවේ දිවි ගෙවන අපේ චූටි මාමාගෙන් (ඒ කිව්වෙ අම්මෙග බාලම මල්ලි ) අපිට ලැබුණු උපදෙස... ඒ නිසා අපිට ඉතාම අඩු මුදලක් ගියේ ලංකාවට කතා කරන්න.. Optus නම් බිල් එක දැක්කාම බය හිතෙනවා..දැන් නම් මේ එකක් වත් ඕන නැනේ, Viber හරි Emo හරි ගන්න දැන් හරිම ලේසියි ලංකාවෙත් ඕනම දුරකථනයක් හරහා.

    ReplyDelete
    Replies
    1. හීන දකින්නී.
      ....අවුරුදු 25 කට අධික කාලයක් ඔස්ට්‍රේලියාවේ දිවි ගෙවන අපේ චූටි මාමාගෙන් (ඒ කිව්වෙ අම්මෙග බාලම මල්ලි ) අපිට ලැබුණු උපදෙස....

      මාමා පාන් ගැන උපදෙස් දුන්නේ නැද්ද නැතිනම් ඒගැන ලොජියේ තුමාගේ අහ ගන්නකො

      Delete
    2. නැහැ ඇනෝ.. මේ උපදෙස් දුන්නේ මට නෙමේ ඇනෝ.. අපේ අම්මට.. මං අහන්නම් අම්මාගෙන් ඇනො ඇහුවා කියල.. එතකොට හරිනේ නේද?

      Delete
    3. @ නිම්නයක තනි වී හීන දකින්නී

      ඒ ඔප්ටස් බිල 1995-97 එකක්.

      මේ දිනවල හොඳම ක්‍රමය . මාසෙකට සිම් එකට ඩොලර් විස්සයි. පැය හතරකටත් වඩා කතා කළ හැකියි.

      Delete
    4. හිනා දකින්නී
      මං අහන්නම් අම්මාගෙන් ඇනො ඇහුවා කියල.. අහලා විතරක් මදි අම්මට කියන්න ඒ විදිහටම කරන්න කියලා මේ ලොජිතුමගේ පාන් ලිපි ටිකත් පිළිගන්න කියලා හොඳේ!!!!

      Delete
    5. ඇනෝ ඒක නම් මේ ආත්මේ වෙන දෙයක් නෙමේ.. අපෙ අම්මා අහුවොත් අහන්නේ අපේ තාත්තා කියන දෙයක් විතරයි ඇනෝ.. කොහොමත් ඇනෝ කියන්නා කෙසේ කිව්වත් අසන්නා සිහි බුද්ධියෙන් ඇසිය යුතුයිනෙ නේද ඇනෝ...sorry හොදෙ...

      Delete
    6. හිනා දකින්නී
      අපේ අම්මා අහුවොත් අහන්නේ අපේ තාත්තා කියන දෙයක් විතරයි ....අපරාදේ ....අවුරුදු 25 කට අධික කාලයක් ඔස්ට්‍රේලියාවේ දිවි ගෙවන අපේ චූටි මාමාගෙන් (ඒ කිව්වෙ අම්මෙග බාලම මල්ලි ) අපිට ලැබුණු උපදෙස..මේ උපදෙස් දුන්නේ මට නෙමේ ඇනෝ.. අපේ අම්මට අනේ පව් පොඩි මාමා !!!!!!

      Delete
    7. ඇනෝ, කලබල වෙන්න එපා ඇනෝ ඒ වෙද්දි අපේ තාත්තා අපෙන් සදහටම සමු අරන් අවුරුදු 5කටත් වැඩි.....

      Delete
    8. ඇනෝ , ඔස්ට්‍රේලියාව කියන්නෙත් මේ ලොකේ තියන තවත් එක රටක් විතරයි ඇනෝ, කලබල වෙන්න එපා...කොහේ හිටියත් හිත් හොඳ නම් ජීවත් වෙන්න ලේසියි ඇනෝ.. :)

      Delete
  6. Lycamobile Reported To Cops For “Money Laundering” - https://www.buzzfeed.com/michaelgillard/tory-donor-reported-to-cops-for-money-laundering

    ReplyDelete
    Replies
    1. සිඩ්නිවල නං ඔය අවුලක් නැතුව මාකට් කරන්නේ!

      Delete
  7. හප්පා IDD. අපේ අප්පච්චි 2006 ඉන්දියාවට ගියා. මම දවසක් ටෙලිකොම් ඒකෙ 100 කාඩ් දෙකක් ගෙනත් කතා කරා. විනාඩි පහක් වත් කතා කරේ නැද්ද කොහෙද.

    ReplyDelete
    Replies
    1. ඉන්දියාව කොච්චර දුර ද, ළඟ පාත යැ?

      Delete
  8. අළුත් එකක් කියලා බලන්ඩ ආවා....නම විතරක් වෙනස් කරලා!

    ReplyDelete
    Replies
    1. කලින් දුන් නමට වඩා මෙය යෝග්‍ය යැයි සිතුණා!

      Delete
  9. //.... ප්‍රේම් (සහ නයනා) ගේ නිවසේ.... //

    කාන්තාව වරහන් ඇතුලේ!?!

    කලණ මිතුරා ප්‍රේම් බව පැහැදිලි නමුත්.. මෙම යෙදුමේ, කාන්තාවට වෙනස් ලෙස (දෙවැනි ලෙස) සැලකීමක් ගම්‍ය වනවා නේද?

    - Dimithri

    ReplyDelete
    Replies
    1. මේ ලිපියේ මා වරහන් තැන් කිහිපයකම යොදා තියෙනවා. ඒවා සහ අනෙක් බොහෝ වෙනස් කම් කළේ පළ කිරීමට පෙර අවසාන කියවීමේ දී යි.

      මා ඔබ සිතන ආකාරයේ අදහසකින් එය නොලියුවත් කියවූ ඔබට එසේ සිතීම තමයි සැබෑ ප්‍රශ්නය!

      Delete
    2. මා පල කරන්නේ මිත්‍රශීලී අදහසක් සහ යෝජනාවක් පමනයි. එය ඔබ උවමනාවෙන් ලියූවක් යැයි මා කියා නැහැ.

      //මා ඔබ සිතන ආකාරයේ අදහසකින් එය නොලියුවත් කියවූ ඔබට එසේ සිතීම තමයි සැබෑ ප්‍රශ්නය!//

      මේක නම් වැරදි බව කිව යුතුයි.

      උදා. ලෙස.. මම හිතන්නේ නැහැ කාන්තාවන්ට 'බඩුව' යැයි කියන/කිවූ මගේ බොහෝ යහලුවන් කිසිසේත්ම අවඥා සහගත ආකාරයේ අදහසකින් එසේ කලා යැයි කියා. සමහර කුලවාදී, ජාතිවාදී යෙදුමුත් මෙලෙසයි. ඔවුන් එසේ කීම, එය දෙවන පෙල සැලකීමක් ලෙස දකින මගේ සිතීමේ ප්‍රශ්නයක් ද?

      මා කියන දේ (කාන්තාවගේ නම වරහන් තුල යෙදීම නිසා ඔවුනට දෙවනි පෙල සැලකීමක් ගම්‍ය වන බව ) ඇත්තද නැත්තදැයි ඔබේ බිරිදගෙන්, ලඟම (ලාංකික / ලාංකික නොවන ) යෙහෙලියන්ගෙන් අසා බලන්න.

      - Dimithri

      Delete
    3. මට කීමට අවශ්‍ය වුනේ සහ කීමට ඇත්තේ නයනා ගේ නම වරහන් තුල යෙදිම ලිපිය සංස්කරණයේ දී එක් කරනා විට නොසිතා වුණු දෙයක් යන්නයි. ඒ නිවසේ කතාව පසුව එක් කළ දෙයක්. සමාගම් මාරු කිරීම ගැන මට ප්‍රේම් උපදෙස ගැන ලිවීම සඳහායි ඔහු ගේ නම ලිව්වේ.

      ඔබ කී ගම්‍ය වීම දැනුනේ ඔබට නිසායි, මා එය (මට) සැබෑ ප්‍රශ්නයක් ලෙස දැක්කේ.

      Delete
  10. අදටත් මැදපෙරදිගට අමතනවට වඩා ලාබයි බටහිර රටකට අමතන එක.ගෘහසේවිකාවන් පොශ් නැති නිසා අදාල ගිවිසුම් වලට යන්නෙ නැද්ද දන්නෑ..
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. නෑ, එයට හේතුව ඒ ඒ රටවලින් ඒ රට ඇතුලේ දුරකතන ජාලය භාවිතය සඳහා අය කරන ගාස්තුවයි.

      Delete

ඔබේ ප්‍රතිචාරය මට සතුටකි!. Your comments are most welcome!
සංයමයෙන් යුතුව ප්‍රතිචාර දක්වන්න.