Friday, 27 May 2016

ජංගමේට කලින් ලෝකයේ විසිතුරු - No phone, no worries


නාන කාමරයක, පාළු දුම්රිය මැදිරියක, නිහඬ මෝටර් රථ ගමනක හෝ එවැනි ස්ථානයක තනි පංගලමේ සිටිද්දී සිත දුර ගමං ඒක චරං යන බණ පදයට අනුව වැඩ කරන්නට පටන් ගනී. අර ඩවුන් ද මෙමරි ලේන් ද මොකක් ද එක කරයි.

එවැනි එක් කල්පනා ලොව මල් වනයේ සැරිසැරූ අවස්ථාවක දී මට වැටහුණු දෙයක් නම්, තනි තනිව සහ පොදුවේ සමාජයක් ලෙස අප කොයිතරම් වෙනස්කම්වලට භාජනය වුවද, මුලදී පිළිගැනීමට අපහසු තරම් සාපේක්‍ෂව ඉතා කෙටි කාල සීමාවක දී අප ඒ අලුත් වාතාවරණයට පුරුදු වෙන බවත්, ඒ අනුගත වීම කෙතරම් බලවත් ද යත්, පෙර තත්වය යටතේ අප කටයුතු කළේ කෙසේදැයි සිතා ගැනීම පවා අපට අසීරු වෙන බවත් ය. ආපසු පෙර පැවති වාතාවරණය යටතේ කටයුතු කරන්නට සිදුවීම නම් මරණ දණ්ඩනයට ලක්වීමට සමාන ය.

මේ සඳහා දිය හැකි හොඳම උදාහරණය දුරකථන සන්නිවේදනය වේ.

මා පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ නේවාසිකව ඉගෙනුම ලබන සමයේ නිවසටද, පාසල් මිතුරන්ට ද ලිපි ලියවෙමි. නිවාඩු කාලයේ විශ්ව විද්‍යාලයේ මිතුරන් සමග ද ලිපි ගනුදෙනු කළෙමි. ඒ හැර වෙනත් සන්නිවේදන ක්‍රමයක් අපට තිබුණේ නැත.

විශ්්ව විද්‍යාලය මැදින් දිව යන ගලහ මාර්ගය අසල ඉහළින් පිහිටි තැපැල් කාර්යාලයේ සහ විශේෂයෙන් ම සවස් කාලයේ ඒ අසල ඇති දුරකථන හුවමාරු පොළේ (telephone exchange) සිසුන් රැඳී ඉන්නවා මා දැක ඇත. ඒ තම නිවෙසේ දුරකථන පහසුකම් ඇති සිසුන් දෙමව්පියන් සමග දුරකථනයෙන් කතා කරන්නට පෝලිමේ ඉන්නා ආකාරයි.

ඒ අයගෙන් සමහරු හදිසි කාරණා සම්බන්ධයෙන් කතා කිරීමට ඒ ඇමතුම් දෙනවා විය හැකි වුවද, බොහෝ දෙනෙකු එසේ ඇමතුම් දීමට ප්‍රධානතම හේතුව ද, ඔවුන් ගේ නිවසේ දුරකථන පහසුකම් තිබීම ම විය හැක.

අපේ කාලයේ විශ්ව විද්‍යාලයේ ඉගෙනුම ලබා ඇති කාන්තාවක් මේ පිළිබඳව මා සමග කියා සිටියේ තමන් විශ්ව විද්‍යාලයට සුවසේ පැමිණි බව කීමට මෙන් ම සාමාන්‍ය සුවදුක් දන්වා සිටීමට අඩු වශයෙන් සතියකට වරක් හෝ නිවසට දුරකථනයෙන් ඇමතීම තමන්ගෙන් දෙමව්පියන් බලාපොරොත්තු වූ බවයි.

අපේ නිවසට දුරකථනයක් නොමැති වූ නිසා, මම පේරාදෙණියේ නොව රටෙන් පිට ගිය අවස්ථාවල දී වුව, කළේ දෙමව්පියන්ට ලිපියක් ලිවීමයි. නැතිනම්, දිවා කාලයේ දී සොහොයුරා ගේ කාර්යාලය කතා කොට දෙමව්පියන් ගේ සුවදුක් විමසීමයි.

කොටින් ම මා මගේ මව සමග මුලින්ම දුරකථනයෙන් කතා කළේ, 1996 වසරේ පෙබරවාරියේ පමණ දිනයක ඇය සහභාගී වූ මංගල උත්සවයකට සහභාගී වුණු මගේ මස්සිනා ගේ දුරකථනයෙනි. දෙමව්පියන් ගේ නිවසට දුරකථනයක් ලබා ගැනීමට යටිතල පහසුකම් ගොඩ නැගුණේ ඊටත් පසුව ය. එය ද, සීඩීඑම්ඒ සම්බන්ධතාවක් විය.
මිනිසුන් සංඛ්‍යාවට වඩා දුරකථන සංඛ්‍යාවක් ඇති අද තත්වය මීට හාත්පසින් ම වෙනස් ය.

අප ලංකාවට ගිය විට ඥාතියෙකු ගේ නිවසට ගොස් කතා බස් කරමින් සිට ආපසු අප නිවසට ගිය විගස, දුරකථන පණිවිඩයක් දී සුවසේ පැමිණිබව සනාථ කළ යුතුය. එසේ නොමැති නම්, ඒ ගැන විමසා අපට ඇමතුම් ලැබේ. දුරකථන හරහා, ඥාතීහූ එකිනෙකා ගේ එදිනෙදා දෛනික කටයුතු පිළිබඳ අන්තිම තත්පරයට යාවත්කාලීන වී සිටිති.

අප මේ තත්වයට කෙතරම් දැන් හුරු වී ඇති ද කියනවා නම්, මා මුලින් කීවාක් මෙන්, හදිසියේ මේ තාක්‍ෂණය නැති වී ගිය විට අප අන්ත අසරණ තත්වයකට වැටෙනු ඇත. එසේම, අන්තර්ජාලයට සම්බන්ධ දුරකථන නොමැතිව අප එදා කටයුතු කළේ කෙසේ ද කියාත් අපට දැඩි විමතියක් ද ඇති වෙනු ඇත.

අවශ්‍යතා සපුරා ගැනීම පිණිස මෙවලම් භාවිතය කරනවා යැයි සිතුවත්, අප ඇතැම් විට කරන්නේ මෙවලම් භාවිතය අවශ්‍යතා නිමවා ගැනීම නොවේදෝ යැයි මට සිතේ.

-රසිකොලොජිස්ට්

(image: http://www.gizmodo.com.au/2010/03/from-tin-cans-to-touchscreens-the-40-most-important-phones-in-history/)

12 comments:

  1. නිතරම අප්ඩේට් වෙන හින්දා මුණ්ගැහුනම කතාකරන්න දෙයක් නෑ. එතකොටත් කරන්න වෙන්නෙ ජංගමය අතට අරන් ඔබන්න තමයි.

    ReplyDelete
  2. මුනි පා පහස ලද පින්බර අපේ රට
    සහමුලින්ම විනාස කළෙ සෙල්ටෙල්ය
    සුද්දා හැදුවා සෙල්ටෙල් අපි වනසන්න
    ගොන්නුත් අපේ ගත්තා එය ඉහළින්ම

    වෙන කිසි දෙයක් නැත තිස්සෙම කනේ තමයි
    දෙමපියන්ගේ සල්ලිය වනස දමයි
    කනේ ගසා ගෙන ගොස් කෝච්චියටත් බිලිවෙයි
    අන්තර්ජාලෙන් නිරුවත් රූප බලයි

    මේ සිංහල බෞද්ධ රට රැකගන්න
    සෙන්පතිඳා එනවා දැන් සැරසෙන්න
    ආපුදාට මේ ගැන පියවර ගන්න
    එහෙම නොවුණොතින් රට ඉවරයි ඔන්න

    මීට, කුමාර දිප්පිටිය මයා
    ගරු ලේකම්,
    තරුණ බෞද්ධ සංගමය,
    කොතලාවලපුර
    රත්මලාන.

    ReplyDelete
    Replies
    1. දැන් සෙල්ටෙල් නෑනෙ. තියෙන්නෙ එටිසලාට් නෙ. ඒක අරාබි කාරයෙක්ගෙ නිසා අවුලක් වෙන එකක් නෑ.

      Delete
  3. මමනං තාමත් දුරකථනයට ඔය තරම් ඇලිල නෑ. අත්‍යාවශ්‍ය දේකදි විතරයි ෆෝන් පාවිච්චි කරන්නෙ. හැබැයි ඉන්ටනෙට් වලටනං ඒ‍කෙ අනික් පැත්ත.

    ReplyDelete
  4. 2007 අවුරුද්දේ තමයි මම ජංගම දුරකතනයක් මුලින්ම මිලෙට ගත්තේ.ඒ වෙනකම් දුරකතනයක් මිලදී ගන්න තරම් අවශ්‍යතාවක් තිබුනේ නැහැ.මුලින්ම ජංගම දුරකථනයකින් කතා කෙරුවේ 2001 දී පමණ Alcatel වර්ගයේ දුරකතනයකින් බවත් මතකයි.

    ReplyDelete
  5. අපි පොඩි කාලෙ, නුවර බස් එකට නෑග්ගනම් ආයෙ බය වෙන්න දෙයක් නෑහෑ පේරාදෙනියෙදි බහිනව අවුලක් නෑතුව. එහෙම වුනත් අද, පනිවුඩයක් එනකම් ශුවර් නෑ. ෆෝන් එකක් අත්යවශ්ය වෙන්න එක හේතුවක් ඒක.

    ReplyDelete
  6. උඩ කාමරේ ඉන්න පුතා කුස්සියේ ඉන්න අම්මගේ මොබයිල් එකට කෝල් කරලා තේ එක රෙඩිද කියලා අහනවා මගේ කණට ඇහිලා තියෙනවා. තාම නැහැ....රෙඩි උනාම මම කෝල් එකක් දෙන්නම්...ඒ අම්මා කියනවා. අනේ මන්දා.

    ReplyDelete
  7. ඇත්තටම ඔබේ සටහනත් එක්ක එකඟයි...මට මතකයි 88/89 වකවානුවේ මගේ පියා ව්‍යාපාරික කටයුතු වලට නිවසින් පිට ගිහින් දිනයක් හෝ දෙකක් පිට රැදෙනවා...මා අඩ නින්දේ ඉඳන් ඔහුගේ වාහනයේ හඬට ඇසේදැයි නිතරම කන් දෙනවා, ඔහු ආපසු එන වෙලාව අනුමාන කරගෙන...ඒ අතරතුර කාලයේ සිදු වන කිසිවක් ගැන දැනගැනීමට අපට දුරකථන පහසුකම් තිබුනේ නැහැ...අද වගේ උනා නම් ඔබ සඳහන් කළා වගේ මැරෙන දණ්ඩනය හා සමානයි...මිනිසුන් බොහෝ දක්ෂයි නව තාක්ෂනය වැළඳගන්න...එය අවසානයේ ඇබ්බැහිවිමක් බවට පත්වෙනවා...

    ReplyDelete
  8. මම නම් තවමත් පරණ ක්‍රමයට තමා ගොඩක් දේවල් කරන්නේ. ෆෝන් එක උනත්. නැති උනයි කියල ප්‍රශ්නයක් නෑ මට ලොකුවට. තවම දැනිලා නෑ. හැබැයි අර කියල තියන කතාව ඇත්ත. අද ලයිට් නැතුව අපිට වැඩක් කරගන්න බෑ. හැබැයි මෙහෙම එකක් තියනවා. බහුතරයක් ඒ තාක්ෂනය එක්ක ඉදිරියට යනකොට, හැම එකක්ම තාක්ෂණයට බද්ධ වෙනකොට, අපට එකෙන් මගහැරලා යන්න බැරි වෙනවා නේද? උදාහරණයක් විදියට- ඒ කාලේ රෙදි මැද්දේ පොල්කටු අඟුරු ස්ත්රික්කයෙන්. අද ඒවාට දාන්න පොල්කටු පවා හොයාගන්න අමාරු තත්වයක් ඇවිත්. පැට්‍රොමක්ස් ලාම්පු පත්තු කරන්න වත් දන්න කට්ටිය නැතුව ගිහිං. මේක දුරකථන, පරිඝනක වලටත් අදාලයි නේද?

    ReplyDelete
  9. ගම්පහ ප්‍රදේශයේ පදිංචි වී සිටි රසිකගේ නිවසට දුරකථනයක් නොතිබූ එක ගැන මම පුදුම නොවෙමි. මගේ පියා 1979 දී අයැදුම් කළ දුරකථනය ඔහු හට ලැබුණේ 1992 දී. මේ කෝට්ටේ ප්‍රදේශයේ තිබුණු තත්ත්වය.

    1979 දී විදුලි සංදේශ දෙපාර්තමේන්තුව 1992 වන විට ශ්‍රි.ලං.ටෙ. බවට පත් වී තිබුණා. මගේ පියාගේ අයැදුම් පත ඒ වන විට වසර 13 ක් පැරණි වීම යන පදනම මතයි 1992 දී අප හට දුරකථනය ලැබුණේ.

    ඊට කලින්, දුරකථන සම්බන්ධතාව ලැබීම ප්‍රමාද වන නිසා මාගේ පියා 1991 දී එකල තිබූ එකම ජංගම දුරකථන සේවය වන "සෙල්ටෙල්" (අද එටිසලාට්) ආයතනයෙන් ජංගම දුරකථන සම්බන්ධතාවක් ලබා ගැනීමට උත්සාහ කළා. එහෙත් මිළ අධිකකම නිසා ඔහු ඒ අදහස අතහැර දැමුවා.

    Motorola DynaTAC ජංගම දුරකථනයේ මිළ රුපියල් 125,000 ක් (අද රුපියලේ වටිනාකම අනුව රු. 722,000) වූ අතර,
    මසකට රුපියල් 2500 ක (අද රුපියලේ වටිනාකම අනුව රු. 14,500) ග්‍රාහක කුලියක් ද,
    ලබා ගන්නා ඇමතුමකට විනාඩියකට රුපියල් 25 ක (අද රුපියලේ වටිනාකම අනුව රු. 145) ගාස්තුවක් ද
    ලැබෙන ඇමතුමකට ඇමතුමකට විනාඩියකට රුපියල් 15 ක (අද රුපියලේ වටිනාකම අනුව රු. 85) ගාස්තුවක් ද
    සෙල්ටෙල් (Celltel) සමාගම එකල අය කළේ ය.

    සෙල්ටෙල් දුරකථන ජාලය එකල GSM ජාලයක් නොව, analog ජාලයකි. එය GSM බවට හැරුණේ 2000 වර්ෂයේ දී ය. මුලදී ජාලය ව්‍යාප්ත වී තිබුණේ කොළඹ නගරය, වත්තල, දෙහිවල, ගල්කිස්ස, රත්මලාන, මොරටුව සහ පසුව මහනුවර, නුවර එලිය යන ස්ථාන කිහිපයක පමණි.

    මුල් අවුරුදු දෙකේ (1989 සිට 1991 තෙක්) සෙල්ටෙල් ජංගම දුරකථනවලට තිබුණේ 4 ඉලක්කමෙන් ආරම්භ වූ විදුලි සංදේශ දෙපාර්තමේන්තුවේ (දැන් SLT) මැද කොළඹ ස්ථාවර දුරකථන අංකයන් ය. ඒ අනුව, සෙල්ටෙල් ජංගම දුරකථනයක් ඇමතීම සඳහා 01 - 4XXXXX ඇමතිය යුතුව තිබුණි (01 යනු එකල කොළඹ ස්ථාවර දුරකථනවල කේත අංකය යි. --- අද 011).

    ReplyDelete
  10. දුයිෂෙන් කියන්නේ රුසියන් ගැමියෙක්ලූ
    නමුත් ගිය ආත්මේ සිංහල බෞද්ධයෙක්ලූ
    දෙදෙනාගේ වැඩ එතරම් සමීපලූ
    දුයිෂෙන් මතු කළේ සිංහල බෞද්ධ කමලූ

    මේ බව නොදන්නා රසිකගෙ සුමිතුරෝ
    බොරු බොරු තර්ක දා සත්‍යය සැඟවූවෝ
    යහපාලනේ ළඟදිම ඉවර වෙනවෝ
    එදාට දුයිෂෙන්ලා යළි රජ වෙනවෝ

    මීට, කුමාර දිප්පිටිය මයා
    ගරු ලේකම්,
    තරුණ බෞද්ධ සංගමය,
    කොතලාවලපුර
    රත්මලාන.

    ReplyDelete
  11. මගේ හිතේ හොඳටම කාවැදිච්ච සිද්දියක් තියෙනව. මේක උනේ 89 මැද භාගයෙ. එතකොට අපි උසස්පෙල ට පන්ති යනව. මැත්ස් වලට ඒකාලෙ බලන්ගොඩ පන්ති තිබ්බෙ නෑ. ඒ හින්ද අපිට සිද්දවුනා රත්නපුරේ ක්ලාස් යන්න. උදේ 8 ට පටන් ගන්න පන්තියට යන්න බලන්ගොඩ නගරයෙන් 6.30 ට කලින් යන බස් එකකට නගින්න ඕනි. අපේ ගමෙන් නගරයට යන පලවෙනි බස් එක යන්නෙ 6.45ට විතර. ඉතින් මම පුරුදු වෙලා හිටියෙ පාන්දර 5.30 ට විතර පුශ් බයිසිකලෙන් සැතපුම් එකහමාරක් දුරින් තිබුනු හන්දියට (බදුලු පාරට ) ගිහින් එතනින් නගරයට යන බසයක නගින්න.
    අපේ ගෙදර ලඟ ඉඳන් මීටර් 300 විතර යනකම් කන්ද. කන්ද දෙපැත්තෙම 83න් පස්සෙ පාලු වෙලා ගිය තේවතු. කන්ද මුදුනට ලන්වෙද්දි රබර් පිච්චෙන ගඳක් දැනුන. බලනකොට පාර අයිනෙම ටයර් සෑයක තරුණයෙක් පිච්චෙනව. අපේ ගමේ එහම දෙයක් දැකපු පලවෙනි වතාව. මට මොකක්ද කරන්නෙ කියල හිතාගන්න බැරිවුනා. බයිසිකලය උඩට පැනගත්ත ම0 පුලුවන් වෙර දාල ඒක පෑගුව. සිහිකල්පනාවක් අවෙ හන්දියට ආවට පස්සෙ.
    පන්ති ඇරිල හැන්දැවෙලා ගෙදරට එනකොට මහ අමුතුයි. එදා දවසෙම අපේ ගෙදර ලිපවත් පත්තුකරල නෑ. එදා අපේ ගමෙන් උදෙන්ම පිටවුන කොල්ල මම. ගම්මන්ඩිය පටන්ගන්න තැනම කොල්ලෙක් පිච්චෙනව. ඉතින් මන් ආපහු ගෙදර එනකම් ඒ මම නෙමෙයි කියල හරියටම දැනගන්න අපේ ගෙදර අයට චිත්ත සන්ක්යාත හැර අද කාලෙ වගේ ඩිජිටල් සන්ක්යාත තිබුනෙ නැති හින්ද.

    ....සමන්ත...

    ReplyDelete

ඔබේ ප්‍රතිචාරය මට සතුටකි!. Your comments are most welcome!
සංයමයෙන් යුතුව ප්‍රතිචාර දක්වන්න.