Tuesday, 16 August 2016

ලූෂන් බුලත්සිංහල ගේ කථාවේ අතුරු කතාව - Election promises


පසුගිය දා ලූෂන් බුලත්සිංහල සමග සිනුවර තදාසන්නයේ දී පැවති සුහද සංවාදයේ දී, නිහාල් රූපසිංහ ප්‍රශ්න අසද්දී, පාලිත මංචනායක පරණ කතා කියද්දී, මා ද ප්‍රශ්නයක් ඇසූ බව පෙරේදා රසිකොලොජියේ ලියූවෙමි.

ලූෂන් බුලත්සිංහලගෙන් මා ඒ ප්‍රශ්නය අසද්දී මගේ සිත වසර විසි දෙකකට ඉහත අතීතයක මතකයකට දිව ගියේ ය.

මේ ඒ මොහොතේ මගේ සිහියට නැගුණු, නමුත් මා ලූුෂන් බුලත්සිංහල සමග නොපැවසූ මගේ ඒ මතකයයි.

නිදහස ලැබුණු කාලයේ කෙසේ වෙතත්, පසුව දෙවන දේශපාලන බලවේගය ලෙස සොලමන් බණ්ඩාරනායක සහ පිලිප් ගුණවර්ධන ගේ මහජන එක්සත් පෙරමුණ කරළියට ආ පසු ලංකාවේ ආණ්ඩු පිහිටවීම සිදුවුණේ තට්ටු මාරු ක්‍රමයට බව අපි දනිමු.

ආණ්ඩුව කරන මුං එපා වූ විට, කැපුවත් කොළ, කැපුවත් නිල්, කැපුවත් රතු අය හැර අන් ජනතාව තම ඡන්දයෙන් අරුංට ආණ්ඩු බලය දෙති. ඊළඟ ඡන්දය ළඟාවෙන විට අරුංව එපා වී හමාර ය. එනිසා, මුංට නැවතත් ආණ්ඩු බලය දෙති.

එලෙස තට්ටුමාරු ක්‍රමයට ආණ්ඩු වෙනස් වීම සඳහා බලපෑ එක් ප්‍රධාන හේතුවක් වූයේ අරුං හෝ මුං විසින් දෙනු ලැබූ විවිධාකාරයේ ඡන්ද පොරොන්දු ය.

මට මතක ආකාරයට 1970 ඡන්දයේ දී, එවකට පැවති යූඇම්පී හත් හවුලේ රජය පරදා, සිරිලංකා, සමසමාජ සහ කොමියුනිස්ට් පක්‍ෂවල සමගි පෙරමුණ ජය ගැනීමට මූලික හේතුවක් වූයේ හාල් සේරු දෙකක් දීමට දුන් පොරොන්දුවයි.

ඡන්දය දුන් සමහරු සිතා සිට ඇත්තේ, මේ හාල් දෙන්නේ නොමිලයේ බවයි. නමුත්, හදේ සිට හාල් ගෙන ඒම නොමිලයේ කළ නොහැකි බව පසුව පැහැදිලි විය.

සමගි පෙරමුණ සත් වසක ශාපය අවසාන වූයේ 1977 දී ය. ඒ යූඇම්පී-තොණ්ඩමාන් රජය පිහිටුවීමෙනි. ඒ ඡන්දය පැවැත්වෙන කාලය වන විට කැපුවත් නිල්, කැපුවත් රතු අයට කෙසේ වෙතත්, අති බහුතරයක් අන් අයට නම් පැවති රජය සදහටම එපා වී තිබුණි. එසේ වුවද, යූඇම්පීය විසින් ඇට රාත්තල් අටක් ලබා දෙන බවට කළ කුප්‍රකට ඡන්ද පොරොන්දුව, ඔවුන් ගේ අති විශාල ජයග්‍රහණයට මූලික හේතුවක් වූ බව නොදන්නා අයෙකු නැති තරම් ය.

ඉන් පසු උදා වූයේ දාහත් වසක ශාපය යි. ඒ අවසානයේ 1994 මැතිවරණය වන විට නැවතත් පොදු පෙරමුණ නම් බෝං ලීයේ ගැට ගැසී සිටි සිරිලංකා, සමසමාජ, කොමියුනිස්ට් කණ්ඩායම යූඇම්පීයට සටනක් දිය හැකි ආකාරයක සෑහෙන්න තරගකාරී මට්ටමක සිටියහ. අපේ කාලයේ දේශපාලන ආන්ටි කෙනෙකු ගේ සුප්‍රකට "කාගෙන, කාගෙන, කාගෙන" යාමේ කතාව කෙසේ වුවද, යාන්තම් අළු පිසදමමින් නැගිටිමින් සිටි ජවිපෙ නෂ්ටාවශේෂයේ ද, අනියම් සහය පොදු පෙරමුණට ම ලැබුණි.

මා ලූෂන් බුලත්සිංහලගෙන් ඇසූ ප්‍රශ්නයේ සඳහන් කෙරුණු චන්ද්‍රිකා බණ්ඩාරනායකට සහය දෙන්නට කලාකරුවන් ගේ සංවිධානයක් ගොඩ නැගුණේත්, ඔවුන් නුගේගොඩ දී ප්‍රසිද්ධ රැස්වීමක් පැවැත්වූයේත් ඒ 1994 මැතිවරණය හේතු කොට ගෙන ය.

එකල ඇතුල්කෝට්ටේ පදිංචිව සිටි මා ද නැරඹීමට ගිය එකී දේශපාලන ප්‍රචාරක රැස්වීමේ නිවේදක කටයුතු කළේ රේණුකා බාලසූරිය බව මගේ මතකයයි. සමහර විට සෝමරත්න දිසානායක ද ඉන්නට ඇත.

මා ඒ රැස්වීම් භූමියේ රැඳි සිටි කාලය ඇතුළත ජනතාව අමතා කතා කළ අය අතර, නාට්‍යවේදී කේ.බී. හේරත්, ගායක බන්දුල විජේවීර, ගීත රචක කාලෝ ෆොන්සේකා මෙන් ම, නාට්‍යවේදී ලූෂන් බුලත්සිංහල ද වූහ.

ලූෂන් බුලත්සිංහල අපට නොබෝදා ඉදිරිපත් කළ නිර්වචනය අනුව ඒ කලාකරුවන් ගේ සංවිධානයට එක් වී සිටි සමහරුන් කලාකරුවන් නමුත් බොහෝ දෙනා නිකම්ම නිකං කලා ශිල්පීන් පමණක් යැයි මට සිතේ.

ඒ කෙසේ වෙතත්, එදා නුගේගොඩ රැස්වීමේ දී ලූෂන් බුලත්සිංහල කියූ එක් කරුණක්, වසර විසි දෙකකට පසුව වුව ද, තවමත් මගේ සිතේ හොඳින් රැඳී ඇත.

හාල් සේරු දෙක, ඇට රාත්තල් අට වැනි පැරණි ඡන්ද පොරොන්දු ගැන සිහි කළ ලූෂන් බුලත්සිංහල ඒවා උපමා කළේ මහ ජනතාව නම් කුකුළු රංචුවට "බා, බා, බා!" කියා විසි කරන පොරි වශයෙනි.

වෙනදා ඡන්ද විමසීම්වල දී මහ ජනතාව, කුකුළන් පොරිවලට වහ වැටෙන්නා සේ, ඒ ඒ පොරොන්දුවලට ආකර්ෂණය වී ඒ පැත්තට, මේ පැත්තට ඡන්දය දී ආණ්ඩු මාරු කළා වුව ද, මෙවර ඡන්දයේ දී නම්, දූෂණය, භීෂණය පිරි දාහත් වසක දුර්දාන්ත පාලනය අවසන් කිරීමට මහ ජනතාව ඡන්දය දෙන්නේ කිසිම ඡන්ද පොරොන්දුවක් නිසා නොවන බවත් ලූෂන් බුලත්සිංහල පැවසීය.

ලූෂන් බුලත්සිංහල එදා රැස්වීමේ දී එසේ කියූවද, පොදු පෙරමුණ මගින් ද, ඒ කුකුලන්ට පොරි ආකාරයේ ඡන්ද පොරොන්දුවක්, එනම් පාන් ගෙඩියක මිල රුපියල් තුනයි ශත පනහක් කරනවා ය යනුවෙන්, ඒ වන විටත් ඉදිරිපත් කර තිබුණි.

එදා 1994 ඡන්ද ප්‍රතිඵලයට ඒ තුනයි පනහේ පාන් ගෙඩි පොරොන්දුවේ බලපෑම අතිශය තීරණාත්මක වී දැයි මට නිවැරදිව කිව නොහැකි නමුත්, කිසිදු බලපෑමක් නොවී යැයි කියන්නට නම් කිසිසේත් ම නොහැකි ය.

ඒ සමගම, ලූෂන් බුලත්සිංහල එදා සුහද සංවාදයේ එක් අවස්ථාවක සඳහන් කළා සේ, දාහත් වසරක යූඇම්පී පාලනය අවසාන කරන්නට ඔවුන් කලාකරුන් ගේ සංවිධානය පිහිටුවාගෙන පොදු පෙරමුණට උදව් කර ඇත්තේ, තමන් ගේ ඉල්ලීමක් ද, චන්ද්‍රිකා කුමාරතුංගගෙන් පොරොන්දුවක් සේ ලබා ගෙන ය.

එය නම්, කොළඹ නගරයේ සුවිසල් රංගන ශාලාවක්, රජයේ වියදමෙන් ඉඳි කරනවා ය යන පොරොන්දුවයි.

ඒ සඳහා කොළඹ හත ප්‍රදේශයේ පිහිටි ජෝන් ද සිල්වා රඟහල අසල ස්ථානයක් තෝරා ගෙන, මූලික සැලසුම් කෙරුණු බවත්, එසේ වතුදු ඒ සැලසුම් කිසි දිනෙක ඒ ආකාරයෙන් ක්‍රියාවට නැංවුනේ නැති බවත්, ඒ භූමි භාගයේ පසු කලෙක, නෙළුම් පොකුණ රඟහල ඉඳි වූවත්, එය සංදර්ශනයක් හෝ නාට්‍යයක් සඳහා පැය කිහිපයකට කුලියට ගැනීමට මුදලින් රුපියල් ලක්‍ෂ හතක් වැය වෙන තත්වය යටතේ කිසිසේත් ම, ජනතා කලාවක් දියුණු වීමට හේතු කාරක නොවෙනු ඇති බවත් ලූෂන් බුලත්සිංහල එදා අප සමග කීවේ ය.

-රසිකොලොජිස්ට්

ප/ලි:
තවත් ලූෂන් බුලත්සිංහල කතා කිහිපයක් ම අවශ්‍ය පරිදි ලිවිය හැකි බව සතුටින් දන්වමි.

(https://motherhensnest.wordpress.com/category/current-events/entertainment/page/2/)

17 comments:

  1. රසික බොහෝ දේ දකින්නේ අනෙක් අය දකිනවාට වඩා මහා නිවැරදි විදිහකට කියා රසික හිතුවාට, අනෙක් අයට ඊට වඩා වෙනස් විදිහකට හිතෙන්න පුළුවන්. ඒ විදිහයි රසික කියා ඇත්තේ. රසිකට හිතෙන දේ රසිකට පෙනෙන විදිහයි රසික ලියා ඇත්තේ. රසික මගේ දේවාලෙට නාවාට මට ඇති අවුලක් නැත. මට එහෙම දේවාල ඇතැයි රසික සිතන නිසාවෙනි. දේවාල නැතැයි කියමින් හොරෙන් හොරෙන් රසිකත් දේවාලෙකට යන බව අපට වැටහීම සමහර විට වැරදි වෙන්නට පුළුවන. සමහර විට එය හරි වෙන්නත් පුළුවන. ඔබ ඔබේ කාර්යය කරන්න. හොරෙන් හොරෙන් හෝ ඔබ කැමැති දෙවියන් වඳින්න. එය ඔබේ අයිතියයි. එසේම, ගරහන්නට අවැසි නම් ඔබට, දෙවියා කාගේ වුව, ගරහන්න. එයත් ඔබේ අයිතියය. අයිතියටත් වඩා එය කැමැත්තක් බව අපට වැටහේ.

    ReplyDelete
    Replies
    1. ඉල්ලීමකි.

      ඔය භාෂා විලාසයෙන් නවකතාවක් ලියන්න. හොඳම සම්භාව්‍ය කෘතියක් වෙනු ඇත.

      හැබැයි මට නම් ඔය ලියා ඇති කිසිම දෙයක් නොතේරේ!

      .

      Delete
  2. ඒ කියන්නේ ලුෂන් කියන්නෙත් නලාකරුවෙක්....?

    ReplyDelete
    Replies
    1. කලා ශිල්පියෙකු සහ කලාකරුවෙකු අතර වෙනස එදා ලූෂන් බුලත්සිංහල පැහැදිළි කළා.
      https://rasikalogy.blogspot.com/2016/08/lucien-bulathsinhala-lartiste-supreme.html

      නලාකරුවෙකු සහ කලාකරුවෙකු වෙන්කර හඳුනා ගන්නා හැටි ගැන මගේ අදහසත් ලියන්න ඕනැ!

      ලූෂන් බුලත්සිංහල නලාකරුවෙකු දැයි නිවරැදිව කියන්නට මා ලඟ සාක්‍ෂි නෑ!

      Delete
  3. 1994 දි මට වැටහුනු ආකාරයට නම් 3.50 පාන් ගෙඩියේ පොරොන්දුව ඡන්දයට ලොකු බලපෑමක් කළේ නෑ - එහෙම කියන්නේ ඒ කාලේ සමාජයේ තිබුනු දැඩි යූ එන් පී විරෝධය ගැන තිබූ අවබෝධය අනුවයි - උදාහරණයකට අපේ පංතිය (අට ශ්‍රේණිය) ගත්තොත් සිසුන්ගෙන් 90%ක් පමණ පොදු පෙරමුණේ ජයග්‍රහණය වෙනුවෙන් පෙනී සිටියේ යූ එන් පී ආණ්ඩුවට ඇති විරෝධය නිසා . ඡන්ද දායක දෙමව්පියන්ගේ මතවාදයන් ගැන ඉන් වැටහීමක් ගන්න පුලුවන්. පාන් ගෙඩියේ සීන් එක නොකියුවුනු තරම්. - කොටින්ම 2015 ජනවාරි 8 ඊනියා යහපාලනය ගේන්න අපි වගේ ඡන්දදායකයන්ට තිබුන උනන්දුවට වඩා විශොල ප්‍රෙබා්ධයක් එවක යූ එන් පී විරෝධි ඡන්දදායකයන් තුළ තිබුනා කියන්න පුලුවන් :)

    ReplyDelete
    Replies
    1. මං හිතන්නේ ඔබ හරි. මා ලියුවේ ද එවැනි අදහසකි.

      /* එදා 1994 ඡන්ද ප්‍රතිඵලයට ඒ තුනයි පනහේ පාන් ගෙඩි පොරොන්දුවේ බලපෑම අතිශය තීරණාත්මක වී දැයි මට නිවැරදිව කිව නොහැකි නමුත්, කිසිදු බලපෑමක් නොවී යැයි කියන්නට නම් කිසිසේත් ම නොහැකි ය. */

      නමුත් අඩු ආදායම් ලබන පිරිස් අතර තත්වය කෙසේ වුනිදැයි කිව නොහැක.

      Delete
  4. සංස්කෘතියක තියෙන වැරදි, අඩුපාඩු, විසංවාද වැඩිපුරම පේන්නෙ ඒකටම කෙලින්න බලාගෙන ඉන්න ලුෂන් බුලත්සිංහල වගේ අවජාතික අපතයන්ට තමයි. (එච්චරම ලොකු නම්බු නාමයක් දෙන්න අකමැති නම් කියමු සිංහල බෞද්ධයාට පැන්සලෙන් ඇනල ලදරු ආතල් ගන්න බලන් ඉන්න කට්ටිය කියල). එහෙම අපතයින් විසින් පෙන්වා දුන්න බව පෙන්වා දුන්න කියල ඒ වැරදි, අඩුපාඩු හෝ විසංවාද නිවැරදි, පරිපූර්න හෝ සංගත වෙන්නෙ නෑ.

    ReplyDelete
    Replies
    1. මනපහතයෙකු ලියා ඇති කමෙන්ටුවක්දැයි සැකයක් ඇතිවේ!

      Delete
  5. This comment has been removed by the author.

    ReplyDelete
  6. මේ ඡන්ද කතා තරම් අසික්කිත කතා ජාතියක් ලොවෙත් නැත. මට අද අහම්බෙන් සයිබරයේ හමුවුන ලිපියක් නම් පසුගිය කාලයේ මහින්දගේ හොරණෑව වූ හඩ්ඩාගේ අඳෝනාව වාර්තාගත කළ දිනමිණ ලිපි පෙළකි.

    මේ එයින් කෑල්ලකි.
    //මේ යාපනේ මිනිස්සු එක්ක කතාකරනකොට කියනවාලු මහින්ද මහත්තයාව අපි දන්නවා. ඒත් මෛත්‍රී කියන්නේ කවුද කියලා අහනවලු.//
    ඔය කෑල්ල තිබිල තියෙන්නෙ 2014. 12.‍ 16 වැනි දින විකාශය වූ වැඩසටහනේ කියල තමයි ඒකෙ තියෙන්නෙ.

    අනේ ඒත් ඉතින් අන්තිමට එහෙව් යාපනේ එවුන් ජනවාරි 8 වැනිද ගැහුවනේ නොදන්න එකාටම කතිරෙ.

    ReplyDelete
    Replies
    1. දැන් කෝ මෑන්ස්? තාම මාධ්‍යවල කටයුතු කරනවාද? මෙහෙත් ඉන්නවා ඇළන් ජෝන්ස් කියලා අපතයෙක්!

      Delete
  7. බොහෝ කළා කරුවන් ඔවැනි නලා කරුවන් ය.

    ReplyDelete
    Replies
    1. කලා ශිල්පියෙකු සහ කලාකරුවෙකු අතර වෙනස එදා ලූෂන් බුලත්සිංහල පැහැදිළි කළා.
      https://rasikalogy.blogspot.com/2016/08/lucien-bulathsinhala-lartiste-supreme.html

      නලාකරුවෙකු සහ කලාකරුවෙකු වෙන්කර හඳුනා ගන්නා හැටි ගැන මගේ අදහසත් ලියන්න ඕනැ!

      Delete
  8. රසික බුලත් කන්න ගත්තහමත් රසිකයි රසිකගේ බෝගයි දෙකම පඩික්කමක් කරගන්නවනේ ..
    මෙව්වා බලන අපි නිකම්ම උබැහගේ පඩික්කම් බොන්නෝ වෙනවා ...
    පඩික්කම් බොන්න ගත්තම වෙන දේ දන්නවනේ .. අන්තිම උගුර දක්වා බොන්න වෙනවා ..
    සෙවළ කණ්ඩය මගදී බිදින්න ගියහම නාන්න වෙනවා ..
    අනික මේ මොකෝ රසික අනුන්ගේ බ්ලොග් වලයි FB පගේ වලයි අනිත් අය තවත් කෙනෙකු ආමන්ත්‍රණය කරන විදිය විවේචනය කරන්නේ ..
    එතුමා , මෙතුමා , අයියා , සහෝදරයා , මචං .. ඔක්කොම එක එකාගේ මට්ටම් සහ නිදහස් සිතුවිලි , හැගීම් , ඒක තමයි සිංහලේ විචිත්‍රත්වය ..
    හැගීම් ආමන්ත්‍රණය තුල ප්‍රතිරුපණය කරන්න පුළුවන් ..ඔබගේ ඒ හැසිරීම කැතයි ඈ ..

    ReplyDelete
    Replies
    1. මේට්, මොකක්ද මේ කියන්නේ?

      මා මේ බ්ලොගය ලියන්නේ මගේ අදහස් මතයි.

      මගේ බ්ලොගයේ ඔබ සහ වෙනත් අයට ප්‍රතිචාර දක්වන්නට ඉඩ සලසා ඇත්තේ (එසේ පයතිචාර දැක්විය නොහැකි බ්ලොග් ද මෙලොව ඇත!) ඔබේ සහ අන් අය ගේ අදහස් දැක්වීමටයි.

      මගේ බ්ලොගය කියවීම හෝ නොකියවීම ඔබේ තීරණයකි. කියවන්නට පටන් ගත් පසු අය අප්‍රිය වුව ද දිගටම කියවීම ද ඔබේ ම තීරණයකි.

      මගේ කැත මොන හැසීරීම ද?

      හෑව් එ ගුඩ් ඩේ, මේට්!

      Delete
  9. කොහොම හරි ලිපි දෙකක් මිස් වෙලා අදයි දැක්කේ.

    අසූ දෙකේ ජනාධිපතිවරනයේදී විජය ප්‍රමුඛ කොබ්බෑකඩුව කඳවුරෙන් හාල්පොතක් ගහල බෙදුව නේද? අනුර-මෛත්‍රී කණ්ඩායමේ සහයෝගය නොලැබුණු නිසා ඡන්ද ලැබුණේ ජේආර්ට වඩා ගොඩක් අඩුවෙන් වුනත් මම හිතන්නේ ඒ හාල්පොතටත් සෑහෙන ඡන්ද වැටෙන්නට ඇති කියලයි.

    ReplyDelete
    Replies
    1. දෙකක් නෑ. මේක විතරයි මිස් වෙලා තිබුණේ>

      Delete

ඔබේ ප්‍රතිචාරය මට සතුටකි!. Your comments are most welcome!
සංයමයෙන් යුතුව ප්‍රතිචාර දක්වන්න.