Wednesday, 17 August 2016

කලාකරුවෙකු වෙන්නේ කෙසේද? - A pipe dream?


යමෙකු කලාකරුවෙකු වෙන්නේ කෙසේ ද? ඒ සඳහා උපතින් ම ලද හැකියාවක් තිබිය යුතු ම ද? ඒ හැකියාව පමණක් ප්‍රමාණවත් ද? හැකියාවක් ඇති අයෙකුට එතැනින් ඔබ්බට යාමට අවශ්‍ය ජවය හෝ උත්තේජනය හෝ වරම හෝ මොකක්ද එක හෝ ලැබෙන්නේ කෙසේද?

ඉහත ප්‍රශ්න මාලාව මගේ සිතට ආවේ, පසුගිය දා සිනුවර දී ලූෂන් බුලත්සිංහල සමග පැවති සුහද සාකච්ඡාවේ දී ඔහු මුලින් පැවසූ දෙයටත්, නිහාල් රූපසිංහ ගේ ප්‍රශ්නයකට ලූෂන් බුලත්සිංහල දුන් පිළිතුරටත් ඇහුම් කන් දී සිටි අවස්ථාවේ දී ය.

නිහාල් රූපසිංහ විසින් විමසන ලද ඒ ප්‍රශ්නය වූයේ, නාට්‍යවේදියෙකු, ගීත රචකයෙකු ලෙස ලූෂන් බුලත්සිංහල පැමිණි ගමනේ මූලාරම්භය කෙසේ වූයේ ද යන්නයි.

ලෙක්හවුසියේ සරසවිය සිනමා සඟරාව හෝ සති අන්ත පුවත්පතක් සමග ලැබෙන වෙනත් ඒ ආකාරයේ සඟරා අතිරේකයකින් කලාකරුවෙකු සමග කෙරෙන සම්මත අච්චුවේ සම්මුඛ සාකච්ඡාවකදී නිරතුර ඇසෙන්නා වූ ප්‍රශ්නයක් වූ එය, බැලු බැල්මට වැදගත්කමක් නැති එකෙකැයි සිතුණ ද, ඇත්තටම කලාකරුවා ඇතිවීම හෝ නැතිවීම පිළිබඳ තීරණාත්මක තොරතුරු ලබා දෙන ප්‍රශ්නයක් බව හොඳින් විශ්ලේෂණය කර බලන කල පෙනේ.

නිහාල් රුපසිංහ ගේ ප්‍රශ්නයට පිළිතුරු ලෙස එදා ලූෂන් බුලත්සිංහල පැවසූ ඔහු ගේ ජීවිතය පිළිබඳ කරුණු කිහිපයක් මෙසේ ය.

වේදිකා නාට්‍යයට ඇති ඔහු ගේ ඇල්ම ආරම්භ වී ඇත්තේ, කුඩා කාලයේ රත්මලාන ප්‍රදේශයේ පෙන්වූ ටීටර් නාඩගම් නිසා ය. නමුත් ඔහුට ඒ නාටක රිසි සේ නරඹන්නට මුදල් තිබී නැත. කුඩා ලූෂන් බුලත්සිංහල කර ඇත්තේ වෙරළබඩ පොල් අතුවලින් වට කළ තාවකාලික වේදිකාවේ නාට්‍යය පුහුණු වන ආකාරය, පොල් අතු අස්සෙන් හොරෙන් බලා රස විඳීමයි.

වරක් මේ ආකාරයට තමන් නාට්‍යයක් පුහුණු වන ආකාරය හොරෙන් නරඹමින් සිටිනවා දුටු නාට්‍යයේ සංවිධායකයෙකු තමන්ව කණෙන් ඇද එළවා දැමූ බව ද ලූෂන් බුලත්සිංහල අප සමග පැවසී ය.

කුඩා කල සිට ම චිත්‍ර ශිල්පයට දක්‍ෂ සිසුවෙකු වූ ලූෂන් බුලත්සිංහල සාමාන්‍ය පෙළ විභාගයෙන් පසු හේවුඩ් ආයතනයේ ශිෂ්‍යයෙකු ලෙසින් චිත්‍ර කාලව වැඩිදුර ඉගෙනීම අරඹා ඇත. නමුත් ඒ අධ්‍යාපනය දිගටම කරගෙන යාම සඳහා වියදම් කිරීමට ඔහු ගේ පියාට මුදල් නොතිබුණු නිසා, ඔහු චිත්‍ර කලාව ඉගෙනීම අත හැර යළිත් පාසලට ගොස් උසස් පෙළ හදාරන්නට පටන් ගෙන තිබේ.

එදා එය එසේ නොවුණා නම්, අද සමහර විට ලූෂන් බුලත්සිංහල නම් නාට්‍යකරුවෙකු නොසිටින්නට ද ඉඩ තිබුණි.

ඒ හැටේ දශකයේ මුල් කාලයයි.

ඉන්පසු පේරාදෙණිය විශ්ව විද්‍යාලයට බැඳී අධ්‍යාපනය හදාරන්නට වරම් ලබන ලූෂන් බුලත්සිංහලට ඒ කාලයේ ජීවත් වීම සඳහා අවශ්‍ය මුදල් සොයා ගැනීමට ලිපිකරුවෙකු ලෙස පූර්ණකාලීනව රැකියාවක නිරතවෙන්නට ද සිදු වී ඇත. ඒ පිළිබඳව ද රසවත් කතාවක් ඔහු අප සමග පැවසූ අතර එය පසුව ලිපියක ලියන්නට අදහස් කරමි.

කෙළින් ම ඒ බව නොකියවුණ ද, මට වැටහුණු ආකාරයට, විශ්ව විද්‍යාලයට යන්නට පෙර සිටම වේදිකා නාට්‍යවලට සම්බන්ධව සිටියද, ලූෂන් බුලත්සිංහල පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ දී නාට්‍යවලට සම්බන්ධ වූ අයෙකු නොවන බව පෙනුණි.

කෙසේ නමුත්, තමන් වේදිකා නාට්‍යවේදියෙකු වීමට මූලිකවම බලපෑවේ, කුඩා කාලයේ අමාරුවෙන් දැක බලා ගත් ඒ ටීටර් නාටක නිසා බව ලූෂන් බුලත්සිංහල එක හෙළා පැවසී ය.

නමුත් කුඩා කාලයේ නාට්‍යය නැරඹීමෙන් පමණක් නාට්‍යකරුවෙකු වීමට නොහැකි බව පැහැදිලි ය. උදාහරණයක් ලෙස මා නැරඹුූ මුල්ම වේදිකා නාට්‍යය වූයේ (ලූෂන් බුලත්සිංහල ගේ ම නිෂ්පාදනයක් වූ) රතු හැට්ටකාරී නාට්‍යයයි. ඒ මා අටවෙනි ශ්‍රේණියේ පමණ ගලහිටියාව මධ්‍යම විද්‍යාලයේ ඉගෙන ගන්නා කාලයේ දී ය.

එසේ වෙතත්, මට නම් තවමත් නාට්‍යකරුවෙකු වීමට හැකි වුයේ නැත. එදා සුහද සංවාදය අවසානයේ තේ බොන අතර දී මම ලූෂන් බුලත්සිංහල සමග ද මේ බව පැවසූවෙමි.

එයින් මා කියන්නට අදහස් කළේ, කලාකෘතියක් නැරඹීමෙන්, රස විඳීමෙන් පමණක් කලාකරුවෙකු වීමට හැකියාව නොලැබෙන බවයි.

සිනුවර සිංහල සංස්කෘතික හමුවෙන් කෙටි නාට්‍ය උලෙළක් ඇරඹුණේ මින් වසර තුනකට ඉහත දී ය. ඒ මුල් ම උත්සවය සඳහා නාට්‍යයක් ලියා නිෂ්පාදනය කරන්නට මම ඉටා ගත්තෙමි.

තුන්වෙනි වරට පැවැත්වෙන නාට්‍ය උත්සවය සඳහා අත් පිටපත් භාර ගැනීම පසුගිය ජූලි 15 දා අවසන් විය. පසුගිය වසර කිහිපය තුළ දී විවිධ නාට්‍යකරුවන් ඇසුරු කළ ද, මට තවමත් එක් වචනයක් හෝ ලියා ගැනීමට නොහැකි විය.

කලාකරුවෙකු වීම ලේසි පහසු වැඩක් නොවේ!

-රසිකොලොජිස්ට්

ප/ලි:
හදිසියේ ම මෙන් සංවිධානය වූ ලූෂන් බුලත්සිංහල හමුව නිසා රසිකොලොජියට සෑහෙන්න කාර්ය බහුල කාලයක් එළැඹුනි. එදා මා ලද අත්දැකීම් ආශයෙන්, පසුගිය සතිය තුළ මා රසිකොලොජියේ ලියා පළ කළ ලිපි ලයිස්තුව මෙසේ ය.

1. ලූෂන් බුලත්සිංහල නම් කලාකරුවා - Lucien Bulathsinhala, l'artiste suprême!
http://rasikalogy.blogspot.com/2016/08/blog-post.html


2. පේරාදෙණිය වළේ හූ කීම ඇරඹුණු හැටි ලූෂන් බුලත්සිංහල හෙළි කළ වගයි! - A tale from the past
http://rasikalogy.blogspot.com/2016/08/blog-post.html


3. තවත් හූවක් - One more yarn
http://rasikalogy.blogspot.com/2016/08/one-more-yarn.html


4. ලූෂනයියාගෙන් මා ඇසූ ප්‍රශ්නය සහ ඔහු ගේ පිළිතුර - Lucien Bulathsinhala trapped in a vicious circle
http://rasikalogy.blogspot.com/2016/08/lucien-bulathsinhala-trapped-in-vicious.html


5. ලූෂන් බුලත්සිංහල ගේ කථාවේ අතුරු කතාව - Election promises
http://rasikalogy.blogspot.com.au/2016/08/election-promises.html


(image: http://www.canstockphoto.com/pipe-dream-10179134.html)

12 comments:

  1. අපි සෝරෝම එක්තරා ආකාරයක ලොකු නිද්‍රාවක ඉන්නවා කියලා රසිකට පේනවා. රසිකත්, අපි ඔක්කොම ලොකු නින්දක ඉන්නෙ. මේ නින්දෙදි අපි නිදාගන්නවා විතරක් නෙවෙයි, අපි නින්දෙදි කතා කරනවා. අපි නින්දෙන් විවිධ සන්නිවේදන කටයුතුවලත් යෙදෙනවා. ඒත් ඒවා යථාර්ථයෙන් එහාට ගිය සිහිනමය තත්ත්වයක තියෙන්නෙ. මේ සිහිනමය තත්ත්වයේ ඉන්නකොට රසිකට පේනවා මිනිස්සු Freeze වෙලා බලන් ඉන්නකොට පාරවල් ගමන් කරනවා. රංග ශාලාවල නළු නිළියො Freeze වෙලා ඉන්නකොට ප්‍රේක්ෂාගාරය රඟපානවා. ඒත් මේ දේවල් අතරතුර රසිකට පේනවා රසිකගේ එක ඉන්ද්‍රියක් ඇහැරං ඉන්නවා. ඒ තමයි හෘද සාක්ෂිය. මේක වහන්න කොච්චර උත්සාහ කළත් වහන්න බැහැ.

    ReplyDelete
  2. කළාකාරයෙක් වෙන්න නම් ඕන ගොනෙකුට පුළුවන්.... ඒත් ජනප්‍රිය වෙන එකයි අමාරු...

    ReplyDelete
    Replies
    1. නිකං නෙමෙයි නේ සේක්ස්පියර් ගොයියා කියලා තියෙන්නේ..

      ලෝකය වේදිකාවක්ය.. අපි එහි රඟන කලාකරුවෝය කියලා හිටං

      Delete
    2. හැමෝම නළුවෝ, හැමෝම ප්‍රේක්‍ෂකයෝ!
      ආටක නාටක!!

      Delete
    3. 'ඕන ගොනෙකුට කලාකරුවෙක් වෙන්න පුළුවන්'. ඒ කියන්නේ මාතලන් කලාකරුවෙක්. හිකිස්......

      Delete
  3. මේ ලිපි මාලාව අතිශය ප්‍රයෝජනවත් වුනත් දැන් දැන් පොඩ්ඩක් විතර ඇති වෙච්චි ගතියක් දැනෙනවා. ඒ නිසා, සාමාන්‍ය විදිහටම ලියන ගමන් සතියකට වතාවක් ලූෂනයියා ගැන බලමුද? සමහර විට සන්ඩේ ස්පෙෂල් එකක් වගේ෴

    ReplyDelete
  4. ඔය ජනප්‍රිය වුනු අය නැතිනම් අති සාර්ථක ව්‍යාපාරිකයො වෙච්ච අය කියන විදිහට එයාලගෙ ජීවිත කතාව සීයට සීයක්ම අංග සම්පූර්ණව අපට දැනගන්න ලැබෙන්නෙ නෑ. සමහර විට ලූෂන් බුලත්සිංහල කියා සිටින කරුණු නිවැරදි ඇති. ඒත් තීරණාත්මක වූ සුළු සිද්ධියක් (එයා ඒක තීරණාත්මක විදිහට නොදැක්කත්) අපට හෙළිදරව් වෙන්නෙ නෑ. ඒ නිසා, තව කෙනෙකුට ඒ අඩිපාර දිගේ ගිහින් එතනටම යන්න බැහැ. සමහරවිට කලාකාරයෝ සහ ව්‍යාපාරිකයෝ එක ගොඩකට දාන එක වැරදි වෙන්න පුළුවනි. ඒත්, පළමුවැනි අත්දැකීමෙන් ලද උත්තේජනයක් හේතුවෙන් පමණක් පුද්ගලයකුට සාර්ථක ගමනක් යන්න බැහැ. උදාහරණයක් හැටියට උපාලි විජේවර්ධන නම් වූ සාර්ථක ව්‍යාපාරිකයාගෙ චරිත කතාව ගැන බලන්න. බැලූ බැල්මට මේ අපි ඔහෙලට වුනත් ඒ වගේ දැවැන්ත ව්‍යාපාරිකයෙන් වෙන්න පුළුවන් කියල හිතෙන්නෙ.
    කලාකාරයෙක් වෙන්නත් මූලික උත්තේජනය වගේම සහජ හැකියාවත් සතතාභ්‍යාසයත් අවශ්‍යයි කියන එකයි මගේ වැටහීම෴

    ReplyDelete
    Replies
    1. තව එකක් ඕනෑ - ඒ තමයි වාසනාව. පින කියා කියන්නත් පුළුවනි!

      Delete
  5. ඒ වුණාට කොහොමහරි පිටපතක් ලියල රසිකොලොජියෙ දැම්මොත් මොකද?

    ReplyDelete
  6. හැකියාව තිබුනත් උනන්දුව නැති අය ඉන්නවා. උනන්දුව තිබුනත් හැකියාව නැති අයත් ඉන්නවා. පාරෙ හිඟාකන කලා හැකියාව ඇති අයත් ඉන්නවා. වාසනාව නෑ කියල ෂේප් වෙන අයත් ඉන්නවා.

    ReplyDelete

ඔබේ ප්‍රතිචාරය මට සතුටකි!. Your comments are most welcome!
සංයමයෙන් යුතුව ප්‍රතිචාර දක්වන්න.