Tuesday 25 August 2015

මොරටුව කැම්පස් එකේ කොල්ලෙකු ගේ කතාවක් - Can I borrow $990 please?


රසිකොලොජිය සඳහා ලියා පළ කළ අපේ කාලේ කැම්පස් කොල්ලෙකු ගේ කතාව නිසා තවත් එවැනි ම කතාවක් සිහියට නැගුණි.

නමුත් මෙය ලූ කතාවකි. එනම්, මෙය වෙනකෙකු රස කරමින් කියනු මා විසින් අසනු ලැබූ කතාවක් මිස, කෙළින් ම මට සනාථ කළ හැකි කතාවක් නොවේ.

එනිසා තාර බර හැර කියවන්න!

මේ කතාවේ ප්‍රොටගැනිස්ට් තරුණයා ඉගෙනුම ලැබුවේ මොරටුව විශ්ව විද්‍යාලයේ යි. අප කවුරුත් දන්නා පරිදි එය කටුබැද්ද කැම්පස් එක කියා ද හැඳින්වේ.

මෙහි දී ඉගෙනුම ලැබුවේ යැයි කීවේ, මේ සිදුවීම පරණ එකක් නිසා, අතීත කාලයෙන් ලිවීමට අවශ්‍ය නිසාම නොවේ. ඇත්තටම, මේ සිදුවීමට අදාළ කාලයේ අපේ කතානායකයා තම ඉගෙනුම අවසාන කර සිටියේ ය.

නමුත් මේ කතාවේ පැවසෙන ආකාරයට එය සියලු දෙනාම දැන සිට නැත. සියලු දෙනාම කෙසේ වෙතත් ඔහු ගේ දෙමව්පියන් නම් දැන සිට නැත.

ඔවුන් ගේ සිව් වසරක උපාධි පාඨමාලාව අවසානය ළඟා වී, අවසන් විභාගයේ අවසන් පරීක්‍ෂණයටද පෙනී සිට, අවසන් පැවරුමද නිමවෙන සමයේ අලුත් අධ්‍යාන වර්ෂය සඳහා විශ්ව විද්‍යාලය ඇරඹෙන්ට තිබී ඇත්තේ සතියක පමණ කාලයක් වන අතර අපේ කතා නායකයාට, ඒ වසරේ තාවකාලික අධ්‍යයන කාර්ය මණ්ඩලයේ උපදේශක (ඉන්ස්ට්‍රක්ටර්) තනතුරක් ලැබී ඇත.

නිවසට ගිය ඔහු දින දෙක තුනකින් ම ආපසු පැමිණ, කාලයක් තිස්සේ නතර වී සිටි බෝඩිමේ ම නවාතැන් ගෙන තවත් ඔහු වැනි පිරිසක් සමග අලුත් රැකියාව ඇරඹුවේ ය.

මාසය අවසන් වී පඩි ලැබෙන දිනය ළඟාවෙත් ම සුපුරුදු පරිදි, දෙමව්පියන් ගෙන් ද, ඔහු ගේ වියදම් සඳහා මුදල් ඇණවුමක් හෙවත් මනි ඕඩරයක් ලැබී තිබේ.

අපේ මිතුරා කර ඇත්තේ තමන් ලද විශ්ව විිද්‍යාලයේ පඩියට, දෙමව්පියන් එවූ මුදලින් ද කොටසක් එකතු කර, රවුම් ගාණක් සාදා, බැංකුවේ තැන්පත් කිරීමයි.

මාස කිහිපයකට පසු විභාග ප්‍රතිඵල නිකුත් වී, ඉන් පසු වෙනත් ස්ථානයක රැකියාවට යනතුරුම ඔහු පරණ බෝඩිමේම නතර වී සිට ඇති අතර, ඒ කාලය පුරාම ඔහුට දෙමව්පියන්ගෙන් මුදල් ලැබුණු බවත්, ඒ හැම විටම, එයින් කොටසක් ද මාසික වේතනයට එකතු කොට බැංකුවේ තැන්පත් කළ බවත් අපේ කතා නායකයා ගේ හොඳම මිතුරෝ සනාථ කරති.

-රසිකොලොජිස්ට්

ප/ලි:
මා ළඟත් ඩොලර් දහයේ නෝට්ටුවක් ඇත. එය ඩොලර් දාහක් බවට පත්කර බැංකුවේ තැන්පත් කිරීමට ඩොලර් නමසිය අනූවක් සොයමින් සිටිමි. එය කාර් ටයරයක් ඇති අයෙකු, ඉතුරු කොටස් ද සොයා ගෙන කාරයක් සාදා ගන්නට සිතීමට වඩා ප්‍රායෝගික වැඩකි!

(image: This is a newspaper cartoon I found reproduced in Facebook, Cannot locate original source now)

23 comments:

  1. //ප්‍රොටගැනිස්ට්// කථානායක නේද සිංහල වචනේ? speaker එක්ක පැටලෙන හින්දද භාවිතා නොකළේ?

    ReplyDelete
    Replies
    1. නෑ එහෙම පැටලෙන්නේ නෑ මෙයාට ඕනනේ මෙයා මහා කුශාග්‍ර බුද්ධිමතෙක් කියලා පෙන්නන්න. අපි නිකම් මයිනෝ.

      Delete
    2. @ ඉකොනොමැට්ටා
      මේ කතාවේ ඇත්තම කතානායකයා නම්- කතාව මට කියූ පුද්ගලයා ය.

      මෙහි ප්‍රොටැගනිස්ට් යැයි කීවේ ඔය වචනය කලින් දවසක ලියූ තැනකදී කීප දෙනෙකුම එය කුමක්දැයි විමසා දැන ගත් නිසා, මෙවරද එවැනි අතුරු ප්‍රයෝජනයක් ලැබේ යැයි සිතාය.

      වචනය හයිපර්ටෙක්ස්ට් කර තිබෙන්නේ එබැවිනි!

      Delete
    3. අපි නම් හිතන්නෙ තමන්ගෙ දැනුම පෙන්වන්න ඔය වගේ බර වචන දානව කියල. ඒ නිසා අපි ඕව ඉගෙනගන්න උනන්දු වෙන්නෙ නෑ. දැන් බලන්න පරණ පොත්. ඒව ඔක්කොම ලියල තියෙන්නෙ බර වචන එකතු කරල නෙ. අපි ඒව කියවන්නෙත් නැත්තෙ ඒ කාලෙ පණ්ඩිතයන්ගෙ දැනුම පෙන්වන්න අපි මොනවට පරිප්පු කනවද කියල හිතලයි.

      Delete
  2. ඔයා මේ කථාව නම් කලින් ලිවුවා.පලි නම් අලුතින්.

    ReplyDelete
    Replies
    1. හොඳ මතකයක් ඇති බව පෙනේ. මටත් මා එලෙස ලියූ බවට යම් සැකයක් ඇති වුනත් අද වෙනතුරු ඒ කොතැන දැයි සොයා ගත නොහැකි විය!
      අවසානයේ හමුවුනේ මේ කමෙන්ටුව දුටු පසුවයි.
      ස්තුතියි.

      Delete
    2. මම නැති අඩුව නොදැනෙන හැඩයි :)

      Delete
  3. මා ළඟත් ඩොලර් එකක් තිබේ. රසිකගෙ දහයට එකතු කළ විට තව ඕනෑ වෙන්නේ 989 කි. ඒ නිසා හැකි ඉක්මණින් රසිකගෙ ඩොලර් දහය මා වෙත එවන්න...

    ReplyDelete
    Replies
    1. කරුණාකර ගම්මන්පිල අමතන්න!

      Delete
    2. හැක්ක හැක හැක ... හූ...!

      Delete
    3. හා හා රසික. තැනට ඔබින කොමෙන්ටුව.

      Delete
  4. මා ළඟත් රුපියල් දහයේ නෝට්ටුවක් ඇත. එය මේ දිනවල ලංකාවේ ඉහල වටිනාකමක් ඇති නෝට්ටුවකි. එය ඩොලර් දහයක් බවට පත්කර ගැනීමට තව රුපියල් 1321.20 ක් ඇවැසිය. රසිකට පුළුවන්නං ඔය ඩොලර් දහය මා වෙත එවන්න. ඔබට රුපියල් 10 ක් ලැබෙන්නට සලස්වන්නං.

    ReplyDelete
    Replies
    1. මොනවද හලෝ? ඇයි මේ ඩොලර් අස්සේ රුපියල් ගහන්න එන්නේ?

      Delete
    2. ඇයි ඔය සල්ලි ළඟ තියාගන ඉන්නෙ මහ බැංකු බැඳුම්කරයක්වත් ගන්න ට්‍රයි කරන්නැතුව?

      Delete
  5. මගේ ළඟ ඔය ඩොලර් දහය තිබ්බනම් මිට මාස හයකට කලින් රිංගිට් 31යි ගන්න පුළුවන්... එත් අද රිංගිට් 40ක් ලැබෙනවා ඒ කියන්නේ මම ඩොලර් තියාගෙන සිහින මව්වට කමක් නෑ වගේ

    ReplyDelete
  6. ඔය කාටුන් එක ගැනනම් යමක් කියන්න ඕනි . ඇන්දේ දර්ශණ කරුණාතිලක මීට අවුරුදු කීපයකට ඉස්සර ලංකාවේ රුපියල පාවෙන්න ඇරලා ඊට පස්සේ බාල්දු වෙන්න ගත්තම .මම දැකපු හොඳ නිර්මානශීලී කාටුනයක් . මට හොඳට මතකයි ලක්බිම පත්තරේ පල වූ මුල් කාටුන් එකේ දර්ශනගේ අත්සන තිබ්බා .මේ චන්දෙ දවස්වල කවුරුන් හෝ එය අමුවෙන් කොපි කර මුණු පොතේ බෙදා හැර තිබුනා .

    ReplyDelete
  7. මොරටුවේ එච්චර සකසුරුවම් කොල්ලොද ඉන්නේ?

    ReplyDelete
  8. මේ වගේ උන් අදත් හොයන්න පුලුවන් රසික. මන් දන්න කීප දෙනෙක් ඉන්නවා කැම්පස් එකේදී පඩියකට වඩා සල්ලි හොයනවා. ගෙදරින් අමාරුවෙන් එවන සල්ලිත් ගන්නවා. හැබැයි මදි නොකියන්න බොනවා.

    ReplyDelete
  9. සල්ලි තියෙන අම්මල තාත්තලාගෙන් නම් ගත්තාට කමක් නැ කියන්න පුළුවන්.ඒත් රස්සාවක් කරද්දී ගෙදරින් සල්ලි ගන්න එක නම් නිකන් මොකක්ද වගේ.

    ReplyDelete
  10. අර ශත අනූනවය නම් දුන්නු හැකි...:P

    ReplyDelete
  11. දැන් මිනිහ බැංකුවේ අධිපතිද ?

    ReplyDelete
  12. ඔය වගේ මැන්ස්ලට කියන්නෙ “උත්සාහවන්ත තරුණයෝ“ හෙවත් “දුක දිනා ජයගත් හපන්නු“ කියල.

    ReplyDelete
  13. අන්න ආදර්ශයට ගන්නවා නම් බඩු !

    ReplyDelete

ඔබේ ප්‍රතිචාරය මට සතුටකි!. Your comments are most welcome!
සංයමයෙන් යුතුව ප්‍රතිචාර දක්වන්න.