Saturday, 22 August 2015

රුසියානු කතන්දර කිහිපයක් - From Russia with love


ඊයේ සවස සිංහල බ්ලොගයක පළවී තිබුණු ලිපියක් කියවීමෙන් පසු එහි අන්තර්ගතය හා සම්බන්ධ කතා රාශියක් මගේ සිතට එක පිට එක නොනැවතී ගලා එන්නට පටන් ගත්තේ ය. අද පළ කිරීමට සිතා සිටි ලිපිය මදකට අමතක කර ඒ කතාවලින් කිහිපයක් හෝ සටහන් කරන්නට මා සිතා ගත්තේ ඒ නිසා ය.

මා ඉහත සඳහන් කළ ලිපිය පළ වී තිබුණේ අජිත් ධර්මා ලියන කොළඹ ගමයා බ්ලොගයේ ය. එහි අන්තර්ගතය වූයේ ලේඛකයා රුසියාවේ දී ලද අත්දැකීම් කිහිපයකි.

රුසියාව ගැන මගේ මුල් මතකය "සෝවියට් දේශය" සඟරාවයි. එය මා දැක්කේ අපේ නිවසට අල්ලපු වත්තේ පිහිටා තිබූ රංජිත් තිලකසිරිලා ගේ නිවසෙනි. "කසකස්ථාන්", "උස්බෙකිස්ථාන්", "ටජිකිස්ථාන්" වැනි වචන මා මුලින්ම දුටුවේ ඒ සඟරාවලින් නමුත් ඒවායේ මට තිබුණේ ඉතා හුරු බවකි. ඒ අපේ මහගෙදරට බාප්පා විසින් දමා තිබුණු නම "නිවාසස්ථාන්: වූ නිසා ය.

රුසියාව ගැන මගේ ඊළඟ මතකය නම්, අප කුඩා කාලයේ සහභාගී වූ මළ ගෙදරකි. ඒ මිය ගොස් සිටියේ අපේ පාසලේ ඉගෙනුම ලබා පසුව රුසියාවේ උපාධියක් හැදෑරීමට ගිය ගරුසිංහ නම් සිසුවෙකි. ඔහු මුහුදේ පිහිනීමට ගොස් මිය ගිය බව කියවිණි. හරියට, ටීබී ඉලංරත්න ගේ "තිලක" නවකතාවේ මිය යන විදෙස් සිසුවා සේ ය.

රුසියාවේ නිවෙස්වල බිත්තිවලට කන් තිබෙන බවත්, රජයට විරුද්ධව කතා කළ නොහැකි බවත් ඒ දිනවල කවුදෝ පවසනු මා අසා ඇත.

රුසියාව යන නම සමගම ඒ දිනවල සිහිවුණු අනිත් නම නම් "ඔරුවල බන්දු" යන්නයි. ඔහු ලියූ පොත් කිහිපයක් ම මම කුඩා කල දී ම කියවා ඇත්තෙමි. "බීරීයෝසා" සහ "පස් අවුරුද්ද" ඒ පොත් යැයි සිතමි.

ඒ පොත් කියවීමෙන් ලැබූ වින්දනය පසුව, ඔහු ම ලියූ "සෝවියට් සිර මැදිරියේ සිට" පොත බැලීමෙන් පසු මැකී ගියේ ය.

ඒ දිනවල අප රුසියාව ගැන දැන ගත්තේ ලංකාවේ සිසුන්ට උපාධි හැදෑරීමට ශිෂ්‍යත්ව ලබා දෙන රටක් ලෙසිනි. මා සමග උසස් පෙළ හැදෑරූ සගයින් අඩු වශයෙන් දෙදෙනෙකු උපාධිය හැදෑරීමට රුසියාවට ගියහ. කුමුදු ඉන් එක් අයෙකි, අනෙකා සෙල්වකුමාර් ය.

උසස් පෙළින් පසු මා විශ්ව විද්‍යාලයට යෑමට පෙර කාලයේ නිවාඩුවකට මා අම්මලාගේ ගමේ ගොස් සිටි දිනයක "දිනමිණ" පුවත් පතේ පළ වී තිබූ පුවතක් මට අද මෙන් මතකයේ ඇත. ශිෂ්‍යත්වයක් ලැබ රුසියාවේ ඉගෙනුමට යයි වශයෙන් උදෘත පාඨයකින් සැරසී, ඡායාරූපයක් ද සමගින් එහි පළ වී තිබුණේ මගේ සීයා ගේ හොඳම හිතවතෙකු ගේ මිනිපිරියක් ගැන පුවතකි.

තම මිතුරා ගේ මිනිපිරිය ගේ ඒ පත්තරේ පවා පළ වූ දස්කම දැක, සීයාට තම මුණුපුරා ගැන තරමක හෝ දුකක් හිතුණා යැයි මට එදා සිතුණි. නමුත්, මා සීයාට ඒ පිළිබඳව පැහැදිලි කිරීමට ගියේ නැත.

කොහොමටත් ඒ දිනවල නිවසේ පැවති දානමය පින්කමක දී මා පන්සිල් නොගෙන සිටීම ගැන සීයා සිටියේ මා සමග අමනාපයෙනි!

උසස් පෙළ හමාර කර නිවසේ ගත කළ ඒ කාලයේ "චෙකොෆ්" ගේ කෙටි කතා කියවා ඒ ගැන මගේ සෑහෙන්න ප්‍රසාදයක් ඇති වී තිබුණ ද, නවකතා ගැන නම් මගේ තරමක අකමැත්තක් ද තිබුණි. එයට හේතුව නම් ඒවායේ දීර්ඝකමයි. ඒ මදිවාට චරිතවල නම් මතක තියා ගැනීම ද අසීරු කාරණයක් විය. එක පුද්ගලයෙකුට නම් තුනක් ඇත් අතර, ඉන් එකක් හෝ දෙකක් හෝ නැතිනම් කලින් නොදන්නා සිව්වෙනි නමක් හෝ විටින් විට භාවිතා වීම මට හිසරදයක් ම විය.

උදාහරණයක් ලෙස, "ව්ලැඩිමියර් ඉල්යිච් උලිනොව්" නමැති පුද්ගලයෙකු නවකතාවක චරිතයක් ලෙස සිටියේ නම්, ඔහුව ඉහත නම් තුනේ විවිධ සංයෝජනවලින් ඕනෑම එකකින් නවකතාව පුරා අහඹු ලෙස හැඳින්වෙන අතර හිටිහැටියේ "ලෙනින්" හෝ "වාල්යා" හෝ "මීෂා" හෝ එවැනි නමකින් ද හැඳින්වීමට ඉඩ ඇත!

කුමුදු සහ සෙල්වකුමාර් කෙසේ වෙතත්, පසු කලෙක මට රුසියාවේ උපාධිය හැදෑරූ දෙදෙනකු සමග එක ආයතනයේ සේවය කරන්නට ලැබුණි.

රුසියාවේ කෑම කල් තබා ගන්නට ශීතකරණ අනවශ්‍ය බවත්, කළ යුත්තේ ජනේලය ඇර එළියේ තැබීම පමණක් බවත් ඔවුන් අපට කියා දුන්හ!

මේ දෙදෙනා එකිනෙකා හා කරන කතාබහවලින් මගේ හිත ගත් එක දෙබසක් වූයේ පරිසරයේ උෂ්ණත්වය ගැන ඔවුන් කතා කරන විදියයි.

උදේටත්, දවල්ටත්, රාත්‍රියටත් තුන්වේලට ම උෂ්ණත්වය එක හා සමානව තිබෙන ලංකාවේ අප ඒ දිනවල එහි අගය ගැන තැකීමක් කළේ නැත. නමුත් අපේ මිතුරන් දෙදෙනා බොහෝ විට "අද නම් ටෙම්පරෙචර් එක ප්ලස් තර්ටි විතර ඇති නේද?", "නෑ, මං හිතන්නේ ප්ලස් තර්ටි ෆයිව් විතර ඇති!" යනාදී දෙබස් හුවමාරු කර ගත්තේ හරියට උෂ්ණත්වය "මයිනස්" පැත්තට යනවා යැයි සිතමින් ද නොදනිමි.

මේ දෙදෙනාගේ තවත් මෙහි වැඩිදුර විස්තර කීමට අනවශ්‍ය වැඩ නිසා, අප පසුව ඔවුන් ගෙන් විමසූවේ, "මචං, උඹලාට ස්කොලර්ෂිප් දුන්නේ රුසියාවෙන් ද නැතිනම් සීඅයිඒ එකෙන් ද?" කියායි.

එයට හේතුව නම්, මුං දෙදෙනා ගේ (දෙදෙනා කෙසේ වෙතත් එකෙකු ගේ) වැඩ නිසා අපට බොහෝ විට සමස්ත රුසියාවම එපා වී යාමයි!

-රසිකොලොජිස්ට්

(image: https://commons.wikimedia.org/wiki/File:FlagMap_of_USSR.png)

37 comments:

  1. සෙල්වකුමාර් දැන් ඉන්නේ ඕස්ට්‍රේලියාවේ. ලඟකදී දැක්කා සඳරුවන්ගේ ඊ නිව්ස් එකේ දාල තියෙනවා පොරට ද්විත්ව පුරවැසි භාවය දෙන ෆොටෝ එකක්. ජැප්පා මතක ඇති කුමාර් ට සමහර විට. කුමාර් ඉගෙන ගත්තේ ආනන්දේ. රුසියාවේ හිටියේ මාදි . මම පළමු අවුරුද්ද කල තැන. ඒ නිසා මාව දන්නවා. මචන් ලෝකේ හැමෝම එක වගේ නැහැ. රුසියාවේ හිටපු හැමෝම එකවගේ නැහැ. මමත් සමහරු සමග කතා කරන්නේ වත් නැහැ. එහෙම මිනිසුන්ට පොලු එහෙම තියපු උන් අනන්ත හිටිය.
    අනික උඹයි සරසයි පේරාදෙණියේ හිටිය කියල අපට පේරාදෙණිය එපා වෙනවද? හා හා. (විහිළුවට කිව්වේ හොඳද)

    ReplyDelete
    Replies
    1. එක මකුණයි කෑවේ, මේක සීරියස් ගන්න එපා!

      සෙල්වකුමාර්ව පාසලෙන් පසු හමුවී නැහැ. ඔහු ඉන්නේ සිඩ්නි නොවෙයි, කොළඹ.
      මෙහේ එනවා යනවා කියායි ආරංචිය.

      අර ඡායාරූපය මට මතකයි. මං හිතන්නේ මං ඒක වත්පොතේ ෂෙයා කළා මොකද ඒ තරම් ලස්සන ද්විත්ව පුරවැසි සහතිකයක් මට නොලැබුණු නිසා!

      Delete
    2. මං කුමාර් ට ඊමේල් එකක් දැම්මා ඔයාට cc කරලා.

      Delete
  2. රුසියාවේ යන ලාංකිකයන් විතරක් නෙවෙයි. ඕනෑම රටකට යන අපේ උන් අතරින් ඔය විදිහේ උන් ඉන්නවා. මුන් නිසා හැබෑටම අපිට රුසියාව විතරක් නෙවෙයි රසික ඕනෑම රටක් එපා වෙන්න වැඩි කාලයක් යන්නේ නෑ.
    පෝස්ට් එක හොඳයි.

    ReplyDelete
    Replies
    1. ඉස්සෙල්ලාම එපා වෙන්නේ ලංකාවයි නේද?

      Delete
  3. අපි මේ අප්පච්චි පැරදිලා, අප්පච්චිගෙ දරුවො සෙට් එකම ජාතික ලැයිස්තුවෙන් වීසිවෙලා, කන්නෙත් නැතුව බොන්නෙත් නැතුව, ගෙදරක වළඳක් වත් ලිප තියන්නේ නැතුව, බොක දාන්නෙ නැතුව, චූ කරන්නෙ නැතුව බිම පෙරළි පෙරළි අඬ අඬා ඉන්නවා. මුන් මේ රුසියාවක් ගැන කතා කරනවා. අනේ මෙහෙමත් මිනිස්සු. තොපිට දිනූ දේශය ගැන කැක්කුමක් නැද්ද යකෝව්?

    ReplyDelete
    Replies
    1. යකෝව්?
      - රුසියාවේ ඉන්නේ යකොව් ලා නොවේ යාකොව් ලා, යාකොව් කියන්නේ Jacob ට ජේමිසා රුසියාවට ගියොත් උටත් යාකොව් කියනවා. ආදරේට කෙටියෙන් කියන්නේ යාෂා කියලා.

      රසික - අජිත්ලා රුසියාවේ ගිය කාලේ ලෙනින්ට වාල්යා කීවා නම් සයිබීරියාවේ සීතල ජීවිතකාලයම විඳින්න තිබ්බා. වාල්යා ගැහැණු නමක් වැලන්ටිනා ල ට ආදරයට කියන්නේ වාල්යා කියලා, ලෙනින් (අන්වර්ත නාමයක්, නියම නම ව්ලැදිමීර්) ගේ කෙටි නම වලෝදයා.

      Delete
    2. මා කියවූ ඇනටොලි රොබකොෆ් ගේ නවකතාවල පරිවර්තනයක ස්ටානිල්ටත් නම් විශාල සංක්‍යාවක් තියෙනවා!

      Delete
  4. //////////"කසකස්ථාන්", "උස්බෙකිස්ථාන්", "ටජිකිස්ථාන්" වැනි වචන මා මුලින්ම දුටුවේ ඒ සඟරාවලින් ///////////

    කසකස්ථාන් කියලා රටක් මේ ලෝකේ කොහේවත් නෑ, රසික ළමයෝ.....

    තියෙන්නේ කසක්ස්ථාන් කියලා රටක්.... Kazakhstan.

    රසික ළමයා වගේ බොහෝ දෙනෙක් කරන තව වැරැද්දක් තමයි ස්විට්සර්ලන්තය කියන රටේ නම ස්විස්ටර්ලන්තය කියලා ලියන එක.

    ReplyDelete
    Replies
    1. මේ කතාවට තවත් පැත්තක් තියෙවා.

      ඒක තමයි එක භාභාවක වචනයක් තවත් භාෂාවකින් ඒ ලෙසම කියවිය යුතුද යන්න.

      English = ඉංග්‍රීසි. ඒ කියන්නේ Engris ද? R අකුර කොහෙන්ද එන්නේ?

      Portuguese = පෘතුගීසි. මෙතන තත්වය කොහොමද?

      Gregory = ගිරිගෝරිස්. දැන්?


      Delete
    2. රසික ළමයාගේ ලේසියට ඕනෑ ම දෙයක් ඕනෑ ම විදියකට අඹරන්න පුළුවන්.
      එහෙම වුණත් කසක්ස්ථානය සහ ස්විට්සර්ලන්තය කියන වචන දෙක සම්මත සිංහලයේ භාවිතා වෙන නිසා ඒ විදියට ම ලිව්වා නම් නේද හොඳ, උච්චාරණය කෙසේ වෙතත්?

      English - සිංහල කතා කරන්නන් අතින් බොහෝ විට 'ල' ශබ්දය සහ 'ර' ශබ්දය හුවමාරු වන නිසා සිදු වූ දෙයක්. එහෙම වුණත් බලන්ගොඩ ආනන්ද මෛත්‍රෙය හිමි උන්වහන්සේගේ පොතට දාපු නම තමයි "සරල ඉංගිලිසි ශික්ෂකය".

      Portuguese - සිංහලයාට පෘතුගීසි ජාතිකයන් මුණ ගැසුණේ ඉංග්‍රීසින්ට කලින්. ඒ නිසා 'පෘතුගීසි' කියන වචනය සිංහලයට ආවේ 'පොර්තුගේස්' කියන පෘතුගීසි වචනයෙන්.

      Gregory - - - ගිරිගෝරිස් ------- සකස්කඩය නොකියවපු ලොඹු කටවල්වලින් ඒ නම උච්චාරණය කරන විට නැගෙන ශබ්දය.

      Delete
    3. රසික ඇත්තටම ඔය කියන කම් මම "මේක දැක්කේ නැහැ " අනෝ ගේ හැඳින්වීමත් හොඳයි , ඉංග්‍රීසි - English

      Delete
    4. ඇනෝ "අංකල්" කසක්ස්ථානය ගැන ඔබ වැරදියි කියා මා කීවේ නෑ, ඔබ හරි, නමුත් භාවිතය ගැනයි මා කීවේ.

      බලංගොඩ ආනන්ද මෛත්‍රී ගේ පොත මා කියවා තිේ‍රනවා, උසස් පෙළ සසහ ඬිශ්ඬ විද්‍යාලය අතර කාලයේ දී ගනේමුල්ල ගම්සභා පුස්තකාලයෙන්. මා ද කලක් ඉංගිලිසි කියා ලීවා ඒ අනුව යමින්. මේ ගැණ මගේ ඇසූ චානුක වත්තේගම ද ඉංගිලිසි කියා ලියා තිබෙනු මා දුටුවා, නමුත් අපේ භාවිතය නිසා මා දැන් ලියන්නේ ඉංගිරිසි කියායි.

      ර සහ ල අතර ප්‍රශ්නයක් සිංහල භාෂාව කතා කරන අයට තිබේද? ඒ ප්‍රශ්නය තායිලන්තයේ නම් තියෙනවා.

      ඇනෝ "අංකල්" ගේ ප්‍රතිචාරය නිසා මට වෙනම ලිපියක් ලියන්න මාත්‍යකාවක් ලැබුණා! ස්තුතියි!

      Delete
    5. බලංගොඩ ආනන්ද මෛත්‍රී ගේ පොතෙන් මා උගත් පාඩමක් මෙන්න.

      ව යන්න සඳහා යෙදිය යුත්තේ ඉංගිරිසි V අකුර මිස W නොවේ. එනම් විජය = Vijaya මිස Wijaya නොවේ. වත්තේගම යනු Vattegama මිස Wattegama නොවේ. චානුක Wattegama ද නොකරන මේ V අකුර සහිතව නම ලිවීම වසන්ත විච්ටච්චි (Vasantha Vittachi) කරයි.

      ඉංගිරිසි W අකුර ශබ්ද කළ යුත්තේ උ ස්වරය සමගිනි. එනම්: Window = උවින්ඩෝඋ.


      Delete
    6. රසික ළමයෝ, තායිලන්තයේ/ජපානයේ වගේ 'ල්' සහ 'ර' පටලවා ගැනීමක් සිංහල වහරන අයට නොතිබුණාට සමහර වචන සම්බන්ධයෙන් ඒ ශබ්ද දෙක හුවමාරු වීමක් සිදු වෙලා තියෙනවා. මම කියන දේ ගැන කේන්ති ගන්න එපා. විදේශ භාෂාවක ශබ්දයක් ඒ අයුරින් ම වෙනත් භාෂාවක් වහරන අය උච්චාරණය කළ යුතුයි කියා මා කියන්නේ නෑ. ඒ වුණත් රසික ළමයා මෙතන යමක් ලිව්වා මිසක් කිව්වේ නෑ. ඉතින් සිංහලයෙන් යමක් ලියන විට එය සම්මත යැයි පිළිගත් ආකාරයෙන් ලිව්වොත් රසික ළමයාගේ ලිපියේ අගය තවත් වැඩි වෙනවා නේද?

      V සහ W ශබ්ද ගැන රසික ළමයා ලියලා තියෙන් දේ 100% ක් ම නිවැරදි යි. මෙකත් බලන්න:

      International Alphabet of Sanskrit Transliteration

      Delete
  5. රුසියාව කියුවම මටනම් එකපාරටම මතක් වෙන්නේ කොල්ලුපිටියේ.. නෑ එක්කෝ ඕනි නෑ.. හැක හැක.. ආ තව එකක්.. වතාවක් තායිලන්තෙදි බීච් එහෙක නාද්දී පට්ට කෑල්ලක් දැකල පොඩි ටෝකක් දැම්මා.. උඹ මොන රටෙන්ද බං කියල ඉංග්‍රීසියෙන් ඇහුවම 'මේකි කියපි 'රාසා' කියල (මට මුලින් ඇහුනේ ගාසා වගේ.. ) සෑහෙන්න දුරක් ගිහිල්ලත් තමයි රුසියාවේ බව දැන ගත්තේ.. :p

    ReplyDelete
    Replies
    1. /* රුසියාව කියුවම මටනම් එකපාරටම මතක් වෙන්නේ කොල්ලුපිටියේ */

      නොතේරේ!

      Delete
    2. කමියට තායිලන්තෙ කිව්වම මතක් වෙන්නෙ කොල්ලුපිටියෙ Bubble Queen වෙන්ටැ :D

      Delete
  6. This comment has been removed by the author.

    ReplyDelete
  7. මගේ පැටි කාලය අවුරුදු 6 ක් වෙනකම් සම්පුර්ණයෙන්ම ගෙවුනේ රුසියාවේ. ඒ කියන්නේ රුසියන් ළමා කථා නිසා මනසින් රුසියාවේ ජීවත්වීම.මේ කථන්දර රසික ලොකු ළමේක් නිසා දන්නැතිව ඇති.
    මෛහම සමාන පැටිකාලයක් තිබුණු පැටිකේගේ අත්දෙකේම රේඛා මගේ අත්දෙකේම රේඛා වලට සර්වසමයි කියලා දැනගත්තේ මීට පැය කීපයකට කලින්. ඒ නිසා මේ සටහන මට “සර්ප්‍රයිස්“.

    මෙහෙම ළමයිගේ ජීවිතේ පාදම, සිහින,පැණ විසදුම් කැරකෙන්නේ මේ කථන්දරවල.
    එහෙම ළමේක් එක්ක ජීවත්වෙන්න පහසුයි.
    :)

    අප්පේ එක්කෙනාට නම් කිහිපයක් සුරතල් නම් කිහිපයකින් කථා කරන පුරුද්ද !
    :D

    ReplyDelete
    Replies
    1. පොඩි කාලේ මට තිබුණු සෝවියට් කාටූන් කතා පොතක් මේ ළඟදී මං අර ගත්තා, අර සතුන් ගේ කතා කාටූන් තියෙන පොත.

      Delete
  8. //හරියට, ටීබී ඉලංරත්න ගේ "තිලක" නවකතාවේ මිය යන විදෙස් සිසුවා සේ ය.//
    ඒ "ජෝන් කගවා" නේද?
    අනර්ඝයි, රසික !

    ReplyDelete
    Replies
    1. ජෝන් කගවා තමා. හරියටම හරි. හැබැයි තියෙන්නේ විලම්බීත පොතේ. තිලක දෙවැනි පොත. තුන්වෙනි පොත තිලක හා තිලකා.

      Delete
    2. ඇලෙක්ස් ඩිලාජ්3 September 2015 at 16:13

      විලම්බීත පොතේ තමයි ජෝන් කගවා ඉන්නේ

      Delete
  9. මමනමි රුසියාව අඳුනගත්තෙ ප්‍රගති ප්‍රකාශක මන්දිරයෙන් පළ කරපු කතන්දර පොත් වලින්. දැදිගම වි. රුද්‍රිගු තමයි ගොඩක් පොත් පරිවර්තනය කරල තිබුනෙ. ඒ කතන්දර පොත් නම් මාරයි අප්පා. ඒ කාලෙ මහජන පොත් ප්‍රකාශකයො ඒව වික්කෙ හෙන අඩු ගණන් වලට. ව්ලැදිමිර් සුතේයෙව්ගෙ කතන්දර හා පින්තුර තමයි මං ආසම කරපු පොත. හත් පෙති මල, ලස්සන වසීලිස්සා, ඔය වගේ කොච්චර පොත් තිබුනද?
    රුසියන් සාහිත්‍යය සහ සෝවියට් සාහිත්‍යය කියවන්න පටන් ගත්තෙ තරමක් ලොකු වුනාට පස්සෙ. සෝවියට් සාහිත්‍යයට වඩා රුසියන් සාහිත්‍යයට මං කැමතියි. ඔය අමාරු නම් පටලවන කේස් එක හුඟක් තියෙන්නෙ සෝවියට් සංගමයෙ පොත් වල.
    ඒත් අර පෙරළූ නැවුම් පස වගේ පොත් නම් මාරම ගති. ෂුකාර් සීය අර කවුද එකෙකුට “තෝත් සමාජවාදියෙක්“ කියල බනින්නෙ. අපේ කට්ටිය වගේ පොරත් සමාජවාදියා කියන්නෙ මොකාද කියල දන්නෙ නැතුව ඒක කුනුහරුපයක් කියල හිතලලු එහෙම බැන්නෙ.

    ReplyDelete
    Replies
    1. ඒ "තෝ සමාජවාදයෙක්!" කියලා බනින්නේ වාසුදේව වගේ කෙනෙකුට වෙන්න ඇති!

      Delete
    2. මාත් පොඩි කාලේ හරිම ආසාවේන් කියවපු පොතක් තමයි ලස්සන වසලීස්සා....රුසියානූ කතා කියුවාම මට නම් මුලින්ම මතේකෙට එන්නේ බබා යාගා යකින්න...ාපි 10,11 පන්ති වල ඉද්දී හෙණ සමාජවාදියෝ...මේකට හේතුව වානේ පන්නරය ලැබුපු හැටි වාගේ පොත් තමයි...

      Delete
    3. මමත් පුංචිකාලෙ ලස්සන වසිලීස්සා..මිනිසා යෝධයකු වූයේ කෙසේද අර පින්තූරයි යටින් වචන පේලියකුයි තියන චිත්‍ර පොත වගේ එව්ව හරි ආසාවෙන් බිම බුදියන් පොත උඩ නැගගෙන කියෙව්වෙ . වීරයා තමා ඉතින් ලොකු නුවනක්කාර පුංචි ඉවාන්.. අර ඉවාන් පවුලූෂා කියන හිපාටුව නෙමේ :D

      Delete
    4. "Mage hapankam" Gafur Guloem?

      Delete
    5. බබා යාගා යකින්න..නෙවෙයි බබායිගා යකින්න වගෙයි මට මතක

      Delete
  10. අම්මපා තාම මේ රටින් ඒළියට ගිහින් නැහැ.... ඒළිය කලුද සුදුද කියලාවත් දන්නෙත් නැහැ........ ඉතින් මොන රුසියාවක්ද????

    ReplyDelete
    Replies
    1. පොත්වලින් යන්න පුළුවන් දහනමවෙනි සියවසේ රුසියාවට පවා!

      Delete
  11. "රුසියාවට වඩා ලොකුයි ඉරිසියාව" කියලා උදේ පාරට ගිය ත්‍රිවිල් එකක ගහලා තිබ්බා.

    ReplyDelete
  12. දැත්තගෙයි යාඵවන්ගෙයි හපන්කම්

    ReplyDelete

ඔබේ ප්‍රතිචාරය මට සතුටකි!. Your comments are most welcome!
සංයමයෙන් යුතුව ප්‍රතිචාර දක්වන්න.