Thursday, 19 May 2016

හුරුබුහුටි තම්ෂර් සුරුට්ටු සහ හුරුබුහුටි රීඩර්ස් ඩයිජෙස්ට් - Once again down the memory lane


මා කුඩා කාලයේ අපේ තාත්තා හවසට සුරුට්ටුවක් බොන්නට පුරුදු වී සිටියේ ය. දිගැටි දුඹුරු පැහැති මේ සුරුට්ටු වර්ගයේ වෙළඳ නාමය තම්ෂර් වැනි එකක් බව මගේ මතකයයි. ඒ තම්ෂර් සුරුට්ටු අසුරා තිබුණේ වැනිස්ට්‍රා වැනි තුනී ලෑලි වර්ගයකින් තැනූ හුරුබුහුටි පෙට්ටිවල ය.

සුරුට්ටු පෙට්ටියක් ම නොව, තාත්තා එක් වරෙකට මිල දී ගන්නේ සුරුට්ටු කිහිපයක් පමණක් වුවද, ඒ සුරුට්ටු කිහිපය පෙට්ටියේ අවසාන ඒවා වූ විට තාත්තාට ගනේමුල්ලේ සුරුට්ටු කඩේ මුදලාලිගෙන් නොමිලේ ම ලැබුණු නිසා දෝ, අපේ නිවසේ ඒ වර්ගයේ හිස් සුරුට්ටු පෙට්ටි කිහිපයක් ම තිබුණි.

තාත්තා ගේ විනෝදාංශ වූ කැඩුණු ෆවුන්ටන් පෑන් සෑදීම, කැඩුණු කණ්ණාඩි රාමු සෑදීම වැනි කටයුතුවලට අවශ්‍ය වූ පරණ පෑන් කැබලි යනාදිය බහා තිබුණේ ඒ පෙට්ටි කිහිපයේ ය.

දිනක් පාසලේ සේවය නිමවා නිවසට එන අතරතුර සුරුට්ටු කඩයට ගිය තාත්තා දැක ඇත්තේ, කඩේ මුදලාලි තම්ෂර් සුරුට්ටු ඔතා දෙන්නේ අප බොහෝ දෙනෙකු දන්නා හඳුනන ඉංග්ලිෂ් ප්‍රකාශනයක් යැයි මා සිතන රීඩර්ස් ඩයිජෙස්ට් සඟරා පිටපත්වලින් කඩා ගන්නා කොළවල බවයි.

රීඩර්ස් ඩයිජෙස්ට් යනු කලක් සිංහලෙන් පළවුණු මනහර නම් සඟරාව මෙන් කුඩා හුරුබුහුටි ප්‍රමාණයේ එකකි. මනහර සේ ම විවිධ විෂයයන් හා සම්බන්ධව ලියවුණු ලිපි ලේඛනවලින් රීඩර්ස් ඩයිජෙස්ට් සඟරාව සමන්විත විය. බොහෝ විට මනහර සඟරාවේ පළවුනේ රීඩර්ස් ඩයිජෙස්ට් හෝ ඒ ආකාරයේ වෙනත් ඉංග්ලිෂ් සඟරාවල පළවුණු ලිපිවල පරිවර්තන විය යුතු යැයි මම සිතමි.

මේ ගැන කඩේ මුදලාලිගෙන් මදක් විපරම් කළ තාත්තාට දැන ගන්නට ලැබී ඇත්තේ කාගේ දෝ නිවසකින් විකුණු පරණ පත්තර ගොඩක රීඩර්ස් ඩයිජෙස්ට් සඟරා එකතුවක් තිබී ඇති බවත්, ඒ සඟරාවල අප දන්නා හුරුබුහුටි ප්‍රමාණය තම්ෂර් සුරුට්ටු ඔතන්නට අපූරුවට ගැලපෙන නිසා මුදලාලි ඒ සඟරා තොගය ම කිලෝ ගණනට රුපියල් දී මිලට ගත් බවත් ය.

අපේ තාත්තා එදා ගෙදර ආවේ තම ජාතික ඇඳුමේ පැත්තේ සාක්කුවේ දැමූ තම්ෂර් සුරුට්ටු කිහිපයක මිටිය සහ එක් අතකින් ගුණසිරි කඩෙන් ගත් කුළු-බඩු, හාල්මැස්සන්, කරවල රැගත් සිමෙන්ති උර ප්‍රතිචක්‍රීකරණය කර සෑදූ බෑගය පමණක් නොව, අනෙක් අතෙන්, කිලෝ ගණනට රුපියල් දී තම්ෂර් සුරුට්ටු කඩේ මුදලාලිගෙන් මිලට ගත් රීඩර්ස් ඩයිජෙස්ට් සඟරා විශාල තොගයක් එක පිට එක තියා කොහු ලණුවකින් බඳින ලද මිටියක් ද රැගෙනයි.

මා මුලින්ම රීඩර්ස් ඩයිජෙස්ට් සඟරාවක් ලෙස දැක්කේ ඒ ගනේමුල්ලේ තම්ෂර් සුරුට්ටු කඩෙන් කිලෝ ගණනට ගෙනා ඒවා ය.

මනහර සඟරාව බිහිවුණේ මීට වසර කිහිපයකට පසුව යැයි සිතමි. අපේ තාත්තා මනහර මිලට ගත්තේ නැත. තම්ෂර් සූරුට්ටු කඩේ මුදලාලි ට මනහර සඟරා නොලැබුණි. එසේ නමුත්, මනහර සඟරාවේ පිටපත් කිහිපයක් අපේ ඥාතියෙකු ගේ නිවසේ තිබී, නිවාඩු කාලයකට එහි ගිය විටෙක මා කියවා තිබේ.

මනහර සඟරාවට වඩා රීඩර්ස් ඩයිජස්ට් සඟරාවේ තිබූ එක් වෙනසක් වන්නේ සඟරාවේ අන්තර්ගතයට කෙරෙන පාඨක සම්මාදමයි. පාඨකයින් විසින් ලියා එවන කුඩා විහිළු-තහළු යනාදිය සඟරාවේ තැනින් තැන ලිපිවල අග ඉතුරු වී ඇති ඉඩ පුරවන්නට ද, ඊට අමතරව "ලාෆ්ටර් ද බෙස්ට් මෙඩිසින්", "ඕල් ඉන් එ ඩේස් වර්ක්" යනාදී නමින් යුතු නිත්‍ය විශේෂාංගවල ද දකින්නට ලැබුණි.

අපේ තාත්තා ගේ තම දරුවන්ට ඉගැන්වීමේ ප්‍රතිපත්තිය වූයේ "උඹලට ඕනෑ නම් ඔය පොත් කියවහල්ලා, අමාරු වචනයක් හරි නොතේරෙන තැනක් හරි තියෙනවා නම් මගෙන් අහපල්ලා!" යන්න නිසා, ඒ රීඩර්ස් ඩයිජස්ට් සඟරාවලින් මා කියවා ඇත්තේ පෙර කී විහිළු-තහළු පමණකි. ඒ ද, කොන්දේසියක් ලෙස, එක් වාක්‍යයක අමාරු වචන තුන හතරකට වඩා නැත්තේ නම් පමණි. ඇවිදින ඉංගිරිසි-සිංහල ඩික්ෂණරියක් බඳු තාත්තා සිටියද, වාක්‍යයක ඇන්ඩ්, එ, ද, ආ, බට් වැනි වචන හැර අන් සියලුම වචන අමාරු වචන වන විට කියවීම එපා වේ!

මනහර සඟරාව නම් පසු කලෙක අභාවප්‍රාප්ත විය. එයට හේතුව එහි අයිතිකරු වූ මූ අරුක්ගොඩ අතුරුදහන් වීම යැයි මා අසා තිබේ. මුතුහර නමින් ද පෙර කී හුරුබුහුටි තම්ෂර් ප්‍රමාණයේ සඟරාවක් බිහි වී තිබුණි. එයට කුමක් වූවාදැයි මම නොදනිමි.

රීඩර්ස් ඩයිජස්ට් සඟරාව නම් අද ද පළ වේ. එහි ඕස්ටේ‍ර්ලියානු ප්‍රකාශනය ඇතැම් සුපිරි සිල්ලර කඩවල කවුන්ටර් අසල විකිණීමට ඇතත්, මා දන්නා විදියට එය බොහෝ දෙනෙකු මිලට ගන්නේ වසරකට පමණ කාලයකට කලින් මුදල් ගෙවා ලියා පදිංචි වී තෑපෑලෙන් ගෙන්වා ගෙන ය. ඒ සඳහා විශාල අලෙවිකරණ වැඩ සටහනක් ද ඇත.

දොස්තර හමුවීමට ගොස් වේලාව එනතුරු පුටු රත් කරන ශාලාවේ සිටින ඇතැම් දිනයන් හි දී මම එහි ඇති රීඩර්ස් ඩයිජෙස්ට් සඟරාව පෙරළා බලමි. නමුත්, මා අද ද කියවන්නේ ඒ සඟරාවේ ලිපි අග ඇති ඉඩ පිරවීමට පළ කර ඇති විහිළු-තහළු සහ "ලාෆ්ටර් ද බෙස්ට් මෙඩිසින්", "ඕල් ඉන් එ ඩේස් වර්ක්" යනාදී නමින් යුතු නිත්‍ය විශේෂාංග ද පමණි.

තවත් එක් කරුණක් කිව යුතු ය.

මේ ලිපිය ලියන අද දවසේ, දුම්බීම යනු වැරදි වැඩක් බවට සාමාන්‍ය පිළිගැනීමක් තියෙන නිසා, දවසට එකක් වුව ද තම්ෂර් සුරුට්ටු බිව් තාත්තා වැරදි වැඩක් කළ අයෙකු යැයි තරමක චකිතයක් ඇතිවීම වැළැක්විය නොහැක. නමුත්, මා මේ කියන කාලය යනු පුවත්පත්වල පිටු ගණන් සිගරැට් දැන්වීම් පළ වුණු, රට හැම තැනම සිගරැට් දැන්වීම් රැගත් කටවුට් සවි කර තිබුණු, දුම්කොළ සමාගම් විසින් ක්‍රීඩාවලට අනුග්‍රහය දැක්වූ, කොටින් ම ප්‍රේමසර ඈපාසිංහ විසින් ඉදිරිපත් කරන ලද බ්‍රිස්ටල් ක්‍රීඩා තොරතුරු අප සාමාන්‍යයෙන් අසන ගුවන් විදුලි වැඩ සටහනක් වූ කාලයයි.

මා දන්නා කාලයේ එලෙස දිනකට එක් තම්ෂර් සුරුට්ටුවක් පමණක් බිව් අපේ තාත්තා, පසුව එය ද කෙමෙන් අඩු කොට අන්තිමට සහමුලින් ම නතර කළේ ය.

මගේ සොහොයුරන් හෝ මා හෝ දුම්බීමට පුරුදු නොවුනේ, අපේ තාත්තා ඒ ආකාරයට සුළු වශයෙන් හෝ දුම් බිව් නිසා යැයි මට සිතේ.

නමුත්, අපේ තාත්තා කෙදිනකවත් මත්පැන් පානය කරනු මා දැක නැත.

තාත්තා පාවිච්චි නොකර ඉතුරු කළ ඒ මත්පැන් කෝටාව මට තනිකරම අයිති නොවූ බව පවසන්නේ ඉතා කණගාටුවෙනි!

-රසිකොලොජිස්ට්

(images: http://www.hitc.com/en-gb/2012/07/25/bottoms-up-stodgy-magazine/ and http://www.readersdigest.co.uk/health/health-centre/break-habit-smoking-cigarettes)

74 comments:

  1. සුරුට්ටු බොන්න හොඳ නෑ පුතේ. මොකද දුම්කොළ වවන්නෙ දෙමළා. උඹලා සුරුට්ටු බොනවා කියන්නෙ දෙමළා පොහොසත් වෙන එකයි. ඔය දෙමළා ඉන්නවා නේද පුතේ, අන්තිම භයානක සතෙක් පුතේ. "සංහිඳියාව" කියන වචනෙ ඇහෙන කොටත් මට අර්ෂස් තද වෙන්නේ ඒකයි. දෙමළු අන්තිම ජාතිවාදීයි පුතේ. අපි ළඟඳි දෙමළ කඩේකට ආප්ප කන්න ගිහින් උන් අපට ඕඩර් එක ගේන්න ඕනැකමින්ම පරක්කු කළා. බලන්න පුතේ උන්ගේ ජාතිවාදීකම. මේ යහපාලන ආණ්ඩුව වගේ නිවට වෙලා උන් එක්ක ඉන්න බෑ පුතේ. පුතාට තෙරුවන් සරණයි. දෙමළාගෙ සුරුට්ටු බොන්න එපා.

    මීට, කුමාර අන්කල්

    ReplyDelete
  2. "තාත්තා පාවිච්චි නොකර ඉතුරු කළ ඒ මත්පැන් කෝටාව මට තනිකරම අයිති නොවූ බව පවසන්නේ ඉතා කණගාටුවෙනි!"

    පවුලේ එකම පිරිමියා විදියට මට නං ඒක අයිතිවුනා!

    ReplyDelete
    Replies
    1. කොහෙද, අපේ පවුලේ කොල්ලො ම තුන් දෙනයි නේ!

      Delete
  3. අපි කියෙව්වෙ මනහර මුතුහර සහ තවත් එකක්. නම මතක නෑ.

    ReplyDelete
    Replies
    1. සිව්දෙස! හරි ඒක තමයි.

      Delete
    2. දැන් තියෙනවා එකක් භාවනා කියලා!

      Delete
  4. මනහර සඟරාව නම් පසු කලෙක අභාවප්‍රාප්ත විය. එයට හේතුව එහි අයිතිකරු වූ මූ අරුක්ගොඩ අතුරුදහන් වීම //////// He was killed by the Tamil Tigers

    ReplyDelete
    Replies
    1. මේ කාරණා දෙකම වැරදියි.

      මු. අරුක්ගොඩ මනහර සම කර්තෘ පමණයි. ඔහු නැතිවත් අනෙක් සම කර්තෘ රිචඩ් විජයසිරි කාලයක් මනහර ගෙනිච්චා. මට මතක විදියට රිචඩ් විජයසිරිගේ පුතා කාශ්‍යප විජයසිරිත් තාත්තාගේ මරණයෙන් පසුව මනහර කළා. හැබැයි යළට මහට. පිළිවෙලක් ඇතුව නෙවෙයි. සමහරවිට කලාපයක් ආවේ මාස තුනකට හතරකට සැරයක්.

      ඒ වගේම මූ. අරුක්ගොඩ කොටි මැරුවාය කියලා නිශ්චිතව කියන්න සාධකයක් නැහැ. පොළොන්නරුව පැත්තේදි අතුරුදහන් වුණා කියලා පමණයි දන්නෙ. ඊට පස්සෙ මොනවා වුණාද හොයා ගන්න බැරි වුණා. කොටි මැරුවා/ගෙනිච්චා කියන එක අනුමානයක්.

      Delete
    2. පොරගෙ අන්තිම කාලෙ බිස්නස් එක උනේ මනහර නෙවෙයි හොර ගස් කපන එක.
      සෝමාවතිය පැත්තෙ ගස් කපන්න ගිහින් කොටින්ට අහු උනා කියල තමයි දැකපු අය කියන්නෙ.

      Delete
    3. මු.අරුක් අන්ත්‍රස්දාන වුනාට පස්සේ රිචඩ් විජයසිරි තමයි මනහර කරන් ගියේ. ඔහු පොත් පත් ලියා තිබෙන පුවත්පත් කලාවේදියෙක්.

      Delete
    4. මු. අරුක්ගොඩට වුනේ ප්‍රගීත් එක්නැලිගොඩට වුනා වැනි දෙයක් යැයි කවුදෝ පවසා තිබුණි. අඩු වශයෙන් අතුරුදහන් වීම ගැන එය සත්‍යයකි!

      Delete
  5. මනහර, විදුසර වගේ හොඳ සඟරා දැන් එන්නෙ නැද්ද කොහෙද..එන්න එන්නම පොඩි උන්ගෙ දැනුම මොට වෙන එක විතරයි.බීම ගැනනම් කතා නොකරමි

    ReplyDelete
    Replies
    1. කස්ස දැන් කොහොමද හොස්ස කැඩුනද ගෙදර කොස්ස කොහෙද අර ගිහින් හිටිය අස්ස තවමත් අමාරුද පස්ස

      Delete
    2. දැන් තියෙනවා එකක් භාවනා කියලා!

      Delete
    3. ඇනෝ නැතුව නියම නමෙන් ආව නම් මම ඕකට උත්තරයක් දෙනව

      Delete
  6. තම්ෂර් සුරුට්ටු හැදුවෙ තිහාරියෙ මට මතක හැටියට.ඒ කාලෙ ජනප්‍රියම පෙට්ටි සුරුට්ටු වර්ගය ඒ හිස් සුරුට්ටු පෙට්ටිය නොයෙක් වැඩවලට පාවිච්චි උනා.

    ReplyDelete
    Replies
    1. තිහාරියේ තමයි..මම ගිහින් එතනින් සුරුට්ටු පෙට්ටියක් අරගෙනත් තිබ්බා...කාලයක් කළගෙදිහේනේ ඉන්නකොට තමයි තිහාරියෙ සුරුට්ටු පැක්ටරිය හොයාගෙන ගියේ..

      Delete
    2. "මා දිනු තිහාරිය සියනෑ තරුණ රට" කියලා පදයක් තිහාරියේ පීටර් පෙරේරා කවියා "සවුදන් ජෙමා" ගැන ලියූ කවි පන්තියේ තියෙනවා. ඒ කවි පන්තිය මං ඉගෙන ගන්න කාලේ හතේ සිංහල පොතේ තිබුණා!

      කස්තුරි සුමුගුව ද සිව් දරු සුවඳ කැට
      මා දිනු තිහාරිය සියනෑ තරුණ රට
      සවුදම් ජෙමා යන මේ දෑ හැරුණු විට
      මුළු ලෝකය ම අමතක කළ හැකි ය මට

      Delete
  7. අපේ තාත්තාත් රසිකගේ තාත්තාවගේ වැරුද්දකට කියල කලේ උදේට සුරුට්ටුවක් බීපු එක විතරයි. අම්ම ඒකට හැමදාම දෝස් මුරේ දැම්ම හැටිත් "අපේ තාත්තා සුරුට්ටු බෙන හැටි" කියා මම පත්තරයක් ඔතා ලිපෙන් පත්තුකර උරන්න ගිය හෑටිත් නිතරම කියනවා මතකයි

    ReplyDelete
    Replies
    1. සමහරු පාවට්ටා කොල ඔතා බොනවා ලු!

      Delete
  8. සිව්දෙස (වදන් බලය) එය ඉතා ප්‍රයෝජනවත් විය

    ReplyDelete
    Replies
    1. එවැනි ම විශේෂාංගයක් රීඩර්ස් ඩයිජෙස්ට්ටුවේ ද ඇත!

      Delete
  9. I am also just like you Rasika..my mother had a collection of Reader's digest and I read all those jokes in my childhood..

    ReplyDelete
    Replies
    1. එසේනම් ඔබ දැන් සෑහෙන ජෝකරයෙකු වෙන්න ඇති?

      (that is my joke!)

      Delete
  10. Muthuhara is still out there for Rs.80....as I remember.

    ReplyDelete
    Replies
    1. මං නං දැකලා නෑ අවුරුදු විස්සකින්වත්!

      Delete
  11. අපේ අයිය කෙනෙක් හිටියා මුතුහර සඟරාව හැමදාම ගන්න.ගස්ලබ්බා එහෙ ගියාම කන්න විතරයි ඒ කාමරෙන් එලියට එන්නෙ.මුතුහරත් රීඩස් ඩයජස්ට් එකේ පරිවර්තනයක්.911 කතන්දර එහෙම ගොඩක් තිබුනා මතකයි.
    ජයවේවා..!!

    ReplyDelete
  12. තම්ෂර් නං නොදනිමි. රොබින් හෝ එවන් නමකින් තිබූ සුරුට්ටුනං අපේ කඩයේද එකල තිබුණි.

    ReplyDelete
    Replies
    1. රොබින් සුරුට්ටු එතුවේ මුනහර සඟරා කොළවලින් ද?

      Delete
  13. ||......අනෙක් අතෙන්, කිලෝ ගණනට රුපියල් දී තම්ෂර් සුරුට්ටු කඩේ මුදලාලිගෙන් මිලට ගත් රීඩර්ස් ඩයිජෙස්ට් සඟරා විශාල තොගයක් එක පිට එක තියා කොහු ලණුවකින් බඳින ලද මිටියක් ද රැගෙනයි.||

    රීඩර්ස් ඩයිජේස්ට් කියවන කාලේ කිලෝ නෙවෙයි නේ තිබුනේ...රාත්තල්නේ...සමහර විට රසිකට හම්බ උනේ 1974ට පස්සේ වෙන්නැති ඩයිජේස්ට් එක...!

    ReplyDelete
    Replies
    1. ඊට පස්සේ වුණත් ගමේ ගොඩේ හාල් විකුණුවේ සේරුවෙන්.

      Delete
  14. මමත් අදටත් රිඩර්ස් ඩයිජස්ට් එක අහුවුනොත් ඉස්සෙල්ලම කියවන්නේ විහිළු ටික තමයි. අනික් ලිපිත් කියෝනව පහු වෙලා. අපි විතරක් නෙමේ අපේ ළමයිනුත් එහෙමයි.
    අපේ ඕලෙවල් කාලේ ගණිත විද්‍යාව ටියුෂන් සර් හැමදාම පන්තිය ඉවර වෙලා විහිළු කතාවක් හරි ඔය ත්‍රාසජනක කතාවක් හරි කියනව.පස්සේ දැන ගත්තේ මේ ඒ සඟරාවෙන් කියෝපුවා. අපේ ගාව තියෙනව විශාල සඟරා එකතුවක්.වියට්නාමේ හෙරිටේජ් සඟරාව,රිඩර්ස් ඩයිජෙස්ට්,නැෂනල් ජියෝග්‍රෆි..යන යන තැන් වල අපි එක්ක යනවා. අර පොඩි කාලේ සඟරා වලට තිබ්බ පෙරේත කම තාම තියෙන නිසා. කවද හරි කවුරු හරි කියවයි නේ. ඉස්සර අපේ තාත්තගේ මහගෙදර සොල්දරේ තිබ්බ රසවාහිනී සඟරා ගොන්නක්.අපි හරියට රස වින්දා. ඒ කාලේ ඉඳන්ම මම හිතන් හිටියේ පොත් ගොඩක් එක්කහු කරලා තියන්න පස්සේ කාලෙක කාට හරි කියවන්න. මේ තාක්ෂණ යුගයේ ටිකක් මෝඩ වැඩක් තමයි ඉතින්.

    ReplyDelete
    Replies
    1. මාත් කලකට පෙර ගරාජ් සේල් එකකින් පරණ නැෂනල් ජියෝග්‍රැෆික් සඟරා මිටියක් අරගත්තා. ගරාජ් එකේ ඇති!

      Delete
  15. අපේ ගෙදරට රීඩස්ට් ඩඉජස්ට් එක ගත්තේ අපේ මාමා. මට මතක 1977 වගේ කාලේ. ඒ එකතුව් අදටත් ගෙදර පුස්තකාලේ තියෙනවා. සමහර සඟරා 1974 වගේ වසර වල. හැබැයි එකක්වත් කියවල නම් නැහැ.

    ReplyDelete
    Replies
    1. කියවන්න වෙලාව හොයා ගන්න එක මටත් ලොකු ප්‍රශ්නයක්!

      Delete
  16. I myself remember those long and almost square shaped boxes made of soft wood.Those boxes were velvet smooth and I had a collection of them as my father was a heavy smoker whose brand was 'Thumsher' .You carry me to my childhood with your past memories.

    ReplyDelete
    Replies
    1. අපේ කාලේ තාත්තලා ගේ ප්‍රියතම සුරුට්ටු වර්ගය!

      Delete
  17. අපේ තාත්තාත් ඉඳ හිට සුරුට්ටුවක් බොන්න පුරුදු වී සිටියා . ඔහු සුරුට්ටු ගත්තෙත් දෙමල කඩෙන් . රසිකලොජිස්ට් තුමාගේ තාත්තා සහ අපේ තාත්තාගේ සුරුට්ටු පුරුද්ද පිලිබඳ සමානකම් මෙතනින් ඉවර වෙනවා. ඒ මොකද අපේ තාත්තා බිව්වේ මටසිලුටු , සුවඳ ගහන, දුඹුරු පාට මැනිලා සුරුට්ටු නෙමෙයි . එයා බිව්වේ කලුපාට , පළාතම ගඳ ගහන , සුරුට්ටුව බොන ගමන් මිදුලේ කෙල ගහන්න තුඩු දෙන, මිලෙනුත් අඩු යාපනේ සුරුට්ටුයි. කොටින්ම හර සුරුට්ටු . කුල්ටුර් සුරුට්ටු නෙමෙයි . යාපනේ සුරුට්ටු පෙට්ටියක අහුරලා තිබුනෙත් නැහැ . සුරුට්ටු මිටිය පත්තර කොළ කෑල්ලක ඔතලා තමා මුදලාලි දෙන්නේ . මේක මැනිලා සුරුට්ටුව වගේ වියලිත් නැහැ . හීනියට තෙතමන ගතියක් තියෙන නිසා කළු දුම්කොළ කහට අතෙත් ගෑ වෙනවා , ඔතාගෙන එන පත්තර කෑල්ලත් කළු වෙලා පෙඟිලා ගෙදරට එනකොට . ඒ සුරුට්ටු වලට තම්ෂර් වගේ කීර්තිමත් brand name එකක් තිබුනෙත් නැහැ . මුදලාලි ළඟ නමක් නැති , නමුත් ප්‍රමිතියෙන් අඩු සහ වැඩි (එනිසාම මිලෙන්ද අඩු වැඩි ) යාපනේ සුරුට්ටු තිබුණා . මට පුංචි කාලේ හිතුනේ මිලෙන් සහ ප්‍රමිතියෙන් වැඩිවෙන තරමට එම සුරුට්ටු ගන්දස්සාරයෙන් සහ කෙල ගැසීමට ඇති නැමියාවෙන් ද වැඩි බවයි .

    ReplyDelete
    Replies
    1. ඔය කළු සුරුට්ටු කඩවල්වල දාලා තිබ්බේ වීදුරු ටොෆි බෝතල්වල. කඩවල්වලට සුරුට්ටු දාන මනුස්සයා සුමානයකට දෙකකට වරක් එනවා. බෝතලේ තියෙන සුරුට්ටු වේලිලා වගේනම්. කළුපාට පැණියක් වගේ තික් දියරයක අර සුරුට්ටු පොඟවලා ගන්නවා. ඒක හරිම ගඳයි, සැරයි. දුම්කොළ තම්බලාලු හදන්නේ. ඉස්සර ගංජා ඔතන්න ගන්නේ ඔය කළු සුරුට්ටුව ඔතලා තියෙන වටේට තියෙන දුම්කොළේ. ගංජා මිටිය එක්ක වෙනම ලාවට තෙත දුම්කොළයකුත් දුන්නා. ඒකට කිව්වේ කාප්පේ කියලා. තෙත මදිනම් කෙල ගාලා ඕක තුනී කරගන්නවා. ඒ අතීත ගංජා මිටි.

      Delete
    2. කලු සුරුට්ටු බොන්ඩ කලින් කෙල ගානවා නේද?

      Delete
    3. ඔය කළු සුරුට්ටුවේ පොඩි තෙතමනයක් තියෙන්න ඕන. නැත්නම් ඕක පත්තුකරපුවාමත් එක එක පැත්තට අඩුවෙන් වැඩියෙන් පිච්චෙන්නේ. වේලිච්ච පැත්ත ඉක්මනට පිච්චෙනවා. ඕක බං රසයට බාධාවක් වෙන්න ඇති. ඒ නිසාමද මන්දා ඒ කාලේ සමහරු පත්තු කරන්න ඉස්සෙල්ලා කළු සුරුට්ටුවම කටේ ඔබලා එලියට අරන් තමයි පත්තුකරන්නේ. ඉස්සර අපේ ආච්චිට බුලත් විටට දුම්කොළ නැත්නම් ඔය සුරුට්ටු පොඩි කෑල්ලක් හරි එක්ක තමයි විට කන්නේ. ඉඳලා හිටලා කළු සුරුට්ටුවක් බොනවා.

      Delete
    4. ලාල් නම් ඉතිං දැන් ජෝ ලා, මැතියස් ලා, ස්ටීවන් ලා, ටොනි ලා, මැල්කම් ලා එක්ක බොනවා ඇත්තේ හවානා සුරුට්ටු වෙන්න ඇති නේද?

      Delete

    5. Sociologists call it Social Mobility. From Yapane suruttu to Havana cigara !!

      Delete
    6. This comment has been removed by the author.

      Delete
  18. Thamshaer සුරුට්ටු කරේ මුස්ලිම් මනුස්සයෙක් මගේ හිතේ. ඊට පස්සේ New Thamshaer කියලත් බ්‍රෑන්ඩ් එකක් ආවා. ඔය හිස් සුරුට්ටු පෙට්ටියක් ඕනනම් ඇඩ්ඩින් මුදලාලිට වේලසනින් කියලා තියන්න ඕන. හරි ඩිමාන්ඩ් එකක් තිබුනේ.

    රීඩර්ස් ඩයිජෙස්ට් එකේ තාමත් ඉස්සෙල්ලා කියවන්නේ විහිළු කතා ටික තමයි. කාවෝ කාපු ඩයිජෙස්ට් සඟරා තියාගෙන හිටපු මිනිස්සු හිටියා ලංකාවේ.

    ReplyDelete
    Replies
    1. උඩින් ඇති ෆොටෝ එකේ තියෙන්නේත් කාවෝ කාපු සඟරා තමයි!

      Delete
  19. ගෙදර තියෙන බයිසිකලයේ වර්ගය (Raleigh , humber හෝ චීන brand ) වගේම තාත්තලා බීපු සුරුට්ටු (සිගරට් , මත්පැන් ) ජාතියද අදාල පවුලේ පන්ති පසුබිම පිළිබිඹු කරනවා . ඒ විතරක් නෙමෙයි ඒවායේ දවටනයත් පන්තිය පිලිබඳ සාක්කියක් . පහල පන්තියට අයිති යාපනේ සුරුට්ටු කවදාවත් බටහිර නව ධනේෂ්වර Readers Digest වල එතුවේ නැහැ . එක්කෝ ගමේ ළමයි ලියලා ඉවර කරපු ඇක්සයිස් පොත් (සිංහල හෝ දෙමල විෂයයන්) නැත්නම් පරණ දිනමිණ , තිනකරන් පත්තර කොළ. Digest තියා daily news කොළ වත් යාපනේ සුරුට්ටු මුදලාලි ගාව තිබුනේ නැහැ .:)

    ReplyDelete
    Replies
    1. එන්නා බීඩි ??? රජා බීඩි !!! කියල රජා බීඩි promote කරන්ඩ පෙලපාලියක් වගේ කෑ ගහ ගහ කට්ටියක් පරෙ යනව ඉස්සර.

      Delete
    2. රාජා බීඩි, එස්කේ බීඩි කියලා එහෙම තිබුනා ඉස්සර. ඒවා ඉන්දියාවෙන් ගෙනාවේ. ගංගා බීඩි කියලා එකක් ආවා දුම්කොළ සංස්ථාවෙන්. රාජා බීඩි සත දහයට තුනක් දුන්නා ඒ කාලේ. බීඩි මිටියක් ගත්තේ ගානක් අතේ තියෙන පොරවල් සහ බීඩි ඔස්තාර්ලා. දෙල්කඳ හංදියේ හිටියා බීඩි කුමාර් කියලා චූටි චංඩියෙක් ඒ කාලේ. බීඩි මරුවෙක්.

      Delete
    3. ලඟකදි තිබුන හොඳ බීඩියක් තමයි තෝරා බීඩි.සමීර බීඩි,ගංගා බීඩි වලට වඩා රහ හොඳයි.(පපුව දන ගතිය අඩුයි.හෙහ් හෙහ්..)

      Delete
    4. @ Lal

      'හෙනං හවානා සුරුට්ටු ඔතනවා ඇත්තේ ඩොලර් කොලවල විය යුතුයි හිටං!

      Delete
  20. Manahara was my favorite magazine,I couldnt read r.dijest due to lack of english knowledge.

    ReplyDelete
    Replies
    1. තාමත් මං කියවන්නේ විහිළු-තහළු විතරයි!

      Delete
  21. Manahara was my favorite magazine,I couldnt read r.dijest due to lack of english knowledge.

    ReplyDelete
    Replies
    1. තාමත් මං කියවන්නේ විහිළු-තහළු විතරයි!

      Delete
  22. රිඩර්ස් ඩයිජස්ට් එකේ ඉන්ස්පයරින්ග් කතා හරි හීරෝ කතා හරි තිබ්බ නේද. කාව හරි බේරා ගත්ත කතා. අමාරුවෙන් මොකක් හරි කරපු දෙයක් ගැන. ඒවා හරි ලස්සනයි. මනහරත් හොඳයි. ඊට කලින් ලේක් හවුස් එකෙන් ගහපු සඟරාවක් තිබුන නේද? සුරුට්ටු කිව්වම මතක් වුණා අපි දන්නා යාළුවොත් සුරුට්ටු හොයනවනේ. මාත් ඉඳහිට බොනවා සුරුට්ටුවක් දෙකක්.

    ReplyDelete
    Replies
    1. යාපනේ සුරුට්ටු (dripping with tar !) බීල තියනවද ? It IS an experience!

      Delete
    2. ධර්මලා, කැමරන්ලා බොන්නේ හවානා සුරුට්ටු වෙන්න ඕනෑ!

      Delete
    3. යාපනේ සුරුට්ටු බීල නැහැ. මේ පාර හෙව්වා. හොයා ගන්න බැරිවුනා මැරයින් ඩ්‍රෛව් එකේ. ප්‍රාට නේ කියනන් තිබුනේ.
      අනේ නැහැ රසික. එච්චර සල්ලි කොහෙන්ද. වතාවක් දෙවතාවක් බීල තියනවා. රුසියාවේ කියුබන් එවුන් දීලා සහ මෙහෙදී වතාවක් දෙකක්. නැත්නම් ඉඳහිට අපේ අරූ අයියා එක්ක මොන්ටෙක්රිස්ටෝ මිනි එකක් හෝ ජර්මනියෙන් ගේන චීප් ඒවා තමා ගහන්නේ.

      Delete
    4. aththatama manahara nema thama. මුතුහර

      Delete
  23. දැන් කාලේ ළමයි සඟරා කියවනවා තියා වැරදිලාවත් අතට ගන්නවද දන්නේ නෑ.

    ReplyDelete
  24. This comment has been removed by the author.

    ReplyDelete
  25. මේ thread එකට කෙලින්ම සම්බන්ද නැති උනත් , නොකියාම බැරි තවත් embar rassing දෙයක් තමයි අපේ තාත්තා ගෙදෙට්ට දාපු ලී සෙරෙප්පු. ගම් වල ඔය සෙරෙප්පු වලට කිව්වේ කට්ට කෑලි කියලා . හරිම සිම්පල් design එක, පතුලේ හැඩයට කපාපු බාල ලී අඩියක් උඩට , ඇඟිලි රිංගවා ගන්න හම් පටි තොණ්ඩු වක් ඇන ගසා අමුණා තියෙනවා . එච්චරයි . හම් කෑල්ල පොලිෂ් නොකළ බාල කැල්ලක් . අඩියත් බාල ලී . රතු , නිල් , කොළ වගේ කලෛමගල් පාටක් පතුලේ උඩ පැත්තේ ගාලා තියෙනවා. කට්ට කෑලි දාල සිමෙන්ති පොලවේ ඇවිදින කොට හරි සද්දයි . කරුවලේ ඉඳහිටවත් කකුලක් පෑගුනොත් , වින්දිතයාට චූ යනවා. කට්ට කැලි අන්තිම ලාබයි . තිබුනේ යුසුෆ් ස්ටෝර්ස් කියන තම්බි කඩේ. කඩේ නානා දාලා හිටියෙත් ලී සෙරෙප්පු. කඩේ ඉස්සරහ මේවා ගොඩ ගහලා තියෙනවා. තරුණයෝ නම් මේවා දැම්මේ නැහැ,

    ReplyDelete
    Replies
    1. කීයක් හරි අතේ තියෙන මිනිස්සු බාටා දැම්මා. අනිත් බොහෝ අය කට්ට කෑලි තමයි දැම්මේ. අපේ ගෙදරත් තිබුනා.

      Delete
  26. මනහර සඟරාව ගැන නම් දන්නේ නැහැ."මනහර"නමින් දන්නේ රත්මලානේ තියෙන රියදුරු පුහුණු පාසලක් ගැනයි.හැබැයි ඔය මුතුහර සඟරාව නම් හොඳට මතකයි.අපේ ගෙදරත් සැහෙන්න පිටපත් ප්‍රමාණයක් තිබ්බා.එකේ මුද්රණය කරලා තියෙනවා "රීඩර්ස් ඩයිජෙස්ට් වර්ගයේ" සිංහල සඟරාව කියලාත්.

    ReplyDelete
    Replies
    1. ඇත්ත. කොහොමද අපි මනහර කියා හිතුවේ අපි. අර ශ්‍රී සඟරාව නේද ඊට කලින් තිබුනේ. අන්තිමට තියනවා "මහා දිග කටහ්ව " කියල එකක්. හරියට බ්ලොග් කෙටි නවකතා වගේ.

      Delete
  27. රසික සුරුට්ටු ලිපිය අගෙයි.හැබැයි දුම් බිබී පොත් කියවපු තාත්තලගෙ පුත්තු හුන්ග දෙනෙක් පොත් කියවන පුරුද්ද විතරක් දියුනු කරගෙන තියන බව කමෙන්ටු වලින් පේනව.

    ReplyDelete
  28. අපේ තාත්තාත් ඉස්සර අපි පොඩි කාලෙදි මුතුහර, සිව්දෙස සගරා ගෙදරට ගේන්න පුරුදු වෙලා හිටියා. ඒ පුරුද්ද නිසාම මාත් 1995 ඉදන් විශ්ව විද්‍යාලයට යනකල් දිගටම මුතුහර අරගත්තා. සිව්දෙස සගරාව මගදි නතර වුණත් මුතුහර නම් තවමත් මුද්‍රණය වෙනවා මම හිතන්නෙ. ගිය අවුරුද්දේ ලංකාවට ආපු වෙලාවකත් බොරැල්ල හන්දියේ පත්තර කඩේකින් මුතුහරක් ගත්තා.

    ReplyDelete

ඔබේ ප්‍රතිචාරය මට සතුටකි!. Your comments are most welcome!
සංයමයෙන් යුතුව ප්‍රතිචාර දක්වන්න.