Saturday 15 August 2015

සිරිලංකා පාටි එකේ පරණ අවිචාර සමයක් ගැන පොඩි ළමයෙකු ගේ පොඩි මතකයක් - SLFP Era from 1970 to 1977


ලංකාව ශාපලත් දේශයක් යැයි කවුදෝ කියා තිබුණා මතකයේ ඇත.

ඒ ශාප පෙරහැරේ මුල්ම ශාපය ලැබුණේ මංකොල්ලකෑම වැනි අපරාධවල නිරත වීම නිසා දඬුවම ලෙස හිස මුඩු කර තම රටෙන් පිටුවහල් කරනු ලැබූ විජය නම් ඉන්දියානු ජාතිකයා ඇතුළු හත් සීයක් ආක්‍රමණකරුවන්ට හෙළ රටේ බලය අල්ලා ගැනීමට උදව් කළ කුවේණීගෙන් බව කියවේ.

කුවේණී ගේ ශාපයට හේතුව වූයේ බලය අල්ලාගත් පසු අදමිටු විජය, නවදැලිහේන අමතක කර සුර අඟනුන් සොයන්නට වූ නිසා ය.

ඉන් පසු ද ලංකාවට නිරතුරුව ම විවිධාකාර වූ ශාප වැදී ඇත.

මා පෙර ලිපියක සඳහන් කළ පරිදි 1970 දී අවසාන වූයේ ඉන් එක් ශාපයකි. ඒ නම්,
අනුකම්පා විරහිත වූ අලි සිටියදි බුම්මා
වසර පහක් පාන් කකා අපි උන්නෙමු අම්මා
යන කවි දෙපදයෙන් විස්තර කෙරුණු 1965 සිට 1970 දක්වා ලංකාවට බල පැවැත්වූ ඩඩ්ලි සේනානායක ගේ යූඇම්පීය ප්‍රමුඛ හත් හවුල් ආණ්ඩුවේ ශාපයයි.

ඒ වෙනුවට 1970 සිට ලංකාවට උදා වූයේ සිරිලංකා එක ප්‍රමුඛ සමගි පෙරමුණු රජයේ පාලනය අත්විඳීමේ ශාපයයි. එවකට පැවති තට්ටු මාරු ක්‍රමය යටතේ මේ ශාපය ද වසර පහක් තිබේ යැයි අපේ බාප්පා මෙන් අන් යූඇම්පීකාරයින් ද විශ්වාස කරන්නට ඇත.

නමුත් සිදුවූයේ වෙනකකි.

මා කලින් ලිපියක සඳහන් කළ පරිදි සමගි පෙරමුණු රජය විසින් ඔවුන් 1972 දී ගෙනා ජනරජ ව්‍යවස්ථාව දඩමීමා කොට ගෙන එතැන් සිට අවුරුදු පහකට රජය වලංගු යැයි පවසමින් තම ආයු කාලය 1977 දක්වා දිගු කරගන්නා ලදී.

සමගි පෙරමුණ රජයට "සත්වසක ශාපය" යනුවෙන් නම් පට බැඳුණේ එනිසා ය.

සත්වසක ශාපයේ පසු කොටස ගැන මගේ මතකයේ රැඳී ඇති කරුණු කිහිපයක් මෙසේ ය.
  • සංවෘත ආර්ථික ප්‍රතිපත්තියක් මත පිහිටා, ජාත්‍යන්තර වෙළදාම වෙනුවට, රට ස්වයංපෝෂිත කිරීමට පවත්වාගෙන ගිය බතල මයියොක්කා වගා සංග්‍රාමයෙන් රට පරාජය වෙමින් තිබුණු අතර, ආහාර සහ අත්‍යාවශ්‍ය භාණ්ඩ හිඟය නිසා රජය ජනතා අප්‍රසාදයට පත්වෙමින් තිබුණි.
  • ආණ්ඩුවේ කාලය දිගු කිරීමට විරෝධය පා යූඇම්පී නායක ජේආර් තම මන්ත්‍රීකමෙන් ඉල්ලා අස්වූ අතර, ඒ සඳහා පැවති අතුරු මැතිවරණයෙන් ඔහු පහසුවෙන් ජය ගත්තේ ය. ඊට පෙර පැවති කලාවැව, කැස්බෑව ආදී මෙකී නොකී සෑම අතුරු මැතිවරණයක් ම පාහේ යූඇම්පීය විසින් ජයගන්නා ලදී.
  • සමගි පෙරමුණ ද අසමගි වූ අතර, සමසමාජ, කොමියුනිස්ට්, සිරිලංකා යන පක්‍ෂ ත්‍රිත්වයේ ම ඉරණම ගලක කෙටු අකුරු මෙන් පැහැදිලිව පෙනෙන්නට විය. මැරුණත් යූඇම්පීකාරයෙකු වූ අපේ බාප්පා ජීවත්ව සිටියා නම් ඉතා සතුටු වෙනු ඇත.
මා වෙනත් ලිපියක සඳහන් කළ අයුරින් එකල රටේ පැවතියේ පුවත්පත් සමාගම් තුනක් පමණි. එයින් ලේක් හවුසිය, විශේෂ විධිවිධාන පනතක් යටතේ රජයට පවරා ගන්නා ලදී. ලංකාදීප පළ කළ ටයිම්ස් සමාගම ද රජයට පවරා ගෙන නිසි බලධරයෙකු යටතේ පාලනය කරන ලදී. රිවිරැස පළ කළ දවස නිවස නොහොත් ස්වාධීන පුවත්පත් සමාගම තහනම් කර මුද්‍රණාලයට සීල් තබා වසා දමන ලදී!

සිරිලංකා එකේ එකී දුර්දාන්ත පාලන සමය පිළිබඳව මගේ මතකයේ ඇති හොඳම සිදුවීම නම් මෙයයි.
බදුවත්ත නමින් හැඳින්වුණු අක්කර දෙකහමාරක පමණ ඉඩමක් අපේ ආච්චී සතුව තිබුණි. එය බදුවත්ත නමින් හැඳින්වුණේ කාලයක් තිස්සේ අන්නාසි වැවීමට බදු දී තිබුණු නිසා බව කියවේ. කලින් විසි තිස් දෙනෙකුට අයිතිව තිබූ ඒ නිසරු බිම් පෙදෙස පිහිටියේ අපේ මහගෙදර තිබූ ඉඩමට අල්ලපු වටේ නිසා, ආච්චී සහ තාත්තා කර ඇත්තේ අනෙකුත් ඥාතීන්ගෙන් ඔවුනට හිමි කොටස් විටින් විට මිලට ගෙන එහි සම්පූර්ණ අයිතිය හිමි කර ගැනීමයි. මා දන්නා කාලයේ එහි තිබුණේ පොල් ගස් රාශියක්, සහ තැනින් තැන තවත් ගස් රාශියක් පමණි.

ආනයන සීමා කිරීම නිසා රටේ ඇතිවූ ආහාර හිඟයට පිළියමක් ලෙස ආණ්ඩුවෙන් ඇරඹූ වගා සංග්‍රාමය යටතේ සෑම ඉඩමකම යටි බිම් වගාවත් ඇරඹිය යුතු විය. ආච්චී ගේ වෙනත් ඥාතියෙකු වූ චාලි ගුරා ගේ ප්‍රධානත්වයෙන් පිහිටුවා තිබුණු ගමේ ජනතා කොමිටිය විසින් අපේ බදුවත්ත රජයට පවරා ගන්නට අර අඳින බව දැන ගන්නට ලැබුණි.

එය වැළැක්වීමේ පියවරක් ලෙස ඉඩමේ මයියොක්කා වගා කිරීමට තීරණය කරන ලදී. නගුලක් බැඳි සමරේ ගේ මැසී ෆර්ගියුසන් ට්‍රැක්ටරය පොල් ගත් අතරින් පස් පෙරළමින් ඔබ මොබ යනු අප ආශාවෙන් බලා සිටි අයුරු මගේ මතකයේ හොඳින් රැඳී ඇත. ඒ සඳහා රුපියල් දෙතුන් සීයක් වියදම් විය. ඉන් පසු ඉඩමට ගිය අපේ සීයලා ගේ පාර්ශවයෙන් ඥාතීන් වූ ගයිඅයියා සහ පීටරයියා ට්‍රැක්ටරයෙන් පෙරළු පසේ උදලු තලයෙන් පොඩි වළවල් සාදා, ඒ එක වළක අඩියේ පමණ මයියොක්කා දඬු දෙක බැගින් සිටවූහ. දින කිහිපයක්ගත වූ ඒ කර්තව්‍යයට ද සෑහෙන වැඩ කුලියක් වැය වෙන්නට ඇත.

මේ ඉඩම නිසරු ඉඩමක් යැයි කලින් කීවෙමි. එයට මූලික හේතුව වූයේ තරමක නැග්මක් සහිත මේ බිමේ තෙතමනයක් නැති වීමයි. බදුවත්තට අල්ලපු ඉඩමේ තිබූ අපේ නිවසට වතුර ලබා ගත්තේ ද, නිවසේ සිට තරමක් දුරින් කපන ලද ගැඹුරු ළිඳකිනි. ඒ සඳහා භාවිතා කළේ බඹ දහයක කඹයකි!

පසේ තෙතමනය හිඟ වුවද, වැසි ජලයේ මයියොක්කා දඬු දළු දමා සෙමෙන් වැඩුණි. මයියොක්කා අල බහින්නේ සය මසකට පසුවය.

නියමිත කාලයේ දී වත්තේ මයියොක්කා අල ගලවා විකුණන ලදී. එයින් ආච්චී ලද මුදල රුපියල් එකසිය ගණනකි!
වගා සංග්‍රාමයට බදුවත්තෙන් අප කළ දායකත්වය එසේ විය.

-රසිකොලොජිස්ට්

ප/ලි:
අල බහින තුරු බලා සිටි අයට තව ඉවසන්නට ඇත්තේ දින තුනකට අඩු කාලයකි!

(image: http://40.media.tumblr.com/e41fc62f3ec039b81517d882a6dc305d/tumblr_ni0hjtw4RK1tw5s6vo1_400.jpg)

40 comments:

  1. /ඊට පෙර පැවති කලාවැව, කැස්බෑව ආදී මෙකී නොකී සෑම අතුරු මැතිවරණයක් ම පාහේ යූඇම්පීය විසින් ජයගන්නා ලදී./

    වැරදියි දරුවෝ. 1975 දී එවක ධීවර ඇමති ජෝර්ජ් රාජපක්ෂගේ මරණයෙන් පසුව මුල්කිරිගලට තියපු අතුරු මැතිවරණයෙන් ඔහුගේ පුතා ලක්ෂ්මන් රාජපක්ෂ ශ්‍රීලනිපයෙන් දින්නා. හැබැයි ඡන්දය කළේ ෆීලික්ස්ලා, ටී. බී. ලා වගේ ප්‍රබල කැබිනට් ඇමැතිවරු වැඩේට බැහැලා ගම් ටික බෙදාගෙන ඒ කාලේ හැටියට උපරිම තගක් දාලා.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි. ඒ වාගේ හිඩැස් නිසා තමයි ...පාහේ.... කියා යෙදුවේ.

      Delete
    2. තව එකක් මතක නැති වුණා දරුවෝ. (වයසට යනකොට මතකය දුබල වෙලා.)

      1975 පෙබරවාරි මාසේ තිබුණු කාන්කෙසෙන්තුරෛ අතුරු මැතිවරණය දෙමළ එක්සත් පෙරමුණේ නායක චෙල්වනායකම් දින්නා වැඩි ඡන්ද 15,000 කින් විතර. ඇත්තටම මේ ආසනය හිස් වුණේ 1972 ව්‍යවස්ථාවට විරෝධය පාමින් ඔහුම ඉල්ලා අස්වුණු නිසයි. ආණ්ඩුව ඕනෑකමින්ම මැතිවරණය ප්‍රමාද කළා ප්‍රචණ්ඩ ක්‍රියා ඇතිවෙන්නට පුළුවන් කියමින්. ඒක තිබ්බේ නොතියාම බැරි තැනයි.

      චෙල්වාගේ එකම ප්‍රබල ප්‍රතිවාදියා වුණේ සමගි පෙරමුණු ආණ්ඩුවේ අපේක්ෂක කොමියුනිස්ට් පක්ෂයේ එම්. අම්බලවානර්. පුදුමේ කියන්නේ දරුවෝ. මේ මැතිවරණෙදි ජේ. ආර්. ජයවර්ධනගේ එක්සත් ජාතික පක්ෂයත් සපෝට් කළේ ඒ වෙනකොට ඔවුන් රටේ අනෙක් පළාත් වලදී දැඩි ලෙස ගටෙමින් සිටි ආණ්ඩුවේ අපේක්ෂකයාටමයි. කොටින්ම මේ සටන ප්‍රබල සිංහල-දෙමළ සටනක් වුණා.

      Delete
    3. @ Anonymous 15 August 2015 at 12:47 ----

      ඔබත් වැරදි යි දරුවෝ......

      ජෝර්ජ් රාජපක්ෂ මළේ 1976 දී. මුල්කිරිගල අතුරු මැතිවරණය තිබ්බේ 1976 දී. ඒ අතුරු මැතිවරණයෙන් දිනූ ලක්ෂ්මන් රාජපක්ෂ යනු ජෝර්ජ්ගේ සහෝදරයා යි. ජෝර්ජ් මැරෙන කොට එයාගේ පුතාට වයස අවුරුදු 10 යි.

      Delete
    4. Anonymous15 August 2015 at 13:08 ---

      ඇත්ත තමයි දරුවෝ. මතකය දුර්වලයි දැන්. අපි මේ හෙට අනිද්දා අනිත් ලෝකෙට යන්න ඉන්න අයනෙ.

      ඔව්, ඔය කතාව දැන් තමයි මතක් වුණේ. රාජපක්ෂ පවුලේ එවුන් හැම තිස්සෙම මේ ආසන දෙක සැලකුවේ තමන්ගේ බූදලයක් හටියටයි. පුතා බාල නිසා සහෝදරයා දැම්මා. නිරූපමා රාජපක්ෂ කියන්නේ ලක්ෂ්මන් රාජපක්ෂගේ දුවද කොහේද. ඒ එක්කම මේක තමයි අපේ බැසිල් තුමා ක්‍රියාකාරීව සහභාගි වුණු පළමු මැතිවරණය.

      Delete
    5. නිරූපමා රාජපක්ෂ කියන්නේ ජෝර්ජ්ගේ දුව. ජෝර්ජ් මැරෙන කොට එයාගේ වයස 14 යි.

      Delete
    6. මේ කියන අතුරු මැතිවරන වලින් කැස්බෑව යූ.ඇම් .පී එක දිනුවේ ශ්‍රී ලංකා කාරයින් කරපු අමු ගොන් කමක් නිසාය. අතුරු මැතිවරනය තිබ්බේ අපේ මන්ත්‍රී වුන සෝමවීර මහතා නිවන් ගිය නිසාය.ඔහුගේ පුතා සුභාශ්ට නාම යෝජනා නොදී ශ්‍රී ලංකා එකෙන් ඩික්සන් ජේ පෙරේරා ඉදිරිපත්කල අතර සුභාශ් චන්ද්‍රසිරි ස්වාදීනව ඉදිරිපත්විය. ඒ වාසිය නිසා යූ.එන්.පී ධර්මසේන ආටිගල දිනූ අතර ස්වාදීන අපේක්ශක සුභාශ් දෙවනි තැන ලැබීය.ශ්‍රී ලංකා කාරයා තුන්වෙනියා විය.

      Delete
    7. සුභාෂ් චන්ද්‍රසිරි ස්වාධීන අපේක්ෂක 1972 කැස්බෑව අතුරු මැතිවරණයේදී ඡන්දය ඉල්ලුවේ "හැන්ද" ලකුණින්.

      Delete
    8. කලාවැව අතුරු මැතිවරණයට සිරිලංකා එකෙන් අනුර ඉල්ලනවා නම්, ජේආර් යෝජනා කළා ලු යූඇම්පීයෙන් අපේක්‍ෂකයෙකු නොදා ඉන්න කියා මං අසා තියෙනවා!

      Delete
    9. සෝමවීර ගේ පුතාට නොමිනේෂන් නොදීමෙන් තේරෙන්නේ, ඒ දිනවල සිරිලංකා එක පවුල්වාදයට ඉඩ දුන්නේ නෑ කියන එකද?

      Delete
  2. /සමගි පෙරමුණු රජය විසින් ඔවුන් 1972 දී ගෙනා ජනරජ ව්‍යවස්ථාව දඩමීමා කොට ගෙන එතැන් සිට අවුරුදු පහකට රජය වලංගු යැයි පවසමින් තම ආයු කාලය 1977 දක්වා දිගු කරගන්නා ලදී./

    1972 ව්‍යවස්ථාවෙන් පාර්ලිමේන්තුවේ කාලය අවුරුදු පහේ සිට හයක් දක්වා දීර්ඝ කළ නිසා අවශ්‍ය නම් ජාතික රාජ්‍ය සභාව 1978 මැයි වන තුරුම "ව්‍යවස්ථානුකූලවම" අදින්නත් තිබුණා. එහෙම නොකර නියමිත කාලයට වසරකට පෙර විසුරුවන්නට තීරණය කළා. තියරිටිකලි ඒක කාලය වසරකින් කෙටි කර ගැනීමක්.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි.
      මං හිතුවේ අවුරුදු හය වුණේ 1978 ව්‍යවස්ථාවෙන් කියලයි

      Delete
    2. 1978 ව්‍යවස්ථාවෙන් අවුරුදු හය වුණේ ජනධිපතිවරයාගේ ධුර කාලය.

      Delete
    3. සිරිමා කරපු ජඩ වැඩ දෙකක් තමයි:

      (1) ඈ 1970 දී බලයට එන තෙක් පැවති පාර්ලිමේන්තු ආයු කාලය වසර 5 කි. ඇගේ 1972 ව්‍යවස්ථාවෙන් එය වසර 6 තෙක් දිගු කර ගත්තා. ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යවස්ථාදායක සභාවකට වසර 6 ක ආයු කාලයක් දිගු වැඩි ය. මෙම වැරැද්ද ජේ.ආර්. විසින් ද 1978 ව්‍යවස්ථාවෙන් නිවැරදි නොකෙරුණි. අවසානයේ දී මෙය නිවැරදි කෙරුණේ 2015 දී මෛත්‍රීපාල-රනිල් සුසංයෝගය යි.

      (2) 1971 දී ඈ විසින් උත්තර මන්ත්‍රී මණ්ඩලය අහෝසි කෙරුණි. මෙය ද ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියාවකි. පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරු අගමැතිගේ හෝ ජනාධිපතිගේ හෝ රබර් මුද්‍රා බවට පත් වන්නේ උත්තර මන්ත්‍රී මණ්ඩලයක් නැති නිසා ය.

      Delete
    4. /1971 දී ඈ විසින් උත්තර මන්ත්‍රී මණ්ඩලය අහෝසි කෙරුණි./

      දරුවෝ, ඕක වෙන කාලේ මම පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ.

      අද වගේ මතකයි දරුවෝ, අපේ දේශපාලන විද්‍යා මහාචාර්යතුමා කියනවා සෙනෙට් එක නැති කිරීම නිසා රටට වෙන ලොකුම හානිය තමයි වෙන රස්සාවක් කොර ගන්නත් බැරි, ලබ්බ බැහැපු වෘත්තික නාකි ටිකක් දාල තියන්න තැනක් නැති වෙන නිසා උන් ඉස්සරහට රටට මාර පරාළ ඇණ ටිකක් වෙනවා කියලා.

      දැන් අද සරත් එන්. ද සිල්වා, සරත් ෆොන්සේකා, නලින් ද සිල්වා, ගෝමින් දයාශ්‍රී, කාලෝ ෆොන්සේකා, මායාදුන්නේ, වික්ටර් අයිවන්, වික්‍රමබාහු කරුණාරත්න වගේ සීයා පප්පලා දිහා බැලුවාම මේක කොයි තරම් ඇත්තක්ද කියලා පේනවා නේද?

      ජේ. ආර්, ජයවර්ධන ඒක එක්තරා මට්ටමකට විසඳන්න බැලුවා ජාතික ලැයිස්තුවෙන්. නමුත් අසාර්ථකයි.

      සෙනෙට් එකක් ඕනැමයි දරුවෝ, එහෙම නැත්නම් වෙන්නෙ විමල් වීරවංශ, කුමාර් වෙල්ගම, සරණ ගුණවර්ධන වාගේ මරිසියෝ අපට නීති හදන එකයි.

      Delete
    5. @ Anonymous15 August 2015 at 13:39 ----

      ඔබ 1971 දී විශ්ව විද්‍යාල ශිෂ්‍යයකුව/ශිෂ්‍යාවකව සිටියා නම්, "හෙට අනිද්දා අනිත් ලෝකයට යන්න සිටිමි" වැනි ප්‍රකාශ කරන්නේ ඇයි? ඔබේ වයසේ සිටින ඇත්තන් කී දාහක් ලෝකයේ නොයෙකුත් රටවල සමාජ ප්‍රගමනයට දායක වෙමින් සිටිනවා ද? අප ඔබේ වයසට පැමිණෙන විට වැඩියෙන් ම වැඩ කරන්නට සිදු වනවා, මන්ද ලෝක තරුණ ජනගහනය ඉදිරියේ දී අඩුවන නිසා. දැනටමත් දියුණු ආර්ථිකවල විශ්‍රාම වයස 67 තෙක් ඉහළ ගිහින්.



      /////සෙනෙට් එකක් ඕනැමයි දරුවෝ, එහෙම නැත්නම් වෙන්නෙ විමල් වීරවංශ, කුමාර් වෙල්ගම, සරණ ගුණවර්ධන වාගේ මරිසියෝ අපට නීති හදන එකයි.////////

      රුවන් ප්‍රකාශයක්...

      Delete
    6. දරුවෝ, මම ලබ්බ බැහැපු වෘත්තික නාකියෙක් වෙන්න කැමැති නෑ. මගේ පැන්ෂන් එක මට ජීවත් වෙන්න හොඳටෝම ඇති. දැන් මගෙන් ලෝකයාටවත් ලෝකයාගෙන් මටවත් වැඩි වැඩක් නෑ. දාලා යන්න බැරි දේකුත් නෑ. ඉතින් ටිකට් එක ඉක්මනට ලැබෙනවා නම් මම කැමැතියි. තව මොටද මාත් මහින්ද රාජපක්ෂයෙක් වෙන්නෙ?

      Delete
    7. මෙතැන කියවෙන්නේ 1971 අය (සෝමවංශ, වාසු, බාහු, මහින්ද, දිනේෂ් වැනි) දැන් විශ්‍රාම යා යුතු බවයි!

      Delete
  3. අල බහිනකම් ඉවසුවාට තැම්බෙනකම් ඉවසන්න බෑ.

    ReplyDelete
  4. සිරිමගෙන් පස්සේ ආවේ 17 වසරක ශාපය නේද?

    ReplyDelete
    Replies
    1. මොකද බං උඹ රස්සාවෙන් අස්වෙලත් තාම කඩේ යන්නේ? පුරුද්දටද?

      Delete
    2. ඒ දාහත් අවුරුද්දෙන් පළමු වසර 6 ත්, අවසන් වසර 4 1/2 ත් ශාප කාලයක් ලෙස හඳුන් වන්න බෑ.

      Delete
    3. පළමු වසර 5 හා අවසන් වසර 3 කියමු, නේද?

      Delete
    4. ඒ කාල සීමාවේ සාපය ආවේ 1980 දී ජූලි වැඩවර්ජකයින්ව දොට්ට දැමීමෙන්, ඉන්පසු 1983 ජූලියේ දී පටන් ගත් සාපය අවසාන වුනේ 1993 අප්‍රියෙල් අවසානයත් එක්කයි!

      Delete
    5. පළමු වසර 6 සහ අවසන් වසර 41/2 හොදයි කියන්න බෑ . ඒ වගේම පළමු වසර 5 හා අවසන් වසර 3 කියන්නත් බැහැ. 83 රාජ්‍ය අනුග්‍රහය ලත් කළු ජූලිය මතක නැද්ද
      80 ජූලි වර්ජනයෙදි අලිය හොඩවැල උස්සපු හැටි මතක නැද්ද
      සිරිල් මැතිව් ලගෙ පෝල් පෙරේරලගෙ වීර ක්‍රියා 78 ඉදන්ම වාර්තා වුනා නේද?
      කම්කරු උද්ඝෝෂනවලට වීරදෝරා එජාප පාක්ෂිකයන්ගෙ සංග්‍රහ නිරතුරුවල ලැබුන නේද?

      17 අවුරුදු ශාපය කිව්වට ඩී බී විජේතුංග ගෙ කාලෙ නම් රට හොදයි.
      ප්‍රේමදාසගෙ කාලෙ සොත්ති උපාලි වගෙ වීරයන්ව වර්කින් කමිටි එකටත් ගත්ත නේද? ගිනි අවි හා ගිනි කෙළි
      78 ඉදන්ම පාතාලෙ පෝෂනය වුනා නේද?

      Delete
  5. ඔය වගා සංග්‍රාමය කාලේ අපි ඉස්කෝලේ වින්ද දුකක්. කඳු පල්ලම් හැම තැනම සෝගම්, බතල, සෝයා බෝන්චි, කව්පී, බඩඉරිඟු, මංඤොක්කා මෙකී නොකී හැම එකක්ම වැව්වා. හැබැයි ඔය එකකවත් පලදාව අපිට ගන්ට හම්බුනේ නෑ. ඇයි ගෙවල් වල? අපේ ගෙදරත් ඔය හැම එකක්ම වවලා තිබුනා, හැම අඟලකම! ඒ දවස්වල ගෙදර බිව්වෙත් සෝයා කෝපි.

    ReplyDelete
    Replies
    1. ලක්ෂ තිහකි සිසුකැල අපි දක්ෂය
      පක්ෂ භේද කිසිවක් නෑ නෑ
      ඔක්කොම ගුරු දෙගුරුද අත දෙන්නොය
      ලක්ෂණ ගොවිපොළවල් හදමූ....

      මේ සිරිමගෙ ආණ්ඩුවට කලින් ඩඩ්ලිගෙ කාලෙ නේද?

      Delete
    2. හ්ම්..
      ලෝකෙන් උතුම් රට ලංකාවයි....ලංකාවයි ශ්‍රී ලංකාවයි...

      Delete
    3. අපේ අම්මාත් වත්ත පහල බතල පාත්ති දෙක තුනක් දැම්මා, බතල කොළ කන්න හාවෝ එනවා!

      Delete
  6. රසිකයියේ.....................

    යූඒන්පී කාරයා අවුරුදු විස්සක් කුදලං හිටපු අමාරුව 77 දී වගේ පිට කරයිද?????? දැන් නම් ඒ වගේ ලක්ෂණ තියෙනවා....

    ReplyDelete
    Replies
    1. ඒක රාජ්‍ය නායකයා බලා ගත යුතුයි!

      Delete
    2. 1994 දි පූර්වාදර්ශයක් දුන්න නේද
      ඒත් 2001 දි යූ ඇණ්පී එකෙන් විශාල විනාශයක් කළා.
      ඒත් 2004 දි ආයෙත් පූර්වාදර්ශයක් දුන්න.
      1977 දි පොලීසියට සතියක් නිවාඩු දුන්නනෙ.

      Delete
  7. 1970 මහ මැතිවරණයෙන් පසු තිත තැබුණු නෝනාවරුන්ගේ සහ මහත්වරුන්ගේ දේශපාලනය මෙන් ම, ඒ වන තෙක් ලාංකිකයා සතුව තිබූ, එහෙත් දැන් බොහෝ දුරට පිරිහී ඇති ගුණවත් හැසිරීම් රටාව යන කාරණාද්වය අප හට නැවත් දැකීමේ සහ විඳීමේ භාග්‍යය ලැබේ යයි ම හට සිතෙනවා අගෝස්තු 17 වන දා පවත්වන මැතිවරණයෙන් රනිල් වික්‍රමසිංහ ජය ගත හොත්.

    ReplyDelete
    Replies
    1. මාත් එහෙම හිතනවා. රනිල් වික්‍රමසිංහ බලයට ගෙන ඒම කොහොම වුණත්, මහින්ද රාජපක්ෂ කියන ගෝත්‍රික නායකයා හා ඔහුගේ සට්ටඹි රෑන මෙවර අනිවාර්යයෙන් ගෙදර යැවිය යුතුයි.

      Delete
    2. යූඇම්පීය බලයට ඒම යනු 1980-1993 සිහිවී පපුව පත්තු වීමක් තමයි, ඒක මට 1999 දී සිදුවුණා!
      http://rasikalogy.blogspot.com/2015/08/my-shameful-and-regrettable-behaviour.html

      නමුත්, එහෙම නම්, 1994 දී ත් එයම සත්‍ය විය යුතුයි, ඒ සමගම ජේවීපී එක සම්බන්ධයෙන් ද එසේ විය යුතුයි!

      Delete
  8. ලියූ රසිකටත් කමෙන්ට් කල ජ්‍යෙෂ්ඨ ඇනෝවරුන්ටත් ස්තුතියි

    ReplyDelete
    Replies
    1. ඇත්තටම මං ලියන්න ගියේ ඔය බදුවත්තේ මයියොක්කා හිටවපු කතාව විතරයි මුලින්. ලියන්න ගියාම තමයි අනිත් විස්තර හිතට ආවේ!

      ස්තුතියි.

      Delete
  9. මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය විනාශ කිරීම ආරම්භ කළේ සිරිමා. 1970-1977 කාලය හත් අවුරුදු ශාපයක් තමයි. ඉතා දැඩි මර්ධනයක් ඒ කාලෙ තිබුන බව පේනව. 1975 දි තියන්න තිබුන ඡන්දෙ නොතියපු එක තමා සිරිම කළ ලොකුම වරද.
    ඒ වගේම අත් අඩංගුවට ගත් අය මරා දැමීම පිළිබද පූර්වාදර්ශයත් දුන්නෙ සිරිම.

    මට මේ කාලෙ ගැන ජීවන අත්දැකීම් නැහැ. හරි වටිනව මේ පෝස්ට් එක. මට 80 වර්ජනයත් මතක නැහැ.නමුත් ජූලි කලබල හොදට මතකයි. අතීත මතකයන් මේ විදියට සයිබරයෙ රැව් දෙන එක මොනතරම් චමත්කාරද

    ReplyDelete
  10. 1970-1977 සමගි පෙරමුණ ආණ්ඩුව හදිසි නීතිය දාගෙන රට පාලනය කළේ. හදිසි නීතිය දාන්න පටන් ගත්තෙ 71 කැරැල්ල නිසයි. 71 කැරැල්ලෙදි අල්ලගත් කැරලි කාරයන් මරල දැම්ම සෑහෙන්න. ඒත් 87-89 වගේ ටයර් සෑයෙ යැව්වෙ ගෙවල් වලින් උස්සපු කොල්ලන්ව නෙවෙයි බොහෝ විට. එහෙම මැරුවත්, ඒකට රාජ්‍ය අනුග්‍රහය ලැබුනද කියල සැකයි. කොහොම වුනත්, කැරළි නායකත්වය අල්ලගෙන හිරේ දැම්ම නඩු අහල. 71 සහ 89 වෙනස ඒකයි.

    ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කියන්නෙ එක්සත් ජාතික පක්ෂයෙන් කැඩුණු කණ්ඩායමක්. කෙළින්ම අධිරාජ්‍යවාදී පක්ෂයකින් අධිරාජ්‍යවාදයට සහය දෙන දේශීය ධනේශ්වරය කැඩිල වෙන් වුනා පනස් ගණන් වලදි.

    හැබැයි ඒ කාලෙ ඒ පක්ෂ දෙකෙන් එකක්වත් වැඩවසම්වාදී ලක්ෂණ පෙන්නුම් කළේ නෑ.

    70 සමගි පෙරමුණු ආණ්ඩුව ඇතුළේ සමසමාජ හා කොමියුනිස්ට් පක්ෂ දෙක තිබුන නිසා සමාජවාදී ප්‍රගතිශීලී පෙනුමක් තිබුන ඒ ආණ්ඩුවෙ. ජනසතු කිරීම් වගේ දේ නිසා සමහර කොටස් වලට සහනයක් ලැබුන. මට මතකයි එක්තරා රබර් “එස්ටේට්“ එකක වැඩ කරපු මනුස්සයෙක් වතු ජනසතුවෙන් පස්සෙ බොහොම ආඩම්බරෙන් දවසක් කියනව “අද අපට පඩි සහිත නිවාඩු“ කියල. ජනවසම නිසා වතු ටික පාළුවට ගියා පස්සෙ කාලෙ. ඒක ජනසතු කිරීමේ වැරැද්ද කියල කියන්න බැහැ.

    කොහොම වුනත්, මේ මාසේ 17 වැනිදට වුනත් පුද්ගල මාරුවක් විතරක් වෙලා ඇති වැඩක් නෑ. 17 වැනිදට අපි වගබලාගත යුත්තෙ නැවත රිවස් ගියර් එක වැටෙන්න නොදී ඉන්නයි.

    ReplyDelete

ඔබේ ප්‍රතිචාරය මට සතුටකි!. Your comments are most welcome!
සංයමයෙන් යුතුව ප්‍රතිචාර දක්වන්න.