
මේ කතාව ඔබ බොහෝ දෙනෙකු මීට කලින් අසා ඇතුවාට සැක නැත. නොකී කතා ලියන හෙන්රි වර්ණකුලසූරිය ද පසුගිය දිනයක මෙය ලේඛනගත කර තිබුණි.
එසේ කලින් අසා නැති වුණත්, ඊයේ විශ්වා වර්ණපාල මිය ගිය බව ආරංචි වී ඇති නිසා අද සිට මේ කතාව විවිධ තැන්වල ලියවෙනු ඇත, කියවෙනු ඇත. මේ තවත් එක් එවැනි එක් අවස්ථාවක් ලෙස සලකන්න.
මා පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ උගත් සමයේ දී මහදුරු විශ්වා වර්ණපාල මුණ ගැසී ඇත්තේ දෙවරක් පමණි. කලා පීඨයේ දේශපාලන විද්‍යාව පිළිබඳ මහාචාර්ය තනතුරක් දැරූ ඔහු සමග මට අධ්‍යාපනික කටයුත්තක් නොතිබුණි. කෙසේ වෙතත්, මා ඔහු හමුවූයේ ද, දේශපාලන විද්‍යාව විද්‍යාව පිළිබඳ විෂයානුබද්ධ කටයුත්තකට නොවුව ද, ශිෂ්‍ය දේශපාලනය පිළිබඳ ප්‍රායෝගික කටයුත්තක් සම්බන්ධයෙන් වීම සිත්ගන්නා සුළු කාරණයකි.
ප්‍රථමයෙන් ම කිව යුත්තේ, වර්ණපාල නාමය පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ශිෂ්‍යයන් අතර අමරණීය එකක් බවයි.
මම මහැඳුරු වර්ණපාල දැක කතා බහ කරන්නට වසර තුනකටත් පෙර ඔහුගේ කීර්ති නාමය අසා දැන සිටියෙමි. ඒ ඔහු ගේ දේශපාලන විද්‍යා දැනුම හෝ සිරිලංකා පක්‍ෂයේ පොලිටි බියුරෝ සාමාජිකත්වය නිසා නොව විශ්ව විද්‍යාල ශිෂ්‍යයන් අතර සුප්‍රකට වූ "වර්ණපාල තියරිය" නිසාය.
එය යුවතියක් හා පේ්‍රම සම්බන්ධයක් ඇති කරගැනීම සඳහා වූ අපූරු ක්‍රමවේදයකින් සමන්විත තියරියකි.
"කවට කමට ඔබෙයි මගෙයි නම කියා, යහළු ළමයි විහිළු තහළු මට කළා!" යන ගීතයෙන් ද කියවෙන පරිදි පාසැල් සමයේ පේ්‍රම සම්බන්ධකම් බොහෝ විට ඇතිවන්නේ මිතුරු මිතුරියන් අතර කෙරෙන විහිළු-තහළු නිසාවෙනි. මෙය විශ්ව විද්‍යාලයේ සාමාන්‍යයෙන් සිදුවන්නක් නොවේ.
එයින් පසුබට නොවූ වර්ණපාල නමැති ශිෂ්‍යයා සිය සිත් ගත් යුවතිය (ඇයව කමලා යැයි මදකට හඳුන්වමු) සමග හාද වීම අරමුණ කරගත් අපූරු ක්‍රමවේදයක් නිර්මාණය කළේ ලූ.
එහි ප්‍රධාන විධික්‍රමය වූයේ තමන්ම සැඟවී සිට, වෙන අයෙකු කරන්නාක් සේ, තමන් ගේ ම නම කියා තම සිත්ගත් යුවතියට සරදම් කිරීමයි.
විශ්ව විද්‍යාලය මැදින් දිවෙන ගලහ පාරේ යනෙන කමලා දකින වර්ණපාල ශිෂ්‍යයා තම නේවාසිකාගාර බැල්කනියේ සැඟවී සිට "ආ, කමලා, කොහෙද මේ යන්නේ අපි කියන්නම් වර්ණයා ට" කියා හෝ "ආ, කමලා, ඔයා වර්ණයා එක්ක යාළුයි නේද?" යනාදී ලෙස කෑ ගසයි.
ඉන් පසු දිනක ඇය කලා පීඨයේ දී හමු වූ විට ඉහත සිද්ධීන් ඔවුන් අතර මද සිනාවකට, කතා බහකට මුල් වේ.
දිනක් වර්ණපාල ශිෂ්‍යාට මහනුවර නගරයේ දී හදිසියෙන් මෙන් ඇය හමුවී වචනයක් දෙකක් කතා කරන්නට හැකිවිය. ඇයට පෙර විශ්ව විද්‍යාලයට පැමිණි ඔහු, සුපුරුදු පරිදි සැඟවී සිට "ආ, කමලා, අද වර්ණයා එක්ක නුවර ගියා නේද? අපි දැක්කා, අපිට හංගන්න බෑ නංගී, කමක් නෑ, කමක් නෑ වර්ණයා හැන්ඩියා, බ්‍රයිටා හොඳ කොල්ලා" යනාදී වශයෙන් කෑ ගැසීය.
මේ සියලු සරදම් නිසා නිතරම කමලා හා කතා කිරීමට වර්ණපාල ශිෂ්‍යාට ඉඩ ලැබුණි. අවසානයේ වර්ණපාල ක්‍රමය බලාපොරොත්තු වූ ප්‍රතිඵල ගෙන දුන් බවද කියවේ.
නමින් සමාන වූව ද වර්ණපාල ක්‍රමය මැහැදුරු වර්ණපාල හා සම්බන්ධයක් නොතිබෙනවා විය හැක. නමුත්, මා දන්නා පරිදි ලොව වර්ණපාල ලා ඇත්තේ එක් අයෙක් පමණි.
ඒ කෙසේ වෙතත්, මහැඳුරු විශ්වා වර්ණපාල ගේ වර්ණපාල තියරිය සදාකාලික වෘතාතන්තයක්ව තවත් පරම්පරා ගණනාවක් තිස්සේ පවතිනු ඇත යන්න මගේ විශ්වාසයයි.
-රසිකොලොජිස්ට්
ප/ලි:
ඊයේ ෆේස්බුක් අවකාශයේ සටහනක් තබන හෂීත අබේසේකර කියා තිබුණේ වර්ණපාල තියරිය යනු ලංකාවේ විශ්ව විද්‍යාලයකින් බිහි වූ එක තියරිය බවයි.
ඒ ප්‍රකාශය නාථ දෙවි නියෝජිතාචාර්ය නලින්ද සිල්වා අමන්දානන්දයට පත් කරවන්නක් ද විය හැක.
(image: http://colombogazette.com/2015/08/26/warnapala-takes-over-as-upfa-general-secretary/)