Tuesday 18 April 2017

නිවාඩුවකින් පසු - වෙනස සැපයි ද? :: First day after a holiday


අද මෙන්ම එදා මා පාසල් ගිය සමයේ ද, ලංකාවේ පාසල් වාර තුනක් ද, නිවාඩු කාල තුනක් ද විය. ඒ පාසල් වාර තුනම, එක හා සමාන කාල පරාසයක, එනම්, අඩු වැඩි වශයෙන් සති දහතුනක් පමණ, පැතිරී තිබුණු අතර, නිවාඩු කාල ද, බොහෝ විට එක සමාන කාල ප්‍රමාණයේ විය.

මා අද වෙසෙන ඕස්ට්‍රේලියාවේ පාසල් වාර හතරක් ද, එනිසා පාසල් නිවාඩු කාල හතරක් ද වේ. එක් වාරයක් සඳහා සති දහයක කාලයක් වෙන් වී ඇති අතර, නිවාඩු කාල හතරෙන් තුනක් ම, එනම් අප්‍රියෙල් මාසයේ දී සාමාන්‍යයෙන් (සැම විටම නොවේ) පාස්කු දින මැදි කරෙගෙන යෙදෙන නිවාඩුව, ජූලි මාසයේ මුල එන සිසිර නිවාඩුව, සැප්තැම්රයේ අගට යෙදෙන වසන්ත නිවාඩුව, සති දෙකක් බැගින් වූ නිවාඩු කාල වේ.

දෙසැම්බරයේ නත්තල් සමයට සතියකට පමණ කලින් එළැඹෙන ගිම්හාන නිවාඩුව, ජනවාරි අග දක්වා සති හයක් පමණ කාලයක් පුරා විහිදෙයි.

දිගු නිවාඩුවක් තියා කෙටි නිවාඩුවක් වුව ද, ගෙවී අවසාන වූ පසු නැවතත් පෙර කළ සුපුරුදු රාජකාරී කිරීම ඇරඹීම අප බොහෝ දෙනෙකු අප්‍රිය කරන දෙයකි.

පසුගිය අඟහරුවාදා සිට මුලින් අසනීප වීම නිසා ද, ඉන් පසුව ලැබුණු දින හතරේ පාස්කු-සති අන්ත දීර්ඝ නිවාඩුව නිසා ද, සතියක් ම කාර්යාලයෙන් බැහැරව සිටි මට, අද උදෑසන සේවයට යාම සඳහා සූදානම් වීමේ දී දැනුණේ මහා කම්මැලිකමකි.

දුම්රියට ගොඩ වී පරිගණකය දිග හැර ගත් විගස මට සිහිවූයේ, අප කුඩා කාලයේ අවුරුදු නිවාඩුව ප්‍රීතියෙන් නිවසේ ගත කර ආපසු පාසල පටන් ගන්නා අවස්ථාවයි.

එසේ පාසල් ඇරඹෙන මුල් දිනයේ, පාසලේ දී වැඩි ලොකු දෙයක් සිදු නොවේ. එයට හේතුව, ගුරුවරුන් ද, තවමත් කම්මැලි අරිමින් සිටින නිසාත්, ගුරු කාමරයට වී අවුරුදු කැවිලි සහ ඕපාදූප බෙදා හදා ගැනීම, පන්තිවලට ගොස් ඉගැන්වීමට වඩා ප්‍රිය කරන නිසාත් විය යුතුය.

එනිසා ප්‍රාථමික පාසලේ බොහෝ ගුරුවරුන් එදින කරන්නේ, "මා නිවාඩු කාලය ගත කළ හැටි!" යන මාතෘකාවෙන් රචනයක් ලියන ලෙස සිසුන්ට නියම කිරීමයි.

මා පස්වෙනි ශ්‍රේණියේ උගන්නා කාලයේ දී, අවුරුදු නිවාඩුව ගත කරන අතරතුර මට ඔය කාරණය සිහිවිය. මා එවිට කළේ, සිංහල ලිවීමේ සටහන් පොත රැගෙන "මා අවුරුදු නිවාඩුව ගත කළ හැටි!" යන මැයෙන් පිටු දෙක තුනක විස්තරයක් ලිවීමයි.

අඹ වාරය, අවුරුදු කෑ හැටි, ගුවන් විදුලියේ වැඩ සටහන්, ආච්චිලා ගේ නිවසේ ගත කළ නිවාඩුව යනාදී විස්තර මා ඒ රචනයේ ඇතුළත් කරන්නට ඇත.

අවුරුදු නිවාඩුව අවසාන වී පාසල ඇරඹුණි.

අප පන්ති කාමරය පිරිසිදු කර සකසා ගත්තෙමු.

තවත් දවසක් පුරා නිදහසේ සිටීමේ මගේ අපේක්‍ෂා සුන් කරමින් අපේ පන්තිය භාර බමුණුසිංහ ටීචර් සුපුරුදු පරිදි ඉගැන්වීම ඇරඹුවා ය.

පැය කිහිපයක් තිස්සේ මහන්සි වී මා ලියා ගෙන ආ ඒ "මා අවුරුදු නිවාඩුව ගත කළ හැටි!" යන වාක්‍ය රචනාව කිසිදා මා හැර වෙනෙකෙු කියවූයේ නැත!

-රසිකොලොජිස්ට්

ප/ලි
නිවාඩුව අවසානයත් සමගම 2017 බ්ලොග් වසන්තය ද ඇරඹී ඇත! මේ මා ඒ සඳහා ලියන දෙවන ලිපියයි.

මුල් ලිපිය-

1. තිඹිරි ගෙඩි වැනි තන ඇති යුවතියක් හා විවාහ වීම - Spring, better late than never!
https://rasikalogy.blogspot.com/2017/04/blog-post.html



(image: http://techgirl.co.za/2016/01/14/back-to-work-after-a-holiday/)

13 comments:

  1. hodai hodai count eka bala bala post damu. habai ithin kiyawala manussayekata ganna nam deyak ne. Hariyata Rasikage life eka wage thamai.

    Liyanawanam wadagath deyak liyapan manussayo. pissu kunuharpa liyanne nathuwa.

    ReplyDelete
    Replies
    1. ඔබේ ප්‍රතිචාරයට ඉතා ස්තුතියි.

      ලියන කියවන අප සැම ගේ රුචි අරුචිකම් එකිනෙකාගෙන් වෙනස් ය.

      මා ලියන සමහර දේ ඔබට රුචි වීමටද, බොහෝ දේ ඔබට අරුචි වීමට ද ඉඩ ඇත. කැමති දේ කැමති පරිදි කියවන්න. අකමැති දේ කියවන්නට කරදර වෙන්න එපා.

      මගේ වත්මනත්, අතීතයත් යා වූ මේ සටහන මට නම් ඉතා වැදගත් එකකි.

      Delete
  2. වැඩිපුරම ලියපු රචනාව , මා නිවාඩු කාලය ගතකල හැටි

    ReplyDelete
    Replies
    1. එයට ප්‍රධානම හේතුව පාසල් නිවාඩුවෙන් පසු වැඩ ඇරඹීමට ගුරුවරුන් ගේ තිබුණු කම්මැලිකම බව නේද?

      Delete
  3. ඇනෝ කෙනෙක්වත් කියෙව්වෙ නැද්ද රචනාව?

    ReplyDelete
    Replies
    1. ඇනෝවෙක් තියා කැතෝවෙක් හෝ ඇමීබාවෙක් හෝ කියවූවේ නැත!

      Delete
  4. අපිට අඟහරුවාදාත් නිවාඩු... අද තමයි දුකසේ වැඩ පටන් ගත්තේ...

    ReplyDelete
  5. මාස දෙක හමාරක් ගෙදරට වී සිට දැන් සඳුදා සිට සිකුරාදා දක්වා උදේ හවා පැය දෙක බැගින් ධාවනයේ යෙදෙන නිසා බ්ලොග් කියවන්න වැඩි වේලාවක් ලැබෙනවා. අපේ නිවාඩු කාලෙ ඉවරයි. දිගටම වැඩ.

    ReplyDelete
    Replies
    1. වෙනත් අයෙකු විසින් පදවන වාහනයක තමන් ගේ පාඩුවේ ඉඳගෙන පොතක් පතක් කියවමින්, ජාලයේ කිමිදෙමින් ගමන් කිරීම ඉතා කාර්යක්‍ෂමයි!
      නව රැකියාවට ජයවේවා!!

      Delete
  6. මමත් සඳුදා ඇවිත් වරුවක් විතර ඉඳල ගියා.. ඊයෙ ආවෙම නෑ. අදත් ආවේ නාන්න ඇදගෙන යන බල්ලෙක් වගේ ... :))

    වෙලාවක අර රචනාව ලියමු බ්ලොග් එකේ.. එතකොට අපිට පුලුවන් කියවන්න.. 😊

    ReplyDelete
    Replies
    1. ඒ පහේ පන්තියේ රචනායි, දැන් ලියන ඒවායි අතර ඉතිං ලොකු වෙනසක් නෑ.

      ඒ කාලේ ඒවා මීට වඩා තරමක් රසයි!

      Delete

ඔබේ ප්‍රතිචාරය මට සතුටකි!. Your comments are most welcome!
සංයමයෙන් යුතුව ප්‍රතිචාර දක්වන්න.