Friday 5 May 2017

ලෙක්චර්ස් කට් වීම! - Lecturer no show - First case report


මේ කියන්නේ ශිෂ්‍යයින් ලෙක්චර්ස් කට් කිරීම ගැන නොව විශ්වවිද්‍යාල කථිකාචාර්යවරුන්ට ලෙක්චර්ස් කට් වීම ගැන ය.

මගේ ජීවිතයේ විශ්වවිද්‍යාලවල ගත කර ඇති කාලය මැනිය යුත්තේ අවුරුදුවලින් නොව දශකවලිනි. එය ප්‍රමාණයෙන් 2.2 ක් පමණ වේ.

එයින් රටවල් තුනක විශ්වවිද්‍යාල හයක ගත කළ ශිෂ්‍ය ජීවිත කාලය අත් හළ විට, පූර්ණකාලීනව කථිකාචාර්යවරයෙකු ලෙස ගත කළ කාලය දශකයකට වඩා මදක් වැඩි ය.

පාසලක ගුරුවරයෙකු කුමක් හෝ හේතුවක් නිසා සේවය සඳහා වාර්තා නොකළ විට, එක්කෝ සිසුනට ෆ්‍රී පීරියඩ් එකක් ලැබේ, නැතිනම්, වෙනත් ගුරුවරයෙක් පැමිණ සිසුන්ට යම් කිසි කාර්යයක් පවරයි.

නමුත්, විශ්වවිද්‍යාල දේශන සඳහා ඒ ක්‍රමය අනුගමනය කළ නොහේ. එක් කථිකාචාර්යවරයෙකු ගේ යම් දිනයකට නියමිත දේශනය කිරීමට හදිසියේ වෙනත් කථිකාචාර්යවරයෙකුට පැවරිය නොහැකි ය.

එනිසා, මා නම් මගේ කථිකාචාර්ය ජීවිතයේ ආදර්ශ පාඨය ලෙස සැලකුවේ "දේශන නොවරද්දා පවත්වමි!" යන්නයි. එසේ ම, මා විශ්වවිද්‍යාල ශිෂ්‍යයෙකු ලෙස ගත කළ කාලයේ දී දේශන අවලංගු වූ අවස්ථා තිබුණේ ද නැති තරම් ය.

එසේ නමුත්, ඒ දශකයකට මදක් වැඩි මගේ විශ්වවිද්‍යාල කථිකාචාර්ය ජීවිතයේ දී, මට තෙවරක් ම එදිනට නියමිත දේශනය අවලංගු කරන්නට සිදුවිය.

මේ ඒ අවස්ථා තුනෙන් මුල් අවස්ථාව පිළිබඳ කෙටි විස්තරයකි.

මේ කාලයේ (1994 පමණ) මා සේවය කළේ කැලණිය විශ්වවිද්‍යාලයේ කාර්මික කළමනාකරණ (Industrial Management) අධ්‍යයනාංශයේ ය.

එදින මා කෝට්ටේ සිට කැලණිය දක්වා යාමට මගේ නිසාන් මාච් රථයේ නැගී පිටත් වුණේ උදෑසන වාහන බහුල වේලාව මග හැර වුව ද, පාර්ලිමේන්තු පාර නමින් හැඳින්වෙන මාර්ගයේ තරමක තදබදයක් තිබුණි.

වැලිකඩ පොලිසියට පෙර ඇති හන්දියෙන් හරවා බොරැල්ල දෙසට (කොටා රෝඩ්) යෑමට මම නවත්වා ගෙන සිටියෙමි. මා ඉදිරියෙන් වූයේ, මා පසුව දැන ගත් පරිදි, පාසලකට සිසුන් ගෙන ගොස් ආපසු යන පරණ වෑන් රථයකි. වාහන දෙක අතර පරතරය ඉතා අවම විය.

කුමක් හෝ කරුණක් නිසා මගේ අවධානය මොහොතකට වෙනස් වූ පසු ඊළඟ මොහොතේ මට දැනුණේ, මගේ වාහනය ඉදිරියට ඇදී ගොස් පෙර කී වෑන් රථයේ වැදෙන ශබ්දය යි.

මා නොදැනුවත්ව ම තිරිංග බුරුල් වී ඇති අතර කල්ච් එක ද පාගා ගෙන සිටි නිසා වාහනය ඉදිරියට ඇදී ගොසිනි.

ඒය එතරම් විශාල හැප්පීමක් නොවී ය. මගේ වාහනයේ ඉදිරිපස සීරි තිබුණ ද, ඒ පැරණි වෑන් රථයේ සොයා ගත හැකි සීරිමක් පසුව වුව ද නොතිබුණි.

නමුත්, එහි දී සිදුවූයේ ඒ හන්දියේ සේවයේ යෙදී සිටි ට්‍රැෆික් පොලිස්කරුවෙකු පැමිණ පොලීසියට වාහන ගෙන යන ලෙස අපට දැනුම් දීමයි.

දැන් ඉතිං කුමක් කරන්න ද?

මගේ දේශනය තව පැයකින් ඇරඹිය යුතු ය. පොලීසියේ කර්තව්‍යය අවසාන වීමට පැයකට වඩා ගත වෙන බව පැහැදිලි ය.

මා කළේ, වැලිකඩ පොලිසියට ඔබ්බෙන් කෝට්ටේ පාරේ පිහිටි කඩ මණ්ඩියේ (ඒ කාලයේ) තිබුණු කාඩ් දමන දුරකථනයක් වෙත ගොස් විශ්වවිද්‍යාලයේ අධ්‍යයන අංශයට පණිවිඩයක් දී දේශනය අවලංගු කිරීමයි.

ඒ දේශනය අපේ කාර්මික කළමනාකරණ පාඨමාලාවේ සිව් වසරක විශේෂ උපාධිය හදාරන සිසුන් දහ දෙනෙකු පමණ පිරිසක් සඳහා පැවැත්වෙන එකක් වූ නිසා, ඒ සතියේ ම දිනක වෙනත් වේලාවක අවලංගු කළ දේශනය පැවැත්වීමට මට හැකි විය.

-රසිකොලොජිස්ට්

ප/ලි:
ඊළඟ දේශන අවලංගු කිරීම් දෙකම සිදුවූයේ වසර දහයකට පමණ පසු සිඩ්නි නගරයේ දී ය. ඒ පිළිබඳව පසුව අවශ්‍ය වුවහොත් ලියමි.



(image: https://unimelbadventures.wordpress.com/2013/03/18/attending-lectures-vs-listening-online/)

11 comments:

  1. මගේ නිසාන් මාච් රථයේ ///////මටත් තිබ්බා දොර දෙකේ

    ReplyDelete
    Replies
    1. ඇත්තටම ඒවාට කියන්නේ 3-Door කියලායි, පිටිපස්සේ හැච්බැක් දොරත් එක්ක!

      සීට් නවලා නගින්න බහින්න වෙන එක නම් වාතයක්. නමුත් ලොකු අවුලක් නෑ. එනිජිම 998 CC මට මතක හැටියට.

      Delete
  2. ට්‍රැෆික් බුවාටත් ඕන නැති මගුලක් නෑ වගේ වැඩ කරල තියෙන්නෙ.

    ReplyDelete
    Replies
    1. කාටවත් අනතුරක් නැත්තං... තර්ඩ් පාටියකට අවුලකුත් නැත්තං... මොන මගුලකට පොලිසි යන්නෙ?

      Delete
    2. ඒ ගොකරැල්ලේ, තංගල්ලේ සෙල්ලම් බෑ පාර්ලිමේන්තු පාරේ වැඩ කරන ට්‍රැෆික් පොලිස්කාරයින් දැක්කාට පස්සේ!

      Delete
  3. අපි නං ඉතිං ලෙක්චර් කට් කිරිල්ලම තමයි හිටං

    ReplyDelete
    Replies
    1. පික්චර්ස් බලමු කියල ඩාලිං කිව්වේ
      ලෙක්චර්ස් කට් කරගෙන මං ඔහෙ ආවේ
      ඇක්ටින් දමා මාත් සෝබන පෑවේ
      හන්ටර් වෙන තුරු මං ආලය කෙරුවේ!

      Delete
  4. Replies
    1. ධනාත්මක ප්‍රතිචාරයක්.....!!!

      ;-)

      Delete
  5. එවැනි සාධාරණ හේතුවකට සමාව ලැබිය යුතුය.


    ReplyDelete

ඔබේ ප්‍රතිචාරය මට සතුටකි!. Your comments are most welcome!
සංයමයෙන් යුතුව ප්‍රතිචාර දක්වන්න.