Wednesday 3 May 2017

උප්පැන්න සහතිකේ බුද්ධාගම්කාරයෝ? - What a joke?


"මුං උප්පැන්න සහතිකේ බෞද්ධයින් විතරයි!" කියා අපේ සමහරු වෙනත් අයට දෝෂාරෝපණය කරනවා ඔබ අසා දැක ඇති බවට සැක නැත.

එසේම, "මං ඉතිං උප්පැන්න සහතිකයේ බෞද්ධයෙක් විතරයි, පන්සලකට ගිය කාලයක් මතක නෑ!" යනුවෙන් සමහරු තමන් ගැන ම කියා ගන්නා අවස්ථා ද ඇත.

අප කුඩා කාලයේ ගුවන් විදුලියේ ප්‍රචාරය වුණු ළමා ගීතයක ද මෙලෙස කියවුණි.
නම ගම ආගම
ඉපදුණු දාතම
වගතුග ලියා ඇතී
හතරැස් කොළයක් මටත් තියෙනවා ගෙදරම තබා ඇතී
එය උප්පැන්න සහතිකේ,
එය උප්පැන්න සහතිකේ
මේ සටහන කියවන ඔබ සමහර දෙනෙකු හෝ හොඳින් දන්නා පරිදි, ඒ සියලු ප්‍රකාශවල ලොකු වරදක් ඇත. එය නම්, ආගම යනු උප්පැන්න සහතිකයේ පැත්ත පළාතේවත් සඳහන්ව නැති, අපේ උපතට පරිබාහිර වූ කාරණයක් වීමයි.

අපේ උප්පැන්න සහතිකය යනු කිසිසේත් ම අප එදිනෙදා අතපත ගා බලන, කියවන, ලේඛනයක් නොවේ. ඇත්තටම එය පාසලකට ඇතුළත් වීම, ගමන් බලපත්‍රයක් ලබා ගැනීම වැනි ජීවිතයේ දුලබ අවස්ථා කිහිපයක දී පමණක්, එහිදී ද අප නොව වෙනත් අය විසින්, යාන්තම් උඩින් පල්ලෙන් කියවා බලන සහතිකයක් පමණි.

එසේම, අවාසනාවකට මෙන්, මා කුඩා කාලයේ මුලින් ම ගායනා කෙරුණු, උප්පැන්න සහතිකයේ ආගම සඳහන් ය යන අසත්‍ය කාරණය රැගත්, පෙර කී ගීතය තවමත් ප්‍රචාරය වේ. පසු කාලීනව ඒ ගීය නැවත, නැවත ගායනා කර පටිගත කර ඇති ද බව පෙනේ.

මේ කරුණු සියල්ල නිසා, උප්පැන්න සහතිකයේ ආගම සඳහන්ව ඇත යන මිථ්‍යාව දිගින් දිගටම අපේ සමාජයේ රැඳී පවතී.

ඇත්තට ම, උප්පැන්න සහතිකයේ ආගමක් පිළිබඳ කිසිදු සඳහනක් නැත්තේ ඇයි?

එයට හේතුව නම් ආගම යනු අප උපතින් උරුම කරගන්නා දෙයක් නොවීමයි. අප උපන් දිනය, උපන් ස්ථානය, පියා සහ මව පිළිබඳ කාරණා අපට වෙනස් කළ නොහැකි දේ ය. නමුත්, ආගම යනු උප්පැන්න සහතිකයේ සඳහන් පුද්ගලයා ආහාරයට ගන්නේ බත් ද, ඉඳිආප්ප ද වැනි උපත හා බැඳී නැති, අවශ්‍ය පරිදි වෙනස් කළ හැකි කාරණයකි.

-රසිකොලොජිස්ට්

ප/ලි:
ලංකාවේ තවමත් භාවිතා වෙන උප්පැන්න සහතික ආකෘතියේ වෙනත් විවිධ වැරදි ඇත.

ඉන් එකක් නම්, පියා ගේ උපන් දිනය ද, උපන් ස්ථානය ද, තත්වය නොහොත් වෘත්තිය ද සඳහන් වෙද්දී මව ගේ උපන් දිනය සහ වයස ද සඳහන් වීමයි.

නීතිමය කාරණා නිසා මව හා පියා නීත්‍යානුකූලව විවාහ වී සිටින දෙපළක් ද වැනි කරුණක් උප්පැන්නයේ සඳහන් කිරීම කෙසේ වෙතත්, පියා ගේ රැකියාව වැනි දෙයක් ළමයෙකු ගේ උපතට අදාළ වන්නේ කෙසේදැයි සිතා ගත නොහැක.

එසේ ම, මවගේ උපන් දිනය සහ වයස යන දත්ත ද්වයම සඳහන් වෙන්නේ, මවගේ උපන් දිනය සහ දරු උපත සිදුවූ දිනය අතර පරතරය (අවශ්‍ය නම්) ගණනය කිරීම එතරම් අසීරු කරුණක් නිසා ද?

(image: http://www.rivira.lk/online/2015/08/26/18959)

43 comments:

  1. මීට වසර 4කට පමන ඉහතදී උග්‍ර වර්ගවාදීන් පිරිසක් මෙහෙයවන Polls නම් ෆේස්බුක් සමූහයක මා ක්‍රියාකාරිවී සිටියා - එහිදි එවැනි එක් වර්ගවාදියෙක් ආගම උප්පැන්න සහතිකයේ සටහන් ව ඇති බව ට යම් ප්‍රකාශයක් මා නිශ්ප්‍රභ කිරීම නිසා අදාළ පුද්ගලයා වියරු වැටී දැගලූ ආකාරය අදටත් මතකයි -මේ මිත්‍යාව බොහෝ සමාජ ගතවී ඇත්තේ ආගම අපේ රටේ මිනිසුන් අත්‍යවශ්‍ය දෙයක් ලෙස සලකන නිසා වන්නට ඇති

    ReplyDelete
    Replies
    1. ඇයි මතකද, ආගම වෙනස් කිරීම තහනම් කරනවා කියලා පනතක් ගෙන්න ගිහින් හෝල් සේල් ඇණ ගත්තා. මුං හිතන් ඉන්නේ ආගම කියන එක ගැහැණු/පිරිමි බව වගේ උපතින් ලද දෙයක් හෝ ගැබිණියක් වීම වගේ දෙයක් හෝ කියලායි!

      මට බය මුං ඊළමට ආගම උප්පැන්නේට ඇතුළත් කරන්න ඕනැ ය කියලා, මරාලා, විමලේලා, ගම්මංපිලලා, නානාසාරලා ලවා කැම්පේන් එකක් ගෙනෙයි ද කියන එකයි.

      Delete
    2. ඕක විවාදාත්මකයි. පුරවන ෆෝම් එකේ තියෙනවා. දත්ත ගබඩා වල තියෙනවා. කොලේ ප්‍රින්ට් කර නැහැ, කෙනෙක් උප්පැන්න ෆෝම් එක බලා "උප්පැන්නේ ආගම අහනවා" කිව්වොත් එය නිවැරදියි. කොලේ නොපෙන්නුවට දත්තයක් ලෙස පවත්වාගන්න බවයි මගේ මතය.

      Delete
    3. මගේ දරුවන් දෙදෙනාගේම උපත ලියාපදිංචි කළ අවස්ථාවලදී ආගම ගැන විමසීමක් නොතිබූ බව මට හොඳටම ෂූවර් - එහෙම දත්ත ගබඩාවක් තිබුනෙත් නැහැ -

      Delete
    4. ෆෝම් එකේ ද ආගම නැත!
      මේ විදෙස් රටක සිට උපතක් ලියාපදිංචි කරන ෆෝර්මයයි. ලංකාවේ ද භාවිතා වන්නේ මෙවැනි ආකෘති පත්‍රයක් යැයි සිතමි!
      http://www.slhcaust.org/wp-content/uploads/2012/12/Ceylon-Citizenship-Act1.pdf

      Delete
    5. //ඕක විවාදාත්මකයි. පුරවන ෆෝම් එකේ තියෙනවා. දත්ත ගබඩා වල තියෙනවා. කොලේ ප්‍රින්ට් කර නැහැ, කෙනෙක් උප්පැන්න ෆෝම් එක බලා "උප්පැන්නේ ආගම අහනවා" කිව්වොත් එය නිවැරදියි. කොලේ නොපෙන්නුවට දත්තයක් ලෙස පවත්වාගන්න බවයි මගේ මතය//
      මේක ගැන කාලෙකට ඉස්සර රසිකගෙ බුකි ස්ටේටස් එකකම කිව්ව මාත්. උප්පැන්නයට නැතිවුනත් දත්තයක් විදියට තියනව කියන එක නිවැරදියි.

      Delete
    6. රාජ්
      කොහෙන්ද/කොහොමද ඒ දත්තය එක්රැස් කරන්නේ?
      කවුද ඒ දත්තය රෙජිස්ට්‍රාර්ට ලබා දෙන්නේ? දෙමව්පියන් ද?

      Delete
    7. ළමයෙක් ලැබුනම හොස්පිටිතාලෙන් දෙන කොල කෑල්ල අරගෙන රෙජිස්ට්‍රාර් ලඟට ගියාම එයා දෙනව ඇප්ලිකේශන් එකක්. ඒකෙ තමයි ආගම තියෙන්නෙ. දෙමාපියන් ඒක පුරවල ආයෙත් එයාටම දුන්නම එයා තමයි උප්පැන්නෙ ලියන්නෙ. ඒ කියන්නෙ උප්පැන්නෙට ආවෙ නැතිවුනාට ඒ කඩදාසිය තියන කල් ආගම වශයෙන් සඳහන් කල දේ තියනව.

      Delete
    8. ඇත්ත. ඒත් මම නම් දරුවාගේ ඒ ෆෝම් එකේ ආගම කියන තැන ලිව්වේ දැනුම් තේරුම් ඇති දිනක ඇය විසින් තෝරා ගනී කියලා. පස්සේ මට කිව්වා ඒක දාන්න කියලා. මම කිව්වා මටත් ආගමක් නැති නිසා දරුවටත් නෑ කියලා. පැය දෙකක් විතර තර්ක කරලා පස්සේ මගේ ෆෝම් එක බාර ගත්තා.

      Delete
    9. Thanks Raj and KAS,

      ඒකත් එහෙමද?

      ලංකාවේ දී කළ දුව ගේ උපත ලියා පදිංචිය වැඩි ගැන විස්තර දැන් මතකයේ නෑ.

      පුතා ගේ උපත ලියා පදිංචි කළේ නම්, කැන්බරා මහ කොමසාරිස් කාර්යාලය හරහා. එහි දී භාවිතා කළේ මේ ආකාරයේ ෆෝම් එකක් එහි නම් ආගම නෑ.
      http://www.slhcaust.org/wp-content/uploads/2012/12/Ceylon-Citizenship-Act1.pdf

      අනික ඒ ආගම දත්තයට මොකද කරන්නේ? ෆෝම් එකේ ම තියෙනවා ද? නැතිනම් ඩේටා බේස් එකකට දානවාද?

      Delete
    10. ලංකාවේ භාවීතා වෙන අයැදුම් පත්‍රයට ලින්කුවක් රන්සිරිමාල් විසින් එවා තිබේ.

      http://www.gic.gov.lk/gic/pdf/b144.pdf

      Delete
    11. රජයේ පාසලකින් ලබා දෙන අස්වීම් සහතිකයේ පැහැදිලිවම ආගම සඳහන් වෙනව. ලංකාවෙ රජයෙන් ලබාදෙන සහතිකයක් විදිහට බැලුවොත් ඒක තමයි ආගම සඳහන් වෙන එකම සහතිකය (මා දන්නා තරමින්).

      Delete
  2. උපතින් ආගමක් හිමි වෙනවා කියන එක නම් seriously අවුල් සිින් එකක් නෙහ් ?

    ReplyDelete
    Replies
    1. උපතින් ආගමක් උරුම වෙනවා කියන්න පුළුවන්. නමුත් එය ඉඩමක් වැනි ඇසට් එකක් උරුමයට ලැබීම වගේ නොවෙයි මේක ලයබිලිටියක්!

      Delete
  3. පියාගෙ රැකියාව වැඩවසම් නටබුන් ... දරුවා හංවඩු ගැසිිමක්.

    ReplyDelete
    Replies
    1. කාලය දීපය දේශය පස් මහ බැළුම්වල කුලය කියන්නේත් තාත්තා ගේ රැකියාව නේ!

      ඉන්දියන් දෙමළ අය තමන් ගේ වල තමන් ගේ නමට අමතරව තාත්තා ගේ නමත් ලියනවා ඊළඟ පේලියේ.

      Delete
  4. ලංකාවෙ ජනාධිපති වෙන්න සිංහල බෞද්ධ වෙන්න ඕනෙ කියල ව්‍යවස්තාවෙ තියෙනව කියලත් වැරදි මතයක් තියෙනව. ඒකත් කොච්චර පෙන්නලම දුන්නත් සමහරුන්ට අමතක වෙනව​.

    ReplyDelete
    Replies
    1. එහෙම තියෙනවා ලු නේද එංගලන්තේ රජකමට, ස්කැන්ඩිනේවියන් රටවල්වල වගේ රජකම සඳහා. එංගලන්ත සභාව ඇති වුනේත් ඒ හින්ද නේ!

      ලංකාවේ නම් හින්දුන් සහ කතෝලිකයින් රජවෙලා තියෙනවා.

      Delete
  5. https://antioligarch.wordpress.com/2013/12/16/origin-of-birth-certificates/

    ReplyDelete
    Replies
    1. It was somewhat of an instrument of bondage.

      Delete
    2. ස්තුතියි.

      උප්පැන්නයේ ඇති බර්ත් ප්ලේස් එක වැදගත් වෙලා තියෙනවා ඉස්සර වගේ ම මෑතක දී ඇමරිකා එ.ජනපදයේත්, ජනාධිපති වෙන්න එරට ඉපදී තිබීම අනිවාර්ය නිසා.

      Delete
  6. මේ වෙනකන් මාත් හිතාගෙන හිටියේ උප්පැන්න සහතිකේ ආගම ලියල ඇති කියල.. කවදාවත් ඒක කියෝලා නෑනේ.. හැක්.

    ReplyDelete
    Replies
    1. අයියෝ සිරිසේන කිව්වලු!

      Delete
  7. උප්පැන්න සහතිකය කියන්නේ නීතිමය ලියවිල්ලක්. රටේ පවතින නීතිය අනුව යම් කරුණක් මත (නිල වශයෙන්) වෙනස් ලෙස සලකනවානම් එවැනි දේ උප්පැන්න සහතිකයේ තිබීමේ වරදක් නැහැ. (වෙනත් ලෙසකින් කියනවානම් පළමුව වෙනස් විය යුත්තේ උප්පැන්න සහතිකය නොව එසේ වෙනස් ලෙස සැලකීමයි.) හැම රටකම වගේ නීති පද්ධති අදාළ රටේ පුරවැසියන්ට සහ අනෙක් අයට වෙනස් ලෙස සලකන නිසා එය පැහැදිලිව සඳහන් වෙනවා. ඇතැම් රටවල් ආගම (මැද පෙරදිග රටවල්), කුලය (ඉන්දියාව) වැනි සාධක මත නිල වශයෙන්ම වෙනස් ලෙස සලකනවා. ලංකාවේ නීතියත් උපන් තැන (උඩරට නීතිය, තේසවලාමේ හා මුක්කුවා නීති), ජාතිය (තේසවලාමේ හා මුක්කුවා නීති), හා ආගම (මුස්ලිම් නීතිය) මත වෙනස් ලෙස සලකන නිසා ආගමත් උප්පැන්න සහතිකයේ තිබුණට කමක් නැහැ (විශේෂයන්ම පසුව ආගම වෙනස් කළ විට අදාළ වරප්‍රසාද නොලැබෙන නිසා). එවැනි වෙනස්කම් සිදුනොවේනම් ඇත්තටම ජාතිය කියන එකත් අවශ්‍ය නැහැ.

    ReplyDelete
    Replies
    1. ඇමරිකාවේත් ස්වදේශිකයින්ට අදාළ නීති තිබෙනවා. මම හිතන්නේ බොහෝ විට ඕස්ට්‍රේලියාවෙත් ඇති.

      Delete
    2. උපතට කෙලින් ම අදාල නැති, පසුව වෙනස් විය හැකි, දේ උප්පැන්න සහතිකයේ සටහන් කිරීම වරදක් බවයි මගේ අදහස.

      නම පවා වෙනස් කළ හැකි නමුත් එය නීතිමය ලෙස කරන දෙයක්. මෙහි ලා ආගම යන්න සටහන් කිරීම මට සාමන කළ හැක්කේ දෙමව්පියන් වෙජිටේරියන්ස්ලා ද, එග්ටේරියන්ස්ලා ද, චිකනටේරියන්ස්ලා ද වැනි කාරණයක් උප්පැන්නයේ ලිවීමටයි.

      ඩිමොග්‍රැෆි අධ්‍යයනයන් සඳහා අවශ්‍ය දත්ත සංගනනයේ දී එකතු කර ගත හැකියි.

      Delete
    3. ලංකාවේ මෙන්ම ඕස්ට්‍රේලියාවේ ද උප්පැන්නයේ ආගම නැත. අසන්නේ ද නැත.

      සංගනනයේ දී නම් එය අසන ප්‍රශ්නයකි!

      Delete
  8. උප්පැන්න සහතිකයට අමතරින් උප්පැන්නේ කියල ක්ලව්ඩ් ඩොකියුමන්ට් එකකුත් තියනවනේ, ඒකේ තමයි කුල මල අාගම් ඇද කුද විස්තර තියෙන්නේ, උප්පැන්න සහතිකේ වගේ නොවෙයි, උප්පැන්නට රැන්ක් එකකුත් තියනව.

    ReplyDelete
    Replies
    1. මරු කතාව. අන්න ඒක අනුව තමයි ඔය මං කියල තියෙන කතා ["මුං උප්පැන්න සහතිකේ බෞද්ධයින් විතරයි!", "මං ඉතිං උප්පැන්න සහතිකයේ බෞද්ධයෙක් විතරයි, පන්සලකට ගිය කාලයක් මතක නෑ!"] කියවෙන්නේ.

      නමුත් සින්දුව නම් වැරදියි. ඒකේ කියන්නේ හතරැස් කොලයක් ගැන නේ!

      Delete
  9. උපන් දිනය නිශ්චිතව නොදන්නා අයගේ ආසන්න වයස වත් දැනගැනිම වැදගත්, කෙටි කාලකදී පෝර්ම කීපයක් පිරවීමට ඇත්නම් ගණන් වරද්දගැනීමේ හැකියාව වැඩි නිසා වයස ලියන්න කොටුවක් දාන්න ඇති, ඒ කාලේ.

    ReplyDelete
    Replies
    1. පියාගේ උපන් දිනය ඇසීමත්, ලිවීමත්, අම්මාගේ උපන් දිනය සහ වයස දෙකම ඇසීමත් ලිවීමත් විහිළුවක් පමණයි. එය ෆෝර්මය සෑදූ සහ අනුමත කළ අය කළ වරදක්.

      Delete
  10. උප්පැන්න සහතිකේ ආකෘතිය විතරක් නෙමේ අපේ ගොඩක් දේවල් තියෙනවා ලෝකයත්,එක්ක සමාජයත් එක්ක වෙනස් වෙන්න ඕනේ.
    ලංකාව වගේ රටක මේ වගේ දේවල් වෙනස් කරන්න උත්සහා කරන එක අපහසු වැඩක්.

    ReplyDelete
    Replies
    1. ඔය ෆෝර්ම සහ සහතික ආකෘති පත්‍ර වෙනස් කිරීම නම් ඉතා සරල දෙයක්. ඒවාට කැබිනට් අනුමැතියවත් අවශ්‍ය නෑ!

      Delete
  11. MAGE UPPANNE THIYENNE CAPITAL WALIN.

    ReplyDelete
  12. මුස්ලිම් මනුස්සයෙක් ගේ උප්පැන්න සහතිකේ, ජාතිය කොහොම සටහන් කරනවද? ඒක මුස්ලිම් කියල ලිව්වොත් ආගම නිකම්ම අහුවෙනවනෙ

    ReplyDelete
    Replies
    1. ඒක හොඳ පොයින්ට් එකක්.

      අරාබි නම් තියෙන අය නම් ඉන්නවා (වෙනත් රටවල) ක්‍රිස්තියානිකාරයින්.

      ලංකාවේ දී නම් මා අසා තියෙන කාරණයක් තමයි, බැඳපු ගැණිගෙන් වෙන් වෙලා, නමුත් දික්කසාද නොකර දෙවෙනි විවාහයක් කර ගන්න සිංහල මිනිස්සුත් මුස්ලිම් නම් අරගෙන ඉස්ලාම් ක්‍රමයට බැඳලා තියෙනවාය කියන කතාව.

      Delete
    2. ඒක ඇත්ත. මම උසස් පෙළ කරන කාලේ බම්බළපිටියෙ තිබුණ රෝයල් ටියුශන් පන්තියක් භෞතික විද්‍යාවට. ඒක කලේ ඒ දවස්වල නම් දරාපු පොරක් චන්ද්‍රතිලක කියල. මේ හාදයත් ආගම වෙනස් කරග්ත්තා පන්තියේ හිටපු කෙල්ලක් විවාහ කරගන්න. රසික ලාගේ කාලෙ හිටියාද මන්ද. මේක වුනේ 1976/77 වසරේ.

      Delete
  13. උප්පැන්න සහතිකයේ නැති වෙලත් ආගම් ගැන මිනිස්සු වද වෙන තරම් තිබ්බනම් වැරදිලාවත් , අපේ අම්මා ඉපදෙනකොට ආච්චි අම්මා සීයා බැදලා ඉදලා නෑ. (එයා පවුලේ පළමු දරුවත් නෙමේ) අම්මගේ උප්පැන්නේ තාත්ගේ නම නැති නිසා පාස්පෝර්ට් එක හදන්න ගිහින් ගොඩක් කරදර වුණාලු, උප්පැන්න සහතිකේ මගින් උපදින දරුව රටේ පුරවැසියෙක් විදියට නීතිමය වශයෙන් සතිකයක් ලබාගන්න එකට දෙමාපියන්ගේ විවාහ සහතිකය අත්‍යවශ්‍ය වෙන එක මහා අසාදාරණයි. ජීව විද්‍යාත්මක පියා ගැන යම් තොරතුරක් තිබීම හොදයි ඒත් ඒක අනිවාර්‍ය විය යුතුමද,

    ReplyDelete
    Replies
    1. ඔය වගේ තවත් අසාධාරණ දේවල් ගැන මා අසා තියෙනවා.

      1. ළමයින් ගේ පුරවැසිකම පිළිබඳව තාත්තාව පමණක් සැලකීම

      2. පිරිමියෙකු විදෙස් කාන්තාවක බැන්දාම ඇයට ලාංකික පුරවැසිකම ඉබේම ලැබුනත්, ලාංකික කාන්තාවක හා විවාහවෙන පිරිමියෙකුට පුරවැසිකම සඳහා අයැදුම් කරන්නට වීම

      3. කාන්තාවන්ට මත්පැන් මිළට ගන්නට නොහැකි ලෙස නීතියක් තිබීම.

      තාමත් මේ යල් පැන ගිය නීති තියෙනවා ඇති!

      Delete
  14. The form available from Sri Lanka government website does not ask for religion at all. This is the form listed for registering a birth that occurred at home or a hospital in Sri Lanka.

    http://www.gic.gov.lk/gic/pdf/b144.pdf

    ReplyDelete
    Replies
    1. ස්තුතියි රන්සිරිමාල්.

      හයිකොමිෂන් එකෙන් දෙන ෆෝම් එකේතා ආගම නෑ, එනිසා කීයටවත් ලංකාවේ ෆෝම් එකේ ආගම තියේයැයි රාජ් සහ සුජීව කීවාට මා විශ්වාස කළේ නෑ!

      Delete
  15. ආගම උපතින් උරුම නොවන දෙයක් ඉතා පැහැදිළි කරුණක්ව තියෙද්දිත් ඒක උප්පැන්න සහතිකේ තියනවයි කියල හෝ නැතිනම් ඇතුළත් කරන්න ඕනැ කියල හෝ තර්ක කිරීම මුග්ධකමකි.

    ReplyDelete
  16. මිනිහෙකුගේ අක්මුල් වලලා දැමීම සංස්කෘතිය විනාශයට ඉක්මන් කමකි.ඉස්ලාමිකයකුට ඔය සහජීවනේ කියලා දෙන්නකො.

    ගාල්ලේ සරත් මුණසිංහ

    ReplyDelete

ඔබේ ප්‍රතිචාරය මට සතුටකි!. Your comments are most welcome!
සංයමයෙන් යුතුව ප්‍රතිචාර දක්වන්න.