Monday, 29 June 2015

රසික සර් නොහොත් සමානයින් අතර අසමානයින් ගැන කතාවක් - Sir Rasika (Day I was knighted!)


මා කලින් ලිපියක කියූ පරිදි, රජෙකු විසින් වහලුන් පාලනය කරන ආකාරයේ වැඩවසම් සමාජයකට අප කැඳවා ගෙන යෑම වෙනුවෙන් අද පෙනී සිටින හිටපු වාමාංශිකයින් සැම දෙනාම පාහේ, තරුණ කාලයේ දී නම් පෙනී සිට ඇත්තේ සමාන සමාජයක් හෙවත් සමසමාජයක් වෙනුවෙනි.

ඒ කියන සමසමාජය යනු ලොවේ සියලු දෙනා සමානයින් ලෙසින් ජීවත්වෙන, ලොවේ සියලු සම්පත් ද සැම දෙනා අතර සමානව බෙදී ඇති උත්තර සමාජයකි.

තමන් අපේක්‍ෂා කරන එවැනි සමානත්වයක් සැබැවින් ම ප්‍රායෝගිකව ගොඩ නගා ගන්නා තුරු, ඒ සමසමාජ ව්‍යාපාරයේ නිරත වුණු අය තමන් එකිනෙකා අමතන්නට යොදා ගත්තේ "සහෝදරයා" සහ "සහෝදරිය" යන වදන් ද්වයයිි. මේ "කොම්රේඩ්" යන ඉංගිරිසි වදන සිංහලට පෙරළා ගැනීමකි.

"කොම්රේඩ්" යන්නේ මුල් අරුත කෙසේ වෙතත්, එසේ සහෝදර-සහෝදරියන් යන වදන් යෙදා ගැනීමෙන් අදහස් කෙරුණේ, සමානත්වය බව අමුතුවෙන් කිව යුතු නැත.

එසේ වුවද, ඒ "සහෝදරයා", "සහෝදරිය" යනුවෙන් කළ ආමන්ත්‍රණය, අද සමාජයේ දක්නට ලැබෙන "අයියා, මල්ලී, අක්කී, නංගෝ" ඇමතුමට වඩා සම්පූර්ණයෙන් වෙනස් එකක් බව නම් විශේෂයෙන් කිව යුතු කරුණකි.

ජනතා විමුක්ති පෙරමුණ 2005 දී මහින්ද රාජපක්‍ෂ දිනවන්නට කටයුතු කරද්දී ඔවුන් මහින්ද රාජපක්‍ෂව ඇමතුවේ "මහින්ද අයියා" කියා බවද, ඊට සමාගාමීව යමින් මහින්ද ජවිපෙ නායකින්ව ඇමතුවේ "ටිල්වින් මල්ලී", "විමලසිරි මල්ලී" යනාදී වශයෙන් බව ද එකල පුවත්පත්වල ලියවී තිබුණි.

සහෝදරයා වෙනුවට "අයියා-මල්ලී" ආදේශ වීමත් සමගම සමානත්වය නැති වී යයි. එක පවුලේ වීම නිසා හෝ ඥාති සම්බන්ධයකින් හෝ සැබවින්ම "අයියා-මල්ලී" නොවෙන අය එකිනෙකා "අයියා-මල්ලී" කියා අමතා ගැනීම යනු "හයිරංකාර-බලු ගැත්තර" සංකල්පයකැයි යන්න මා දරන මතයයි.

එක හා සමාන මිනිසුන් එකිනෙකා ගෙන් අසමාන ලෙස සැලකෙන්නේ ද, අද සමාන මිනිසුන් හෙට අසමානයින් වෙන්නේ ද පුදුම සහගත අයුරිනි.

උදාහරණයක් ලෙස, 2005 ජනාධිපති ඡන්දය කලයේ සිටි "මහින්ද අයියා" සහ "විමලසිරි මල්ලී" ඡන්දෙන් පසුව ද තවමත් එකිනෙකා පෙර පරිදිම අමතනවා ඇතැයි සිතනවාද?

මා හිතන්නේ නම්, ඡන්දෙට පෙර "මහින්දයියා" ජනාධිපති වූ පසු සර් ලෙසට ද, ඡන්දෙට පෙර "විමලසිරි මල්ලී" පසුව "විමල්" හෝ "විමලේ" ලෙසට ද පරිවර්තනය වෙන්නට ඇති බවයි.

සමාජ ධුරාවලියේ සමාන නැති නම්, යම් අයෙකු ගේ නමින් ඇමතීම අකැප සේ ගැනේ. පහළ සිට ඉහළට ඇමතීමේ දී, සර් ලා, මහත්තයා ලා, මැඩම් ලා, නෝනා ලා බිහි වෙන්නේ එනිසා ය. ඉහළ සිට පහළට ඇමතීමේ දී ඒ නම් භාවිතා නොවී පුද්ගල නාමය ප්‍රයෝජනයට ගැනේ.

අපට වඩා කලින් පරම්පරාව ගැන සලකා බලන කල, සිනහවට කාරණයක් නම් විවාහ සංස්ථාවේ සමාන දෙපාර්ශවය වෙන සැමියා සහ බිරිඳ එකිනෙකා අමතා ගැනීමේ දී අසමාන වචන භාවිතා කිරීමයි. බොහෝ විට සිදුවෙන පරිදි සැමියා ලොක්කා නිසා ඔහු "මහත්තයා" වේ. මහත්තයා පෙරළා තම බිරිඳ අමතන්නේ "නෝනා" කියා නම් එයින් හැඟෙන්නේ සමානත්වයයි. නමුත්, එය එලෙස නොවී "මේ", "ඕයි", "ඇහුණද?" යනාදී වදන් භාවිතා වේ නම් එයින් යම් පීඩාකාරී සම්බන්ධයක් කියවේ.

මෙන්න දැන් අපූරු සිදුවීමක්.

මා උසස් පෙළ විභාගයෙන් පසු විශ්ව විද්‍යාලයට ඇතුළත් වූයේ මාස දා හතරකට පසුවය. ඒ වන විට, ඊළඟ වසරේ උසස් පෙළ විභාග ද අවසන් වී තිබුණි. විශ්ව විද්‍යාලයේ සිව් වසරක් සහ මාස දෙකක් ගත කළෙමි. එයින් පසු පුරා වසර පහක් වෘත්තීය කටයුතුවල ද, අධ්‍යාපන කටයුතුවල ද නිරත වුණු මම හයවෙනි වසරේ වෙනත් විශ්ව විද්‍යාලයක කථිකාචාර්යවරයෙකු ලෙස සේවයට බැඳුනෙමි.

මගේ මුල්ම දේශනය පවත්වන්නට ශාලාවට ගිය මට දක්නට ලැබුණේ මා සමග නමවෙනි ශ්‍රේණියේ සමාන්තර පන්තියක ඉගෙනුම ලැබූ සගයෙකු ඒ තුන්වෙනි වසරේ සිසුන් අතර සිටින බවයි!

සිදුවී තිබුණේ මෙයයි.

මගේ පාසල් සගයා මුල්වර උසස් පෙළ ලියා ඉන් පසු රැකියාවකට යොමු වී ඇත. විශ්ව විද්‍යාලයට පැමිණ ඇත්තේ ඒ අතර කාලයේ නැවත උසස් පෙළ විභාගය සමත් වූ පසුවයි. විශ්ව විද්‍යාල ද විටින් විට වසා තිබීම ද ඔහු අවුරුදු විසි අටක් වයසැති තෙවන වසර සිසුවෙකු කිරීමට දායක වී ඇත.

දේශනය අවසානයේ ශාලාවෙන් ඉවත දී ඔහු ඇමතූ "මම කොහොමද උපුල් මාව මතකද? අපි නමේ පන්තිවල එකට හිටියා නේද? මං හිටියේ ඒ පන්තියේ උපුල් ඩී පන්තියේ නේද?" කියා ඇසුවෙමි.

"මතකයි, සර්, මතකයි!" ඔහු පැවසීය.

මගෙන් ඔහුට ඇමතුම එදා "මචං" හෝ "උඹ" යන්නෙන් අද "උපුල්" බවට පෙරළී තිබුණි. උපුල්ගෙන් මට ඇමතුම එදා "මචං" හෝ "උඹ" යන්නෙන් "සර්" ලෙසට වෙනස් වී තිබුණි.

-රසිකොලොජිස්ට්

ප/ලි:
උපුල් ගේ නිදහසට කරුණු ලෙස කියනවා නම්, එදා දේශනයෙන් විනාඩි කිහියකට පසුව සිදු වූ ඒ කතා බහේදී ඇතිවූ තරමක තිගැස්සීමක් නිසා සර් යැයි කියවුණද, ඉන් පසුව උපුල්ට මට සර් කියා අමතන්නට සිදුවුණේ නැත!

(image: https://www.facebook.com/SriLankanoldtvads)

40 comments:

  1. Rasika why didnt you call him "Machan" that day too?

    I think you were a lecturer back in the day. What did you call your students?

    ReplyDelete
    Replies
    1. මා එදා උපුල්ව හදිසියේම දැක්කේ වසර පහලොවකට පෙර නමවෙනි ශ්‍රේණියේ දී දුටුවායින් පසුවයි. ඒ ඉතා දිගු කාලයකි. ඊට අමතරව උපුල් සහ මා එකම පන්ති කාමරයේ සිටි අය නොවේ. ඔහු සමග මා ඒකාලයේ වචන කිහිපයකට වඩා කතා කර නැත.

      මිත්‍රත්වයක් ඔයා හෝ නමේ හෝ සිට මචං සහ උඹ දක්වා වර්ධනය වීමට කාලයක් ගතවේ.

      මේ පහත ලිපිය කියවන්න. මගේ අදහස් තවත් අපූරු සිද්ඳියක් සමග එහි විස්තර කර ඇත.
      http://rasikalogy.blogspot.com/2015/05/some-questions-make-you-speechless.html

      Delete
  2. සංකීර්ණ ප්‍රශ්ණයක්.. මටත් ඔය නයිට් නාමයක් හම්බෙලා තිබ්බ කාලයක්. ඒ කාලේ හිටපු උන් දැනුත් එහෙම කියනකොට මං අපහසුතාවෙට පත් වෙනව.. ඒ වගෙම උන්ට මං දැන් මචං කියනකොට උනුත් අපහසුතාවෙට පත් වෙනව.. හැක්.

    ReplyDelete
    Replies
    1. ලොකුකම්, පොඩිකම් තැබෑරුමේ නෑ,
      අපි කවුරුත් සමසමාජයයි!

      Delete
    2. අඩෝ මිලිටරියා

      Delete
    3. සමහරවිට (KM ට නම්) Night නාමයක් වෙන්න පුලුවන්

      Delete
    4. Pra Jay.. ඉස්සර Knight දැන් Night :p

      Delete
    5. අපි ඉතින් දිනා ජයගත් මිනිස්සු නිසා අපිත් එක්ක එළියේ හිටපු ගොඩක් පොරවල් ආපේ යටතට තමා වැටෙන්නේ.
      ඉතින් හමුදාවේ තියෙනවා අත්හැරිය නොහැකි ඇන්ටි-ඉගැලිටරිඅන් මෙතදොලොගියක්. ඒක මොන සමාජ සංසෝදනය ආවත් වලක්වන්න බැරි.

      ඉතින් අනිත් උන් ගමේ ගිහිල්ල කියනවා "අරුගේ දැන් හෙන ඔලුව බන්"
      මොකද නයිට් නාම දෙන්න එපා කියලා හමුදාවේ පැවැත්ම නැති කරගන්න බෑ

      Delete
  3. මාත් එක්ක නවයේ පන්තියේ හිටපු කෙනෙක් ආමි එකේ කෝප්‍රල් කෙනෙක් විදිහට ඉඳලා පැන්සොන් ගිහිල්ලා අද බ්ලොග් ලියනවා ඉහළ නිලධාරියෙක් වගේ පේන්න. ළඟදි දවසක් හම්බ වෙච්චි වෙලාවක මට සැලියුට් එකක් ගහලා "සර් නැද්ද රුපියල් සීයක් විතර ගන්න?" කියලා ඇහුවා. මම රුපියල් විස්සක් දුන්නම "සර්ට අනේක වාරයක් පිං" කියලා දෙකට නැවිලා වැඳලා ගියා.

    ReplyDelete
    Replies
    1. අමූලික ඇත්තක් බව පෙනේ!

      Delete
    2. //මාත් එක්ක නවයේ පන්තියේ හිටපු කෙනෙක් ආමි එකේ කෝප්‍රල් කෙනෙක් විදිහට ඉඳලා පැන්සොන් ගිහිල්ලා අද බ්ලොග් ලියනවා ඉහළ නිලධාරියෙක් වගේ පේන්න. //

      අපිත් දුටුවෙමු!

      Delete
  4. මමත් එක්ක එකට සෙල්ලම් කරපු එකට පාඩම් කරපු කීපදෙනෙක්ම අද මම වැඩ කරන ආයතනයේම පහළම ස්තරයේ සේවකයෝ වෙලා. අපි පෞද්ගලිකව හම්බුනාම නම් මහත්තයා සර් කියන්නේ නෑ ඒත් වෙන අය ඉදිරියේදි නම් උන් එහෙම කියනවා.

    අනික දැන් උන් මට තනියම ඉන්න වෙලාවකදිවත් උඹ, මචන් කියන්නේ නෑ. ඒක ඔයා මෙයා ට පරිවර්තනය වෙලා කාලෙත් එක්ක.

    ReplyDelete
    Replies
    1. මං කලින් දවසක ලිව්වා වගේ මිතුරු කම් ඔයා ගෙන් මචංට, මචංගෙන් උඹට පරිවර්තනය වෙන්න කාලයක් යනවා. නිතරම ඇසූ නැති වුනාම ආපහු කලින් මචං ලාත් ඔයා ලා වෙනවා!

      Delete
  5. අපි වැඩි හරියක් දේවල් ඉගෙනගත්තේ විධිමත් අධ්‍යාපන ආයතනවලින් නෙවෙයි. ඇත්තම කියතොත්, ඒවායෙන් සහතික කෑලි ටිකක් එකතු වුණා ඇරෙන්න ලැබුණේ බොහෝම ටිකයි. හැබැයි ඒවායෙන් මේ අසමානත්මතාවය පට්ට විදියට තහවුරු කරනවා; පුහුණු කරනවා. හරියට එහෙම නොවුණානම් අධ්‍යාපන වැඩේ කරන්න බෑ වගේ. හැබැයි අපි එළියෙන් ඇත්ත අධ්‍යාපනයක් ලබපු තැන්වල ඒ කියන විදියේ ‘ගුරු ගෞරව‘ රැක්කේ නෑ; හැබැයි වැඩියෙන්ම පලදායි අධ්‍යාපනයක් ගත්තා. අන්තිමට බලන කොට අර විධිමත් ආයතනවලින් අසමානත්වය ප්‍රැක්ටිස් කිරිම හැර කරපු මඟුලක් නැති තරම්. පවුල, ඥාතීත්වය, ආගමික ආයතන, වැඩපොළ..... ඔය හැම තැනම ගැන මට දැනෙන කතාව ඕකම තමයි ඉතින්

    ReplyDelete
    Replies
    1. මාත් ඔය හැම අත්දැකීමක්ම ලැබුවා, නමුත් ඒවායින් ම තමයි හැකිතාක් දුරට හෝ නිදහස්ව හිතන්නත් ඉගෙන ගත්තේ.

      Delete
  6. රසික මම බ්ලොග්කරුවන්ගේ හමුවකට ගිය වෙලාවක මට හරියට ලජ්ජා හිතුනා එක බ්ලොග්කාරයෙක් ඇවිල්ලා මට සර් කියලා කතා කළාම. එතකොට මම කිව්වා ඔයත් බ්ලොග් ලියනවා මාත් බ්ලොග් ලියනවා ඇයි මට සර් කියන්නෙ කියලා.

    ReplyDelete
    Replies
    1. අරුණ සර් කියලා නම් බ්ලොග්කාරයෙකු හිටියා, තාමත් ඉන්නවා ඇති, ඒ පාසල් ගුරුවරයෙක්!

      Delete
  7. පාසල් වියේ යාළුවන් අද අපට වඩා ඉහල තලයක ඉන්දෙද්දී....... ඔවුන්ට කතා කරන්න අප මාලි වනවා. ඔවුන් අපිව නොසලකාවී යන මතයට අනුව.....
    වරෙක සමහරු එලෙසින් අපව ගණන් නොගන්නවා බව සැබෑව. .... ඒ ඔවුන්ගේ උද්ධච්ච කමයි. තැනකට ආවම මුල අමතක වීම.
    මේ ආකාරයෙන් ගණන් නොගැනීම හා ගණන් ගැනීම යන අත්දැකීම් දෙකටම මා ලක්ව ඇත. ඔබත් ලක් වන්නට ඇති....
    මෙලෙස සිදුවන්නේ නම්..... අප ඔවු වෙත .... හැසිරිය යුත්තේ කෙසේද....?

    ReplyDelete
    Replies
    1. සේරටම වඩා මූලිකවම වැදගත් තමන් ස්වාධීනව සිටීම කියලයි මට හිතෙන්නේ. අපිට අනුන්ට ආදර්ශයක් සපයන්න හැකියි, නමුත් අනුන්ට කෙලින්ම බලපෑම් කරලා ඒ අයගේ චර්යාවන් වෙනස් කරන්න බෑ!

      Delete
  8. කියනවා වගේ නෙවෙයි මුහුණ දෙන්න ගියාම මේ තත්ත්වයට. එකිනෙකාගේ මානසික මට්ටම අනුව රඳා පවතින දෙයක්

    ReplyDelete
    Replies
    1. ඒ නිසාම, අප කළ යුත්තේ අපිට අනුන්ට ආදර්ශයක් සැපයීම කියායි මට හිතෙන්නේ, නමුත් අනුන්ට කෙලින්ම බලපෑම් කරලා ඒ අයගේ චර්යාවන් වෙනස් කරන්න බෑ!

      Delete
  9. //පුරාණ රාජ යුගය තවම අවසන්ව නැත. මහජන යුගය පැමිණීමට තව කල් තිබේ// - ආනන්ද කුමාරස්වාමි(මධ්‍යකාලීන සිහපල කලා) රසිකගේ ආකල්පය සහිතව සිටින කවුරු වුවත් ඔය අත්දැකීමට තවත් කලක් මුහුණ දේවි. අපේ වාමාංශිකයන් පෙරලියට අහුවෙලා තියන විදිහ දැක්කාම කේන්තියනවාට වඩා හිනා යනවා.

    ReplyDelete
    Replies
    1. අපේ අවාසනාව කියන්නේ ඔය කතාව ආනන්ද කුමාරස්වාමී ලියන්න ඇත්තේ අවුරුදු සීයකට, ශතවර්ශයකට විතර කලින් නේද?

      මහජන යුගය තාමත් නෑ!

      Delete
  10. සංස්කෘතිය නේද?
    බටහිර ( හා බටහිරයින් නිසා ක්‍රිස්තියානිවූ රටවල ) තමන්ගෙ උසස්ම පුද්ගලයට කියන්නෙ නිකම්ම ජීසස්.
    ජනාධිපති මිස්ටර් ප්‍රෙසිඩන්ට්. රැජින/රජුට කතාකරන කොට යුවර් මැජස්ටි හෝ ඉන්ෆෝමල්නම් නිකම්ම මෑම් /මැඩම් හෝ සර්, ඒත් රිෆර්කරන්නෙ නිකම්ම ක්වීන් හෝ කිං කියල
    ආසියාවෙ කොහොමද? විශේෂයින්ම සිරි ලංකාවෙ !
    ලඟදි මට ක්‍රීඩා සංගමයක (ක්‍රිකට් නොවේ ) ඊමේල් එකක් ලැබුන අන්තර්ගතයෙ හැමතැනම තිබුනෙ Honourable President Honourable Secretary.

    කැප්ටන්ටත් ලඟදිම ගරු නායක කියයි. සමහරවිට පසුව "ශ්‍රී ලංකා පිලේ ගරු කඩුලුරකිනතුමා" වගේ අහන්නත් පුලුවන් වෙයි

    ඉස්සර සල්ලි නොගෙන කරන සේවයට (Honorary) ගරු හරි විදිහට යෙදුව. ගරු භාණ්ඩාගාරික, ගරු රඟපෑම.
    පාර්ලිමේන්තුවෙදි වෙස්ට්මිනිස්ටර් ක්‍රමයට (Honourable) ගරු යෙදුව.

    දැන් මයික් එකකින් කවුරුහරි ගැන කතාකරන හැම වෙලාවෙම ,ඕනැ මීටිං එකක ගරු වැහි වහිනව

    ReplyDelete
    Replies
    1. ගරු කමෙන්ට්කාර මැතිතුමනි,

      ඔබට ස්තුතියි.

      මේ
      ගරු බ්ලොග්කාර මැතිතුමා!

      Delete
    2. අර ක්‍රීඩා සංගමයේ ලියුම ලියපු කෙනාට නම් honorary සහ honarable පැටලිලා වෙන්න ඇති.

      Delete
  11. රසික මේ පිංතූරේ ඉන්නෙත් වහලෙක්ද?

    ReplyDelete
  12. අපිට නම් කවුරුත් සර් කියන්නෙ නෑනෙ........... ඒ හින්දා ඔහොම ප්‍රශ්න නෑ. ;-)

    හොඳම වැඩේ කියන්නෙ ලංකාවෙ සර් කියන එකේ ස්ත්‍රී ලිංග වචනෙ විදියට පාවිච්චි කරන්නෙ "මිස්". ඒ නිසා අපහසුතාවයට පත් වෙන වෙලාවලුත් නැත්තෙම නෑ.

    ReplyDelete
    Replies
    1. මැඩම් කියාත් කියනවා නේද? මට නං ඇහිලා තියෙනවා!

      Delete
    2. මැඩම් කියන වචනය ජර්මනියේ කාන්තාවකට භාවිතා කලහොත් ඇය අපහසුතාවයට පත් වන්නට හැකියි

      Delete
    3. ඔව් මට ඕක මම පොඩි කාලේ බීච් එකේ හම්බවෙච්ච ජර්මන් සුද්දියෙක් කීවා. මට ඕක එච්චර ක්ලික් වුනේ නෑ ඇයි ඒක ඔෆෙන්සිව් කියලා. යකෝ කාලයක් යනකොට දැනගත්තේ ළමයි ඔක්කොටම උදව් කරන කවදාවත් කසාදයක් නොබදපු(මම හිතන්නේ මොකක් හරි රේන්බෝ කේස් එකක්. දැන් තමා තේරෙන්නේ ) ඒ මනුස්සයාට වේස මඩු අයිතිකාරියක් කියන එකට කොච්චර අප්සට් යන්න ඇතිද කියලා

      Delete
  13. සමාජවාදී දේශපාලඥයො ගැන කතා කරනකොට මතක් වෙන්නෙ 2004 ආණ්ඩුවේ ජවිපෙ ඇමතිවරු හතරදෙනා.
    එයාලගෙ ලේකම් සහෝදරවරු ඇමතිවරු ගැන සඳහන් කරනකොට කටපුරාම ඇමතිතුමා කියල කිව්වෙ. අපූරුවට ඇමති සහෝදරය කියල කියන්න තිබුනනෙ. (උදාහරණයක්: ඇමතිවරයා කෑමට ගිය වෙලාවෙ අපි කාර්යාලයට ගිහින් ඇහුවොත් කියන්නෙ “ඇමතිතුමා කෑමට ගියා“ කියල.) සමහරවිට එයාල සමාජවාදියො වුනාට ඇමතිකම් ගත්තෙ ධනපති ආණ්ඩුවකින් නිසා වෙන්න ඇති එහෙම වුනේ නේද?

    ReplyDelete
  14. ඔය අයිය මල්ලි කේස් එක කොහෙන් ආවද මන්දන්නෙ නෑ. අපූරුවට මචං කියල හරි මස්සිනා කියල හරි කතා කරනකොට පුදුම සනීපයක්, ලෙන්ගතුකමක් හිතට දැනෙනව. හැබැයි ස්ත්‍රී පාර්ශ්වයට නෑනා කියල කතා කරන සංස්කෘතියක් නැති එකයි ගැටළුව. නම දන්නෙත් නැත්නම් වයස දන්නෙත් නැත්නම් කොහොම කතා කළොත් ද හොඳ? මමනම් අතට අහුවෙන වචනයක් පාවිච්චි කරනවා “බබා“ වගේ.

    Example:
    පොඩ්ඩක් එහාට වෙයං මචං මට මේ බෑග් එක ගෙනියන්න ඉඩ මදි.
    පොඩ්ඩක් එහාට වෙන්න බබෝ මට මේ බෑග් එක ගෙනියන්න ඉඩ මදි.

    ReplyDelete
  15. මට නම් හිතෙන්නේ මොනවා උනත් උපුල් ඒ වෙලාවේ කතාකරපු විදිහ හරි. මොකද අනිත් අය ඔය දෙන්නගේ පරණ ඇදුනුම් කම නොදැන ඉද්දී බැරි වෙලා හරි උපුල් " මචං " කියලා කතා කරානම් ඒක රසික අයියටමයි හොද නැත්තේ.

    ReplyDelete
  16. මම ලංකාවේ වැඩ කරපු ඔෆිස් එකේ අයිතිකාරයට ත් කතා කරේ නිකම්ම නම කියලා. මේ රටෙත් නම විතරයි. මට ඉතිං ඕක පුරුදු වෙලා ලංකාවේ මිනිස්සුන්ට නම කියල කතා කෙරෙනවා 'මිස්ටර්', 'මහත්තය' කෑලි නොදා. ඒත් ඒක ගොඩක් අයට අප්සට් කියල තේරෙන නිසා අමුතුවෙන් හිතලම 'නම්බුනාම' දීල කතාකරනවා.
    පුද්ගලිකව මට නම් මොකක් කිව්වත් ගානක් නෑ. කව්රි හරි 'නම්බුනාම' බලාපොරොත්තු වෙනව කියල හිතෙනවා නම් මම එයාට එහෙම කතා කරනවා.

    ReplyDelete
  17. විවි ආචාර්ය වරුන්ට මහපට ඇඟිල්ලෙන් වලක හාරමින් සර් කියන එක නම් ලංකාවේ "හයිරංකාර-බලු ගැත්තර" කුණුහරුපයකි. එය අයියා-/අක්කා-මල්ලි/නංගි සීන් එකට වඩා බෙහෙවින්ම චාටර්ය.

    පළමු උපාධිය ලංකාවෙන් පිටරටකදී ගත්ත කෙනෙක් ලෙස මුලින්ම ඔරියන්ටේශන් එකේම අපට කියා දුන්නේ ගුරුවරයාට ෆස්ට් නේම් එකෙන් කතා කරන්නයි. ඊට පසු මගදී හැලුණු දෙවැනි උපාධිය ලංකාවේ කරන්නට ගොස් මේ අපූර්ව වැඩවසම් "සර්-කරණය" කටුක ලෙස අත්විඳින්නට මට සිදු විය.

    ඕක හුදෙක් සර් කීමක් පමණක් නොවේ. සර් කියූ දෙයක් වැරදිනම් එය වැරදියි කියන්නට ලෙහෙසි නැත. කෙලින්ම සුද්ද ගේ රටේ කෙරෙන සේ "I don't think you are right on so and so " කියා මොන යම් හෝ බසෙකින් කීමට ලංකාවේ බැරිය. "Sir, there is a bit that I cannot understand, was it correct or have I misunderstood" ඔන්න ඔය වගේ හද්ද වටේ යාමකින් පමණක් ගුරු ගෝල සර්-වාසගම් සම්බන්ධය තුල එවැන්නක් කිව හැකිය.

    ලංකාවේ විවි පද්ධතියේ ඇත්තේ අමුම වැඩවසම් සංස්කෘතියක් යන්න මගේ නිරීක්ෂණයයි.

    ReplyDelete
  18. ඒකෙ , වැරද්දක් නම් පෙන්නේ නෑ . ඔබේ නිහතමානී බවට මගෙ ගෞරවය :)

    ReplyDelete
  19. මම හිතනවා ලංකාවේ විශ්ව විද්‍යාලවල අපේ කාලේ තරම් ඔය Sir කෑල්ල දැන් යන්නේ නැතිව ඇති. මොකද බටහිර රටවලින් පශ්චාත් උපාධි ගත්ත අය බොහොමයක් ඔය Sir කෑල්ල දානවට කැමති නැහැ. මම මගේ advisorට Sir කියන එක නවත්වන්න ගොඩක් මහන්සි වෙන්න උනා. ගුටි නොකාපු එක විතරයි! ඒ විතරක් නෙවෙයි advisor ලඟට එනකොට මට ඒ දවස් වල එක පාරටම පුටුවෙන් නැගිට්ටෙනවා. දවස් දෙක තුනක්ම මට ඒකට බැනුම් අහන්න උනා ඊට පස්සේ දවසක මම Advisor ගේ room එකට ගියාම මෙන්න මේකා මට නැගිටිනවා! දවස් දෙක තුනක් එක දිගට ඔහොම කරලා මගෙන් අහනවා "Can you feel how embarrassing is it" කියල.

    ReplyDelete

ඔබේ ප්‍රතිචාරය මට සතුටකි!. Your comments are most welcome!
සංයමයෙන් යුතුව ප්‍රතිචාර දක්වන්න.