Thursday, 10 March 2016

දිග කවි, කෙටි කවි සහ පිස්සු විකාර ලිපි - Intermission


මා කුඩා කාලයේ පාසල් නිවාඩුවකට අම්මා ගේ ගමේ නිවසට ගිය විට එහි පොත් කබඩ් එකක තිබී හමුවූ කවි පොතක අන්තර්ගතය මට ගෙන දුන්නේ තරමක පුදුමයකි.

කවි යනු ඒ වන විට මට ආගන්තුක දෙයක් නොවිණි.

හෝඩියේ පන්තියේ සිටම සිංහල පාඩම් පොත්වලින් සහ වෙනත් පොත්වලින් මා කවි කියවා තිබුණි. වැඩිහිටියන්ගෙන් කවි අසා දැන ගෙන තිබුණි. නමුත් ඒ කවි සියල්ලම පාහේ එළිවැට යනාදිය සහිතව ලියවුණු සඳැස් ආරේ සිව්පද කවි විය.

උදාහරණයක් ලෙස දෙවන ශ්‍රේණියේ සිංහල පොතේ ආ කවි පන්තියකින් අද මට මතක ඇති කොටසක් මෙසේය.
මෙන්න අපේ පූසී
ඉල්ලනවා දෝසී
ඇයට ටිකක් වීසී
කරන්නකෝ සීසී

එහෙම දෝසි විසී
කරන්නේ නෑ සීසී
ගන්නට නම් දෝසී
දෙන්න ඕනැ කාසී
ඒ කතෘ අඥාත කවිය දෝසි විකුණන්නෙකු සහ කුඩා ළමයෙකු අතර දෙබසකි.

එළිසමය නොමැති සඳැස් කවියක් ලෙස මුලින් ම මා නෙත ගැටුණේ හතරවෙනි ශ්‍රේණියට නියමිත පද්‍යා රසය පොතේ තිබුණු පහත කවිය ඇතුළත් වූ කවි පන්තියයි. මෙහි රචකයා ජී.එච්. පෙරේරා බව මගේ මතකයයි.
චට පට චූස් ඩොං පටෝරිං කියාලා
පුපුරවති රතිඤ්ඤා පුංචි කොල්ලෝ කුරුට්ටෝ
එරබදු පැණි බී මත් වී කුරුල්ලෙකු පියාඹා
අවුරුදු සුර වීණාවේ තතක් නංවත්දී
ඒ කවි පන්තියේ ද එළිසමය නැතිවුවද, විරිතක් හෙවත් ඡන්දසක් තිබුණි. එනම් එය ඒ අරුතෙන් සඳැස් කවියක් විය.

ආච්චිලා ගේ ගෙදර දී කියවූ මා මුලින් සඳහන් කළ ඒ කවි පොත නිසදැස් යැයි කියවෙන වර්ගයේ කවි රැගත් කෘතියක් විය. එය මා කියවූ මුල්ම නූතන කවි පොත යැයි සිතමි. අවාසනාවකට මෙන් එහි කතෘ ගේ නම අද වන විට මගේ මතකයෙන් ගිලිහී ගොස් ඇත.

මා පුදුමයට පත් කළ, එහි වූ එක් කවියක් මෙසේය.
ජීවිතය

ඉපිද මැරේ
යළි ඉපිදේ
නොතිර සසර සාගරේ
අමරදේවත්
කියන කියුමක්!
පොතේ එක් පිටුවක යට හරියේ සාමාන්‍ය අකුරෙන් මුද්‍රණය වී තිබුණේ එපමණකි.

මාතෘකාවත් සමගම මුළු කවියට ම වචන එකොළොහකි. එයිනුත්, මේ කවියා ලියා ඇත්තේ වචන තුනක් පමණි. ඉතිරි වචන හතම අමරදේවගේ ගීතයේ පදමාලා රචකයාගෙන් උපුටාගත් ඒවා ය.

ඇක්සයිස් පොත්වල රතු ඉරට එහා පැත්තේ සිටමත්, නිල් ඉරි පටන් ගන්නා ස්ථානයට උඩින් පේළියකුත්, නිල් ඉරි අචසන් වන ස්ථානයට යටින් පේළියකුත් ලියන්නට පුරුදු වී සිටි මට, මේ කවියත් කවියක්දැයි ඕයි? යන්නට වඩා ඉතා වැදගත් ප්‍රශ්නයක් වූයේ, සරල වචන එකොළහක් සඳහා පොතක එක පිටුවක් ම මේ ආකාරයට වැය කිරීම සාධාරණ ද යන්නයි.

ඒ කවි පොතේ පිටුවල තිබුණු සුදු ඉඩ කොටස්වල මට නම් තවත් ඒ ආකාරයේ කවි පොත් තුන හතරක් වුවත් ලිවීමට ඉඩ තිබුණි!

ඇත්තටම, කවි පොත්වල වචන කිහිපයක, පේළි කිහිපයක, කෙටි කවි පල කිරීම යනු විශාල නාස්තියක් නොවේද?

හයිකු කවි යනු මෙහිදී ප්‍රධාන වරදකරුවා ය.

මෙවැනි කවි මුද්‍රණය කළ යුත්තේ කවි කිහිපයක්ම කොළම් කිහිපයකට එක පිටුවේ යොදා යැයි මට සිතේ.

කෙටි කවි පිළිබඳ මගේ අදහස එසේ ය.

කවි පොතක් පළ කිරීමේ දී, ඒ සඳහා වැයවෙන සම්පත්වලින් උපරිම උපයෝගීතාවය ලබා ගැනීමට නම් ලිවිය යුත්තේ පහත දැක්වෙන ආකාරයේ දිගු වැකි ඇති කවි නොවේ ද?
කන්න නොමැතිව බොන්න නොමැතිව අපට ඇතිමුත් පුරුදු වී දුක
බැන්ද බලකොටු රැකිය යුතු වෙමු, තවත් බලකොටු රකිමු මේ ලක
පන්තියේ වුවමනාවන් මත රටම ඇත පිබිදෙමින් නෑ සැක
කන්දසාමිගෙ සෝමපාලගෙ නමින් සහතික කරමු ඒ ටික
අනිවාර්යෙන් ම 1980 වසරේ අගෝස්තු මාසයෙන් පසුව ලිය වී ඇති මේ කවිය (ඒ නිගමනයට හේතුව දන්නවා නේද?) ඒ කාලයේ ලංකා කොමියුනිස්ට් පක්‍ෂයේ නිල පුවත්පත ලෙස ප්‍රකාශයට පත් වූ ඇත්ත පුවත් පතේ පළ වී තිබුණි.

කවිය ලියා තිබුණේ කලවානේ නිව්ටන් පෙරේරා නම් අයෙකි. එවකට මානාන හන්දියේ පිහිටි මත්පැන්හල පවත්වා ගෙන ගියේ ඔහු යැයි සිතමි.

පොත්වල මුද්‍රණය කළ යුත්තේ ඒ ආකාරයේ දිගු කවි නොවේද? අර පෙර කී කෙටි කවි දිග හැර පළ කළ නොහැකි ද? නැතිනම් කෙටි කවියක් හැකි තරම් දුරට ඇද පිටුවේ උසට මහතට ගැලපෙන පරිදි සකසා ගන්න බැරිද?

මේ බලන්න.
ඉපිද මැරේයැයි, යළි ඉපිදේ යැයි අමරදේව ගයනා ගීයේ පද
ලියුවේ කවුරුද කියලා අන්තර්ජාලේ පීරා සොයා බැලිමි අද
කරු අබෙසේකර නම් වූ කවියා ලියු බව කියවේ ඒ පදවැල සොඳ
තවත් වසර සියයක් ඒ ගීතය අමරණීය ලෙස පවතිනු නොමැතිද?
කෙටි කවි සහ දිගු කවි පිළිබඳ මගේ අදහස් එසේ ය.

මේ ලිපියේ මාතෘකාවට ඇතුළත් "තුන්වෙනි කොටස" ගැන සිතා ගැනීම කියවන ඔබට ඉතුරු කරමි.

-රසිකොලොජිස්ට්

ප/ලි:
මා කුඩා කාලයේ දී කියවූ ඒ කවි පොතේ තිබුණු තවත් කවියකින් කොටසක් මෙසේ ය.
ගත සිත නළවන
කඳුකරයට මෙන්
ගංගොඩවිලටත් හඳ පායයි!
දෙල්කඳ, විජේරාම වැනි තවත් ස්ථාන නාම කිහිපයක් ම ඒ කවියේ අනෙක් පදවල ලියවී තිබුණි.

මේ කවියා එවකට විද්‍යෝදය නමින් හැඳින්වුණු විශ්ව විද්‍යාලයේ සිසුවෙකුව සිට ඇති කෙනෙකු විය යුතු යැයි මට සිතේ.

(image: http://www.intermissionsandsnipes.com/shop/1969-astro-intermission-dcp-full-scope/)

48 comments:

  1. පුවත්පත් වල කවි පිටුව් නම් බොහෝ දුරට ඉඩ නාස්ති නොකර වඩා හොඳින් පාවිච්චි කරනවා නේද?

    අනූව දශකයේදී රාවය පත්තරේ මම මේ කවිය දැක්කා.

    //ධර්මද්වීපය

    ටාං ටාං ටාං
    ඩෝං ඩෝං ඩෝං //

    ඒක ලියලා තිබ්බේ, දැන් වචන ටැක්සි බ්ලොගය ලියන ඩෝසන් ප්‍රීති.

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත. දිග අතට මෙන්ම හරස් අතටත් පත්තර, සඟරාවල කවි යනවා.

      ඩෝසන් - මගෙ මිතුරා, හොඳ මුනියා!

      ඩෝසල් ලියපු පොත්:
      1. මුචලින්ද තාප්පය (කවි)
      2. හකාවතී (කෙටි කතා)

      Delete
    2. ඒක කුමාර හෙට්ටිආරච්චිගේ කියලයි හිතන් හිටියේ..

      Delete
    3. yes. kumara hettiarachchi wrote this poem. you can see this in his "paarajambula".

      Delete
    4. කුමාර හෙට්ටිආරච්චි පේරාදෙණිය කෘෂි විද්‍ය පීඨයේ සිටියා නේද?

      Delete
  2. අගෙයි :) සුබ පතමු

    ReplyDelete
    Replies
    1. හිනාව..
      අගෙයි...
      සුභ පැතුම් මක්කටෙයි....

      පිටු කන හයිකු...
      පරදයි...
      මේ...
      ගොන් කොමෙන්ටු...

      Delete
    2. ඒ සුබ පැතුම දිගු කවි හෝ කෙටි කවි හෝ ගැන නොව මාතෘකාවේ තෙවන කොටසටයි!

      Delete
    3. සුබ පැතිමි මෙය ලියා ඇති හැටි මට අගේ යැයි සිතු ........නිසා
      කිම උරණ වී තතුද දත් අය මෙහි අඩුම බව ඇත............... අසා
      ලද මොළය මිස කෙසේ විමසමි කිව මැනව ඇත්නම් .....දොසා
      හෙළ කවිය ගැන මෙසේ ලිව්වට සුබ පතමි නැත නෙතු ... වසා

      Delete
  3. නොතිර සසර ගැන ඉපදී යලි මැරෙනා
    සෙකර කරු අබේ කිවි පදවැල් අමුණා
    අමර සර සමඟ සවණට රස හලනා
    වසර සියක් නොමැරෙන ගීයක් හැදුණා

    ReplyDelete
    Replies
    1. ඒක නං මරු... හිහි

      Delete
    2. කවි මරු, ඒත් පිටුවේ වමේ සිට දකුණු කෙළවරටම දිග නෑ!

      Delete
  4. එක කවියක් එක පිටුවකට දාන්නෙ ඒ කවියටම කියල වෙනම ඉඩක් තියෙන්න ඕන හින්ද නේද..
    ඉඩ කෑමක් කියල කියන එක හරිද මංද.

    ReplyDelete
    Replies
    1. මේක පිස්සු විකාර ලිපියක් නේ.

      Delete
  5. මෙතන කවි ගැන අදහසකට වඩා සාකච්චා වී තිබෙන්නේ ඉඩ කඩ නාස්ති නොවී කවි පොත් මුද්‍රණය වියයුතු ආකාරය ගැන අදහසක් නේද? ලිපිය කියවූ පසු මට දැනුණේ එහෙමයි.

    ReplyDelete
    Replies
    1. මේක පිස්සු විකාර ලිපියක්!

      සීරියස්ලි ගනං ගන්න එපා.

      Delete
  6. ඉපිද මැරෙන බව, යළි ඉපදෙන බව සසර සයුර තිර නොමැත කියා
    අබේසේකර ය, කරුණාරත් නම් තැබුවේ ගී පද මෙලෙස ලියා
    අරුත එසේ වුව ඒ සරු ගීතය තිර ලෙස හදවත් තුලට අයා
    ගැයුවේ නොමැරෙන දේව නමින් ගී සයුර තරණ කල ගායකයා

    ReplyDelete
    Replies
    1. ඔහොම එන්න!
      ඔය තියෙන්නේ පිටුවේ වම් කොනේ ඉඳලා දකුණු කෙලවරටම!

      Delete
  7. දන්න කවි ටිකත් මේ ලිපිය දැක්කට පස්සේ අමතක වුනා...:D

    ReplyDelete
    Replies
    1. ඔය කියපු එකත් පේලි තුනකට හතරකට කඩලා ලිව්වා නම් කවියක් තමයි...

      Delete
    2. කවි ටිකත් මා දන්න
      දුටුව පසු මේ ලිපිය
      අමතකව ගිය හැටි
      කෙතරම් පුදුමද?

      thanks තිසර :D :D

      Delete
    3. පොඩි කුමාරිත් හයිකු කිවිඳියෙකු වුනා එහෙනම්!

      Delete
    4. උපන්දා සිට මෙදා වෙනතුරු උගත් කවි ටික මෙමා හොඳ හැටි
      දුටුව පසු මේ ලිපිය රසිකගෙ අහෝ අමතක වෙලා ගිය හැටි!

      Delete
    5. දත් කවි ටික
      දුටු පසු මෙය
      අමතක විය
      හරි පුදුමය!

      Still better version:

      දුටු පසු මෙය
      දත් කවි ටික
      හරි පුදුමය
      අමතක විය!

      Still better version:

      දැක මෙය
      කවි
      අමතක
      විය!

      Delete
  8. කතාව ඇත්ත...

    රසිකට කියන්න.. උනවටුන ඉට්ටේසමේ බිත්තිය පිරෙන්නම ලියපු ගැෆිටි එකක් තමයි මේ...

    රෙන්න බර වූ විට
    දුවගෙන ආපු පලියට
    වට පිට කැත නොකොට
    රීලා පලයන් හිතේ හැටියට

    ReplyDelete
    Replies
    1. වැසිකිලියට ගියාමත් කවි ලියන්නත් හිතෙනවා කියන්නේ පුදුම කවිකමක් වෙන්න ඕනෑ තියෙන්නේ!!

      Delete
    2. මේක මාර කතාවක්නෙ රසික. වැසිකිළිය කියන්නෙ කෙනෙක් ශාරීරික අපහසුවකින් මිදිලා පහසුවක් ලබන සුන්දර තැනක්. එහෙම තැනකදි කවි සිතිවිලි පහළ වෙන්නෙ නැත්නම් කොතැනදිද පහළ වෙන්න ඕනැ?

      Delete
    3. මේ අපේ පාසලේ කැසිකිලි බිත්තියේ තිබුණු හයිකුවක් ..

      වරක් චු කර
      දෙවරක් සොලවන්න
      නොසෙලුවොත් තෙමුණු කොන
      තෙමයි නුඹේ ජංගිය

      Delete
  9. සමහර කෙටි කවි ලියන්නෝ කවි ලියන්නෙ හයිකු ගැන කිසිම අවබෝධයක් නැතුව.මොකක් හරි විකාර අදහසක් කෑලි දෙක තුනකට කඩලා ලිව්වම ඒක හයිකුවක් වෙනව කියල හිතනව ඇති.. ඒ අතරෙ හයිකු වර්ගයට අයත් නොවෙතත් මේ වගේ හොඳ කවි දකින්න පුළුවන්,

    පෙම් පිම්ම_ පියන්කාරගේ බන්දුල ජයවීර

    නීල් ආම්ස්ට්‍රෝං
    සඳ මත තැබුවේ දෙපයයි..
    මා තැබුවේ දෙතොලයි..

    වත් - සුමින්ද කිත්සිරි ගුණරත්න

    පිපුම් වුව හිරුපත් කල
    හැදුයෙ මා මඩ රස ම නො
    ඇයි මෙවත් නෙළුම්හි
    අහස ම පතා නොගෑ වී..

    අකුණ - හෂාන් බඹරබොටුව

    හිස්කමේ රුදු නපුර
    පෙන්වයි අකුණ

    මසාජ් ක්ලිනික් - රුවන් බන්දුජීව

    ඇස් බැඳගෙන
    මස් මිරිකමි
    ගෙදර ගිහින්
    කුස් පුරවමි

    ReplyDelete
    Replies
    1. හයිකු නම අහලාවත් නැතුව මාත් ලියලා තියෙනවා කෙටි කවි. ඒවා බොහෝමයක් බූලියන් / ලොජික් වර්ගයේ ඒවා. ඒ කියන්නේ අරක මෙහෙමයි. මේක අරෙහෙමයි වගේ ඒවා.

      Delete
  10. මූට පිස්සු
    ඇත්තටම පිස්සු
    මේකෙ කමෙන්ට් දාන
    අපිටත් පිස්සු
    සුඛො බුද්ධානං උප්පාදො!

    ReplyDelete
  11. සිඩ්නි හන්දිය
    සඳ කැන්
    විහිදෙයි
    කෙස් නැති
    රසිකගේ හිසෙන්

    ReplyDelete
  12. පොඩි රසිකත් පට්ට කවියෙක් නොවැ.....

    ReplyDelete
  13. මගේ කළින් කාර්යාලයේ මිතුරියක් ( සාහිත්‍ය ගැන මෙලෝ උනන්දුවක් නැති ) දවසක් කවි පොතක් අතට අරන් පෙරළ පෙරළ ඉඳල කිව්වෙත් මෙහෙම කතාවක්..

    ‘‘ඇයි මේ ඉඩ ඉතුරු කරල!! අපරාදෙනෙ පිටුව..‘‘ තව මොනවදෝ කිව්ව මට මතක නෑ.. කොහොම හරි ඒක රසවත් කතාවක් විදියට මගේ අනිත් යාලුවො ( සාහිත්‍ය ගැන යම් උනන්දුවක් තියෙන) තවමත් මතක් කරල හිනැහෙනවා.

    ReplyDelete
  14. රසික කියන විදියට එක පිටුව කොලම් කරල කවි දාල ඒ පොතේ පිටු ගාන අඩු කලාම පොත ගානකට විකුණගන්නෙ කොහොමෙයි.

    ReplyDelete
  15. ගංටා නාදේ - ඩිං ඩොං ඩිං ඩොං
    දවුලේ නාදේ - ඩං ඩුං ඩං ඩුං

    මී මැස්සන්ගේ - රුං රුං රුං රුං
    ලේනුන්ගේ ඒ - ටිං ටිං ටිං ටිං

    ReplyDelete
  16. //ඒ කතෘ අඥාත කවිය දෝසි විකුණන්නෙකු සහ කුඩා ළමයෙකු අතර// මන් හිතුවේ සීසී මහත්තයෙක් හා ලමයක් අතර වුනු දෙබසක් කියලා.. :)

    මේ මෑතක කවි පොත් එලි දක්වන තැන් කීපයකටම ගිය වෙලාවේ මටත් ඔහොම හිතුනා අපරාදේ පිටුවේ ඉතුරු ඉඩ කියල.. ඒත් කෙටි කවි වලටත් මන් කැමතියි..

    අද රසිකලොජියේ
    පල කල සොඳුරු ලිපියේ
    කවි ගැන කතා තියේ
    එයින් කවි උණ තවත් වැඩියේ...

    ReplyDelete
  17. හෝඩි පොතේ තිබුනු කවි විතරක් නෙවෙයි ඒ සමහර ඒවා ලියාපු එක්කෙනාගෙ නමත් අවුරුදු හතළිස් ගණනකට පස්සෙ මතකයේ තිබීම ගැන.........

    ReplyDelete
  18. තහනම් කරන්නේ
    මොන හිතකින්ද අනේ
    සඳට කෝලම් කරන්නේ
    ඔස්ත්‍රේලියාවෙන්නේ

    (ලිපිය කියවා
    පැට්ටෙක් ඔතන ගමන්
    කොල්ලෙක් කී කව
    ප්‍රතිරාව දුන් හැඩ.)

    ජයවේවා..!!

    ReplyDelete
  19. මුල සිට අගට
    ලීවාට කවි ඕසෙට
    කියවන්නේ නැතුව
    තියෙයි පල්වෙවි සතර පැදිවල

    සූටි කවි වල
    තිබෙන අදහස් හොද
    ඹබරුන් සේ මලට
    ඇදී කියවති අපේ හැම දෙන

    ReplyDelete
  20. හැත්තෑ එකේදී
    ජනතාව නොදත්
    විප්ලවයකට අත ගැසූ මම
    මාංචු දමා ගෙන යන හැටි
    බලා සිටි අම්මේ

    තක්සලාවකට යාමට නොහැකිවූ නමුත්
    සිපිරි ගෙය තක්සලාවක් කරගෙන
    යළි නිදහස් ලෝකයට ආ දිනයේ
    මාව පිළිගත් අම්මේ

    මාක්ස්වාදය භෞතිකවාදය හැරපියා
    ආධ්‍යාත්මික මාර්ගයකට යන
    මා දෙස බලා සිටි අම්මේ

    මා ජීවිතය හැර යන තෙක්
    මදෙස බලා සිටිනු මැන අම්මේ

    යෝගී පියසිරි කුලරත්න ගේ මවට උපහාර පිණිස ලියවුනු කවියකි

    ReplyDelete
  21. රසිකලොජි
    ගනියි විරාමය
    නැවත එනු

    ReplyDelete
  22. දිග කවි
    කෙටි කවි
    ගැන ලියයි
    පිස්සු ලිපි

    ReplyDelete
  23. Rasika How is this one?
    අනේ පනේ තනේ වැනේ

    ReplyDelete
  24. සුබ පැතිමි මෙය ලියා ඇති හැටි මට අගේ යැයි සිතු ........නිසා
    කිම උරණ වී තතුද දත් අය මෙහි අඩුම බව ඇත............... අසා
    ලද මොළය මිස කෙසේ විමසමි කිව මැනව ඇත්නම් .....දොසා
    හෙළ කවිය ගැන මෙසේ ලිව්වට සුබ පතමි නැත නෙතු ... වසා

    ReplyDelete

ඔබේ ප්‍රතිචාරය මට සතුටකි!. Your comments are most welcome!
සංයමයෙන් යුතුව ප්‍රතිචාර දක්වන්න.