Tuesday, 22 March 2016

එන්න සූරාලා බලන්න, සූරාලා බලන්න! - Scratchies


මා කුඩා කාලයේ දී මගේ පියා එවකට මාස්පතා දිනුම් අදිනු ලැබූ ජාතික සම්පත නම් ලොතරැයිය මිලට ගත්තේය. ඒ එක් ටිකට්පතක වටිනාකම රුපියලක් විය. ප්‍රථම ත්‍යාගය වූයේ රුපියල් ලක්‍ෂයක් හෝ මෝටර් රථයක් සහ ඉතුරු මුදල් ය.

සතිපතා දිනුම් අදින ශත පනහක වටිනාකමින් යුතු ලොතරැයියක් ද විය. එහි නම මහජන සම්පත යැයි සිතමි.

ඉඳහිට රීප්පයක, ටින්ටස් ඇණවලින් ලොතරුයි කිහිපයක් රඳවාගත් මිනිසෙකු මග තොටේ දී හමුවුණද, ජාතික ලොතරැයි මණ්ඩලයේ ප්‍රචාරක රථයක් ගනේමුල්ලට මසකට වරක් පමණ පැමිණියේ වුවද, ඒ ලොතරැයි යනු ජන ජීවිතය හා එතරම් බැඳුණු ප්‍රංචයක් නොවීය.

සියල්ල වෙනස් වූයේ අසූවේ දශකයේ මුල් කාලයේ දී සංවර්ධන ලොතරැයිය හෙවත් හූරණ ලොතරුයි ලංකාවට හඳුන්වා දීමත් සමගය.

විවෘත ආර්ථිකය සමගම අත්වැල් බැඳගෙන සමාජගත වූ, නොනිමෙන පරිභෝජන අවශ්‍යතාවය, උද්ධමනය, මුදලට ඇති ආශාව වැනි දේ නිසාත්, ඒ සියල්ලටමත් වඩා, මෙකී හූරණ ලොතරැයියක දිනුමක් වේදැයි දැන ගැනීමට දින ගණනක් සිටීමට අවශ්‍ය නොවීමත්, දිනුමක් ලද විට එය ක්‍ෂණයකින් ලබා ගත හැකි වීමත් හේතුවෙන් සංවර්ධන ලොතරැයි ඉතා ඉක්මනින්ම ලංකාවේ ජන ජීවිතයේ කොටසක් බවට පත් විය.

අඩු ආදායම් ලබන ජනතාවට පැනවූ වක්‍ර බද්දක් බඳු වූ සංවර්ධන ලොතරැයිය ලංකාවේ ආරම්භයේ දී සම්බන්ධව සිටි අයෙකු ලෙස මගේ මතකයට එන්නේ එවකට අමුම අමු යූඇම්පීකාරයෙකු වූ තිලක් රත්නාකර නම් ආර්ථික විද්‍යාව පිළිබඳ විශ්ව විද්‍යාල දේශකයා ය.

සඟරා කතුවරියක් වූ ශ්‍රියා රත්නාකර ගේ සැමියා වූ තිලක් මා දන්නා ආකාරයට වඩාත් ප්‍රසිද්ධ වූයේ 1977 දී එතෙක් පැවති සිරිලංකා ආණ්ඩුව පැරදවීම සඳහා ඉහළ සම්මාදමක් ලබා දුන් හත් වසක ශාපය නම් මඩ පොත් මාලාව සම්පාදනය කළ තැනැත්තා ලෙසට ය.

ජේ.ආර්. ගේ මුල් ආණ්ඩුව කාලේ, පෙර නොවූ විරූ ආකාරයට බඩු මිල ඉහළ ගොස් අඩු ආදායම් ජනතාව ආර්ථික පීඩනයට පත් වූ සමයේ, රුපියලේ අගය අඩු වී ඇති බවට විපක්‍ෂයෙන් නැගෙන චෝදනා අලුයම ලූ කෙළ පිඬක් සේ බැහැර කරමින්, එදත් රුපියලට ශත සීයයි, අදත් රුපියලට ශත සීයයි, එනිසා රුපියල බාල්දු වී නැත යන කූප්‍රකට ඉකොනොමැටි න්‍යායය ගෙන ආවේ ද ඔහු ය.

සුනිල් අංකල් ලියා, නන්දා නැන්දා ගැයූ සමාධි බුදු පිළිමයේ නෙතින් කඳුළු වැගිරෙනවාය වැනි අරුතක් තිබුණු ගීතයට විරුද්ධව විචාරයක් ලියමින්, සුනිල් ලිවිය යුත්තේ සහ නන්දා ගායනා කළ යුත්තේ වික්ටෝරියා බැම්මේ ඩබල්-ආච් නිමැවුම වැනි දේ ගැනය කියා කීවේ ද ඔහුය.

කැලණිය විශ්ව විද්‍යාලයේ උපකුලපති ලෙසද කටයුතු කලක් සේවය කර ඇති ඔහු රජයේ සේවයෙන් විශ්‍රාම යෑමෙන් පසුව, පසුගිය දිනවල මාධ්‍ය හරහා ජනප්‍ර්‍රිය වුණු, සී ෂෙල්ස් නම් රාජ්‍යයේ ආර්ථික උපදේශකයෙකු ලෙස සේවය කරමින් සිටියදී මිය පරලොව ගිය බව ආරංචි විය.

මේ හූරණ ලොතරැයි සංකල්පය අගමැති ර. ප්‍රේමදාස ද තම නිවාස සම්බන්ධ ව්‍යාපාර සඳහා මුදල් හොයා ගැනීමට පාවිච්චි කළේය. සෙවණ නමින් හැඳින්වුණු ඒ හුරන ලොතරැයියක මිල රුපියල් පහක් පමණක් වූ බව මගේ මතකයයි.

කුඩා කල සිටම, ලොතරැයිවලට මගේ කිසිම කැමැත්තක් නොතිබුණි. විශේ්ෂයෙන් ම, සංවර්ධන ලොතරැයිය වැනි හූරණ ලොතරුයි හරහා සමහර මිනිසුන් නිතිපතා තම තුට්ටු දෙක විනාශ කර ගන්නා අයුරු මා දැක තිබුණු නිසා, මට ඒ පිළිබඳව තිබුණේ එක්තරා ආකාරයක කෝපයකි.

එනිසා, විශ්ව විද්‍යාලයෙන් පිටවී රැකියාවක් කිරීම අරඹා මුදල් අතේ ගැවසුනද, මා ලොතරැයි මිල දී ගත්තේ නැත.

නමුත් එක් දිනයක, කුමක්දැයි මට අද අමතක හේතුවක් නිසා, මට රුපියල් දහයය් වැය කර හුූරණ ලොතරැයියක වාසනාව උරගා බලන්නට සිතුණි.

සමහර විට ඒ මොහොතේ මා කුමක් හෝ කාර්යයක් සඳහා නියමිත කාලය උදාවෙන තුරු වෙනත් කරන්නට දෙයක් නොමැතිව, කල් මරමින් සිටියා විය හැක. සමහර විට ලොතරැයි විකුණූ පුද්ගලයා කෙරෙහි මට යම් ක්‍ෂණික අනුකම්පාවක් ඇති වෙන්නට ඇත.

කෙසේ වෙතත්, මේ ඓතිහාසික සිදුවීම වූයේ නුවරඑළිය ප්‍රධාන වීදියේ දී බව මගේ මතකයේ ඇත.

තුනේ පන්තියේ දී මා ලියා මිහිර පත්‍රයට යොමු කළ මගේ පළමු කවිය එහි පළවූ ආකාරය සිහිකරමින් රුපියල් දහයක් දී මා මිලට ගත් මුල්ම හූරණ ලොතරුයියෙන් මට රුපියල් විස්සක මුදලක දිනුමක් හිමිවිය!

ඒ රුපියල් විස්ස මට ඉන් ස්වල්ප මොහොතකට පසු අහිමි වූ බව ද, ඉන් පසු විටින් විට කීප ගුණයක මුදලක් මා අතින් නාස්ති වී ගිය බවද වෙනම කාරණාය.

-රසිකොලොජිස්ට්

ප/ලි:
උද්ධමනයක් නැත, රුපියලට ශත සීයමය යනාදී මැටි කතා කියූ තිලක් රත්නාකර සම්බන්ධව සිටි නිසා දෝ, ලංකාවේ ලොතරැයිවල මිල නම් දශක දෙක තුනක්ම ඉහළ නොගොස් රුපියල් දහයේම පැවතුණි!

කොහොමද වැඩේ?



(image: http://4.bp.blogspot.com/_IXFI8Mv-8dY/TTouFpSlxWI/AAAAAAAACrA/5LfR-JvGtoA/s1600/IMG_0186.jpg)

24 comments:

  1. සූරන ටිකට් නම් ඇත්තටම මරු මම පොඩි කාලෙ හරි ආසයි ඔය ටිකට් වලට....අපේ ඉස්කෝලෙ ලඟ සුවිප් කාරයෙක් හිටිය.......හැමදාම සූරන ටිකට් එකක් ගන්නව...හැබැයි ගාන මතක නෑ...මොකද අම්මනෙ සල්ලි දෙන්නෙ....හැබැයි මතක විදිහට පොඩි පොඩි මුදල් තෑගි විතරයි ලැබුනෙ..

    ReplyDelete
  2. ලොතරැයි ආදායම යන්නේ ජනාධිපති අරමුදලට නේද? ජනාධිපති අරමුදල නමින් ආධාර දෙන මුවාවෙන් පවත්වාගෙන යන අරමුදල සම්බන්ධව කිසිදු විගණනයක්වත් සිද්ධ වෙන්නේ නෑ කියලා මම අහලා තියනවා.

    මම හූරන ඒවට වැඩිය කැමති නැත්තේ, දිනුම හෝ පැරදුම කලින්ම කිසිවෙක් තීරණය කරනු ලැබ තිබීම නිසාය. අර පිංපොං බෝල උඩයන සිස්ටම් එකෙන් දිනන්නේ තනිකරම අහඹු ලෙසය (මේකෙත් හොරට බර අඩු බෝල තියන බව අහලා තියනවා).

    ලොතරැයි අරගෙන ඇත්තේ ඉතා සුළු ප්‍රමාණයකි.

    ReplyDelete
  3. මමත් වැඩිය ලොතරැයි අරගෙන නෑ . ඒත් පොඩිකාලේ හුරන ලොතරැයි වලට ආසයි. මට මතක 80 ගණන්වල අග කාලේ ආපු දිනුම් අවස්ථා 3ක් තියෙන සෙවන ලොතරැයිය. එකේ මට උපරිම ලැබිලා තියෙන්නෙ 50ක් විතරයි . පස්සෙ අර සමනලයෝ එහෙම ඉන්න ලොතරැයි ආවා. ස්විප් කඩවලින් විසි කරන ලොතරැයි අරගෙන රෑප කපලා පොත් වල කවර වල එහෙම අලවා ගත්තා මතකයි.

    ReplyDelete
  4. ඕකත් සූදුවක්. සුරා සූදුවෙන් තොර අයත් සුවිප් ටිකෙට් සූරනව හිටන්

    ReplyDelete
  5. ඇත්තට ම නොකරපු වැඩක් තමා ඔය සුවිප් ගැනීම..... ඉදලා හිටලා අර අහිංසක මිනිස්සු දැක්කා ම ගන්නවා. ඒ වෙන මොකටවත් නෙමෙයි නිකංම අතපාන්නැතුව ඇවිත් යමක් කරන නිසා. ඒත් බොහෝ විට ඒවා බලලා නැතුව පස්සේ පර්ස් එකේ හරි හෝදපු කලිසමක හරි තිබිලා හම්බෙනවා. අනේ මන්දා ඇයි කියලා. ඒ වැඩේට හිත දෙන්නෑනේ...

    ReplyDelete
  6. ඇත්තට ම නොකරපු වැඩක් තමා ඔය සුවිප් ගැනීම..... ඉදලා හිටලා අර අහිංසක මිනිස්සු දැක්කා ම ගන්නවා. ඒ වෙන මොකටවත් නෙමෙයි නිකංම අතපාන්නැතුව ඇවිත් යමක් කරන නිසා. ඒත් බොහෝ විට ඒවා බලලා නැතුව පස්සේ පර්ස් එකේ හරි හෝදපු කලිසමක හරි තිබිලා හම්බෙනවා. අනේ මන්දා ඇයි කියලා. ඒ වැඩේට හිත දෙන්නෑනේ...

    ReplyDelete
  7. මම නම් ලොතරැයි අරගෙන තියනවා. දැන් නම් නෙවෙයි පොඩි කලේ. මම කුඩා කාලයේ උපකාරක පන්ති ගියා. මට එහෙදි මිතුරෙක් මුණ ගැහුනා. එයා ලග වැඩිපුර සල්ලි තිබ්බේ නැ.ගෙදරින් මට හැමදාම වගේ වැඩිපුර සල්ලි දෙනවා. සමහර දවස් වල මගේ යාලුවා මගෙන් අහනවා ලොතරැයි ගමුද කියලා. ඇත්තම ඇත්ත එයා කියන හැමදාම මම රුපියල් 10 ක් දීලා ලොතරැයි ගන්නවා. ගත්ත හැම දවසකම වගේ මට දිනුම් ලැබිලා තියනවා. මටත් හරිම පුදුමයි. මට මතකයි රුපියල් 200 තමි අදුන ලොකුම මුදල. එත් හැමදාම වගේ 50 ,20 දිනුම් තිබුනා.

    ReplyDelete
  8. එක කතාවයි බොරු ගොඩයි.

    1. /සඟරා කතුවරියක් වූ ශ්‍රියා රත්නාකර ගේ සැමියා වූ තිලක් මා දන්නා ආකාරයට වඩාත් ප්‍රසිද්ධ වූයේ 1977 දී එතෙක් පැවති සිරිලංකා ආණ්ඩුව පැරදවීම සඳහා ඉහළ සම්මාදමක් ලබා දුන් හත් වසක ශාපය නම් මඩ පොත් මාලාව සම්පාදනය කළ තැනැත්තා ලෙසට ය./

    හත් වසක ශාපය පොත් පෙළක් නොව එක පොතකි.
    එම පොත මුද්‍රණය කොට පළ කළේ වික්‍රම වීරසූරියයි.

    2. /ජේ.ආර්. ගේ මුල් ආණ්ඩුව කාලේ, පෙර නොවූ විරූ ආකාරයට බඩු මිල ඉහළ ගොස් අඩු ආදායම් ජනතාව ආර්ථික පීඩනයට පත් වූ සමයේ, රුපියලේ අගය අඩු වී ඇති බවට විපක්‍ෂයෙන් නැගෙන චෝදනා අලුයම ලූ කෙළ පිඬක් සේ බැහැර කරමින්, එදත් රුපියලට ශත සීයයි, අදත් රුපියලට ශත සීයයි, එනිසා රුපියල බාල්දු වී නැත යන කූප්‍රකට ඉකොනොමැටි න්‍යායය ගෙන ආවේ ද ඔහු ය./

    තිලක් රත්නකාර මේ කතාව කිව්වේ 1977ට පසු නොව 1968 දී රුපියල අවප්‍රමාණ කළ අවස්ථාවේදීය. ඒ ද හේතුවක් ඇතිවය. රුපියලට හෙට සිට සත හැටපහයි කියා එවක විපක්ෂය ප්‍රචාරයක් ගෙන ගිය අතර සමහර මිනිස්සු එය සැබෑවටම විශ්වාස කළෝය.

    3. /සුනිල් ලිවිය යුත්තේ සහ නන්දා ගායනා කළ යුත්තේ වික්ටෝරියා බැම්මේ ඩබල්-ආච් නිමැවුම වැනි දේ ගැනය කියා කීවේ ද ඔහුය./

    තිලක් රත්නකාර කිව්වේ එය නොව 1977 විවෘත ආර්ථිකටය පින් සිද්ද වෙන්නට පොහොසත් වූ සුනිල්ලා නන්දලා කරන්නේ අමු බොරුවක් බවයි.

    4. /සෙවණ නමින් හැඳින්වුණු ඒ හුරන ලොතරැයියක මිල රුපියල් පහක් පමණක් වූ බව මගේ මතකයයි./

    සෙවණද රුපියල් දහයකි.

    ReplyDelete
    Replies
    1. සෙවණ ලොතරැයි මුලින් ආවේ රුපියල් 5 ට.. :)

      Delete
    2. @ Anonymous 23 March 2016 at 01:40

      ප්‍රතිචාරයට ස්තුතියි.

      මේ ලිපිය ලියා ඇත්තේ බොහෝ දුරට මගේ මතකයෙන්. ඒ බව අදාල තැන්වල මා දක්වා තියෙනවා. නමුත්, පළවී ඇති විස්තර අනුව යම් යම් දේ නිශ්විතව සොයා ගැනීමට හැකි වුනා. මගේ මතකය අනුව යැයි යොදා නැත්තේ බොහෝ විට එවැනි තැන්වලටයි.

      දැන් මෙන්න ඔබ කියා ඇති කරුණු ගැන මට කීමට ඇති දේ.

      1. /* හත් වසක ශාපය පොත් පෙළක් නොව එක පොතකි. එම පොත මුද්‍රණය කොට පළ කළේ වික්‍රම වීරසූරියයි. */

      මගේ මතකය තිබුණේ 1977 යුඇම්පීයෙන් බෙදා හැරි කාටූන් පොත් ගැනයි මුලින් ම. මෙහි දෙවන සංස්කරණය කළ මුද්‍රණයක් 1982 දී පළ කළා. ඒ සඳහා අළුතෙන් කාටූන් රාශියක් එකතු කළා. ඒ සමගම මේ හා සමාන්තරව සින්දු සහිත කැසට් සහ වෙනත් පොත් කිහිපයක් ද යූඇම්පීයෙන් පළ කළා. මගේ දෙවන මතකය මේ 1982 හා සම්බන්ධ අයෙකු කියූ කතාය.

      මේ සඳහා මුල් වී ක්‍රියා කළේ (1982) දී වික්‍රම වීරසූරිය බව මගේ මුූලාශ්‍රය මේ දැන් සනාඨ කළා. ඔවුන් මේ වැඩ කළේ රජයේ කාර්යාලයක සිටයි. පඩි ගෙවා ඇත්තේ රජයේ මුදලින්.

      මේ කාර්යාලයට නිරතුරු ආ ගිය රජයෙන් පඩි ගන්නා උපදේශකයෙකු තමයි තිලක් රත්නකාර. ඔහු ආවේ මේ ප්‍රකාශනවලට ලියවෙන දේ කියවා බලා අනුමත කරන්නටයි. මට මෙහිදී අධ්‍යක්‍ෂක සහ උපදේශක ටැපලී ඇත.

      Delete
    3. 2. තිලක් රත්නකාර මේ කතාව කිව්වේ 1977ට පසු නොව 1968 දී රුපියල අවප්‍රමාණ කළ අවස්ථාවේදීය. ඒ ද හේතුවක් ඇතිවය. රුපියලට හෙට සිට සත හැටපහයි කියා එවක විපක්ෂය ප්‍රචාරයක් ගෙන ගිය අතර සමහර මිනිස්සු එය සැබෑවටම විශ්වාස කළෝය.

      මට 1968 දී සිදුවූ දේ ගැන කිසිම අවබෝධයක් නැත. ඔබ නිවරැදි විය යුතුය.

      රත්නකාර 1968 දී ඒ ශත සීයේ කතාව කියන්ට ඇත. එසේ නම්, ඔහු එය එලෙසම 1982 දී නොකියන්නේ ඇයි? එකම ජෝක් එක දෙපාරක් දැමීම මම නම් කරමි.

      රත්නකාර මේ කතාව 1982 ජනාධිපති රැලිවලදී කී බව මගේ මතකයයි. ඒ සමගම ඔහු ගම්පහ පැවති එජාප රැලියකදී කිවූ තවත් මේ වගේ කතාවක් තමයි, කොබ්බැකඩුව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව ඉරා දමන බව කියන බවත්, එය ඕනෑම අයෙකුට කළ හැකි දෙයක්බවත්, ඒ සඳහා ජනාධිපතිවරණය දිනීම අනවශ්‍ය බවත්. එසේ කියමින් ඔහු හාෆ්ෂීට් කොළ කිහිපයක් ගෙන මෙන්න මෙෙෑමයි ඉරන්නේ කියා ඉරා පෙන්වයි!

      Delete
    4. 3. /* තිලක් රත්නකාර කිව්වේ එය නොව 1977 විවෘත ආර්ථිකටය පින් සිද්ද වෙන්නට පොහොසත් වූ සුනිල්ලා නන්දලා කරන්නේ අමු බොරුවක් බවයි. */

      තිලක් රත්නකාර 1982/83 දී පමණ සිළුමිණ පත්‍රයට ලියූ ලිපියක ඔය ආරුක්කු දෙකේ බැම්ම ගැන සින්දු ලිවිය යුතුය කියන යෝජනාව අනිවාර්යෙන්ම ලියා තිබුණි. ඒ ලිපිය මා කියවූයෙමි.

      4. /* සෙවණද රුපියල් දහයකි. */

      ර. ප්‍රේමදාස අත්වැල නම් අතින් අත අල්ලන මහා වැඩ පිළිවෙලක් රට පුරා කළේය. මේවාට යන සැමට සෙවන හුරණ ලොතරැයි මිළදී ගැනීමට සිදුවිය. මේ විශේෂ හූරණ ලොතරැයිය රුපියක් පහකි. කිසිවෙකුට දිනුම් නැති ඩඩ් ටිකට් බව කියවුණි.

      සෙවන මුල් ලොතරැයිය රුපියක් 10 වෙන්නට ඇත. එය මහපොළ ලොතරැයිය මෙන් සම්මත වර්ගයේ එකක් මිස සූරණ ලොතරැයියක් නොවේ!

      Delete
  9. අරක්කු සිගරට් වගේම රටේ බදු ආදායම නංවන එක වැඩක් තමයි ලොතරයි. වැරැද්දට පොලඹවලා වැරැද්දෙන් සල්ලි ගර න ක්‍රමයක් නෙව ඕක..

    ReplyDelete
  10. අඩේ මාත් මේ ඊයේ පෙරේදා හිත හිත හිටියේ සූරන ලොතරැයි වල මොකද වුනේ ..ඇයි දැන් ඒවා නැත්තේ කියා කියා...
    -----
    හැබැයි රසික ඕකත් ශෝක් ආදායම් මාර්ගයක් ආණ්ඩු වට..

    ReplyDelete
  11. තිලක් රත්නකාර කිව්වේ එය නොව 1977 විවෘත ආර්ථිකටය පින් සිද්ද වෙන්නට පොහොසත් වූ සුනිල්ලා නන්දලා කරන්නේ අමු බොරුවක් බවයි. /////// තිලක් රත්නකාර කිව් ඒ කතාව නම් ඇත්ත​

    ReplyDelete
  12. මා කනිෂ්ඨ පන්තියක සිටියදී දින ගණනක් මහන්සි වී සංවර්ධන ලොතරයියක 'අපේක්ෂිත දිනුම් අගය' රුපියල් 3.28ක් වැනි ගණනක් බව සොයාගත්තෙමි. ඒ වන විට මම සම්භාවිතාව හෝ අපේක්ෂිත අගය යන සංකල්ප ගැන දැන නොසිටියෙමි. මා ඒ කාලයේ අමාරුවෙන් වුවත් නිවැරදිව ගණනය කළේ අපේක්ෂිත දිනුම් අගය බව මම දැනගත්තේ බොහෝ කාලයකට පසුවය. මම මගේ ජීවිත කාලය තුළ ලොතරැයි අරගෙනම නැති තරම්ය. කිහිපවරක් අනුකම්පාවට මිල දී ගෙන තිබේ. එදා සිට අද දක්වාම කුමන හේතුවක් නිසා හෝ ලොතරැයි දිනුම් වැනි මහන්සි නොවී ලබන දෙයකට මගේ වැඩි ආශාවක් නැත.

    ReplyDelete
    Replies
    1. ඔය ලොතරැයි වල අපේක්ෂිත දිනුම් අගය මුල් වරට හොයා ගත්තේ රේනේ දෙකාර්තේ. ඔහු ඒ ගැන පොතක් ලියුවා. ඇත්තටම ඔහු ලිව්වේ ලොතරැයි ගැන නෙවෙයි සූදු කෙළීම ගැන. දීර්ඝකාලීනව සූදු කෙළලා දිනන්න බැරි බවයි ඔහුගේ පොතේ සාරාංශය.

      Delete
  13. හූරන ටිකට් වලට ආසාවෙන් හිටි කාලයක් තිබ්බ.. එත් ඒ කාලේ ඒවා ගන්න සල්ලි නෑ.. ඒ නිසා හුරලා විසිකරපු ටිකට් ගත්තා.. දැන්නම් පාරේ ගියාට සුවිප් කාරයෙක් පේන්නෙවත් නැති තරම ඒ ගැන උනන්දුව අඩුවෙලා..

    ReplyDelete
  14. ලොතරැයි වල තියෙන දිනුම් සමහරවිට කොච්චර ආකර්ශනිය වුනත් මටත් ලොතරැයි මිලදී ගන්න හිතෙන්නේ නැහැ.හැබැයි ලොතරැයි අලෙවියෙ බොහෝ දෙනෙක් තමන්ගේ ජීවිකාව කරගෙනත් තිබෙනවා.

    ReplyDelete
  15. ඔය ටිකට් හූරන වැඩෙත් එක්තරා ඇබ්බැහිවීමක්. අපේ ගෙදර වැඩකල මේසන් බාස් උන්නැහේ තකහනියක් දවසට කිහිපවරක් හන්දියට යනවා හූරන ටිකට් ගන්න. අන්තිමට වැඩේ නැවතුනේ වෙන බාස් කෙනෙක්ට වැඩ බාරදෙන බවට තාත්තා කල තර්ජනය හමුවේ මිනිහා දවසටම හරියන්න ටිකට් කිහිපයක් උදෙන්ම ගිහින් මිලදී ගැනීමෙන්. දශක දෙකකට පමණ පසුවත් මිනිහා අදත් හෙඩ් බාස්.

    ReplyDelete
  16. ඇයි හත් ඉලව්වේ මේ ඉන්න එකෙක්කත් ස්වීප් වලට ආස නැහැය කියන්නේ?? මමත් කවදාවත් අරගෙන නැහැනේ! අරගන්න හිතෙන්නෙත් නැහැ. ඉදිරියට ගනීවි කියල හිතන්නත් අමාරුයි.

    ReplyDelete
  17. ශත පනහට තිබුනෙ ජාතික ලොතරැයියයි. මහජන සම්පත රුපියලක්.

    රසික කියනව වගේ මටත් ලොතරැයියක් ගන්න හිතෙන්නෙ විකුණන එකා ගැන අනුකම්පාවක් හිතුනොත් හරි නැත්නම් මාරු සල්ලි ටිකක් හොයාගන්න වෙන ක්‍රමයක් නැති වුනොත් හරි තමයි. ඇදෙයි කියල හිතාගෙන ගන්නෙ නැති නිසාදෝ කවදාවත් රුපියල් දහයෙ ලොතරැයියකින් රුපියල් විස්සකට වැඩිය ඇදිල නෑ. ඒ ඇදුන විස්සත් ගන්න යන්න කම්මැලියි.

    කොහොමත් ලොතරැයි ඉතිහාසයත් අපේ රටේ ආර්ථික ඉතිහාසය හැදෑරීමේදී වැදගත් වෙන දෙයක් තමයි.

    ReplyDelete
  18. මම රුපියල් පහක් දීලා සෙවන ලොතරැයියය්ක් ගන්නවා ඉස්සර අරලගංවිල පොලට එළවලු අරන් ගියාම. අපේ තාත්තගේ නිල් පාට වැන් එක එක ඉරිදාවක් නගරයේ ලොතරැයි විකුණන්න හයර් එකට ගත්තා . එදා මම ගත්ත සෙවන කින් රුපියල් පනහක් මට ඇදුනා... මම තව දෙකක් අරන් තෑගි නැති නිසා රුපියල් හතලිහක ලාභය තියාගෙන ගෙදර ගියා..

    ReplyDelete
  19. මතකද ඔය හූරන ඉවායේ ගහලා තියෙනවා ඉවත් කලොත් අවලංගුයි කියා

    ReplyDelete

ඔබේ ප්‍රතිචාරය මට සතුටකි!. Your comments are most welcome!
සංයමයෙන් යුතුව ප්‍රතිචාර දක්වන්න.