Wednesday, 30 March 2016

අපට කෙලවුනේ ඇයි? අපට වැරදුණු තැන් ගැන විස්තර අන් අය සමග බෙදා නොගත් නිසාය! - We effed ourselves


"නෙළුම් යාය" බ්ලොග් සම්මාන උත්සවයේ දී හොඳම දේශපාලන බ්ලොග්කරු ලෙස සම්මානයෙන් පුද ලද W3Lanka රචක අජිත් පැරකුම් ජයසිංහ විසින් ඊට සතියකට පමණ පෙර වත්පොතේ පළ කළ සටහනක් නිසා ඇවිස්සුණු මතකයක් මෙලෙස බෙදා ගන්නට සිත්විය.

අජිත් පවසන අන්දමට, නම නොදන්නා මැවිසුරුවෙකුගෙන් සම්මුඛ සාකච්ඡාවකදී ඇසූ ඔබට ජීවිත ආදර්ශ පාඨයක් තිබේද යන ප්‍රශ්නයට ඒ පුද්ගලයා දී ඇති පිළිතුර වී ඇත්තේ හොඳ නම් නියමයි, නරක නම් ඒක අත්දැකීමක් (If it is good, it is great, when it is bad, it is an experience) ය කියාය.

මගේ මතකය අවදිවූයේ ඒ කියමන නිසාය.

අද ආවර්ජනය කරනා විට, මීට පරම්පරාවකට පමණ පෙර සිදුවූවා යැයි සිතෙන තරම් දුර කාලයක, මම මෙල්බර්න් විශ්ව විද්‍යාලයේ ආචාර්ය උපාධියක් සඳහා ලියා පදිංචි වී යම් පර්යේෂණයක නිරත වී සිටියෙමි. මගේ අධීක්‍ෂකයා වූයේ කාර්මික සහ නිෂ්පාදන ඉංජිනේරු දෙපාර්තමේන්තුවේ සේවය කළ ආචාර්ය ඇන්ඩෘ වර්ත් ය.

මා පර්යේෂණයක් කළා යැයි කීවාට මේ විද්‍යාගාරයක සුදු කබායක් හැඳ, මුකවාඩමක් බැඳ කළ කර්තව්‍යයක් හෝ ඕවරෝලයක් හැඳ ආරක්‍ෂිත හිස් වැස්මක් පැළඳ කළ කර්තව්‍යයක් හෝ නොවේ. මගේ පර්යේෂණය පුස්තකාලයෙන් සහ අන්තර්ජාලය හරහා ලබාගත් පර්යේෂණ පත්‍රිකා සහ මුද්‍රිත පොත් කියවීමටත්, ඒ මගින් සහ ඇන්ඩෘ වර්ත් සමග කරන සාකච්ඡා හරහා ලබා ගන්නා දැනුම මත පදනම්ව නොයෙකුත් ගණිතමය ආකෘති ගොඩ නගා ඒවායේ ඵලදායීතාව පරිගණකයක C++ ප්‍රක්‍රමණ මගින් නීර්ණය කිරීමටත් සීමාවිය.

මෙසේ කාලය වසර දෙකක් පමණ ගෙවී යාමත් සමගම මම, පළමු වසර අවසානයේ පැවති මගේ වාචික පරීක්‍ෂණය සඳහා සම්පාදනය කළ වාර්තාවත්, එවකට කෙටුම්පත් කර තිබුණු පර්යේෂණ පත්‍රිකා ද්වයත් අනුසාරයෙන් මගේ ආචාරය උපාධි නිබන්ධනය ද එහෙන් මෙහෙන් ලිවීම ඇරඹූවෙමි.

මා පරිශීලනය කළ ප්‍රකාශිත පර්යේෂණ පත්‍රිකා සම්බන්ධයෙන් මා කළ එක් නිරීක්‍ෂණයක් වූයේ ඒ පත්‍රිකා අති බහුතරයක වාර්තා වී තිබුණේ සාර්ථක වූ පර්යේෂණ සහ ඒවායේ ආකර්ෂණීය ප්‍රතිඵල ගැන පමණක් බවයි. අසාර්ථක වූ ප්‍රයත්නයන් පිළිබඳව හෝ සිත කලකිරවන ප්‍රතිඵල ගැන හෝ සඳහනක් තිබුණේ නැති තරම් ය.

ෆේලියර්ස් ආ ද පිලර්ස් ඔෆ් සක්සස් හෙවත් වැරදීම් මත සාර්ථකත්වය ගොඩ නැගේ යනුවෙන් කියමනක් මා කුඩා කළ සිටම අසා තිබුණි.

මේ ලිපිය ආරම්භයේ සඳහන් කළ වත්පොත් සටහනේ පැරා උපුටා දක්වා තිබුණු අදහස වූයේ හොඳ දෙයක් සිදුවූවොත් අගනේ ය. වැරදුනහොත් එය අත්දැකීමක් වේ ය යනුවෙනි.

ඒ අදහස සරල සත්‍යයක් වුවත්, මා මගේ උපාධි පර්යේෂණයේ අධීක්‍ෂක ආචාර්ය වර්ත් සමග ඒ දිනවල තර්ක කළ පරිදි, මෙහිදී අපට ඇති ප්‍රශ්නය නම්, අපට වැරදෙන තැන අපට පුද්ගලිකව වැදගත් අත්දැකීම් වූවත්, බොහෝ විට අප ඒ වැරදුණු තැන් ගැන පර්යේෂණ පත්‍රිකා ලිවීම කෙසේ වෙතත් අඩු තරමින් අන් අයෙකු සමග පුද්ගලික මට්ටමෙන් බෙදා හදා ගැනීමක් හෝ කරන්නට පෙළඹෙන්නේ නැති හෙයින්, එකම අත්දැකීම, එනම් වැරදීම, එකම පුද්ගලයාට දෙවතාවක් නොලැබුණේ වුවද, විවිධ පුද්ගලයිනට විවිධ අවස්ථාවලදී එකම අත්දැකීම ලැබෙන්නට ඇති ඉඩේ අඩුවක් නොවෙන බවයි.

ඒ දීර්ඝ වාක්‍යයේ තේරුම වෙනත් ආකාරයකට ලියනවා නම් මෙසේය.

අප අපට වෙන වැරදීම් ගැන තොරතුරු අන් අය සමග බෙදා ගන්නවා නම්, වෙනත් අයටද අපේ වැරදීමෙන් ප්‍රයෝජනයක් ගත හැකිය.

සමාජ ජාල හරහා, බ්ලොග් හරහා මෙන්ම පුද්ගලික මට්ටමෙන් ද ජිවිතයේ සාමාන්‍ය කාරණා පිළිබඳව මෙලෙස අත්දැකීම්, උගත් පාඩම් බෙදා ගැනීමක් සිදුවුණද, පර්යේෂණ ක්‍ෂේත්‍රයේ නම් මෙය සිදු නොවේ.

වැරදෙන පර්යේෂණ ගැන විස්තර පළ කරන්නට ඉඩ ලබා දෙන ජර්නල් ගැන මා නම් අසා නැත. ඒ ආකාරයේ අත්දැකීම්, උගත් පාඩම් ඒ ඒ ගුරුකුල කණ්ඩායම් අභ්‍යන්තරයේ නම් බෙදා හදා ගන්නවා විය හැක.

-රසිකොලොජිස්ට්

(image via http://researchimpact.files.wordpress.com)

46 comments:

  1. හොද නං නියමයි. නරක නං අවුලකුත් නැ..

    ReplyDelete
    Replies
    1. ඔබ දේශකයෙකු නම් මේ ගැන යම් අත්දැකීම් ඇති?

      Delete
  2. There are:
    https://www.elsevier.com/authors-update/story/innovation-in-publishing/why-science-needs-to-publish-negative-results

    ReplyDelete
    Replies
    1. අපූරුයි.

      මෙවැනි පිළිවෙතක් මා ලියූ මේ කතාවට අදාල 1997 දි පමණ තිබුණේ නෑ. මේ කියන්නේ කම්පන්ඩෙක්ස් සීඩීවලින් ජර්නල් ආටිකල් සර්ච් කළ කාලයයි.

      Delete
  3. බොහෝ විමර්ශිත ජර්නල කතුවරුන් මෙය ඉතා සක්‍රිය ලෙස දිරිමත් කරන අතර ඇතැම් ජර්නල වල යම් කෝටාවක්ද වෙන් කර තිබේ. මේ සඳහාම වෙන්වුණු ජර්නල්ද තිබේ.

    ReplyDelete
    Replies
    1. මා ලියූ එවස්ට්‍රපිබ් සසම්භාවී පාලිත පරීක්ෂණය ගැන ලිපිය (http://emgesathapaha.blogspot.com/2016/02/blog-post_16.html) පාදක වූයේද එවැනි අසාර්ථක වෑයමක් ගැන ලියවුනු ලිපියකි.

      Nature Biotechnology 34, 5–6 (2016) doi:10.1038/nbt0116-5

      Delete
    2. අපූරුයි.

      මෙවැනි පිළිවෙතක් මා ලියූ මේ කතාවට අදාල 1997 දි පමණ තිබුණේ නෑ. මේ කියන්නේ කම්පන්ඩෙක්ස් සීඩීවලින් ජර්නල් ආටිකල් සර්ච් කළ කාලයයි.

      මගේ අධීක්‍ෂක ආචාර්යවරයාත් මගේ අදහසට විරුද්ධ දෙයක් කීවේ නෑ.

      Delete
  4. අපට නං හරියන්නෙම නැති හින්ද වරදින ඒව ගැන විතරයි ලියන්නේ.....

    ReplyDelete
    Replies
    1. මොනවද මංදා හරි ගිහින් කියලා එහෙනං ඔය කියලා තිබ්බේ :)

      Delete
    2. තිසර කියන්නේ අර මලක් නෙලා ගත් විස්තරය නේද?

      Delete
  5. lessons learnt සහ personal assessment වැනි sub-chapters කීපයක් Conclusion chapter එකට ඇතුළත් කිරී‍මේ ඇති ප්‍රයෝජනය මේක නේද?

    ReplyDelete
    Replies
    1. I was going to mention the same.

      Delete
    2. නමුත් තනිකරම වැරදුණු දේ ගැන කිසිම විස්තරයක් ලියවෙන්නේ නෑ නේද? මාත් ලියා නෑ ඇකඩමික් කටයුතු සම්බන්ධයෙන් නම්.

      Delete
  6. නිදහස ලැබුදා සිට අද දක්වා " අපට කෙලවුනේ ඇයි ?" යන්නට අවංකව පිළිතුරු නොසොයනතාක් කල් අපට තවදුරටත් කෙළවෙනු ඇත. !

    ReplyDelete
    Replies
    1. මේ ලිපියේ නිවැරදි මාතෘකාව "මට කෙලවුනේ ඇයි?" යන්නයි. වඩාත් හොඳින් කියනවා නම්, "මගේ PhD එකට කෙලවුනේ ඇයි?" යන්නයි!

      Delete
  7. මොකටද මං විතරක් වරද්දගෙන තොපිලට එකපාරම හරියන්න හදල දෙන්නෙ තොපිලත් වරද්දගන නා ගනිංකො කියල හිතන හින්ද වෙන්නැති ඔහොම වෙන්නෙ.

    ReplyDelete
    Replies
    1. එහෙමම නොවෙයි.
      මං මේ කියන්නේ පර්යේෂණ පත්‍රිකා පළ කෙරෙන ජර්නල් පිළිබඳවයි.
      එවැනි තැනක සාර්ථක වූ දෙයක් ගැණ ලිපයූ ලිපියක්වත් පළකරවා ගැනීම දුෂ්කරයි!

      Delete
  8. සමහර පත්‍රිකා වල Conclusion කොටසේ ඔවුන් සටහන් කරනවා වැරදුනු නිගමනයක් ගැන...

    ReplyDelete
    Replies
    1. ඒ නිකං අර කරන්න ඕනෑ නිසා, නමුත් මූලිකවම පත්‍රිකාව පළ වෙන්නේ එය සාර්ථක පර්යේෂණයක් ගැන නිසායි.

      මං කියන්නේ බෙල්ල මුලින් ගහලා යන කේස් ගැනයි. ඒවා තමයි අන් අය දැණගත යුත්තේ!

      Delete
  9. දිනන දාට කොල්ලෝ
    ෂා නියමයි කියලා …

    ReplyDelete
    Replies
    1. ඒ වෙනම ම ලිපියක් ලිවිය යුතු මාතෘකාවක්.

      Delete
  10. මං හිතන්නේ ලඟදී පැවැත්වුණු බ්ලොග් වලට සම්බන්ධ උත්සවයක සංවිධායකවරුන්ටත් පොඩි ඉඟියක් තියනවා වගේ....

    ReplyDelete
    Replies
    1. සංවිධායකවරුන්ටත් පොඩි ඉඟියක් තියනවා වගේ....ම සම්මාන ගන්න ගිහිල්ලා නා..කියා ගත්ත අයටත් එක හා සමානව තියනවා

      Delete
    2. මේ ලිපිය ලීවේ දැන් සති දෙකකට පෙරයි.
      අලුතෙන් ඇතුළත් කළේ අජිත් ගේ සම්මානයේ විස්තර පමණි.
      සම්මාන උළෙලට වෙනත් සම්බන්ධයක් ඇත්තේම නැත!

      Delete
    3. මම මේ කොමෙන්ටෙකක් දාන්න පහලට යන ගමන් හිටියේ.. මම ලියුවා අපිට සම්මාන උළෙලේ වැරදුනු තැන ගැන අසම්පුර්ණ සටහනක්.. ඒක ඊලඟ එක කරන උන්ට උදව්වක් වෙයි කියලයි දැම්මේ.. හැබැයි මේක කියෙව්වේ ඊට පස්සේ.. :)

      ඔන්න මම මගේ යුතුකම භාගෙට හරි කරා..

      Delete
  11. රසිකයියේ...........

    අපේ අදහස නම් මේකයි... යමක් සොයා ගැනීමයි යමක් වරද්දවා ගැනීමයි අතර ඇත්තේ මහා ලොකු සම්බන්ධතාවයකි. මේකයි..... අපිට යමක් වැරදුනා කියන්නේ ම ඒකත් එක් ආකාරය සොයා ගැනීමක් තමයි... ඒ කියන්නේ මේ විදිහට මේක කරන්න බැහැ කියන සොයා ගැනීම. ඒ ගමන් ම ඒ තුළ නව සොයා ගැනීමක් තුළ නැති ආකාරයේ පෙළඹවීමකුත් තියෙනවා..... ඒ තමා එහෙනං කොහොමද මේක කරන්න හැකි කියන අදහස....... ඒ නිසා වරදිනවාට බිය විය යුතු නැත.........

    ReplyDelete
    Replies
    1. කවුද බය?
      8-)
      මා කියන්නේ ඒ වැරදුණු තැන් ගැන විස්තර අන් අය සමග බෙදා ගැනීම ගැනයි.

      Delete
  12. වැරදීම් වලින් ඉගෙනගන්න පාඩම් පස්සෙන් පහු හරියට වැදගත් වෙනවා ආයෙත් වරද්ද නොගන්න.තමන්ට වැරදුන තැන ගැන තවත් අයෙක් දැනුවත් කෙරුවා නම් ඒ අනෙක් තැනත්තාට ඒ තැන වරදින එක අවම වන්නට තිබුණා.

    ReplyDelete
    Replies
    1. පුද්ගලික මට්ටමෙන් එය වෙනවා. ලේඛනගත කිරීම වැදගත් පරාසය පුුළුල් කිරීමටයි.

      Delete
  13. අපි ප්‍රෝජෙක්ට් එකක් ඉවර උනාම ලෙසන්ට් ලන් සෙෂන් එකක් තියල ඒකෙ සාකච්ඡා සහ තීන්දු තීරණ සහිත වාර්ථාවක් හදනව.

    අවුල තීන්නෙ ඒ හෑම වාර්ථාවකම වගේ එකම දේවල් ලිවෙන එකයි.

    ReplyDelete
    Replies
    1. ඒ කියන්නේ කලින් ප්‍රොජෙක්ට් එකේ ලෙසන්ස් ලර්න්ට් ඇත්තටම ලෙසන්ස් නොට් ලර්න්ට් හෙවත් මිස්ටේක්ස් ටු බී රිපීටඩ් නේද?

      Delete
  14. වැරදි ගැන කතා කරනකොට ඒක සෘණාත්මක ආකල්ප,සෘණාතමක අදහස් දැක්වීම්, විවේචන වගේ කියලා ඒ අදහස් දක්වන අයවළුන් අධර්යයට පත්කිරීමක් දකින්න පුළුවන්.ඒ නිසා හැමදේටම හොඳයි,වැරදි නෑ කියල දුර්වලතාවයන් හන්ගන එක විලාසිතාවක් වෙලා.
    බුදුරජාණන් වහන්සේ 'ධර්මය බබලන්නේ විවෘත්තවූ පමණින් ය' වදාලා සේම එය සෑම තැනටම පොදුය.
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. ඉස්සර කොලමක් තිබුණා හපන්කම්, මෝඩකම්, පුරසාරම් කියලා.

      එදිනෙදා කතා ලියන අපි වැනි බ්ලොග්කරුවුණත් තමන්ට වැරදුණු තැන් ගැන ලියනවා.

      බුදු සාදුටත් කොච්චරක් නම් තැන්වල දී වැරදුණා ද?

      Delete
  15. අපි වැඩ කරන මේ ආයතනයේනම් lessons learned වෙනම වගුගත කරගෙන වරින්වර අනිකුත් ව්‍යාපෘති සමග බෙදා ගන්නවා . අද උදෙත් ඒ හා සම්බන්ධ රැස්වීමක් තිබ්බා

    ReplyDelete
    Replies
    1. ලෙසන්ස් ලර්න්ට් රිපෝර්ටින් කියන්නේ ප්‍රොජෙක්ට් මැනේජ්මන්ට් වල අනිවාර්ය කොටසක් නේ!
      නමුත් ඇකඩමියාවේ තත්වය වෙනස්.

      Delete
  16. මගේ ගාව තියනවා "ඉංජිනේරුවකු වීමට ඔබ කැමතිද?" කියල පොතක්. රුසියන් පරිවර්තනයක්.
    ඒකෙ එක පරිච්ජෙදයක සඳහන් වෙනවා අනුන්ගේ වැරදි ගැන හොයන ළමයෙක් ගැන. එයාගෙන් ඒ පොතේ කතුවරයා ඒ ගැන අහද්දී දෙන උත්තරේ තමා, "නොකළ යුතු හැටි වටහාගැනීමටයි මගේ ආශාව.."
    ඇත්තෙන්ම අපි අපිට වැරදුනු තැන් ගැන කතා කරනවා නම්, අනික් අයට වගේම අපිටත් ඒක ලොකු උදව්වක්. මොකද එකම වරද නැවත නොකර සිටීමට අපිට පුළුවන් වෙනවා.

    ReplyDelete
  17. මම නම් වැඩ කරන්නේ හැම දේම වෙන්නේ හොඳටය කියන ආදර්ශ පාඨය හිතේ තියාගෙන. මෙතෙක් අත්දකීම තමා ගරි ගියත් වැරදුනත් අන්තිම ප්‍රතිපලය හොඳය කියන එක

    ReplyDelete
    Replies
    1. මගේ අත්දැකීමත් හැමදේම වෙන්නේ හොඳටය කියන එක තමයි!

      Delete
  18. ඇකඩමියාවේ වෙන්නේ අසාර්ථක ව්‍යපෘති බර ගණනක් කරලා ඒවා ගැන මොකුත් නොලියා අන්තිමට හරි ගිය එකෙන් PhD එක ලියන එකයි. "මැවිසුරු නාථ දෙවි" විරුද්ධව හඬ නගන්නේ මේ සංකල්පයටම වත්ද?

    ReplyDelete
  19. Why not, I know of a scientific journal paper published by a Sri Lankan about lessons to learn from a experiment gone wrong .. Bad results are findings of how it did not work :)

    ReplyDelete
  20. වැරදුන තැන් අත් දැකීමක කියන එකට මමත් එකඟයි. මම අවුරුදු දෙකකට විතර කලින් තාරකා විද්‍යාව උපාධිය සඳහා කල ඩිසර්ටේෂන් එකේ වැරදි ප්‍රතිපල ගැන ලිව්වා. එහම ලියන්න කියල උපදෙසකුත් ලැබුණා හැමෝටම. මට හිතෙන්නෙත් 1997 වගේ කාලෙක එහෙම නොතියෙන්න ඇති කියල.

    ReplyDelete

ඔබේ ප්‍රතිචාරය මට සතුටකි!. Your comments are most welcome!
සංයමයෙන් යුතුව ප්‍රතිචාර දක්වන්න.