Sunday 29 March 2015

ඊයේ මා ඡන්දය දුන් හැටි (ඡායාරූප සහිතයි) - How I voted yesterday



ඕස්ට්‍රේලියාවේ ඡන්දය පාවිච්චි කිරීම අනිවාර්ය වේ. ඡන්දය නොදැම්මොත් දඩ කොලයක් ගෙදරට එනු ඇත. මේ දිනවල ඒ දඩය ඩොලර් 55 කි.

නමුත්, ඡන්දයට ලියා පදිංචි වීම යනු මා දන්නා තරමින් අනිවාර්යෙන් කළ යුතු දෙයක් නොවේ. පිටරටක සිට මෙහි පැමිණ ස්ථිරව පදිංචි වී, පසුව පුරවැසිකම ගත් මා වැනි අයට, ඡන්දදායකයෙකු ලෙස වෙනමම ලියාපදිංචි වීමට තිබුණි. එය මා උවමනාවෙන් කළ දෙයකි. නොකර ඉන්නට ද ඉඩ තිබුණි.

එසේම, වයස අවුරුදු 18 සපුරණ තරුණ තරුණියන්ට ද, ඡන්දය සඳහා ලියාපදිංචි වීම ද අනිවාර්ය නැත. එනම් කිසිවෙකු ඒ ගැන සොයා බලන්නේ නැත. ඡන්දය සඳහා ලියා පදිංචි වීම යනු ස්ව කැමැත්තෙන් කළ යුතු දෙයකි. ගෙදරට ඡන්ද ලේඛන රැගෙන ග්‍රාමසේවකලා ඒමක් නැත.

ඒසේ වෙතත්, ලියා පදිංචි වුවහොත් ඡන්දය දීම අනිවාර්ය වේ.

වාසනාවකට මෙන් ලංකාව සහ ඕස්ට්‍රේලියාව දෙරටෙහිම අප බොහෝ දෙනෙකු ඡන්දය දීම දකින්නේ ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක පුරවැසියන් ලෙස තම ප්‍රජා අයිතිය පාවිච්චි කිරීමක් මිස කරදරයක් ලෙස නොවේ.

වසර 1999 ජනවාරියේ දී ශ්‍රී ලාංකික පුරවැසිකමට අමතරව මා ඕස්ට්‍රේලියානු පුරවැසිකම ලබාගත් දා සිට, මේ දක්වා ෆෙඩරල් රජය පිහිටුවීම සඳහා වසර තුනකට වරක් පැවැත්වෙන ඡන්ද විමසීම් පහක දී ද, ප්‍රාන්ත රජයන් පිහිටුවීම සඳහා සිව් වසරකට වරක් පැවැත්වෙන ඡන්ද විමසීම් හතරක දී ද, නගර සභා ඡන්ද විමසීම් තුන් හතරක දී ද මම ඡන්දය දී ඇත්තෙමි.

ඊයේ පළ වූ ලිපියේ මා සඳහන් කළ පරිදි, මම එදා දවල් වරුවේ මගේ ප්‍රජාතන්ත්‍රික අයිතිය පාවිච්චි කිරීම සඳහා, ගමේ පාසලට ගියෙමි.

මා එහි ලඟාවෙන විටම දුටුවේ වෙනදා මෙන්ම පාසලට පිවිසෙන ගෙට්ටුව අවට ප්‍රදේශය ඡන්ද අපේක්‍ෂකයින් ගේ සහ ඔවුන් ගේ පක්‍ෂ නායකයින් ගේ ඡායාරූපවලින් පිරී ඇති බවයි.


වාහන නැවතුමද පිරී ඉතිරී ගොස් තිබුණි.


එ නිසා ම මට එකතුවෙන්නට වූයේ මහා දිගු පෝලිමකටයි.


පෝලිමට එකතු වීමට පෙර ඡන්ද පොලේ සිටි ඡන්ද අපේක්‍ෂකයින් ගේ නියෝජිතයින්ගෙන් මට ලැබුනේ ඒ ඒ ඡන්ද අපේක්‍ෂකයින් සඳහා ඡන්දය පාවිච්චි කළ යුතු ආකාරය දැක්වෙන පත්‍රිකා ය.


මේ පත්‍රිකාවල අදහස නම්, ඡන්දදායකයින්ට ඡන්දයට ඉදිරිපත්වෙන හැම අපේක්‍ෂකයෙකුටම තම මනාප අනුපිළිවෙලට අනුවට ඡන්දය දිය හැකි නිසා, ඒ සම්බන්ධයෙන් ඡන්ද අපේක්‍ෂකයා යෝජනා කරන ආකාරය කියා දීමයි.

මෙන්න ප්‍රධාන අපේක්‍ෂකයින් තිදෙනා.

කම්කරු පක්‍ෂයේ ටොඩ් කානි, ලිබරල් පක්‍ෂයේ (දැන් සිටින මන්ත්‍රී) ටානියා ඩේවිස් සහ හරිත පක්‍ෂයේ කින්ග්ස්ලි ලියූ.

මා එහි ගිය වේලේ, ටොඩ් කානි පෝලිමේ හිටපු අයට පත්‍රිකා බෙදමින් සිටිනු දුටුමි. අන් හැමෙකුම සමග මෙන්ම මා සමගත් ඔහු තමන්ව හඳුන්වා දෙමින් කතා කළේ ය.


ඕස්ට්‍රේලියාවේ සාමාන්‍යයෙන් ඡන්ද රැලි නැති නිසා, අපේක්‍ෂකයින් ට ඡන්දදායකයින් මුණ ගැසෙන්නට ලැබෙන්නේ, බොහෝ විට බස් නැවතුමේ දී, දුම්රිය පොලේ දී මේ අකාරයෙන් පත්‍රිකා බෙදන අවස්ථාවලදී පමණි.

ඡන්ද මධ්‍යස්ථානය තිබුනේ අපේ ගමේ උසස් විද්‍යාලයේ ප්‍රධාන ශාලාවේ දී යි. එතැන දී මුලින්ම කළ යුතුව තිබුණේ ඡන්ද නිළධාරියෙක් හමුවී තමන් ගේ නම කියා චන්ද පත්‍ර්‍රිකා ලබා ගැනීමයි.



එවැනි ඡන්ද නිළධාරීන් කීප දෙනෙක්ම හිටියහ. මා මුණු ගැසුණු පුද්ගලයා, මගේ නම ඔහුගේ රෙජිස්ටරයේ ලකුණු කර ගෙන මට චන්ද පත්‍රිකා දෙකක් ලබා දුන්නේය.

ඉන් එකක් ප්‍රාන්ත ව්‍යවස්ථාදායක සභාව සඳහාය.


අනික, උත්තර මන්ත්‍රී මංඩලය හෙවත් ව්‍යවස්ථාදායක කවුන්සිලය සඳහාය. මේ ඡන්දය සමානුපාතකි ක්‍රමයට මුළු ප්‍රාන්තය සඳහාම පැවැත්වෙන බැවින් අපේක්‍ෂක කණ්ඩායම් අති විශාල සංඛ්‍යාවක් සිටි අතර ඡන්ද පත්‍රිකාව, මා සිතූ ලෙසම මාගලක් සේ දිගු විය.



ඡන්දදායකයින් තම ඡන්දය ලකුණු කරන ආකාරය මෙහි පහත ඡායාරූපයෙන් දැක්වේ.


මගේ දේශපාලන මතය ඡන්ද පත්‍රිකාවේ සළකුණු කර ශාලාවෙන් ඉවතට ආ මා දුටුවේ මා එහි පැමිණි වේලේ පැවැති දිගු පෝලිම කෙමෙන් අඩු වී ඇති බවයි.

පාසලේ දෙමව්පිය සංගමය මගින් පවත්වන බාබකියු විකුණුම්හලක් ද එහි විය.


බාබකියු කරන ලද සොසේජයක්, ලූණු සහ පාන් පෙති දෙකක් තක්කාලි සෝස් සමග ඩොලර් දෙකයි පනහක් ගෙවා මිළදී ගැනීමට එහි ගිය මට ඔවුන් පැවසුවේ පාන් සියල්ල අවසාන වූ බැවින් ලඟම ඇති වෙළඳසැලෙන් අළුතින් පාන් ගෙන එනතුරු විනාඩි කිහිපයක් ඉවසා සිටින ලෙසයි.

මට දිගු පෝලිමක සිටින්නට සිදුවූයේ ද, බාබකියූහලේ පාන් අවසාන වී තිබුණේ ද, මේ දහවල් ආහාර වේලාව නිසා බව මට ඒ මොහොතේ අවබෝධ විය.

සෙනසුරාදා සවස පහට ඡන්දය දීම අවසන් වුණු අතර, සවස හයට ඡන්ද ගණනය කිරීම ඇරඹුණි. රාත්‍රී අට පමණ වන විට, ගැණ අවසාන වෙමින් තිබූ කුඩා ප්‍රතිශතයක ඡන්ද සංඛ්‍යාව අනුව, පැවති රජයම නැවත බලයට එන බව පැහැදිලි විය. එසේ වෙතත්, ඔවුන් පසුගිය ඡන්දයේ දී අළුතින් දිනාගත් ආසන කිහිපයක්ම ඔවුන්ට අහිමි වෙන ලකුණු තිබුණි.

තවත් පැයකින් පමණ, ඡන්දයෙන් පැරදුණු විපක්‍ෂනායක තම පරාජය පිළිගැනීමේ කතාව කළේය. ජයගත් පිළ දිනුවේ, අහවල් පැත්තේ, අහවල් උන්ගේ ඡන්ද නිසා යැයි, ඔහු අවලාද නගතැයි මට මොහොතකට හෝ සිතුණ ද, ඔහු ගේ කතාව ඉන් හාත් පසින්ම වෙනස් විය.

(මේ වීඩියෝ ක්ලිප් බලන්න වටිනවා!)


ඉන් විනාඩි විස්සකට පසුව ඡන්දය දිනූ ප්‍රාන්තයේ ප්‍රධාන ඇමති (ප්‍රෙමියර්) තම ජයග්‍රාහී කතාව කළේ ය. ඔහු ද පැරදුණු විපක්‍ෂ නායකයාට ප්‍රශංසා කර අතර, අළුතින් පත්වෙන විපක්‍ෂ මන්ත්‍රීවරුන්ට සුභ පැතුවේ ය.



ඉනික්බිති, සභා තොමෝ සතුටින් විසිර ගියා ය.

-රසිකොලොජිස්ට්

45 comments:

  1. අයියෝ පොඩිම පොඩි චුටීම චුටි වලියක්වත් ගියේ නැද්ද ......... එහෙනම් ඉතින් චන්දෙ කියලා කිසි ගතියක් නැනේ .... පට්ට බොරින්නේ

    ReplyDelete
    Replies
    1. ඔව් රාලේ පහලින් ප්රාන්තේ ඉන්න අපි ඕක ගැන දන්නේනත් දැන්
      මලාට වලියක් නෑ ආතල් තියා බෝතල්වත් නැ ගතියක් දැනෙන්නේම නෑ

      Delete
    2. වලි කෙසේ වෙතත් පක්‍ෂ නායකයින් දෙදෙනා අතර රූපවාහිනී විවාදයක් සහ ටවුන් හෝල් විවාදයක් තිබුණා. ඊට අමතරව ටීවී චැනල්වලින් ප්‍රශ්ණ අහනවා කියන්නේත් ලොකු වලියක් වගේ තමයි!

      Delete
  2. ස්තුතී

    ReplyDelete
    Replies
    1. කියන්න අමතක වුණා ඉස්සෙල්ලා. ඔයාගේ දත් හරිම ලස්සනයි.

      Delete
    2. මගේ දත් කොච්චර හොඳ ද කියනවා නම් යන දත් දොස්තර එක්ස්රේ සෙට් එකක් අරන් ඊට පස්සේ ලොකු එකක් ගන්න තව තැනකට ඇරියා. ඒක බලලා මාව දත් දොස්තර ස්පෙෂලිස්ට් කෙනෙක් ගාවටත් ඇරියා. ඒයාත් කළේ හිටු කියලා එක්ස් රේ ගත්තු එකයි. තව ඩොලර් දාහක වැඩටහනක් දෙන්න එන්න කීවා, මං තාම ගියේ නෑ.

      Delete
    3. ලංකාවට යන්න කකා.... ලක්සයක් දුන්නොත් දත් සැට් එකක් අළුතෙන්ම හිටව ගන්න පුළුවන් වෙයි....

      Delete
    4. දත් ගලවන අය නං ඉන්න බව දැනගෙනයි හිටියේ, දත් හිටවන අයත් ඉන්නවාය කියා දැන ගැනීමට ලැබීම සතුටක්!

      Delete
    5. හි හි.. විහිළු නෙමේ මං ඇත්තට කිවුවේ.

      Delete
  3. ටොඩ් මාර හැන්ඩියානේ. ලඟ ඉන්න කෙනත් වරදක් නෑ...:P

    ReplyDelete
    Replies
    1. අපේ ගමේ හැන්ඩියෝ පුරෝලා!

      Delete
  4. ඡන්ද පත්‍රිකා ඡායාරූප ගැනීම ඔහෝ තහනං නැද්ද?

    ReplyDelete
    Replies
    1. //ලංකාවේ තහනම් ද?//

      නැතුව නැතුව කකා, හිරෙත් යන්න වෙන සයිස්. ඡන්දෙට කලින්දා අපේ මැකෝ හිනාවෙවී උඩ පැන පැන අවධාරණය කළේ ඡන්ද පත්‍රිකා ඡායාරූප ගක කිරීම, ඡන්දය ලකුණු කිරීම තම දුරකතනයෙ කැමරාවෙන් වීඩියෝ කර ගැනීම වගේ දේවලින් වළකින ලෙස.

      Delete
    2. තහනම් නැතිව අැති, ඒ්ත් අල්ලල කූඩුෙවි දායි, ලංකාවෙන්

      Delete
  5. අපරාදේ ලංකාවේ ජන්ද කරන ඇත්තෝ හතර පහක් යවන්න තිබ්බේ ඔය පැත්තේ...

    ReplyDelete
    Replies
    1. ලංකාවේ අයත් ඕස්ට්‍රේලියාවේ විටින් විට ඡන්දේ ඉල්ලනවා. වික්ටෝරියානු පාර්ලිමේන්තුවේ ජූඩ් පෙරේරා එවැන්නෙක්.

      Delete
  6. අර කිව්වා වගේ මෙළෝ රහක් නෑ.. අනික අර යකා ඡන්ද නීතී අමු අමුවේ උල්ලංගනය කරලා ඡන්ද පොලටම ඇවිල්ලා කැම්පේන් කරන්න. මෙහේනම් කූඩුවේ දානවා. අනික ඡන්දෙන් පස්සේ ප්‍රතිවාදින්ට පහරදීම් වෙඩි තැබිම් බට්ටන් පත්තු කිරීම මෙළෝ දෙයක් නෑ. ඕක ඡන්දයක්ද, එහෙම නැත්නම් පික්නික් එකක්ද..

    බා බේ කිව් නම් මෙහෙත් දානවා ඡන්දෙ වෙලාවෙයි.. ඊට පස්සෙයි.. එකම් දේ එහෙම බා බේ කිව් දාන අය අත් අඩංගුවට ගන්නවා..

    ReplyDelete
    Replies
    1. ඡන්ද ප්‍රචාරන නීති මෙහේ වෙනස්. ටෙලිවිෂන් එකේ කලින්දා වෙනකල්ම පුළුවනි.
      ඡන්ද පොලේ කොල දෙන්නේ ඡන්දේ දෙන හැටි ගැන කියායි.
      ටානියා ඩේවිස් අපේක්‍ෂ්කාවත් මං යන් කලින් ඇවිත් යන්න ඇති.

      මට මතකයි 1977 ඡන්දේ දී අර්ජුනලා ගේ උඩුගම්පොල ගෙදර බාබකියු කරලා තිබුණා!

      Delete
  7. ඔහේ යහපාළනයක් ඇත්තෙම නෑනෙ. ඡන්දෙවෙලාවට ඡන්ද පොළෙත් පත්‍රිකා බෙදනව කියන්නෙ, අන්තිම සවුත්තුයි!

    අර ඔමා කිව්වැහෙ රසික දන්තාබුජද, දන්තාමුක්තද පාව්විච්චි කරන්නෙ?

    BTW දන්තා+මුක්ත = දත් නැති ?

    ReplyDelete
    Replies
    1. ක්ලෝගාඩ් සහ සිග්නල් හර්බල් පවා අපේ ගෙදර තියෙනවා!

      Delete
  8. ඔහෙ ඉන්න සැට් එකට මෙහේ එන්ඩ කියන්ඩ.හැමෝටම සතුටු වෙන්ඩ පුළුවං විදිහේ ආතල් ඡන්දයක් තියන විදිහ මෙහෙං ඉගෙනගෙන යන්ඩ කියන්ඩ.

    ReplyDelete
  9. දියුනු රටවල් කිව්වට මුන් හරියට ජන්ද කරන්න දන්නෙනෑ.ජන්දෙනම් පාරවල් වහල රැස්වීම් තියන්න ඕන,කතකරන ගමන් පපුවට ගහ ගන්න ඕන,ඉටි කොඩි ඊලග ජන්දෙ වෙනකන් පාරෙ තියන්නඕන,අඩුම දහ පාලොස් දෙනක් මැරන්න ඕන.මඩ ඇත්තෙමනෑ.මඩ නැතිව මොන ජන්දද, කිසි ගතියක් නෑ. (රන්ජන් )

    ReplyDelete
    Replies
    1. කියලා වැඩක් නෑ රන්ජන්, ආපහු ලංකාවට යන්න හිතෙනවා, මේ සේරම අතහැරලා!

      Delete
  10. හ ලොකුවට ජන්දෙ ඉල්ලු වට, ඔය එකෙක්වත් දවසකටවත් හිරේ ගිහින් නැතුව ඇති.එහෙම මිනිස්සුන්ට ජන්ද හම්බ වෙයිද?

    ReplyDelete
    Replies
    1. මං කලින් ලිපියක ලිව්වා වගේ මෙහේ මන්ත්‍රීලා නොයෙකුත් වැරදිවලට අහුවෙනවා, හැබැයි, බොහෝ දෙනා වහාම තමන්ගේ පක්‍ෂයෙන් අයින් කරන්න කලින් මන්ත්‍රී කමින් අස්වෙනවා.

      මේ ඒ ගැන මා සඳහන් කළ ලිපිය.
      http://rasikalogy.blogspot.com/2015/02/blog-post.html

      Delete
  11. චඃ .. ඔහොමත් චන්ද වලින් වැඩක් තියනවද? නියෝජිතයෝ පන්නල, හොර චන්ද දාල කරන්න ඕන චන්දයක් කොරනවා නං..

    ReplyDelete
    Replies
    1. ඒ කාලේ ගියා නේද? මේ පාර එහෙම කේස් තිබුණේ නෑ නේද ලංකාවේ?

      Delete
  12. මෙය ඇඟට දැනෙන ඡන්දයක් නොවන බව සවිස්තර වාර්තා මගින් තහවුරු වේ. ඡන්ද කෙරුවාව කරන්නේ කොහොමද කියල ඉගෙන ගන්න යන්න අර අම්ම්මටසිරි ලංකාවට.

    ReplyDelete
    Replies
    1. ඒ පරණ කතා, දැන් වෙනස් නේද? මේ පාර ඡන්දේ සෑහෙන්න හොඳට තිබුණා නේද?

      Delete
  13. මෙහෙ ඊයේ පෙරේදා චන්දයක් තිබ්බා. ඉටි කොළ , රැස්වීම් , ගහ මරා ගැනිලි , වෙඩි තියාගැනීම් , කුණුහරුපකීම් මොනවත් නැහැ. සමාජ - සංස්කෘතික මට්ටමින් ලංකාව උසස් තත්වයකට ආපු කාලයක මේ වගේ තියෙයි. හැබැයි ඒක අපේ ජීවිත කාලය ඇතුලත බලාගන්න පුළුවන් වෙයිද ? දෙයියෝ තමයි දන්නේ. චන්ඩි මල්ලිලා , චෙකා මල්ලිලා ජනතාව පාලනය කරන දේශයක සමහර විට මේ වෙනස දකින්න තව අවුරුදු සීයක්වත් යයි.

    http://transyl2014.blogspot.ca/2015/01/blog-post_7.html

    ReplyDelete
    Replies
    1. රුවන් ගේ ලිපිය කියෙව්වා. ඉතාමත් අනර්ඝයි!
      http://transyl2014.blogspot.ca/2015/01/blog-post_7.html

      Delete
  14. දැන් එතකොට ලංකාවේ වගේ උනානම් කියාවි ඡන්ද නීති උල්ලංගනය කලා කියලා මැකෝ ඇවිත් ඡන්දෙත් ශූන්‍ය කරාවි.. මෙහේ කොහොමද දන්නෙ නෑ.. අපි ඉතින් ඕවා ගැන හොයන්න යන්නේ නැහැනේ..

    ReplyDelete
    Replies
    1. ඇත්තටම ඔය ඉතාලිය පුරා ඉන්න ලාංකිකයින්ගේ වීසා තත්වය මොකක්ද?
      වර්ක් වීසා ද?
      ස්ථිර පදිංචි ද?
      පුරවැසිකම ගත්තු අයත් ඇති නේද?

      Delete
  15. අර ටොඩ් කානි හෙනම උස පාටයි! :D

    ReplyDelete
    Replies
    1. ඔයාට වඩා නං අඩි දෙකක් විතර උස ඇති!

      Delete
  16. මරණාධාර සමිතියක ඡන්දයක් තරම් වත් ගතියක් නෑ... බොහොම මදි... ලංකාවට නෙමෙයි.. විශේසඤ්ඤ උපදෙස් ගන්න ඉංදියාවට යවන්න ඕනෙ.. ඔව්..

    ReplyDelete
    Replies
    1. වීඩියෝ ක්ලිප් දෙක බැලුවද? මුල විනාඩි කීපය බලන්න, අනිත් නායකයා ගැන කතා කරන දේ!

      Delete
  17. පාන් ගේනකම් හෝටලේට වෙලා බලං ඉඳීම, මාගල් වගේ චන්ද පත්‍රිකා, Teach both of them a lesson, fishers party වගේ සාධනීය ලක්ශණත් නැත්තෙම නෑ.. හැක්.

    ReplyDelete
    Replies
    1. Teach them both a lesson කියන්නේ එක කණ්ඩායමක මාකටින් ස්ලෝගන් එකයි.

      කාළෙකට ඉස්සර පක්‍ෂයක් තිබුණා ඒ අයගේ ස්ලෝගන් එක වුනේ - Keep bastards honest.

      Delete
  18. ඡන්දපොළේදී ඇතුළට යන්නට පෙර ප්‍රචාරය කරන එක කාලය, ධනය හා ශ්‍රමය ඉතිරි කරන්නට හේතු වෙනවා. ලංකාවේ නම් මෙය සපුරා තහනම්.

    ReplyDelete
    Replies
    1. මෙහේ ඡන්ද රැස්වීම් යනාදිය නෑ. නගර සභා හෝල් එකක මීටිමක් තිබණොත් මිස. ගෙදරට එවන ප්‍රචාරක පත්‍රිකා, බස් පොලේ, දුම්රිය පොලේ, සතිපතා පොලේ දී අපේක්‍ෂකයා කරන ප්‍රචාර සහ ඇතැම් විට ගෙන් ගෙට යෑම් පමණයි තියෙන්නේ.

      ඡන්ද පොලේ දී කරන්නේ ඡන්ද ප්‍රචාරයක් නොවේ. මෙහේ ඡන්ද ක්‍රමය තරමක් සංඛීර්ණ නිසා (විවිධ පක්‍ෂවල අපේක්‍ෂකයින්ට මනාප අනුපිලිවෙලට දිය හැක) ඒ ගැණ විස්තර කර දීම සහ පත්‍රිකා බෙදීමයි.

      නීති හදන්නේත් අප ම නේ? නීති විරෝධී වෙන්නේ ඒ අනුවයි!

      Delete
  19. උඩම තියන පින්තූරේ උඩුගුවනේ සිට ගන්නා ලද එකක් බව පෙනේ.....

    ReplyDelete

ඔබේ ප්‍රතිචාරය මට සතුටකි!. Your comments are most welcome!
සංයමයෙන් යුතුව ප්‍රතිචාර දක්වන්න.