Monday 9 March 2015

සිඩ්නි නගරයේ දී මගේ ඊයේ දවස ක්‍රිකට් සමග ගෙවුණු හැටි - It was cricket!


මුල් දවසේ දී ම කියූ පරිදි, මා මේ රසිකොලොජි බ්ලොගය පවත්වාගෙන යන්නේ මගේ සිතට එන, මට වැදගත් යැයි සිතෙන ඕනෑම දෙයක් ලියා පළ කිරීමටයි.

ඊයේ දවස මගේ ජිවිතයේ මා අපූරු වින්දනයක් ලැබූ දවසක් විය. මේ කෙටි සටහන ඒ ගැනය.

කුඩා කළ සිටම රේඩියෝවෙන් ක්‍රිකට් විස්තර ප්‍රචාර අසා තිබුනද, මා ක්‍රිකට් තරගයක් සජීවිව ඇස් ඉදිරිපිට පැවැත්වෙනවා දුටුවේ මා දහවන ශ්‍රේණියේ ඉගෙනුම ලැබූ වසරේ දී ය. ඒ බොරැල්ලේ සරවනමුත්තු ක්‍රීඩා පිටියේ දී පැවැත්වුණු ආනන්ද-නාලන්ද වාර්ෂික ක්‍රිකට් තරගය හෙවත් (සුලෝහිත සංග්‍රාමය ) බිග් මැච් එකයි.

මේ තරගය ගැන මගේ මතකයේ ඇති අමතක නොවන එකම අත්දැකීම නම්, මා පෙර දින පිටකොටුවෙන් දෙකයි පනහක් පමණ ගෙවා මිළට ගෙන ක්‍රිකට් තරගය නැරඹීමට යන විට පැළඳගෙන ගිය කොඩ්රෝයි රෙද්දෙන් මසා තිබූ තොප්පිය, තරගයේ දෙවන දින සවස් වරුවේ පිටියට කඩා වැදුණු වනාතමුල්ලේ කොලු රංචුවක් විසින් උදුරා ගත් බවය. මගේ පමණක් නොව, ඒ අසල තරගය නරඹමින් සිටි සිසුන් කිහිප දෙනෙකු ගේ ම තොප්පි මේ නඩය විසින් උදුරා ගන්නා ලදී. අපට කළ හැකි කිසිවක් තිබුණේ නැත. පසුව ඔවුන් තාප්පයෙන් පැන යනු අපි දුටුවෙමු!

ඊයේ සිඩ්නි ක්‍රිකට් පිටියේ දී පැවැත්වුණු ශ්‍රී ලංකාව සහ ඕස්ටේ‍ර්ලියාව අතර තරගය එහි ගොස් නරඹන්නට මගේ මුලින් අදහසක් තිබුණේ නැත. මගේ අත්දැකීම අනුව නම්, අති විශාල ක්‍රීඩාංගනයකට ගොස් ක්‍රිකට් තරගයක් නැරඹීමට වඩා නිවසේ සිට රූපවාහිනියෙන් එය නැරඹීම හැම අතින්ම හොඳය.
  • ක්‍රීඩා පිටියේ දී බෝලයෙන් බෝලයට විස්තර ප්‍රචාර නැත.
  • විශේෂඥයින් ඉදිරිපත් කරන සංඛ්‍යාලේඛන, ප්‍රතිචාර සහ විශ්ලේෂණ නැත.
  • හැම හොඳ පහරදීමක් ම, විකට්ටුවක් දවාගැනීමක් ම, තුන් හතරවරක් නැරඹීමට ලැබෙන්නේ නැත.
  • නිවසේ දී මෙන් සුව පහසු ආසන නැත.
  • ක්‍රීඩාංගනයට යාමට සහ ඒමට අමතර පැය කිහිපයක් වැය කළ යුතු වේ.
  • ඩොලර් සිය ගණං දී ප්‍රවේශ පත්‍ර මිළට ගත යුතු වේ.
  • මීට අමතරව ක්‍රීඩාංගනයට ඇතුලුවන්නට, කැන්ටිමෙන් කෑම මිළදී ගන්නට, වැසිකිලි යන්නට ගිය විට සෑම විටම පාහේ පෝලිමේ රැඳී සිටීමට සිදුවෙන අතර, තරගයේ ඕවර දෙක තුනක් නැරඹීමට නොහැකිවේ.
කෙසේ නමුත් සුතනඹු, මිතුරු සමාගම නිසා මා මේ ගමනට එක් වුණෙමි.

අප නිවසෙන් පිටවූයේ දහවල් දොලහ පසුවී මද වේලාවකිිනි. නිවසේ සිට ලඟම දුම්රිය ස්ථානයට ගිය අප එහි මෝටර් රථය නවත්වා, එතැන් සිට සිඩ්නි නගරයේ සෙන්ට්‍රල් නැවතුම කරා සීඝ්‍රගාමී දුම්රියකින් ගමන් කළෙමු. මේ සඳහා ගමන් ගාස්තු අපේ ටිකට්පත්වලින් ම ආවරණය විය.

කැන්බරා නුවර සිට පැමිණි අපේ මිතුරියක් ද අප සමග එක්වී සිටියාය. ඇය තරගය නැරඹීමට ගියේ මා මෙන් ශ්‍රී ලංකා කණ්ඩායමේ වර්ණ රැගත් කමිසයක් හැඳ ජාතික කොඩියක් රැගෙන පමණක් නොවේ. සිංහයෙකුගේ රුව සහිත වර්ණවත් බැලුමක් ඇය අත විය. ශ්‍රී ලංකා කණ්ඩායමේ කමිසයට උඩින් ඇය ඇඳ සිටියේ සිංහ රුවක් රැගත් ඕවරෝල් ඇඳුමකි. අපේ දුම්රියේ දෙපිලටම සහයෝගය දක්වන්නෝ එකසේ ගමන් කළහ.

සෙන්ට්‍රල් නැවතුමෙන් බැසගත් අපට එතැන් සිට ක්‍රිඩා පිටිය දක්වා ගියේ සූදානම් කර තිබූ විශේෂ බස් රථ වලිනි. කිලෝ මිටර් දෙකක් දුර, විනාඩි විස්සකින් යා හැකි ඒ ගමනට, බස් රථය සඳහා පෝලිමේ සිටීමට සිදු වූ නිසාත්, තිස් නම දහසක් දෙනා නැරඹීමට තරගය නැරඹීමට පැමිණෙමින් සිටි හෙයින් ඒ අවට හටගෙන තිබූ බස් සහ වාහන තදබදය නිසාත්, බසයෙන් බැස ක්‍රීඩාගාරය තුළට ඇතුල් වීමට පෙර බැග් පරීක්‍ෂාවට සුළු වේලාවක් පෝලිමේ සිටීමට සිදුවූ නිසාත්, අප තරගය නැරඹූවේ පළමු ඕවරයේ තුන්වන පන්දුවේ සිටයි.

තරගය නරඹන අතරතුර, මා මුලින් සඳහන් කළ අවාසිවලට ප්‍රතිවිරුද්ධ, එනම් නිවසේ දී තරගය රූපවාහිනියෙන් නැරඹූවා නම් නො ලැබෙන, අත්දැකීම් මට පසක් විය.
  • මගේ කණ්ඩායමට මෙන්ම, විරුද්ධ කණ්ඩායමට සහයෝගය දක්වන්නන් සමග ද උරෙනුර ගැටෙමින් තරගය නරඹන්නට හැකිවීම
  • හැම හතරේ හයේ පහරකටම, විකට්ටුවකටම, නව ක්‍රීඩකයෙකු හෝ පන්දු යවන්නෙකු හඳුන්වා දෙන මොහොතක දීම, එක්කෝ අත් පොලසන් දීිමට නැතිනම් අතින් හතරේ හයේ සංඥා කිරීමට හෝ, මගේ අතේ තිබූ සුවිශාල ශ්‍රී ලාංකික කොඩිය හෝ කුඩා ඕස්ටේ‍ර්ලියානු කොඩි කිහිපය හෝ වැනීමට හැකි වීම
  • පෙර කළ තරගයේ හැම වැදගත් මොහොතක දී ම ක්‍රීඩාංගනය පුරා විසිරෙන ඔල්වරසන් හඬ, නැගෙන දහස් ගණං ජාතික කොඩිවල දර්ශනය අත්විඳීමට හැකිවීම
තරගය අවසානයේ පරාජය හිමි වුවද, ජීවිතයේ ප්‍රථම වතාවට එකම ඕවරයක දී හතරේ පහර හයක් ලබාගනු දැකීමට ලැබීමත්, කලකට පසු නැරඹීමට ගිය මේ තරගය මුළු ලකුණු හත්සීයක් වැනි විශාල සංඛ්‍යාවක් වාර්තා කළ එකක් වීමත් නිසා සිතේ ඉතුරු වූයේ සතුටකි.

තරගය නිමවීවෙන් පසු බස් ගමනට කාලය නාස්ති නොකර පයින්ම දුම්රිය පොළට පැමිණි අපේ නඩය දුම්රියෙන් පැමිණ නිවසට ලඟා වූයේ මධ්‍යම රාත්‍රිය පසු වී අඩ පැයකට පමණ පසුව ය.

මෙන්න ඡායාරූප කිහිපයක්.

1. බ්‍රිස්බේන් නුවර සිට පැමිණ සිටි සිංහබාහු


2. කැන්බරා නුවර සිට පැමිණ සිටි සිංහ යුවතියක්


3. පිටියේ දර්ශන දෙකක්



තවත් ඡායාරූප පසුව එක් කරන්නට අදහස් කරමි.

-රසිකොලොජිස්ට්

(photos: Facebook)

57 comments:

  1. තව පින්තුර දැම්ම නං හොදයි. ඇයි අනේ භාතියගේ සිංදුවක් දෙකක් සද්දෙට දැම්ම කියලත් කියන්නකෝ..

    ReplyDelete
    Replies
    1. ඒ භාතිය සන්තූෂ් ද?
      මට නම් ඇහුණේ රම්බරි, සුරාංගනී සහ නෙළුම් මලේ වගේ සින්දු විතරයි. තව ඒ වගේ පරණ සින්දුවක දෙකක කෑලිවල නව රිද්ම ගියා. ඒ භා.ස. වෙන්න ඇති!

      Delete
    2. අපේ පැත්තේ මැච් එකේදී නම් ජිප්සීස් ලගේ සින්දු දැම්ම.
      ගෙදරදී බලනවට වඩා මටනම් ගිහිං බලන කොට ආතල් එක වැඩියි!

      Delete
  2. මැච් එක කියනකොට මලපනිනව රහුමාන්ගෙ මියුසික් අපේ වගේ දාන එකට මුන්.මාකටිං පාර නෙව චා කර ගන්නෙ.
    ග්‍රවුන්ඩෙකේ මැච් එකක් බලල ගෙදර එනකොට ක්‍රීම් බෝතලේකුත් අරංමයි එන්නෙ.මොකෝ මූණ හමයනවා පිච්චිලා.කතා කරනකොට හඬ පිටවෙනවද?
    තව පිංතූර වගේම තව ක්‍රිකට් කතාටිකක් බලන්න අපි පෝලිමේ ඕන්..
    හෙහ් හෙහ් හේ...

    ReplyDelete
    Replies
    1. අපිට නං අව්ව තිබුණේ නෑ. කොහොමටත් වහලක් යට හිටියේ, අනික දෙකහමාරට මැච් එක පටන් ගන්න කොට ඉර මෘදු වෙලා!

      Delete
  3. ලංකාවේ 2011 තිබ්බ වර්ල්ඩ් කප් එකේ මැච් දෙකක් බලන්න ගියා.පළමු වැනි මැච් එක කෙන්යාව එක්ක ගහපු මැච් එක.දිවා රාත්‍රී එකක් වුනත් හවස 6.30 වෙනකොට මැච් එක ඉවරයි.හැබැයි ඒ මැච් එකේ මාලිංග කඩුලු ත්‍රිත්වයක් ගත්තා.

    දෙවැනි මැච් එක එංගලන්තය එක්ක තිබ්බ අර්ධ අවසන් පුර්ව තරඟය.එකේ එංගලන්තය ලබා ගත්තු ලකුණු සංඛ්‍යාව හබා ගොස් ශ්‍රී ලංකා පිළ ජය ගත්තේ එක කඩුල්ලක්වත් වැටෙන්න නොදී.

    මේ පහුගිය වතාවේත් එංගලන්ත කණ්ඩායම මෙහේ ආවම ඒ මැච් එකක් බලන්න ගියා මුණේ සිංහ රුපයක් පින්තාරු කරගෙනම.

    ReplyDelete
    Replies
    1. මං හිතන්නේ ග්‍රවුන්ඩ් එකට ගිහින් බලපු මැච්වල විස්තර අමතක වෙන්නේ නෑ කියලයි. ටීවී එකෙන් කොච්චරක්ය කියලා බලනවාද?

      Delete
  4. බ්‍රිස්බන් සිංහබාහු -තිසර....පුහ්...

    ReplyDelete
    Replies
    1. ඇත්තටම සිංහබාහු නොවෙයි මේ සිංහයාටයි ඇඳලා ඉන්නේ!

      Delete
  5. මං මේ හිත හිත ඉන්නෙ සජ්ජාගෙ පඩංගුවේ ලියල තියෙන දේ ගැන..

    ReplyDelete
    Replies
    1. සරත් කිව්වමයි ගිහිං බැලුවෙ. ඔන්න කමෙන්ටුවකුත් දැම්ම.

      Delete
    2. ලිපිය බැලුවා, සජ්ජා මතු කර ඇති දේ කාලීනයි.

      නමුත් එතැන ඇති එකක්වත් නොවෙයි මෙහිදී මූලිකවම වැදගත් කාරණා.

      1. තමන්ට කැමති කණ්ඩායමකට සහයෝගය දක්වන්න පුද්හලෙඋකුට නිදහස තියෙනවාද නැද්ද කියන එක.

      2. ඒකෙම අනිත් පැත්ත තමයි, තමන් ගේ විරුද්ධ කණ්ඩායමට වෙනත් අයෙක් සහයෝගය දක්වන කොට ඒක සුහද සිතින් විඳගන්න තමන්ට හැකියාවක් තියෙනවාද කියන එක.

      පොඩි සරල කාරණා වුනත් සෑහෙන්න හිතන්න අවශ්‍ය කරුණු දෙකක්.

      Delete
    3. මෙතෙන්ට ආවෙ රෙද්ද ගලෝල තියල... මම මතුකරන්න උත්සාහ කලේ වෙනම පැතිකඩක් රසික අයියා.. ඔයාල ඔතනට ගිහිං කෝඩි වනන චියර් කරන හැටි ටීවී එකෙන් බලන් ඉන්න අපේ හිත් වලට කොච්චර කික් එකක් නං දැනෙනවද, "කපුවගෙ පුතා දේවාලෙ මැද්දේ මළපහ කලාට අවුලක් නෑ"ලුනේ. ඒ වගේ අපේ එවුන්ට චියර් කරන එකට කොහේ ඉඳන් උනත් මම නං සපෝට් ඉතිං. අරෙහෙම එකකුත් තියනවා නං තමා ඉතිං..

      Delete
    4. මට නං කවදාකවත් අන් කෙනෙක් සහයෝගය දක්වන්නේ කුමන කණ්ඩායමටද කියන එක ප්‍රශ්ණයක් නෑ. එය ඔවුන් ගේ නිදහස, මේ මගේ නිදහස.

      Delete
  6. අඩා අපේ තිසර කොලුවත් ඉන්නෙ!

    ටීවී එකෙන් බැලීමයි ගිහිල්ල බැලිල්ලයි ආතල් දෙකක්. ගෙදර ආතල් එක පිටි‍යෙ ගන්න බෑ වගේම පිටියෙ ආතල් එක ගෙදර ගන්න බෑ. බියර් එකක් බීල කෑගහල කස්ටිය එක්ක ගන්න ආතල් එකත් නරක නෑ. මම නං දෙපාරක්ද කොහෙද ඒ ආතල් එක ගත්තෙ

    ReplyDelete
    Replies
    1. තරගයක් නරඹා ආතල් ගන්න නම් බියර් අවශ්‍ය නෑ මටනම් ගෙදරදී ත්, ක්‍රීඩාංගනයේ දී ත්.

      බියර් (වැනි දේ) මගින් ගන්නා ආතල් මේ ආතල් එක එක්ක ටපලා ගන්න හොඳ නෑ!

      Delete
    2. මටත් බියර් අත්‍යාවශ්‍ය දෙයක් නෙවෙයි. හැබැයි යන පිරිස අනුව බොන නොබොන එක තීරණය වෙනවා.

      මම රසික හිටපු පැත්තට ආවා බ්‍රේක් එකේදි, හැබැයි ආපහු මැච් එක පටන් ගත්තා ඒ එක්කම වගේ.. ඉතිං මම හැරිලා ගියා.

      Delete
    3. පසුව දිනයක හමුවෙමු තිසර.

      Delete
  7. රසිකවත් ටීවි එකේ පෙන්නුව නේද? මොනව උනත් ඉඳ හිට මැච් එකක් බලන එක මාර ආතල් වැඩක්. මම මුලිම්ම බිග් මැච් බලන්න ගියාම මට හෙන අවුල උනේ ග්‍රවුන්ඩ් එක සමතල නැති එක. දැන් ඔය බවුන්‍රි ලයින් එක එහා පැත්තෙ බිම ඉඳ ගත්තම පිච් එක තීන්නෙ අඩියක් විතර උඩින්නෙ. ඒත් ඉතින් ටීවී වල ඒක පේන එකක්යැ!


    යකෝ හන්සය පින්තූරෙට දාගන්න ඕන එකා සිංහයෙක් දාගෙන සිංහය දා ගන්න ඕන එකා හංසයෙක් දාගෙන බැලුවම!

    ප/ලි මේ දවස්වල බුකියෙ ලොකුම මාතෘකාව ඔට්ටේලියන් පුරවැසියන් ලංකාවට චියර් කිරීම. රසික ඒ ගැන ලියමුද ෆ්ස්ට් හෑන්ඩ් එක්ස්පීරියන්ස් එක්ක?

    ReplyDelete
    Replies
    1. 1. තමන්ට කැමති කණ්ඩායමකට සහයෝගය දක්වන්න ඕනෑම පුද්ගලයෙකුට නිදහස තිබිය යුුතුයි.

      2. තමන් ගේ විරුද්ධ කණ්ඩායමට වෙනත් අයෙක් සහයෝගය දක්වන කොට ඒක සුහද සිතින් විඳගන්න අපට හැකි විය යුතුයි.

      මා ජීවත් වීමට කැමති ඒ වගේ සමාජයකයි.

      Delete
  8. ග්‍රවුන්ඩ් එකක මැච් එකක් බලනවා කියන්නේ අමුතුම අත්දැකීමක්.. මාත් ගියා IPL මැච් එකක් බලන්න ඉන්දියාවේ ඉන්න කාලේ .. ග්‍රවුන්ඩ් එකට යනකොට කස්ටිය ප්‍රැක්ටිස් කරනවා . යුවරාජ් එහෙම හයේ ඒවා ගහන්නෙ නරබන්නෝ ඉන්න පැත්තට.. මාත් ඉතින් කැච් එකක්වත් අල්ල ගන්න බලන් හිටිය මැච් එක වෙලේ. කරුමේ කියන්නේ මැච් එකටම ගැහුවේ හයේ දෙකයි. එකක් මැතිවුස් .අනික තව එකෙක්.. හරිම කුජීතයි..

    ReplyDelete
    Replies
    1. Maxwell හිටියෙ නෑනෙ.!

      Delete
    2. මෙදාත් නරඹන්නට අතරට හයේ පහරවල් වැඩිපුර ගියේ නෑ!

      Delete
    3. Maxiology

      http://caliebeltejar.blogspot.com/2013/06/maxi-ology.html

      Delete
  9. මැච් එක වෙලාවේ සිංහලෙන් ලිවුව පෝස්ටරයක් පෙන්නපු කෙනෙක් නියම ශ්‍රී ලාංකික කම පෙන්නුව.

    ReplyDelete
    Replies
    1. මාරයි නේද..... මල්ටි කල්චරල් රටක සිංහලෙන් පෝස්ටර් ලියලා පෙන්නුවහම චැනල් 9 බලන ඔක්කොටම තේරෙන්න ඇති ලියලා තියන දේ........ ඔබනම් මකබාස් කෙනෙක් වෙන්න කම්මලේ

      Delete
    2. මා මේ පෝස්ටරය එතැනදී දුටුවේ නෑ.

      ඉන්දියාවේ දී ගහපු මැච් එකක (Semi-finals WC-2006) ඉන්දියානුවෙක් We are sorry Sri Lanka කියා ලියා පෙන්නුවා. මට මහක විදියට ලාංකිකයෙක් ඒ පුද්ගලයාට මුදලින් තෑග්ගක් දුන්නා!

      Delete
    3. This comment has been removed by the author.

      Delete
    4. රසික,
      ඒ සිදුවීම 1996 world cup semi final එකේදි වුනේ. Eden Garden එකේ හිටපු ඉන්දියන්කාරයෝ ප්‍රේක්ෂකාගාර ගිනි තියලා කෝලාහල කරද්දි එතන හිටපු මනුස්සයෙක් "Congratulations Sri Lanka, we are sorry" කියා ලියපු පෝස්ටරයක් ප්‍ර‍දර්ශනය කළා. දහස් ගණනක් මිනිස්සු තමන්ගේ රටට කරපු අවමානය තුනී කරන්න ඒ මනුස්සයාට පුළුවන් වුණා.

      Delete
    5. රසික,
      ඒ සිදුවීම 1996 world cup semi final එකේදි වුනේ. Eden Garden එකේ හිටපු ඉන්දියන්කාරයෝ ප්‍රේක්ෂකාගාර ගිනි තියලා කෝලාහල කරද්දි එතන හිටපු මනුස්සයෙක් "Congratulations Sri Lanka, we are sorry" කියා ලියපු පෝස්ටරයක් ප්‍ර‍දර්ශනය කළා. දහස් ගණනක් මිනිස්සු තමන්ගේ රටට කරපු අවමානය තුනී කරන්න ඒ මනුස්සයාට පුළුවන් වුණා.

      Delete
    6. මුදලින් තෑග්ගක් ඔෆර් කරාට එයා ඒක පිළිඅරන් තිබ්බේ නෑ.
      පස්සේ එයාල ලංකාවේ මොකක් හරි ඉංග්‍රීසි පත්තරේකත් නෝටිස් එකක් දාල තිබ්බ.

      Delete
  10. මාත් දැක්ක ටීවී එකේ බැද්දට හඳපාන වගේ තට්ටේ තියෙන ලංකාවේ පොරක් මැච් එක බලනවා

    ReplyDelete
    Replies
    1. ඒ මා වෙන්න බෑ. මං දින දෙකකට කලිනුයි කොණ්ඩය කැපුවේ.

      Delete
  11. සත්තු වගේ ඇඳගෙන , තිරිසන්නු ඉන්න කොඩි වන වන ඔල්වරසන් දෙන එක හරි ගෝත්‍රිකයි නේ. අප විශ්ව ගම්මානයක පුරවැසියෝ වශයෙන් මෙහම පිල් බෙදිලා අශිලාචාර ගෝත්‍රිකයෝ වගේ හැසිරෙන එක අනුමත කල හැකිද ? මගේ අදහස නං සියලු ආගම් සේම කිසිම ප්‍රඩක්ටිවිටි එකක් නැති මේ නිෂ්ඵල ක්රිඩාවන්ද සමාජයෙන් තුරන් වී යා යුතු බවයි.

    ReplyDelete
    Replies
    1. 1. ක්‍රිකට් කියන්නේ කාලෙ නාස්තියක් තමයි. ආතර් සී ක්ලාක් කීවා Cricket is the slowest form of human life කියලා, ඒක සමහරු රිපෝට් කළේ Cricket is the lowest form of human life කියලායි.

      2. කොච්චර කලත් මිනිසුන් අවසානයේ සත්තු තමයි.

      Delete
  12. මමනං වන් ඇන් ඔන්ලි බලල තියෙන්නෙ දඹුල්ල ග්‍රවුන්ඩ් එකේ තිබ්බ ඕපනින් මැච් එක තමයි. බාගයක් බලනකොට හොඳටම වේලිලාම ඉවරයි. අන්තිමට අපේ උංට මැච් එක බලන්න කියල මම ඇවිල්ල වෑන් එකට වෙලා බුදියගත්ත හොඳට.

    ReplyDelete
    Replies
    1. වේලිලා ද තෙත් වෙලා ද?

      Delete
    2. 165 වගේ ගානකට ඕල් අවුට් වෙච්ච එකනේ. එංගලන්තේ.

      මාත් හිටියා

      Delete
  13. //අති විශාල ක්‍රීඩාංගනයකට ගොස් ක්‍රිකට් තරගයක් නැරඹීමට වඩා නිවසේ සිට රූපවාහිනියෙන් එය නැරඹීමට වඩා හැම අතින්ම හොඳය.//

    එතකොට අරකද වැඩිය හොඳ මේකද?

    ReplyDelete
    Replies
    1. නිවැරදි කළා. ස්තුතියි.

      මගේ අත්දැකීම අනුව නම්, අති විශාල ක්‍රීඩාංගනයකට ගොස් ක්‍රිකට් තරගයක් නැරඹීමට වඩා නිවසේ සිට රූපවාහිනියෙන් එය නැරඹීම හැම අතින්ම හොඳය.

      Delete
  14. මැච් එක පෙන්වන අතරේ ප්‍රේක්ෂකයන් පෙන්වනවිට (scan shot) මම අනුමාන කළා එක තැනකදී, අර හිටියේ රසිකද කියලා. බොරුවට නෙවෙයි ඇත්තටමයි කියන්නේ. එහෙනම් මගේ අනුමානය හරි

    ReplyDelete
    Replies
    1. මා හිටි හරියට ඔය කැමරා එල්ල වුනේ නෑ. මා සිටියේ ස්ටෑන්ඩ් එකකයි, කැමරා නිතරම එල්ලවෙන්නේ කොන්කෝස් හරියටයි.

      Delete
  15. අපිත් එන්නම්කෝ දවසක...

    ReplyDelete
  16. මම බලපු අමතක නොවෙන මැච් තුනක් තියනවා....

    1996 කෙන්යාව සමග මහනුවර අස්ගිරි ක්‍රීඩාංගනයේ තරඟය. ඒ කාලේ හිටියේ නුවර. රුපියල් 40 හිටගෙන බලන ටිකට් එකක් ගත්තේ. මෑතක් වෙනකම්ම ඒක මගේ ලඟ තිබ්බා. අපි 398 ගැහුවා ඒකෙ.

    2013 ඕස්ට්‍රේලියාව ලකුණු 74 සීමා කරපු බ්‍රිස්බේන් තිබ්බ මැච් එක. කුලසේකර විකට් 5 ගත්තා.

    ගිය ඉරිදා මැච් එකත් විශේෂ අත්දැකීමක්...

    ReplyDelete
    Replies
    1. කෝ කුලසේකර, කාලේ ඉවරද?

      Delete
    2. @තිසර,

      පාට පොඩ්ඩක් අඩු කලා නම් තිසර හැන්ඩියා...:P

      Delete
    3. 1998 අග 302 චේස් කල ඇඩිලේඩ් මැච් එක හෙවත් ද ග්‍රෑන්ඩ් වලිය ඩේ [රොස් එමර්සන් මුරලි අර්ජුන]. මේක බීට් කරන්න තරම් එකක් බලා නැහැ. බට් වොනියට හූ කිව්වා එක [ප්‍රේමදාස] ටිකක් රිමාකබල්

      Delete
    4. @Podi Kumarihami
      ඒ උනාට ඊට වඩා කුලේ හොඳ නැද්ද? ;)

      Delete
  17. මම කොච්චර ක්‍රිකට් පිස්සා උනත් තාම ක්‍රීඩාංගනයකට ගිහින් මැච් එකක් බලලා නෑනේ..

    ReplyDelete
  18. මම මේ පෝස්ට් එකට ඊරිසියාව හන්දා කමෙන්ට් කරන්නේ නෑලු. :P

    ReplyDelete
  19. මම එකම එක වතාවක් ඛෙත්තාරාම ග්‍රවුන්ඩ් එකේ මොකක් හරි මැච් එකක් බලන්න ගිහින් තියෙනවා. මම හිතන්නේ ටෙස්ට් මැච් එකක් ද කොහෙද . සැහෙන පොඩි දවස් වල .. ඊට පස්සේ කවදාවත් ගිහින් නෑ ... ක්‍රිකට් ගැන ඒ හැටි උනන්දුවක් නැති නිසා වෙන්න ඇති .. හැබැයි හරි ජොලි වැඩක් කියල හිතෙනවා ... :)

    ReplyDelete
  20. ඔය කන්ඩායම් දෙකේ ක්‍රීඩා ලෝලීන් හැමතිස්සෙම දෙපැත්තෙ ඉන්නෙ කොහොමද? ටිකට් මිල දී ගද්දී ඒක තීරණය කරන්න පුලුවන්ද?

    රසික මයා මුලින්ම ටිකට් වල පින්තූර Facebook ඓකේ දාලා තිබුනු නිසා හුරේ දාන අය දිහා ඇස්පිල්ලම් නොගහා බලං හිටියා.... තට්ටයෝ කීප දෙනෙක් ම දැක්කත් ඒ රසිකයි කියලා ස්ථීර කර ගන්න බැරිඋනා.... :D

    ReplyDelete
  21. කතන්දර කාරයා කියල අන්වර්ථ නමකින් ලියන බුවෙක් හිටිය. ඒ බුවා නම් ශ්‍රී ලාංකික කම, සිංහල කම, බෞද්ධ කම, එකතරා පාසැල් වලට අයිති බව ප්‍රදර්ශනය කිරීම ආදිය ගෝත්‍රික ලක්‍ෂණ ලෙස අවඥාවට ලක් කලා. රසිකොලොජිස්ට් ඔය පින්තූර වල ඉන්න අයගෙ හැසිරීම ගැන මොකද හිතන්නෙ. ඔබත් ශ්‍රී ලංකා ටී ෂර්ට් එකක් ඇඳගෙන මැච් එක බලන්න ගියා නේද?

    ReplyDelete

ඔබේ ප්‍රතිචාරය මට සතුටකි!. Your comments are most welcome!
සංයමයෙන් යුතුව ප්‍රතිචාර දක්වන්න.