
පසුගිය දෙසැම්බර් විසි අට වෙනිදා මගේ දවසම ගෙවුණේ මරදානේ ය.
මරදානේ ඉපදුණු,
සිව් වසරක්ම මරදානේ පාසල් ගිය මට මරදාන යනු නුපුරුදු තැනක් නොවේ. නමුත්, මෙදා මට මරදානේ දී වැඩ වැරදුණි!
ඉර මුදුන් වෙනතුරු මා දවසේ මුලින් ම ක්‍රියාන්විත පැය කිහිපය ගත කළේ විදෙස් ගමන් බලපත්‍ර කාර්යාලයේ ය. නැවත හවස් වරුවේ එහි එන බලාපොරොත්තුවෙන් එතැනින් පිට වී, දවසේ අපරභාගය ගත කළේ විජේසූරිය, දයාවංශ ජයකොඩි, සූරිය සහ සුරස පොත්හල්වල ය. දවල්ට කෑවේ බිම් මහලක තිබුණු අයිල කඩයකිනි.
උසුලා ගෙන යන්නට බැරි පොත් කන්දක් ඒ වෙන විට එකතු වී තිබුණු නිසාත්, පාස්පෝට් ඔෆීසියේ යටිමහලේ තිබුණු සංහිඳ පොත්හලට යාමට තිබුණු නිසාත්, මරදානේ ගොඩගේ පොත්හලට යාම පසු දිනකට කල් දැම්මෙමි.
කල් ඉකුත් වී වසර අටහමාරක් ගත වී තිබුණු මගේ විදෙස් ගමන් බලපත්‍රය වෙනුවට ලබාගත් අලුත් බලපත්‍රයද, කිලෝ විස්සක් පමණ පොත් මලු කිහිපයක් ද රැගෙන මරදානෙන් පිටත් වූයේ හවස පහමාරට පමණ වුවද, පිළියන්දල-කොළඹ මාර්ගයේ ඉඳිකිරීම් සහ වාහන තදබදය නිසා, මා නිවසට ළඟාවෙන විට රාත්‍රී හත ද පසු වී තිබුණි.
උදේ මා සමග නොගිය, ඇඟේ අමාරුවක් ද, කැස්සක් ද, හිසරදයක් ද, සවස මා සමග නිවසට පැමිණ තිබුණි.
එතැන් පටන් ඇරඹුණේ කහිමින් ද, හොටු හූරමින් ද, නිදා ගනිමින් ද, නිකරුණේ ඇඳ මත වැතිරී සිටිමින් ද, නිදා වැටෙමින් ද, පෙති, කරල්, කුඩු ආදී මෙකී නොකී ඖෂධ වර්ග ඇඟ ඇතුළට දමා ගනිමින් ද, මා ගත කළ ලෙඩ කපුටෙකු ගේ ජීවිතයයි.
සති තුනක් ගත කළ ලංකාවෙන් චුත වී, තවත් දවසක් ම මග ගෙවා, ඒ සතියේ ඉරිදා වෙන විට යළි සුතනඹුවන් අතරට පැමිණි මුත්, ලෙඩ කපුටු සාපය තවත් සතියක් ම පැවතුණි.
නව වසරේ සඳුදා ම කාර්යාලයට ගිය ද, ඉන් පසු දෙදිනේ ද, සිකුරාදා සහ සති අන්තයේ ද වැඩි කාලයක් ගත වුණේ ඇඳන් ගතව සිරප්, පෙති සහ කරල් සමගිනි.
අහම්බෙන් මෙන් සිදු වූ එකම වැදගත් කර්තව්‍යය වූයේ ලියනගේ අමරකීර්ති ගේ අලුත් ම නවකතාව වන අහම්බකාරක කියවා හමාර කිරීම පමණි.
අද අලුත් සේවා සතියක් ඇරඹේ.
හොඳින් හිරු පායා ඇති පැහැබර දිනයකි.
උදෑසන අටයි කාලට පමණ මා දුම්රිය පොළේ වාහන ගාලට ළඟාවෙන විට ම උෂ්ණත්වය අංශක විසි දෙකක් වී තිබුණි. හවස් වෙන විට අපේ ගම් පෙදෙසේ පරිසරය අංශක තිස් අටක් දක්වා වැඩි වීමට නියමිත බව පෙනේ. සේවා ස්ථානය පිහිටි උතුරු සිඩ්නි ප්‍රදේශය අංශක තිස් දෙකක් වීමට නියමිතය.
පසුගිය වසරේ ද
මා අලුත් අවුරුද්ද ඇරඹුවේ ප්‍රමාද වී බව මතකය.
නව වසර අද ජනවාරි එකොළොස්වෙනිදා සිටවත් අරඹමි!
ජයවේවා!
-රසිකොලොජිස්ට්
ප/ලි (12/01/2016):
මේ සටහනේ ඉහළින් අඩංගු කර ඇති ඡායාරූපය පිළිබඳව තරමක උනන්දුවක් ඇති වී තිබෙන නිසා, ඒ ගැන වැඩි විස්තර ලියන්නට සිතුණි.
මේ මා ලංකාවෙන් ගෙනා කිලෝ තිහක පොත්වලින් කිහිපයකි. තවත් කිලෝ විස්සක් මුහුදු තැපෑලෙන් එනු ඇත.
මේ පොත් ලියා ඇත්තේ බ්ලොග් ලොවෙන් නම් දැනගත් අය විසින් නිසා ඒ ඡායාරූපය මෙහි පළ කළෙමි.
1. අනිත් කොන බ්ලොගය ලියන බෝධිනී සමරතුංග ගේ මනුපුර සක්මන කාව්‍ය සංග්‍රහය ඊසී-හෝම් සේවය මගින් තැපැල් මගින් ගෙන්වා ගන්නා ලදී.
2. තරු රසී බ්ලොගය ලියන තරංගනී රෙසිකා ගේ තරු ඇස් රහස් කාව්‍ය සංග්‍රහය නුගේගොඩ සරසවි පොත්හළෙන් මිලට ගතිමි.
3. වෘත්තීය කමෙන්ට්කරු ප්‍රාජේ නොහොත් ප්‍රදීප් ජයතුංග ගේ නිට්ටෑවෝ කෘතිය කතුවරයා විසින් මට තිළිණයක් ලෙස ලබා දුන්නේය.
4. පුලින තලාව බ්ලොගය ලියන පුෂ්පා රම්ලනී දිසානායක ගේ සුදු හිම පලස කෘතිය ඊසී-හෝම් සේවය මගින් තැපැල් මගින් ගෙන්වා ගන්නා ලදී.
5. බස්සීගේ නවාතැන බ්ලොගය ලියන යශෝධා සම්මානී ප්‍රේමරත්න ගේ ඉතා කෙටි කලබල සිහින කාව්‍ය සංග්‍රහය
දෙසැම්බර් 12 දින පැවති එළිදැක්වීමේ දී මිලට ගන්නා ලදී.
6. අනිත් කොන බ්ලොගය ලියන බෝධිනී සමරතුංග ගේ අනිත් කොන කෘතිය ඊසී-හෝම් සේවය මගින් තැපැල් මගින් ගෙන්වා ගන්නා ලදී.
7. රසවතිය බ්ලොගය ලියන
හෂිත අබේවර්ධන ගේ පත් සිදුණු වසන්තය පරිවර්තන කෘතිය මහරගම සරසව පොත්හළෙන් එක් පිටපතක් ද, නුගේගොඩ සරසවි පොත්හළෙන් තවත් පිටපතක් ද මිළට ගෙන ඉන් එකක් චීන සාහිත්‍යයට රැචි මගේ සොහොයුරාට දී අනෙක රැගෙන ආවෙමි.
8.
නොකී කතා බ්ලොගය ලියන හෙන්රි වර්ණකුලසූරිය ගේ දඩ කඳවුර නවකතාව මරදානේ සුරස පොත්හළෙන් මිලට ගත්තෙමි.
9. රසිකොලොජි බ්ලොගය ලියන මා ලියූ ඊ-ෆැක් මෙමොරීස් නමැති පොතේ පිටපත් පනහක් පමණ ගෙන ආවෙමි.
10.
නොකී කතා බ්ලොගය ලියන හෙන්රි වර්ණකුලසූරිය ගේ නීත්‍යානුකූල ඝාතනය නම් පරිවර්තිත කියුබානු කෙටිකතා එකතුව– මරදානේ සුරස පොත්හළෙන් මිලට ගත්තෙමි.
11. කෙනිත්තුන සහ කෙනිතුව විට අවදි වුණු චිත්තය නමැති බ්ලොගය ලියන නිශ්මං රණසිංහ ගේ රේල් පීලි නවකතාව මරදානේ සුරස පොත්හළෙන් මිලට ගත්තෙමි.
12. තිලක සිත බ්ලොගය ලියන තිලකසිරි ඒකනායක ගේ තිලක සිත කෘතිය ඊසී-හෝම් සේවය මගින් තැපැල් මගින් ගෙන්වා ගන්නා ලදී.
13. යසනාත් සිතුවිලි බ්ලොගය ලියන
යසනාත් ධම්මික බණ්ඩාර ගේ මුරගල කාව්‍ය සංග්‍රහය ගොඩගේ පොත්හළේ දී අහම්බෙන් දැක මිලට ගත්තෙමි.
14. වෘත්තීය කමෙන්ට්කරු ප්‍රාජේ නොහොත් ප්‍රදීප් ජයතුංග ගේ ලෙපර්ඩ්ස් ඔෆ් ලේනම කෘතිය කතුවරයා විසින් මට තිළිණයක් ලෙස ලබා දුන්නේය.
15. හකාවතී බ්ලොගය ලියන ඩෝසන් ප්‍රීති ගේ හකාවතී කෘතිය ගොඩගේ පොත්හළෙන් මිලට ගත්තෙමි.