Thursday, 26 May 2016

මගේ ජංගම දුරකථන ඉතිහාසය - Chapter zero


කාලයක් තිස්සේ පාවිච්චි කළ නිසා දෝ තරමක් කිලුටු වී තිබුණු මගේ සැම්සුන් ගැලක්සි ජංගම දුරකථනය ඩෙනිම් කලිසමක සාක්කුවේ දමා සෝදා මා එයට "නිවන් පුර රුවන් දොර" හැර දුන්නේ ගිය සති අන්තයේ ය.

එතැන් සිට හද්දා පරණ නෝකියා කට්ටක සිම් පත දමාගෙන දැන් සතියක් පමණ ගත වී ඇති අතර, කලක් තිස්සේ හුරු පුරුදු වුණු ඉන්ටර්නෙට් ස්මාට් වැඩ කෑලි තියා හදිසියකට ඡායාරූපයක්වත් ගන්නට නොහැකිව මේ දිනවල මා සිටින්නේ දැඩි දුකෙනි.

මේ තාවකාලික ගන්ධබ්බ සමයේ දී අනායාසයෙන් ම මගේ මතකයට විටින් විට නැගෙන්නේ මගේ දශක දෙකක ජංගම දුරකථන ඉතිහාසයයි.

අනූව දශකයේ මුල් වසරක, කුමක් දෝ උතුරු ඇමරිකානු රූපවාහිනී වැඩ සටහනක් තුළින් මෝටර් රථයක සවි කළ දුරකථනයක් නළුවෙකු විසින් භාවිතා කෙරෙන අයුරු දැක තිබුණත්, මා මුලින් ම සැබෑ ජංගම දුරකථනයක් ඇස් ඉදිරිපිට දුටුවේ 1993 දී පමණ එක් දිනක ය. එම දුරකථනය හිමිකරුවා වූ මගේ මස්සිනා එදින අප නිවසට පැමිණි විගස කළේ ජංගම දුරකථනයේ බැටරිය බල ගැන්වීමට විදුලි පේනු තුඩකට සවි කිරීමයි.

මට මතක හැටියට මෝටරෝලා වැනි කට්ටලයක් වූ ඒ ජංගම දුරකථනය අර කතාවට කියනවා සේ ම ගඩොල් භාගයක් සේ දිස් විය. ඒ පරිමාවෙන් හරි අඩක් ම ජංගම දුරකථනය එහි බැටරිය වූ බව විශේෂ කාරණයකි. එය අපේ සමහරුන් ගේ ඇඟෙන් භාගයක් ම හරි හරියට මොළේ තියන්නාක් වැනි අපූරු සංයෝජනයකි.

ඒ දිනවල ලංකාවේ ක්‍රියාත්මක වූයේ දිවයිනේ මුල් ම ජංගම දුරකථන ජාලය වූ සෙල්ටෙල් පමණි. එය ඇනලොග්, එනම් අද මෙන් ඩිජිටල් නොවන, සන්නිවේදන ජාලයක් විය. මුල්ම ජංගම දුරකථන ජාලය සෙල්ටෙල් වූ නිසා, පසු කලෙක වුව ද ජංගම දුරකථන හැඳින්වුණේ සෙල්ටෙල් කියා ය. දැන් නම් සමහරු හෑන්ඩ් ෆෝන් යයි කියති. මගේ ජංගම දුරකථනයට කතා කරන්න කියා කියන කිසිදු හුදු හෙලයකු මට මෙතෙක් නම් මුණ ගැසී නැත.

සෙල්ටෙල්වලට අමතරව, තවත් ටික දිනක් යත් ම, මොබිටෙල් නම් ජාලයක් ද තරග බිමට එක් වූ බව මගේ මතකයයි. එසේ නමුත්, ජංගම දුරකථනයක් හිමි කර ගැනීමට මට අදහසක් ඇති නොවිණි. එයට හේතුව වූයේ එවැන්නක පැහැදිලි ප්‍රයෝජනයක් අති බහුතරයක් ජනතාවට මෙන් ම මට ද, නොතිබීමයි.

නිවසෙන් පිට අතරමග සිටින මොහොතක දුරකථන ඇමතුමක් ගැනීමට අවශ්‍ය නම් අප කළ යුතුව තිබුණේ හැම හන්දියකම තැඹිලි, කහ, රතු යනා දී විවිධ වර්ණ ගන්වා දෙක තුන බැගින් පිහිටුවා තිබුණු දුරකථන පෙට්ටියක් කරා යාමයි. අවශ්‍ය පරිදි රුපියල් දෙකේ හෝ පහේ කාසි ද, නැතිනම් තැඹිලි, කහ, රතු වර්ණයේ පෙර ගෙවූ ඇමතුම් පත් ද මගේ පොකැට්ටුවේ නොවරදවා තිබුණි!

ඒ කාලයේ මා දැන සිටි ජංගම දුරකථන හිමිකරුවන් ටික දෙනා ද, තමන්ට ලැබෙන ඇමතුම් විනාඩියකට අඩුවෙන් සීමා කිරීමට වග බලා ගත්හ. ඒ ඊට වඩා දිගු ඇමතුම් සඳහා ඇමතුම ලබන්නා ද මුදල් ගෙවිය යුතු වූ බැවිනි.

අද මෙය කියවන සමහර දෙනෙකුට විහිළුවක් සේ හැඟෙන්නට හැකි මුත්, මට මේ අපූරු උපකරණයේ වැදගත්කම හොඳින් වැටහුණේ, 1994 වසරේ එක් දිනක මගේ සේවා ස්ථානයේ දෙපාර්තමේන්තු ප්‍රධානියා සමග කොරිඩෝරක ඇවිද යමින් සිටියදී ඔහු ගේ ජංගම දුරකථනයට ඇමතුමක් පැමිණි අවස්ථාවේ දී ය.

කොනීචිවා, වකිරිමස්තකා යනාදී ජපන් වදන් ඇසෙද්දී මට වැටහුණේ මේ ඔහුට අමතා ඇත්තේ ජපානයේ සිටින ඔහු ගේ මිතුරෙකු බවයි. ඒ මිතුරා ද ජපානයේ යොකොහාමා නගරයේ කොහේ හෝ ගොඩනැගිල්ලක් ඇතුළේ කොරිඩෝරයක ඇවිදිමින් සිටිනවා විය හැක. ලෝකයේ දෙකොනක සිටිනා දෙදෙනෙකුට, තාවකාලිකව ස්ථානගත නොවී, රැහැනින් නොබැඳී, මෙලෙස නිදහසේ සම්බන්ධවෙන්නට ලැබීම ආශ්චර්යක් ම නොවේදෝ යි මට ඒ මොහොතේ සිතුණි.

මා මුලින් සඳහන් කළාක් මෙන් අද ඒ කතාව කියවන සමහර දෙනෙකුට එය විහිළුවක් සේ හැඟෙන්නට හැකි බව මම දනිමි.

මා ඕස්ට්‍රේලියාවට සංක්‍රමණය කරන කාලයේ මෙරටේත් තිබුණේ පෙර කී ඇනලොග් වර්ගයේ ජාල දෙකක් පමණි. භාවිතා වූ ජංගම දුරකථන ද ගඩොල් බාග ඒවා විය.

දිනක් මා එකල අප පදිංචි වී සිටි කානගී නම් ප්‍රදේශයේ මාර්ග බද මගී මං තීරුවේ ඇවිදින විට මගේ නෙත ගැටුණේ පාර අයිනේ බිම වැටී තිබුණු පෙර කී ආකාරයේ ජංගම දුරකථනයකි.

එහි පළල දාර දෙකේ අලවා තිබුණු ස්ටිකර දැන්වීම් මගින් මේ කුඩා ට්‍රක් කොම්පැනියකට අයිති ජංගම දුරකථනයක් බව මම වටහා ගත්තෙමි. අද වෙළඳපොළේ ඇති ස්මාට් දුරකථනවල මෙන් කී ලොක්, පින් ලොක්, ස්වයිප් ලොක්, ෆේෂල් ලුක්, ෆින්ගර් ප්‍රින්ට් ලොක් යනාදිය ඒ දිනවල නොතිබුණු නිසා, මට ක්‍ෂණයකින් ම ඒ දුරකථනය පණ ගන්වා එමගින් ම හිමිකාර සමාගම ඇමතීමට හැකි විය.

පසුව මා ඔවුන් ගේ ගරාජය වෙත ගොස් ඒ ජංගම දුරකථනය භාර දුන්නෙමි.

කෙසේ නමුත්, අවසානයේ මා ජංගම දුරකථනයක් මිලට ගන්නට හිත හදාගත්තේ තවත් වසරකට පමණ පසුව 1998 දෙසැම්බරයේ දී ය. නමුත්, ඒ ද එදිනෙදා කතා බහට සඳහා නොව එක්තරා සුවිශේෂී අවශ්‍යතාවක් වෙනුවෙනි.

එය වෙනම ම ලිවිය යුතු කථාංගයකි.

-රසිකොලොජිස්ට්

(image: http://www.gsmhistory.com/vintage-mobiles/)

52 comments:

  1. ඉස්සර මොබයිල් ෆෝන් කොයිකටත් කිව්වෙ සෙල්ටෙල්. හැම බීමටම ඔරෙන්ජං බාර්ලි කිව්ව වගේ.
    හැබැයි ගමේ ගොඩේ කතාවට කිව්වෙ ගඩොල් බාගෙ.
    මට මතකයි ප්‍රොෆෙසර් කාරියවසම් රූපවාහිනී චෙයාර්මන් විදිහට උජාරුවට ගඩොල් බාගෙ අතේ තියන් ඉන්න ෆොටෝ පත්තර වල ගියා.

    ReplyDelete
    Replies
    1. හැම රබර් සෙරප්පු දෙකටම බාටා කියල කිව්ව වගේ තමා

      Delete
    2. ෆොටෝ කොපි කරන එකට ඇමරිකාවේ කියන්නේ කරනවා කියලා ලු!
      වැක්‍යුම් ක්ලීනින් = හූවර් කරනවා.

      ඇයි ගුගල් කරනවාය කීම!

      Delete
    3. ඇයි මිනිහා ගෑණිට කරනවා කිව්වම දන්නවනේ

      Delete
  2. අපිට නම් ඔපීසියෙන් සැල්පෝන් දෙන්න කලින් "පේජරයක්" දීලා තිබ්බා. ඉනේ ගහගෙන යන. ඒකෙන් උනේ අද ඔය ඇස් ඇම් ඇස් වලින් වන දෙමයි. හැබයි රිප්ලයි කොරන්න බෑ. ඔපීසියේ ලොක්කො නම් ගඩොල් භාග ආපු ගමන් ගත්තත් අපිට සැල්ටැල් එකක් ලැබුනේ කාළෙකට පස්සේ.

    ReplyDelete
    Replies
    1. ඉතා මෑත කාලයේ දී ත් සිඩ්නි රෝහල් ඇතුළේ කාර්ය මණ්ඩලවලට පේජර් දී තිබුණා. සමහර තැන්වල එනවුන්ස් කරන්නේ පේජින් අහවලා කියාලා.

      Delete
  3. ලොකුවට තිබිල තාක්ෂණය එක්ක පුංචි වෙලා ආයෙත් ස්මාට්වීමත් එක්ක ටිකක් ලොකු‍වුනා. මාත් දැං ආයෙ පරණ සෝනි එරික්සන් එකක් පාවිච්චි කරනව.

    ReplyDelete
    Replies
    1. ස්මාට් ෆෝන් එකේ සිට ඩම්බ් ෆෝන් එකකට මාරුවීමත් ජොලි වැඩේ!

      Delete
  4. ගඩොල් බාග ගැන ලියලා මොටද පුතේ
    නසීර් හම්බයා ගොන් පාට් දායි පුතේ
    රට රැකගත් රණවිරුවන් අපේ රටේ
    යහ පාලනෙන් සත දහයට වැටී ඇතේ

    ඉවසා ඉන්න අපෙ සිහ රජු ළඟ එනවා
    නැතිවුණු සිහල අභිමානය රැකදෙනවා
    එදාට අපි ආයෙත් කිරිබත් කනවා
    පුතාගෙත් කොටස ඕස්ට්‍රෙලියාවට එවනවා

    මීට, කුමාර දිප්පිටිය මයා
    ගරු ලේකම්,
    තරුණ බෞද්ධ සංගමය,
    කොතලාවලපුර
    රත්මලාන.

    ReplyDelete
    Replies
    1. කවි හදන්න ටියුෂන් දෙන තැන් නැතිද රත්මාලන පැත්තේ!

      Delete
    2. ඉවසා ඉන්න අපෙ සිහ රජු ළඟ එනවා

      මග බල බලා ඇතිය මගේ සුදා
      සුකුමොල සිරිය

      Delete
    3. ඉවසා ඉන්න අපෙ සිහ රජු ළඟ එනවා
      නැතිවුණු සිහල අභිමානය රැකදෙනවා
      එදාට අපි ආයෙත් කිරිබත් කනවා

      කිරිබත් කෙසේවෙතත් රජට හිරබත් නම් කන්නවෙයි වගේ නේද කුමාර පුතේ

      Delete
    4. ඇත්තටම ඉස්සර අසූ ගනන්වල රත්මලානේ ගාලුපාරේ බිල්ඩිමක කවි ලියන්න උගන්වන තැනක් තිබුනා.තැපෑලෙනුත් ඉගැන්නුවා. ප්‍රසිද්ධ කවියෙක් තමයි ඒක කරේ කිංස්ලිද කවුද කියලා. හරියටම මතක් වෙන්නේ නැහැ. පත්තරවල දැන්වීමුත් ගියා.

      Delete
  5. අපිටත් ඉස්සල්ලම තිබ්බෙ පේජර් එකක්, ඒකට එන මැසේජ් විතරක් කියවන්න පුළුවන්. හැබැයි ගඩොල් බාග තිබ්බ කාලෙම අපේ කොම්පනියෙ ලොක්ක Sagem කියන බ්‍රෑන්ඩ් එකේ ෆෝන් ගෙනල්ල දුන්න ඒව ගඩොල් බාගෙන් කාලක්වත් නෑ ලොකු බැටරියකුයි පොඩි බැටරියකුයි දෙකක් තිබුන. ගඩොලෙ වගේ ලොකු ඇන්ටනාවකුත් නෑ.

    ReplyDelete
  6. දැන් ඉතින් මොකද කරන්නේ අලුත් එකක් ගන්නේ නැද්ද ?...මම හිතා ගෙන උන්නේ ඔබතුමා මගේ වයසේ කොල්ලෙක් කියලා නේ බැලින්නම් මගේ තාත්තගේ වයසේ විතර හෝ ඊට ටිකක් බාල කෙනෙකු විය යුතුය ..මම මෙලොව එලිය දුටුවේත් 1993 හි හි

    ReplyDelete
    Replies
    1. වයස වෙනස නිසා ද ඔබතුමා වුනේ?
      වයස නොවෙයි වැඩයි වැදගත්.
      මට රසිකොලොජිස්ට් කියන්න.

      Delete
    2. එහෙම කිව්වට ඉතින් තුමා කියන්න හොඳේ මොකද මං පොර කියලා ඔය ළමයා දන්නව නේද

      Delete
  7. අයියෝ ඔබටත් වෙන දේවල් හි හි මමත් අද samsung j7 එකක් ගන්න කියලා ඉන්නේ ..මම 4න් එකකට ආසා කොලේ 2006 විතර එත් පොඩි හරි 4න් කට්ටක් ගන්න ලැබුනේ 2012 දී එකත් බාප්පාගේ අයියා අරන් දීපු නිසා ...ඒ දවස් වල පොඩි පොන් එකත් ගණන් නේ දැන් තමා රුපියල් 1000 ට තියෙන්නේ

    ReplyDelete
    Replies
    1. ආශාව වෙනස් අවශ්‍යතාව වෙනස්.
      අවශ්‍යතාව අනුව ක්‍රියා කරන්න.

      Delete
  8. Australiawe Loku job ekak neda karanne.Mokada hand phone ekak ganna salli neda?

    ReplyDelete
    Replies
    1. මෙන්න තවත් හෑන්ඩ් ෆෝන්කාරයෙක්!
      ඇයි ලෑන්ඩ් ලයින් ෆෝන් අතේ තියන් නොවෙයි ද කතා කරන්නේ?

      Delete
  9. පැරමටාවල විල්සන් ඩී පෝල් ගේ කඩේ ඔය ජාතියේ සෙකන් හෑන්ඩ් ෆෝන් තියනවා අඩු ගානට කේවල් කරලා ගන්නත් පුළුවන්.....එකෙන් ෆෝන් ගන්න ලජ්ජාවෙන්න ඒපා මුළු මුදල එකතුවෙන්නේ විල්සන් ඩී පෝල් පදනමට .

    ReplyDelete
    Replies
    1. ඔය පැත්තේ ඊටත් ලාබ ඇති නේද, mate?

      Delete
  10. ෆෝන් ආපු දවස්වල ඔය උඩ දාල තියෙන ජාතියෙ ෆෝන් වල පැත්තෙන් සෙල්ටෙල් කියල ලොකුවට ස්ටිකර් එකක් අලෝල තිබුණ.
    මාත් ඉස්සෙල්ලම ගත්තෙ මෝටරෝලා ගඩොල් බාගයක්.

    ReplyDelete
    Replies
    1. ගඩොල් ගත්තට, බ්ලොග් එක කොන්ක්‍රීට් නේද?

      Delete
  11. රසික,

    ඔබට මතකද Richie Richardson ගේ Celtel Ad එකක් තිබුන ඔය කාලයේ.?

    ReplyDelete
    Replies
    1. මං ඒ දවස්වල ක්‍රීකට්වලට කැමති නෑ!

      Delete
    2. Richardson was in an ad for a company called Call-Link (at that time). I believe they became Hutch now.

      Delete
  12. මේක නම් පුදුම මතකයක්. මම මුලින්ම හෑන්ඩ් ෆෝන් එකක් දැක්ක හැටි.. හම්බුන හැටි මට මතක නෑ. මට මතක විදියට මම මුලින්ම භාවිතා කලේ අර ගල් ගෙඩියක් වගේ තිබ්බ නොකියා 1100 ෆෝන් එක. ගලේ ගැහැව්වත් කැඩෙන්නේ නැති නියම ෆෝන් එකක්. ඒකත් එකට දැන් තියෙන ඒවා. එකපාරක් වැටුනොත් වැඩේ හබක් වෙන්න තියෙන ඉඩ වැඩියි. දැන් හැමෝම මනුස්සයෙක් වැටුනම හිනා වෙනවා, ඒත් ෆෝන් එකක් වැටුනම වටේ ඉන්න ඔක්කොමල්ලා කරදර වෙනවා ෆෝන් එක කැඩිලද කියල

    ReplyDelete
    Replies
    1. මගේ අත්දැකීම නම් ෆෝන් එක වොෂින් මැෂිමේ දැම්මාය කීවාම හිනා වෙන බවයි!
      http://rasikalogy.blogspot.com/2016/05/what-so-funny-mate.html

      Delete
  13. අයිසෙ රසික, මෙන්න මේ පහලින් දාලා තියෙන ලින්ක් එකේ නම කියවෙන "රසික සූරියාආරච්චි" ඔහෙද?

    http://www.gossiplankanews.com/2016/05/sillara-kasi-tele-drama-on-location.html

    ReplyDelete
    Replies
    1. හූ ඔයත් අහු උනා නේ? ඔය කියන්නෙ කටුබැද්දෙ අපොන්සු මාවතේ ඉන්න රසික සුරවීර-ආරච්චි.

      මේ ඉන්නෙ සිනුවර ඉන්න රසික සූරිය-ආරච්චි

      Delete
    2. This comment has been removed by the author.

      Delete
    3. රසික සුරවීර ආරච්චි බොරළු පාර, ඇබෑර්තු ඇත වගේ බාගෙට හොඳ නාට්‍ය කරා. දැන් රසිකලොජිස්ට්ට තියෙන්නේ අර රසික ලංකාවේ ඉඳන් ලංකාවේ ලීසින් මළමිනි ගැන කතාකරනවා වගේ ඔබ දන්න ඕස්ට්‍රේලියාවෙ ඉන්න මොර්ගේජ් මළමිනි ගැන නාට්ටියක් කරන්න. ඔය කොයි කවුරුත් සිල්ලර කාසි නාට්ටියේ වගේ සල්ලි අච්චු නොගැහුවට පන ඇති ,ඇවිදින 'ණය' කඳන් තමයි. ජීවිතය කියන්නේම එක්තරා ආකාරයක ණයක්. මට නාට්ටි කරන්න දන්නේ නැහැ. නැත්නම් මං මම ඉන්න රටේ තත්වය ගැන නාට්ටියක් කරනවා.

      Delete
    4. මෙයින් රසික සුරවීරආරච්චිට තමයි ප්‍රශ්නය. සමහර පත්තරවල, වෙබ්සයිට්වල ඔහු ගේ නම යන්නේ රසික සුරියආරච්චි කියලයි.

      වසර ගණණකට ඵෙර මට ලංකාවේ මිතුරෙකුගෙන් ඊ-මේලයක් ආවා මට ලැබුණු ටෙලි නාට්‍ය සම්මානයක් ගැන සුභ පතලා. පොර කියා තිබුණා, මචං බපලං මේ සමහර පත්තරකාරයෝ උඹේ නම වරද්දලා දාලා නේ කියලාත්.

      Delete
  14. මම මුලින්ම ජංගම දුරකතනයක් ගත්තේ 1999 දී, ඒ වැඩිපුරම ආසාවට...
    ආසාවට ගත්තට අපේ පැත්තට ටෙලිකොම් සබඳතා දීල තිබ්බේ නැති නිසා ඒක ගොඩක් වැදගත් වුනා...
    හැබැයි ඉතිං කෝල් එකක් ගන්න යන වියදමට බත් එකක් විතර අරගෙන කන්න පුළුවන් ඒ දවස් වල...

    ReplyDelete
    Replies
    1. ආශාවට මුල් තැන දීම අඩු වශයෙන් තරුණ කාලේ දී හෝ කළ යුතුයි!

      Delete
  15. රසික...ඔය ගඩොල් බාගේ ෆෝන් එකකින් අපේ යාලුවෙකුට ඔලුවට ගැහුවනේ වලියක් ගිහිල්ලා. ඔලුව බදාගෙන පොර බිම වැටුනා. ඔය සිද්ධිය උනේ කොලොන්නාව පැත්තේ වෙඩින් එකකදි. ඒකේ ෆොටෝ එකක් තිබුනා එක මේසෙක හිටිය තද පොරවල් ටිකක් මේසේ උඩ ඔය ගඩොල් බාග පහ හයක් තියාගෙන ඩ්‍රින්ක් එකක් දානවා. ඒ ෆෝන්ස් ඔක්කොම කෙලින් අතට තියන්න ඕන.පස්සේ කාලෙක ඕක අපේ පොඩි එවුන් බල බල හිනාවුනා.

    ReplyDelete
    Replies
    1. පොඩි ළමයෙකු පරණ ෆෝන් එකක තිරය ඔබා බලා ඒක කැඩිලා යැයි කියූ කතාව අසා ඇතිනේද?

      Delete
    2. ඒඛ බ්ලැක්බෙරි වර්ගයේ මෑත මොඩලයක්!

      Delete
  16. Celltel infinite කියලා නේද කිව්වෙ . ඒ කාලෙ ලොරියක් තිබුනා . ඒකෙ වීදුරුවෙ ගහලා තිබුනෙ "හෙලෝ ෂෙල්ටර්ස් මහගම" කියලා.

    ReplyDelete
    Replies
    1. අපේ ගමේ ලොරි භාගෙක ගහලා තිබුණා සුගන්ධිකා කියලා. ඒ අපේ පන්තියේ සිටි ගෑල්ළමයෙකු ගේ නම.

      Delete
  17. සෙල් ෆෝන් තියන නිසා ඔෆිස් එකට වෙලාම ඉන්න අවශ්ය නොවීම ලොකුම ප්‍රයොජනයයි

    ReplyDelete
    Replies
    1. ඔව්, අකුණු ගහනවා නිසා ආන්සර් කළේ නෑ කියලා කියන්නත් හැකියි නේ?

      Delete
  18. What mad work you do. Samsung smat phone big no. It is in your poket you can see it clear. And big phone waigt more.

    ReplyDelete
    Replies
    1. ඔබ මේ ආකාරයට ලිවීමෙන් සිනා සෙන්නේ කාටද?

      Use this service:
      https://translate.google.com/

      Delete
  19. මගෙත් දශකයකට ආසන්න ජංගම දුරකථන ඉතිහාසයක් තියනවා. ඒ ගැන මම පෝස්ට් එකක් දාල තියේ.

    ReplyDelete
  20. අපේ තාත්තලාට නොතිබුනු අලුත් ඉතිහාස කතාවක් අපෙන් පටන් ගත්තා. ජංගම දුරකතන ඉතිහාසයේ මුල ඉදලා වුනු වෙනස් කම් ඇස් පනාපිට දැකගත්තු ඒ අද්දැකීම් විඳගත්තු මේ පෘතුවියේ ඉන්න එකම ජීවින් කොට්ඨාශය අපේ අවසානයක් එක්ක නැති වෙලා යනවා. ජංගම දුරකතනය සොයාගත්තු, ඒකට කැමරාව අමුණපු, රේඩියෝව අමුණපු, දුරකනනය ස්මාට් කරපු අයගේ ජීවිත ගෙවිලා ගියේ, සමහරු අවසාන කලේ අපේ කාලයේ මයි.

    සුනාමි ඛේදවාචකය සිදුවුනු කාලේ අපිට රාජකාරී කරන්න තිබුනේ ගෝල්ෆේස් පිට්ටනියේ ඉදිකරලා තිබුනු භාණ්ඩ එකතු කිරීමේ හා වෙන් කිරීමේ මධ්‍යස්ථානයේ. එතන අපිට අමතරව ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වෙලා උදව් කරන්නත් සිවිල් ජනතාවගෙන් සීමිත පිරිසකට අවස්ථාව ලැබුනා. එතනට ආපු යාලුවෙක්ට අනිත් යාලුවා ජංගම දුරකතනයකින් කතා කරලා අහනවා කොහෙද ඉන්නේ කියලා. ඔහු කියනවා සිමෙන්ති බැම්ම ගාවලු. අනිත් යාලුවත් කියනවාා එයත් ඉන්නේ එතනලු. බලද්දි දෙන්නා දෙපැත්ත හැරිලා ඉදලා තියෙන්නේ. අන්න ඒ අවස්ථාව දැක්ක මටත් දැනුනේ රසිකගේ බොස් කොරිඩෝවේ කතා කරද්දි රසිකට දැනුන හැඟීම වෙන්න පුලුවන්. දැන් නම් ෆෝන් එක දාපු තැන හොයාගන්නත් අනිත් ෆෝන් එකෙන් රිං කරන තරමට මේවා සාමාන්‍යකරණය වෙලා.

    ReplyDelete
  21. ලංකාවේ ප්‍රථම ජංගම දුරකථනය තමයි සෙල්ටෙල් (Celltel). ආරම්භ කළේ 1989 ජූනි මාසයේ. මුල් අවුරුදු දෙකේ සෙල්ටෙල් ජංගම දුරකථනවලට තිබුණේ 4 ඉලක්කමෙන් ආරම්භ වූ විදුලි සංදේශ දෙපාර්තමේන්තුවේ (දැන් SLT) මැද කොළඹ හුවමාරුවේ ස්ථාවර දුරකථන අංකයන්. ඒ කියන්නේ, සෙල්ටෙල් ජංගම දුරකථනයකට කතා කිරීමට 01 - 4XXXXX ඇමතිය යුතුව තිබුණා (01 කියන්නේ ඒ කාලේ කොළඹ ස්ථාවර දුරකථනවල කෝඩ් නම්බර් එක. --- අද 011).

    සෙල්ටෙල් ජාලය 2007 දී ටීගෝ (Tigo) ලෙසින් නම් කෙරුණා. පසුව 2010 දී එටිසලාට් සමාගමට එම ජාලය විකුණා දැමුණු නිසා එනමින් හැඳින්වෙන්නට යෙදුණා.

    ඊළඟට දියත් කළ ජංගම දුරකථන ජාලය තමයි කෝල්-ලින්ක් (Call-Link). 1992 වසරේ මුල් කාලයේ තමයි ආරම්භ වුණේ. මෙය අයත් වෙලා තිබුණේ සිංගප්පූරුවේ සමාගමකට. 1990 දශකයේ අවසාන කාලයේ (1998) මේ ජාලය හොංකොං හි හචින්සන් සමාගමට විකුණා දැමූ නිසා ජාලය හච් (Hutch) නමින් හඳුන්වන්න යෙදුණා.

    තුන්වෙනුවට දියත් කරන්නට යෙදුණු ජංගම දුරකථන ජාලය තමයි මොබිටෙල්. මේ සමාගම ශ්‍රී ලංකා ටෙලිකොම් සහ ඕස්ට්‍රේලියාවේ ටෙල්ස්ට්‍රා (Telstra) කියන ආයතන දෙකක බද්ධ ව්‍යාපාරයක් ලෙසයි පැවතුණේ. ආරම්භ වුණේ 1993 අප්‍රේල් මාසයේ. අනිත් ජාල දෙක මෙන් මෙයත් ඇනලොග් ජාලයක් ලෙස ආරම්භ වී පසුව GSM ක්‍රමයට හැරුණා.

    හතරවෙනුවට දියත් වුණු ජංගම දුරකථන ජාලය ඩයලොග්. ආරම්භ වුණේ 1995 අප්‍රේල් මාසයේ. මුල සිටන් ම මෙය GSM ජාලයක්.

    ඊළඟට ආවේ Airtel නේද? ඒ 2009 ජනවාරි මාසයේ.

    ReplyDelete
  22. මොබිටෙල් ට කලින් නේද කෝල් ලින්ක් කියල 078 නෙට්වර්ක් එක ආවේ.... ?

    ReplyDelete
  23. සෙල්ටෙල් ටැන්ගෝ ලෙස නගරාන්තර සේවයක් හදුන්වා දුන්නා 1999 වගේ.. යාන්තන් මතකයි. සිග්නල් තිබුණේ යාන්තන් කටුගස්තොට පහුවෙනකන් විතරයි...

    ReplyDelete

ඔබේ ප්‍රතිචාරය මට සතුටකි!. Your comments are most welcome!
සංයමයෙන් යුතුව ප්‍රතිචාර දක්වන්න.