Saturday, 14 May 2016

පුතාගෙන් අතීතය දැකීම - Back to the future


කාලය ගත වෙන ඉක්මන!

මගේ පුතා ගේ පහළොස්වෙනි උපන් දින සැමරුම පසුගිය සතියේ යෙදුණි. දැන් ඔහු ඉගෙනුම ලබන්නේ දහවෙනි ශ්‍රේණියේ ය. ඔහු මෙලොව උපත ලද කාලය නම්, තරමක් අතීතයේ බව හැඟෙතත්, පුතා මුලින් ම පාසල් ගිය කාලය නම් මට අද ඊයේ මෙනි. මා කලින් දිනයක ලියූ සටහනක දී කියූ පරිදි මා අද ජීවත්ව සිටින්නට එක හේතුවක් ද ඔහු යැයි මට සිතේ!

මම මගේ පුතා දෙස බලා මගේ අතීතය දකිමි. මා මෙන් ම බොහෝ පියවරුන් ද මේ අත්දැකීම ලබනවා විය හැක.

අප පොඩි කාලයේ අද මෙන් දිනපතා, සතිපතා, මාස් පතා තියා වසරකට වරක්වත් ඡායාරූප ගැනීමක් නොතිබුණු ද, මා සතුව ඇති මගේ ළමා කාලයේ ඡායාරූප කිහිපයේ දකින්නට ඇති මගේ රැවත්, මගේ පුතා ගේ හැඩරුවත් අතර බොහෝ සමානකම් මම දකිමි. ඉහත ඇත්තේ එවැනි පුතා සහා තාත්තා ගේ සම වයසේ ඡායාරූප සන්සන්නදයකි.

එසේම, අද ඔහු සිතන පතන ආකාරය ගැන යම් ආකාරයක හැඟීමක් ලබා ගන්නට අවශ්‍ය නම් මා කරන්නේ අතීත පටු මග ඔස්සේ මගේ සිත නමැති ඩ්‍රෝනය මෙහෙයවා මේ වයසේ දී ඒ දිනවල මා කළ කී දෑ, සිතූ පැතූ අයුරු ගැන මදක් මෙනෙහි කිරීමයි. කාලය පමණක් නොව දීපය සහ දේශය ද වෙනස් වී ඇති නිසා, සම වයසේ දී මගේ සිතුම් පැතුම්, අදහස් උදහස්, හැසිරීම්වලට වඩා පුතා ගේ සිතුම් පැතුම් අදහස් උදහස්, හැසිරීම් සෑහෙන තරමකට වෙනස් බව සැබවක් නමුත්, මා කරන ඒ අභ්‍යාසයේ යම් ප්‍රයෝජන නැත්තේ නොවේ.

හොඳින් සලකා බලන විට මා සහ පුතා ගේ ළමා දිවිය අතර කාලයේ, දීපයේ, දේශයේ පමණක් නොව කුලයේ සහ මව ගේ ද වෙනස් කම් ඇත. මගේ මව නිවසේ රැඳී කුටුම්බය රැකබලා ගත් කාන්තාවකි. මගේ පුතා ගේ මව, විශාල වගකීම් සහිත වෘත්තියක නිරත, අතිශය කාර්ය බහුල තැනැත්තියකි.

කුලය වෙත් පියා ගේ රැකියාව ද දැන් නම් වෙනස් ය. මගේ පියා රජයේ ගුරුවරයෙකි. මගේ පුතා මෙලොව උපත ලබන කාලයේ දී නම් මා ද විශ්ව විද්‍යාලයක දේශකයෙකු වූ නමුත්, ඔහු ගේ ජීවිතයේ හයවන වසර වන විට මම ඒ ගුරුකුලයෙන් ඉවත්ව දවසෙන් අඩක් නිවසෙන් බැහැරව දිවි ගෙවන රාජපුරුෂයෙකු වීමි.

මව සහ පියා ගේ දවස ගෙවෙන ආකාරය ද, දරුවෙකු ගේ ජීවිතයට බලපාන බව කිව යුතු නොවේ.

උදාහරණයක් ලෙස, මා (සම මගේ බාල සොහොයුරන් දෙදෙනා) ඒ දිනවල පාසල නිමවී නිසට එන විට අපේ මව, දිවා ආහාරය පිළියෙල කොට අප එනතුරු නිවසේ බලා සිටී. පාසල නිමවී පියා ද, තවත් පැයකින් පමණ නිවසට පැමිණේ.

නමුත්, මේ දිනවල අපේ පුතා සවස තුනයි විස්සට තම පාසල නිමවූ පසු හතරට පමණ නිවසට පැමිණියත්, ඔහු තම මව දකින්නේ බොහෝ විට තවත් පැය දෙකකට පසුව ය. සවස හයට කාර්යාලයෙන් පිටවෙන මා නිවසට එන විට රාත්‍රී හත හමාර පසු වේ. පවුලේ බාලයා වූ පුතා ගේ හවස් වරුව ගෙවෙන්නේ තනිවම පරිගණක තිරයක් ඉදිරිපිට ය.

මා මුලින් කියූ ආකාරයට පුතා ගේ පහළොස්වෙනි උපන් දිනය දා මා සිහි කළේ මා ඒ වයසේ දී කළ කී දෑ ගැන සහ සිතූ පැතූ ආකාරය ගැනය.

අප කුඩා කාලයේ කළ ආකාරයට, ගස් නගින්නට, මිදුලේ ක්‍රීඩා කරන්නට, වත්ත පිටුපසට ගොස් චූ කරන්නට, කඩේ ගොස් බඩු ගෙනෙන්නට, පාසලට පයින් ඇවිඳගෙන යන්නට ඔහුට හැකියාවක් නැති නමුත් ඔහු මට වඩා පුළුල් දැනුමක් සහ නිවැරදි ලෝක දෘෂ්ටියක් ඇති කොලු ගැටයෙකු බව මට පසක් විය. මගේ දියණිය ද, තම මලණුවන් ගේ පුළුල් දැනුම සහ නිවැරදි දෘෂ්ටිය ගැන පැවසූයේ ඉතා ප්‍රසාදයෙනි. මල්ලී තමන් ඒ වයසේ දී සිටි තත්වයට වඩා ඉතා ඉදිරියෙන් සිටින බව ඇය පැවසුවාය.

ඉතින්, කුමක් නිසා මා සමග සන්සන්දනයක් කරන්නද?

නමුත්, මට ඇති එකම ප්‍රශ්නය මෙයයි.

මේ වයසේ බොහෝ පිරිමි ළමයින් මෙන් මගේ පුතා ගේ පොත් කියවීම ද ඉතා අඩුය. එනිසා, ඔහු පොතක් ලියාවි යැයි සිතීම තරමක් අපහසු ය. ඒ සමගම, ඔහු අකුරු ලිවීම කරන්නේ ද ඉතා අඩුවෙනි. එනිසා, පුතා ගේ අත් අකුරුවල කිසි ප්‍රිය මනාප බවක් මට නොපෙනේ.

මෙයින් අපට පෙනෙන්නේ ඔහු දැනුම ලබා ගන්නේ අප මෙන් පොත් හරහා ම නොවන බවත්, අනාගතයේ දී ඔවුන් ගේ සන්නිවේදන මාර්ගවලට අද අප මෙන් අකුරු උපයෝගී කර ගැනීම අත්‍යවශ්‍ය නොවන බවත් ය.

මම ද, අද මගේ මගේ පුතා මෙන් මේ වයසේ දී, දහවෙනි ශ්‍රේණියේ ඉගෙනුම ලබමින් සිටියෙමි. සම වයසේ ගෑල්ළමයින් පිළිබඳව අමුතු සිතුවිලි වඩාත් තදින් සිතට දැනෙන්නට වූයේ ඒ වයසේ සිටය.

පහත දැක්වෙන්නේ මා ලියූ මගේ ප්‍රථම පෙම් ගීයයි. එය ලියූ දිනපොත තවමත් මා සතුව ඇති නිසා, එදින මගේ වයස හරියටම දාසයයි මාසයයි බව කිව හැක!

ඔබ නිසාය

ඈත අහසෙ පාවි පාවි
හෙමින් හෙමින් ඇදිලා යන
පුළුන් වලාකුළු වල ඇති
සුන්දර බව මා දුටුවේ

සඳ පෑවූ රෑ යාමේ
එහෙන් මෙහෙන් පොකුරු පොකුරු
පිපිලා ඇති තරු මල් වල
අමුතු ලස්සනක් දුටුවේ

කිචි බිචි ගා කෑ ගසමින්
ලිය ගොමුවල දුව පනිනා
පුංචි බටිති මලිතන් ගේ
ගී නාදය කණ වැටුනේ

සුපිපුණු අරලිය මල්වල
සුවඳින් මා සිත පිරුනේ
බැස යන හිරු ගේ දසුනේ
නොදුටු ලස්සනක් දුටුවේ

කුමරිය ඔබගේ දෙනෙතින්
මා හද පණ ලැබු නිසාය
ඔබ දෙනෙතේ මුව මඩලේ
රුඳී තිබුණු ඒ කැල්මෙන්
මා සිත පිබිදුණු නිසාය
මා ජීවය ලද නිසාය


-රසිකොලොජිස්ට්

79 comments:

  1. //නමුත්, මේ දිනවල අපේ පුතා සවස තුනයි විස්සට තම පාසල නිමවූ පසු හතරට පමණ නිවසට පැමිණියත්, ඔහු තම මව දකින්නේ බොහෝ විට තවත් පැය දෙකකට පසුව ය. සවස හයට කාර්යාලයෙන් පිටවෙන මා නිවසට එන විට රාත්‍රී හත හමාර පසු වේ. පවුලේ බාලයා වූ පුතා ගේ හවස් වරුව ගෙවෙන්නේ තනිවම පරිගණක තිරයක් ඉදිරිපිට ය.
    //
    ඔබගේ පුතාට සුභ උපන් දිනයක්.. අපේ පුතාට දැන් අවුරුදු 12ක්... අපේ නිවසෙත් දෙදෙනාම පුර්ණ කාලින සේවකයෝ ... කෙතරම් කාර්ය බහුල වුනත් තවමත් අපි දෙන්නගෙන් එක්කෙනෙක් කෙසේ හෝ ඔහු නිවසේ ඉන්නා වෙලාවට ඔහු සමග ඉන්නවා ( නිවසේ සිටින එකම ළමය ඔහුනිසා ) ඔහු පරිගනකයෙන් සහ රූපවාහිනියෙන් තරමකට ඉවත් වී ගත කරන්නේ ඔහු විසින්ම යොදා ගත් ඔහුගේ අනෙක් විනෝදාංශ නිසයි.. චිත්‍ර ඇඳීම, ත්‍රාසජනක කතා ලිවිම වැනි...

    ReplyDelete
    Replies
    1. කවිඳුලා වගේ කරන්න තිබුණා නම් හොඳයි.

      හයි ස්කුල් යාම ඇරඹුණු පසුවයි තනිවම සිටීමේ ප්‍රශ්නය එන්නේ. ආෆ්ටර් ස්කූල් නෑ නේ.

      මගේත් නිවසෙන් පිට සිටීමේ කාලය සඳුදා සිට වෙනස් වෙන නිසා වෙනසක් කරන්න උත්සාහ කළ යුතුයි!

      Delete
  2. පුතාට සුභ උපන් දිනයක්. මේක කියවද්දි මට හිතුනෙ මමත් එහෙම කරාවිනෙ කියලා.

    ReplyDelete
    Replies
    1. මට ඇති එකම ප්‍රශ්නය නම් අපේ පොඩි කාලේ (තියා ලොකු කාලේවත්) ෆොටෝ නැති වීමයි!

      Delete
  3. එහෙනං ඔය තත්වය සිනුවරටත් තියෙනවා. අපේ එකාත් පොත් කියවන එක කරන්නෙ නැහැ. ගොඩාක් පොත් ගෙැනැවිත් තිබුනත්, මම හැමදාම රෑට පැය දෙකක් විතර පොත් කියෙව්වත් ඒ හාදයා ඒක තඹේකට ගන්නෑ. හැක්..

    දාසයයි මාසය කියන්නේ පහළොව පැනල නේ.. ඇඩ්වාන්ස්ඩ් එතකොට.. ජයවේවා.. ගිය සතියේ පහළව සැමරු පොඩි රසිකටත් සුභ අනාගතයක්..

    ReplyDelete
    Replies
    1. පරිසරය වෙනස් නිසා "පොඩි රසික" දැනටම දාසය පැනලා ද මන්දා!

      Delete
  4. සුබ උපන්දිනයක් පොඩි රසිකට.

    ReplyDelete
    Replies
    1. පොඩිත් නෑ කියන සමහර කතා නම්-

      Delete
  5. මූණ තාත්තගේ වගේ නෙවෙයි. ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවක් පත්කරන්න වෙනවා.

    ReplyDelete
    Replies
    1. ඔබට මුහුණ දීමට සිදු වුණු ඒ අමිහිරි අත්දැකීමට මගේ පුතාවත් ලක් කරන්නද මේ යෝජනා කරන්නේ?

      Delete
  6. සුභ උපන්දිනයක් !

    අනාගත පරපුරේ ඔය කවි ගැන එච්චර පැහැදීමක් නැති බව නම් පැහැදිලියි !!

    “පුතාගෙන් අතීතය දැකීම - Back to the future“

    සිංහලෙන් අතීතය, ඉංගිරිසියෙන් future වූ හැටි නම් අපුරුයි !!

    ReplyDelete
    Replies
    1. දැකීම "to the" වුනේත්, පුතා "back" වුනේත් ඒ ආකාරයම තමා!

      ;-)

      Delete
  7. පොඩි රසිකට සුභ උපන් දිනයක් !!!
    හැම තාත්තෙකුගෙම පුරුද්දක් අඩු මැතිව රසිකටත් තියනව.

    ReplyDelete
    Replies
    1. නැතුව නැතුව!

      මං නොට්ටිගේ තාත්තෙක් කියා හිතුවාද?

      Delete
  8. පූතාට සුභ උපන්දිනයක් සහ සුභ අනාගතයක් පතමි. පුතාගෙන් අතීතය දැකීම හැම තාත්තාටම පොදුයි. මගේ එකාට 16+ . ඔය කාලේ අම්ම තාත්තා ලඟ හිටියද නැද්ද කියන එක මට නම් අව්ලක් උනේ නෑ. මම ඉස්කෝලේ හොස්ටල් එකේ හිටිය කාලේ අම්ම තාත්තා මතක් උනේ අතේ සල්ලි ඉවර උන වෙලාවට. මගේ එකා මාව ඒතරම් ගගන් ගන්න බව නොපෙනෙන වෙලාවට . මම මගේ අතීතය මෙනෙහිකරල හිත හදාගන්නවා. හැබෑයි ලොකුවෙනකොට ඕක ඇරිල යනවා.

    ReplyDelete
    Replies
    1. මටත් ලොකු කාලේ මායි තාත්තායි අතර තරමක් දුරස්ත සම්බන්ධය ගැන සිතී දැන් දුක හිතෙනවා.

      Delete
  9. පුතාට සුබ උපන්දිනයක් , දසයේදී කවියෙන් කරපුව කරන්න දැන් තියෙනේ ෆේස් බුක්, මොබයිල් ෆෝන් තමා. ඩිජිටල් ලව් එකක් තමා පටන් ගන්න වෙන්නේ දැන් මේ වයසේ අයට

    ReplyDelete
    Replies
    1. ඩිජිටල් ලව් නම් කමක් නෑ, නෙලුං අජිත් කීවා වගේ කවදා හරි මහ පොළොවට බහියි නේ! හැබැයි වර්චුවල් රියැලිටි ලව් කරාවිද මන්දා!

      Delete
  10. පුතාට සුබ උපන් දිනයක්. පොත්වලට ඇල්මක් නැති එක දැන් කොල්ලන්ගෙ හැටියක් වෙන්න ඇති.අපේ එකාත් පොත් කියවන්න හරිම හොරයි. දැන් මොන විදියට පාඩම් කරනවද දන්නෙ නෑ.

    ReplyDelete
    Replies
    1. මං කියන්නේ අපි කියෙව්වා වගේ නවකතා පොත් හෙම. පාසලේ පොත් නම් නොකියව බෑනේ. ඒවත් පොර කියවන්නේ පීඩීඑෆ්වලින් විතරයි වගේ!

      Delete
  11. සුබ උපන්දිනයක් මල්ලියේ

    ReplyDelete
  12. අපේ තාත්ත අපි ගැන කොහොමට හිතනවා ඇත්ද කියල හිතුන ........

    ReplyDelete
    Replies
    1. තාත්තා එක්ක ඔහු ගේ තරුණ කාලය ගැන කතා කරන්න.

      Delete
  13. මට මේ ලිපිය කියවද්දි හිතුනා අපි ජිවත් විය යුත්තේ වෙන කවුරුවත් උදෙසා නොව තමාම උදෙසාය කියා මගේ පියා මට කියා දුන් අපුරුව.. ඒ කාලයේ ඒ බර වදන් වල නියම අරුත මට හරිහැටි නොතේරුනත් මං ඔහු ජිවිතයේ සිදුවිම් එක්ක ගනුදෙනු කරන හැටි බලාගෙන හිටියා.. පසු කලෙක මට ඒ ඔවදන් බොහොම වැදගත් වුනා මගේ ජිවිතය හරි පාරේ අරන් යන්න. තත්තා නිතරම මතක් කරලා දුන්නා තමන්ට තමන් ගැන වගකිමක් ගන්න කොතෙක් කල් යයි ද එතෙක් කල් තමන්ගෙන් යැපෙන්නන් බිහි නොකල යුතු බව..

    ඒ වගේම මගේ පුතත් අද ඉන්නෙ මං ඔහුගේ වයසෙදි හිටිය දේශයේ වත් ද්විපයෙවත් කිසිම අයුරකින් සමාන පරිසරයක නොවෙ.. නමුත් ඔහු දැන් පසු කරන්නේ ජිවිතයෙ 5 වෙනි අවුරුද්ද උනත් කැමතිම දේ පොත් කියවිම, ඔහුටම කියා පුංචි පුස්තකාලයක් තිබෙන නිසා කැමති ඔනම වෙලාවක පොත් එක්ක රැදෙනවා.. සංගිතය ටත් ඔහු දක්වන්නේ පුදුම ලැදියාවක්.. මේ හැම දෙයකම මුල ඉපදුනු දා සිට ඔහුවත් කිසිම අයුරකින් වෙන් නොකර අපේ ජිවිත වලටම බද්ධ වෙන අයුරින් එදිනෙදා ජීවන රටාව සකසා ගැනිමයි..එහෙම උනාම පුතයි අපියි අතර තියන පරතරය ඉබේම නැති වෙලා හොඳ සන්නිවේදනයක් ඇති වෙනවා..

    පුතාට සුබ උපන්දිනයක් !!!!!

    ReplyDelete
    Replies
    1. මට අමතක උනා මේ ගමනෙදි අපිට හරිම වැදගත් උනාOWLing & ROCKing . ඉගෙන ගත්තෙ මන් විතරක් උනාට ගෙදර හැමෝටම කියලා දෙන්නත් කරන්නත් පෙළබුනු නිසා ගොඩක් දෙනෙක්ට තියන දෙමාපිය දුදරු සන්නිවේදන පරතරය නිස මතුවෙන ගැටලු අවමයි අපේ ගෙදර ලංකාවෙන් පිට ජීවත් උනත්...

      Delete
    2. අදහස්වලට ඉතා ස්තුතියි.

      මං විශ්වාස කරන දෙයක් තමයි අපි දෙමව්පියන් අපට කළ කී දේ ණය ගෙවිය යුත්තේ ආපසු නොව ඉතිරියට, අපේ දරුවන්ට බව. අපේ දරුවනුත් කළ යුත්තේ එලෙසමයි.

      Delete
    3. ඇත්තෙන්ම ඔව්, දෙමාපියන් පමණක් නොව මා විශ්වාස කරනව දරුවෙක් හදන්න ගමක දායකත්වය ඔනේ කියන කියමන. අපි ඒ ණය මුලු මහත් සමාජයටම පුලු පුලුවන් විදිහට ගෙවන අතරේ අපේ දුවා දරුවටත් හුරු කල යුතුයි එය..
      එත් එක්කම මේ රටෙත් තමන්ට තියන විවේකය අනූව ඉතා පහසුවෙන් අපි වින්ද සොබා දහමත් එක්ක බැඳුනු ලමා කාලය ලබාදෙන්න පැති විශාල ප්‍රමාණයක් තියනවා.. උදේ හවස පෙර පාසල් යන විටදි පවා ඩැන්ඩිලන් මල් පිබින්න, රතු රොස මල් වලට එන කුරුල්ලන් එක්ක සුවඳ බලන්න, තණකොල කපන්න පරක්කු වෙන බිම් වල ගනට වැවුනු තණකොල අතර ඇවිදින්න වගේ සරල දේවල් වල වින්දනාත්මකභාවය ඉහලයි. මේ හැමදේටම ඕන වෙන්නෙ race දුවන්නෙ නැති ජීවන රටාවක් පමණයි කියලයි මගේ අදහස..

      Delete
    4. සියල්ලටම කාලය අවශ්‍යයි.

      අද සිට මට කරුවල වැටෙන්න කලින් නිවසට යන්න හැකි වේවි! බලමු!!

      Delete
    5. ඔව් රසික. බිම් කලුවර වැටුනට කමක් නැ. ඒකත් හොඳ අවස්ථාවක්.. අහසෙ තරු රටා , කුරුල්ලන්ගෙ හැසිරිම්, දවස නිමා වි යන විවිධ මිනිසුන් මවන රටා.. මේ හැම අදහසක්ම මගෙ පියාගෙන් මා ලැබු අභාසය. අද අපි දරුඅන් සමඟ ගත කරන ඵලදායි විනාඩි 5 වටිනව මහමෙරක් මොකද ඒ අපේ අනාගතය...

      Delete
  14. //////පුළුල් දැනුමක් සහ නිවැරදි ලෝක දෘෂ්ටියක් ඇති කොලු ගැටයෙකු බව මට පසක් විය. මගේ දියණිය ද, තම මලණුවන් ගේ පුළුල් දැනුම සහ නිවැරදි දෘෂ්ටිය ගැන පැවසූයේ ඉතා ප්‍රසාදයෙනි. මල්ලී තමන් ඒ වයසේ දී සිටි තත්වයට වඩා ඉතා ඉදිරියෙන් සිටින බව ඇය පැවසුවාය.////////////

    ඔය ටික හොඳටෝම හොඳයි. දැණුම සහ දෲශ්ඨිය ගමන පහසුකරයි. කොල්ලාට සුබ උපන් දිනයක්!!!!!!ලොකු කොල්ලගේ දාසයයි මාසයේ පෙම් ගීයේ තාමත් පැණි බේරෙනවා.

    ReplyDelete
    Replies
    1. තාම "අවුල් වී නැති" නිසා (!) මට නම් තාම ඒ පැණි බේරෙන කතා ඉතා හොඳින් මතකයි.

      Delete
  15. කොල්ලො මේ වයස පොඩ්ඩක් නාහේට අහන්නේ නැති කාලයක් නේ.එත් රසික පුතා තුලින් තමාගේ අතිතය දකින නිසා පුතා එක්ක කටයුතු කරනකොට අවුලක් නැතුව එක කටයුතු කරගනිවී.
    නැතිනම් ගොඩක් දෙමාපියන් කටයුතු කරන්නේ තමන්ට බාල කාලයක් තිබුනේ නැහැ වගේනේ.
    පුතා ඊ බුක් එකක් ලියාවී.

    ReplyDelete
    Replies
    1. මා ලියූ අදහස ඉතාම හොඳින් ඔබට තේරුම් ගොස් තියෙනවා!

      Delete
  16. අතින් අකුරු නොලිව්වට ටයිප් කරනවා ඇති නෙ
    කඩදාසි පොත් නොකියෙව්වට ඊ බුක් කියවනවා ඇතිනෙ
    ගල්කූරෙන් ලියන්නැති නිසා දැන් ඉන්න එවුන්ගෙ අකුරු කැතයි කියලා පොඩිකාලෙ සීය කෙනෙක් කියපු කතාවක් මතක් උනා..
    පොඩි රසිකට සුභ අනාගතයක්..!!
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. අපේ අම්මලා තාත්තාලා කීවේ ඒ අය කටු පෑනෙන් අකුරු ලියපු නිසා අත් අකුරු හොඳයි කියලායි. ඒ වගේම ඒ දෙන්නා ගේම අකුරු හරිම ලස්සනයි!

      Delete
    2. මට මේ අත් අකුරු ගැන කියෙවාම මතක් උනා අපි පුංචි කාලේ හැමදාම පිටපත් ලියන්න ඕන තාත්තගේ අණ පරිදි.. ඔහු විශ්වාස කලා පැහැදිලි අත් අකුරු ජීවිතෙට වාසනාව ගේන බව.. රසික ඔබ අද පියෙක් තම දරුවන් දිහා බලන් විදින සතුට ගැන ලියලා තියනවා දැක්කම මට මගේ පියා මේ තරන් මතක් උනේ ඔහු ඉතාම දරුනු රිය අනතුරකින් හදිස්සියේ සමුගත් මතකය නිසා, අප ඔහු පැතු ලොව කරා යාමට ප්‍රථම....අද මම යම් තැනක සිටිනවා නම් සිටින්නේ ඔහුගේ අසිමිත කැපවිම නිසා...

      Delete
    3. ඔබේ පියා ගැණ අසා කණගාටුවට පත් වුණා. කලකට පෙර සිදුවූවක් නිසා ඔබ ඒ දුකෙන් ඟේ වන විට මිදී ඇතැයි සිතනවා.

      Delete
    4. නැ රසික ඒ වේදනාව මා ජීවත් වන තුරු මගෙ හිතින් මැකි යන්නෙ නැහැ.. ඒ තරන් ලඟ බැඳිමක් හංගන්නෙ නැති ඉතා ලඟ ආදරයක් මං ඔහුගෙන් ලැබුවෙ. බොහොම පුංචි කාලෙ ඉඳල ගෙදර හැමදෙයකටම අපිවත් සහභාගි කරගෙන තිරණ ගන්න ,සරලව එහෙත් ඉතා ගැඹුරු පාඩම් ඔහු කියා දුන්නා හරි අපුරුවට. සොබාදහම එක්ක යා වෙලා පොත පතට එක්ක යාලු විම කවදා හෝ ජිවිතෙ අපි අත්විඳින හුදකලාවට ඉතා හොඳ විසඳුමක් බව ඔහු කියා දුන්නා. ඔහුගේ ඒ අසීමිත කැපවිමට යන්තමින් හෝ කලගුණ සලකන්න කලින් ඔහු අපිව දාලා ගිය එක කිසි දිනක පුරවන්න පුලුවන් හිස්තැනක් නෙමෙ. මගෙ පියා පමණක් නොව මගෙ මවත් අපිට ඉතා ලඟයි.

      Delete
  17. පොඩි රසිකට සුභ උපන්දිනයක් පතනවා.. දැන් කාලෙ වෙනස්. දරුවන්ගේ සිතුම් පැතුම් වෙනස්. අපි කරපු කෙළි ඒ ළමයි කරන එකක් නෑ. ඒ ළමයි හිතන පතන විදිය ගැන අපිට හරි ආකාර අවබෝධයක් හරියටම ගන්නත් අමාරු වෙයි. යන පාර පෙන්නලා ඈතින් ඉඳන් ගයිඩ් කරනව ඇරෙන්න වෙන විකල්පයකුත් නෑ..

    ReplyDelete
    Replies
    1. පරම්පරා වෙනස නොහොත් ජෙනරේෂන් ගැප් එක. මේක චක්කරයක් වගේ දිගටම යනවා!

      Delete
    2. මං නම් හිතන්නේ generation gap එක එන්න එන්න අඩු විය යුතුයි , එවිට දෙමාපියන් වැඩිහිටියන් විදිහට අපිට හැකි වෙනවා වඩාත් සමිපව අපේ දරුවන් තේරුන් ගන්න, දරුවන්ටත් අපිව තෙරුන් ගන්න, පැකිලෙන්නෙ නැතුව ගෞරවයත් රඳවාගෙන සමිපව කතා කරන්න පහසු වෙනවා. එයින් වඩා සාර්ථක දීපිතිමත් අනාගතයක් උදා කරගන්න මඟ පෙන්විය හැකි බව. ඒ මගේ අදහස.. මා හැදු දෙමාපියන්, හැදුනු වැඩුනු පරිසරය ඇසුරෙන් මට ලැබුනු අදහස....

      Delete
    3. ජෙනරේෂන් ගැප් එක එන්න එන්නම අඩු වෙනවා එක අංශයකින්. ඒ ළමයින් සහ දෙමව්පියන් අතර සම්බන්ධය. අපේ තාත්තලාට අපි වැන්දා විතරයි. දැන් අපි අපේ ළමයින්ව වැළද බදා ගන්නවා.

      අනික අපේ කාලේ තාත්තලා එක්ක අපි කතා කළ ආකාරයට වඩා අද ලොකු බැඳීමක් තියෙනවා.

      මට හිතෙන්නේ ඒ කාලේ තාත්තලා ආදරේ කළේ දුර ඉඳන් කියලයි!

      Delete
  18. හොදට හිතල බැලුවොත් වෙනස් වෙලා තියෙන්නෙ කාලෙවත් අපිවත් දරුවො වත් නෙමෙ, අපේ ජීව්න රටාව.. විශේෂයෙන් ලංකාවෙන් පිට ජීවත් වන දරුවන්ට ලංකාවේදි වගේ සම වයස් තමන්ගෙම සහෝදර සහෝදයන් ආශ්‍රය කරන්න ඉඩක් නැති බොහො එකාකාරි ජිවන රටාවකට කොටු උනාම computer, tablet , වැනි තාක්ශණික පැත්තට වැඩිපුර යොමු වෙන එක පුදුමයක් නෙමේ වෙන ක්‍රම දරුවන්ට හොයල දුන්නේ නැත්නම්..සමහර වෙලාවට මේක ලංකාවෙත් වෙනව කාර්යබහුල කම වැඩි නිසාම....
    අනිත් එක අපි ගොඩාක් වෙලාවට හිතනවා දරුවන්ට අපිව තෙරෙන්නෙ නැ,අපිට එයාලව තෙරෙන්නෙ නැ කියලා.. මට හිතෙන්නෙ එතන තියන්නෙ එකිනෙකා අතර තියන සම්බන්ධතාවයේ විවෘත කමේ ගැටලුවක් කියලයි...ලංකාවේ හැදුනු වැඩුනු අපිට මුහුණට මුහුණ බලාගෙන දරුවන් සමඟ උනත් විවෘතව කතා කරන්න අපහසු ගතියක් මම දකිනවා මගේ පියා මට පෙන්නා දුන් නිසා...අපේ වරදක් , අඩුපාඩුවක් නිසා දරුවගෙන් උනත් සමාව ඉල්ලන්න පුලුවන් විවෘත, නිහතමානි මනසක් හදාගන්න , පුංචි උනත් එයාලටත් ගෞරව කරන්න කියා , මගේ පියා මට නිතර කල අවවාද වල අගය මට හොඳින් දැනුනෙ පුතා මගේ ජිවිතෙට ආවයින් පසුවයි.

    ReplyDelete
    Replies
    1. නමුත් ඔය කියන තාක්‍ෂණය ඒ කාලේ තිබුණේ නැති නිසා කෙලින්ම සන්සන්දනයක් කරන්න බෑ.

      ඔබේ පියා ඉතා ප්‍රෝග්‍රසිව් පුද්ගලයෙකු බව මේ කතාවලින් පේනවා!

      Delete
    2. ඒ කාලේ හැටියට මගෙ පියා තරමක් වෙනස් පියෙක්, සාමාන්‍යයෙන් දියණියක් රැගෙන නොයන තැන් වලට පවා ඔහු මා රැගෙන ගොස් දැනුම, අත්දැකිම් සහ ජිවිතය ගලපාගන්න කල මෙහය මට වචන වලින් කියල නිම කරන්න බැහැ. ඔහු මට පෙන්නා දුන් මාර්ගයෙම තවත් එක් ඉදිරි පියවරක් විදිහටයි මා ලියු OWLing සහ ROCK ගැන මා දකින්නෙ ඕනම සබඳතාවයක සාර්ථකභාවයට යන නොපැහැදිලි මාවතකට එළිය ගෙනෙන...

      Delete
    3. මෙහිඳි මා සඳහන් කලේ තාක්ෂනය යනු computer, tablet පමණක් යන අදහසින් නොවෙ එක් එක් යුග වලට අයත් ලංකාවෙ වගෙම වෙනත් රටවලත් සාහිත්‍ය, නවකතා අධ්‍යයනයේදි පෙනි යනවා හැම කාලයකම රටේ ලොකෙ සමාජයේ සිදුවන වෙනස්කම් සමඟ නොගැලෙපෙන දුදරු වැඩිහිටි සබඳතා ගැටලු...මට මේ ගීතයත් මතක් උනා , දුවේ නුඹ මගේ ප්‍රාණයයි

      Delete
  19. අර පිරුලකුත් තියන්නේ- තාත්තා කල දේ පුතා නොකලොත් ඌ මොකාගේද පුතා කියලා. ඉතිං බයවෙන්න එපා. රුවෙන් සමාන වෙනවා වගේම වැඩ වලිනුත් සමාන වේවි. ඒ කාලේ වෙද්දී පොත් වලට ආදේශකයක් තිබුනොත්, එයා එයින් එකකුත් ලියයි.

    ReplyDelete
    Replies
    1. ඒ සමගම මවගේ ජාන ද ඇති නිසා දරුවන් වඩාත් ප්‍රසන්න පෙනුමැති සහ වඩාත් නැණවත් වෙනවා!

      Delete
  20. පොඩි මෑන්ට සුභ උපන්දිනයක් වගේම සුභ අනාගතයක් !!! හොඳ මිනිහෙක් වෙයන් මල්ලී ……

    ReplyDelete
  21. ඔබේ පුතුට සුබ උපන්දිනයක් ප්‍රාර්ථනා කරනවා - දැන් ළමයි පොත පතට යොමු වීම අඩුයි -නමුත් කලින් කොමෙන්ටුවක් දැක්වූ පරිදි ඊට විකල්ප බිහිවෙන්න පුලුවන්. අතින් ලිවීම 1980 දශකයේ උපන් අපේ පරම්පරාවටත් දැන් කෙමෙන් ආගන්තුක වෙන එකේ මේක එචචර දෙයක් නොවේ

    ReplyDelete
    Replies
    1. ඇත්ත!

      මා ද කියා ඇති පරිදි ".... අපට පෙනෙන්නේ ඔහු දැනුම ලබා ගන්නේ අප මෙන් පොත් හරහා ම නොවන බවත්, අනාගතයේ දී ඔවුන් ගේ සන්නිවේදන මාර්ගවලට අද අප මෙන් අකුරු උපයෝගී කර ගැනීම අත්‍යවශ්‍ය නොවන බවත් ය."

      Delete
  22. I start new blog. It is double langwage blog you all can read both English Sinhala. Pleae come to read it my blog. Thank you.

    ReplyDelete
    Replies
    1. එහි ගොස් කියවා බැලුවා. අද විහිලුව හොඳයි. හෙට වෙනත් විහිලුවක් කරාවි යැයි සිතමි!

      Delete
  23. සුභපැතුම්! පොත් නොකියවීම ගැන වොරි නොවන්න. ඉස්සරහට යන විදිය ඒක නං එහෙම වෙච්චාවෙ

    ReplyDelete
    Replies
    1. වැඩියම අත පොවන්න අදහසක් නෑ. නමුත් ටික ටික වෙනසක් කළ යුතුයි!

      Delete
  24. පොඩි රසිකට සුභ උපන්දිනයක්.....අපේ අප්පච්චිත් එහෙම ඇති නේද?

    ReplyDelete
  25. අප කුඩා කාලයේ කළ ආකාරයට, ගස් නගින්නට, මිදුලේ ක්‍රීඩා කරන්නට, වත්ත පිටුපසට ගොස් චූ කරන්නට, කඩේ ගොස් බඩු ගෙනෙන්නට, පාසලට පයින් ඇවිඳගෙන යන්නට ඔහුට හැකියාවක් නැති නමුත් ඔහු මට වඩා පුළුල් දැනුමක් සහ නිවැරදි ලෝක දෘෂ්ටියක් ඇති කොලු ගැටයෙකු බව මට පසක් විය////////////// i can say the same thing about my son

    ReplyDelete
    Replies
    1. කෙල්ලන් සම්බන්ධයෙන් න් පුතා ලෙහෙසියෙන් ම අතිජාත වෙනු ඇත.

      Delete
  26. පුතා කියලා හරි යන්නේ නෑ ඒ තරම් ලොකු එකෙක්ට. මල්ලිට සුබ උපන්දිනයක් කිවුවා කියන්න එහෙනම්.

    ඉස්‍සරහට එන තාක්ශණයන් එක්ක පොත් ඊ බුක් වලින් කියවන අය වැඩි වෙලා යාවි. පුතණ්ඩියා උනත් ඉස්සරහට එහෙම වේවි. දැන් තියෙන්නේ ඔක්කොම ටච් ස්ක්‍රීන් වැඩනේ.

    ReplyDelete
    Replies
    1. ඇත්ත!

      මා ද කියා ඇති පරිදි ".... අපට පෙනෙන්නේ ඔහු දැනුම ලබා ගන්නේ අප මෙන් පොත් හරහා ම නොවන බවත්, අනාගතයේ දී ඔවුන් ගේ සන්නිවේදන මාර්ගවලට අද අප මෙන් අකුරු උපයෝගී කර ගැනීම අත්‍යවශ්‍ය නොවන බවත් ය."

      Delete
  27. ජෙනරේෂන් ගැප් එක තේරුම් අරගෙන කටයුතු කිරීමේ වැඩි වගකීම තියෙන්නේ වැඩිහිටි පරම්පරාව මත. අවාසනාවකට ඔවුන් නොකරන්නෙත් ඒක.

    ReplyDelete
    Replies
    1. අනිවාර්යයෙන්.. එය දරුවන්ගෙ පමනක් නොව මුලු සමාජයෙම අවාසනාව. වැඩිහිටියන් සතු වටිනා දැනුම් සම්බාරය නොසැලකිලිමත් ලෙස අපතේ යැවිමක්.

      Delete
    2. ජෙනරේෂන් ගැප් එකේ ලොකු කොටසකට හේතුව සමාජ විපර්යාසයි. එනිසා එය මුලුමනින් ම නැති නොවේවි.

      දරුවන් හැදෙන වැඩෙන සමාජ පරිසරට තමන්ට වඩා වෙනස් බව අවබෝධ කරඝෙන කටයුතු කරන දෙමව්පියන් ඉන්නවා!

      Delete
    3. දරුවන් හැදෙන වැඩෙන සමාජයෙ වෙනස්කම් අවබොධ කර ගත් දෙමාපියන්ද සිටිනව.. එවැනි දෙමාපියනට ලොකු අපහසුවක් නැතිවම දරුවන් එක්ක මනසින් බැඳෙන්න , දරුවගෙ ආවේණික පුද්ගලභාවය අඳුරගෙන සුදුසු ලෙස හැසිරෙන්න තිබෙන හැකියාව වැඩියි කියලයි මම දකින්නෙ.

      Delete
  28. කොයි කාලෙත් හැදෙන දරුවන් ගැන ඔවුන්ගෙ වැඩිහිටියන්ට හිතෙන්නෙ අපේ ලමයි අපිට වඩා දන්නව කියන හැඟිම.. නමුත් ඔවුන් ඇත්තටම සමාජයට ගොස් තනිව ජිවත්විම ඇරඹු පසු බොහො වැඩිහිටියන් තෙරුන් ගන්නව ඔවුන් ලඟ තියෙන්නෙ දැනුම පමණයි. ප්‍රයෝගිකව දැනුම සුදුසු පරිදි යොදා ගන්න අත්දැකිම් නැති කම තේරුන් ගනිද්දි බොහො වෙලාවට පරක්කු වැඩි. වැදගත් වන්නෙ දැනුමත් සමඟ සමඟාමිව ප්‍රයෝගික අතදැකිමුත් වයසට ගැලපෙන පරිදි දරුවෙක්ට වටහා දෙන්න වැඩිහිටියත් තදින් හිතට ගැනිම.. මොකද දරුව ට තනියම අනාගතය දැකල තම දැනුම හැඩ ගස්ස ගන්න අපහසු නිසා. මං දැකලා තියනව වයසක අම්මල තාත්තල කියනව ඔය ළමය ඔහොම වෙයි කියල හිතුවෙ නැ . හොඳට ඉගෙන ගත්ත.. අපි හිතුවෙ අපිට වඩා දේවල් දන්නව කියල..අපි කියන්න ඔන නැ කියල... මං දකින්නෙ මේ යන විදිහෙ කොතන හරි ලොකු හිඩැසක් තියනව කියලයි. එ මගේ පොදු අදහස...

    ReplyDelete
    Replies
    1. ඒ වගෙම දරුවොත් මේව අපිට කියල දෙන්න කෙනෙක් හිටියෙ නැනෙ කියන දුක් වෙන තැන් එමටයි.. එත් ඔය හිස්තැන පුරවන්න ඕන කරන හැමදේම එදත් අදත් හෙටත් අපි ලඟම තියනව. ඒත් නොදැක්ක වගෙ ඔහේ යන්නන් වාලේ යනවද මන්දා??

      Delete
    2. අපි හැම දෙයක්ම ඉඝෙන ගත්තේ අපේ දෙමව්පියන්ගෙන් ම නොවෙයි නේ. විශේෂයෙන්ම කුණුහරුප හෙම!

      ;-)

      Delete
    3. එහෙම ඉගෙන ගන්න දරුවොත් ඉන්නවා රසික.. :) මම මෙතනදි කතා කලෙ සමාජයේ හැමපැතිකඩක් ගැනම බව කරුණාවෙන් මතක් කරමි..

      Delete
    4. ඒ වගේම කුනුහරුප භාවිතය යනු ද එක්තරා පෞර්ශය දුර්වලතාවයක් බව රැග් වැනි කාලින කරුණක් පිළිබඳ ලිපියක් පල කල ඔබ වැනි ඇසුපිරු තැන් ඇති අයෙක් නොදන්නවා යැයි මම නොසිතමි රසික...

      Delete
  29. Rasika,oba hari kapa weemakin katayuthu karana piyek bawath obe daruwanta aseemitha lesa adaraya karana bawath mata obe post eken penawa!E gana mama obata itha garu karanawa.Emenma obe puthata suba upan dinayakuth itha wasanawantha anagathayakuth itha sithin pathanawa.Daruwo sarthaka wenawa kiyanne api sarthaka wenawa kiyana ekatamayi!

    ReplyDelete
  30. Rasika,oba hari kapa weemakin katayuthu karana piyek bawath obe daruwanta aseemitha lesa adaraya karana bawath mata obe post eken penawa!E gana mama obata itha garu karanawa.Emenma obe puthata suba upan dinayakuth itha wasanawantha anagathayakuth itha sithin pathanawa.Daruwo sarthaka wenawa kiyanne api sarthaka wenawa kiyana ekatamayi!

    ReplyDelete
  31. පොඩි රසිකට සිංහල කියවන්න පුළුවන්ද? රසිකගෙ බ්ලොග්එක කියවනවද?

    ReplyDelete

ඔබේ ප්‍රතිචාරය මට සතුටකි!. Your comments are most welcome!
සංයමයෙන් යුතුව ප්‍රතිචාර දක්වන්න.