Monday, 2 May 2016

ඕස්ට්‍රේලියාවේ මහා නියඟය - Drought stricken Australia


මා මෙන්ම තවත් සිංහල බ්ලොග්කරුවන් ද, ඒ සමගම සිංහල ලේඛකයින් රැසක් ද වාසය කරන ඕස්ට්‍රේලියාවේ, මීට දශකයකට වඩා ඉහත සමයක මහා නියඟයක් ඇති විය.

"අල් නීනියෝ" හෝ "ලා නීනියා" හෝ එවැනි නමකින් හැඳින්වුණු කාලගුණික විපර්යාස මෙන්ම, පරිසර විනාශය නිසා වැඩිවෙමින් පවතින දේශගුණික විපර්යාස ද මෙයට හේතුව වූ බව කියවිණි.

රටේ පරිසර විද්‍යාඥයින් බහුතරය ගේ උපදෙස වූයේ වායුගෝලය වස සිටින ඕසෝන් ආවරණයට තවත් අනතුරු කරන, ගෝලීය උෂ්ණත්වය ඉහළ යෑමට මූලික හේතුව යැයි සැලකෙන කාබන් මිශ්‍ර වායු පරිසරයට මුදා හැරීම සීඝ්‍රව සීමා කළ යුතු බවයි.

දිගු කාලීන පැවැත්ම ගැන නොව, කෙටි කාලීන බඩගෝස්තරවාදය ගැන පමණක් තැකූ, එවකට පැවති ජෝන් හාවර්ඩ් නම් උද්දච්ච අගමැතියා ගේ රජය විසින් ඒ උපදෙස් නොසලකා හැරියා පමණක් නොව, ලෝක මට්ටමෙන් සැකසුණු කියෝටෝ ප්‍රතිපත්තීන්වලට අනුකූලව කටයුතු කිරීම ද ප්‍රතික්‍ෂේප කළේය.

මේ ඒ කාලයේ මේ පිළිබඳව මා ලියූ කවි පෙළකි.

පෙර දිනයක මා රසිකොලොජියේ පළ කළ, කුකුබරා සංදේශයේ සිනුවර වැනුම කවි පෙළ මෙන් ම, මේ කවි පන්තිය ද, පසු කලෙක, නිව් සවුත් වේල්සයේ සංස්ථාපිත සිංහල සංස්කෘතික හමුව මගින් වසර 2010 දී ප්‍රකාශනයට පත් කරන ලද දකුණු කුරු දිව් කව් නම් කාව්‍ය සංග්‍රහයට ඇතුළත් කරණ ලදී.

නියගෙට කියන කවි

තල්මස් රංචු පොරකන පැසිපික් සයුරේ
සිත් අස් වසන සුන්දර ඉන්දිය ඉවුරේ
පෙම්බස් දොඩන මුහුදට දකුණේ උතුරේ
ඇස් වස් වැදී නියගය ආවද? මිතුරේ

යොදුන් දිගැති ගොවි බිම් ගෝ බිම් වනසා
රුපුන් බලැති නියගය ගති රටම වසා
බුදුන් පුදමි, හිමි දෙසු බස මේ විලසා
රජුන් දැහැමි රට හිඟ නැත වැසි වරුසා

නෙරපති තම රටේ වැසියන් සිත විකල(1)
රඳවති සරණ පතනා වුන් සිර ගෙවල(2)
එළැඹෙති යුදට නැති අවි බිය කර පතල(3)
අධමැති රජුට නියඟය, නැත වැසි සිසිල

තැස්මන් දූපතේ අසිරිය සුන් කරතී
ඉක්මන් කාසියට වැසි වන පෙත් මරතී
සන්සුන් රටා පරිසරයේ හොඳ ගුණැතී
දැන් දැන් අහෝ අප අතරින් පලා යතී

පුළුසති හයිඩ්‍රෝ කාබන් රිසි විලස
පුරවති වායුගෝලය දූමයෙන් විස
පෙර නැති විරූ නියගය රට හතර දෙස
නැණ ඇති අයට වැටහෙනු ඇත මේ වෙනස

ජගත් සමුළුවෙදි රැව් දුන් කියොටෝවේ
උගත් මහැදුරන් පිළියම් ගෙන ආවේ
රටත් වැසියනුත් ගිල්වා ලැජ්ජාවේ
රෙදිත් ඇඳගෙන ද ලෝකෙට පිටු පෑ වේ


-රසිකොලොජිස්ට්

සටහන්
  1. ඕස්ට්‍රේලියානු පුරවැසියෙකු වූ පිලිපීන සම්භවයක් ඇති කාන්තාවක් සිහිවිකල්ව මග සරමින් සිටිද්දී අත් අඩංගුවට ගෙන නීති විරෝධී සංක්‍රමණියෙකු යැයි සිතා, පිලිපීනයට පිටුවහල් කර සිටියදී පසුව සොයා ගන්නා ලදී.
  2. ලංකාව, ඉරාකය, ඇෆ්ගනිස්ථානය ඇතුළු විවිධ රටවලින් පිහිට පතා ඕස්ට්‍රේලියාවට එන සරණාගතයින් සිර කඳවුරුවලට ගාල් කිරීම ඇරඹුණි.
  3. සමූල ඝාතක අවි ගැන බොරු බියක් පතුරවා ඉරාකය ආක්‍රමණය ඕස්ට්‍රේලියාවේ සහය ද එයට ලැබුණි.

(image: https://www.facebook.com/asiriwanigaratne.fengshui)

21 comments:

  1. සිරිලංකාවේ හෝ වේවා දකුණුකුරු දිවයිනෙහි හෝ වේවා වෙනත් රටක හෝ වේවා තිබෙන්නා වූ පරිසරය මේ ධරණී තලයේ ජීවත්වෙන සියළු ජීවීන්ට අයිතිය. එය හුදෙක් තම පුද්ගලික දේපලක් කාබාසිනියා කර දැමීමට ඇති අයිතිය මෙන් නොවේ. පරිසරය රැක ගැනීමට මෙලොව කොතැනක සිට හෝ තම පෑන් තුඩ මෙහෙයවන්නට සියලු ජනීන්ට අයිතියක් තිබිය යුතුමය.කලාකරුවෙක් ලෙස පරිසරය රැකුමට ඔබ ගත් තැතට මගේ ප්‍රණාමය

    ReplyDelete
    Replies
    1. දුර නොබලා, ලඟ බලා තීරණ ගැනීමකුයි පසුගිය ඔසී රජයන් කළේ. මිනිසුන්ගෙන් බහුතරය දැන් පරිසර සංරක්‍ෂණයට සහ කාබන් වායු අඩු කරගැනීමේ ක්‍රමවේදයට කැමතියි.

      Delete
  2. what is the relationship between the above picture and the post. hope another interesting post is on the way to explain it. " sira kaviya"

    ReplyDelete
    Replies
    1. ඒ ඡායාරූපය ලංකාවේ මිත්‍යාව වපුරන හොරෙකුගේ වත්පොතෙන් උඵුටා ගන්නා ලද්දක්,

      දෙයියන් යාළු කර ගන්න ඔහු උපදෙස් දෙනවා මුදලට. අර රනිල්, මෛත්‍රී, ම.රා. ග්‍රි ඉන්දියානු දේවාලය හරහා යි වැඩේ කෙරෙන්නේ!

      Delete
  3. ලෝකෙම දේශගුණික රටාවන් පවා වෙනස්වීමට තරම් මිනිසාගේ නොහොඹිනාකම් හේතුවෙලා කියලා මිනිසා විසින්ම කියන,මිනිසා විසින්ම විසඳුම් සොයන,මිනිසා විසින්ම නැවත නැවතත් විනාශ කරන අමුතුම කාලයක්.භූතානයෙන් මේ ගැටළු වලට විසඳුම් යෝජනා කරන බොහොම සංවේදී ඉදිරිපත්කිරීමක් බුකියේ සැරිසරනවා ඔබට හමුවන්න ඇති.
    ජයවේවා..!!

    ReplyDelete
  4. ඔය කාලගුණ විපර්යසේට කිව්වේ එල් නිනෝ කියල

    ReplyDelete
    Replies
    1. පස්සෙ වුණු වෙනස ලා නීඤා ද කොහෙද මයෙ හිතේ.

      Delete
  5. මිනිසා විසින්ම විනාශකරගන්නා පරිසරය ඔවුන්ටම නැවත දඩුවම් දෙනව...ඒකට රටක් ජාතියක් බලපාන්නෙ නෑ...

    ReplyDelete
    Replies
    1. අපිත් ඒ පරිසරයේම කොටස් බව අපිම දන්නේ නෑ. වතුර නැතුව ගස් මැරෙනවා වගේ මිනිසුනුත් දිනක වඳවෙලා යාවි.

      Delete
  6. ඒක එල්නිනෝ
    මේ දවස් වල ලංකාව රත් වෙන්නෙ එල් නිනෝ හංද. සමකාසන්නව එහෙම රත් වෙද්දි යුරෝපය ගල් වෙන්න පටං ගනී කියල තමා කියල තියෙන්නෙ

    ReplyDelete
  7. නියම කවි පන්තියක් රසික.දසරාජ ධර්මයෙන් කටයුතු කරන පාලකයෝ ඉන්න රටවල් වලට මේ වගේ දුර්භික්ෂ එන්නේ නැතිද හිටං.

    ReplyDelete
    Replies
    1. එසේ කියති.
      හැබැයි ඒකත් අර සීතාම්බර පට වගේ කේස් එකක්.

      Delete
  8. එල් නීඤෝ
    ( Spanish )

    ReplyDelete
  9. එල් නිනෝද? නිල් එනෝද? විනාශය කොහෙද කියලා තෝරාගන්න බැරි දේශපාලකයින්ට සහ ජනතාවට නම් ඔය කොයි එල් එකත් එල් බෝඩ් එකක් විතරයි.

    ReplyDelete
    Replies
    1. දවසක එල් බෝඩ් ඉගෙනීම අහවර කරලා ලයිෂන් එක ගනීවි ය කියා හිතමු!

      Delete
  10. කොයි කාලෙද මේ නියඟය ආවෙ..මට මතකෙට එන්නෙ නෑ නෙ

    ReplyDelete
    Replies
    1. පෙරේදා ආවේ නියඟය ඊයේ ඉවරවුනා... පොඩ්ක් අවුල් වගේද.... නැත්නම් කමක් නැ

      Delete
  11. [[රෙදිත් ඇඳගෙන ද ලෝකෙට පිටු පෑ වේ]]

    හොවාර්ඩ් නම් මොකෙද්ද අප්පා ඇබට් අන්කල් එක්ක සැලකුවම. ඇබට් ඇමරිකාවට යද්දී ඇමරිකන් පත්තර වල ඇබට් ජෝක්ස් තිබ්බ බවක් දැක්කා. "ලෝකයේ කාලගුණ වෙනස් වීමක් නැහැ" කියන එක එයින් එකක්. මිනිහ සතියට එක ගානේ ජෝක් ඉශු කරන්න පටන් ගත්තහම මිනිසුන්ට අමතක වෙලා ගියා. ඒ තරම් තිබ්බ. කොහොමත් පත්තර කාටුන් වල මිනිහව ඇන්දේ රෙදි නැතුව ජොකා පිටින්. රසිකගේ කවිය මීටර් වෙලාද මන්දා.

    දැන්නම් ටිකක් සයි-ටෙක් පොරක් නේද ඉන්නේ. ඔසිමේල් කොම්පැනිය හදාපු ටෙක්නොක්රට් බුවෙක්.

    කෙසේ වෙතත් පැසිෆික් සාගරික දේශගුණ විචලනය හෙවත් එන්සෝ [el nino southern oscillation] කියන චක්‍රයේ අන්ත දෙක එල් නිනෝ සහ ලා නිනා [ඤ වලින් දා ගන්න කැමතිනම්] ඇති වන්නේ ඕස්ට්‍රේලියාවේ ලොක්ක ගේ නරක නිසා නම් නොවේ. ඒවා කොහොමත් ඇතිවන චක්‍ර එහෙත් ක්‍රියාකාරිත්වයන් වැඩිවෙන්න නම් මිනිස් බලපෑම් නිසා වෙච්ච දේශගුණ වෙනස බලපාන්න ඇති. එල්නිනෝ වලදී වෙන බොහෝ දේ අනිත් පැත්ත ට ලා නිනා කාලෙට වෙන්නේ. ඒ නිසා දෙකෙන්ම ඇතිවන්නේ නියං නොවේ. ලා නිනා ඉස්සරහට එන්න ඉඩ තියෙන නිසා කුඩයක් සහ බෝට්ටුවක් සූදානම් කරගන්න වෙයි මගේ හිතේ.

    කෙසේ වෙතත් එල් නිනෝ හා ලා නිනා ගැන මිනිස්සු මෙතරම් කතාවෙන්නේ එය ඇමරිකාවට කෙලින්ම බලපාන නිසා. එහෙත් ඔස්ට්‍රේලියාවට තදින් බලපාන ලෝකයේ වඩාත්ම වේගයෙන් රත්වීමට භාජනය වන දේශගුණික චක්‍රය ඉන්දියන් ඕෂන් ඩයිපෝල් [ද්විධ්‍රැව ??] තත්වයයි. එහි මිනිස් ජීවිත වලට වන බලපෑම බොහෝ සෙයින් වැඩියි එන්සෝ සයිකල් එකට වඩා. ලෝක ජනගහනයෙන් 1/3 කට විතර කෙලින්ම බලපානවා

    ReplyDelete

ඔබේ ප්‍රතිචාරය මට සතුටකි!. Your comments are most welcome!
සංයමයෙන් යුතුව ප්‍රතිචාර දක්වන්න.