Tuesday 5 July 2016

ඕස්ට්‍රේලියාව පැත්තේ මොකද වෙන්නේ ඕයි? - Can you really hang the Parliament?


මා වෙසෙනා ඕස්ට්‍රේලියාවේ ෆෙඩරල් රජය පිහිටුවීම සඳහා සෑම වසර තුනකට ම වරක් පැවැත්වෙන මහ ඡන්දය පසුගිය සෙනසුරාදා පැවැත්වුණි. ශ්‍රී ලාංකික ඕස්ට්‍රේලියානු ද්විත්ව පුරවැසියෙකු වන මට ද ඡන්දය බලය හිමි ය.

මා ඡන්දය දීමට ඡන්ද මධ්‍යස්ථානයට ගියේ සවස පහට පමණ නමුත්, ඒ බව විට ද, රථ ගාල පිරෙන්නට පිරිස් එහි සිටි අතර, විනාඩි දහයක පමණ පෝලිමක සිටින්නට ද සිදුවිය.

"පෝලිමේ මැද සිටියට පාඩු වෙනවද?" යැයි සිතමින් මා එහි රැඳී සිටියේ ඕස්ට්‍රේලියාවේ ඡන්දය දීම අනිවාර්ය නිසා (එනම් ඩොලර් පනහක දඩයෙන් ගැලවෙන්නට) නම් නොවේ. "ප්‍රජාතට්ටරත්කරනාවාදයේ" අනිවාර්ය ක්‍රියාකාරකමක් වන ඡන්ද විමසීම්වලට මා අතිශයෙන් ප්‍රිය කරන නිසා ය.

මාස දෙකක් ඇදී ගිය මෙවර ඡන්ද කාලය පිළිබඳව මෙහි වෙසෙන පණ්ඩිතයින් මෙන්ම ඇවරේජ් පන්ටරස්ලා හෙවත් පොදු ජනයා ද පවසා සිටියේ "ටූ ලොන්ග්, ටූ ඩල්, ටූ බෝරිං!" කියා වුව ද, මට නම් එය එසේ නොවිණි. ඡන්ද ව්‍යාපාරයේ හැම දිනයමක පාහේ රසවත් සිදුවීම් වාර්තා වුණු අතර, ඒ ගැනම සුවිශේෂී රූපවාහිනී විකට වැඩ සටහන් ද නිර්මාණය කෙරුණි.

සාමාන්‍යයෙන් මා දැක ඇති ඕස්ට්‍රේලියානු ඡන්ද විමසීම්වලදී, සවස හයට ඡන්දය දීම අවසාන වූ විගස, ඒ ඡන්ද ගණං කිරීම ඇරඹෙන අතර, ඡන්ද පොළෙන්, ඡන්ද පොළට ලැබෙන ඡන්ද එකතු කර ප්‍රවණතා අධ්‍යයනය කරමින්, පසුගිය මැතිවරණවල ප්‍රතිඵල සහ පක්‍ෂ මෙන්ම අපේක්‍ෂකයින් අතර ඇති සම්මුතීන් ද සැලකිල්ලට ගෙන අවසාන ප්‍රතිඵලය හැකි විගස පුරෝකථනය කරනු ලැබේ.

මා මින් පෙර ලියූ ලිපියක ද සඳහන් කළ පරිදි, ඡන්දය දා, සවස 7:30 පමණවන විට දිනන්නේ කවුද යන්න බොහෝ දුරට පැහැදිලි වේ. රාත්‍රී දහය පමණවන විට, ප්‍රධාන පක්‍ෂ දෙකෙන්, පැරදෙන පිළේ නායකයා පරාජය භාර ගනිමින් කතා කරන අතර, ඊට මද වේලාවකට පසු නව පාර්ලිමේන්තුවේ අගමැති වීමට නියමිත පුද්ගලයා තම ජයග්‍රාහී කතාව කරයි.

මධ්‍යම රාත්‍රිය පසුවෙනවාත් සමගම සියලු දෙනා නිවෙස් බලා යන අතර, නැවත ඡන්ද ගැනීමේ ක්‍රියාවලිය ඇරඹෙන්නේ පසුවදා එනම් ඉරිදා ය, නැතිනම් ඇත්තටම සඳුදා ය.

මෙවර ඒ සියලුම දේ අන්ජ-බජල් විය!

ඡන්ද දිනය නිමවූයේ කිසිදු පිළකට බලය ලැබෙන බව නිශ්චිතව කීමට නොහැකි තත්වයක් තුළ ය. එනම් ප්‍රධාන පක්‍ෂ දෙක බොහෝ ආසනවල දී කරට කර තරගයක යෙදෙමින් ඡන්ද ලබා තිබීමයි. තුන්වෙනි බලවේගවලට බලාපොරොත්තු වූවාට වඩා ඡන්ද ලැබී තිබීම ද මෙයට එක් හේතුවක් වී ඇත. යළි ඡන්ද ගැනීම ආරම්භ වීමට නියමිතව ඇත්තේ අඟහරුවාදා උදෑසන ය.

අද මේ ලිපිය සංස්කරණය වන මොහොතේ ප්‍රකාශිත ඡන්දවලින් 78% පමණ ගැනීම නිමවී ඇති අතර පාර්ලිමේන්තුවේ ආසන 150 අතරින් බලයේ සිටි සන්ධානය නිශ්විතව ලබා ගන්නට යන්නේ ආසන 67 කි. විපක්‍ෂයේ ප්‍රධාන පක්‍ෂයවන කම්කරු පක්‍ෂය දැනට ආසන 66 ක් නිශ්විතව දිනන බව පෙනේ. ආසන පහක් වෙනත් පක්‍ෂ සහ ස්වාධීන අපේක්‍ෂකයින් විසින් දිනා ගැනීමට නියමිතය. ඉතිරි ආසන දහය පිළිබඳ කිසිදු නිගමනයකට තවමත් එළැඹිය නොහැකි බව කියවේ.

අද ප්‍රධාන වශයෙන්ම ගැනෙනු ඇත්තේ, තැපැල් ඡන්ද වන අතර, ඒ අතරින් වැඩි කොටස හිමිවෙනු ඇත්තේ ලිබරල්-නැෂනල් සන්ධානයට නිසා, ඔවුන්ට ආණ්ඩුව පිහිටුවීමට අවශ්‍ය අවම බලය වන ආසන 76 ක් දිනා ගැනීමට හැකිවෙනු ඇතැයි අපේක්‍ෂා කෙරේ.

එවැනි බහුතරයක් නැති ආණ්ඩුවක් ඉතා අස්ථිර එකක් වනු බවට සැකයක් නැත. ආණ්ඩුවට සහය දී, තමන් ගේ දේශපාලන අරමුණු ඉටුකර ගැනීමට ද, සුළුතර පක්‍ෂ සහ ස්වාධීන මන්ත්‍රීවරුන්ට හැකි වෙනු ඇත.

මා හිතවත් ජගත් බණ්ඩාරට සෙනෙට් සභාවෙන් ජය හිමිවේදැයි නිශ්විතව දැන ගැනීමට තවත් දින කිහිපයක් ම ගතවෙනු ඇත. කෙසේ නමුත්, අපේ ප්‍රාන්තය තුළ, ඔහු නියෝජනය කළ කම්කරු පක්‍ෂයට හිමිවීමට නියමිත සෙනෙට් සභික ස්ථාන හතරක් වැනි සංඛ්‍යාවක් නිසා පක්‍ෂ ලයිස්තුවේ පිළිවෙළට අනුව නම් ඔහුට සෙනෙට් පුටුවක් හිමි වෙනු ඇතැයි නොසිතේ.

-රසිකොලොජිස්ට්

ප/ලි:
ඕස්ට්‍රේලියානු දේශපාලනය පිළිබඳව මා ලියා ඇති ලිපි කිහිපයක් මෙන්න.

1. ඕස්ට්‍රේලියාවේ ඡන්ද ගැන කෙටි සටහනක් - A brief note on Australian Elections :: http://rasikalogy.blogspot.com/2014/11/brief-note-on-australian-elections.html

2. ලංකාවේත්, ඕස්ට්‍රේලියාවේත් දෙරටේ ම ඡන්දය ඉල්ලන දේශපාලන පක්‍ෂයක්? - Socialist Equity Party :: http://rasikalogy.blogspot.com/2015/03/blog-post.html

3. ඊයේ මා ඡන්දය දුන් හැටි (ඡායාරූප සහිතයි) - How I voted yesterday :: http://rasikalogy.blogspot.com.au/2015/03/how-i-voted-yesterday.html

4. ඕස්ට්‍රේලියාවේ පිස්සු ප්‍රශ්නය - හිනා ගොස් පණ යෑමට ඉඩ ඇත! - What a joke! :: http://rasikalogy.blogspot.com/2015/08/what-joke.html

5. වත්මන් ඕස්ට්‍රේලියානු දේශපාලන පක්‍ෂ මා දකින අයුරු - Political parties in Australia :: http://rasikalogy.blogspot.com/2015/08/political-parties-in-australia.html

6. හෙලිකොප්ටරෙන් පක්‍ෂ රැස්වීමට ගිය කතානායකට තනතුරෙන් ඉල්ලා අස්වෙන්න සිදුවේ - Good riddance :: http://rasikalogy.blogspot.com/2015/08/good-riddence.html

7. ජගත් බණ්ඩාර ඕස්ට්‍රේලියානු පාර්ලිමේන්තුවට යවමු - Message for those who live in NSW, Australia :: http://rasikalogy.blogspot.com/2016/06/message-for-those-who-live-in-nsw.html

8. මැල්කම් ටර්න්බුල් ද, බිල් ෂෝටන් ද? මොකා දිනුවත් අපට මොකද? - A note on Australian federal election - 2 July 2016 :: http://rasikalogy.blogspot.com/2016/07/note-on-australian-federal-election-2.html

(image: http://www.portnews.com.au/story/4006208/what-to-expect-from-a-hung-parliament-in-australian-federal-election/?cs=256)

21 comments:

  1. ඕස්ට්‍රෙලියාවෙ පෙඩරල් රජයක් ඇතිකරන්න රසික පුතාත් ඡන්දය දුන්නා කිව්වාම මට ගොඩාක් දුකක් ඇති වුණා. ඔහොමද ජාතිකවාදී මිනිස්සු හැසිරෙන්න ඕනෑ? ඔන්න අපේ කොරියාවේ ඉන්න රුචිර ජාතිකවාදී පුතාට නම් ඔහොම දෙයක් කරන්න වුණොත් ඔය ඩොලර් පනහේ දඩය ගෙවලා ඡන්දය නොදී ඉන්නවා සහතිකයි. ඔය ඩොලර් පනහ වගේද කොටියාට රට ගියා කියන්නෙ? අන්න ඒ වගේ තමයි සිංහල බෞද්ධ ජාතිකවාදී පුතුන් හැසිරෙන්න ඕනෑ. ඔය පෙඩරල් අපට ගැලපෙන්නෙ නෑ පුතා. ඕවායින් වෙන්නෙ සුළු ජාතීන්ට තැන ලැබිලා මහජාතිය කොන්වෙන එක විතරයි. ඕස්ට්‍රෙලියාව දුටුගැමුණු රජ්ජුරුවන්ගෙ කාලෙ ඉඳළාම ඒකීය රටක් නේද? පෙඩරල් භංගවේවා! පෙඩරල් මුළාවට රැවටුණු සියළු දෙනාට සම්මා දෘෂ්ඨිය ලැබේවා!

    ඒකීය ඕස්ට්‍රෙලියාවක් වෙනුවෙන් කැපවෙමු.

    මීට, කුමාර දිප්පිටිය මයා
    ගරු ලේකම්,
    තරුණ බෞද්ධ සංගමය,
    කොතලාවලපුර
    රත්මලාන.

    ReplyDelete
    Replies
    1. මේ දිප්පිටියකාරයනම් රසිකගෙ පරණ ණය කාරයෙක් වගේ. මොකක් හරි ගොන් කතාවක් ලියනවා, ඒත් කිසිම අර්ථයකුත් නෑ, ආතල් එක්කුත් නෑ. මිනිහා හිතනවා ඇති මේ වගේ ගොන් කතාවක් ලියපුවාම හෙන fun කියලා...

      Delete
    2. එහෙම කියන්න එපා පුතා. පරණ වයින් තමයි රස. පරණ මොළ තමයි අනර්ඝ. රට දැය රැකුමට අපි වගේ අය අත්‍යාවශ්‍යයි.

      මීට, කුමාර දිප්පිටිය මයා
      ගරු ලේකම්,
      තරුණ බෞද්ධ සංගමය,
      කොතලාවලපුර
      රත්මලාන.

      Delete
    3. කූට උපා දන්නා දිප්පිටියා බොරුවෙන් රවටයි අපේ රොබටයා

      Delete
    4. වෙන් වෙන්ව පිහිටුවා, එංගලන්තයේ සිට ආණ්ඩුකාරයින් මගින් පාලනය කරන ලද ජනපද එකතු කර ඕස්ට්‍රේලියාව නම් ෆෙඩරල් රාජ්‍ය පිහිටුවන ලද්දේ 1901 වසරේ දී ය.
      https://en.wikipedia.org/wiki/Federation_of_Australia

      Delete
  2. //පක්‍ෂ ලයිස්තුවේ පිළිවෙළට අනුව නම් ඔහුට සෙනෙට් පුටුවක් හිමි වෙනු ඇතැයි නොසිතේ.// මනාප ක්‍රමයක් නැද්ද?

    ReplyDelete
  3. 2005 පොල් රැවුලා කොටි ගැන බොරු කියා දින්නා සේ ලේබර් පක්ෂය අනික් පක්ශය මෙඩිකෙයා පෞද්ගලික කරණය කරන බවට බොරු කියා ඡන්ද දායකයින් නොමඟ ඇරිය එක ගැනත් විස්තර ටිකක් දෙන්න.

    ReplyDelete
    Replies
    1. මෙඩිකෙයා ක්‍රමය ලේබර් පක්‍ෂය විසින් අරඹන ලද සෞඛ්‍ය රක්‍ෂණ ක්‍රමයයි. ලිබරල් හෙවත් කන්සර්වේටිව්ස්ලා එයට ප්‍රතිපත්තිමය වශයෙන් විරුද්ධය. ඔවුන් ගේ පාලන කාල තුල මෙඩිකෙයා ක්‍රමය වෙනුවට පුද්ගලික සෞඛ්‍ය රක්‍ෂණය වැඩි කිරීමට සැමවිටම කටයුතු කරන ලදී. පසුගිය 2014 අයවැයේ දී ද, මෙඩිකෙයා සෞඛ්‍ය රක්‍ෂණයට කෙලවෙන යෝජනා කිහිපයක් ම ගෙන එන ලදී. තවත් නොයෙකුත් යෝජනා ලිබරල් පක්‍ෂයේ න්‍යාය පත්‍රයේ ඇති බව දන්නෝ දනිති.

      මෙඩිකෙයා සෞඛ්‍ය රක්‍ෂණය විකුණා දැමීමට ලිබරල් ඇජෙන්ඩාවක් ඇතිබව ලේබර් පක්‍ෂය චෝදනා කළ අතර, ලිබරල් ලා එය ප්‍රතික්‍ෂේප කළහ.

      මේ ආකාරයටම, ලේබර් පක්‍ෂ රජයක් යටතේ සරණාගතයින් වැඩිපුර බෝට්ටුවලින් පැමිණෙනු ඇතිය කියා ලිබරල් පක්‍ෂය විසින් ප්‍රචාරයක් ගෙන යන ලදී. එය ලේබර් පක්‍ෂය ප්‍රතික්‍ෂේප කළ ද, පසුගිය ලේබර් පාලන සමය තුළ සරණාගතයින් බොහෝ දෙනෙකු පැමිණිබව සත්‍යයක් නිසා, ජනතාව නොමග ගියා යැයි සැක කළ හැක.

      ලංකාවේ ඔය කියන සිදුවීමට සම්බන්ධ පොලා රැවුලා පමණක් නොවේ. අලි-කොටි ගිවිසුම යන ප්‍රෝඩාවට මූලිකවම මුල් වූයේ ජවිපෙ ජාතිවාදීන් ය.

      Delete
  4. ප්‍රවීණ බ්ලොග් රචක අභීත එදිරිසිංහ මහතාගේ දයාබර පියාණන් අභාවප්‍රාප්තවී ඇත.

    කුරුණෑගල බෝයගනේ හමුදා කදවුර පාරේ කි.මි.2.5 පමණ ගිය පසු නිවස පිහිටා ඇත.

    අවමංගල්‍ය කටයුතු පිළිබඳ විස්තර පසුව දැනුම් දෙනු ලැබේ.

    ReplyDelete
    Replies
    1. අභීතගේ ෆේස්බුක් සටහන දුටුවෙමි.

      ස්තුතියි කුමාර දිප්පිටිය අංකල්.

      Delete
  5. ලිබරල් අදහස් දරන රසික නම් ලේබර් පක්ෂයට ඡන්දය දෙන්නට ඇතැයි අනුමාන කරමි

    ReplyDelete
    Replies
    1. මේ රටේ ලිබරල් යනුවෙන් නම යොදාගෙන ඇති පක්‍ෂය ඇත්තටම කන්සර්වේටිව් පක්‍ෂයකි. මා ඔවුන්ට කිසි දිනක ඡන්ය දී නොමැත.

      මගේ ඡන්දය ගැන පහත ලිපියේ ලීවෙමි.
      http://rasikalogy.blogspot.com.au/2015/03/blog-post.html

      මෙවර සෙනෙට් සභාව සඳහා මුල් ඡන්දය ජගත් බණ්ඩාරට දුන් නිසා එමගින් මගේ සිල් දෙවෙනි වරට ද බිඳුණි. මුල් වර සිල් බිඳුනේ ජෙෆ් කෙනට් නම් ප්‍රාන්ත මහ ඇමතියා ගේ රජය පරාජය කිරීමට අවශ්‍ය වූ 1999 දී ය.

      Delete
  6. ඕස්ට්‍රේලියාවේ ලාංකික ජනගහනය වැඩි වෙලා වගේ.. මේ පාර චන්දේ ලංකාවේ ක්‍රමයට ගිහින් තියෙන්නේ ..

    ReplyDelete
    Replies
    1. ලංකාවේ මෙවැනි සම-සම තත්වයක් 1994 දී ඇතිවුණා මතකයි. මෙහේ නම් 2010 දී ද මෙවැනම ප්‍රතිඵලයක් ලැබුණි.

      Delete
  7. ලංකාවෙ උදවියයි, ඉන්දියාවෙ උදවියයි ඇවිල්ල පිරුණම තව ටික කාලෙකින් චන්දෙ සඒ ක්‍රමේට එයිද දන්නෙ නෑ. ඩොලර් පණහ මොකක්ද අප්පා. අපේ උන්ට ටකරං, සිල් රෙදි, සහන මළු කොයි තරම් දෙනවද අපේ කට්ටිය චන්දෙ දෙනවට.

    ReplyDelete
    Replies
    1. හුඟ දෙනෙකු ඡන්දය දෙන්නේ දඩයෙන් බේරිමට විය හැක. මෙහේ ඡන්දය දා වෙනත් වැඩ තියෙන අයට තැපැල් ඡන්ද හෝ ඡන්ද දිනට සතියකට පමණ කලින් සිට නගර මධ්‍යසාථානවලදී ඡන්දය දීමට ද හැක.

      මෙවර තැපැල් ඡන්ද මිලියනයකට වඩා යොදා ඇත!

      Delete
  8. පහුවදා වෙනවනම් ෆිල්ම් යන අස්සේ ඡන්ද ප්‍රතිඵල දෙන්නේ නැති එකනම් සෑහෙන්න පාඩුවක් නේ?

    ReplyDelete
  9. ඉන්න මිනිස්සුන්ගේ හැටියටලු ජන්ද , ආණ්ඩු සහ නායකයෝ ... නපුංසකයෝ පත් කරන්නෙත් නපුංසක ආණ්ඩු

    ReplyDelete

ඔබේ ප්‍රතිචාරය මට සතුටකි!. Your comments are most welcome!
සංයමයෙන් යුතුව ප්‍රතිචාර දක්වන්න.