
පාසලක් අලුතෙන් ඇරඹෙන විට සිර ගෙයක් වැසේ යැයි කියමනක් ඇත. ඉගෙනීම තුලින් යහපත් සමාජයක් බිහි වේ ය යන්න එහි අරුතයි.
බ්ලොග් සම්බන්ධයෙන් එසේ කියන්නට ඇත්තේ කුමක්ද?
අලුතෙන් බ්ලොගයක් ඇරඹෙන විට ෆේස්බුක් අවකාශයේ මඩ, ගොසිප් කියවන්නට, බෙදා ගන්නට, ප්‍රතිචාර දක්වන්නට ගතවෙන කාලයෙන් කොටසක් හෝ ඉතුරු වේ යන්න හොඳ ආරම්භයක් වෙතැයි සිතමි. වෙනත් අදහස් තිබේ නම් කරුණාකර කියන්න.
මා බ්ලොග් ලියන්නට ආවේ මීට වසර දහයකට පමණ ඉහත දී බව පෙර ලිපියක සඳහන් කළෙමි. නමුත් බ්ලොග් කියවන්නට පටන් ගත්තේ නම් මීට වසර හය හතකට ඉහත දී ය. මුලින් ඉතා සුළු වශයෙනි. ඒ දිනවල සිංහල බ්ලොග් තිබුණේ ද ඉතා කුඩා සංඛ්‍යාවකි. ඒවා ද බොහොමයක් තාක්‍ෂණික කාරණා ගැන ලියවුණු ඒවා ය.
නමුත් පසු කළෙක සිංහල බ්ලොග් කියවීමට සහ ලිවීමට දවසෙන් පැය දෙක තුනකටත් වඩා ගතවෙන සමයක් ද උදා විය. අද තත්වය නම් ඊට වඩා දරුණු ය.
මා නිරතුරු කියවන බ්ලොග් අතර සහමුලින් ම දේශපාලනය ගැන ලියවෙන ඒවා තිබුණ ද, ඒ ලිපි මා කියවන්නේ බොහෝ විට කැමැත්තකින් නොව, මහා අපුලකින් පිරුණු සිතකින් යුතුවයි. දේශපාලනය යනු එතරම්ම කුණු ගොඩක් බව මා නොකීවාට ඔබ හොඳින් දනී.
ඒ වෙනුවට මා කියවීමට වඩාත් ප්‍රිය කරන්නේ ජීවිතය හා බැඳුණු කතා ලියවෙන ඒවාය. අප ලබා නොමැති විවිධ ජීවන අත්දැකීම් ගැන දැනගැනීමට ලැබෙන්නේ මේ ආකාරයේ බ්ලොග් ලිපි තුළිනි.
ජීවිතයම කතන්දර ගොඩක් නොවැ!
මා කියවන ලඟදී ඇරඹුණු සිංහල බ්ලොග් කිහිපයක් ගැන අද ලියන්නට සිතුනේ ඒ කතන්දර කියවන්නට මගේ ඇති කැමැත්ත නිසා ම ය.
නොකී කතා
http://nokieekatha.blogspot.com/
හෙන්රි වර්ණකුලසූරිය යනු වෘත්තියෙන් මැවිසුරුවෙකි. විශ්ව විද්‍යාලයෙන් පිටවීමෙන් අනතුරුව කලක් නාවික හමුදාවේ ද සේවය කළ අයෙකි. වත්මනෙහි ද මැද පෙරදිග රටක මැවිසුරුවෙකු ලෙස සේවය කරන්නෙකි.
එහෙත්, එදා මෙදා අතරතුර ඔහු ගේ ජීවිතය කවි පොත්, කෙටිකතා පොත්, නවකතා, පුවත්පත්, ගුවන් විදුලිය සහ සිනමා සිත්තම් හරහා ඇදී ගිය විසිතුරු එකකි. ඒ දිවි මගෙහි දී ඔහුට හමුවූ අය බොහෝ ය. ඔහු ලැබූ අත්දැකීම් බොහෝ ය. ඒ ගැන නොකී කතා ඔහු කාලයක් තිස්සේ පුවත්පත් දෙකක තීරු ලිපි ලෙසින් අහ හා බෙදා ගත් අතර පසුව එය ග්‍රන්ථයක් ලෙසින් ද ජනගත වුණි.
හෙන්රි වර්ණකුලසූරිය අරඹා ඇති "නොකී කතා" බ්ලොග් අඩවියේ තවමත් පළ වී ඇත්තේ ලිපි තුනක් පමණක් වුවද හෙන්රිගේ කැරැට්ටුව හොඳින් දන්නා මා මෙහි ඊළඟට ලිපියක් පලවෙන තුරු බලා සිටිනේනේ ඉතා උනන්දුවෙන් බව කිව යුතු ය.
ඉකොනොමැට්ටා
http://economatta.blogspot.com/
ඉකොනොමැට්ටා පිළිබඳව ආරංචිය මුලින්ම මට ලැබුණේ "තිලක සිත" ලියන තිලකසිරි ඒකනායක හරහාය. ඒ අනුව සිතන විට නමින් ඉකොනොමැට්ටා වුව ද මොහු ද වෘත්තියෙන් මැවිසුරුවෙකු විය හැක. සමහර විට පශ්චාත් උපාධියකට ඉකොනොමෙට්‍රික්ස් උගත් අයෙකු වීමට බොහෝ ඉඩ තිබේ.
ඉකොනොමැට්ටා ලියා ඇති ලිපි කිහිපය මා සිත බැඳ ගත්තේ ය. එහෙත් සමහර විට ඔහු තවම වටහාගෙන නැති කරුණක් නම්, වචන දාහකට වඩා දිග ලිපි දිරවා ගත හැක්කන් බ්ලොග් කියවන අය අතර හිඟ බවයි.
ඩොකා ගේ ඩයරිය
http://doczdiery.blogspot.com/
බ්ලොග් ලියන, කියවන අය අතර දොස්තරලා අප හිතනවාට වඩා විශාල ප්‍රමාණයක් සිටිති. "බඩා මාමා" ලියන මිගාර වීරක්කොඩි, "ට්‍රාන්ස්සිල්වේනියා" ලියන රුවන් ජයතුංග සහ "අනිත් කොන" ලියන බෝදිනී සමරතුංග ඉන් ප්‍රකට තිදෙනෙකි.
උග්‍ර මහින්ද රාජපක්‍ෂවාදීන් ලෙස බ්ලොග් ලෝකයේ ප්‍රතිචාර හෙලමින් සැරිසරන ස.රස මෙන් ම මහසොහොන් පිල්ලිය ද දොස්තරලා බව මගේ අදහසයි.
මීට අමතරව දත් දොස්තර ලා ද සිටිනවා විය හැක.
ඩොකා ගේ ඩයරිය ලියන්නේ ඇත්තරම ඩොකෙක් නොවේ, වෙන්ඩ ඩොකෙකි. බ්ලොග් ලියන තවත් මෙවැනි වෙන්ඩ ඩොකාලා කීප දෙනෙකු ද සිටිති.
පසු කාලයක සිසු දිවිය නිමවී රජයේ පත්වීම් ලැබූ පසු, දිවා සේවයෙන් අනතුරුව එළැඹෙන කාලයේ දී මොවුන් සාමාන්‍යයෙන් පොල් කැඩීමේ රාජකාරියට යොමුවීමට නියමිතයි. එසේ නොවී මේ වෙන්ඩ දොස්තරලා දිගටම මේ ලිවීම කරගෙන ගියොත් අගනා බව කිව මනාය.
උඩුවා ගේ සටහන්
http://uduwaage.blogspot.com/
උඩුවා හෙවත් තරිඳු උඩුවරගෙදර වෘත්තියෙන් කවරෙකු දැයි මම නොදනිමි. කෙසේ වෙතත්, ඔහු සුවිශේෂී පිහිණුම්කරුවකු වෙන්නට ඉඩ ඇත. ඒ පිහිණීමේ සුවිශේෂීත්වය නම් උඩුගම් බලා පිහිනීමයි.
මේ බ්ලොගයේ ඇති ලිපි මුූලික වශයෙන් දේශපාලනික ඒවා වුවද, ඒවායේ ඊට වඩා යමක් ඇති බව මගේ අදහසයි. මුලින් කීවාක් මෙන් මා වඩාත් කැමති ඒ දේශපාලනය අමතර කරුණුවලටයි.
මෙය ඔබට ඵලදායී ඉරිදාවක් වේවා!
-රසිකොලොජිස්ට්