Sunday 17 May 2015

සරත් ෆොන්සේකා, ගෝඨාභය රාජපක්‍ෂ, ආනන්ද විද්‍යාලය, පැන්ෂන් අංකල් සහ ඊ-මේල් සුසිරිත - Nothing better to write about...?


අපේ ගම් පළාතේ පැන්ෂන් ගත් අංකල් කෙනෙක් සිටී. ඔහු හොද මනුස්සයෙකු බවට මට සැකයක් නැත. නමුත්, දැන් ඉතිං පැන්ෂන් සුවයෙන් සිටින නිසා දෝ මේ අංකල්ට නොයෙකුත් සමාජ සේවා වැඩ කිරීමේ අමාරුවක් වැළදී ඇත.

එහි කිසි වරදක් මම නොදකිමි.

මුලින් ම, පැන්ෂන් ගොස් නිකං පඩික්කම් පුරවනවාට වඩා මොකක් හෝ වැඩක නිරත වීම ශරීර සෞඛ්‍යයට හිතකරය. දෙවනුව, මේ අංකල් කරන කියන වැඩ කරන්නට කවුරුන් හෝ උවමනාවේ, එසේත් නැති නම්, සමාජයේ "ජෙනරල් ඊක්විලිබ්‍රියමය" සඳහා මෙවැනි අංකල්ලා ද ඇවැසි ය.

අංකල් ගේ සහ මගේ එකම සම්බන්ධය වන්නේ අප දෙදෙනා ම එකම පාසලේ ටික කළක් හෝ අධ්‍යයනය ලබා ඇති වීමයි. අංකල් ඒ පාසලේ කෙතරම් කළක් සිටිියේදැයි මම නොදනිමි. මා දන්නා කාරණය වනුයේ, මා ඒ පාසලට මුලින්ම ගිය දින සිට අස්වීමේ සහතිකය ගත් දින දක්වා වසර හතරයි මාස කිහිපයක් ගත කළ බවයි. කෙටියෙන් කිවහොත් "සිව් වසරක් මරදානේ" ය. ඒ, මේ අංකල් ගේ කාලයෙන් පරම්පරා බාගයකට පමණ පසු කලෙක යැයි සිතමි.

අංකල් ලඟ මේ පාසලේ ඉගෙනුම ලැබූ සිසුන්ගෙන් අපේ ගම් පළාතේ ඉන්නා අය ගේ ඊ-මේල් ලිපින ලයිස්තුවක් ඇත. ඔහු ගේ එක් විනෝදාංශයක් වනුයේ තමන් සහභාගී වෙන විවිධ වැඩ කටයුතු හා සම්බන්ධ විස්තර විටින් විට මේ ඊ-මේල් ලයිස්තුවට එවීමයි.

පිරිසකට ඊ-මේල් යෑවීමේ දී අපට අනුගමනය කළ හැකි ක්‍රම තුනක් ඇත. ඉන් පළමුවැන්න නම් සියළු දෙනාගේ ම ඊ-ලිපිනයන් සමානව සළකා ඊ-මේලයේ "වෙත" (To) කොටුවට යෙදීමයි. මෙ මගින් ඒ ඊ-ලිපිය ලබන සියළු දෙනාට ම, එහි පිටපත් යවනු ලැබුවේ කාටද යන වග නිසැකවම දැන ගත හැකි වේ.

දෙවෙනි ක්‍රමය වෙනුයේ එක් අයෙකුට ඊ-මේලය යොමු කොට, එනම් ඔවුන් ගේ ඊ-ලිපිනය "වෙත" (To) කොටුවේ යොදා, අන් සියළු දෙනාටම ඒ ඊ-මේලයේ පිටපත් යැවීමයි, එනම් ඔවුන් ගේ ඊ-මේල් ලිපිනයන් "කාබන් පිටපත" (CC) කොටුවේ යෙදීමයි. මෙ මගින් ද ඊ-ලිපිය ලබන සියළු දෙනාටම එහි පිටපත් යවනු ලැබුවේ කාටද යන වග නිසැකව ම දැන ගත හැකි වේ.

තුන්වෙනි ක්‍රමය නම්, ඊ-ලිපියේ පිටපත් සියළු දෙනාට ම එකිනෙකාට හොර රහසේ යැවීමයි, එනම්, ඒ පිටපත් යැවෙන පිරිස ගේ ඊ-ලිපියනයන් ඊ-මේලයේ "අන්ධ කාබන් පිටපත්" (BCC) කොටුවේ යෙදීමයි.

එකිනෙකා නාඳුනන පිරිසකට පොදු ඊ-ලිපි යැවීමේ දී අනුගමනය කෙරෙනුයේ මේ තෙවෙනි ක්‍රමයයි.

ඔබට ඉහත පළමුවෙනි හෝ දෙවෙනි ආකාරයේ ඊ-ලිපියක් ලැබුණු පසු එයට පිළිතුරක් ලිවීමේ දී අනුගමනය කළ හැකි ක්‍රම දෙකක් ඇත. ඉන් එකක් නම්, ඊ-ලිපිය එවා ඇති පුද්ගලයාට පමණක් පිළිතුරු ලිවීමයි.

වඩාත් සුදුසු, සහ මා අනුගමනය කරන ඊ-ලිපි සුසිරිත් ක්‍රමය නම්, මා ඊ-ලිපිය එවූ තැනැත්තාට යොමු කරන පිළිතුර, සියළු දෙනාටම පිටපත් කිරීමයි. එනම්, (Reply to all) නම් විකල්පය යොදා ගැනීමයි.

මට ලැබෙන ඊ-ලිපියක අන්ධ පිටපත් යැවෙන අය කවුදැයි මා නොදන්නා නිසා, ඔවුනට මගේ පිළිතුරක් පිටපත් කිරීමේ ක්‍රමයක් කිසිසේත් ම නැත.

දැන් යලිත් කතාවට බටහොත්, අපේ අංකල් මා ඇතුළු පාසලේ ආදි සිසු පිරිසට ගිය වසරේ දී පොදු ඊ-ලිපියක් එවා තිබුණි. එහි සඳහන් ප්‍රවෘත්තියේ යම් අකටයුත්තක් තිබේ යැයි මට හැඟී ගිය නිසා මා එයට පිළිතුරක් ලියා, ඒ ගැන දැන ගත යුතු පිරිසකට එය යොමු කළෙමි. ඒ අදාළ පුද්ගලයෙකු එවා තිබූ මට එවා තිබූ පිළිතුර ඔහු විසින් ඔහුට අදාල තවත් කීප දෙනෙකුට ඉහත කී දෙවෙනි ක්‍රමයට පිටපත් කර තිබුණි.

මා එයට ලියුූ ප්‍රති පිළිතුර, මගේ ඊ-මේල් සුසිරිත (eMail etiquette) අනුව ඒ සියළු දෙනාටම පිටපත් යැවෙන පරිදි යොමු කරන ලදී.

පසුදා මා එතෙක් නොදන්නා කෙනෙකු ගෙන් මට ලැබුණු පිළිතුරකින් කියවුනේ මගේ ඊ-මේල් මින් පසු ඔහුට යොමු නො කළ යුතු බවයි. මා ඔහුට අමුතුවෙන් ඊ-ලිපි නොලියූ බවත්, මා කළේ මට ලැබුණු ඊ-ලිපියක සැමට පිළිතුරු එවීම පමණක් බවත්, එනිසා, ඔහුට මගේ පිළිතුරු නොලැබීමට නම් කළ යුත්තේ, ඔහුව මේ සංවාදයට ඈඳාගත් පුද්ගලයාට ඒ බව පැවසීම බවත් කියා මා ඔහුට පිළිතුරක් යොමු කළෙමි. එය මුල් පුද්ගලයාට ද යොමු කළෙමි.

පසුව මට ඒ මුල් පුද්ගලයාගෙන් මගේ මුල් පිළිතුරට ප්‍රති-පිළිතුරක් ලැබුණු නිසා, මා යළිත් කළේ එයට මා ලියූ පිළිතුර ද සියළු දෙනාටම පිටපත් යැවෙන සේ යොමු කිරීමයි. එහි පිටපතක් ද මගේ ඊ-ලිපි අනව්‍යයැයි කියූ තැනැත්තාට ලැබී ඇති බව මා දැන ගත්තේ ඔහුගෙන් කෝපාන්විත පිළිතුරක් ලැබුණු පසුවයි.

මා යළිත් කළේ, ඒ ඉල්ලීම මට එවන පිළිතුර ඔහුට ද පිටපත් කරන පුද්ගලයාට යොමු කරන ලෙස ඉල්ලා ඊ-මේලයක් යැවීමයි. එයින් ඔහුගේ කෝපය තවත් මුවහත් වුණු බව මට ලැබුණු තර්ජනාත්මක පිළිතුරෙන් පෙනුණි.

ඒ සිද්ධිය එතැනින් යටපත් වී කාලය ගත වී ගියේය.

දැනට සති දෙකකට පමණ පෙර මට අපේ අංකල්ගෙන් නැවත ඊ-ලිපියක් ලැබුණි. එහි ඇතුලත් වූයේ නොබෝ දිනකින් අපේ ගම් පළාතේ පැවැත්වීමට නියමිත, යුද්ධයෙන් මියගිය සහ ආබාධිත රණවිරුවන් සැමරීම සඳහා පැවැත්වෙන රැස්වීමක් පිළිබඳ පුවතකි. මෙය එවා තිබුණේ අප පාසලේ ආදි සිසුන් පිරිසට බව ඒ ප්‍රවෘත්තියට අපේ අංකල් එකතු කර තිබුණු වැකි කිහිපයෙන් පැහැදිළි වුණි.

මේ ප්‍රවෘත්තිය හා පාසල හා ඇති සම්බන්ධය වඩාත් පැහැදිළි කර ගැනීම පිණිස මා අංකල්ට පිළිතුරක් ලීවෙමි. එහි අඩංගු වූයේ එක් වැකියක් පමණි. එනම්,

ෆොන්සේකා ගේ පිළේ අය ද, ගෝඨාභය ගේ පිළේ අය ද?

මගේ ඊ-ලිපි සුසිරිත අනුව මගේ පිළිතුර අංකල් ගේ ඊ-ලිපි ලයිස්තුවේ සිටි සියළු දෙනාටම පිටපත් කරන ලදී, එනම් මා යොදා ගත්තේ (Reply to all) විකල්පයයි.

මා නොදැන සිටි කාරණය නම් මට ඔහුට ඊ-ලිපි නොඑවන ලෙස මාස කිහිපයකට කලින් තර්ජනාත්මකව මට කියූ පුද්ගලයා ගේ ඊ-ලිපිනය ද අංකල් ගේ ඊ-ලිපිය යොමු වුණු ආදී ශිෂ්‍යයින් ගේ ලයිස්තුවේ තිබී ඇති බවයි.

මෙවර ඔහුගෙන් ලැබුණු පිළිතුරේ අසැබිවදන් ද, අපහාසාත්මක පද ද කෝපගින්නෙන් දැවෙන්නෙකු දොඩන වහසි බස් ද සමග ඇතුළත් කර තිබුණි!

කරුණු වටහා ගැනීම පිණිස මා යොමු කළ, ෆොන්සේකා ගේ පිළේ අය ද, ගෝඨාභය ගේ පිළේ අය ද? පැණය ඔහුට අජීර්ණ වී ඇති බව ඒ වචන කුලකය දෙස බැලු බැල්මට පෙනෙන්නට තිබුණි.

මා කළේ, ඔහුගේ පිළිතුර අංකල් ඇතුළු පිරිසට යවා, ඒ පුද්ගලයා පෙළෙන රෝගයෙන් සුවය වෙන තෙක් ඔහුව අංකල් ගේ ලයිස්තුවෙන් අයින් කරන ලෙස ඉල්ලීමයි.

ඒ සමගම, අංකල් ඔහුගේ ලැයිස්තුවට එවන ලද පෙර කී රැස්වීම පිළිබඳ ලිපිය, කෙලින්ම පාසලේ වැඩ කටයුත්තක් නොවන බවත්, අද ලංකාවේ රණවිරුවන් ප්‍රධාන කොටම බෙදී ඇති කොටස් දෙකට නායකත්වය දෙන පාසලේ කුප්‍රකට ආදී සිසුවන් දෙදෙනා ගේ නම් මා අංකල්ට යැවූ ඊ-ලිපියේ සඳහන් කළේ අඩු වශයෙන් එවිටවත් ඒ ඊ-ලිපිය පාසලට අදාළ වෙන නිසා බවත් මා ඔහුට දන්වා යැවුවෙමි.

වහාම මේ උද්ගත වූ තත්වය විසඳන බවට අංකල් සියළු දෙනාටම එවූ පිළිතුරක් මගින් දන්වා එවා තිබුණි.

ඒ දින දහයකට පෙර දිනයක ය.

-රසිකොලොජිස්ට්

ප/ලි
ජනාධිපති ඡන්දයට පෙර දිනයක, එවකට බලයේ සිටි ජනාධිපති ගේ කෙතරම් දුෂණ සහ අකටයුතු තිබුණ ද යළි ඔහුව ම බලට පත් කර ගත යුතු යැයි අපේ අංකල් ලියූ ඊ-ලිපියකට පිළිතුරක් යවමින් ඒ ගැන ප්‍රශ්ණ කිහිපයක් යොමු කළ, මට පරම්පරාවකට පසුව පාසලේ ඉගෙන ගත් සිසුවෙකට, හැකි විගස දීර්ඝ පිළිතුරක් එවන බවට අංකල් පොරොන්දු වූ නමුත්, දැන් මාස හතරක් ගතවීත් ලැබුණු පිළිතුරක් නැති බවත් මට පසුව දැන ගන්නට ලැබුණි.


(image: http://michaelhyatt.com/angry-email.html)

29 comments:

  1. රිප්ලයි ටූ ඕල් කරද්දි මම මෙය අන් සියලු දෙනා දැන ගතයුතු දෙයක්ද නැතිනම් එකෙකු හෝ කීප දෙනෙකුට පමනක් අදාල වෙන්නක්ද යන්න සොයා බලනවා...නැතිනම් එය තව කෙනෙකුගේ ඊ මේල එකෞන්ට් එක අනවශ්‍ය මේල් වලින් පිරී යාමට හේතුවක් විය හැකියි...
    උදාහරණයක් ලෙස හැමෝම තමාට ලැබුනු ඊමේලයට තෑන්ක්ස් ක්ලෝත් ඊ මෙල් එකෞන්ට් එක ඒ වගේ දේකින්ම පිරිලා යනවා..මෙය මට පෞද්ගලිකව වෙලා තියෙන හින්දා ඒකේ කරදරය මට හැ‍ඟෙනවා..

    ReplyDelete
    Replies
    1. නෑ, මා දරන මතය අනුව Reply to all යන්න නොවේ ප්‍රශ්ණය, මුලින්ට සිය දෙනෙකුට පමණ ඊ-මේලය එළිපිට කොපි (CC) කිරීමයි.

      එසේ එවූ ඊ-මේලයකට පිළිතුරු යැවීමේ දී එය එක් අයෙකුට හෝ කීප දෙනෙකුට යැවීමෙන්, නොලැබුණු අයට අසාධාරණයක් වෙනවා.

      අංකල් කළ යුතුව තිබුණේ, ඔහුගේ ලයිස්තුව BCC ලෙස යැවීමයි.

      මගේ පැත්තෙන් ගත් කළ මා ඇසූ "ෆොන්සේකා ගේ පිළේ අය ද, ගෝඨාභය ගේ පිළේ අය ද?" ප්‍රශ්ණය සැමටම දැන්වීමට මට අවශ්‍ය වූ බව කිව යුතුයි.

      Delete
  2. "පැන්ෂන් සුවයෙන් සිටින නිසා දෝ මේ අංකල්ට නොයෙකුත් සමාජ සේවා වැඩ කිරීමේ අමාරුවක් වැළදී ඇත".
    - අයිසෙ රසික, අර විචාරක ගොයියත් මෙ ගොඩේද ඉඳගෙන.

    ReplyDelete
    Replies
    1. I say, සාමාන්‍ය සේවයෙන් පැන්ෂන් ගත් පසු ක්‍රියාකාරීව සිටීම සැමට ගුණදායක දෙයකි.

      මා ද කවදා හෝ පැන්ෂන් ගත් කළ පූර්ණකාලීනව බ්ලොග්කරණෙයේ යෙදීමට අදහස් කරමි.

      ඒ මගේ සමාජසේවා කෝටාව කලකට පෙර අවසන් වූ නිසාය.

      Delete
  3. රසික අැත්තටම Reply to All ඒ තරම් හොද වැඩක් නෙවෙයි නේද? මොකද අපේ ඔපිස් එකෙත් ඔය Reply to All හරහා අනවශ්‍ය ඊමේල් ලැබීම ගැන කාලෙකට ඉහත දරුණු සාකච්ඡාවක් ගියා. ඒ නිසා අත්‍යවශ්‍යම කාරණයකදි අැර මම ඔය වගේ පොදු ඊමේල්වලට Reply to All කරන්නේ නැ.
    Should I reply to all? No, unless the building is on fire.

    ReplyDelete
    Replies
    1. නැවතත්, ප්‍රශ්ණය ඇත්තේ Reply All හි නොවේ. මුලින් ඊ-මේලය එවූ තැනැත්තා එහි CC ලෙස පිරිසක් අඩංගු කිරීමට ගත් තීරණයේ ය.

      මෙතැනදී රණ්ඩුව බේරා ගත යුත්තේ අංකල් සමගයි. අංකල් BCC කළේ නම්, මට පිළිතුරු යැවිය හැක්කේ අංකල්ට පමණකි.

      කෙසේ වෙතත්, මා අංකල්ගෙන් ඇසූ "ෆොන්සේකා ගේ පිළේ අය ද, ගෝඨාභය ගේ පිළේ අය ද?" ප්‍රශ්ණය සැමටම දැන්වීමට මට අවශ්‍ය වූ බව කිව යුතුයි.

      එය මේ රණවිරු සමරුව අරබයා වැදගත් ප්‍රශ්ණයක් වෙනවා පමණක් නොව අංකල්ලා ගේ අපේ පාසල ගැනද වැදගත් ප්‍රශ්ණයකි.

      Delete
  4. හම්මෝ......................ඊ මේල් කෙලිය ඉතා පරෙස්සමෙන් යෙදිය යුතු කෙලියකි. වැරදුනොත් මළකෙලියකි.

    පාසලක ආදී ශිෂ්‍යයන් ලෙස හමුවීමටද අපහසුවන ආකාරයට, ත්‍රිවිධ හමුදාවේ පිල් බෙදීම, රටේම අභාග්‍යයකි.

    ReplyDelete
    Replies
    1. විචාරක, ඔය පිල් බෙදීමට සිංහ, ගැමුණු යනාදී අමාි එකේ විවිධ කණ්ඩායම් අතර බෙදීම් බලපා නැතිද?

      Delete
    2. රෙජිමේන්තු භේද මමනම් දැකලා නැහැ ආදිශිෂ්‍ය සංගම් වලදී. ආමි, නේවි, එයාෆෝස්, පොලිස්, භේදත් දැකලා නැහැ. නමුත් දේශපාලන පිල් බෙදීම් දැකලා තියනවා.

      Delete
    3. මට නම් පොඩිකාලෙ ඉඳලම හමුදාවල් පේන්න බැහැ. කුලී ඝාතකයො පිරිසක්. ඔවුන්ගේ මානසිකත්වය සකස්වෙලා තියෙන්නෙම මර්දනය, දඬුවම් වගේ දෙවල් මූලික කරගෙන. හමුදා යනු මිනිස් අශිෂ්ටත්වයේ සංකේතයක් පමණයි. මිනිසා සැබවින්ම ශිෂ්ටසම්පන්න වන දවසකදි හමුදාවල් අහෝසිවෙලා යාවි.

      Delete
  5. හෙක්! හෙක්!! රසිකත් කොක්ක දාල අදින්න බලාගෙන නේද ඉන්නේ.

    ඔය වගේ ඊමේල BCC තමා යාව්න්න ඕනේ. එතකොට ඔවැනි ප්‍රශ්න ඇති වන්නේත් නැහැ. අනවශ්‍ය ඊමේල් (ඔය නතාෂා ලා වගේ අයගෙන්) එන්නෙත් නැහැ.

    ReplyDelete
    Replies
    1. ලැබෙන අවස්ථා මග හැරිම, ඒ සෑම අවස්ථාවකින්ම උපරිම ප්‍රයෝජන නොගැනීම වැනි අවස්ථාවාදී වැඩ මං කවදාවක් කරන්නේ නෑ!

      නාතාෂා නම් හමුවුණු කාලයක් මතක නෑ. ;-)

      Delete
  6. ඔය වගේ එන ඊමේල්වලට නොලියා හිටියා නම් ඉවරයි...:P

    ReplyDelete
    Replies
    1. ඇත්තටම සෑහෙන කාලෙකින් මං යවපු ඊමේල්වලට උත්තරයක් ලැබුණේ නෑ තමයි!

      Delete
  7. ඊ-මේල් සුසිරිත.. ඒක හොඳ වචනයක්.. හමුදාව බැබලවීමට දායකත්වය දැක්වූ ප්‍රමුඛතම පාසලක් හමුදාව දේශපාලනිකව බෙදීමටද දායක වන බව ඇසීම මට මෙහි වඩාත්ම කටුක පණිවිඩයයි. මටනම් ඔය ඉන්බොක්ස් එකට මේල් එකක් ආව කියල මහලොකු ප්‍රශ්නයක් නෑ.. ඇණයක් වෙනවනම් කරන්නේ අදාල පුද්ගලයින්ට කියල ඒ ත්‍රෙඩ් එකෙන් ඉවත් වීමයි.

    ReplyDelete
    Replies
    1. මෙතන වී තියෙන්නේ මුල් ඊ-මෙථලය එවූ එකාව නොව එයට පිළිතුරක් එවූ අහිංසකයාව අල්ලා ගැනීමකි!

      Delete
  8. This comment has been removed by the author.

    ReplyDelete
  9. ඇත්තටම අපි පාසල් බදාගෙන සිටිය යුතුද? මේ තත්ත්වය වෙනත් රටවලත් තියෙනවාද? පැහැදිලි කර දෙන්න

    ReplyDelete
    Replies
    1. මෙහේ ඔය පාසල් සංගම්වලින් කරන්නේ හැම අවුරුද්දේම පොඩි පාටියක් දෙකක් තියා ඩොලර් කීපයක් එකතු කර එයින් හොස්ටල් එකට, පුස්තකාලයට, පාසලේ ගොඩනැගිලි අරමුදලට, දුප්පත් ළමුන්ට ශිෂ්‍යත්ව වගේ වැඩ කිරීමයි. එනිසා, ඒවා හොඳ වැඩ මිස නරක වැඩ නොවේ!

      මා ද හැකි පමණින් උදව් කරමි. නමුත්, ප්‍රතිපත්ති පාවා දීමට හෝ අන්ධ භක්තියෙන් පාසල වැඳීමට කිසිසේත් ම සූදානම් නැත!

      Delete
    2. ගෝත්‍රවාදයෙන් බැහැර වූ සමාජ තියෙන්නට ඉඩ තියෙනවා.

      Delete
  10. ලිඳ මගේ නම් මම ලිඳේ නම් කාටවත් ඇයි වේදනා
    පුද්ගලික ආරවුල් වලට පාසැල් වග කිව යුතුද

    මෙවර ඔහුගෙන් ලැබුණු පිළිතුරේ අසැබිවදන් ද, අපහාසාත්මක පද ද කෝපගින්නෙන් දැවෙන්නෙකු දොඩන වහසි බස් ද සමග ඇතුළත් කර තිබුණි!

    Assumption is the mother of all screw-ups'

    ReplyDelete
    Replies
    1. පැරදුම ඔහුට බවයි ලැබෙන වෙනත් ඊ-මේල්වලින් පේන්නේ.

      මේ ප්‍රශ්ණ විසඳිය යුත්තේ cool head එකකිනි, කෝපයෙන් නොවේ!

      Delete
    2. මේ සැඟවුන අමුත්තා කවුද කැපිලා පෙනෙන චරිතයක්ද ?

      Delete
  11. රසික වරද්ද ගන්න එපා

    ෆීල්ඩ් මාෂල් ෆොන්සේකා සහ ගෝටාබයන්

    ReplyDelete
    Replies
    1. අපිත් ෆීල්ඩ් එකේ ඉඳලා තියෙනවා, දැන් නම් ඔෆීසියේ!

      Delete
  12. හපොයි පොරසිද්දියේ අහන්න ඕනා පස්නයක්ද ඔයා අහලා තියෙන්නේ ඇති යන්තම් ඔයින් ගියා අතක් පයක් නොකැඩි

    ReplyDelete
  13. ගහන්න ගහන්න වැඳිල්ලත් වඳින්න වඳින්න ගැහිල්ලත් දෙකම මෝඩකම්.

    ඔයවගේ සිද්ධියක් මටත් මතකයි.
    එක කොලුවෙක් ගෲප් එකකට මේල් එව්ව. විහිළු කතා පින්තූර වගේ දේවල්..... ඔය ලිස්ට් එකේ කාන්තාවකුත් හිටිය. දවසක් කාන්තාවන්ගේ පියයුරු වල හැඩය ගැන තිබුන මොකක්දෝ මේල් එකක් අපිට ලැබුන. ඊට දින කිහිපටකට පස්සෙ අර කාන්තාව කොලුවට අවවාද කරල යවපු මේල්ලුවකුත් ලැබුන අපට. රසික කියපු රිප්ලයි කිරිල්ල තමයි ඇය කරන්න ඇත්තෙ. සමූහයේ ඉන්න සියල්ලන්ට දැනගන්න එහෙම පිලිතුරු යැවිල්ල හොඳයි.

    නමුත් මේවගේ වෙලාවක මම නං කරන්නෙ අර බුවාව අයින් කරල දාන එකයි.

    ReplyDelete
  14. මම නම් හිතන්නෙ ආනන්ද විද්‍යාලයේ නම වෙනස් කල යුතුයි කියල. එය "ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මධ්‍ය මහා විද්‍යාලය" ලෙස වෙනස් කල යුතුයි. ලංකාවෙ ඕනතරම් ආනන්ද විදුහල් තිබ්බත් මේ නම තියෙන පාසල් තියෙන්නෙ එකයි. පාසලටත් හොඳ අනන්‍යතාවක් ලැබෙනවා. මා හිතන්නෙ බහුතර ආදී ආනන්දීයයන් මේ යෝජනාව පිලිගනී කියල.

    ReplyDelete
  15. ඔය ආනන්ද විදුහල ගොඩක් හොඳ පාසලක් වුණත් ඕකට වැදිල තියෙන හෙණේ තමයි ඔය කෙහෙල්මල් හමුදා පිස්සුව. පාසැල් වලින් ශිෂ්‍යභට ඛණ්ඩ වගේම හමුදාකාර ආදිසිසුන් සැමරුම් ඉවත් කලයුතුයි. ළමා හමුදාවලට විරුද්ධ ශිෂ්ට සමාජයම පාසැල් වල් කැඩෙටින් සහ හමුදා සැමරුම් අනුමත කිරීම පුදුමයක්. 1988-89 කාලේ අවු. 4-5 ක දැරියක් විදිහට හමුදාවේ සැබෑ ස්වරූපය දැක්ක මට නම් පොඩිකාලෙ ඉඳලම හමුදාවල් පේන්න බැහැ. කුලී ඝාතකයො පිරිසක්. ඔවුන්ගේ මානසිකත්වය සකස්වෙලා තියෙන්නෙම මර්දනය, දඬුවම් වගේ දෙවල් මූලික කරගෙන. ලංකාවේ උතුරේ ජනතාව මොවුන්ගේ මර්දනයෙන් කොපමණ දුක් විඳින්න ඇත්ද? හමුදා යනු මිනිස් අශිෂ්ටත්වයේ සංකේතයක් පමණයි. මිනිසා සැබවින්ම ශිෂ්ටසම්පන්න වන දවසකදි හමුදාවල් අහෝසිවෙලා යාවි.

    ReplyDelete

ඔබේ ප්‍රතිචාරය මට සතුටකි!. Your comments are most welcome!
සංයමයෙන් යුතුව ප්‍රතිචාර දක්වන්න.