Tuesday 8 September 2015

අහවල් පොත ලිවීම සහ පොත පෙරළීම පිළිිබඳ මගේ කතාව - Such is Life


අප කුඩා කාලයේ ලංකාවේ අවිවාහක කාන්තාවන් තනිවම ගමන් බිමන් යාම අවම වී යැයි සිතමි. එ නිසා, නැන්දලා, පුංචි අම්මලා සමග විවිධ ගමන් බිමන් යාමට, මංගල උත්සවවලට සහභාගී වීමට මට විවිධ අවස්ථා ලැබී ඇත.

කුඩා කාලයේ චූටි නැන්දා සමග ඇය ගේ හිතවත් යුවලක් විසූ ගම්පහ නගරයේ නිවසකට ගියා මගේ මතකයේ ඇත. ඒ ගමන ගැන මගේ මතකයේ රැදී තිබෙන්නේ කාරණා දෙකක් පමණි.

ඉන් එදා මට වැදගත් වූ කරුණ නම්, එහි දී දිවා ආහාරය සඳහා සූදානම් වූ කෑම වර්ග අතර සලාදයක් තිබුණු බවයි. ඒ සලාදය පළංගානක් පුරා සාදා තිබුණේ සලාද කොළයක් උඩ තැම්බූ බීට්රූට් පෙත්තක් තබා, ඊට උඩින් ළුෑණු පෙත්තක්, තැම්බූ බිත්තර පෙත්තක් සහ අවසානයේ තැම්බූ කැරට් පෙත්තක් බැගින් තැබීමෙනි. උඩින් ගම්බිරිස් සහ ලුණු කුඩු ඉස තිබුණි!

මගේ මතකයේ රැඳුණු, නමුත් එදා තරම් වැදගත් දෙයක් නොවුණු කාරණය නම්, ඒ නිවසේ තිබුණු හම් බැම්මෙන් බැඳි පොතකි. පිටකවරයේ ද, පොතේ නාරටියේ ද දිලිසෙන අකුරෙන් පොතේ මාතෘකාව, රචකයා ගේ නම සහ තවත් විස්තර ලියා තිබුණි.

මේ පොත වනාහී ඒ නිවසේ සිටි පිරිමියා ගේ පශ්චාත් උපාධි නිබන්ධනයයි. මා ඒ කුමක්දැයි නිවරැදිව දැන ගත්තේ හවස් වරුවේ ආපසු නිවස බලා එද්දී නැන්දාගෙන් අසා ය.

පශ්චාත් උපාධියක් ලබා ගන්නට නම් පොතක් ලිවිය යුතු බව මගේ සිතට කා වැදුණේ එදා ය. සාමාන්‍ය ශාස්ත්‍රවේදී උපාධියකින් පමණක් සෑහීමට පත් වී සිටි මගේ පියා ද මේ කතාව සනාථ කරනු මගේ මතකයේ ඇත.

ඉන් දශකයකටත් වඩා පසු කාලයක යළිත් ඒ අදහසට සම්බන්ධ කාරණයක් ලෙස අහන්නට ලැබුණේ කෝ ආනන්ද නම් භික්‍ෂුවක් විසින් හේ සිද්ධාර්ථ නම් වෙයි නම් වූ නවකතාවක් තම පශ්චාත් උපාධි නිබන්ධනය ලෙස විශ්ව විද්‍යාලයට භාර දුන් පුවතයි. ඒ වන විට මේ පොතක් යැයි කියන්නේ පොතක් ම නොව, පර්යේෂණයක අවසානයේ ඒ පිළිබඳව ලියවෙන නිබන්ධනයක් බව මට වැටහී තිබුණි.

ඕස්ට්‍රේලියාවට සංක්‍රමණය කර සති දෙකකින් පමණ මම ආචාර්ය උපාධියක් සඳහා මෙල්බර්න් විශ්ව විද්‍යාලයේ ලියා පදිංචි වුණෙමි. ඉන් පසු මා අපේ තාත්තා සමග දුරකථනයෙන් කතා කළ සෑම විටකම පාහේ ඔහු මගෙන් "මොකක් ගැන ද පොත ලියන්නේ?", "දැන් පොත ලියන්න පටන් ගත්තා ද?", "පොතේ කොච්චර ලිව්වා ද?" වැනි ප්‍රශ්නයක් අනිවාර්යෙන් ම ඇසුවේ ය.

වසර හතරකට පමණ පසු මා දෙවන වරට ලංකාවට යන විට අඩකටත් වඩා ලියා තිබුණු පොත තව දුරටත් නො ලිවීමට තීරණය කර තිබුණි.

නමුත්, මම ඒ බවක් තාත්තාට එක එල්ලේ නො කීවෙමි.

ඉන් පසු, රාජකාරියේ වැඩවලටත්, කුටුම්බයේ රාජකාරිවලටත් කාලය ගතකරමින් කාර්ය බහුල ජීවිතයක් ගෙවුණු හෙයින් පොත පිළිබඳ කතාව මගේ සිතෙන් කෙමෙන් කෙමෙන් බැහැරවන්නට විය. ඒ තුවාලය විටින් විට පෑරුණේ තාත්තා සමග දුරකථනයෙන් කතා කළ ඇතැම් දිනක ඔහු පරණ පුරුද්දට, කොහොමද අර පොත යැයි ඇසීම නිසා ය. පස්සෙන් පහු තාත්තා ද ඒ වසර ගණනාවක් තිස්සේ පට්ටා ගැසූ ප්‍රශ්නය අමතක කර දැම්මේ ය.

"අනේ ඌයි, මායි ලියන පොත්!" තාත්තා අපේ බාප්පා කෙනෙකු සමග එසේ පවසා තිබුණි.

තවත් දෙවසරකින් පමණ මා ලංකාවට යන විට තාත්තාට ගෙන ගොස් දෙන්නට අපූරු ත්‍යාගයක් මිලට ගත්තෙමි. ඒ ඩෑන් බ්‍රව්න් ලියූ ඩා වින්චි කෝඩ් නවකතාවේ ඉලස්ටේ‍ර්ටඩ් වර්ෂන් එක නොහොත් වර්ණ ඡායාරූප ද සහිතව ඝනකමැති මැදපු කොළයේ මුද්‍රණය වී තිබුණු විශාල ප්‍රමාණයේ පොත් පිටපතකි. සාමාන්‍ය මිල ඩොලර් පනහක් වූ ඒ පිටපතක් පියවරුන් ගේ දිනය කාලයේ මට විශාල වට්ටමක් සහිතව ලබා ගත හැකි විය.

හොඳින් කවරයක දැමූ ඒ පොත නිවසට ගොඩ වැදුණු විගස තාත්තාට දුන්නෙමි.

"ආ! මං දන්නවා මේ මොකක්ද කියලා!" තාත්තා මල් හතේ හිනාවකින් මුව සරසාගෙන කීවේය.

මට ඒ ක්‍ෂණයකින් වැටහුණේ මා ඔහුට දුන්නේ මා ලියූ අර පොත ය කියා තාත්තා සිතන බවයි.

කවරය විවර කළ සැණින් තාත්තාට ඔහු ගේ උපකල්පනය නිවරද නොවන බව වැටහුණි.

යළි ඔහු ජීවත්ව සිටින තුරු කිසි දිනක තාත්තා මගෙන් අර පොත ගැන විමසුවේ නැත!

තාත්තා මිය ගිය දිනවල මට ඒ පොත ගැන සිහිවීම සිතට දැඩි දුකක් ගෙන දෙන කාරණයක් වුවත්, දැන් වසර පහකට පසු එය බොහෝ දුරට නැති වී ගොස් ඇත!

අහවල් පොත ලිවීම සහ පොත පෙරළීම ගැන මගේ කතාව එසේ ය.

-රසිකොලොජිස්ට්

ප/ලි:
මේ 2015 සැප්තැම්බර් සාහිත්‍ය මාසය වෙනුවෙන් ලියවුණු ලිපියකි.

මෙන්න සාහිත්‍ය මාසය වෙනුවෙන් මීට පෙර ලියවුණු ලිපි:
1. කුරුලු හදවතේ හිලක් - Hole in the heart
2. කතෘ අත්සන් කළ පොත් ඔබ ළඟ තිබේද? - Autographed books

(image: https://www.pinterest.com/pin/415105290627479497/)

43 comments:

  1. රසිකගේ මරදානේ පර්යේෂණ නිබන්ධනය එළියට එනකොට තාත්තා ජීවත්ව සිටියේ නැද්ද?

    ReplyDelete
    Replies
    1. මං හිතන්නේ මම උත්තරේ හොයාගත්තා.

      Delete
    2. සමාවෙන්න, පිළිතුරු ලියන්න වෙලාව හරි හිඟයි.

      සිව් වසරක් මරදානේ පොත මුද්‍රණය කළේ 2012 ඔක්තෝබර්. තාත්තා මිය ගියේ 2010 දෙසැම්බර්. නමුත් මා ඊට පෙර 2008 නොවැම්බරයේ දී සිව් සිත් කව් නමින් කවි පොතක් මුද්‍රණය කළා!

      Delete
  2. මම ඔය උපාධි නිබන්ධන පරිවර්තනය, ඒවායේ භාෂා සංස්කරණය වැනි අතානාත්තු කරලා තිබෙනවා. ප්‍රොජෙක්ට් රිපෝටුත් ලියලා තිබෙනවා. මට නම් හිතෙන්නේ ඒ දෙක ම එක වගේ.

    ReplyDelete
    Replies
    1. ප්‍රොජෙක්ට් එකක් යනු එක් වරක් පමණක් කෙරෙන වැඩ ගොඩකි. ඒ අර්ථයෙන් ඵීඑච්ඩී එකක් යනු ප්‍රොජෙක්ට් එකක් වේ.

      Delete
  3. දැන් ඒ පොත ලියා අහවරද?

    ReplyDelete
    Replies
    1. /* මා දෙවන වරට ලංකාවට යන විට අඩකටත් වඩා ලියා තිබුණු පොත තව දුරටත් නො ලිවීමට තීරණය කර තිබුණි.

      නමුත්, මම ඒ බවක් තාත්තාට එක එල්ලේ නො කීවෙමි. */

      Delete
  4. PHD = Permanent Head Damage :P
    මොනා වුනත් හිතට වැදෙන ලිපියක් , තාත්තලාගේ බලාපොරොත්තු තමයි.

    ReplyDelete
    Replies
    1. තාත්තාට බලාපොරොත්තුව දුන්නේ පුතායි, ඒකයි දුක!

      Delete
  5. අපරාදේ රසිකට පට්ට පොතක් ලියන්න තිබුනා... අර ඒ කාළේ ලියපු උපහාසය, උත්ප්‍රාසය සමඟ ලිව්වා නම් කොච්චර අපූරුද...


    දැන් උනත් පරක්කු නෑ නේද....?

    ReplyDelete
    Replies
    1. දත් නැතිදා උක් දඬු ගිණි තපින්නද?

      Delete
  6. I'm trying to write one too Rasika. Not easy task eh?

    ReplyDelete
    Replies
    1. අවශ්‍යතාවයයි මුූලිකම කාරණය!

      Delete
  7. http://punchikatha.blogspot.com.au/

    රසික මොකක්ද මේ...

    ReplyDelete
  8. //එ නිසා, නැන්දලා, පුංචි අම්මලා සමග විවිධ ගමන් බිමන් යාමට, මංගල උත්සවවලට සහභාගී වීමට මට විවිධ අවස්ථා ලැබී ඇත.
    //

    මේක මගේ කාලෙටත් ඇත්ත. මාත් අපේ අම්මගේ නංගිලා එක්ක එහෙ මෙහෙ ගිහින් තියෙනවා, ඒත් එයාලා මාව එක්ක ගියේ ආච්චි අම්මගෙන් බේරෙන්න .. ඒත් යාලුවන්ගේ දිහාස් වල ගියාට පස්සේ මට කන්න මොනාහරි දීලා එයාලා මොනා කරාද මං අදටත් දන්නේ නෑ.. හි හි

    ඔයා එත් පොත් ලිවනේ ඒ ගැන තාත්තා සතුටු වෙන්න ඇති.

    ReplyDelete
    Replies
    1. අන්න මගේ මලයාත් පොත් වැඩකට අත ගහලා!

      Delete
  9. මාත් කවදාහරි පොතක් ලියනවා.. අර පොතක්ම නෙවෙයි මොකක් හරි එකක්.. හැබැයි තාත්තටනම් දැන්ම ඒ ගැන කියන්නේ නෑ කියලා හිතා ගත්ත.. :)

    ReplyDelete
    Replies
    1. මාත් කවි පොත මුද්‍රණය කරපු දා පිටපත් ලැබුණු දා ගෙදර ගිහින් තාත්තටයි අම්මටයි දීලා වැන්දා!

      Delete
  10. //"අනේ ඌයි, මායි ලියන පොත්!" තාත්තා අපේ බාප්පා කෙනෙකු සමග එසේ පවසා තිබුණි.//

    තවත් වසර දෙකකට පසු

    "අනේ උඹයි මායි ලියන පොත්!"



    එක තැනක එකක් මෙතන තව එකක්....වයසට යන නිසා අමතක වෙනවද මන්දා... අපි වගේ පූර්ණ කාලීන ඇනෝලා ඉන්න නිසාම හොඳයි......එක තැනක එකක් මෙතන තව එකක්....වයසට යන නිසා අමතක වෙනවද මන්දා... අපි වගේ පූර්ණ කාලීන ඇනෝලා ඉන්න නිසාම හොඳයි......

    ReplyDelete
    Replies
    1. මේ මොන විහිළු කතාවක් ද කියන්නේ? ඔතන ඇති නොගැලපීම මොකක්ද?
      පොඩ්ඩක් සිතා බලන්න.

      Delete
  11. රසික පස්සේ කාලෙක හරි පොතක් ලිව්වානේ.අපි නම් එදා ඉඳන්ම කෙරුවේ පොත පෙරළන එක විතරයි.

    ReplyDelete
    Replies
    1. ඉස්සර ගජමෑන් ගේ කාටූන් එකක තිබුණා "පොත් දී බඩට ගැසීම" කියලා එකක්. පාසල් පොත් නොමිලයේ දීම ගැන.

      Delete
  12. පරක්කු නෑ අයිසෙ,
    මමත් ඔය උලව් පොත ලිව්වෙ 53 දි

    ReplyDelete
    Replies
    1. රසිකගෙත් දැන් වයස හරියටම 53 යි, අයිසේ.

      Delete
    2. ආ, මගේ අම්මත් කමෙන්ට් දානවා වගේ!

      Delete
  13. ඔය පොත ලියන්නම ඕනෙද...

    ReplyDelete
    Replies
    1. අවශ්‍යම නෑ. සිසිලියාට, මර්වින්ට, මහින්දට පවා ආචාර්ය උපාධි තියෙන්නේ?

      Delete
  14. වැඩි දෙනෙක් කරන්නෙ ලියන එක නෙමෙයි පොත් පෙරලන එකනෙ.

    ReplyDelete
    Replies
    1. ඉස්සර ගජමෑන් ගේ කාටූන් එකක තිබුණා "පොත් දී බඩට ගැසීම" කියලා එකක්. පාසල් පොත් නොමිලයේ දීම ගැන.

      Delete
  15. රසික, ඔබේ පොත ලියැවුනු මාතෘකාව ගැන තිබුනේ නෑ වගේ මතකයි. ඒ ගැනත් කියන්න. අත්හැරීමට හේතුවත් දැනගන්න කැමතියි. මේ කොමෙන්ට් වලින් කියපු විදිහට ඔබ පොතක් ලියා ඇති බව පෙනේ. කරුනාකර ඒ පොතේ නම ලියා තබන්න. මෙහි නැතිනම් මගේ බ්ලොගයේ කොමෙන්ටුවක් ලෙස හෝ පොත කුමක්ද යන්න සඳහන් කරන්න. ජයවේවා!

    ReplyDelete
  16. වන් ටු වන් ගහලා ගොඩ යන ක්‍රමත් ඇති නෙ.. හපෝයි..පොඩි පොඩි එව්වා උනත් ඒ හිංදා කෙල උන තරම්..
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. පීඑච්ඩී තීසිස් නම් 1-1 ගහන්න බැරි වෙයි!

      Delete
  17. රසිකට ඔය පොත ලේසියෙන් ලියන්ට තිබ්බා. :)

    ReplyDelete
    Replies
    1. ලියන්න තිබුණා නම් ලියලා තියෙන්න එපායැ?

      Delete
  18. ඔය විදිහටම හා ඔය වර්ගයේම නොවූවත් මාත් අවුරුද්දකට අඩුකාලයකින් ටූ ලේට් වුනා

    ReplyDelete
    Replies
    1. කමක් නෑ, ලෝකේ වෙනත් කොච්චර වැදගත් දේවල් තියේද?

      Delete
  19. දැන් ඉතින් තව පොතක් දෙකක් ලියමුකෝ.............

    ReplyDelete
    Replies
    1. ලියපු ඒවා ප්‍රින්ට් කරලා ස්ටේපල් කටු ගහන්න විතරයි තියෙන්නේ!

      Delete
  20. ඔන්න ඔය ජාතියේ පොතක් ලිවීමේ ආශාව මගේ හිතේ වරින්වර ඇති වෙමින් නැති වී ගියා. ඇත්තටම රසිකට පස්සෙවත් හිතුන් නැද්ද ඕනි එකක් වෙන්න ඔය පොතත් ලියල දානව කියල

    ReplyDelete
    Replies
    1. අවශ්‍යතාවයක් නැති තැන, උනන්දුවක් ඇතිවෙන්නේ නෑ!

      Delete

ඔබේ ප්‍රතිචාරය මට සතුටකි!. Your comments are most welcome!
සංයමයෙන් යුතුව ප්‍රතිචාර දක්වන්න.