
"නෙළුම් යාය" බ්ලොග් සම්මාන උත්සවයේ දී හොඳම දේශපාලන බ්ලොග්කරු ලෙස සම්මානයෙන් පුද ලද W3Lanka රචක අජිත් පැරකුම් ජයසිංහ විසින් ඊට සතියකට පමණ පෙර ෆේස්බුක් අවකාශයේ පළ කළ සටහනක් නිසා ඇවිස්සුණු මතකයක් මෙලෙස බෙදා ගන්නට සිත්විය.
අජිත් පවසන අන්දමට, නම නොදන්නා මැවිසුරුවෙකුගෙන් සම්මුඛ සාකච්ඡාවකදී ඇසූ ඔබට ජීවිත ආදර්ශ පාඨයක් තිබේද යන ප්‍රශ්නයට ඒ පුද්ගලයා දී ඇති පිළිතුර වී ඇත්තේ හොඳ නම් නියමයි, නරක නම් ඒක අත්දැකීමක් (If it is good, it is great, when it is bad, it is an experience) ය කියාය.
මගේ මතකය අවදිවූයේ ඒ කියමන නිසාය.
අද ආවර්ජනය කරනා විට, මීට පරම්පරාවකට පමණ පෙර සිදුවූවා යැයි සිතෙන තරම් දුර කාලයක, මම මෙල්බර්න් විශ්ව විද්‍යාලයේ ආචාර්ය උපාධියක් සඳහා ලියා පදිංචි වී යම් පර්යේෂණයක නිරත වී සිටියෙමි. මගේ අධීක්‍ෂකයා වූයේ කාර්මික සහ නිෂ්පාදන ඉංජිනේරු දෙපාර්තමේන්තුවේ සේවය කළ ආචාර්ය ඇන්ඩෘ වර්ත් ය.
මා පර්යේෂණයක් කළා යැයි කීවාට මේ විද්‍යාගාරයක සුදු කබායක් හැඳ, මුකවාඩමක් බැඳ කළ කර්තව්‍යයක් හෝ ඕවරෝලයක් හැඳ ආරක්‍ෂිත හිස් වැස්මක් පැළඳ කළ කර්තව්‍යයක් හෝ නොවේ. මගේ පර්යේෂණය පුස්තකාලයෙන් සහ අන්තර්ජාලය හරහා ලබාගත් පර්යේෂණ පත්‍රිකා සහ මුද්‍රිත පොත් කියවීමටත්, ඒ මගින් සහ ඇන්ඩෘ වර්ත් සමග කරන සාකච්ඡා හරහා ලබා ගන්නා දැනුම මත පදනම්ව නොයෙකුත් ගණිතමය ආකෘති ගොඩ නගා ඒවායේ ඵලදායීතාව පරිගණකයක C++ ප්‍රක්‍රමණ මගින් නීර්ණය කිරීමටත් සීමාවිය.
මෙසේ කාලය වසර දෙකක් පමණ ගෙවී යාමත් සමගම මම, පළමු වසර අවසානයේ පැවති මගේ වාචික පරීක්‍ෂණය සඳහා සම්පාදනය කළ වාර්තාවත්, එවකට කෙටුම්පත් කර තිබුණු පර්යේෂණ පත්‍රිකා ද්වයත් අනුසාරයෙන් මගේ ආචාරය උපාධි නිබන්ධනය ද එහෙන් මෙහෙන් ලිවීම ඇරඹූවෙමි.
මා පරිශීලනය කළ ප්‍රකාශිත පර්යේෂණ පත්‍රිකා සම්බන්ධයෙන් මා කළ එක් නිරීක්‍ෂණයක් වූයේ ඒ පත්‍රිකා අති බහුතරයක වාර්තා වී තිබුණේ සාර්ථක වූ පර්යේෂණ සහ ඒවායේ ආකර්ෂණීය ප්‍රතිඵල ගැන පමණක් බවයි. අසාර්ථක වූ ප්‍රයත්නයන් පිළිබඳව හෝ සිත කලකිරවන ප්‍රතිඵල ගැන හෝ සඳහනක් තිබුණේ නැති තරම් ය.
ෆේලියර්ස් ආ ද පිලර්ස් ඔෆ් සක්සස් හෙවත් වැරදීම් මත සාර්ථකත්වය ගොඩ නැගේ යනුවෙන් කියමනක් මා කුඩා කළ සිටම අසා තිබුණි.
මේ ලිපිය ආරම්භයේ සඳහන් කළ ෆේස්බුක් සටහනේ පැරා උපුටා දක්වා තිබුණු අදහස වූයේ හොඳ දෙයක් සිදුවූවොත් අගනේ ය. වැරදුනහොත් එය අත්දැකීමක් වේ ය යනුවෙනි.
ඒ අදහස සරල සත්‍යයක් වුවත්, මා මගේ උපාධි පර්යේෂණයේ අධීක්‍ෂක ආචාර්ය වර්ත් සමග ඒ දිනවල තර්ක කළ පරිදි, මෙහිදී අපට ඇති ප්‍රශ්නය නම්, අපට වැරදෙන තැන අපට පුද්ගලිකව වැදගත් අත්දැකීම් වූවත්, බොහෝ විට අප ඒ වැරදුණු තැන් ගැන පර්යේෂණ පත්‍රිකා ලිවීම කෙසේ වෙතත් අඩු තරමින් අන් අයෙකු සමග පුද්ගලික මට්ටමෙන් බෙදා හදා ගැනීමක් හෝ කරන්නට පෙළඹෙන්නේ නැති හෙයින්, එකම අත්දැකීම, එනම් වැරදීම, එකම පුද්ගලයාට දෙවතාවක් නොලැබුණේ වුවද, විවිධ පුද්ගලයිනට විවිධ අවස්ථාවලදී එකම අත්දැකීම ලැබෙන්නට ඇති ඉඩේ අඩුවක් නොවෙන බවයි.
ඒ දීර්ඝ වාක්‍යයේ තේරුම වෙනත් ආකාරයකට ලියනවා නම් මෙසේය.
අප අපට වෙන වැරදීම් ගැන තොරතුරු අන් අය සමග බෙදා ගන්නවා නම්, වෙනත් අයටද අපේ වැරදීමෙන් ප්‍රයෝජනයක් ගත හැකිය.
සමාජ ජාල හරහා, බ්ලොග් හරහා මෙන්ම පුද්ගලික මට්ටමෙන් ද ජිවිතයේ සාමාන්‍ය කාරණා පිළිබඳව මෙලෙස අත්දැකීම්, උගත් පාඩම් බෙදා ගැනීමක් සිදුවුණද, පර්යේෂණ ක්‍ෂේත්‍රයේ නම් මෙය සිදු නොවේ.
වැරදෙන පර්යේෂණ ගැන විස්තර පළ කරන්නට ඉඩ ලබා දෙන ජර්නල් ගැන මා නම් අසා නැත. ඒ ආකාරයේ අත්දැකීම්, උගත් පාඩම් ඒ ඒ ගුරුකුල කණ්ඩායම් අභ්‍යන්තරයේ නම් බෙදා හදා ගන්නවා විය හැක.
-රසිකොලොජිස්ට්
(image via http://researchimpact.files.wordpress.com)