
පසුගිය මාසයේ දිනයක දෙරණ රූපවාහිනියේ ප්‍රචාරය වුණු සිංහල සිනමාව හා සම්බන්ධ සාකච්ඡාවකදී ජැක්සන් ඇන්තනි ගේ ඇඩ්‍රස් නැති වුණු බවට සමහරු කීව ද, එහි දී ඔහු තම අබා චිත්‍රපටය ගැන කී දේ අසත්‍යයැයි බැහැර කිරීමට නොහැකි බව, මා ලියා රසිකොලොජියේ පළ කළ "
ඇඩ්‍රස් නැති වුණා යැයි කියවුණු රූපවාහිනී සාකච්ඡාවේ දී ජැක්සන් කළ පැහැදිලි කිරීමේ ඇත්ත නැත්ත" නම් ලිපියේ දී මම සඳහන් කළෙමි.
නමුත්, ඒ වැඩ සටහනේ දී ජැක්සන් ඇන්තනි විසින් පාසල් විෂය නිර්දේශයේ ඉතිහාසය විෂය පිළිබඳව ප්‍රකාශ කළ බොහෝ දේ සාවද්‍ය බවත්, මේ පුද්ගලයා එම සාවද්‍ය ප්‍රකාශයම විවිධාකාරයෙන් විවිධ තැන්වල කියා දැන් එය බහුතරයක් ළමා ළපටියන් පිළිගන්නා දෙයක් බවට පත්ව ඇති බවත්, ඒ සමගම මම කෙටියෙන් කීවෙමි.
මා මේ සැරසෙන්නේ ඒ දෙවෙනි කරුණ ගැන සවිස්තරාත්මකව ලියන්නටයි.
ඉතිහාසය පාසල් විෂය නිර්දේශයෙන් ඉවත්වීම ගැන ජැක්සන් ඇන්තනි පවසන්නේ මෙවැනි අදහසකි.
"ජනතා විමුක්ති පෙරමුණ මගින් මෙහෙයවූ 1971 අප්‍රියෙල් කැරැල්ලට සහභාගී වූ වැඩි දෙනා ඉතිහාසය වැනි කලා විෂයයන් හැදෑරූ අය විය. එනිසා, පැවති රජය විසින් ඉතිහාසය විෂයය පාසල් අධ්‍යාපනයෙන් ඉවත් කර ඒ වෙනුවට සමාජ අධ්‍යයනය විෂයය හඳුන්වා දුනි. එනිසා, එතැන් සිට බිහිවුණු පරපුරෙන් ඉතිහාසය පිළිබඳ දැනුම තුරන් විය."
මෙය අර්ධ සත්‍යයක් පමණක් බවත්, කරුණු විකෘති කිරීමක් බවත්, නොමග යැවීමක් බවත්, ඒ සමගම මෙහි පරස්පර විරෝධී කරුණක් ඇතුළත් බවත් බැලු බැල්මට මට පෙනේ.
වසර 1972 ජනවාරියේ හයේ පන්තියේ සිට පාසල් විෂයය නිර්දේශය වෙනස් කිරීම 1971 අප්‍රියෙල් කැරැල්ල නිසා කළ දෙයක් යැයි කීම විහිළුවකි. එවැනි බරපතල කාර්යයක් අපේ සිරි ලංකාවේ දී මාස අටක් තුළ කළා යැයි කීම ජැක්සන් ගේ අතේ රෝලක් මිස විශ්වාස කළ හැකි යතාර්ථයක් නොවේ.
සත්‍යය නම් ඒ අධ්‍යාන ප්‍රතිසංස්කරණය 1970 මැයි මාසයේ පත් වූ සිරිමා-ඇන්ඇම්-කේනමන් සමගි පෙරමුණු සභාග ආණ්ඩුව ඇරඹූ මුල්ම වැඩ පිළිවෙළක් බවයි.
මාස අටක් තුළ සැලසුම් කර, විෂය නිර්දේශය සකසා, අඩු වශයෙන් හයේ පන්තියේ පෙළ පොත් පමණක් හෝ ලියා, ගුරු අත් පොත් සකසා, ගුරුවරුන් පුහුණු කර, 1972 ජනවාරියේ දී ඉගැන්වීම ඇරඹුණේ යැයි කීම සත්‍යයක් යැයි අදහන්නෝ සිටිත්දැයි මට සැකය.
ඒ අධ්‍යාපන සංශෝධනවලින් වූයේ, ඉතිහාසය, භූගෝලය, ප්‍රජාචාරය, ආර්ථික විද්‍යාව සහ සමාජ විද්‍යාව එකට කැටි වූ සමාජ අධ්‍යයනය විෂයය අලුතෙන් හඳුන්වා දීම පමණක් නොවේ. කලින් තිබූ අංක ගණිතය, වීජ ගණිතය, ජ්‍යාමිතිය යනාදිය වෙනුවට නව ගණිතය නමින් න්‍යාස, ජාල, සම්භාවිතාව, සංඛ්‍යානය වැනි කොටස් අඩංගු විෂයයක් ද හඳුන්වා දී තිබුණි. දැන් ඒ වෙනසට හේතුවත් 1971 අප්‍රියෙල් කැරැල්ල කියා යැයි ජැක්සන් ඇන්තනි පවසනවා ද?
එපමණක් නොවේ, රටේ සම්පත් යනුවෙන් විෂයයක් ද, ප්‍රාග් වෘත්තීය අධ්‍යයනය වැනි විෂයයන් ද අලුතෙන් හඳුන්වා දෙනු ලැබුණි. දැන් ඒ වෙනස්කම කෙරුණෙත් 1971 කැරැල්ල නිසාද?
තමන්ට අවශ්‍ය පරිදි සත්‍යය විකෘති කරමින් ජැක්සන් ඇන්තනි තර්ක ගොඩනගන බව ඉන් පැහැදිලිය.
ඊළඟ කාරණය මෙයයි.
ඒ 1971 අධ්‍යාපන සංශෝධනයට පෙර සාමාන්‍ය පෙළ විභාගය පැවතුණේ විද්‍යා, වාණිජ, කලා විෂය ධාරාවන් තුනකිනි. එනම් අද උසස් පෙළ සේ ය. ඒ විද්‍යා, වාණිජ, කලා බෙදීම කෙරුණේ අටවෙනි ශ්‍රේණියේ දී පැවැත්වුණු විභාගයක ප්‍රතිඵල මත පදනම්ව ය.
මා දන්නා පරිදි 1958 දී උපන් ජැක්සන් ඇන්තනි, සාමාන්‍ය පෙළ සඳහා යොමු වෙන්නට ඇත්තේ ඒ ආකාරයට ය. අන්තර්ජාලයේ සංසරණය වෙන වෙනත් රූපවාහිනී වැඩසටහනක වීඩියෝවක ජැක්සන් ඇන්තනි මේ ඉතිහාසය විෂයය ගැනම කතා කරමින් මමත් ඒ අධ්‍යාපන සංශෝධනයට අහුවුණු කෙනෙක් යැයි පවසන්නේ වීරවංශානුකාරයෙන් තම වයස අඩුකර පෙන්වන්නට යැයි මම නොසිතමි. ඔහු ගේ අවශ්‍යතාවය මේ ඉතිහාසය විෂයය පිළිබඳ තර්කය තවත් ශක්තිමත් කර ගැනීම මිස වෙනකක් නොවේ!
පෙර කී ආකාරයට, එකල අටේ පන්තියේ විභාගයේ ප්‍රතිඵල මත පදනම්ව නමවෙනි ශ්‍රේණියේ සිට සාමාන්‍ය පෙළ අධ්‍යාපනය හදාරන්නට පටන් ගන්නා සිසුන් අතරින් ඉතිහාසය යන විෂයය සාමාන්‍ය පෙළ සඳහා උගත්තේ කලා විෂයය ධාරාවේ සිසුන් පමණි.
විද්‍යා ධාරාවේ සිසුන්ට ඉතිහාසය, භුගෝලය, සිංහල සාහිත්‍යය යන විෂයයන් වෙනුවට ජීව විද්‍යාව, භෞතික විද්‍යාව, රසායන විද්‍යාව, ශුද්ධ ගණිතය, ව්‍යවහාරික ගණිතය, උසස් ගණිතය වැනි වෙනත් විෂයන් තිබුණි.
එසේම වාණිජ ධාරාවේ සිසුන්ට ද ගණකාධිකරණය, වාණිජ්‍යය වැනි ප්‍රධාන විෂයන් හැදෑරීමට තිබුණි.
නමුත් ජැක්සන් ඇන්තනි තර්ක කරන්නේ සෑම සිසුවෙකුටම ඉතිහාසය සාමාන්‍ය පෙළ සඳහා හැදෑරූ බවටත්, එය සහමුලින්ම අතහැර දැමුණු බවටත් සාවද්‍ය අදහසක් මේ ගැන නොදන්නා අසන්නන් ගේ සිත් තුළ ජනිත කරවන්නට බව පෙනේ.
අනෙක් කරුණ නම්, පෙරකී 1972 අධ්‍යාපන සංශෝධනවලින් පසුවත්, උසස් පෙළ ඉතිහාසය විෂය අහෝසි නොවුණි. එසේම විශ්ව විද්‍යාලවල ද, ඉතිහාසය විෂයයක් ලෙසත්, විශේෂ උපාධිය සඳහාත් ඉගෙනීමට අද දක්වා ම ඉඩ ඇති බවයි.
මා දකින ආකාරයට සිදුවූ එකම වෙනස නම්, ජැක්සන්ලා ගේ කාලයේ ශිෂ්‍ය ප්‍රජාවෙන් විද්‍යා සහ වාණිජ ධාරාව තෝරා ගැනීම නිසා ඉතිහාසයෙන් අට සමතුන් ලෙස පාසල් අධ්‍යාපනය නිම වූ සිසුන්ට, නමවෙනි සහ දහවෙනි ශ්‍රේණිවලදී ද සමාජ අධ්‍යයනය නම් පුළුල් විෂයයේ කොටසක් ලෙස තව දුරටත් ඉතිහාසය ඉගෙන ගන්නට අවස්ථාව ලැබුණු බවයි.
ඒ සමගම පැවසිය යුතු තවත් කරුණක් වෙන්නේ සමාජ අධ්‍යයනය සඳහා අප උගත් සමහර විෂය කරුණු සාමාන්‍ය පෙළ ඉතිහාසය සඳහා පනහේ දශකයේ උගත් මගේ අම්මා හෝ හැටේ දශකයේ සාමාන්‍ය පෙළ උගත් මගේ පුංචි අම්මලා දෙදෙනා ඉගෙනගෙන තිබුණේ නැති බවයි.
ජැක්සන්ට ඇඩ්‍රස් නැති වුණා යැයි පවසමින් සංසරණය කෙරුණු දෙරණ සාකච්ඡාවේ දී මෙන් ම, ඊට පෙර විවිධ රූපවාහිනී සාකච්ඡාවල දී ද, ඉතිහාසය විෂයය 1972 දී පාසල් අධ්‍යාපනයෙන් කුමන්ත්‍රණකාරීව ඉවත් කරන ලදී යනුවෙන් ජැක්සන් ඇන්තනි පැවසීම අර්ධ සත්‍යයක්, කරුණු විකෘති කිරීමක්, නොමග යැවීමක් සහ පරස්පර විරෝධී ප්‍රකාශයක් වෙන්නේ ඒ නිසා ය.
-රසිකොලොජිස්ට්
(image: captured from https://www.youtube.com/watch?v=qIAeoQBTO1k)