Sunday 30 August 2015

ඕස්ට්‍රේලියාවේ පිස්සු ප්‍රශ්නය - හිනා ගොස් පණ යෑමට ඉඩ ඇත! : What a joke!


දැන් දින කිහිපයකට පෙර මා වෙසෙන ඕස්ට්‍රේලියාවේ මහා භයානක ප්‍රශ්නයක් උද්ගත විය.

මෙය මෙරට පුවත්පත් සහ අනෙකුත් මාධ්‍යවලට අනුව අති බරපතල එකකි. ඔවුන්ට එය ප්‍රජාතන්ත්‍රවාදය නම් පර්වතය කඩා බිඳ දමන්නට හෙළන ලද කුළුගෙඩි පහරක් සේ පෙනෙනවා විය යුතුය.

නමුත් අපට නම් මෙය පළමුවෙනි ලෝකයේ ප්‍රශ්න කැටගරියේ එකකි. එනම්, හිනා ගොස් පණ යන වර්ගයේ තවත් එක් කේස් එකක් පමණකි.

මෙන්න අහගන්න.

මෙරට ප්‍රධාන දේශපාලන පක්‍ෂ ගැන මම මීට පෙර ලිපියක සඳහන් කළෙමි. අද මධ්‍යම රජයේ බලයේ සිටින්නේ ලිබරල්-නැෂනල් සන්ධානයයි.

විපක්‍ෂයේ සිටින ලේබර් පක්‍ෂයේ මූලික පදනම මෙරට කම්කරු සංගම් ය. පක්‍ෂයේ ඡන්ද වැඩ කටයුතු යනාදිය සඳහා වියදම් විශාල වශයෙන් සැපයෙන්නේ ඒ සංගම්වල අරමුදල් (මුට්ටි කාසි) හරහා ය. පක්‍ෂ නායකත්වයේ සිටි බොහෝ දෙනෙකු ද ඊට කලින් කම්කරු සංගම්වලට සම්බන්ධව සිටි අයයි.

මේ කම්කරු සංගම්වල විවිධ දුෂණ ඇති බව කියවේ. මුදල් අයථා ලෙස පරිහරණය කළ හිටපු සංගම් නිලධාරීන් කිහිප දෙනෙකු ම පසුගිය දිනවල දඬුවම් ලැබූහ.

එක් ප්‍රධාන කම්කරු සංගමයක් වන ඉදිකිරීම් සේවා සංගමයේ ද විවිධ දුෂණ සහ විෂමතා ඇතියි කියවේ. ඔවුන් ගේ වැඩකටයුතු නිසා ඕස්ට්‍රේලියාවේ සංවර්ධනයට අවැඩක් සිදුවේ යැයි යන පදනම මත ඒ දූෂණ යනාදිය ගැන සොයා බැලීමට රාජකීය කොමිසමක් ටික කලකට පෙර වත්මන් ලිබරල්-නැෂනල් රජය මගින් පත් කරන ලදී. (ඕස්ට්‍රේලියාව තවමත් 1972 ට පෙර ලංකාව මෙන් ජනරජයක් නොවන රටක් නිසා මෙහි ජනාධිපති කොමිසම් වෙනුවට පත් කෙරෙන්නේ රාජකීය කොමිසම් ය. ජනාධිපති නීතිඥයින් වෙනුවට සිටින්නේ රාජනීතිඥයෝ ය.)

පසුගිය දා පුවත්පත් ඇතුළු ජනමාධ්‍යවල පොල් ගෙඩි අකුරින් ජනතාවට හෙළි කරන ලද්දේ, ඉදිකීරීම් සේවා සංගමයේ අකටයුතු සොයා බැලීමට වත්මන් ලිබරල්-නැෂනල් සන්ධාන රජය මගින් පත්කළ පෙර කී රාජකීය කොමිසමේ සභාපතිවරයා වන හිටපු මහාධිකරණ විනිසුරු ඩයිසන් හේඩන්ට ලිබරල් පක්‍ෂයේ සම්බන්ධතාවක් තිබෙන බවයි.

ලිබරල් පක්‍ෂයට අරමුදල් සොයා ගැනීම සඳහා පැවැත්වීමට නියමිතව තිබුණු නීතිඥයින් ගේ භෝජන සංග්‍රහයක ආරාධිත දේශනය කිරීමට නියමිතව සිටියේ කොමිසමේ සභාපතිවරයා බව කියවේ.

ස්වාධීන කොමිසමක සභාපතියෙකු දේශපාලන පක්‍ෂයක් හා සබඳකම් තියා ගැනීම වරදක් බව අමුතුවෙන් කිව යුතු නැත. එවැනි සම්බන්ධකමක් තිබීම නිසා, මේ ස්වාධීන කොමිසම අදාළ දේශපාලන පක්‍ෂයේ න්‍යාය පත්‍රයකට අනුව කටයුතු කරනවා යැයි කෙරෙන චෝදනාව වැළැක්විය නොහැක!

මේ කාරණය හෙළිවෙන්නට පෙර සතියේ කොමිසමෙන් කෙරෙන විමර්ශන කටයුතු සඳහා ප්‍රශ්න කෙරුණේ කම්කරු සමිතියක හිටපු නිලධාරියෙකු වන වත්මන් කම්කරු පක්‍ෂ නායක සහ පාර්ලිමේන්තුවේ විපක්‍ෂ නායක බිල් ෂෝට්න්ගෙන් වීම විශේෂ කරුණකි.

දැන් තත්වය මෙයයි.

කොමිසම් සභාපති ගේ මේ විෂමාචාරය පිළිබඳව පැමිණිල්ලක් ඉදිරිපත් වී ඇත. හාස්‍යජනක කරුණ නම්, ඒ පැමිණිල්ල කළ යුතු වූයේ ද රාජකීය කොමසමට ම වීමයි. දැන් එය විභාග කරන්නේ ද, රාජකීය කොමිසමේ සභාපති ඩයිසන් හේඩන් විසින් ම ය.

නමුත්, ඒ සමගම, සභාපතිට, ඔහු ගේ ස්වාධීනත්වය පිළිබඳවම තීරණයක් දීමට සිදුව වී ඇති නිසා, ඒ තීරණයේ බැරෑරුම්කම තවත් වැඩි වී ඇති බව පෙනේ.

ඩයිසන් හේඩන් මහාධිකරණයේ හිටපු විනිසුරෙකි. මහාධිකරණය යනු ඕස්ට්‍රේලියාවේ ශ්‍රේෂ්ඨාධිකරණයයි. ඊට අමතරව, ඔහු සිඩ්නි විශ්ව විද්‍යාලයේ නීති පීඨයේ කලක් පීඨාධිපතිවරයා ලෙස ද සේවය කර ඇති විද්වතෙකි. මෙය ඔහු ගේ කැරැක්ටුව පිළිබඳව වූ සරල ප්‍රශ්නයක් නොව, නීතියේ ස්වාධීනත්වය පිළිබඳ බැරෑරුම් ප්‍රශ්නයකි!

කොමිසම් සභාපති හේඩන් 2015 අගෝස්තු 31 සඳුදා තම විනිශ්චය ප්‍රකාශයට පත් කිරීමට නියමිතය. මේ ගැන උනන්දුවක් ඇති ඈයෝ සිදුවන්නේ කුමක්දැයි එතෙක් බලා සිටිති.

අප නම් මේ පළමුවෙනි ලෝකයේ ප්‍රශ්නය ගැන සිනා යෑම වළක්වා ගත නොහැකිව සිටිමු!

අපේ විරුද්ධවාදීන් ගේ හොර මැරකම් සොයන්නට පත් කරන කොමිසම් සභාවලට පත් කළ යුත්තේ අපේ හිතවතුන් නොවේ නම් අපේ විරුද්ධවාදීන් ගේ හිතවතුන් ද?

-රසිකොලොජිස්ට්

(images: https://en.wikipedia.org/wiki/)

19 comments:

  1. සුද්දන්ට එන්න කියමු
    අපේ රට බලන්න කියමු
    බලාල ඉගෙනගන්න කියමු අපි..
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. සුද්දන්ට ටියුෂන් දෙමුකෝ අපි

      Delete
    2. ලෝ කේ උතුම් රට - ලංකාවයි - සිරි ලංකාවයි

      Delete
    3. කොහෙත් හොරු!
      හැබැයි තාමත් ඊට වඩා ප්‍රමාණයක් හොඳ මිනිසුන් ඉන්නවා.

      Delete
  2. Replies
    1. රූපය හරියට පේන්නේ නෑ නේද ඹ්‍රව්සර් එකේ. ඊමේලයේ නම් හරියට තියෙනවා!

      Delete
  3. හැක හැක හැක හැක හැක හැක හැක හැක හැක හැක හැක හැක හැක හැක හැක හැක හැක හැක හැක හැක හැක හැක හැක හැක හැක හැක හැක හැක හැක හැක හැක හැක හැක හැක හැක හැක හැක හැක හැක හැක හැක හැක හැක හැක

    ReplyDelete
  4. රසික මැතිඳ
    මේ ලිපිය/කරණය ඔබ දැනට ජිවත්වන ඔසීරටේ ලංකික දිව්ත්වපුර වැසියන්ට කෙසේ වේතත් ලංකාවෙන් පැමිණ ඔසී පුරවැසියන් වූ අයවත් සැලකිල්ලට ගනීද ඔබ හැර ?

    ReplyDelete
    Replies
    1. මේ කරුණු ගැන උනන්දු වෙන අය ඉන්නවා.

      ඒ සමගම රටේ ලෝකේ වෙන කිසිම දෙයක් නොදන්නා, මෙරට ඉපදුණු සහ මෙරර සංක්‍රමණය කළ අයත් ඉන්නවා.

      එක් එක් පුද්ගලයින් කොයි ලෙස ප්‍රතිචාර දැක්වූවත්, නීතී රීති සම්පාදනය වී තියෙන ආකාරය සහ ඒවා ක්‍රියාත්මක වෙන ආකාරයයි වැදගත්.

      Delete
  5. ප්‍රිය බොස්, මෙය කියවා හිනා ගොස් පණ ගිය බැවින් අද දිනයේ නිවාඩු අනුමත කරන මෙන් ඉල්ලමි.

    - ප්‍රිය සේවක

    ReplyDelete
  6. ලංකාවේ අල්ලස් කොමිසමේ ලොක්කාත් ඔහුට විරුද්ධව නැගුන චෝදනාව ඔහු විසින්ම විභාගකර ඔහුනිවැරදිකරුවෙක් බව කියා ඇත.

    ReplyDelete
    Replies
    1. විනිශ්චටකරුවන් ගේ රැකියාව විනිශ්චය දෙන එකයි නේ!

      Delete
  7. එකපාරට තේරුනේ වත් නෑ කෑල්ලෙන් කෑල්ල දෙවෙනි පාර කියවලා තමයි මොකක්ද කියන්නේ කියල හොයා ගත්තේ.... එතරම් අපිනම් ඉස්සරහින්.. :)

    ReplyDelete
    Replies
    1. සභාපති ගෙදර යන්න හේතුවක් නෑ කියලා ඔහුම තීරණය කරලා!
      http://www.abc.net.au/news/2015-08-31/dyson-heydon-rules-to-stay-on-as-royal-commissioner/6737614

      Delete

ඔබේ ප්‍රතිචාරය මට සතුටකි!. Your comments are most welcome!
සංයමයෙන් යුතුව ප්‍රතිචාර දක්වන්න.