Monday 30 May 2016

එරික්සන් සිට සැම්සුන් දක්වා කථාවේ ඇරඹුම (පුද්ගලිකයි නමුත් රහසිගත නැත)! - Ericson to Samsung


මා මුලින් ම ජංගම දුරකථනයක් මිලට ගත්තේ 1998 වසරේ නොවැම්බර් මාසයේ දී ය. ඒ හුදෙක් ආශාවට කළ මිල දී ගැනීමක් නොව ඇත්තට ම අවශ්‍යතාව නිසා කළ එකකි.

එවකට මෙල්බර්න් මහ නගරයේ තදාසන්න ප්‍රදේශයක පදිංචිව සිටි අපි, ඒ වසරේ දෙසැම්බර් මාසයේ සතියක පමණ කාලයක් ඕස්ටේ‍ර්ලියාවේ අග නගරය වන කැන්බරා නුවර සහ සිනුවර හෙවත් සිඩ්නි නගරය දැක බලා සිරි නැරඹීමේ චාරිකාවක් සැලසුම් කළෙමු.

ලංකාවේ සිට සංක්‍රමණය කළ දිනයේ පටන් සෑම සති දෙකකටම වරක් බැගින් බිරිඳත්, මාත් දෙදෙනාම, ලංකාවේ සිටින දෙමව්පියන් ගේ සහ ඥාතීන් ගේ සුව දුක් විමසීමට දුරකථනයෙන් කතා කරන්නට පුරුදු වී සිටියෙමු. මා ගිය සතියේ ලියා පළ කළ ලිපියේ සඳහන් වූ පරිදි, මගේ දෙමව්පියන් ගේ නිවසේ ඒ වන විටත් දුරකථන පහසුකම නොතිබුණු නිසා, මා නම් කතා කළේ මගේ සොහොයුරා ගේ කාර්යාලයටයි.

කැන්බරා හරහා සිඩ්නි චාරිකාව සම්බන්ධයෙන් අපට ඇති වූ එක් ගැටලුවක් නම්, නිවසෙන් බැහැරව සිටින ඒ සතියක කාලයේ දී, අප ලංකාවට දුරකථන ඇමතුම් දෙන්නේ කෙසේද යන්න ම නොව, ලංකාවෙන් අපට හදිසි ආරංචියක් දෙන්නට අවශ්‍ය වුවහොත්, ඔවුන් අපව සම්බන්ධ කර ගන්නේ කෙසේ ද යන්නයි.

ඒ සඳහා ඇති හොඳම නම්, අප ජංගම දුරකථනයක් ලබා ගෙන, නිවසේ දුරකථනයට ලැබෙන ඇමතුම් එහි අංකයට තාවකාලිකව හැරවීම බව මට වැටහුණි.

ඒ සමගම කිලෝමීටර් දෙහසක් පමණ වූ මේ චාරිකාවේ දී, අප ගමන් ගන්නා මෝටර් රථයට ආපදාවක් වුණහොත් පිහිටාධාර ලබා ගැනීම සඳහා පහසු සන්නිවේදන ක්‍රමයක් ද අපට අවශ්‍ය වුණි.

මේ කරුණු සලකා මම මගේ මුල්ම ජංගම දුරකථනය මිලට ගැනීමට සැරසුණෙමි.

දිනවල, ඕස්ටේ‍ර්ලියාවේ ජංගම දුරකථන ජාලා දෙකක් (ටෙල්ස්ට්‍රා සහ ඔප්ටස්) තිබුණු අතර, ඒ සමාගම් දෙකෙන් ම ජංගම දුරකථනයක් සහ සම්බන්ධතාවක් ලබා ගැනීමේ ක්‍රම දෙකක් විය.

එක් ක්‍රමයක් වූයේ පෙර ගෙවීම් ක්‍රමය හෙවත් දුරකථනය සමාගමෙන් ඔවුන් නියම කර ඇති මුදල ගෙවා මිලට ගෙන, තමන් දුරකථන සේවාව භාවිතා කරන ප්‍රමාණයට අඩු වී යන පරිදි එහි ගිණුමට නිතිපතා මුදල් බැර කිරීමයි. එසේත් නැති නම් රී-ලෝඩ් කිරීමයි. සමාගම් දෙකේ ම මේ ක්‍රමය යටතේ අදාළ මිල ගෙවා හිමිකර ගත හැකි ජංගම දුරකථන කිහිපයක් බැගින් තිබුණි. මේ දුරකථන සෑමෙකක් ම අදාළ සමාගමේ ජාලය හරහා පමණක් භාවිතා කළ හැකි පරිදි සකසා තිබුණු අතර, එනිසා ම ඒවායේ මිල නිෂ්පාදන මිලට වඩා අඩු විය. ඒ සමගම, ඒ කාලයේ වුව ද තත්වයෙන් ඉහළ, මිලෙන් වැඩි, ජංගම දුරකථන මේ ක්‍රමය යටතේ හිමි කර ගත හැකි නොවුණු බව ද කිව යුතු ය.

දෙවැනි ක්‍රමය වූයේ, මාසික සැලසුමකට අනුව මුදල් ගෙවීමට දුරකථන සමාගමක් හා නිශ්චිත කාලයකට ගිවිසුමකට බැඳී ඒ සමග දුරකථනයක් හිමිකර ගැනීමයි. මේ ක්‍රමය යටතේ හිමි කර ගත හැකි දුරකථන හැමෙකක් ම ඉහළ ප්‍රමිතියේ ඒවා වු අතර අදාළ ගිවිසුම බොහෝ විට වසර එකහමාරක් හෝ දෙකක් සඳහා විය.

ලංකාවේ ජංගම දුරකථන භාවිතා කරන්නන්ගෙන් අති බහුතරයක් දෙනා අනුගමනය කරන ක්‍රමය වන දුරකථනය සම්පුර්ණ මුදලම ගෙවා මිලට ගැනීමේ ක්‍රමයක් ඒ දිනවල ජනප්‍රියව නොතිබුණි. එසේ කිරීම අද ද ඕස්ටේ‍ර්ලියාවේ දී නම් බොහෝ විට ලාභදායී ක්‍රමයක් නොවේ.

ඩොලර් සීයයක පමණ මුදලක් ගෙවා, මා මුලින් ම මිලට ගත්තේ සාමාන්‍යයෙන් ගඩොල් කාලක් පමණ ප්‍රමාණයේ වූ, කුඩා නමුත් ස්ථිරව සවි කෙරුණු ඇන්ටෙනාවකින් ද, එක පේළියේ දර්ශන තිරයකින් ද, මුහුණත පුරාම විහිදුණු යතුරු පුවරුවකින් ද යුතු එරික්සන් දුරකථනයකි. මෙය සෝනි එරික්සන් නොවේ. මේ ඊට පෙර කාලයයි. අවශ්‍ය නම් වෙනස් කළ හැකි, වර්ණ තුනක මුහුණත් තහඩු ද ඒ සමගම ලැබුණි.

මේ දුරකථනය හිමිකර ගැනීම සඳහා මට මාසිකව ඩොලර් විස්සක් බැගින් ගෙවීමට මාස දහ අටක ගිවිසුමක් අත්සන් කිරීමට සිදු වූ අතර, ඒ මුදලින් මට මසකට ඩොලර් දහයක වටිනාකම ඇති ඇමතුම් ලබා ගත හැකි විය. ඒ ප්‍රමාණය පසු කළ පසු මා ලබා ගන්නා ඇමතුම් සඳහා අමතර මුදල් ගෙවිය යුතු විය.

මේ දිනවල, ජංගම දුරකථන සම්බන්ධතාවක් ලබා ගැනීමට මූලික ගාස්තුවක් ලෙස ඩොලර් හැටක් පමණ ගෙවිය යුතු වූ අතර, සමහර සති අන්තයන් හි දී, වෙළඳ උපක්‍රමයක් ලෙස මේ ගාස්තුව අය නොකරන ලදී. මා එරික්සන් ජංගමය ලබා ගත්තේ එවැනි සති අන්තයක දී ය.

මාස දහ අටේ ගිවිසුම් කාලය ගෙවී, තවත් වසරක් පමණ ගත වූ පසු, භාවිතයේදී සිදුවුණු අත් වැරදීම්, බීම වැටීම් යනාදිය නිසා එහි අත්‍යාවශ්‍ය කොටසක් වුණු කුඩා නමුත් ස්ථීර ඇන්ටෙනාව කැඩී යන තුරුම මම ඒ එරික්සන් දුරකථනය භාවිතා කළෙමි.

භාවිතා කළා ය කීවාට නිවසෙන් පිටත යන විට සාක්කුවේ දමා ගෙන ගියෙමි. නියමිත ඩොලර් දහයේ ප්‍රමාණය ඉක්මවා ගොස් මට ඔප්ටස් සමාගමට අමතර මුදල් ගෙවන්නට සිදුවුණේ ඉතා කලාතුරකිනි. ඉන්ටර්නෙට් පහසුකම් තියා කෙටි පණිවිඩ සේවාව පවා නොතිබුණු ඒ යුගයේ ජංගම දුරකථනයකින් කළ හැකි එකම කර්තව්‍යය වූයේ තවෙකෙකුට කතා කිරීම පමණි! පුදුමයි නේද?

එරික්සන් ජංගම දුරකථනයේ ඇන්ටෙනාව බිඳී ගිය පසු වුව ද, එයට පේපර් ක්ලිපයක් ඈඳු විට දුරකථනයට හොඳින් සංඥා ලැබුණු නමුත් ඒ වන විට මගේ සිත හුරුබුහිටි නෝකියාවකට බැඳී ගොස් තිබුණි.

-රසිකොලොජිස්ට්

(image: http://www.mobot.net/mobile-phone-stories)

28 comments:

  1. රසිකගේ ටෙලිපෝන් ගැන අහල මට නං දැං තිත්ත වෙලා තියෙන්නේ.. හැක්

    අලුත් ආදර අන්දරය මොකක්ද?? සම්සං ද?

    ReplyDelete
  2. ඔය එරික්සන් එකේ කීබෝඩ් එක වහන්න පියනක් තිබ්බ ඇන‍ෙලොග් එක මාත් පාවිච්චි කරල තියෙනව.

    ReplyDelete
    Replies
    1. ඒ මේ මොඩලය වෙන්න බෑ. මේකේ පියනක් නෑ.

      Delete
  3. ඉතින් අපට පාන්ද? ඇයි දැන් ඔයා ඕක අපට කියන්නේ ඒ කලේ ෆොන් එකක් තිබ්බ එකම මිනිහමත් ඔහොම නැතුව ඇති

    ReplyDelete
    Replies
    1. මා මේ කරන්නේ මගේ මොබයිල් ෆෝන් ඉතිහාසය ලිවීමයි. එය මට වැදගත් දෙයකි. ඔබට වැදගත් නැති විය හැක.

      එසේ නම් ස්තුතියි පසුව එන්න.

      Delete
  4. මම නම් කවදාවත් සෙල්ටෙල් එකක් පාවිච්චි කරලා නෑ පුතා. දරුවන්ට පාවිච්චි කරන්න දුන්නෙත් නෑ. ඕවායින් තමයි ළමයි නරක් වෙන්නෙ. සිංහල බෞද්ධකම නැති වෙන්නෙ. ඔය කොරියාවෙ ඉන්නා අපේ රුචිර ජාතිකවාදී පුතා තවමත් සෙල්ටෙල් එකක් පාවිච්චි කරන්නේ නෑ. ඕස්ට්‍රේලියාව වගේ තුප්පහි රට වලට ඕවා ඕනෑ වුණාට අපට නම් ඕනෑම නෑ.

    මීට, කුමාර දිප්පිටිය මයා
    ගරු ලේකම්,
    තරුණ බෞද්ධ සංගමය,
    කොතලාවලපුර
    රත්මලාන.

    ReplyDelete
    Replies
    1. තුප්පහි කියන්නේ භාෂා පරිවර්තක සේවය කියායි මා අසා තියෙන්නේ.

      Delete
  5. 98 ගත්ත මගේ මුල්ම ෆෝන් එක Motorola D460, Dialog සිම් එකක් එක්ක

    ReplyDelete
    Replies
    1. හලෝ මොටෝ යැයි කෑ ගහන මෝටරෝලා එකක් පසු කලෙක අපේ ගෙදර තිබුණා.

      Delete
  6. මම 2002 දී Rs12,000 කට Nokia 1100 දුරකතනයක් පාවිච්චි කලා. ඒ කාලේ එම මුදල මගේ මාස තුනක වැටුපට සමාන විය​. අද Apple i6 දුරකතනයක මිල මෙන් කිහිප ගුනයක මාසික වැටුපක් ලැබුනත් ජන්ගම දුරකතනයක් පාවිච්චි නොකරන අතර ජන්ගම දුරකතනයක් ගැනීමට ආශාවක්ද නැත​.

    ReplyDelete
    Replies
    1. ඇතිවත් බැරි, නැතිවත් බැරි ජංගම දුරකථනය!

      Delete
  7. //ඒ හුදෙක් ආශාවට කළ මිල දී ගැනීමක් මිස ඇත්තට ම අවශ්‍යතාව නිසා කළ එකකි.// ඔල්මොරොන්දම් වෙන වාක්‍ය කියන්නේ මෙන්න මේවට තමා රසික! :D

    ReplyDelete
    Replies
    1. එතන නො යන්නක් නැතිවම නොකියා වෙලා. ආශාවද, අවශ්‍යතාවයද කියලා හිතාගත්තේ පස්සේ. නොකියාම එදා ඇසල මසේ.....

      Delete
    2. අඩු වශයෙන් එක් අයෙකු හෝ මගේ මේ හෑල්ල කියවා ඇති බව දැණ ගැනීමට ලැබීම සතුටකි!

      ස්තුතියි රයිගම් - නිවැරදි කරන්නම්!

      Delete
  8. එරික්සන් ෆෝන් හරි හොඳයි. ඒකෙ බෝඩ් එක හොඳයි. සෝනි- එරික්සන් කියන්නේ හොඳම කොම්පැනි දෙකක් එකතු වෙලා හදපු හොඳම දුරකථන මාලාවක්. නොකියාත් හැබැයි ඒ වගේම තමා. මගේ නම් වැඩි හරියක් ජංගම දුරකථන ඉතිහාසය නොකියා. එකම පාරක් සෝනි එරික්සන් එකකට ගියත්, ආපහු කැරකිලා නොකියා එකකටම ආවා. අදටත් මම නොකියා.

    ReplyDelete
    Replies
    1. "ඇයි ඉතිං නොකියාම ගත්තේ?"
      ඇයි ඉතිං කලින් නොකීවේ?"
      කමක් නෑ පස්සේ හරි මතක් කළා නේ!"
      http://rasikalogy.blogspot.com/2016/05/dont-worry-about-reading.html

      Delete
  9. එරික්සන් ෆොන් හරි ශෝක්.. මාත් පාවිච්චි කරලා දැන් සිහිවටනයක් විදිහට තියාගෙන ඉන්නවා..

    ඒකාලේ එක්ක බලනකොට දැන් ෆෝන් එක කොහොමද??

    ReplyDelete
    Replies
    1. දැන් ඒවා බිම වැටුනොත් විනාසා ය!
      ඇයි හරි ස්මාර්ට්නේ.

      Delete
    2. මගේ ස්මාර්ට් phone එක නම් එකසිය ගානට බිම වැටෙනවා, මුකුත් උනෙ නම් නැ, හිනී protective cover එකක් නම් දාල තියනවා. :) :)

      Delete
  10. අතීතය මේ තරම් ළඟද කියල හිතෙන්නැද්ද?
    අවුරුදු 15ක් පරණ මොබයිල් ෆෝන් දැන් දකින්නත් නෑ.

    ReplyDelete
    Replies
    1. කම්පිටුටර් කතා ඔයිට එහා. හෙට අද වෙලා, අද ඊයේ වෙන්නේ එකසිය ගානට වේගයෙන්.

      Delete
  11. මට මුලින්ම ෆෝන් එකක් ලැබුනේ 2004දී. ඕලෙවල් පාස් උනාම. ඒකත් සැම්සුන්ග් එකක්. ඊට පස්සේ මම ජොබක් කරලා ෆෝන් එකක් ගත්තේ 2011 වගේ.

    ReplyDelete
    Replies
    1. මට ඕලෙවල් පාස් වුනාම තෑග්ගට ලැබුණේ තේ බොන මග් එකක්.

      තාම දහයේ පන්තියේ ඉන්න මගේ පුතාට ෆෝන් එකක් ලැබුණේ හතේ පන්තියේ මැද එයාගේ දොළොස් වෙනි උපන් දිනයටයි.

      කාලය මැවු වෙනසක අරුමය!

      Delete
  12. ඉක්මනින්ම VR හා google glass වැනි උපාංඟ වෙළඳ පලට ඇවිත් ජංඟම දුරකතන නැත්තටම වෙලා යයි.

    ReplyDelete
  13. ඉක්මනින්ම VR හා google glass වැනි උපාංඟ වෙළඳ පලට ඇවිත් ජංඟම දුරකතන නැත්තටම වෙලා යයි.

    ReplyDelete
  14. අපි එන කාලේ තිබ්බ රසික කියන මාසෙකට නියමත ගානක ගෙවල අවුරුදු දෙකක ගිවිසුමකට තමයි මං මුලින්ම samsung galaxy එකක් ගත්තේ 2012.. මතක විදිහට මාසෙකට $ 19ක් ..ඒක තාම වැඩ අම්මා ලඟ.

    ReplyDelete

ඔබේ ප්‍රතිචාරය මට සතුටකි!. Your comments are most welcome!
සංයමයෙන් යුතුව ප්‍රතිචාර දක්වන්න.