
පසුගිය දිනක රාත්‍රියේ ලංකාවෙන් ලැබුණු පණිවිඩයක් නිසා, අතීත කතාවක් සිහියට ආවේය. වහාම මේ සටහන ලියන්නට සිතුණේ එය රසිකොලොජිය හරහා බෙදා හදා ගන්නටයි.
උතුරු අර්ධගෝලයේ වූව ද ඇත්තටම සමකයට යාන්තම් ඉහළින් පිහිටි ලංකාවට මෙන් නොව, පෘථිවියේ දකුණු අර්ධගෝලයේ උඩින් පටන් ගෙන යටට විහිදී යන මහාද්වීපයක් වූ ඕස්ටේර්ලියාවේ මා වෙසෙන නිව් සවුත් වේල්ස ප්‍රාන්තයට සෘතු වෙනස තරමක් දුරට බලපායි. හිම ඇද වැටෙන, උෂ්ණත්වය සෘණ අගයන් ගන්නා යුරෝපියානු දරුණු වින්ටරයක් නැතත්, අපට ද ශීත කාලයක් තිබේ.
ඒ ශීත කාලය පසු කර අප මේ එළැඹ ඇත්තේ මල් පිපෙන, ගෙඩි හැදෙන, වසන්ත සමයටයි. සූර්යයා අපට වඩාත් ළංවෙමින් පවතින අතර, හිරු පායා ඇති දිවා කාලය, හිරු නොමැති රාත්‍රී කාලයට වඩා ක්‍රමයෙන් වැඩි වෙමින් පවතී.
මේ කාලගුණ විපර්යාසයන් ඕස්ටේර්ලියාවේ විවිධ ප්‍රදේශවලට බලපාන්නේ එකම ආකාරයට නොවේ. උදාහරණයක් ලෙස මේ මහාද්වීපයේ උතුරු දෙසින් ඇති ඩාර්වින් නගරයට වින්ටරයක් කියා වෙනසක් ඇති නොවේ. රාත්‍රී කාලය මදක් සිසිල් වුවද, අවුරුද්දේ වැඩි දවසක උෂ්ණත්වය අංශක තිහට ඉහළින් පවතී.
දේශගුණික වෙනස්කම්වලට ඉඩ සලසමින් ඕස්ටේර්ලියානු මහාද්වීපය උතුරේ සිට දකුණට විහිදී ඇතුවා මෙන් ම, බටහිර සිට නැගෙනහිරට ද විශාල ප්‍රදේශයක පැතිර ඇති නිසා, ඉර උදාවෙන වේලාවන් හි වෙනස අනුව රටේ සම්මත වේලාවන් කිහිපයක් ද පවතී.
මේ දිනවල ලංකාව සහ මා වෙසෙන සිඩ්නි නගරය අගනුවර වූ නිව් සවුත් වේල්සය අතර හෝරා වෙනස පැය හතරහමාරක් වේ. එනම්, ලංකාවේ වේලාවෙන් උදෑසන හයට කියවන්නට හැකිවෙන පරිදි මගේ ලිපි මා රසිකොලොජියේ පළ කරන්නේ සිඩ්නි වේලාවෙන් උදේ දහය හමාරට ය.
තව සතියකින් පමණ අපේ වේලාව පැයකින් ඉදිරියට දැමීමට නියමිතයි. එවිට අප එළැඹෙන්නේ ගිම්හාන (සමර්) වේලාවටයි. එතැන් සිට මාස හයක් පමණ ගොස් නැවත වෙනස් කරනතුරු, ලංකාව හා සිඩ්නි අතර හෝරා වෙනස පැය පහමාරක් වෙනු ඇත. ඒ ගිම්හාන කාල සීමාවේ දී, මා රසිකොලොජියේ ලිපි උදෑසන හයට ස්වයංක්‍රී්‍රයව පළවීමට සැකසිය යුත්තේ සිඩ්නි නගරයේ වේලාවෙන් උදෑසන එකොළහමාරට ය.
මා මුලින් සඳහන් කළ පරිදි, මේ ලිපිය ලියන්නට තුඩු දුන්, මට පසුගිය දිනක ලංකාවෙන් ලැබුණු පණිවිඩය පිළිබඳ කතාව මෙසේය.
මට ෆේස්බුක් හරහා පණිවිඩයක් එවු තරමක් දන්නා හඳුනන අයෙකු මා හා කතා බස් කිරීමට අවශ්‍ය බව කීවේය. මට මෙවනි ඉල්ලීම් විටින් විට ලැබෙන නිසා, ඒ අනුව යමින් මම එය ඒ පුද්ගලයා ගේ සංක්‍රමණ, අධ්‍යාපන හෝ රැකියා කටයුත්තක් සම්බන්ධයෙන් විය යුතු යැයි සිතුවෙමි.
මම වහාම ඔහු ගේ දුරකථන අංකය ඉල්ලා පිළිතුරක් යවමින් පැවසුවේ, මා ඔහු අමතන්නම් කියායි.
එයට පිළිතුරු ලෙස මට ලැබුණු පණිවිඩයෙන් කියවුණේ රාත්‍රී නමයයි තිහෙන් පසු කතා කරන ලෙසයි.
එනම්, මා ඔහු ඇමතිය යුත්තේ මගේ වේලාවෙන් පාන්දර දෙකට ය!
මෙය සාමාන්‍යයෙන් සිදුවෙන වරදවා ගැනීමකි.
දිගු කාලයක් තිස්සේ මා දුරකථනයෙන් කතා බස් කරන ලංකාවේ ඥාතීන්, හිත මිතුරන් පවා, විටින් විට දැන් ඔහේ වෙලාව කීයදැයි මගෙන් අසති. දැන් එකොළහට ළඟයි වැනි පිළිතුරක් දුන හොත්, ඊළගට ඔවුන් අසන්නේ දවල් ද රෑ ද කියා ය. කාලය වෙනස් බව දැන සිටියද, ඒ ඉදිරියට ද, පසුපසට ද කියා හැඟීමක් වැඩි දෙනෙකුට නැත.
මා ලංකාවේ හිතවතාට දන්වා හැරියේ මගේ වේලාවෙන් අලුයම දෙකේ කනිසමට ඔහුට කතා කිරීමට මට නොහැකි බවයි. පසුව දෙදෙනාටම පහසු හෝරාවක අපි කතා බහ කළෙමු.
ලංකාවෙන් ලැබුණු ඒ පණිවිඩය නිසා, මගේ සිහියට ආ අතීත කතාව මෙසේය.
මා ලංකාවේ කලකට පෙර සේවය කළ ආයතනයේ ම සේවය කළ ජ්‍යෙෂ්ඨ සගයෙකු, ඔහු දන්නා හඳුනන පුද්ගලයෙකුට ඇමරිකා එක්සත් ජනපදයේ පශ්චාත් උපාධියක් හැදෑරීම සඳහා යාමට ආයතනයෙන් පඩි සහිත නිවාඩු අනුමත කර ගැනීම සඳහා අවශ්‍ය වූ බැඳුම්කරයකට අත්සන් කර ඇත.
දැන් පශ්චාත් උපාධිය අවසාන මුත්, මේ පුද්ගලයා ආපසු නො ඒමට තීරණය කර ඇති නිසා, ඒ ගැන ආයතනයෙන් ක්‍රියා කිරීමට පෙර බැඳුම්කරයෙන් නිදහස් වීමට ඔහුට අවශ්‍ය වී ඇත.
මේ ගැන කතාබස් කිරීමට ඇමරිකාවේ සිටින පුද්ගලයා මගේ ජ්‍යෙෂ්ඨ වෘත්තීය සගයා ගේ නිවසට දුරකථනයෙන් අමතා ඇත්තේ සැන්දෑ යාමයේය. ඒ ජංගම දුරකථන බහුලව නොතිබුණු දශක දෙකකට පමණ පෙර කාලයයි.
ඔහු නිවසට පැමිණෙන්නේ තව හෝරා කීපයකින් බවත්, ඉන් පසු නැවත අමතන ලෙසත් මගේ ජ්‍යෙෂ්ඨ සගයා ගේ බිරිඳ ඇමරිකාවේ සිටින පුද්ගලයාට පවසා ඇත.
එයට එකී පුද්ගලයා ගේ ක්‍ෂණික ප්‍රතිචාරය වී ඇත්තේ, අපොයි ඒ වෙලාවට නම් කෝල් කරන්න බෑ මං යුනිවසිටියේ කියායි. නැවතත්, මේ ජංගම දුරකථන බහුල නොවූ, රටකින් රටකට කතා කිරීම තරමක් අසීරු වූ කාලයයි. රාජකාරී දුරකථනයකින් පුද්ගලික කරුණක් සඳහා රටකින් රටකට කතා කරන පහසුකම අදත් ඇත්තේ කීයෙන් කී දෙනෙකුට ද?
මේ කතාව මට පැවසූ මගේ ජ්‍යෙෂ්ඨ සගයා කියා සිටියේ රටවල් දෙකක් අතර හෝරා වෙනස ගැන අවබෝධයක් ඇතිමුත්, දෙදෙනාටම පහසු වේලාවක් සඳහා කාලය, ක්‍රමය සහ අවශ්‍ය වියදම සොයාගත යුත්තේ සාකච්ඡාව සඳහා අවශ්‍යතාවය ඇති පුද්ගලයා බවයි!
-රසිකොලොජිස්ට්
ප/ලි:
මේ 2015 සැප්තැම්බරයේ සාහිත්‍ය මාසය වෙනුවෙන් පළවෙන ලිපියක් නොවේ.
සාහිත්‍ය මාසය වෙනුවෙන් මේ දක්වා ලියවුණු ලිපි මේවා ය.
1. කුරුලු හදවතේ හිලක් - Hole in the heart
2. කතෘ අත්සන් කළ පොත් ඔබ ළඟ තිබේද? - Autographed books
3. අහවල් පොත ලිවීම සහ පොත පෙරළීම පිළිිබඳ මගේ කතාව - Such is Life
4. අටේ පන්තියේ ළමයා ලියූ පොත් පිංච - Write a book, make a child and plant a tree!
5. වෙන්ඩ බ්ලොග්කරුවෙකු විසින් හස්තද්වාරයෙන් පළ කළ පොත් - Sweet eighteen....!!!
6. ස්වයං ඝාතක පොත් පිට කවර නිර්මාණය - You may judge these books by their covers...!!!
7. ඕස්ට්‍රේලියානු සිංහල බ්ලොග්කරුවෝ - Sinhala bloggers domiciled in Australia
8. ආගන්තුක චමත්කාරය යනු කුමක්ද නොහොත් හෙන්රි වර්ණකුලසූරිය ගේ විල්ලරවාඩිය - Henry Warnakulasuriya's Villarawadiya
9. W3Lanka අජිත් පැරකුම් ජයසිංහ ගේ "ශාස්තෲ" නවකතාව ගැන පසුවදනක් - HBD2U APJ
(image: http://geography.about.com/od/culturalgeography/a/offsettimezones.htm)