Monday 15 May 2017

දද, දද, දද, දද, දද - Homonyms or synonyms?


මේ සටහනේ අන්තර්ගත කාරණය මගේ සිහියට ආවේ, ඊයේ මා ලියා පළ කළ, "මිසිස් පෙරේරා සහ මිසිස් සිල්වා" ගේ විහිළු කතාවේ ආ, කලවානේ ආච්චී එකතු කර තිබුණු පැරණි රසවාහිනී නම් සඟරාව ගැන ලියද්දී ය.

නවකතා, කෙටිකතා පොත් ඇය සතුව නොතිබුණ ද, ආච්චී ළඟ තිබුණු එක්තරා කුඩා පොතක් මා එකල ආශාවෙන් කියවීමි.

එහි නම වූයේ "ප්‍රහේලිකා ජය මග" යන්නයි.

ඒ පොතේ ඇතුළත් වූයේ සිංහල වචන සඳහා ඇති විවිධ සමාන වචන එකතුවකි. වෙනත් වචනයකින් කිව හොත් එය එක්තරා ආකාරයක සිංහල-සිංහල ශබ්දකෝෂයකි.

සම්පූර්ණ ලයිස්තු දැන් කිසිසේත් ම මගේ මතකයේ නොමැති වුවත්, එහි වූ වචන ලයිස්තුවේ, සූර්යයා හෙවත් හිරු සඳහා දිනමිණ, දිනකර වැනි සමාන වචන ද, සඳ සඳහා චන්ද්‍ර, තාරපති, සිසි, තරිඳු වැනි සමාන වචන ද, නෙළුම් මල සඳහා තඹර, සියපත වැනි සමාන වචන ද, බුදුන් සඳහා සමාන වචන දුසිමක් පමණ ද වූ බව මට අද සිහිකර ගත හැක.

ඒ සමාන වචන ලයිස්තුව අතරින් වඩාත්ම ආකර්ෂණීය වචනය වූයේ "දද" යන්නයි.

සාමාන්‍යයෙන් අප "දද" යනුවෙන් දන්නේ කුඩා කාලයේ අප කාටත් වැළඳී තිබුණාට සැක නැති ඒ චර්ම රෝග විශේෂයයි.

ඊට අමතරව-
  • දද යනු මෝඩ, අමන යන තේරුම දෙයි.
  • දද යනු බමුණාට හෙවත් බ්‍රාහ්මණයාට යෙදෙන තවත් නමකි.
  • දද කියා කුරුල්ලාට හෙවත් පක්‍ෂියාට කියත හැකියි ලු.
  • දද යන්නෙන් කොඩිය යන අදහස ද ගෙන දේ. මින් දද කියා මල්සරාට කියන්නේ උගේ කොඩියේ මාළුවෙකු ඇති නිසා ලු!
  • ඒ සියලු තේරුම් මදිවාට දෝ දත සඳහා ද දද යැයි කියත හැකි බව කියවුණි.
ආච්චී ගේ ප්‍රහේලිකා ජය මග පොතේ තිබූ වෙනත් සමාන වචන ලයිස්තු කෙසේ වෙතත්, දද යන වචනයේ තේරුම් හෙවත් සමාන වචන රාශියක් තවමත් මගේ මතකයේ රැඳී ඇත්තේ, ඒ පොත කියවූ දිනවල මා "දදක් ඇති, දද, දදෙක්, දදක් ගෙන යන විට...." යනාදී වශයෙන් දද යන වචනයේ සියලුම තේරුම් කැටිවෙන පරිදි එක් වාක්‍යයක් රචනා කරන්නට ගත් උත්සාහය නිසා යැයි සිතමි.

ආච්චී වර්ෂ 1993 ජනවාරියේ දී මිය පරලොව ගියා ය.

ඇය සහ ආතා වාසය කළ කලවානේ නිවස දැන් විකිණී ගොස්, කැඩී ගොස්, නිවස ඉදිරිපිට තිබුණු මානෙල් මල් විල ද, කෙසෙල් පාත්ති ද, ගෙවතු ද විනාශ වී ගොස් ඒ බිමේ පින්බර හාඩ්වෙයාර් කඩයක් පහළවී ඇති බව ගූගල් මග සලකුණු අනුසාරයෙන් මා දැන ගත්තෙමි!

-රසිකොලොජිස්ට්

(image: Google street view)

12 comments:

  1. සමහරක් ඈයො කියනව රසිකොලොගියත් එහෙම පිටින්ම දදයක්, කුෂ්ටයක්, වනයක් කියල

    ReplyDelete
    Replies
    1. හැක, හැක!

      ලියන්නේත් දද දදෙක් නේ.

      Delete
  2. හාඩ්වෙයාර් කඩේ හදන වෙලාවෙ ප්‍රහේලිකා ජය මගට මොකක් වුනාද දන්නෑ, අපරාදේ

    ReplyDelete
    Replies
    1. ඒ පොත ගැන නම් විශේෂයෙන් දන්නේ නෑ. හැබැයි ගෙදර අස් කරගෙන නේ විකුණන්න ඇත්තේ. සමහර පොත් බේරා ගන්න ඇති. මේවා මං හිතන්නේ 50 දශකයේ පොත්.

      Delete
  3. ජය දද නංවමු..

    ReplyDelete
  4. Buffalo buffalo Buffalo buffalo buffalo buffalo Buffalo buffalo

    ReplyDelete
  5. මේ වගේ පොතක් මා ලගත් තිබ්බා මතකයි. භාෂා දැනුම නමින් පොතකුත් මතකයි.

    ReplyDelete
    Replies
    1. ඉංග්ලිෂ් තිසෝරස් පොත් තිබුණාට මෙවැනි සිංහල පොතක් මා ඉන් පසු දැක නෑ!

      Delete
  6. රස වෑහුණු රසවාහිණිය මතකයි තාමත්. චන්දෝ මා බිලින්දේ පදවැල ඉස්සෙල්ලාම දුටුවේ රසවාහිණියෙන්. ඒක මහ දිග කවි කතාවක චූටි කෑල්ලක් විතරයි

    ReplyDelete

ඔබේ ප්‍රතිචාරය මට සතුටකි!. Your comments are most welcome!
සංයමයෙන් යුතුව ප්‍රතිචාර දක්වන්න.