Thursday 11 May 2017

මටත් වෙන වැඩ නොහොත් නෝබොඩීස් ඩේ - Nobody's day


ලංකාවේ සතියක් ගත කර, අවුරුදු සහ වෙසක් රැගෙන මගේ බිරිඳ ආපසු සිනුවරට ළඟාවීමට නියමිතව තිබුණේ සෙනසුරාදා රාත්‍රී අටට පමණ ය.

එදින දිවා කාලය මා ගත කළේ මිතුරෙකු ද සමග එක් වී ඕස්ට්‍රේලියාවේ නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ සංස්ථාපිත සිංහල සංස්කෘතික හමුවට අනුබද්ධව පිහිටුවා ඇති ලේඛක සංසදයෙන් ළඟදීම ප්‍රකාශනය කිරීමට අදහස් කරන මෙරට වෙසෙන සිංහල ලේඛකයින් ගේ සංක්‍රමණික අත්දැකීම් රැගත් කෙටිකතා නිර්මාණ සංග්‍රහයේ අවසාන වැඩ කටයුතුවල නිරත වෙමිනි.

බිරිඳ ආපසු නිවසට විත් දින තුනකට පසු අපේ පුතා ගේ උපන් දිනය යෙදෙන බව අප සිතේ ධාරණය කර ගත්තේ ගුවන් ටිකට් පත ඇණවුම් කරන දිනයේ ම ය. "මදර්ස් ඩේ" හෙවත් අම්මලා ගේ දිනය කියා වසරකට වරක් පැවැත්වෙන දිනය සාමාන්‍යයෙන් යෙදෙන්නේ පුතා ගේ උපන් දිනයට ආසන්න ඉරිදා දිනයේ බව මගේ මතකයේ තිබුණි.

ඒ කියන්නේ හෙට ය.

මළා!

අම්මලා ගේ දිනයට තම මවට මෙන් ම බිරිඳට ද, සුළු හෝ ත්‍යාගයක් දීම කවුරුත් වාගේ පුතුන් සහ පිරිමින් අනුමනය කරන පිළිවෙතකි.

ත්‍යාගයේ ප්‍රයෝජනය කෙසේ වෙතත්, එයින් ආදරය වැඩේ!

"පුතා, අපි හවස ෂොපින් යමු, මදර්ස් ඩේ එකට තෑග්ගක් ගන්න!" දිවා ආහාරය වෙලාවේ මම පුතා සමග කීවෙමි.

මිතුරා නිවසෙන් සවස දෙක හමාරට පමණ පිටත්ව ගිය ද, එතැන් සිට ෆේස්බුක් සහ රසිකොලොජි වැනි වැදගත් කටයුතු කිහිපයක් යෙදුණු නිසා, මට යළිත් වෙලාව පිළිබඳව සිහිවුනේ සවස හතරට පමණය.

දැන් ඉතින්, අසල නගරයේ සාප්පු සංකීර්ණයට ගොස් තෑගි ගන්නට වෙලාවක් නැත. හවස ගුවන් තොටුපොළට යෑමට ද ඇත. ඊට පෙර රාත්‍රී ආහාරය පිළිබඳව ද සිතිය යුතු ය.

නගරයේ සාප්පුවලට නොයා ගමේ කඩෙන් තෑග්ගක් ගත යුතු යැයි මම සිතුවෙමි. රාත්‍රී ආහාරයට අවශ්‍ය සලාද කොළ ද, පසුවදා උදෑසන සඳහා පලතුරු ද මිලට ගැනීමට, කොයි හැටි වෙතත්, ගමේ කඩේට යා යුතුව තිබුණි.

වෙනදා අම්මලා ගේ දිනය සඳහා විශේෂයෙන් සකසන ලද තෑගි ගමේ කඩේ ද තිබෙනු මා දැක ඇතත් මෙවර, මල් හැර, එවැනි දේ පෙනෙන්නට නොතිබුණි.

මේ හේමන්ත කාලයේ වුව ද, නිවසේ වවා ඇති රෝස ගස්වල හොඳින් මල් පිපෙන නිසා කඩෙන් රෝසමල් මිලට ගැනීමට අවශ්‍යතාවක් නැත. එනිසා, මා කළේ, පලතුරු සහ සලාද කොළ සමග "රෆායෙලෝ" නම් සුමිහිරි චොකලට් වර්ගයෙන් පෙට්ටියක් ද මිලට ගැනීමයි.

හේමන්ත රෝස මල් ද, සුදු පැහැති මැග්නෝලියාවක් ද සහිත මල් කළඹක් රැගෙන ගොස් බිරිඳ ගුවන් තොටුපළෙන් නිවසට කැඳවා ගෙන ආවෙමි.

ගතවුණේ සතියක් පමණක් නිසා දෝ, කලේ පැන් නැවුම් රසින් තිබුණු බව ද, රොටි සහ ලුණු මිරිස් අවුල් නොවූ බව ද පෙන්වමින්, මා සැකසූ අති ප්‍රණීත රාත්‍රී ආහාරයෙන් ඇය සන්තර්පනය කළෙමි.

* * *

පසුදා උදෑසන අවදිව ඇයට අති ප්‍රණීත තේ කෝප්පයක් සාදා ඇඳ ළඟටම ගෙනැවිත් දුන්නෙමි.

පසුව, පෙර දින ගමේ කඩෙන් මිලට ගත් සුමිහිරි "රෆායෙලෝ" චොකලට් පෙට්ටිය ඇයට දී, මෙවර ද අති ප්‍රණීත, චුම්බනයක් ද දුන්නෙමි.

"හැපි මදර්ස් ඩේ, ඩාලින්!"

"ආ, ඇයි අද? ලබන සුමානේ නේද මදර්ස් ඩේ?" බිරිඳ විමසුවා ය.

මදක් සොයා බැලූ විට මට වැටහුණේ ඇත්තට ම මේ වසරේ අම්මලා ගේ දිනය යෙදී ඇත්තේ ඊළඟ ඉරිදාට බවයි.

දැන් ඉතිං තවත් තෑග්ගක් ගන්නට සිදුවෙනු ඇත.

ඔන්න මටත් වෙන වැඩ!

-රසිකොලොජිස්ට්

ප/ලි:
සකල ලෝ වාසී සියලු අම්මලාට, සැප සතුට ජය පතමි.

(image: http://www.nairaland.com/3473746/hypothesis-love)

19 comments:

  1. හැක් හැක් හැක්.. උපන් දිනේට හෙම ඔහොම කරන්නෙපා..

    ජ ය වේ වා !!!

    ReplyDelete
    Replies
    1. ඒත් ඉතිං අමතක ම වෙලා තෑගි නොදී ඉන්නවාට වඩා කලින් තෑග්ගක් දුන්නු එක ලොකු දෙයක් නේ!

      Delete
  2. කොහොම හරි පුතා බේරුණා නේද වැරදි මදර්ස් ඩේ එකෙන්...

    ReplyDelete
    Replies
    1. තෑග්ග දෙන තැන පුතාත් හිටියා. බිරිඳත් කතාව දැන ගත්තේ පස්සේ. නමුත් මං මේ සටහනේ ඒක තරමක් වෙනස් කරලායි ලිව්වේ!

      Delete
  3. https://www.youtube.com/watch?v=YQ9vv4CPzcY

    ReplyDelete
  4. දිනයත් මවගෙ අද යැයි රැවටෙන්න ඇතී
    නැතිමුත් කාලෙ හැකි දේ ඔබ ගන්න ඇතී
    බිරිඳත් නිහඩවම තෑගිත් ගන්න ඇතී
    එනමුත් තෑගි යළි දිනයක ගන්න වෙතී.....

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. යන්නට වෙන හැඩයි ශනිදා කඩ පොළට
      ගන්නට වෙයි තෑගි කදමළු හරි බරට
      ඉන්නට ඇවැසි නම් ආදරයෙන් රසට
      දුන්නට කමක් නැත චොකලට් හැම කලට!

      Delete
  5. මේක ගාණක් නැහැ. විවාහ සංවස්තරය වැරදුනොත් කෑම කඩෙන් තමයි

    ReplyDelete
    Replies
    1. ඉයන්ටත් වෙලා තියෙන අකරතැබ්බ!

      Delete
  6. මට නම් ඇත්තේ ඔය දවස් ගැන සෑහෙන්න පැටලිලි .මුලින්ම දැක්කේ කවද්ද .කතා කරේ කවද්ද ..යාලු වුනේ කවද්ද ..ඔය වගේ හැට හුට හමාරක් ප්‍රශ්න

    ReplyDelete
    Replies
    1. සෑහෙන ප්‍රශ්න තමයි ඕවා!

      Delete
  7. බර්ත් ඩේ ගණන් නොගන්න එකේ මදර්ස්, ෆාර්දර්ස් ඩේ තියෙන දවස් වත් දන්නෙ නෑ. මොනාද ඒ දවස්..කවුද ඕව තීන්දු කරනේ. දරුවන් වෙනුවෙන් මට නං හැම දවසක්ම ෆාර්දර්ස් ඩේ.

    ReplyDelete
    Replies
    1. දරුවන්?

      මං දන්නේ පුතා ගැන විතරයි.

      Delete
  8. ලංකාවේත් මෑතක ඉදන් ඔය අම්මගේ දවස සහ අප්පගේ දවස ගැන FM චැනල් වල දොඩවන්න පටන් අරං.

    ReplyDelete
  9. දැන් කවද්ද ඔය මදර්ස් ඩේ එක තියෙන්නෙ?

    ReplyDelete
    Replies
    1. මේ ඉරිදා!

      ඒ කියන්නේ මැයි මාසේ දෙවෙනි ඉරිදා.

      Delete
  10. තෑගි නං කොච්චර දුන්නත් නොගනියි හාමිනේලා

    ReplyDelete

ඔබේ ප්‍රතිචාරය මට සතුටකි!. Your comments are most welcome!
සංයමයෙන් යුතුව ප්‍රතිචාර දක්වන්න.